අපේ මිනිස්සුන්ට උපදෙස් පිළිපදින පුරුද්දක් නැහැ – වෛද්‍ය T.W.W.A ජයරුවන් බණ්ඩාර

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• අපේ මිනිස්සුන්ට උපදෙස් පිළිපදින පුරුද්දක් නැහැ – වෛද්‍ය T.W.W.A ජයරුවන් බණ්ඩාර

• සුනාමියෙන් පසු නැගිට්ටා වගේ – තිස් අවුරුදු යුද්ධය ජයගත්තා වගේ ‘කොරෝනා අභියෝගයත්’ ජාතියක් ලෙස අපට ජයගත හැකියි – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ (විඩියෝ)

• සුවය ලැබු තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු රෝහලෙන් පිටව යයි

• ෆාමසිවලින් ඖෂධ ලබාගැනීමට විශේෂ වැඩපිළිවෙලක්

• අගුළු දැමූ අටුළුගමින් තවත් දෙදෙනෙක් රෝහලට

• අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට වාහන සඳහා බලපත්‍ර ලබා දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

• කටුනායක රැඳී සිටි තවත් සේවකයින් 3000 ක් ගම්බිම් කරා (විඩියෝ)

• නිරෝධායනය වු තවත් 300 ක් නිවස් වෙත (විඩියෝ)

• නිරෝධායන රීතින් උල්ලංඝණය කරන්න එපා – නියෝජ්‍ය පොලිස්පති (විඩියෝ)

• ස්වයං රැකියාවල නිරතවන්නන්ට විශේෂ සහන වැඩපිළිවෙලක් (විඩියෝ)

• කොරෝනාවලින් බේරෙන්න සිවි කාච වෙනුවට ඇස් කණ්ණාඩි පළඳින්න

• කොරෝනාවෙන් විදෙස්ගත ලාංකිකයන් අමාරුවේ.. දහස් ගණන් රැකියා අහිමියි.. ආහාරත් නෑ..

+++++++++++++++++++++++++++++++++++

අපේ මිනිස්සුන්ට උපදෙස් පිළිපදින පුරුද්දක් නැහැ – වෛද්‍ය T.W.W.A ජයරුවන් බණ්ඩාර

(27.03.2020 – dinamina.lk)

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ලෝකය පුරාම ශ්‍රීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මරණ සංඛ්‍යාවද ඉහළ යමින් පවතී. ලෝකය පුරා රෝගීන් 383,008 දෙනකු මේ වන විට මෙම වෛරසය ශරීරගත වූ පුද්ගලයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 100,340 ක් පමණ සුව වී තිබේ. ලෝකයේම පුද්ගල මරණ අද වන විට 16,585 ක් වාර්තා වී තිබේ. ලෝකයෙන් මෙවැනි බිහිසුණු පුවත් වාර්තා වෙද්දි ශ්‍රී ලංකාවේ තත්වයද දිනෙන් දින වාර්තා වන්නේ කොරෝනා රෝගීන් වැඩි වීමේ ප්‍රවණතාවයකි. අද (27) දින වන විට කොවිඩ් 19 වෛරසය ශරීරගත වූ රෝගීන් 102 ක් වාර්තා වන්නේ දිනකට වැඩිවන රෝගීන් ගණන 5,6 ක් බවට පත් වෙමිනි.

ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ගේ කොවිඩ් 19 වෛරසය ශරීරගත වී ඇත්දැයි පරීක්ෂා කරනු ලබන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය මඟිනි. කොවිඩ් 19 වෛරසය සක්‍රීය (positive) වන රෝගීන්ගේ ප්‍රවණතාවය අද වන විට කුමන තත්වයක තිබේද යන්න සහ වෛරසයේ ව්‍යාප්තිය අඩුකර ගැනීම සඳහා රටේ ජනතාව මෙන්ම රජයද වගකීමෙන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) අධ්‍යක්ෂක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා :

වෛද්‍ය T.W.W.A ජයරුවන් බණ්ඩාර (අධ්‍යක්ෂක ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය)

“සාම්පල් පරීක්ෂාව ඉතාම හොඳින් සිදු කෙරෙනවා. කලින් අප සාම්පල් 20 ක් පරීක්ෂා කළාම 5 ක් 6 ක් වගේ තමයි පොසිටිව් වෙන්නෙ. ඒත් අද වන විට සාම්පල් 100 ක් පරීක්ෂා කළාම 4 ක් 5 ක් වගේ පොසිටිව් වෙන්නෙ. කොරෝනා වෛරසය ශරීරගත වූවා යැයි සැක කර රෝහල්ගත කරනු ලබන සියලු දෙනාගෙම මෙම වෛරසය පොසිටිව් වෙන්නෙ නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමඟ සංසන්දනය කළාම අපේ රටේ මේ වෛරසය වේගයෙන් පැතිරෙන්නෙ නැහැ; ඉතාම අඩුවෙන් තමයි ව්‍යාප්ත වෙන්නෙ. දැනට ලංකාව තුළ පනවා ඇති ඇඳිරි නීතිය සහ ජනතාවට බඩු බෙදා දීම දිගටම කරගෙන ගියහොත් අපට මෙය ඉක්මනින් වළක්වා ගැනීමට පුලුවන්. වටේ පිටේ තිබෙන විෂබීජ ටික පහවෙනකම් ජනතාව නිවෙස් තුළටම වී සිටියහොත් විෂබීජ පැතිරීම වළක්වා ගන්න පුලුවන්. දැනට ලංකාවේ හොඳ පාලන තත්වයක් තිබෙනව.

මිනිසුන් වගකීම ගන්න ඕන. මිනිසුන් වගකීම ගන්නෙ නැතුව වැඩ කරන්න ගියොත් මෙය පාලනය කරගන්න බැරිව යනවා. තවමත් කොවිඩ් 19 වෛරසය ශරීරගත රෝගීන් හම්බවෙනව. මිනිසුන් හිතුවක්කාර ලෙස කටයුතු කරන්න ගියොත් මේ තත්වය වැඩි වෙන්න පුලුවන්. එහෙම වුණොත් මේ තත්තවය පාලනය කරගන්න බැහැ. ලෝකයේ අනෙක් රටවල තවමත් මෙම විෂබීජය වේගයෙන් පැතිරෙනවා. අපේ රටේ එහෙම තත්වයක් නැහැ.

අපේ රටේ තියෙන්නෙ මිනිසුන්ගේ ඇඟේ තියෙන focus එකක්. ඒ කියන්නෙ අපේ රටේ මෙම වෛරසය පතුරවන්න ඕන මිනිසුන් විසින්මයි. අපේ රටේ පුද්ගලයෙක් මෙම රෝගය හදාගෙන ඔහු වටා සිටින අනෙක් අයටත් බෝ කළේ නැතිනම් මේ රෝගය බෝ වෙන්න ක්‍රමයක් නැහැ. මෙම වෛරසය පරිසරයේ නැහැ. පිටරටක මේක කොහේ හරි පටන් ගත්තා. ඒ පටන් ගත්තේ මිනිසෙකුගෙන් නෙමෙයි. මේක පටන්ගත්තෙ වවුලන්ගේ මස්වල හරි සර්පයින්ගේ මස් වල වැනි ස්වාභාවික focus එකකින්. මේක weapon එකක් වගේ කොහේ හරි පටන් ගත්තා. ඊට පස්සෙ පාලනයක් නැතුව මිනිසුන් අතර පැතිරුණා.

හතරවටේම පැතිරෙනකම් මිනිසුන් කවුරුත් දැනගෙන හිටියෙ නැහැ මෙය මිනිසුන් අතර පැතිරන ලෙඩක් කියල. මිනිසුන් දහස් ගාණක් ලෙඩවෙලා සිය ගණන් රෝහල් ගත වෙලා මිනිස්සු මැරෙන්න පටන් ගත්තම තමයි මිනිසුන්ට මේකෙ බරපතළකම තේරෙන්න පටන් ගත්තෙ. නොවැම්බර් මාසේ අවසාන සතියේ සිට දෙසැම්බර් මාසෙ ඉවර වෙන කල්ම මෙම රෝගයෙන් මිනිසුන් මරණයට පත්වීම සිදුවුණා.

අපේ රටේ එහෙම දෙයක් නැහැ. අපේ රටේ මෙම රෝගය එනකොටම, ආපු වෙලාවෙම හඳුනා ගත්තා. චීන ජාතික කාන්තාවගෙන් තමයි අපි මෙම රෝගය හඳුනා ගත්තෙ. අපේ රටට මේ ලෙඩේ ආවොත් අපේ රට ඒකට මුහුණ දෙන්නෙ කොහොමද කියන එකට අපට සැලැස්මක් තිබුණා. ගුවන් තොටුපළින් එන අය හොයා ගන්නේ කොහොමද, පිටරට සිට පැමිණෙන පුද්ගලයින් ගුවන් තොටුපළින් හෝ නැව් තොටුපළින් පැමිණිය යුතුයි කියන දේ අප සැලැසුම් කළා. ඒ වගේම චීනයේ සිට එන අය හඳුනාගන්නේ කොහොමද, චීනයේ ඉඳල එන අයගේ පාස්පෝට් එක චෙක් කරනවද යන කාරණා පිලිබඳව අපේ රට විමසිලිමත් වුණා. විදේශවලින් එන අයගේ රට declare කරන්න කියල අපි කිව්වා. එන අයට එම ඉංග්‍රීසි වචනය තේරුම් ගන්න අපහසු වුණා. ඊටපස්සෙ චීන භාෂාවෙන් format හැදුවා.

ජනවාරි මාසෙ 14 වෙනිදා තමයි එහෙම වැඩපිළිවෙළක් සකස් කළේ. ජනවාරි 26 වෙනකොට අපේ රටේ පළවෙනි ජනාධිපති කාර්‍ය සාධක බලකාය රැස් වෙලා ඉවරයි. ජනවාරි 27 වෙනිදා අපේ රටේදී පළමුවන රෝගියා හමුවුණා. එදින තමයි ජනාධිපති කාර්‍ය සාධක බලකායේ දෙවැනි රැස්වීම තිබුණේ. අපි ඒ කාලෙම මේකට සැලසුම් ක්‍රියාත්මක කළා. චීන ජාතිකයින් ගුවන් තොටුපළේ දී උණ බලල පරීක්ෂා කරන්න පුලුවන් උනත් ඔවුන් වැඩපොළට ගියාම පරීක්ෂා කරන්න සැලසුමක් අපි ක්‍රියාත්මක කළා.

හැම චීන ජාතිකයෙක්ම යන්නෙ කුමන වැඩපොළට ද කියල බලල එම ප්‍රදේශයේ ඉන්න MOH හා PHI ට දැනුම් දුන්නා ඔවුනට උණ එනවා දැයි දිනපතා ගොස් පරීක්ෂා කර බලන්න. ඒවගේම කොරෝනා රෝග ලක්ෂණ ඔවුන් තුළ දකින්නට ලැබෙනවා දැයි පරීක්ෂා කර බලන්න අප එම නිලධාරීන්ට දැනුම් දුන්නා.ගුවන් තොටුපළේදී පරීක්ෂා කර බැලීමෙන් මෙන්ම උණ රෝගියෙකු හමු වීමෙන් කළ යුත්තේ කුමක් ද කියාත් අපි සැලසුම් කළා.

මේ අතරේදී තමයි චීන ජාතික කාන්තාව හඳුනා ගැනීම සිදු වුණේ සහ ඇය වහාම IDH උණ රෝහලේ රෝහල් ගත කළේ. ඉන්පසු ඇය සමඟ විනෝද චාරිකා ගිය අය, ඇය සමඟ හොටෙල් වල නතර වී සිටි අය මෙන්ම ඇයට මඟපෙනවපු අය සියලු දෙනාම අප MOH සහ PHI ලවා පරීක්ෂා කර බැලුවා. එයාලවත් රෝහල් ගත කර පරීක්ෂා කළා. එයාලට එම රෝගය නොමැති නිසා ඔවුන් නිවෙස් වලට යැවුවා. මෙවැනි ක්‍රියාවලියක් තිබුණ නිසා අපට එකින් එක පුද්ගලයින් හඳුනා ගැනීමට හැකි වුණා. මේ අතරෙදී ඉතාලි ජාතික සංචාරක පිරිසක් සමඟ සිටි ශ්‍රී ලාංකික මඟපෙන්වන්නෙකුට උණ රෝගය වැලඳුණා.

එම පුද්ගලයාට කැස්ස හැදිල එය සුව නොවීම නිසා ප්‍රතිකාර සඳාහ පැමිණ සිටියා. ඔහු සොයාගත්තේ ඒ අකාරයට.ඔහු මේ රටේ දෙවැනි රෝගියා. තුන්වැනි රෝගියා තමයි ඔහු සමඟ සිටි මැණික් ව්‍යාපරිකයා. ඉතාලියේ සිට මිනිසුන් එන්න පටන් ගත්තේ මොවුන්ට ප්‍රතිකාර කරන අතරතුර ඒ පැමිණි මිනිසුන් ගෙන ආ විෂබීජ තමයි මෙතරම් දුර පැතිර ගියේ. චීනේ වුහාන්වලයි විෂබීජ බෝම්බය තිබුණේ. අපේ රටට ආවේ විෂබීජ පුරවාගත්ත බෝම්බ. ඒ විෂබීජ තමන්ගේ ගෙදර අයට, නෑදැයින්ට සහ ඔවුන් යන යන තැන් වල අයට බෝ කළා. ඒ මිනිස්සු කරපු දේ තමයි අපේ රටේ මේ තරම් පැතිරුණේ .

අපේ රටේ මිනිසුන් කියන දේ අහන්නෙ නැහැ. ඒ නිසා තමයි ඇඳිරි නීතිය දාලා ගෙවල් වලම ඉන්න කියල කියන්නෙ. මම යෝජනා කළා ඇඳිරි නීතිය දිගටම දාලා මිනිසුනට ගෙවල් වලට බඩු බෙදාහරින්න කියල. මෙය ජනාධිපතිතුමත් අගමැතිත්මත් දන්නව බැසිල් රාජපක්ෂ මහත්තය මෙය ක්‍රියාත්මක කිරීම සඳාහා food city (සුපිරි වෙළඳසැල්) වල කණ්ඩායම් සහ හමුදා නිලධාරීන් දීලා තිබෙනව. food city එකේ නිලධාරියෙකුට හමුදා නිලධාරියෙක් සමඟ ගමට යන්න කියල.මේ වෙලාවේ 50% අඩුවට දුන්නත් රජයට පාඩු නැහැ. මේ ලෙඩේ පාලනය කරන්න යන මුදලට වඩා වැඩි මුදලක් මේ නිසා රටට ඉතුරු වෙනව. food city වලට කීයක් හරි ගෙවල මේ වැඩේ කරත් කමක් නෑ. මිනිසුන්ට වගකීමක් තිබෙනව.

මම අනාරක්ෂිතව හැසිරුණොත් මට බෝවෙන්න පුලුවන්. ආරක්ෂිතව හැසිරෙන ක්‍රම ගැන මාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කරනවා. ඒවා අනුගමනය කර ආරක්ෂිත පියවර අරගෙන ජීවත් වීම මිනිසුන්ගේ වගකීමයි. ගුවන් තොටුපළේදී හොරෙන් පැන ගිය අය කළේ ඉතාම නරක වැඩක්. ඒ අය හොරෙන් පැන ගිහින් ලෙඩේ තමන්ගේ බිරියට, දරුවන්ට, හැමෝටම බෝ කළා. අන්තිමට තමන්ගේ පවුලත් අමාරුවේ රටත් අමාරුවේ. එම නිසා මිනිසුන්ගේ ඇඟේ තිබෙන විෂබීජ මර්දනය කරගත හොත් මෙම රෝගය එතැනින් සුව කරගත හැකියි. නිරෝධානයෙන් මෙය සනීප කළ හැකියි.

කොරෝනා රෝගීන් සඳාහා මුලින්ම අයි.ඩී.එචි. රෝහල පමණක් වෙන්කර තිබුණද අදවන විට ලංකාවේ රෝහල් 18 ක් ඒ සඳාහා වෙන්කොට තිබේ. මුල්ලේරියාව රෝහල, හෝමාගම රෝහල ද ඇතුළුව ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල ශික්ෂණ රෝහල්ද මේ සඳහා සූදානම් කර තිබේ. ඒ අතරම මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මාතෘ අංශය කොරෝනා වෛරසය ශරීරගත වූ බවට සැක සහිත ගැබිනි මවුවරුන් සඳාහා වෙන් කොට තිබේ. අප රටේ ජනතාව මෙම රෝගය සඳහා බියක් දැක්විය යුතු නැත. මන් ද ලංකාවේ කොවිඩ් 19 අසාදිත පළමු රෝගියා වන සංචාරක මඟපෙන්වන්නා අද උදෑසන වන විට සුව වී රෝහලින් පිටව ගොස් ඇති බැවිනි. නමුත් අප පරෙස්සම් විය යුතුය. මෙය ජාතික ව්‍යසනයකි.

මෙම ජාතික ව්‍යවසනයෙන් රට මුදවා ගැනීම සඳහා අප රටේ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙන්ම යුද හමුදා නිලධාරීන් ඇතුළු යුද හමුදා සෙබළුන් ද දෙවිවරු මෙන් ක්‍රියා කරති.

ගරු ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ද අප්‍රතිහත ධෛර්යය මෙන්ම රට වෙනුවෙන් නොබියව ගන්නා තීරණ නිසාද මෙම වසංගතයෙන් මිදීමට අප රටට හැකිවනු ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලු පක්ෂවල නායකයින් සඳහා විශේෂ රැස්වීමක් කැඳවනු ලැබුවේ කොරෝනා වෛරසය සම්බන්ධව සාකච්ඡාවක් සඳාහාය. රජයක් ලෙස ගනු ලබන පියවර වලට ජනතාව 100% ක්ම අනුග්‍රහය දක්වන්නේ නම් සහ සෞඛ්‍ය අංශ මාධ්‍ය මඟින් කරනු ලබන දැනුවත් කිරීමේ එලෙසෙම පිළිපැදීමේන් ද අපට කොවිඩ් 19 පරාජය කළ හැකිය.”

සටහන – චතුමි පිටිපන
ඡයාරූපය – රොෂාන් පිටිපන

+++++++++++++++++++++++++++++++++++

සුනාමියෙන් පසු නැගිට්ටා වගේ – තිස් අවුරුදු යුද්ධය ජයගත්තා වගේ ‘කොරෝනා අභියෝගයත්’ ජාතියක් ලෙස අපට ජයගත හැකියි – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

(27.03.2020 – 10:25 +0530 – lankaleadnews.com)

+++++++++++++++++++++++++++++++++++

සුවය ලැබු තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු රෝහලෙන් පිටව යයි

(28.03.2020 – 12:39 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සුවය ලබා තිබේ.

මේ අතර අද (28) පෙරවරු 10:00 ට යාවත්කාලීන වූ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ දෛනික වාර්තාවට අනුව මෙරටින් කිසිදු කොරෝනා වෛරස් ආසාදිතයෙකු හමු වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මෙතෙක් රෝගීන් 106 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් නව දෙනෙකු සුවය ලබා තිබේ.

ප්‍රතිකාර ලබන 97 දෙනාගෙන් 87 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ද නව දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේ ද එක් අයෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ද ප්‍රතිකාර ලබයි.

වෛද්‍ය අධීක්ෂණය යටතේ දිවයිනේ රෝහල් කිහිපයක අද (28) පෙරවරු 10:00 වන විට පුද්ගලයන් 109 දෙනෙකු සැකපිට රදවා තබා ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම අගය 25 කි.

කළුතර දිස්ත්‍රික්කයෙන් 15 දෙනෙකු ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් 10 දෙනෙකු ද පුත්තලම දිස්ත්‍රික්කයෙන් 09 දෙනෙකු ද වාර්තා වෙයි.

මේ අතර ඊයේ (27) සම්පූර්ණයෙන් වසා දැමුණු බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරිය ද රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

ෆාමසිවලින් ඖෂධ ලබාගැනීමට විශේෂ වැඩපිළිවෙලක්

(28.03.2020 – 12:23 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවල දී ෆාමසිවලින් ඖෂධ ලබාගැනීමට අවශ්‍ය රෝගීන්ට බෙහෙත් වට්ටෝරුව ජංගම දුරකථනයේ යෙදවුම් හරහා ඇණවුම් කිරීමේ වැඩපිළිවෙලක් රජය විසින් සකස් කර තිබේ.

වට්ස් ඇප්, වයිබර්, ඊමෝ, තාක්ෂණය ඔස්සේ බෙහෙත් වට්ටෝරුව අදාළ ෆාමසි වෙත යොමුකළ හැකියි.

එම බෙහෙත් වට්ටෝරුවට අදාළ ඖෂධ ෆාමසිය මගින් නිවෙස් වෙත බෙදාහැරිමට අවස්ථාව ලබාදෙන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේය.

යම් රෝගී තැනැත්තෙකුට ජංගම දුරකථනය මගින් ෆාමසි සම්බන්ධ කරගැනීමට නොහැකි අවස්ථාවල දී පොලිස් ස්ථානාධිපතිවරුන් ඇමතීම මගින් අවශ්‍ය සම්බන්ධීකරණය සිදුකර ගත හැකි වෙයි.

මේ අතර රජයේ රෝහල්වලින් සායනික ප්‍රතිකාර ලබාගන්නා මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගීන් වෙත ඖෂධ ලබාදීම සදහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමග ඒකාබද්ධ වැඩසටහනක් ද සකස් කර තිබේ.

එම ඖෂධ ලබාගැනීමට අදාළ රෝගියාගේ දුරකථන අංකය සහ රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය ලබාදිය යුතු වෙයි.

රෝහල වෙත තොරතුරු සැපයීමේ දී ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරියාගේ හෝ ග්‍රාම නිලධාරියාගේ සහය ලබාගැනීම සුදුසු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

තමන් ඖෂධ ලබාගන්නා රෝහලට ඇමතුමක් ලබාදිමෙන් තොරතුරු යාවත්කාලීන කළ හැකි බවයි ඔහු සඳහන් කළේය.

රෝහල් කාර්යය මණ්ඩලය එම පුද්ගලයාට අදාළ ඖෂධ පැකැට්ටුව ලියුම් බෙදන නිලධාරියා මගින් ගෙනවිත් දීමට නියමිතයි ෴

+++++++++++++++++++++++++++++++++++

අගුළු දැමූ අටුළුගමින් තවත් දෙදෙනෙක් රෝහලට

(28.03.2020 – 11:28 +0530 – truenews.lk)

කොවිඩ් 19 වෛරසයේ අවදානම හේතුවෙන් වසා දැමුණු කළුතර අටුළුගම ගම්මානයේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. ඒ කොවිඩ් 19 වෛසරය ආසාදනය වී ඇති බවට වූ සැකය මතයි.

මෙසේ රෝහල්ගත කර තිබෙන්නේ වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති පුද්ගලයාගේ පියා සහ සහෝදරියක බවයි වාර්තා වන්නේ.

මෙම දෙදෙනා සුවසැරිය ගිලන් රථ සේවය මගින් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

අදාල පුද්ගලයා ඩුබායිහි සිට මෙරටට පැමිණීමෙන් අනතුරුව දින 06 ක පමණ කාලයක් නිවසේ සිට ඇති අතර ඉන්පසු ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය. ඒ වනවිට ඔහු ගමපුරා සංචාරය කර තිබූ හෙයින් එම ගම්මානය සම්පූර්ණයෙන් වසා තැබීමට ඊයේ (27) පොලීසිය පියවර ගෙන තිබිණි ෴

+++++++++++++++++++++++++++++++++++

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට වාහන සඳහා බලපත්‍ර ලබා දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

(28.03.2020 – 11:27 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීති සමය තුළ එළවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනිං වෙළෙඳපල ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සදහා අවශ්‍ය අවසර ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන් වෙත ලබාදීම සදහා ක්‍රියාත්මක වැඩපිළිවෙල විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා එම ක්‍රියාමාර්ගය ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත.

එසේම ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී සිදුවන අපහසුතා සහ අවහිරතා පිළිබඳ අග්‍රාමාත්‍යවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානය යොමුකර තිබේ.

කෙසේවුව ද ඇඳිරි නීති සමය තුළ ඇදිරි නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත්තේ.

මාරාන්තික කොරෝනා වෛරසය මැඩලීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දක්වන ලෙස අග්‍රාමාත්‍යවරයා මහජනතාවගෙන් ද ඉල්ලීමක් කර තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

කටුනායක රැඳී සිටි තවත් සේවකයින් 3000 ක් ගම්බිම් කරා

(28.03.2020 – 10:37 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය හේතුවෙන් නිවෙස් බලායාමට නොහැකිව කටුනායක අපනයන සැකසුම් කලාපයේ රැඳී සිටි සේවක සේවිකාවන් 3000 ක පමණ පිරිසක් ඔවුන්ගේ ගම්බිම් කරා පිටත්කර යැවීමට ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් අදත් කටයුතු ආරම්භ කර තිබේ.

ඊයේ දිනයේදී කටුනායක අපනයන සැකසුම් කලාපයේ සේවකයින් 5000 කට අධික පිරිසක් බස් රථ 150 ක් මඟින් සිය ගම්බිම් බලා පිටත් කෙරුණි.

යද හමුදා 14 වන සේනාංකයේ සේනාංකාධිපති ජනරල් ඒ.එස් ආරියසිංහ මහතා මෙහිදී පවසා සිටියේ මෙලෙස පිටවන පුද්ගලයින් යුද හමුදාවේ වෛද්‍ය මණ්ඩලයක් විසින් පරීක්ෂා කරන බවයි.

එලෙස පරික්ෂා කිරීමෙන් පසු යුද හමුදා විෂේශ ආරක්ෂාවක් යටතේ මෙම පිරිස ගම් බම් කරා පිටත් කරන බව යද හමුදා 14 වන සේනාංකයේ සේනාංකාධිපති ජනරල් ඒ.එස් ආරියසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායනය වු තවත් 300 ක් නිවස් වෙත

(28.03.2020 – 10:18 +0530 – sinhala.adaderana.lk)

විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකර සිටි තවත් 300 ක පමණ පිරිසක් අද (28) සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.

පුනානි, කන්දකාඩු සහ වව්නියාව නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වූ පිරිසක් ඒ අතර වන බව වාර්තා වෙයි.

ඒ අනුව පුනානි මධ්‍යස්ථානයෙන් 78 දෙනෙකු ද කන්දකාඩු මධ්‍යස්ථානයෙන් 61 දෙනෙකු සහ වව්නියාව මධ්‍යස්ථානයෙන් 167 දෙනෙකු පිටත්ව ගිය බවයි අද දෙරණ වාර්තාකරුවන් සදහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායන රීතින් උල්ලංඝණය කරන්න එපා – නියෝජ්‍ය පොලිස්පති

(28.03.2020 – 09:18 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයතුළ නම්කරන ලද අත්‍යවශය සේවා කණ්ඩායම්වලට පමණක් සිය ආයතනික හැඳුනුම්පත ඉදිරිපත් කර මාර්ගයේ ගමන් කිරීමට හැකියාව පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අද (28) පෙරවරුවේ ‘අද දෙරණ’ට අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඇඳිරි නීතිය අවසර පත් යම් ආකාරයකට අවභාවිතා කිරීම සිදු නොවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

මේ අතර පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බයත් ඔවුන්ට පොලිස් ඇප ලබා නොදෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

ස්වයං රැකියාවල නිරතවන්නන්ට විශේෂ සහන වැඩපිළිවෙලක්

(28.03.2020 – 08:52 +0530 – sinhala.adaderana.lk)

කුඩා තේවතු හිමියන් සහ ස්වයං රැකියාවල නිරතවන්නන් සඳහා ඉදිරි දින කිහිපය තුළ විශේෂ සහන වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, නියගයෙන් හානියට පත් වගාවන් සඳහා පැළ ලබා දීම සහ සහන ණය වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවයි.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනාවලින් බේරෙන්න සිවි කාච වෙනුවට ඇස් කණ්ණාඩි පළඳින්න

(28.03.2020 – 09:32 +0530 – truenews.lk)

කොවිඩ් – 19 වයිරසය ආසාදනයෙන් වැළැකීම සඳහා ඇස්වලට පලඳින සිවි කාච ඉවත් කොට ඇස් කණ්ණාඩි පලඳින ලෙසට ඇමෙරිකානු අක්ෂි වෛද්‍ය සංගමය ප්‍රකාශ කරනවා.

ඇමෙරිකානු අක්ෂි වෛද්‍ය සංගමය වෙනුවෙන් මෙම ප්‍රකාශය කර ඇත්තේ තෝමස් ස්ටෙයින්මාන් නමැති ඔහියො ප්‍රාන්තයේ මෙට්රෝ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන අක්ෂි වෛද්‍යවරයා ලෙස සේවයේ නියුතු වෛද්‍යවරයෙකි.

ඇස්වලට සිවි කාච පලඳින පුද්ගලයන් කාච පලඳින හා ගලවන අවස්ථාවන්හිදී ඇස් හා මුහුණ අල්ලන බවත් ඇස් හරහා ඕනෑම වයිරසයක් පහසුවෙන් ශරීර ගතවන බවත් ඔහු පෙන්වා දෙනවා.

එසේම ඇතමුන් සිවි කාච පැලඳීමට පළමුව හොඳින් අත් සෝදා ගැනීම නොකරන බව කියන වෛද්‍ය ස්ටෙයින්මාන් සිවි කාච පලඳින පුද්ගලයන් කණ්ණාඩි පලඳින පුද්ගලයන්ට වඩා වැඩි වාර ගණනක් මුහුණ හා ඇස් අතපත ගාන බවද පෙන්වා දෙනවා.

එසේ හෙයින් ඇස්වලින්ද ශරීර ගත විය හැකි කොවිඩ්-19 වයිරසයෙන් බේරීම සඳහා සිවි කාච වෙනුවට කණ්ණාඩි පැලඳීම වඩා යෝග්‍ය බව ඔහු පෙන්වා දෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනාවෙන් විදෙස්ගත ලාංකිකයන් අමාරුවේ.. දහස් ගණන් රැකියා අහිමියි.. ආහාරත් නෑ..

(28.03.2020 – 13:20 +0530 – lankacnews.com)

ලොව පුරා රටවල් ගණනාවකට ඇතිවී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඒවායේ සිටින කරන ශ්‍රී ලාංකිකයන් බලවත් ලෙස අසීරුතාවයට පත්ව සිටි.

බොහෝ දෙනෙකුට රැකියා, ආදායම් මාර්ග අහිමි වී ඇත.

එමෙන්ම විදේශයන්හි ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ද නවාතැන් ස්ථාන වල කුලී පවා ගෙවා ගත නොහැකි තත්වයට පත්ව සිටින අතර ආහාරපාන ලබා ගැනීමේදී අර්බුදකාරී තත්ත්වයනට පත්ව ඇති බව වාර්තා වෙයි.

ලොව බොහෝ රටවල් ගුවන් ගමන් නවතා ඇති ඇති අතර රටවලට ඇතුළුවීම පිටවීම තහනම් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා රජය දැනුම් දී ඇත්තේ මෙරට තුල කොරෝනා තත්ත්වය පාලනය කරන තෙක් දැනට සිටින රටවල සිටිනා ලෙසයි.

තත්ත්වය පාලනය කළ පසු මෙරටට ගැනීම ගැන සලකා බලන බවද ශ්‍රී ලංකා රජය නිවේදනය කර ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *