කොරෝනා ආසාදනය වූ තවත් තුන්දෙනෙකු මෙරටින් හඳුනා ගැනේ – රෝගීන් සංඛ්‍යාව 109 ක් දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොරෝනා ආසාදනය වූ තවත් තුන්දෙනෙකු මෙරටින් හඳුනා ගැනේ – රෝගීන් සංඛ්‍යාව 109 ක් දක්වා ඉහළට

• කොවිඩ් නයින්ටීන් ආසාදිත රෝගීන්ට ප්‍රතිඵලදායක ඖෂධයක් ?

• මාර්ග බාධක රාජකාරියට ත්‍රිවිධ හමුදාවත් යොදවයි (විඩියෝ)

• නිරෝධායනය අවසන් කළ පස්වන කණ්ඩායම (විඩියෝ)

• අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්යා සාදක බලකායේ දුරකථන අංක

• ශ්‍රී ලංකා‍වේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි (විඩියෝ)

• මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 113 දක්වා ඉහළට

• කොරෝනා නිසා මීගමුව බන්ධනාරයේ රැදවියන් 175 කට නිදහස

• කොවිඩ් 19 ගැන සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර කළ අයෙක් CID අත්අඩංගුවට

• කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලාංකිකයෙකු ලන්ඩනයේදී මරුට

• ජීවන ගමනින් සමුගත් දියණිය බැලීමට වත් නොපැමිණ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින ශ්‍රේෂ්ඨ පියෙක්

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදනය වූ තවත් තුන්දෙනෙකු මෙරටින් හඳුනා ගැනේ – රෝගීන් සංඛ්‍යාව 109 ක් දක්වා ඉහළට

(28.03.2020 – 15:03 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් තුන්දෙනෙකු (03) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව, කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 109 දෙනෙකු මෙරටින් වාර්තා වන අතර, ඔවුන්ගෙන් 9 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් අනතුරුව පිටව ගොස් තිබෙනවා.

තවත් කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයින් 199 දෙනෙකු දිවයිනේ රෝහල් 21 ක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

මේ අතර, ලොව පුරා කොරෝනා ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද (28) හය (06) ලක්ෂය ඉක්මවූවා.

කොරෝනා මරණ 27,438 ක් ලොව පුරා වාර්තා වන අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. එම සංඛ්‍යාව 9134 ක්.

ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 65,719 ක් වාර්තා වන අතර, එහි මරණ සංඛ්‍යාව 5138 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

1,04,256 ක් වන වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වනවා.

මේ අතර, කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ වැඩපිළිවෙල යටතේ ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමේ වැඩපිළිවෙල සම්බන්ධීකරණය ඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඊට සාමාජිකයින් 40 දෙනෙකු අයත් වන අතර, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, එහි සභාපතිවරයා සහ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙසයි පත් කර ඇත්තේ.

ලේකම්වරයා ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතා නම් කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ් නයින්ටීන් ආසාදිත රෝගීන්ට ප්‍රතිඵලදායක ඖෂධයක් ?

(28.03.2020 – 13:47 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත රෝගීන්ට සිත්‍රොමැක්ස් නැමති ඖෂධය යහපත් ප්‍රතිඵල ලබාදී ඇතැයි එම ඖෂධ නිෂ්පාදනය කරන බහුජාතික සමාගම පවසනවා.

ජෛව රසායනික ඖෂධ සම්බන්ධයෙන් විශේෂඥතාවක් ලබා ඇති එම සමාගම පෙන්වා දෙන්නේ ඇසිත්‍රොමයිසින් ඖෂධය අඩංගු සිත්‍රොමැක්ස්, මැලේරියා රෝගය සඳහා ලබාදෙන හයිඩ්‍රොක්සික්ලොරොක්වින් සමඟ මිශ්‍ර කොට ලබාදීමෙන් එම ප්‍රතිඵලය ඉහළ ගොස් ඇති බවයි.

එම ඖෂධය රෝගීන්ට ලබාදීමේ පරීක්ෂණය ප්‍රංශයේදී සිදුකර තිබෙනවා.

මෙම ඖෂධ මිශ්‍රණය අප්‍රිකාවේ මැලේරියා මර්දනය සඳහා ද සාර්ථක ලෙස යොදාගනු ලැබූවක් බව සඳහන් ෴

+++++++++++++++++++++++++++++++++++

මාර්ග බාධක රාජකාරියට ත්‍රිවිධ හමුදාවත් යොදවයි

(28.03.2020 – 13:13 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය උල්ලංගණය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ක්‍රියාත්මක කරන මාර්ග බාධක වැටලීම් සඳහා අද සිට ත්‍රිවිධ හමුදාව ද යොදවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පොලීසියේ රාජකාරී සඳහා සහය වීම පිණිස මෙම පියවර ගෙන ඇති බවයි.

මේ අතර, කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය ගෙන ගිය නිරෝධයන ක්‍රියාවලිය යටතේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම මගින් ඖෂධ අලෙවිසැල් විවෘත කරන ලෙසට අවසර ලබාදීමත් සමඟ ජනතාව එය අවභාවිතා කිරීම නිසා දැඩි නීති ඔස්සේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ හිරු ටී.වී. ඔස්සේ අද (28) පෙරවරුවේ විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහන සමඟ එක්වෙමින්.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ වාණිජ බැංකු, රක්ෂණ සේවා, මහා භාණ්ඩාගාරය සහ මහබැංකුව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමත් සමඟ එම ආයතනවල සේවකයන්ට සිය ආයතනික හැඳුනුම්පත භාවිත කර සේවයට වාර්තා කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

එසේම ආයතනික හැඳුනුම්පත් නොමැති සේවකයන්ට අදාළ ආයතනයේ ප්‍රධානීන් විසින් නිකුත් කළ විශේෂ අවසර පත්‍රයක් ළඟ තබා ගැනීමෙන් සේවයට වාර්තා කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර, කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක නිරෝධායන ක්‍රියාවලිය යටතේ පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් පවත්වාගෙන යාම පිළිබද තීරණය මහජනතාව සතු බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (28) පෙරවරුවේ ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහන සමඟ එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියේ.

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායනය අවසන් කළ පස්වන කණ්ඩායම

(28.03.2020 – 13:58 +0530 – sinhala.adaderana.lk)

මේ අතර නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පස්වැනි කණ්ඩායම අද සිය නිවෙස් බලා පිටව ගියේය.

ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට පැමිණ 60 දෙනෙකුගෙන් සමන්විත එම පිරිස රඳවා සිටියේ පොළොන්නරුව වැලිකන්ද ගල්කන්ද යුද හමුදා ගොවිපල මධ්‍යස්ථානයේයි.

මේ අතර පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 78 දෙනෙකු ද අද පිටව ගියේය.

ඒ අතර සිටි කුඩා දරුවන් යුද හමුදා නිලධාරීන්ට තුති පුදා ඔවුන්ගේ රුව සිතුවමට නඟා තිබූ අතර නිලධාරීන්ට කෘතවේදී වෙමින් සටහන් ද ලියා තිබුණි.

ඉන් එකක සඳහන් වුයේ ‘රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා.. යෝධ බල වෙර වීරිය ලැබගෙන මව්බිමට මගෙ වාසනා.. විපුල වීරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා… ආයු රක්ඛන්තු ආවඩා..’ යන්නයි.

මේ අතර යුරෝපානු හා මැදපෙරදිග රටවලින් පැමිණ වව්නියාව පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙ රැඳි සිටි 167 දෙනෙකු අද නිවෙස් බලා පිටව ගියේය.

එළෙස පිටව ගියේ ගාල්ල, මාතර, හලාවත, පුත්තලම හා මීගමුව ආදී ප්‍රදේශවල පිරිසකි.

මෙරට නගර සහ පොදු ස්ථාන රැසක් විෂබීජහරණය කිරීම දැනටමත් ආරම්භ කර තිබෙන අතර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල අද විෂබීජහරණයට ලක් කළේය.

+++++++++++++++++++++++++++++++++++

අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්යා සාදක බලකායේ දුරකථන අංක

(28.03.2020 – 15:35 +0530 – sinhala.adaderana.lk)

අත්‍යාවශ්‍ය මහජන සේවාන් සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසුවිපරම් කිරීම පිණිස වූ ජනාධිපති කාර්යා සාදක බලකා මෙහෙයුම් මධ්‍යස්ථානය අරලිය ගහ මන්දිරයේදී ස්ථාපිත කර ඇත.

පහත සඳහන් දුරකථන අංක මිගින් ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ ජනතාවට සම්බන්ධ විය හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

දුරකථන අංක :- 011 435 4854 , 011 473 3600

සෘජු දුරකථන අංක :-
011 345 6200 , 011 345 6201 , 011 345 6202 , 011 345 6203 , 011 345 6204

ෆැක්ස් අංක :- 011 233 3066 , 011 435 4882

ඊමේල් ලිපිනය : ptf@pmoffice.gov.lk

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකා‍වේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

(28.03.2020 – 20:04 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද වාර්තා වුණි.

මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (28) පස්වරුවේ මියගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියා රෝගයෙන්ද පෙළුණු පුද්ගලයෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 113 දක්වා ඉහළට

(28.03.2020 – 21:04 +0530 – sinhala.adaderana.lk)

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු (03) හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 113 ක් දක්වා ඉහළ ගොස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද (28) පස්වරුවේ වාර්තා වුණි.

මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ මියගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් ද පෙළුණු පුද්ගලයෙකු බවෙ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මේ වන විට මෙරටින් හඳුනාගැනුණු කොරෝනා ආසාදිතයන් ගණන 113 කි.

මෙරටදී කොරෝනා වැළඳුණු පළමු ආසාදිතයා ඉකුත් මාර්තු 11 වැනිදා හඳුනාගැනුණු අතර අද (28) පස්වරු 04:30 වන විට නව කොරෝනා ආසාදිතයන් 113 දෙනකු හඳුනාගෙන තිබුණි.

මෙලෙස හඳුනාගැනුණු ආසාදිතයන් අතුරින් දෙදෙනකු පූර්ණ සුවය ලබා අද (28) අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් සහ වැලිකන්ද මූලික රෝහලෙන් පිටව ගියේය.

ඒ අනුව මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති ගණන 09 කි.

තවත් 100 දෙනකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ඊයේ (27) වන විට රෝහල් 21 ක , සැක මත වෛද්‍ය අධීක්ෂණය යටතේ 238 දෙනකු සිටි නමුත් ඉන් 39 දෙනකු අද (28) දින පිටව යාමත් සමඟ වෛද්‍ය අධීක්ෂණය යටතේ රැඳී සිටින ගණන 199 දක්වා අඩු වී තිබේ.

මේ වන විට රෝහල්ගතව සිටින ආසාදිතයන් 98 දෙනා අතුරින් රෝගීන් 87 දෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේත් , තවත් 09 දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේත් , එක් රෝගීයකු මුල්ලේරියාව මුලික රෝහලෙත් ප්‍රතිකාර ලබයි ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා නිසා මීගමුව බන්ධනාරයේ රැදවියන් 175 කට නිදහස

(28.03.2020 – 21:58 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය ව්‍යප්තිය සමඟ මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් 175 දෙනෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලිහිල් ඇප කොන්දේසි මත මුදාහැරීමට කටයුතු කර ති‍බේ.

ඒ අනුව රැදවියන් 51 දෙනෙකු අද (28) දින මීගමුව බන්ධනාගාර අධිකාරී ආර්.ඩබ්ලිව්.යූ.ඩී.ඒ. සම්පායෝ මහතාගේ අධීක්ෂණය යටතේ නිදහස් විය.

එලෙස මුදාහැරුණු රැදවියන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන නිසා අදාල පොලිස් ස්ථානයන් වෙත භාරදී ඔවුන්ට නිවෙස් බලා යාමට අවස්ථාව ද මීගමුව බන්ධනාගාර අධිකාරීවරයා විසින් සලසා තිබේ.

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ් 19 ගැන සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර කළ අයෙක් CID අත්අඩංගුවට

(28.03.2020 – 21:53 +0530 – sinhala.adaderana.lk)

සමාජ මාධ්‍ය ජාලා හරහා කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන ලද පුද්ගලයෙකු කුරුණෑගල පොලිස් වසමේ උහුමීය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (28) රාත්‍රී 08:45 ට පමණ අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වසය අවුරුදු 38 ක් වන ‘ශ්‍රී මහාවිහාර පාර, කළුබෝවිල’ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව අනාවණය වී තිබේ.

සැකකරු හෙට (29) අළුත්කඩේ අංක 01 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලාංකිකයෙකු ලන්ඩනයේදී මරුට

(28.03.2020 – 23:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ලන්ඩනයේදී මියගොස් තිබෙනවා.

මහරගම වත්තෙගෙදර ප්‍රදේශයේ වයස අවුරුදු 55 ක් වන ලක්ෂේන් විජේරත්න නම් ඔහු ලන්ඩනයේ ෆෙල්තම්හි පදිංචිව සිට ඇති බවයි වාර්තා වන්නේ.

දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන ඔහු කොරෝනා වෛරසය ආසාදනයෙන් පසු දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

ලන්ඩනයේදී මියගිය ලක්ෂේන් විජේරත්න මහතා

මේ අතර පසුගියදා ස්විට්සර්ලන්තයේදී කොරෝනා වෛරසය ආසාදනයෙන් 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මරණයට පත්වුනා. වෛරසය ආසාදනයෙන් මියගිය පළමු ශ්‍රී ලාංකිකයා ද ඔහුයි. ඔහු යාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

+++++++++++++++++++++++++++++++++++

ජීවන ගමනින් සමුගත් දියණිය බැලීමට වත් නොපැමිණ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින ශ්‍රේෂ්ඨ පියෙක්

(28.03.2020 – 21:43 +0530 – hirunews.lk/sinhala)

විදෙස් ගතව සිට මෙරටට පැමිණි පිරිස් සහ සංචාරකයන් ඇසුරු කළ අය නිරෝධායනයට ලක්විය යුතු බවට බලධාරීන් කොතෙකුත් දැනුවත් කළත් අදටත් ඇතැම් පිරිසක් සැඟව සිටිනනවා.

ඒ රටේත් ජාතියෙත් අනාගතයට ආදරයක් නොමැති මිනිසුන් ලෙසින්.

නමුත් තමන්ගේ යුතුකම අකුරටම කළ ශ්‍රේෂ්ඨ පියෙක් පිළිබඳවයි මේ කතාව.

අවිස්සාවේල්ල ඇස්වත්ත ප්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් සංචාරක බස් රථ රියදුරෙකු වන නිරෝෂ් මංජුල මහතා පසුගිය 24 වෙනිදා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙනවා.

ඒ සිය නිවස අසළ පිහිටි ඔහුට අයත් තවත් නිවසකදීයි.

මේ අතරතුර ඊයේ (27) දිනයේදී ඔහුගේ වැඩිමහල් දියණිය හදිසියේ ජීවන ගමනෙන් සමුගත්තේ අසනීප තත්ත්වයක් හේතුවෙන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *