යාපනය දිස්ත්‍රික්කයට නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• යාපනය දිස්ත්‍රික්කයට නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය (විඩියෝ)

• අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව (විඩියෝ)

• ජාත්‍යන්තර සංචාරකයින්ට තම මව් රටට යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරයි

• Covid 19 රෝගීන් තිදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ (විඩියෝ)

• නිරෝධායනය වු තවත් 223 දෙනෙක් නිවස් වෙත

• ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ භාණ්ඩ හුවමාරුව (විඩියෝ)

• තාවකාලිකව ඇදිරි නීතිය ඉවත් කළත් දිස්ත්‍රීක්ක හරහා ගමනාගමනය තහනම් (විඩියෝ)

• අද (26) අවසන් ගමන් යන ති.නා (තිස්ස නාගොඩවිතාන)

• කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 4 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත

• නිදහස ලැබූ සුනිල් රත්නායක නිවසට පැමිණෙයි (විඩියෝ)

• ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්තශාලා තාවකාලිකව වසා දමන්න නියෝග

• සාමාන්‍ය පුද්ගලයින් මුඛ ආවරණ භාවිත කිරීම ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක්

• ප්ලාස්ටික් භාණ්ඩ මෙරටට අනයනය කිරිම අත්හිටුවිමේ තීරණයක්

• දෛනික ආදායම් ලබන පිරිස් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට හිමිකම් කාඩ්පතක්

+++++++++++++++++++++++++++++++++++

යාපනය දිස්ත්‍රික්කයට නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය

(26.03.2020 – 11:06 +0530 – sinhala.adaderana.lk)

උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවලට පනවා තිබු ඇඳිරි නීතිය හෙට (27) උදෑසන 06:00 ට ඉවත් කිරීමට නියමිතව තිබිණ.

එහෙත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන යාපනය දිස්ත්‍රික්කයට පමණක් නැවත දැනුම් දෙන තුරු එය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පෙර දැනුම් දුන් පරිදි ක්‍රියාත්මකය.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව

(26.03.2020 – 10:14 +0530 – sinhala.adaderana.lk)

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ජාත්‍යන්තර සංචාරකයින්ට තම මව් රටට යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරයි

(26.03.2020 – 14:17 +0530 – sinhala.adaderana.lk)

ආගමන විගමන බලධාරීන් පවසන පරිදි මාර්තු 25 වන විට රට තුළ ජාත්‍යන්තර සංචාරකයින් 18,093 ක් පමණ සිටිති.

ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ වන විට විදේශ අමාත්‍යාංශය හා අදාළ තානාපති කාර්යාල සමඟ සමීපව කටයුතු කරයි.

රට තුළට ගුවන් පැමිණීම් අත්හිටුවනු ලැබුවද, සියලු පිටත්වීම් සඳහා අවසර ඇති අතර, ශ්‍රීලංකන් ගුවන් සේවය එක්සත් රාජධානිය, මෙල්බර්න් සහ නරිටා වෙත දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඕනෑම රටකට ඔවුන්ගේ පුරවැසියන් නැවත ගෙන්වා ගැනීමට පහසුකම් සැලසුම් කර ඇති අතර, ඉල්ලීම පරිදි වරලත් ගුවන් ගමන් සඳහාද ඉඩ ලබා දීමට කටයුතු සුදානම් කර ඈත.

“ඔබ දැනට ජාත්‍යන්තර සංචාරකයින් සඳහා සත්කාරකත්වය සපයන සංචාරක කර්මාන්තයේ සේවා සපයන්නෙකු නම්, ගුවන් තොටුපල ප්‍රවාහනය සඳහා සංචාරකයින්ට සහාය වන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු.”

දැනට පවතින ඇඳිරි නීතිය හේතුවෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් ගුවන් ටිකට් පත මගීන්ට මෙන්ම වාහනයට සහ රියදුරාට ඇඳිරි නීති කාලයේ අවසර පත්‍රයක් ලෙස භාවිතා කිරීමට අවසර ලබාදී තිබේ.

ගුවන්තොටුපළට යාමට ප්‍රවාහන පහසුකම් සොයා ගත නොහැකි සංචාරකයින් හට, කරුණාකර ළඟම ඇති පොලිස් ස්ථානය හෝ ශ්‍රී ලංකා සංචාරක Hotline අංක 1912 අමතන්න.”

+++++++++++++++++++++++++++++++++++

Covid 19 රෝගීන් තිදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ

(26.03.2020 – 14:03 +0530 – sinhala.adaderana.lk)

ගත වූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් කිසිදු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩි නයින්ටීන් වෛරසය අසාදනය වු කිසිදු රෝගියෙකු ඊයේ (25) දිනයේ වාර්තා නොවු අතර ඒ අනුව මෙරටින් වාර්තා වු වෛරස අසාධිතයින් සංඛ්‍යාව 102 ක්.

ඔවුන්ගෙන් තිදෙනෙකු මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

කෙසේ නමුත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතළත් කර තිබේ.

රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේය ඒ අනුව මේ වන විට රෝගීන් තිදෙනෙකු (03) දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

තවදුරටත් දිවයින පුරා රෝහල් වල කොවිඩ් නයින්ටීන් අසාධිතයින් බවට සැකකරන පුද්ගලයින් 255 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.

+++++++++++++++++++++

ටීවී දෙරණ – අලුත් පාර්ලිමේන්තුව – 2020-03-25 – මිනිත්තු 147

+++++++++++++++++++++

නිරෝධායනය වු තවත් 223 දෙනෙක් නිවස් වෙත

(26.03.2020 – 10:58 +0530 – sinhala.adaderana.lk)

විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවාසිටි තවත් පුද්ගලයින් 223 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර යවා තිබේ.

දින 14 ක නිරෝධායන කාලයකින් පසු ඔවුන් මෙලෙස නිවෙස් වෙතපිටත් කර යැවූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේය.

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 125 දෙනෙකු, කන්දකාඩු මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 42 දෙනෙකු, මීයන්කුලම මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 18 දෙනෙකු සහ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 30 දෙනෙකු මෙලෙස පිටත් කර හැර තිබේ.

ඒ අනුව මේ වනවිට නිරෝධායනයට ලක්වු පුද්ගලයින් 735 දෙනෙකු සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට කටයුතු කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

තවත් තුන්දහසකට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වල රැදි සිටින බව වාර්තා වේ ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ භාණ්ඩ හුවමාරුව

(26.03.2020 – 13:56 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය අද (26) පෙරවරු 6.00 ට ඉවත් කළ ප්‍රදේශ කිහිපයක ජනතාව උදෑසනින්ම සිය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණි.

කොරෝනා වෛරස ආසාදනය වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ ලබා දී තිබූ උපදෙස් පිළිපදිමින් මුඛ ආවරණ පැළද සහ දුර ප්‍රමාණය පවත්වාගනිමින් පෝලිම්වල සිටින ආකාරය බොහෝ ස්ථානවලදී අපට දැකගත හැකි වුණි.

කෙසේ වෙතත් ඇතැම් ජනතාව තවමත් සෞඛ්‍ය උපදෙස් පිළිබඳව තැකීමකින් තොරව භාණ්ඩ මිලදී ගැන්නා ආකාරයත් අපට දැකගත් හැකි විය.

මේ අතර වෙළඳසැල් හිමියන් මෙන්ම අත්‍යවශ්‍ය සේවා සපයන පිරිස් වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා කොළඹ මැනිනං වෙළඳපොල අද (26) උදෑසන 6 ට විවෘත කළේය.

කෙසේ වෙතත් අද (26) එහි එළවළු මිල ගණන්වල වැඩිවීමක් දක්නට ලැබුණු අතර එහිදී එළවළු මිලදී ගැනීමට පැමිණි අයගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

අනතුරුව පාරිබෝගික අධිකාරියෙන් ද එම ස්ථානයට පැමිණි අතර හෙට (27) සිට සෑම එළවළුවක්ම රුපියල් 200 ට අඩුවෙන් අළෙවි කරන ලෙස එහිදී ඔවුන් වෙළදුන්ට උපදෙස් ලබා දුන්නේය.

+++++++++++++++++++++++++++++++++++

තාවකාලිකව ඇදිරි නීතිය ඉවත් කළත් දිස්ත්‍රීක්ක හරහා ගමනාගමනය තහනම්

(26.03.2020 – 13:21 +0530 – sinhala.adaderana.lk)

දිවයිනේ බොහෝ දිස්ත්‍රික්ක වලින් කොරෝනා වෛරසය අසාදිතයින් හමුවීම සහ විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකීකයන් නිරෝධායනට ලක්නොවි සැඟව සිටිම හේතුවෙන් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් පසුගියදා දිවයින පුරා ඇඳිරි නීතිය පනවනු ලැබුවේය.

බස්නාහිර පළාත, උතුර පළාත සහ පුත්තලම දිස්ත්‍රීක්කය හැර දිවයිනේ සෙසු දිස්ත්‍රීක්ක සඳහා පනවා තිබු ඇඳිරි නීතිය අද (26) පෙ.ව 6.00 ට ඉවත් කරනු ලැබුවේ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සඳහායි.

එලෙස ඉවත් කරනු ලැබු ඇඳිරි නීතිය එම දිස්ත්‍රීක්ක සඳහා නැවත අද (26) ප.ව 2.00 ට බලාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එසේම එම දිස්ත්‍රික්ක සඳහා නැවත මාර්තු 30 වන දා සඳුදා දින පෙ.ව 6.00 ට ඇඳිරි නීතිය ඉවත් කර එදින ප.ව 2.00 ට යළි පැනවීමට නියමිතයි.

පුත්තලම දිස්ත්‍රික්කය සහ උතුරු පළාතේ වව්නියාව,මන්නාරම,කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා මේ වන විට ක්‍රියාත්මක ඇඳරි නීතිය හෙට (27) පෙ.ව 6.00 ට ඉවත් කර නැවත එදින ප.ව 2.00 ට පනවන බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයේ සඳහන්.

එම ප්‍රදේශ සඳහා නැවත මාර්තු 30 වන දා සඳුදා දින පෙ.ව 6.00 ට ඇඳිරි නීතිය ඉවත් කර එදින ප.ව 2.00 ට යළි පැනවීමට නියමිතයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් යාපනය දිස්ත්‍රික්කය සඳහාත් ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහාද නැවත දැනුම්දෙන තුරු තවදුරටත් ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

විටින් විට රජය විසින් ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කළ ද දිවයිනේ සියලු දිස්ත්‍රීක්ක හරහා ගමනාගමනය සම්පුර්ණයෙන්ම තහනම් වන අතර විදේශිය සංචාරකයීන් තැනින් තැනට රැගෙන යාමද තහනම් කර තිබේ.

***************************************

අද (26) අවසන් ගමන් යන ති.නා (තිස්ස නාගොඩවිතාන)

(26.03.2020 – 12:51 +0530 – sinhala.adaderana.lk)

දශක හතකට වැඩි ඉතිහාසයක් ඇති සිංහල සිනමාව අනාගතයට සංරක්ෂණය කිරීමේ භාරදූර මෙහෙවර ඉටුකළ අභාවප්‍රාප්ත තිස්ස නාගොඩවිතානයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

මේ වනවිට ඔහුගේ දේහය බොරැල්ලේ පිහිටි පුද්ගලික මල්ශාලාවක තැන්පත්කර තිබේ.

සිනමා රූපරාමු මත සටහන් වන “ති.නා.” අක්ෂර ද්විත්වය නොදුටු සිනමා රසිකයෙකු මෙරට නොමැති තරම්.

එසේ සටහන් වන්නේ සිංහල සිනමා පට අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කළ ‘තිස්ස නාගොඩවිතාන’ යන නාමයයි.

1942 වසරේ ගාල්ලේ වැකුනගොඩ දී උපත ලබන තිස්ස නාගොඩවිතාන මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා උපාධිධාරියෙකු වන අතර වෘත්තිය ඇරඹුවේ ව්‍යාපාරිකයෙක් ලෙසයි.

ඔහු ගුරුවරයෙකු හා නගරසභා නිළධාරියෙකු ලෙසද සේවයේ නියැළුනත් රට තුළ ඔහු වඩාත් ප්‍රචලිත වන්නේ සිනමා කර්මාන්තයට පිවිසීමත් සමගින්.

මෙරට ඉමහත් ජනප්‍රියවූ ‘වාසනා ලොවක් ගෙනාව’ චිත්‍රපට ගීතය මුලින්ම ගැයෙන්නේ තිස්ස නාගොඩවිතාන මහතාගේ හඬින්.

කෝලම්කාරයෝ, කැකිල්ලේ රජ්ජුරුවෝ වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ ඔහු චිත්‍රපට රැසක් නිශ්පාදනයද කළා.

එසේ වුවත් තිස්ස නාගොඩවිතාන යන නාමය මෙරට සිනමා කර්මාන්තයේ අමරණීය වන්නේ චිත්‍රපට සංරක්ෂණය කිරීමේ දැවැත්ත කාර්යභාරයට එක්වීමත් සමගයි.

ඔහු අතින් සංරක්ෂණය වූ චිත්‍රපට ගණන 600 කටත් අධිකයි.

මිය යන විට ඒ මහතා පසුවූයේ 78 වැනි වියේ.

තිස්ස නාගොඩවිතාන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි ෴

***************************************

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 4 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත

(26.03.2020 – 15:46 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් 4 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන් 4 දෙනාම පිරිමි පුද්ගලයින් බවයි.

ඊයේ (25) දිනයේදී ද 24 හැවිරිදි තරුණියක් සුවය ලබා රෝහලෙන් පිටව ගියා.

ඒ අනුව චීන ජාතික කාන්තාව ද ඇතුළුව පුද්ගලයින් 7 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා ෴

***************************************

නිදහස ලැබූ සුනිල් රත්නායක නිවසට පැමිණෙයි

(26.03.2020 – 14:49 +0530 – hirunews.lk/sinhala)

මරණ දඬුවම නියම වී සිටි රණවිරු සුනිල් රත්නායක අද (26) නිදහස ලබා තම නිවසට වෙත පැමිණියා.

යාපනය – මිරුසුවිල් ප්‍රදේශයේදී දෙමළ වැසියන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට මෙලෙස මරණ දඬුවම නියම වී තිබුණා ෴

+++++++++++++++++++++

එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීමේදී විශිෂ්ට සේවාවක් කළ රණවිරුවකු වන, මරණ දඬුවම නියම වී සිටි, දිගු දුර විහිදුම් බලකායේ සුනිල් රත්නායක නිදහස් කර ඇති බව සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සිය ෆේස් බුක් ගිණුමට වීඩියෝවක් නිකුත් කරමින් පවසනවා.

මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී අට දෙනකු ඝාතනය කළ බවට චෝදනා කරමින් ඔහුට මරණීය දණ්ඩනය නියම කර තිබුනේ පසුගිය ආණ්ඩු සමයේදීයි. යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව ඇතැයි මිට පෙරද විවිධ වාර්තා පළ වුනා.

ඔහු නිදහස් කිරීම සම්බන්ධයෙන් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සිය ෆේස් බුක් ගිණුමට එක්කර තිබු වීඩියෝව :

+++++++++++++++++++++

***************************************

ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්තශාලා තාවකාලිකව වසා දමන්න නියෝග

(26.03.2020 – 13:56 +0530 – hirunews.lk/sinhala)

ආයෝජන මණ්ඩලයට යටතේ පවතින සියලූම කර්මාන්තශාලා තාවකාලිකව වසා දමන ලෙස විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නියෝග කර තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලත් සමඟ මෙලෙස සියලුම කර්මාන්තශාලා වසා දමන ලෙසයි අමාත්‍යවරයා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම්දී ඇත්තේ.

එම ආයතනවල සේවය කරන සේවක සේවිකාවන් යුද හමුදා අධීක්ෂණය යටතේ බස් රථ මගින් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යාමට කටයුතු කරන ලෙසද විෂයභාර අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මීට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟ කටුනායක, බියගම සහ සීතාවක යන නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් 25,000 කට වැඩි පිරිසක් ගම්බිම් වෙත යාමට නොහැකිව නවාතැන්පලවල සිරවී සිටින බවයි.

ඇතැම් කර්මාන්තශාලාවලින් සේවකයින්ට නිවාඩු ලබා නොදීම ද ඊට හේතුවී ඇති බව ඔහු සඳහන් කළා ෴

+++++++++++++++++++++++++++++++++++

සාමාන්‍ය පුද්ගලයින් මුඛ ආවරණ භාවිත කිරීම ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක්

(26.03.2020 – 13:28 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පුද්ගලයින්ට මුඛ ආවරණ භාවිත කිරීම සඳහා නිර්දේශ නොකරන බව පවසමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන පුද්ගලයින්, ඔවුන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් මෙන්ම රෝගීන් රැකබලාගන්නා සෞඛ්‍ය සේවකයින් සහ ස්වසන රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයින් මුඛ ආවරණ පැළඳීම නිර්දේශ කරන බවයි.

එදිනෙදා ජීවන කටයුතුවල නිරතවන සාමාන්‍ය පුද්ගලයින් මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවත්, භාවිත කළ මුඛ ආවරණ තැන තැන බැහැර කිරීම මගින් රෝග පැතිරීමේ වැඩි අවදානමක් පවතින බවද අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

එමඟින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩබලන පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ සාමාන්‍ය ජනතාව මුඛ ආවරණ භාවිත නොකිරීම වරදක් ලෙස සළකා ඔවුන්ට කිසිදු හානියක් නොකරන ලෙසයි ෴

+++++++++++++++++++++++++++++++++++

ප්ලාස්ටික් භාණ්ඩ මෙරටට අනයනය කිරිම අත්හිටුවිමේ තීරණයක්

(26.03.2020 – 13:12 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදි ප්ලාස්ටික් භාණ්ඩ මෙරටට අනයනය කිරිම අත්හිටුවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවැති අමාත්‍ය මණ්ඩල තිරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ රජය දේශිය කර්මාන්ත නගා සිටුවිමේ ක්‍රියාවලිය යටතේ මෙම තිරණය ගත් බවයි ෴

***************************************

දෛනික ආදායම් ලබන පිරිස් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට හිමිකම් කාඩ්පතක්

(26.03.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මැනිං වෙළඳපොලේ එළවළු, පළතුරු සහ වෙනත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් උපරිම මිල සීමාවක් පනවා තිබෙනවා.

ඒ අනුව හෙට (27) උදෑසන සිට තොග වෙළෙන්දන් විසින් සිල්ලර ජංගම වෙළෙන්දන් වෙත භාණ්ඩ අලෙවි කළ යුත්තේ අද (26) තීරණය කරනු ලැබූ මිල ගණන් යටතේයි.

එම මිල සීමාවන් මැනිං වෙළඳපලේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇති බවයි එහි වෙළඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

මෙලෙස මිල සීමාවන් පැනවීමට හේතුවූයේ අද (26) අලුයම මැනිං වෙළඳපලේ කටයුතු ආරම්භවීමෙන් පසු විවිධ මිල ගණන් යටතේ එළවළු අලෙවි කරන බවට වෙළඳුන්ගෙන් චෝදනා එල්ලවීමත් සමඟයි.

මෙහිදී එළවළු මිලදී ගැනීමට පැමිණි වෙළඳුන් සහ ඒවා අලෙවි කළ මැනිං වෙළඳපලේ වෙළඳුන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවුණා.

පසුව මෙම තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා වෙළඳ සංගමය මැදිහත් වූ අතර, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක මහතා ද එම ස්ථානයට පැමිණියා.

එහිදී වෙළෙඳුන්ගේ අදහස්වලට සවන්දීමෙන් පසු උපරිම මිල සීමාවන් පැනවීමට තීරණය කෙරුණු අතර, හෙට (27) සිට මෙම උපරිම මිල සීමාවන් උල්ලංඝනය කරමින් එළවළු හා අනෙකුත් භාණ්ඩ අලෙවි කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවයි මැනිං වෙළඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණ කිහිපයකට එළඹ තිබෙනවා.

ඒ ඊයේ (25) එම කාර්ය සාධක බලකාය රැස්වූ අවස්ථාවේදියි. එහිදි තීරණය වී ඇත්තේ දෛනික ආදායම් ලබන පිරිස් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට හිමිකම් කාඩ්පතක් ලබාදීමටයි.

එමෙන්ම නිවෙස් වෙත ගොස් භාණ්ඩ අලෙවි කිරීමේ වැඩපිළිවෙල වෙළඳ සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශවල මූලිකත්වයෙන් මෙහෙයවීමටද තීරණය කර තිබෙනවා.

මේ අතර මැයි මස දක්වා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග පවතින බැවින් ප්‍රමාණය ඉක්මවා භාණ්ඩ මිලදී ගැනීමෙන් වළකින ලෙස අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එහි සභාපති ජී. රාජේන්ද්‍රන් මහතා ප්‍රකාශ කළේ ඉන්දියාව මුළුමනින්ම වසා දැමුවද එය අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට බාධාවක් නොවනු ඇති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *