අද (26) දිනයේත් මෙතෙක් කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තාවී නැහැ – සෞඛ්‍ය ඇමති

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• අද (26) දිනයේත් මෙතෙක් කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තාවී නැහැ – සෞඛ්‍ය ඇමති

• වෛරසය ශරීරගත වූ 500 ක් නිදැල්ලේ (විඩියෝ)

• COVID-19 වෛරසය පාලනයේදී ශ්‍රී ලංකාව විශිෂ්ට මෙහෙවරක!

• සුපිරි වෙළඳසැල්වල එළවළු සහ පළතුරුවලත් කොරෝනා !

• මහබැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහා භාණ්ඩාගාරය අත්‍යාවශ්‍ය සේවා යටතට

• ආහාර අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගන්න උදව් – Food Help

• ලංකාවේ ආසාදිතයින් ගණන 106 ක් වෙයි

• මහජන පැමිණිලි සඳහා මහජන සම්බන්ධතා අංශය පැය 24 ම වැඩ

• පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

• රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ලබන 10 ට පෙර

• පුද්ගලයින්ට සහන සැලසීමට අදාළ චක්‍රලේඛය නිකුත් කරයි

• ඇඳිරි නීතිය කඩකළ පිරිස 3296 දක්වා ඉහළට

• කොළඹ මැනිං වෙළද පොලෙහි ඉහල මිලට විකුණූ එළවළු

• ඉන්දියාවේ රැදී සිටින සිසුන් සුරක්ෂිතයි

• සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට වගකීම් රැසක්

• කැබිනට් අනුමැතිය හිමි වු තීරණ මෙන්න

• ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය වැඩකටයුතු අරඹයි

• මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස නම් කරයි

• Covid 19 පාලනයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

+++++++++++++++++++++++++++++++++++

අද (26) දිනයේත් මෙතෙක් කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තාවී නැහැ – සෞඛ්‍ය ඇමති

(26.03.2020 – 17:08 +0530 – hirunews.lk/sinhala)

අද (26) දිනයේදීත් පස්වරු 4.45 වන විට කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තාවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරචි මහත්මිය පවසනවා.

අමාත්‍යවරිය මේ බව කියාසිටියේ Covid 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදීයි.

මේවන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 102 ක්.

මේ අතර IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 4 දෙනෙකු සුවය ලබා අද (26) එම රෝහලින් පිටත්ව ගිය බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා ෴

+++++++++++++++++++++++++++++++++++

වෛරසය ශරීරගත වූ 500 ක් නිදැල්ලේ

(26.03.2020 – 15:22 +0530 – lankaleadnews.com)

කොරෝනා වයිරසය ශරීරගත වූ රෝගීන් සංඛ්‍යාව 101 යැයි රජයේ සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙතත් මේ වනවිට එම වයිරසය ශරීරගත වූ 500 කට ආසන්න පිරිසක් සමාජයේ ගැවසෙමින් සිටිතැයි විශ්වාස කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ලංකාදීපයට පැවැසීය.

ඇඳිරි නීතිය ඉවත් කරන අවස්ථාවන්හිදී සමාජ දුරස්ථකරණය තබා නොගැනීම නිසා මේ වනවිටත් අති විශාල පිරිසකට මෙම වයිරසය වැළඳී ඇතැයි සැක කළ හැකි බවත් ඉදිරි දින 14 අවසන් වන අප්‍රේල් 08 වැනිදා වන විට රටතුළ රෝගීන් සංඛ්‍යාව විශාල වැඩිවීමක් බලාපොරෙතාත්තු විය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

දැනටමත් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන රෝගීන් සමග ස්පර්ශක සබඳතා පැවැත්වූ 19000 කට ආසන්න පුරවැසියන් පිරිසක් සෞඛ්‍ය අංශයන්හි ආරක්ෂක අංශයන්හි හා පරිපාලන අංශයන්හි නිරෝධායන නිරීක්ෂණය යටතේ රට පුරා විසිර සිටිතියි වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් සියලු පුරවැසියන් බලධාරින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්නේ නම් ඉදිරි සති දෙක තුල දී සතුටුදායක ප‍්‍රවණතාවයක් අපේක්ෂා කළ හැකි යැයි ද ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.

+++++++++++++++++++++++++++++++++++

COVID-19 වෛරසය පාලනයේදී ශ්‍රී ලංකාව විශිෂ්ට මෙහෙවරක!

(26.03.2020 – 15:17 +0530 – lankaleadnews.com)

ගත වූ පැය විසිහතරක කාලය තුළ ශ්‍රී ලංකාවෙන් කිසිදු COVID-19 වෛරසය ආසාදිතයෙකු හමු වී නැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

වසංගත රෝග විද්‍යා අංශය අද (26) දින පෙරවරු 10:00 ට නිකුත් කළ වාර්තාවට අනුව COVID-19 වෛරස වසංගතය මර්ධනයේදී කිසිදු රටක් දෙවෙනි රෝගියා වාර්තා වීමෙන් පසුව කිසිදු රෝගියෙකු වාර්තා නොවුනු දිනයක් සටහන් කළ බවක් මෙතෙක් වාර්තා කර නොමැත.

ශ්‍රී ලංකාව දෙවෙනි රෝගියා වාර්තා වීමෙන් පසුව පනස්වන රෝගියා වාර්තා වීමට චීනය, ඉතාලිය, කොරියාව වැනි වෛරසය ආසාදනය තදින්ම පැතිරුණු රටවලට වඩා අඩු කාලයක් ගෙන තිබුණි. එය වෛරසය පැතිරීම පාලනය කළ නොහැකි තත්වයකට පැමිණීමක් බවට මතවාද පතුරුවමින් සමහර කොටස් මහජනයා අතර බියක් ජනිත කරන්නට විය.

කෙසේ වුවද මේ තත්වය දිගටම පවත්වා ගත හොත් ශ්‍රී ලංකාවට කොරෝනා වෛරස් වුවදුරින් සිංහල අවුරුදු සමයට පෙර ගැලවී යාමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළ හැකි බව විද්වතුන් පවසති. වෛරසය ආසාදිතයන්ගේ අඩුවක් පෙන්නුම් කළද රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ රජයේ රෝහලකට වාර්තා නොවුනු රෝගීන් 552 ක් රට තුළ සැරිසරන බවත් ඒ අනුව අප්‍රේල් මස 7 වන දින වන විට වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යා ලේඛන වල වර්ධනීය තත්වයක් ඇති විය හැකි බවයි.

කෙසේ වුවද ශ්‍රී ලංකාව වසංගත රෝග විද්‍යා අංශය අද වාර්තා කළ තත්වයට පත්වීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව මෙන්ම සමස්ත ජනයා දැක්වූ දායකත්වය මනා පිටුවහලක් විය.එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවැරදි නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාට දෙනු ලබන සහයෝගයද අභියෝගයකට රට මුහුණ දුන් මේ අවස්ථාවේදී ඉතා විශිෂ්ට බව විද්වතුන්ගේ මතයයි.

මෙම තත්වය ඉදිරියටත් පවත්වාගෙන යමින් COVID-19 වෛරසය ආසාදනයෙන් එකදු මරණයක් හෝ සිදු නොවුනු රට බවට ශ්‍රි ලංකාව පත් කරගැනීම බවට සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතු යැයි විද්වත්හු පවසති.

+++++++++++++++++++++++++++++++++++

සුපිරි වෙළඳසැල්වල එළවළු සහ පළතුරුවලත් කොරෝනා !

(26.03.2020 – 14:32 +0530 – truenews.lk)

සුපිරි වෙළඳසැල් වල තිබෙන එළවළු සහ පලතුරු වලද කොරෝනා වෛරසයට ජීවත් විය හැකි බවට වෛරස අධ්‍යයන විද්‍යාව සම්බන්ධව මහාචාර්යවරයෙක් සඳහන් කර තිබෙනවා.

නවතම සොයාගැනීමකින් ලෙස මේ බව සොයාගෙන තිබෙන බව සඳහන්. වෛරසය ජීවත් වීමට හැකි බවට පවතින පෘෂ්ඨ මෙන්ම සුපිරි වෙළඳසැල් වල ඇති එළවළු, පලතුරු මතද කොරෝනා වෛරසයට ජීවත්වීමට හැකියාව පවතින බවයි පර්යේෂණ වලින් පෙන්වා දෙන්නේ.

මේ හේතුව නිසා සුපිරි වෙළඳසැල් වලින් එම පලතුරු සහ එළවළු මිලදී ගැනීමේදී පරිස්සම් වී මිලදී ගන්නා ලෙසත් එම පලතුරු සහ එළවළු සබන් භාවිතා කර සේදීමෙන් වෛරසය මැඩපැවැත්වීමට හැකියාව ඇති බවයි පර්යේෂණ වලින් පෙන්වා දෙන්නේ. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක සේවය කරන මහාචාර්යවරයාගේ නවතම තොරතුරු මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍යද වාර්තා කරනවා ෴

+++++++++++++++++++++++++++++++++++

මහබැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහා භාණ්ඩාගාරය අත්‍යාවශ්‍ය සේවා යටතට

(26.03.2020 – 16:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහබැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහා භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ද, ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා අවම සේවක සංඛ්‍යාවක් සහිතව, අදාළ ආයතන විවෘතව තබන ලෙස ජනාධිපති ලේකම්වරයා මහබැංකු අධිපතිවරයාට අද (26) ලිඛිතව දැනුම් දුන්නා.

අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් වන්නේ සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, භාණ්ඩ බෙදා හැරීම්, රේගු කටයුතු, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයීමයි. ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම් ප්‍රධාන කාර්ය මණ්ඩලය මෙන්ම, ජනාධිපති කාර්යාලය ද සෑමදිනකම සේවා අවශ්‍යතා සඳහා පූර්ණ කාලීනව ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මේ අතර, කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ප්‍රතිකාර කරනු ලබන දිවයින පුරා රෝහල් 24 ට නිරෝධායන මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත උපකරණ බෙදා දීමට කටයුතු කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ උපදෙස් මත එම රෝහල්වල සේවයේ නියුතු වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මෙම උපකරණ කඩිනමින් ලබාදෙන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.

ඒ සඳහා රුපියල් මිලියන 800 ක පමණ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

එමෙන්ම, කොරෝනා වෛරසය ව්‍යාප්තිය මැඩපැවැත්වීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිහිටුවා ඇති අරමුදල සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය රුපියල් මිලියන 2 ක මුදලක් පිරිනැමීමට කටයුතු කර ඇති බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

+++++++++++++++++++++++++++++++++++

ආහාර අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගන්න උදව් – Food Help

(26.03.2020 – gossiplankanews.com)

ආහාර ද්‍රව්‍ය හා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදෙන සමාගම් හා සුළු ව්‍යාපාර අන්තර්ජාලය ඔස්සේ නිවේදන නිකුත් කර දන්වා සිටින්නේ තමන්ට නිවසටම ඒවා ලබාදිය හැකි බව දක්වමිනි.

අප පහත දක්වා සිටින්නේ සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කර ඇති එවැනි සටහන් එකතුවකි. තව ඒවා ඇතිනම් අප වෙත එවන්න editor@gossiplankanews.com

(මෙම භාණ්ඩ සැපයීමේ ගුණාත්මක බව මිල ගණන් හෝ ප්‍රසිද්ධ කර ඇති අංකවල නිරවද්‍යතාව පිළිබඳ පරීක්ෂා කිරීම් අප සිදු කර නැත)

https://image.gossiplankanews.com/data/food.php

+++++++++++++++++++++++++++++++++++

ලංකාවේ ආසාදිතයින් ගණන 106 ක් වෙයි

(26.03.2020 – 21:54 +0530 – sinhala.adaderana.lk)

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 106 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අද (26) රාත්‍රී 9 ට තවත් ආසාදිතයින් දෙදෙනෙකු එක් වීමත් සමඟ මෙලෙස සමස්ත ආසාදිතයින් ගණන ඉහළ ගොස් තිබේ.

මීට පෙර රාත්‍රී 7 ට කොරෝනා ආසාදිතයින් බවට පුද්ගලයින් දෙදෙනෙකු තහවුරු කර ගනු ලැබීය ෴

+++++++++++++++++++++++++++++++++++

මහජන පැමිණිලි සඳහා මහජන සම්බන්ධතා අංශය පැය 24 ම වැඩ

(26.03.2020 – 22:05 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පවතින තත්ත්වය පදනම් කර ගනිමින් ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24 ම විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.

රජය ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳව හෝ පැමිණිලි දුරකථන අංක 011 235 4550 / 011 235 4655 ඔස්සේ ඉදිරිපත් කළ හැකිය.

එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය නොහැකි වුවහොත් ජනාධිපති කාර්යාලයේ ඝෘජු දුරකථන අංක, 011 235 4354 අමතා – දිගු අංක 3872 / 3873 / 3874 / 3875 ඔස්සේ සම්බන්ධ විය හැක.

කපිල ගුණසිංහ මහතා, අධ්‍යක්ෂ, මහජන සම්බන්ධතා අංශය දුරකථන අංක (077 374 3718) අංකයට ද පැමිණිලි ඉදිරිපත් කළ හැක.

කොරෝනා වෛරසය පැතිරයාම ආශ්‍රිත දැනුම් දීම් සඳහා දුරකථන අංක 011 286 0003 / 011 286 0004 විවෘතව තැබේ.

011 235 4354 අමතා දිගු අංක3355 ඔස්සේ ද එම තොරතුරු ඉදිරිපත් කළ හැක.

ජනතාව ලබාදෙන තොරතුරු අදාළ අංශ වෙත කඩිනමින් යොමු කිරීමට පියවර ගන්නා බවත් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපතිතුමා දෙන නියෝග හා උපදෙස් ක්‍රියාත්මක නොවීම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ද සිදු කෙරෙන බවද එම ‍නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි ෴

+++++++++++++++++++++++++++++++++++

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

(26.03.2020 – 21:37 +0530 – sinhala.adaderana.lk)

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.

පොලිස්පතිවරයාගේ නියෝග පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර තිබේ.

ඒ අනුව නිවාඩු හා දින විවේක වහාම ක්‍රියාත්මක වන පරිදි අප්‍රේල් මස 10 වන දින තෙක් අවලංගු කර ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ලබන 10 ට පෙර

(26.03.2020 – 21:21 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10 වනදා පෙර ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශ පවසයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා මේ බව සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

පුද්ගලයින්ට සහන සැලසීමට අදාළ චක්‍රලේඛය නිකුත් කරයි

(26.03.2020 – 21:09 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ව්‍යාපාරිකයින් සහ පුද්ගලයින්ට සහන සැලසීමට අදාළව ශ්‍රී ලංකා මහබැංකුව, බැංකු හා මූල්‍ය සමාගම් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

නව කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ව්‍යාපාරිකයින්ට සහ පුද්ගලයින්ට සහන සැලසීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා උපදෙස් ලබාදුන්නේය.

ඒ අනුව කැබිනට් මණ්ඩලය ගත් තීරණයට අනුව මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් මූල්‍ය ආයතන, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලත් විශේෂිත බැංකු සහ කල්බදු සමාගම් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සියලුම ත්‍රිරෝද රථ, පාසැල් වෑන්, ලොරි, කුඩා භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන සහ ස්වයං රැකියාලාභීන් විසින් මෙහෙයවනු ලබන බස්රථවල ලීසිං වාරික සඳහා මාස හයක සහන කාලයක් ඒ අනුව ක්‍රියාත්මක කළ යුතුයි.

රජයේ සහ පෞද්ගලික අංශයේ සියලුම විධායක නොවන සේවකයින්ට ලබා දී ඇති පුද්ගලික ණය සම්බන්ධයෙන් 2020 මැයි 30 වන දින දක්වා සහන කාලයක් ක්‍රියාත්මක කළ යුතු බව ද එහි දැක්වෙයි.

ඒ අතර රුපියල් මිලියනයට අඩු සියලුම පුද්ගලික ණය හා ලීසිං වාරික සඳහා මාස 03 ක සහන කාලයක් ලබා දිය යුතුයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, සංචාරක, ඇඟලුම්, වැවිලි,තොරතුරු තාක්ෂණ සහ ඒ ආශ්‍රිත සැපයුම් සේවා සපයන්නන් යනාදී බලපෑමට ලක්වූ කර්මාන්ත සඳහා මාස හයක ණය සහන කාලයක් ක්‍රියාත්මක කළ යුතු බව ද එහි සඳහන්ය.

ඒ අතර රුපියල් 50,000 ක් දක්වා වටිනාකමින් යුත් දේශීය ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු සඳහා මූල්‍ය ආයතන විසින් අයකරනු ලබන උපරිම පොලී අනුපාතය 15% ක් විය යුතු වෙයි ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය කඩකළ පිරිස 3296 දක්වා ඉහළට

(26.03.2020 – 20:24 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 3296 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 20 වනදා සවස 06:00 සිට අද (26) සවස 2 දක්වා කාල සීමාව තුල මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

එම කාලය තුළ රථවාහන 794 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අද (26) දහවල් 12 සිට සවස 6 දක්වා පමණක් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 12 ක් පොලිස් භාරයට ගෙන ඇත.

+++++++++++++++++++++++++++++++++++

කොළඹ මැනිං වෙළද පොලෙහි ඉහල මිලට විකුණූ එළවළු

(26.03.2020 – 20:11 +0530 – sinhala.adaderana.lk)

කොළඹ මැනිං වෙළද පොලෙහි අද (26) දිනය තුළ ඉහල මිලට එළවළු වර්ග අලෙවිකර ඇති බවට වාර්තා වේ.

එළවළු මිලට ගැනිම සඳහා පැමිණි පාරිභෝගිකයින් මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ වෙත අදහස් දක්වමින් පැවසුවේ උපරිම මිලක් නියම කර තිබුනද එය ක්‍රියාත්මක නොවන බවයි.

මැනිං වෙළඳපල සමිතියේ සභාපති රනිල් හෙට්ටිගේ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අදාල පාර්ශව සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර පාරිභෝගිකයින් වෙළඳපොලෙන් විශාල වශයෙන් ලුණු මිලදී ගැනිමට පෙළඹී සිටින අතර කිසිදු ලුණු හිඟයක් රට තුළ නොමැති බව රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති රවී ලියනගේ මහතා පවසයි.

+++++++++++++++++++++++++++++++++++

ඉන්දියාවේ රැදී සිටින සිසුන් සුරක්ෂිතයි

(26.03.2020 – 20:10 +0530 – sinhala.adaderana.lk)

ඉන්දියාවේ අධ්‍යාපනය ලැබීම සඳහා ගොස් එම විශ්වවිද්‍යාලයන්හි නේවාසිකව රැදී සිටින සිසුන් සුරක්ෂිත බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපිරීම සඳහා මේ වන විට කටයුතු යොදා ඇති බව ඉන්දියාවේ රජගහනුවර වේළුවන ශ්‍රී ලංකාරාමාධිපති පල්ලේගම විජිත හිමියන් පවසයි.

දිල්ලිය බරණැස විශ්වවිද්‍යාලයේදී උන් වහන්සේ මේ බව සඳහන් කළේය.

පුනේ ඇතුළු විශ්වවිද්‍යාලයන්හි රැදී සිටින සිසුන් විශාල පිරිසක් අදාළ විශ්වවිද්‍යාලයන්හි සුරක්ෂිත බවත් ඔවුන් සඳහා වන පහසුකම් හා සොයා බැලීම් නිරන්තරයෙන් ඉන්දියානු ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීම මත සිදුවන බව උන් වහන්සේ සඳහන් කළේය.

මේ හේතුවෙන් ඔවුන්ගේ දෙමාපියන්ට සිසුන් පිළිබද කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බවද උන් වහන්සේ වැඩිදුරතටත් පැවසීය.

මේ වන විට ඉන්දියාවේ සියලුම නගර අප්‍රේල් 24 වන දින දක්වා වසා දමා ඇති අතර මෙය හේතුවක්ව අදාළ සිසුන්ට කිසිදු ගැටලුවක් ඇතිවීමට ඉඩ නොදෙන බවත් ඔවුන්ට පවසා ඇත්තේ සිටින ස්ථානයන්ගෙන් පිටතට නොපැමිණෙන ලෙස බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට වගකීම් රැසක්

(26.03.2020 – 19:14 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසුකරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සඳුදා (23) ස්ථාපනය කළ ‘COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට’ වගකීම් රැසක් පැවරී තිබේ.

අරමුදල ආරම්භ කරමින් ජනාධිපතිවරයා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100 ක් ඊට ප්‍රදානය කළේය.

ඒ සදහා ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ වෙනම විශේෂ ගිණුමක් විවෘත කෙරිණ.

ගිණුම් අංකය : 85737373 වේ.

සමාජ සංරක්ෂණ අරමුදලේ අරමුණු මෙසේය :

COVID-19 හා සම්බන්ධ ඖෂධ, පරීක්ෂණ උපකරණ සහ ධාරිතා වියදම් ඇතුළු සියලු වියදම් පියවීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවශ්‍ය අරමුදල් වහා සම්පාදනය කිරීම.

අත්‍යාවශ්‍ය මහජන සේවා සැපයීමේ නිරත සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන්ගේ සහ පහසුකම් සලසන්නන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව උදෙසා අවශ්‍ය සියලු වියදම් සපුරාලීම.

ළමයින්, කාන්තාවන්, අඩු ආදායම්ලාභී පවුල්, වයස්ගත වූවන්, ආබාධ සහිත සහ අවදානමට ලක් වූ කණ්ඩායම් සඳහා මූලික අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය.

ග්‍රාමීය සහ දුර බැහැර ප්‍රදේශවල බෙහෙත් ශාලා, පරීක්ෂණ සහ ප්‍රතිකාර ස්ථාන, පවුල් සෞඛ්‍ය සේවා ඇතුළු මහජන සෞඛ්‍ය සේවා පද්ධති දියුණු කරමින් බෝ වෙන රෝග අවදානම අඩුකිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරනු පිණිස අවශ්‍ය අරමුදල් සපයා ගැනීම.

දේශීය වෛද්‍ය ක්‍රමය සහ සනීපාරක්ෂක භාණ්ඩ නිෂ්පාදනය සහ බෙදාහැරීම වැඩිදියුණු කිරීම සහ දේශීය අමුද්‍රව්‍ය, සම්පත්, දැනුම හා නිපුණතා භාවිතයෙන් සෞඛ්‍ය හා සනීපාරක්ෂක නවෝත්පාදන නිෂ්පාදනය අරමුණු කරගත් පර්යේෂණ ප්‍රවර්ධනය.

ගෝලීය වෙළෙඳ පොළ සඳහා ආරක්ෂිත ඇඳුම් හා සනීපාරක්ෂක නිෂ්පාදන සංවර්ධනය අත්හදා බැලීම සහ ශ්‍රී ලංකාවේ වෛද්‍ය හා විද්‍යාත්මක දැනුම භාවිතයෙන් නවෝත්පාදන සඳහා පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම.

සාම්ප්‍රදායික එහෙත් සමෘද්ධිමත් දිවි පෙවෙතක් අගයන, කාබනික ආහාර පරිභෝජනයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනයට ජනමාධ්‍ය සහ අධ්‍යාපනික වැඩසටහන් සම්පාදනය.

සම්පත් ප්‍රතිපාදනය, විධිමත් ජාතික ප්‍රසම්පාදන ක්‍රම සහ පාලන චර්යා පිළිබඳ ප්‍රශස්තම මූලධර්ම මත පදනම්ව ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර සපයන ප්‍රධාන හවුල්කරුවන් සමග එක්ව අරමුදල් රැස් කිරීම.

පරිපාලන, මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල කළමනාකරණය කෙරේ ෴

+++++++++++++++++++++++++++++++++++

කැබිනට් අනුමැතිය හිමි වු තීරණ මෙන්න

(26.03.2020 – 19:09 +0530 – sinhala.adaderana.lk)

කිසිදු ආදායමක් නොලැබෙන පවුල් සඳහා ආහාර හිමිකම්පතක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් තීන්දුවක් ගෙන ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (26) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මේ අතර රටට අවේණික ස්වයංපෝෂිත ආර්ථික රටාවක් කෙරහි අවධානය යොමු කරමින් කටයුතු කිරීම රටේ ජනතාවට ඉතාමත්ම වැදගත් බවත් කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වී තිබෙන බලපෑමද සැලකිල්ලට ගෙන රජය විසින් කුඩා තේ වතු හිමියන්ටත් සහන ලබා දීමට ඊයේ (26) කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

මේ අතර කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී දක්වන ලද අදහස්වල සංෂිප්තය පහත පරිදි වේ :

+++++++++++++++++++++++++++++++++++

ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය වැඩකටයුතු අරඹයි

(26.03.2020 – 19:08 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය මඟින් අවදානමට ලක්වී ඇති දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් සමස්ථ ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සැපයීම, මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසුවිපරම් කටයුතු වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලද විශේෂ කාර්ය සාධක බලකාය මේ වන විට වැඩ කටයුතු ආරම්භ කර ඇත.

අග්‍රාමාත්‍යවරයාගේ පූර්ණ අධික්ෂණය යටතේ මෙම කාර්ය සාධක බලකායේ මෙහෙයුම් කටයුතු අරලියගහ මන්දිරයේදි සිදු කෙරෙන අතර එහි මෙහෙයුම් සහ අධිකෂණ කටයුතු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වේ.

• විදුලිබලය, ජල සම්පාදනය,කසළ කළමණාකරණය

• ඉන්ධන හා ගෑස් සැපයීම

• මගී ප්‍රවාහනය කටයුතු සම්න්ධීකරණය හා කළමණාකරණය,

• අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ සැපීයම, බෙදා හැරීම හා මිල පාලනය සම්න්ධීකරණය හා කළමණාකරණය,

• ප්‍රාදේශිය සහ දිස්ත්‍රික් පරිපාලන කටයුතු සම්න්ධීකරණය හා කළමණාකරණය,

• ග්‍රාමීය ආර්ථිකය පවත්වාගෙන යාම සම්න්ධීකරණය හා කළමණාකරණය,

• ජාතික ආර්ථිකය පවත්වාගෙන යාම සම්න්ධීකරණය හා කළමණාකරණය,

යන ප්‍රධාන ක්ෂේත්‍ර යටතේ මෙම කාර්ය සාධක බලකායේ කටයුතු සිදු කෙරේ.

ආහාර, ජලය, විදුලිය, දෛනික වැටුප් ලබන්නන්ගේ ගැටළු, ධීවර, අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ප්‍රවාහන කටයුතු, කෘෂිකර්ම යන ක්ෂේත්‍ර වලට අදාළ නිලධාරින් සමඟ අද (26)දිනයේ පැවති සාකච්ඡා වලදී අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සැපයීම ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා බලපාන තීරණ රැසක් ගනු ලැබිණි.

+++++++++++++++++++++++++++++++++++

මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස නම් කරයි

(26.03.2020 – 18:21 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03 වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මේ යටතට ගැනේ.

මේ කාලසීමාව රජයේ නිවාඩු දින සේ නොසැළකේ. මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීමයි.

එහෙත් ජනතාව එක්රැස්වීම වළක්වා ස්වයං නිරෝධායනයට ඉඩ සැලසීම මෙහි අරමුණයි.

මාර්තු 20 සිට 27 දක්වා කාලය ද නිවසේ සිට වැඩකරන සතියක් ලෙස නම් කෙරිණ.

එම ක්‍රියාදාමය අදාළ කාල සීමාව තුළද ඉදිරියට ගෙන යා යුතු බව රජය දන්වා සිටී ෴

+++++++++++++++++++++++++++++++++++

Covid 19 පාලනයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

(26.03.2020 – 18:08 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පුද්ගලයින් දෙදෙනෙකු අතර පරතරය අවම වශයෙන් මීටරයක් හෝ පවත්වාගෙන යාම වෛරසය පැතිරීම වැලැක්විම සඳහා සුදුසුම ක්‍රමයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

නිතර සබන් යොදා තත්පර 20 ක් පමණ ගෑස් සේදීම, අපිරිසිදු දෑත් වලින් ඇස් නාසය සහ මූඛය නොඇල්ලීම, කහින විට හෝ කිවිසුම් යන විටවැලමිටෙන් ඇතුල් පැත්තෙන් නාසය හා මුඛය ආවරණය කර ගැනිම වෛරසය ආසාදනය වීම අවම කරගැනිමේ මූලික කරුණු අතරට අයත් වේ.

කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිරෝගී පුද්ගලයෙකු සඳහා මුඛ ආවාරණ භාවිතය මෙතෙක් නිර්දේශ කර නොමැති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *