පුත්තලමට සහ මහනුවරටත් නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පුත්තලමට සහ මහනුවරටත් නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය (විඩියෝ)

• කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු කරන හැටි (විඩියෝ)

• විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් 700 ක් යළි දිවයිනට පැමිණීමට ඉල්ලයි

• මධ්‍යම පරිසර අධිකාරිය අත්‍යාවශ්‍ය සේවා වෙනුවෙන් අනුයුක්ත කරයි

• කොරෝනා වෛරසය පැතිර යාම පාලනයට අකුරණ මුද්‍රා තබයි – පුත්තලමේ ගම්මානයක් නිරෝධායනයට (විඩියෝ)

• කොරෝනා වෛරසයෙන් ලන්ඩනයේදී ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු මරුට

• කොරෝනා රෝගයට මුවා වී ලාංකිකයන්ගේ පෞද්ගලික තොරතුරු සොරා ගනී

• නිරෝධායනය සාර්ථකව නිම කළ 6 වැනි කණ්ඩායමත් පිටව යයි

• රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දැනුම් දීමක්

• කොරෝනා ගැන බෞද්ධ විග්‍රහයක් – මහාචාර්ය චන්න ජයසුමන සූරීන් ගෙන්

+++++++++++++++++++++++++++++++++++

පුත්තලමට සහ මහනුවරටත් නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය

(29.03.2020 – 09:14 +0530 – sinhala.adaderana.lk)

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

සෙසු සියළුම දිස්ත්‍රික්කවල හෙට, මාර්තු 30 දා සඳුදා උදෑසන 06:00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 02:00 ට නැවත පනවනු ලැබේ.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

කළුතර දිස්ත්‍රික්කයේ අටලෝගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. කවරකුට හෝ මේ ගම්මාන දෙකට ඇතුළුවීමට හෝ ඉන් පිටවීම හෝ සම්පූර්ණයෙන් තහනම් වේ.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු කරන හැටි

(29.03.2020 – 08:43 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

‘අද දෙරණ’ට අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිදුවූ පළමු මරණය ඊයේ (28) රාත්‍රියේ වාර්තා වුණා.

කොරෝනා ආසාදිතව කොළඹ අයි.ඩි.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබෙනවා.

ඔහු මාරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

අදාළ පුද්ගලයා වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන්ගෙන් ද පෙළුණු බවට වාර්තා වෙයි.

+++++++++++++++++++++++++++++++++++

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් 700 ක් යළි දිවයිනට පැමිණීමට ඉල්ලයි

(29.03.2020 – 08:23 +0530 – sinhala.adaderana.lk)

විදේශ සබදතා අමාත්‍යාශය හඳුන්වා දුන් ‘කන්ටැක්ට් ශ්‍රී ලංකා’ ‘Contact Sri Lanka’ අන්තර්ජාල සබඳතාව ඔස්සේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 17,000 කට වැඩි පිරිසක් ලියාපදිංචි වී තිබේ.

ඊයේ (28) දහවල් වන විට පුද්ගලයින් 17,457 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර ඔවුන්ගෙන් 6,773 දෙනෙකු මැදපෙරදිග කාලපයේ පුද්ගලයින් බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

අසි.සී.ටි.ඒ.ආයතනය සමඟ එක්ව පසුගිය 26 වැනිදා විදේශ අමාත්‍යාංශය මඟින් ලියාපදිංචිය සඳහා https://www.contactsrilanka.mfa.gov.lk/ වෙබ් අඩවිය හඳුන්වා දී තිබුණි.

එම වෙබ් අඩවිය ඔස්සේ ලියාපදංචි වූ පුද්ගලයන් 700 දෙනෙකු යළි මෙරටට පැමිණීම සඳහා ඉල්ලුම් කර තිබේ.

එහෙත් රජයේ තීරණය වන්නේ වෛරසය පාලනය කරන තුරු විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් එම රටවලට ආරක්ෂිතව රැදී සිටිය යුතු බවයි.

එම පිරිස්වලට අවශ්‍ය පහසුකම් තානාපති සහ මහකොමසාරිස් කාර්යාල හරහා ලබාදීමට රජය සැලසුම් කර තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

මධ්‍යම පරිසර අධිකාරිය අත්‍යාවශ්‍ය සේවා වෙනුවෙන් අනුයුක්ත කරයි

(29.03.2020 – 07:59 +0530 – sinhala.adaderana.lk)

අත්‍යාවශ්‍ය සේවා වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය වහාම ක්‍රියාත්මක වන පරිදි අනුයුක්ත කර තිබේ.

විශේෂ ජනාධිපති කාර්ය සාධක බලාකයේ නියෝගය මත හෙට (30) සිට මධ්‍යම පරිසර අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරීන් කාර්යයන් කිහිපයක් සඳහා අනුයුක්ත කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ඒ අනුව දිවයින පුරා පවතින ජල පවිත්‍රාගාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීම සඳහා සියලු ජල පවිත්‍රා‍ගාරවල කටයුතු අධීක්ෂණය කිරීමට ක්ෂේත්‍ර නිලධාරීන් යෙදවීමට නියමිතයි.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවාරණය වන පරිදි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉල්ලීම මත ඔවුන්ට රාජකාරි පැවරෙයි.

එමෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ සේවයේ නියුතු පරිසර නිලධාරීන් කොරෝනා වෛරසය තුරන් කිරීමේ වැඩසටහන සඳහා සිය දායකත්වය දැක්වීම පිණිස ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයට යොදවන බව එම අධිකාරිය සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරසය පැතිර යාම පාලනයට අකුරණ මුද්‍රා තබයි – පුත්තලමේ ගම්මානයක් නිරෝධායනයට

(29.03.2020 – 07:22 +0530 – sinhala.adaderana.lk)

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහනුවර අකුරණ ප්‍රදේශයේ එක් ගම්මානයක් වසා දමා තිබේ.

නව කොරෝනා වෛරස ආසාදිතයින් හමුවීමත් සමඟ මෙම පිටයවර ගෙන තිබේ.

මේ අතර කොරෝනා මර්දන ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ පුත්තලම, කඩයම්කුලම ප්‍රදේශයේ ගම්මානයක ජනතාව නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව පුත්තලම ප්‍රදේශයේ යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදිකර එම ගම්මානයේ පදිංචි පුද්ගලයින් 118 දෙනෙකු එම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරසයෙන් ලන්ඩනයේදී ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු මරුට

(29.03.2020 – 08:13 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලන්ඩනයේදී තවත් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබෙනවා.

70 හැවිරිදි ඔහු විශ්‍රාමික වෛද්‍යවරයෙකු වන හෙන්රි ජයවර්ධන මහතා ලෙසට හඳුනාගෙන ඇති බවයි හෙළිවී ඇත්තේ.

කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් ලන්ඩනයේදී මියගිය දෙවන ලාංකිකයා ද මෙම පුද්ගලයායි.

ඊයේ (28) දිනයේදී ද වෛරසය ආසාදනයෙන් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ලන්ඩනයේදී මරණයට පත් වුනා.

මහරගම වත්තෙගෙදර ප්‍රදේශයේ වයස අවුරුදු 55 ක් වන ලක්ෂේන් විජේරත්න නම් ඔහු ලන්ඩනයේ ෆෙල්තම්හි පදිංචිව සිට ඇති බවයි වාර්තා වන්නේ.

දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන ඔහු කොරෝනා වෛරසය ආසාදනයෙන් පසු දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මේ අතර පසුගියදා ස්විට්සර්ලන්තයේදී කොරෝනා වෛරසය ආසාදනයෙන් 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මරණයට පත්වුනා.

වෛරසය ආසාදනයෙන් මියගිය පළමු ශ්‍රී ලාංකිකයා ද ඔහුයි.

ඔහු යාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා රෝගයට මුවා වී ලාංකිකයන්ගේ පෞද්ගලික තොරතුරු සොරා ගනී

(29.03.2020 – 09:47 +0530 – truenews.lk)

COVID-19 වෛරසයට එරෙහිව මුහුණු ආවරණ නොමිලේ බෙදාහැරීම පිළිබඳ දැන්වීමක් සහිත අහඹු කෙටි පණිවුඩයක් හරහා පෞද්ගලික තොරතුරු සොරා ගැනීමේ වංචාවක් සිදුවන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් පවසනවා.

මේ පිළිබඳව හදිසි නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, මෙය COVID-19 වෛරසය ගැටලුවට මුවා වී ජංගම දුරකතන පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීම සඳහා සිදුකරන වංචනික උත්සාහයක් බව පවසා සිටිනවා.

මෙම කෙටි පණිවුඩය හරහා ලැබෙන සබැඳිය විවෘත කිරීමෙන් අපගේ පෞද්ගලික තොරතුරු පැහැර ගැනීමකට ලක්වීමේ හැකියාව පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ඒ අනුව මෙවැනි වංචනික ප්‍රහාරයකින් ප්‍රවේශම්වීම සඳහා මෙවැනි පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴

+++++++++++++++++++++

නිරෝධායනය සාර්ථකව නිම කළ 6 වැනි කණ්ඩායමත් පිටව යයි

(29.03.2020 – 12:39 +0530 – sinhala.adaderana.lk)

යුද හමුදාවේ අධීක්ෂණය යටතේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් කණ්ඩායමක් අද (29) සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණි 77 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

මොවුන්ගෙන් 49 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සහ 28 දෙනෙකු වැලිකන්ද, ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ යුධ හමුදා අධීක්ෂණය යටතේ නිරෝධායන ක්‍රියාවලියට ලක්ව තිබේ.

ඒ අනුව මොවුන් මාතර සහ කොළඹ ප්‍රදේශවලට යුධ හමුදා බස් රථ සහ පෞද්ගලික වෑන් රථ යොදා ගනිමින් පිටත් කර හැර ඇති බවයි යුධ හමුදාව සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දැනුම් දීමක්

(29.03.2020 – 12:36 +0530 – sinhala.adaderana.lk)

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා සියලුම දරුවන් දීර්ඝ කාලීන ලබා ගත යුතු ඖෂධ ලබා දීමේ ක්‍රමවේදයක් රෝහල විසින් සකස් කර තිබේ.

ඒ අනුව දරුවාට අදාළ සායන සඳහා හෝ විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධ වීමේ දුරකථන අංකය පහතින් දැක්වෙයි.

ඒ අනුව දරුවාට අවශ්‍ය පරීක්ෂණ සඳහා හෝ අනිවාර්යයෙන්ම ඖෂධ අවසන් වීමට ප්‍රථමව සතියේ දිනවල පෙ.ව. 8 සිට ප.ව. 2 දක්වා එම අංකයන් ඇමතීමෙන් තොරතුරු ලබා ගන්නා ලෙසත් රෝහල දැනුම් දෙයි.

එම දුරකථන අංක පහතින් දැක්වෙයි :

අනෙකුත් රෝගී සත්කාරක සේවා සඳහා 011 269 3711 / 011 269 3712 දුරකථන අංක මඟින් ප්‍රතිකාර ලබා ගත් වාට්ටු ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බව ද රිජ්වේ ‍ආර්යා ළමා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කරයි ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ගැන බෞද්ධ විග්‍රහයක් – මහාචාර්ය චන්න ජයසුමන සූරීන් ගෙන්

(29.03.2020 – Channa Jayasumana FB)

මම තෙවන වසර වෛද්‍ය ශිෂ්‍යයකුව සිටියදී (2003) විදුසර පුවත්පතට විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක් සැපයීමි. සාමාන්‍ය විද්‍යා ප්‍රබන්ධවලින් බැහැරව, ලොව අනාගතයේදී ඇතිවන ප්‍රශ්නවලට බෞද්ධ ප්‍රභවයකින් විසදුම් සොයා ගන්නා ආකාරය එහි ඉදිරිපත් විය (පසුව මෙම විද්‍යා ප්‍රබන්ධ මාලාව ගොඩගේ ප්‍රකාශකයන් ‘සිංහල බෞද්ධ විද්‍යා ප්‍රබන්ධ’ නමින් පොතක් ලෙස පළ කළේය). ‘චීන-ඒඩ්ස්’ නමින් එහි එක් කතාවක් විය. අද දක්නට ලැබෙන ඒඩ්ස් වෛරසය ජාන විකරණයක් මගින් ශ්වසන පද්ධතියට බලපාන වෛරසයක් බවට විකරණය වී චීන ජනතාවට වැළදෙන අයුරත්, එයට අවසානයේ බෞද්ධ පර්යේෂකයකු විසදුම් සොයා ගන්න ආකාරයත් එහි විස්තර විය.

අද දක්නට ලැබෙන ‘කොරෝනා’ රෝගය ඊට සමාන නොවූවද බටහිර වෛද්‍ය විද්‍යාවට විසදුම් දිය නොහැකි වෛරස වසංගත නුදුරේම ලොව ඇතිවිය හැකි බවට යම් අදහසක් එම ප්‍රබන්ධය තුළ ගැබ් විය.

මෙම කොරෝනා වෛරසය මිනිසුන් අතරට පැමිණියේ කෙසේද යන්න ගැන අදහස් ගණනාවකි. විද්‍යාගාරයක් තුළ නිපදවූවක්, අභ්‍යවකාශයෙන් පැමිණි වෛරසයක් ආදී විවිධ අදහස් ඇත. කවරක් නමුත් කොරෝනා අද ලෝක වසංගතයක් බවට පත්ව ඇත. දැනටමත් 30,000 වඩා ඒ හේතුවෙන් මිය ගොස්ය. ඉතාලියට, ස්පාඤ්ඤයට, බ්‍රිතාන්‍යයට, ප්‍රංශයට, ඇමෙරිකාවට එහි බලපෑම වැඩි ඇයිදැයි තවමත් නිසි ලෙස පැහැදිලි කර ගත නොහැක. ශීත දේශගුණය, එම රටවල ප්‍රමුඛ පෙලේ වෛද්‍යවරුන්ගේ වැරදි උපදෙස් (ඉතාලියේ ප්‍රචලිත වූ අදහසනම් කොරෝනා නිසා මිය යන්නේ අවුරුදු 80 වැඩි දියවැඩියා, රුධිර පීඩන හෝ වෙනත් නිදන්ගත රෝගයක් පාලනය නොකළ අය බවයි) අසීමිත පුද්ගල නිදහස, ලිබරල් අදහස්, ක්ෂණික ප්‍රශ්නයකට මුහුණ දීමට ඇති නොහැකියාව ආදී විවිධ පැහැදිලි කිරීම් ඒ උදෙසා ඉදිරිපත්ව ඇත.

පවතින තත්වය ගැන අපටද යම් පැහැදිලි කිරීමක් කළ හැක. ඊට එකග නොවන පිරිස් සිටිය හැකි මුත් විසදුමක් ලබා ගැනීමට එම සංවාදය වැදගත්යැයි සිතමි. කලින් කල මෙවැනි වසංගත මනුෂ්‍යයාට වැළදීම ලෝක ධර්මතාවකි (උතු, බීජ, ධම්ම, චිත්ත, කම්ම යනුවෙන් නියාම 5 කි). මනුෂ්‍ය ලෝකයේ අකුසල් ශක්තිය වැඩි වූ විට අමනුෂ්‍ය කොටස් බලවත් වේ. එම අකුසල් ශක්තිය සමතුලිත වනතෙක් මහා පරිමාණයෙන් මනුෂ්‍ය ජීවිත අහිමි වේ. එසේ කියා මිනිසුන් මිය යනතෙක් බලා සිටීමේ සිරිතක් අපට නැත; වසංගතය වලක්වා ගැනීමට ගත හැකි සෑම උපක්‍රමයක්ම අනුගමනය කරයි. වසංගත රෝග ‘දෙයියන්ගේ රෝග’ කරන්නේ නමින් හදුන්වා දෙවියන්ට භාර කරන්නේ අමනුෂ්‍ය ශක්තිය අවම කර එය දමනය කළ හැකි වෙනත් පිරිසකගේ උදව් උපකාර ලබා ගැනීමටයි; ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂ නොතිබූ කාලයේත් වසංගත පැතිරෙන්නේ ඇසට නොපෙනෙන යමක් නිසා බව දැන සිටීම හේතුවෙන් තහංචි කඩුලු, වහන්වීම්, තනිකිරීම් සිදු කළහ; සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට ඉඟුරු – කොත්තමල්ලි – වෙනිවැල්ගැට සහ තවත් ඖෂධ වට්ටෝරු යොදා ගත්හ. වසංගත රෝග මර්දනයට යොදාගත් එක් ප්‍රබල අවියක් වුයේ ත්‍රෛ-ලෝක පත්‍ර / ගංජා / කැනබීස් පැළෑටියේ විවිධ කොටස් තම්බා පානය කිරීමයි. අද එම දැනුම මුළුමුනින්ම පාහේ වියැකී ගොස්ය. සතුන්ට බලපාන කොරෝනා වෛරස මර්දනයට ගංජා කැනබීස් ශාකයේ නිස්සාරණ සාර්ථක ලෙස යොදා ගත හැකි බව පර්යේෂකයෝ මෑතකදී පෙන්වා දුන්හ.

අමනුෂ්‍ය ශක්තිය ඉස්මතු වීම යනු අකුසල් ශක්තියේ වැඩි වීමකි. ඊට නිශ්චිත විසදුම කුසල් ශක්තිය වැඩි කිරීමයි. වසංගත තත්වයකදී ද්වේශය මුල් කරගත් අකුසලය කැපී පෙනෙන ලෙස ඉස්මතු වේ. රතන සුත්‍රය සඤ්ඤායනය මගින් සිදු වන්නේ බුද්ධ, ධම්ම, සංඝ තෙරුවනේ ගුණ පවසා, අමනුෂ්‍යයන්ට ඒ ගුණ අසන්නට සලස්වා, සෙත් පතා ද්වේශය සමනය කිරීමයි. අටවිසි පිරිත, දස දිසා පිරිත ආදී වූ තවත් පිරිත් දේශනා කිහිපයකින්ද සිදුවන්නේ මේ කටයුත්තම ය. ආචාර්ය නලින් ද සිල්වා මහතා මගින් හඳුනා ගත් සිරිපා අඩවියේ භාවනානුයෝගී ස්වාමීන්වහන්සේ නමක් පැවසුවේ ශබ්ධ විකාශන යන්ත්‍ර මගින් පිරිත් ඇසෙන්නට සැලැස්වීමෙන් ලබා ගත හැක්කේ අල්ප ප්‍රතිඵලයක් බවයි. සිල්වත් මහා සංඝයා පහදවාගත් සිතෙන් සුත්‍ර සඤ්ඤායනය මගින් උසස් ප්‍රතිඵල ලැබේ. තව ද පුද්ගලයන් වෙන් වෙන් වශයෙන් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම අමනුෂ්‍යයන්ගේ ද්වේශ ශක්තිය අඩු කිරීමට හේතු වේ. යක්ෂ, භූත, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ ආදී අමනුෂ්‍ය කොටස්වලට වෙන් වෙන් වශයෙන් මෛත්‍රී කිරීම සුදුසුය.

ධර්මය ගැන කතා කල ද එය අර්ථවත් ලෙස ප්‍රශ්න විසදා ගැනීමට යොදා ගැනීම් අද විරලය. ඊට මූලික හේතුවක්නම් ධර්මය විලාසිතාවක් ලෙස යොදා ගැනීමත්, වෙළද අරමුණු වෙනුවෙන් යොදා ගැනීමත් හැර එහි හැසිරෙන පිරිස අල්ප වීමයි. අප අඩුම තරමේ එළැඹෙන සති කිහිපයේ හැකි තාක් ධාර්මිකව ජීවත් වුවහොත්, මෛත්‍රීය වැඩුවහොත්, සුත්‍ර දේශනා නිවසේ සිටම සිත් පහදවා සඤ්ඤායනය කළහොත් ඒකාන්තයෙන්ම එහි ප්‍රතිඵල ලැබෙනු ඇත. කුමන නමකින් හැඳින්වුවද තහංචි කඩුළු යොදා නිවසට වී සිටීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් ඒ සිදු කරන්නේ කොරෝනා කෙරෙහි හෝ රජය කෙරෙහි හෝ, සෞඛ්‍ය සේවකයන් ගැන හෝ පොලිසිය ගැන හෝ වෛරයකින්, ද්වේශයකින් නම් එතැනින් සිදුවන්නේද ද්වේශ ශක්තිය වැඩි වීමකි; අමනුෂ්‍ය ශක්තිය වැඩි කිරීමට උල්පන්දම් දීමකි. මේ අවස්ථාවේ අප සිදු කල යුත්තේ ද්වේශ ශක්තිය සමනය වන කායික-මානසික ක්‍රියා තෝරා ගැනීමයි.

බටහිර චින්තනය අවසන් වසර 500 පමණ කාලයේ ඇති තරම් අකුසල් ශක්තිය වර්ධනය කර ඇත. ඔවුන්ට එහි බලපෑමෙන් මිදීමට පහසු නොවනු ඇත. ලෝක ධර්මතා ඉක්මවා යෑමට බටහිර විද්‍යාව, තාක්ෂණය හෝ වෙදකම අසමර්ථ බව අද අප දෑස් ඉදිරිපිටම සනාථ වෙමින් තිබේ. නුතනත්වය නමින් අකුසල් රැස් කිරීම ලොව පුරා ප්‍රචලිත කළ සහ ඒ වෙනුවෙන් නිර්මාණය කල නිව්යෝර්ක්, ලන්ඩන්, මැඩ්රිඩ්, මිලාන් නගර මේ ප්‍රශ්නයෙන් ගොඩ එනු ඇත්තේ මිලියන කිහිපයක මිනිසුන් ප්‍රමාණයක් මිය යෑමෙනි; දැනටමත් මිනිසුන් මැසි මදුරුවන් සේ මිය යෑම ඇරඹී ඇත; ඉදිරි සති කිහිපයේදී මළ මිනී ඉවත් කිරීමට පවා නිසි යාන්ත්‍රණයක් නැතිව මේ මහා නගර අර්බුදයට යනු ඇත; සෞඛ්‍ය සේවකයන් තත්වය දරා ගත නොහැකිව දැනටමත් සේවයෙන් ඉවත් වෙමින් ඇත.

තවත් මාස කිහිපයකින් එන්නතක් සොයා ගැනීම, දැනට වෙනත් රෝගයක් සඳහා ලබා දෙන ඖෂධයක් රෝගය පාලනයට යොදා ගැනීම හෝ ස්වභාවික ලෙස ප්‍රතිශක්තිය වර්ධනය වන තෙක් බලා සිටීම හැර නිශ්චිත විසදුමක් පේන තාක්මානයක නැත. අද බටහිර ලෝකය මේ මට්ටමින් හෝ කොරෝනාවට ඔරොත්තු දී ගෙන සිටින්නේ විදුලි බලයට සහ අන්තර්ජාලයට පින්සිදු වන්නටය. ඒ දෙක බිඳ වැටුනහොත් මේ වසංගතය හමුවේ නූතන ලෝකය කවර තත්වයකට ඇද වැටෙනු ඇතිද? අප වහ වහා සියවස් 25ක් රැකුණු, අප රැක දුන් සම්‍යක්දෘෂ්ටික මඟට පිවිසිය යුත්තෙමු.

චන්න ජයසුමන

+++++++++++++++++++++

15.03.2020

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • The main reason western countries are falling victim to the virus is their nature of complacency. Once the signs of the disease began to emerge from China in late February, political negative attitude of the westerners emerged: they spent time laughing and sneering at China because of their in built envy and hatred towards China; they cannot cope with the progress China had made, coming out of the shackles of servitude to Western capitalist system. These westerners think they are clever, and their scientists are clever. But basically they are over-confident, arrogant, and was sitting on their backsides writing papers and arguing, rather than telling the politicians in charge to prepare for a full frontal attack to repel and eradicate the virus. Throughout the period to late February these westerners were just continuing with their immoral lives of sodom and gomorrah, accusing China, continuing to collecting money until the last penny drops in their tills, meaning they were more concerned with their commercial activities instead of winding them down and isolating people ……. all with their arrogant over confidence that if the virus got to them they could deal with it in an instant. But they were not considering peoples behaviour, attitudes and lack of discipline, hiding their conditions when they have been infected. Even today, those that organize commercial activities requiring large gatherings of people, are trying to get them going even the government has banned them. Yet the government keep airports operational. Foreigners still come into these countries in large numbers, which makes it impossible even to quanratining them as Sri Lanka has been doing. Complacency, arrogance and self important has been the main fault in these western countries and greediness to remain commercially operational, and lack of foresight and action to buy necessary equipment, test, isolate and treat suspect people on time are the main reasons why these western countries are now suffering. Well, if you wish to put a spiritual angle to it, yes you can say that western countries live in full of hatred, they are morally deranged, greedy and live like they own the world and going round bombing and maiming innocent people everywhere else in the world. So may be it is a curse from Heaven to teach them a lesson. What I cannot understand is that it is also the poor and weak, old people that die first in these countries. Karmic reasons could be there or simply it could be a natural state of affairs. Humans do not know everything though professors try to pretend they do. There is a saying in Sri Lanka, “Pandithayata aedandenwath yanna baehae” , whereas the uneducated but intelligent villagers that live with nature and experienced in life could perfectly cross the “aedanda” safely and effectively and get on with their lives while pandithayas keep arguing still on the other side of the stream.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *