වට්ස්ඇප්, වයිබර් හෝ ඉමෝ හරහා ඖෂධ ඇනවුම් කළ නොහැකි පුද්ගලයින්ට වෙනත් ක්‍රමයක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• වට්ස්ඇප්, වයිබර් හෝ ඉමෝ හරහා ඖෂධ ඇනවුම් කළ නොහැකි පුද්ගලයින්ට වෙනත් ක්‍රමයක් (විඩියෝ)

• නිරෝධායනය අවසන් කළ 309 ක් නිවෙස්වලට (විඩියෝ)

• covid-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට දළදා මාළිගාවෙන් සහ මල්වතු අස්ගිරි උභය විහාරයෙන් රුපියල් කෝටි දෙකක පරිත්‍යාගයක් (විඩියෝ)

• ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 5386 ක් අත්අඩංගුවට (විඩියෝ)

• කළුතර නගරයේ ගමන් කරමින් සිටි රුසියානු ජාතික යුවල ස්වයං නිරෝධායනයට

• අටළුගම කොරෝනා ආසාදිතයා සමඟ සබඳතා පැවැත් වු 26 ක් නිරෝධායන මධ්‍යස්ථානයකට

• කොරෝනා රෝගීන්ට රොබෝ තාක්ෂණයෙන් කෑම

• කොරෝනා වෛරසය පැරදවීමට වෙර දරන සෞඛ්‍ය අංශය වෙනුවෙන් ඇට්ලස් සමාගම රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කරයි (විඩියෝ)

• බොරු කියා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වු රෝගියෙක් හේතුවෙන් රෝහල විෂබීජහරණයට

• ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාර කටයුතු අඩාලවෙයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

වට්ස්ඇප්, වයිබර් හෝ ඉමෝ හරහා ඖෂධ ඇනවුම් කළ නොහැකි පුද්ගලයින්ට වෙනත් ක්‍රමයක්

(28.03.2020 – 21:36 +0530 – hirunews.lk/sinhala)

වට්ස්ඇප්, වයිබර් හෝ ඉමෝ හරහා ඖෂධ ඇනවුම් කළ නොහැකි පුද්ගලයින්ට අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා අමතා ඖෂධහලක් සම්බන්ධ කර ගැනීමේ ක්‍රමයක් හඳුන්වා දීමට වැඩබලන පොලිස්පතිවරයා පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ (27) නිවේදනය කළ පරිදි රජයේ ඔසුසැල් පමණක් විවෘතව තැබීමට නියෝග කෙරුණද කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පිහිටි රාජ්‍ය ඔසුසැල් අද (28) වසා දමා තිබීම හේතුවෙන් මහජනතාව දැඩි අසීරුතවට පත්වුණා.

රජයේ ඔසුසැල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වහාම වසාදමන්නැයි වැඩබලන පොලිස්පතිවරයා ඊයේ (27) නිවේදනයක් නිකුත් කළ අතර ඒ අනූව පෞද්ගලික ඖෂධහල් වසා දැමුණා.

කෙසේ වෙතත් රාජ්‍ය ඔසුසැල් විවෘත කර තබන්නැයි නියෝග කෙරුණද කොළඹ පුරහල පිහිටි රාජ්‍ය ඔසුසැල අද (28) පෙරවරු 8 සිට පැය දෙකක (2) පමණ කාලයක් විවෘතව තබා පසුව වසා දැමුණු බව එහි ආරක්ෂක අංශ නිලධාරීන් සඳහන් කළා.

අප වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් ඖෂධ ලබා ගැනීමට පැමිණි පිරිස දැඩි අපහසුතාවට පත් වු බවයි.

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායනය අවසන් කළ 309 ක් නිවෙස්වලට

(28.03.2020 – 20:29 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් පුද්ගලයින් 309 දෙනෙකු අද (28) සිය නිවෙස් බලා පිටත් කෙරුණා.

එලෙස පිටත්ව ගියේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ 05 වන කණ්ඩායමයි.

ඒ අනුව, ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණි 60 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පොලොන්නරුව – වැලිකන්ද – ගල්කන්ද යුද හමුදා ගොවිපල මධ්‍යස්ථානයෙන් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර අද (28) පිටව ගියා.

මේ අතර, මඩකලපුව – පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් අද (28) පුද්ගලයින් 78 දෙනෙකුද දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගොස් තිබුණා.

ඔවුන් එම මධ්‍යස්ථානයේ යුද හමුදාවේ කැපවීම සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කළ විවිධ සටහන් යොදා තිබෙන අයුරුද දක්නට ලැබුණා.

එම පිරිස අතර සිටි කුඩා දරුවන් යුද හමුදා නිලධාරීන් සිදුකළ සත්කාර පිළිබඳව කෘතවේදීත්වය පළ කර තිබුණේ සිතුවම් ඇඳීමෙන්.

මේ අතර, යුරෝපයේ හා මැදපෙරදිග රටවල සිට මෙරටට පැමිණ වව්නියාව – පම්පමඩුව යුද හමුදා කඳවුරේ සිට නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් 167 දෙනෙකුටද අද (28) සිය නිවෙස් බලා යාමට අවස්ථාව උදා වුණා.

යුද හමුදා බස් රථවලින් එම පිරිස් අදාළ පොලිස් බලප්‍රදේශවලට රැගෙන ගිය අතර, කටුනායක සහ වතුපිටිවල ආයෝජන කලාපයන්හි රැදී සිටි සේවක සේවිකාවන් ඇතුළු සාමාජිකයන් 8000 ක් පමණ යුද හමුදාව මැදිහත් වී නිවෙස් වෙත පිටත් කර යවා තිබුණා.

+++++++++++++++++++++++++++++++++++

covid-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට දළදා මාළිගාවෙන් සහ මල්වතු අස්ගිරි උභය විහාරයෙන් රුපියල් කෝටි දෙකක පරිත්‍යාගයක්

(28.03.2020 – 16:33 +0530 – hirunews.lk/sinhala)

covid-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට දළදා මාළිගාවෙන් සහ මල්වතු අස්ගිරි උභය විහාරයෙන් රුපියල් කෝටි දෙකක පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.

එහිදී දළදා මාළිගාවෙන් රුපියල් කෝටියක මුදලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිරිනමා ඇත්තේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්.

ජනාධිපතිවරයා අද (28) පෙරවරුවේ දළදා වහන්සේ වැඳ ආශීර්වාද ලබාගත්තා. එහිදීයි මෙම මුදල් පරිත්‍යාගය සිදු කෙරුනේ.

අනතුරුව ජනාධිපතිවරයා මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදුටුවා.

එහිදී කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙල ජනාධිපතිවරයා විසින් මහ නාහිමියන්ට පැහැදිළි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මහනායක හිමියන් ඊට ආශීර්වාද කරමින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් ලක්ෂ 50 ක මුදලක් පරිත්‍යාග ඛර තිබෙනවා.

පසුව ජනාධිපතිවරයා මල්වතු අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන් ද බැහැදුටුවා.

අනතුරුව අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැදුටු ජනාධිපතිවරයා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල පිළිබඳ පැහැදිළි කර තිබෙනවා.

කොරෝනා මර්දන අරමුදලට අස්ගිරි විහාරයෙන් ද රුපියල් ලක්ෂ 50 ක පරිත්‍යාගයක් සිදුකරනු ලැබුවා.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 5386 ක් අත්අඩංගුවට

(28.03.2020 – 16:10 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 20 වන දා උදෑසන 6 සිට අද (28) දහවල් 12 දක්වා ගත වූ කාලසීමාව තුළ දිවයිනේ ඇඳිරි නීතිය උල්ලංගණය කළ පුද්ගලයන් 5386 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ වාහන 1358 ක් ද එම කාලසීමාව තුළ අත්අඩංගුවට ගත් බවයි.

අද (28) උදෑසන 6 සිට දහවල් 12 දක්වා ගත වූ පැය 6 තුළ පුද්ගලයින් 201 ක් සහ වාහන 65 ක් අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර, ජනතාවට තොරතුරු දැනුම්දීම සහ දැන ගැනීම සඳහා අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය දුරකථන අංක කිහිපයක් ද හඳුන්වා දී තිබෙනවා.

011 435 4854 සහ 011 473 3600 යන දුරකථන අංක මෙන්ම, 011 345 6200 සිට 204 දක්වා දුරකථන අංක ඊට ඇතුළත්.

එමෙන්ම, මෙරට උද්ගතව ඇති හදිසි තත්ත්වය මත ජනතාව මුහුණ දෙන ගැටලූ සහ ඔවුන්ගේ දුක් ගැනවිලි පිළිබඳව දැනුම්දීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වාදීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තා.

076 039 0981 , 076 039 0437 , 071 250 0031 , 076 652 8068 එම දුරකථන අංක වනවා.

+++++++++++++++++++++++++++++++++++

කළුතර නගරයේ ගමන් කරමින් සිටි රුසියානු ජාතික යුවල ස්වයං නිරෝධායනයට

(28.03.2020 – 21:33 +0530 – sinhala.adaderana.lk)

කළුතර නගරයේ ගමන් කරමින් සිටි රුසියානු ජාතික යුවලක් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් අද (28) පරීක්ෂා කරනු ලැබීය.

පසුව අනාවරණ වූයේ ස්වයං නිරෝධානය සඳහා කළුතර උතුර ප්‍රදේශයේ ස්ථානයක ඔවුන් නවාතැන් ගෙන ඇති අතර ප්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ ඉන් පැන යමින් සිටි බවයි.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හා කළුතර දකුණ පොලිසීයේ මැදිහත්වීමෙන් පසුව, ඔවුන් මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලක නවතා ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

මේ අතර විදේශයන් සිට පැමිණ හා කොරෝනා රෝගයන් වැළඳුණු පුද්ගලයන් සමඟ ඇසුරු කළ කතරගම ප්‍රදේශයේ ස්වයං නිරෝධායනට ලක් වූ පුද්ගලයින් 11 දෙනෙකුගේ නිරෝධායනය අවසන් වීමේ සහතික පත්‍ර ලබා දීම අද සිදුකෙරුණි.

කල්පිටිය ප්‍රදේශයට සංචාරක කටයුතු සඳහා පැමිණ සිටි බෙල්ජියම් ජාතික යුවලක් සහ දංකොටුව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක රැකියා සඳහා පැමිණ සිටි කොරියන් ජාතික පිරිසක්ද ස්වයං නිරෝධායනය අවසන් කර අද සහතික පත්‍ර ලබා ගත්තේය ෴

+++++++++++++++++++++++++++++++++++

අටළුගම කොරෝනා ආසාදිතයා සමඟ සබඳතා පැවැත් වු 26 ක් නිරෝධායන මධ්‍යස්ථානයකට

(28.03.2020 – 21:22 +0530 – sinhala.adaderana.lk)

අවසන්වරට පසුගිය 26 වනදා හඳුනාගත් කොරෝනා ආසාදිතයින් අතර සිටි පුද්ගලයෙකු බණ්ඩාරගම අටළුගම පදිංචිකරුවකු වන අතර මේ හේතුවෙන් අටලුගම ගම්මානය සම්පුර්ණයෙන්ම බාහිර සබඳතාවලින් හුදකලා කර තැබීමට රජය පියවර ගත්තේය.

ඒ අනුව එම ප්‍රදේශය මේ වන විට පවතින්නේ සෞඛ්‍ය අංශවල සහ ආරක්ෂක අංශවල අධීක්ෂණය යටතේයි.

හඳුනා ගත් ආසාදිත පුද්ගලයාගේ පියා සහ සහෝදරිය ඊයේ (27) දිනයේම ඔවුන්ගේ අටළුගම ප්‍රදේශයේ නිවස තුළ දින 14 ක ස්වයං නිරෝධයට ලක් කළේය.

ඔවුන් දෙදෙනා කොරෝනා වෛරසයට සැකපිට අද (28) වෛද්‍ය පරීක්ෂණ සඳහා නාගොඩ රෝහලට අතුළත් කර තිබේ.

එම අසාදිත පුද්ගලයාගේ මව අටළුගම තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති ලෙස කටයුතු කිරීම හේතුවෙන් ප්‍රදේශවාසින් අතර නොසන්සුන්තාවක් මතුව ඇති අතර ඊට අදාලව පැතිර යන ප්‍රචාරවලින් කලබල නොවන ලෙස තැපැල්පතිවරයා ඉල්ලීමක් කරයි.

මෙම අටළුගම කොරෝනා ආසාදිත පුද්ගලයා සමඟ සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයින් 26 දෙනෙකුද අලුත්ගම ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට අද (28) යුදහමුදාව පියවර ගත්තේය.

වෙළදාම සඳහා එළවලු රැගෙන ඒමට ඊයේ (27) දිනයේදී අටළුගම ප්‍රදේශයේ සැරිසැරූ වෙළෙදුන් දෙදෙනෙකු පිළිබඳවද බලපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානය යොමු වී ඇති අතර ඔවුන් අද (28) එම නිවාස වෙත ගොස් පරීක්ෂා කළේය.

බලපිටිය රේවත හන්දිය ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවෙස් තුළම දින 14 ක් ස්වයං නිරෝධායනයකට යොමුවන ලෙස එහිදී උපදෙස් ලබාදී තිබේ.

+++++++++++++++++++++

කොරෝනා රෝගීන්ට රොබෝ තාක්ෂණයෙන් කෑම

(28.03.2020 – 19:43 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමේ විශේෂ රෝහලක් ලෙස සංවර්ධනය කෙරුණු හෝමාගම මූලික රෝහලේ එම කටයුතු සඳහා රෝබෝ තාක්ෂණය යොදාගැනීමට එම රෝහලේ වෛද්‍යවරයකු කටයුතු කර තිබේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ මෙහිදී රෝගියා ළඟට අවශ්‍ය කෑම හා බෙහෙත් ලබා දීම පහසු වන බවයි.

හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් දුරස්ථව පරික්ෂා කිරීමේ සහ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර සිදු කළ හැකි ස්වයංක්‍රිය නියමු රොබෝ යන්ත්‍රයක් (AGV) නිර්මාණය කර එය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කළේය. මෙම නිර්මාණය මුළුමනින් ම ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් වීම විශේෂත්වයකි.

මෙවැනි රොබෝ යන්ත්‍රයක් මෙරට නිර්මාණය කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයවන අතර එහි මුල් ආකෘතිය මේවන විට හෝමාගම මූලික රෝහලේ අත්හදා බැලෙමින් පවතී.

මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කළ ඇට්ලස් කණ්ඩායම ද ඕනෑම ගැටළුවක් ඇති වුවහොත් එය අවබෝධ කර ගැනීම සහ ඊට පිළියම් යෙදීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සමීපව කටයුතු කරමින් සිටියි.

කොරෝනා වසංගතය දුරලීම සඳහා තවත් ඒකක නිෂ්පාදනය කිරීමට ඉදිරිපත්වන තෝරාගත් පුද්ගලයන් සහ ආයතන වෙත මෙම මුල් ආකෘතියේ තාක්ෂණය ලබා දීමට ද ඇට්ලස් සමාගම අපේක්ෂා කරයි.

මෙම රොබෝ යන්ත්‍රය, රෝගීන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම වැනි මූලික වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමට අමතරව රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙන යාමේ හැකියාවෙන් ද යුක්තය.

එහි සවිකර ඇති කැමරා පද්ධතිය හරහා වෛද්‍යවරුන්ට දුරස්ථව රෝගියා සමග සංවාදයේ යෙදෙමින් රෝගියා පරික්ෂා කිරීමේ හැකියාව ලබා දී ඇත.

තවද, සෞඛ්‍ය සේවකයින් ස්පර්ශ කිරීම උපරිම මට්ටමින් පාලනය කිරීම සඳහා මෙම රොබෝ යන්ත්‍රය රැහැන් රහිත (වයර්ලස්) ආරෝපණ හැකියාවෙන් ද යුතු වෙයි.

මෙමඟින්, රෝගීන් පරික්ෂා කිරීම ස්වයං ක්‍රියාකරණය කර ඇති බැවින්, සිය සෞඛ්‍යය රැක ගන්නා අතරම රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ සටනට අඛණ්ඩව දායකත්වය ලබා දීමට ද සෞඛ්‍ය අංශයේ සේවකයින් හට අවස්ථාව උදා වෙයි ෴

+++++++++++++++++++++

කොරෝනා වෛරසය පැරදවීමට වෙර දරන සෞඛ්‍ය අංශය වෙනුවෙන් ඇට්ලස් සමාගම රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කරයි

(28.03.2020 – biz.adaderana.lk)

මුල් ආකෘතිය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කරමින් රට වෙනුවෙන් තාක්ෂණය පිරිනැමීමට ද ඉදිරිපත් වෙයි

හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් දුරස්ථව පරික්ෂා කිරීමේ සහ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර සිදු කළ හැකි ස්වයංක්‍රිය නියමු රොබෝ යන්ත්‍රයක් (AGV) නිර්මාණය කර එය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කළේය. මෙම නිර්මාණය මුළුමනින් ම ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් වීම විශේෂත්වයකි.

මෙවැනි රොබෝ යන්ත්‍රයක් මෙරට නිර්මාණය කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයවන අතර එහි මුල් ආකෘතිය මේවන විට හෝමාගම මූලික රෝහලේ අත්හදා බැලෙමින් පවතී. මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කළ ඇට්ලස් කණ්ඩායම ද ඕනෑම ගැටළුවක් ඇති වුවහොත් එය අවබෝධ කර ගැනීම සහ ඊට පිළියම් යෙදීම සඳහා රෝහල් කාර්යමණ්ඩලය සමග සමීපව කටයුතු කරමින් සිටී. කොරෝනා වසංගතය දුරලීම සඳහා තවත් ඒකක නිෂ්පාදනය කිරීමට ඉදිරිපත්වන තෝරාගත් පුද්ගලයන් සහ ආයතන වෙත මෙම මුල් ආකෘතියේ තාක්ෂණය ලබා දීමට ද ඇට්ලස් සමාගම අපේක්ෂා කරයි.

කොළඹ සෞඛ්‍ය සේවා කලාප අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා මෙම මුල් ආකෘතියේ ක්‍රියාකාරිත්වය බෙහෙවින් ප්‍රශංසාවට ලක් කළේය. “දේශීය සමාගමක් විසින් වෛද්‍ය සේවා සහය සඳහා රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කිරීම සැබවින් ම විශිෂ්ටයි. මෙවැනි වසංගත තත්ත්වයකට එරෙහිව සටන් කිරීමේදී තාක්ෂණික වැඩිදියුණු කිරීම් ඉතාම වැදගත්. සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍යය අවදානමේ හෙළීමෙන් තොරව රෝගීන් හට සේවය සැලසීමට හැකි වීම COVID-19 වෛරසයට එරෙහි සටනේ දැවැන්ත ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි,” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම රොබෝ යන්ත්‍රය, රෝගීන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම වැනි මූලික වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමට අමතරව රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙන යාමේ හැකියාවෙන් ද යුක්තය. එහි සවිකර ඇති කැමරා පද්ධතිය හරහා වෛද්‍යවරුන්ට දුරස්ථව රෝගියා සමග සංවාදයේ යෙදෙමින් රෝගියා පරික්ෂා කිරීමේ හැකියාව ලබා දී ඇත. තවද, සෞඛ්‍ය සේවකයින් ස්පර්ශ කිරීම උපරිම මට්ටමින් පාලනය කිරීම සඳහා මෙම රොබෝ යන්ත්‍රය රැහැන් රහිත (වයර්ලස්) ආරෝපණ හැකියාවෙන් ද යුතු වෙයි. මෙමගින්, රෝගීන් පරික්ෂා කිරීම ස්වයංක්‍රියකරණය කර ඇති බැවින්, සිය සෞඛ්‍යය රැක ගන්නා අතරම රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ සටනට අඛණ්ඩව දායකත්වය ලබා දීමට ද සෞඛ්‍ය අංශයේ සේවකයින් හට අවස්ථාව උදා වේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

බොරු කියා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වු රෝගියෙක් හේතුවෙන් රෝහල විෂබීජහරණයට

(28.03.2020 – 19:38 +0530 – sinhala.adaderana.lk)

විදෙස් රටක සිට පැමිණි 84 හැවිරිදි බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ඇති අතර පසුව ඔහු එම රෝහලෙන් පිටත්ව වෙනත් පුද්ගලික රෝහලකට ඇතුළත්ව තිබේ.

එහිදි අදාළ පුද්ගලයාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වෙයි.

එම පුද්ගලයාගේ ඥාතීන් ලෙස සැලකෙන ජයවර්ධනපුර රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් සහ වෛද්‍යවරයෙකු අදාළ තැනැත්තාට ප්‍රතිකාර සිදුකර තිබේ.

කෙසේවුව ද එම වෛද්‍යවරියට ද වෛරස් රෝගය පවතින බවට සැකපිට අයි.ඩි.එච්.රෝහලට ඇතුළත් කර ඇති අතර වෛද්‍යවරයා ද රෝග ලක්ෂණ හේතුවෙන් පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

කෙසේවුව ද ඔවුන් නියමිත ක්‍රමවේද අනුව අදාළ තැනැත්තාට ප්‍රතිකාර කිරීමේ දී කටයුතු කර ඇති බැවින් ජයවර්ධනපුර රෝහල වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව එම රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා ප්‍රකාශ කළේය.

කෙසේවුව ද එම රෝහල අද (28) පොලිස් විශේෂ කාර්යය බලකායේ මැදිහත් වීමෙන් විෂබීජහරණයට ලක් කෙරුණි ෴

+++++++++++++++++++++++++++++++++++

ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාර කටයුතු අඩාලවෙයි

(28.03.2020 – 19:09 +0530 – sinhala.adaderana.lk)

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාර කටයුතු සාර්ථකව සිදුකිරීම දුෂ්කර වී තිබේ.

ඇඳිරි නීතිය පැවතුණ ද ආර්ථික මධ්‍යස්ථාන හරහා එළවළු, පලතුරු ආදි භාණ්ඩ රටපුරා බෙදාහැරීමට රජය නිර්නායක කිහිපයක් හඳුන්වා තිබුණ ද ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අද (28) දිනයේ ද, වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් දුෂ්කරතාවට පත් වූ බව වාර්තා වෙයි.

දඹුල්ල, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානවලට සහ මැනිං වෙළෙදපලට එළවළු මිලදී ගැනීම සදහා තොග වෙළෙදුන් නොපැමිණීම හේතුවෙන් එලවළු මිල ශිඝ්‍ර වශයෙන් පහත බැස තිබේ.

මේ අතර එලවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සදහා අවසර පත්‍ර ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28) පොලීසියට උපදෙස් ලබා දී තිබුණි.

මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වෙමින් ප්‍රකාශ කළේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *