බැදුම්කර මංකොල්ලය ලෝකයේ සිදුවූ විශාලතම බැංකු කොල්ලයයි…. – මහින්ද රාජපක්‍ෂ මහතා

(21.11.2017 – 15:50 +0530 – lankacnews.com)

මෙටට සිදුව ඇති මහ බැංකු බැදුම්කර මංකොල්ලය ආසියාවේ සහ ලොව සිදුවූ විශාලතම බැංකු කොල්ලය බව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ඔහුගේ උපන් දිනය වෙනුවෙන් මහනුවරදී ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

‘‘ඉතිහාසයේ විශාලතම බැංකු මංකොල්ලය බැදුම්කර මහා මංකොල්ලය යි. ආසියාවේ මෙවැනි බැංකු මංකොල්ලයක් සිදුවී නැහැ. මෙය ලෝකයේ ලොකුම බැංකු මංකොල්ලය කීවත් කමක් නෑ. මෙහි අමු අමුවේ මංකොල්ලකෑමක් සිදුව තිබෙනවා. මේ පිළිබඳව දැන් හෙළිදරව් වෙමින් පවතිනවා.

මේ පිළිබඳව කෝප් කමිටුවේ දී පරීක්ෂණ කෙරෙන අවස්ථාවේදී සාමාජිකයන් පත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය ඇතිව නියෝජනය කරන්නයි. නමුත් ඒ මන්ත්‍රීවරුන් මේ අය සමග ගනුදෙනු කර තිබෙනවා. විශාල ලෙස දුරකතන ඇමතුම් අරගෙන තියෙනවා. වහාම මේ ගැන පරීක්ෂණයක් සිදුකළ යුතුයි’’ යයිද ඔහු එහිදී සදහන් කලේය.

*****************************************

බැදුම්කර බෑණා කෝප් කමිටුවට ගත් සම්පූර්ණ දුරකතන ඇමතුම් වාර්තාව මෙන්න…
(21.11.2017 – 11:20 +0530 – lankacnews.com)

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් පරීක්‍ෂණ පැවැත්වූ කාලයේ එවකට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාවන පර්පෙච්චුවෙල් ට‍්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් විසින් කෝප් කමිටු සාමාජිකයන් සමග දුරකතනයෙන් කල සාකච්චා පිළිබඳ සම්පූර්ණ වාර්තාව ප‍්‍රසිද්ධ වී ඇත.

මන්ත‍්‍රීවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත කෝප් කමිටුවේ 05 දෙනෙකු සමග ඇලෝසියස් සබදතා පවත්වා ඇති බව හෙලි තිබේ.

අදාල සම්පුර්ණ වාර්තාව :

https://drive.google.com/file/d/1mYj9RohkSAj68GONmCD-uk8_0iPqQimr/view

+++++++++++++++++++++++++++++++

බැඳුම්කර තීන්දුව කඩිනම් කරන්න නිදහස් පක්ෂය සැරසේ
(21.11.2017 – 18:57 +0530 – hirunews.lk/sinhala)

බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත භාරදීමෙන් අනතුරුව ඉදිරියේදී ඒ පිළිබඳව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ හෙට රාත්‍රියේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒ පිළිබඳ කඩිනම් පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

‘‘බැඳුම්කරය පිළිබදව අපේ ස්ථාවරය තිබුණේ මේ රටේ ලොකුම වංචාව කියන එක. ඒ ස්ථාවරයෙන් අපි මොනව වෙලාවකවත් වෙනස්වෙලා නැහැ. ඊයේ අවසන් වූ බැදුම්කරයේදී සුවිශේෂි දෙයක් පෙන්නලා තියෙනවා මේ රටේ ඇමතිවරු, අගමැතිවරයා දක්වා කොමිසමක් ඉදිරියේ සාක්ෂි දෙන්න පුළුවන් විදිහට නව සංස්කෘතිය වෙනස් කරලා තියෙනවා. 8 වැනිදා ජනාධිපතිතුමාට මෙය ඉදිරිපත් කළාට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ පිළිබදව නිත්‍යානුකූලව එහි ඉදිරි කටයුතු කරන්න.’’

ප්‍රශ්නය – චකිතයක් තියෙනවා සාමාන්‍යයෙන් මේකත් ප්‍රමාද වෙයි කියලා?

පිළීතුර – හෙට රාත්‍රි 7.30 ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී අපි දැනුම් දෙනවා මේ පිළිබඳව ගත හැකි උපරිම ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගැනිම ජනාධිපතිතුමාට අවධාරණයෙන් ප්‍රකාශ කරන්න අපි සූදානම් වෙනවා.

ප්‍රශ්නය – ඔබතුමාලා විශේෂයෙන්ම බැඳුම්කර වංචාවට සම්බන්ධ අයගේ දේපළ තහනම් කරන්න ඕන කිව්වා?

පිළිතුර – ඒ නිත්‍යනුකූල පියවරට ඉක්මනට යන්න කියන එක තමයි අපි කියන්නේ. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා ඒක.

ප්‍රශ්නය – දැනට පොඩි සැකයක් ඉදිරිපත් වෙලා තියෙනවා පළාත් පාලන ඡන්දය තවදුරටත් කල් දාන්න?

පිළිතුර – සීමා නීර්ණවලට පටහැනිව මේවා කඩලා තියෙනවානම් දැන් සමහර අය තව ඒවා කඩන්න ඉල්ලනවා. එහෙම වුණොත් ඒක දිගට යන වැඩක්. ඒ නිසා මං හිතන්නේ මොන ක්‍රමයකින් හරි මේ මැතිවරණය පැවැත්විය යුතුයි කියන මතයේ අපි ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට. අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදිච්ච පාර්ශ්වයත් එක්ක එකඟතාවයෙන් තමයි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න අපි බලාපෙරොත්තු වෙන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *