දිස්ත්‍රික්ක 6 ක් හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවු ඇඳිරි නීතිය පැය 8 කට ඉවතට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• දිස්ත්‍රික්ක 6 ක් හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවු ඇඳිරි නීතිය පැය 8 කට ඉවතට

• ඇඳිරි නීතිය ඉවත් කළත් හෙට අනුරපුරේ නගර 3 ක වෙළඳසැල් වසා දමන්න තීරණයක්

• ඇඳිරි නීතිය කැඩු තවත් 227 ක් අත්අඩංගුවට

• ඇඳිරි නීති රෙගුලාසි පනවා තිබියදී රැස්වීමක් සංවිධාන කිරීම ගැන චම්පිකට වැඩ වරදින ලකුණු (විඩියෝ)

• කොරෝනා බල්ලට දමා ඩලස් බරටම ජන්ද වැඩ

• කොරෝනා සහනයටත් සමෘද්ධි නිලධාරීනියක් විදී – ඉල්ලන් එන විට පරුෂ වචනයෙන් බැන වදිමින් පහර දීමට හදයි

• ගුවන් ගමන් අත්හිටුවා තිබියදී ලාංකිකයන් 5000 කට කුවේටයෙන් පිට වන්නයි නියෝග.. රෝහල්වලට ගැනීමත් තහනම් !

+++++++++++++++++++++++++++++++++++

දිස්ත්‍රික්ක 6 ක් හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවු ඇඳිරි නීතිය පැය 8 කට ඉවතට

(30.03.2020 – 06:12 +0530 – sinhala.adaderana.lk)

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද (30) උදෑසන 6.00 ට තාවකාලිකව ඉවත් කෙරිණි.

එම පළාත් සඳහා අද (30) දහවල් 2.00 සිට යළිත් ඇඳිරි නීතිය පනවනු ඇති.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු තවදුරටත් ක්‍රියාත්මක කරන බව ජනාධිපති කාර්යාලය නිවේදන කරයි.

අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කළුතර දිස්ත්‍රික්කයේ අටලුගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ යන ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙන අතර කවරෙකුට හෝ මේ ගම්මාන දෙකට ඇතුළු වීමට හෝ ඉන් පිටවීම සම්පූර්ණයෙන් තහනම් බවද ජනාධිපති කාර්යාලය නිකුත් කළ ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනයේ සඳහන් ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය ඉවත් කළත් හෙට අනුරපුරේ නගර 3 ක වෙළඳසැල් වසා දමන්න තීරණයක්

(29.03.2020 – 23:18 +0530 – sinhala.adaderana.lk)

අනුරාධපුරයේ ගලෙන්බිඳුනුවැව, කහටගස්දිගිලිය හා හොරොව්පතාන නගරවල සියලු වෙළඳ සැල් ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට (30) දිනය තුළ වසා දැමීමට තීරණය කර තිබේ.

එම ප්‍රදේශයට හෙට (30) උදෑසන 6 ට ඇඳිරි නීතිය තාවකාලිව ඉවත් කරන අතර නැවතත් සවස 2 ට ඇඳිරි නීතිය පනවනු ලබයි.

ඊයේ (28) දිනයේ දී අකුරණ ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනා ගත් අතර, එම පුද්ගලයා මෙම ප්‍රදේශයන්හි ගැවසී ඇතැයි දැනට තොරතුරු ලැබී තිබෙන බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් හෙට (30) දිනයේ දී කිසිදු සුපිරි වෙළඳ සැලක් හෝ සාමාන්‍ය වෙළඳසැල් විවෘත නොවෙනු ඇත.

‍නමුත් රාජ්‍ය බැංකු, ඉන්ධන පිරවුම්හල් හා ඖෂධ වෙළඳ සැල් ‍හෙට දිනයේ විවෘතව පවතියි ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය කැඩු තවත් 227 ක් අත්අඩංගුවට

(29.03.2020 – 22:03 +0530 – sinhala.adaderana.lk)

අද (29) දහවල් 12 සිට සවස 6 දක්වා කාලය තුළ ඇඳිරී නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 227 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 50 ක්.

ඒ අනුව ඉකුත් 20 වැනිදා දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ සමස්ත පුද්ගලයින් ගණන 6474 ක් වන අතර පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන ගණන 1583 දක්වා ඉහළ ගොස් තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීති රෙගුලාසි පනවා තිබියදී රැස්වීමක් සංවිධාන කිරීම ගැන චම්පිකට වැඩ වරදින ලකුණු

(29.03.2020 – 22:13 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීති රෙගුලාසි පනවා තිබියදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නිවසේ රැස්වීමක් සංවිධාන කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසයි.

ඇඳිරි නීතිය හේතුවෙන් හොරණ අපනයන සැකසුම් කලාපයේ රැඳී සිටි සේවක සේවිකාවන් 700 කට අධික පිරිසක් ඔවුන්ගේ නිවෙස් කරා පිටත් කර යැවීමට යුද හමුදාව පියවර ගෙන තිබුණි.

වෙළෙඳ කලාපවල සේවයේ නියුතු විශාල පිරිසක් පසුගිය දින කිහිපයේම නිවෙස්වෙත යොමු කෙරුණු අතර නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අද (29) ප්‍රකාශ කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිටින එම සේවක සේවිකාවන් සියලු දෙනාම ස්වයං නිරෝධායනයට යොමු කරන බවයි.

මේ අතර හෙට (30) උදෑසන 6 ට ඇඳිරි නීතිය ඉවත් කළද බණ්ඩාරවෙල නගර මධ්‍යයේ පවතින ප්‍රධාන වෙළෙඳසල් වසාතබා ජනතාව ගැවසීම අවම කිරීමට බණ්ඩාරවෙල මහ නගර සභාව තීරණය කර තිබේ.‍

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා බල්ලට දමා ඩලස් බරටම ජන්ද වැඩ

(29.03.2020 – 21:27 +0530 – truenews.lk)

කොරෝනා ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා හැකි තරම් වෙර යොදා ජනතාව නිවෙස් තුළට කර තබන මෙහෙයුම මැද ඒ සියල්ල පයිසෙකටවත් මායිම නොකර කටයුතු කරන දේශපාලකයන් සම්බන්ධයෙන් විටින් විට තොරතුරු වාර්තා විය.

ඒ අතරට දැන් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා නියෝජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ද එක්ව සිටියි.

කොරෝනා කෙසේවෙතත් ඔවුන් දෙදෙනා යහමින් ජන්ද වැඩය.

කොරෝනා ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා සියල්ල්ලට ප්‍රථම පාසල් නිවාඩු දී ලක්ෂ ගණනක් දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට තමන් ක්‍රියා කළ බවට පසුගියදා පුන පුනා පවසමින් සිටි අලහප්පෙරුම අමාත්‍යවරයාට ඇතැම් විට දැන් කොරෝනා ප්‍රශ්නය අදාළ නොවන්නට පුළුවන. ඒ, ඔහු තමන් භාරයේ තිබෙන පාසල් නිවාඩු දී දරුවන් හා ගුරුවරුන් ඇතුළු එම කාර්ය මණ්ඩල නිවෙස්වලට කිරීමේ මෙහෙයුම අවසන් වූ නිසාවෙන් විය හැකිය.

පසුගිය 27 වැනි දින පෙරවරුවේ අකුරැස්සේදී පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා නියෝජිතයන් ඇතුළු පිරිස ගෙන්වා ඩලස් අලහප්පෙරුම හා කාංචන විජේසේකර අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් කර තිබේ.

කොරෝනා ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා නිරෝධායන නීතිය බලාත්මක කරමින් රටපුරා ඇඳිරි නීති පනවා තවදුරටත් ක්‍රමානුකූලව එම නීති දැඩි කරමින් ජනරාශිය වළක්වා ඇති මොහොතක මීටරයක දුර තබා හෝ මෙවැනි ජන රාශීන් සිදුකිරීම නීතියට පටහැනිය. මෙය පැහැදිලි ලෙසම නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීමකි. නිරෝධායන නීතිය යටතේ දෙදෙනෙකුට වැඩ රැස්වීම එම නීතියට පටහැනිව යාමකි.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා සහනයටත් සමෘද්ධි නිලධාරීනියක් විදී – ඉල්ලන් එන විට පරුෂ වචනයෙන් බැන වදිමින් පහර දීමට හදයි

(30.03.2020 – 09:38 +0530 – truenews.lk)

කොරෝනා වසංගතය හේතුවෙන් අසරණ වී ඇති පවුල් වලට රජය විසින් ලබා දෙන සහන තමන්ට නොලැබීම පිළිබඳව ඇසීමට ගිය පුද්ගලයෙකුට සහ ඔහුගේ බිරිඳට රාගම ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරීනියක් සහ නිලධාරියෙකු නොවන ඇගේ සැමියා විසින් පරුෂ වචනයෙන් බැන වදිමින් පහර දීමට උත්සහ කරන අයුරු ජංගම දුරකථනයෙන් පටිගත කොට තිබෙනවා.

දුරකථනය කුඩු කරන බවත් පවසමින් බැල්ලී යනුවෙන් නිලධාරියෙකු නොවන ඇගේ සැමියා විසින් කාන්තාවන්ට අමතන්න වූ අතර සමෘද්ධි නිලධාරීනිය දුරකථනයට ද පහර දෙනු ලැබුවා.

අලුතින් සමෘද්ධිය ලැබූ පුද්ගලයන්ට සහන නොදෙන බව පවසමින් සමෘද්ධි නිලධාරීනිය මෙහිදී රජයේ තීරණද කඩකර තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

ගුවන් ගමන් අත්හිටුවා තිබියදී ලාංකිකයන් 5000 කට කුවේටයෙන් පිට වන්නයි නියෝග.. රෝහල්වලට ගැනීමත් තහනම් !

(30.03.2020 – 09:51 +0530 – truenews.lk)

සියලු ගුවන් ගමන් නතරකර තිබියදී වීසා නොමැති සියලුම ශ්‍රී ලාංකිකයන්ට රටින් පිටව යන ලෙසට කුවේට් රජය නියෝග කර තිබෙනවා.

කුවේට් රාජ්‍යයේ වීසා නොමැති ශ්‍රී ලාංකිකයන් පන්දහසක් පමණ සිටින බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙක් ප්‍රකාශ කළා.

කොවිඩ් 19 වෛරසය නිසා කුවේට් රජය මෙම තීරණය ගෙන ඇති අතර වීසා නොමැති සියලු ශ්‍රී ලාංකිකයන්ට අනිද්දා (අප්‍රේල් 01 වැනිදා) සිට අප්‍රේල් 30 වැනිදා දක්වා කාලයේ එරටින් පිට වන ලෙසට නියෝග කර තිබෙනවා.

වීසා නොමැතිව කුවේට්හි සිටින ලාංකිකයන් පොදු සමා කාලය තුළ පිටව නොගියොත් අත්අඩංගුවට ගෙන ඔවුන් තම රටින් පිටුවහල් කරන බවද කුවේටය දැනුම් දී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

වීසා නොමැති අය කුවේට් රජයේ රෝහල්වලට භාර නොගන්නා අතර පෞද්ගලික රෝහල්වලින්ද අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබා නොදෙන බව තානාපති කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *