මෙරටින් කොරෝනා ආසාදිත දෙවන මරණයත් වාර්තා වෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මෙරටින් කොරෝනා ආසාදිත දෙවන මරණයත් වාර්තා වෙයි (විඩියෝ)

• රජයේ සේවකයන්ට, විශ්‍රාමිකයන්ට, ස්වයං රැකියා කරන්නන්ටත් සහන

• කොරෝනා ව්‍යසනයෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා බැංකු සහන පහසු කිරීම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාවට නංවයි

• රෙජිස්ටාර් ජනරාල්ගෙන් නිවේදනයක් – උපත් ලියාපදිංචියට අනවශ්‍ය කලබල එපා

• ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනෙන් දැනුම්දීමක්

• පැමිණිලි කරන්න පැය 24 ම ක්‍රියාත්මක දුරකථන අංක කිහිපයක්

• COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට ආයතන හා පුද්ගල මට්ටමින් ඉහළ දායකත්වයක්

• කොරෝනා ආසාදිතයෙක් සොයා ගැනීමත් සමඟ කළුබෝවිල වාට්ටුවක් වැසෙයි (විඩියෝ)

• වන්නි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටි 208 ක් පිටව යයි

• ඇදිරි නීති බලපත්‍ර නොමැතිව මාර්ගවල ගමන් ගන්නා සියළුම දෙනා වරෙන්තු නොමැතිව අත්අඩංගුවට

• දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන විෂබීජහරණ කුටි ස්ථාපිත කෙරේ

• Covid-19 ට එරෙහි බුද්ධි අංශ මෙහෙයුම (විඩියෝ)

• කොවිඩ්-19 ආසාදිතයන් මින්ත්තු 15 කින් හඳුනා ගැනීමට ඕස්ට්‍රේලියාවෙන් පරීක්ෂණ කට්ටලයක්

• කොරෝනාවලට ජපානය විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධය ලංකාවට (විඩියෝ)

• කොරෝනා නිසා මියගිය දෙවන පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් නිරෝධායනයට (විඩියෝ)

• දකුණු ආසියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට පියවර

• පවතින වසංගත අර්බුදයෙන් මිදීමට ජනතාවගේ සහාය අවශ්‍යයි – බැසිල් රාජපක්ෂ (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

මෙරටින් කොරෝනා ආසාදිත දෙවන මරණයත් වාර්තා වෙයි

(30.03.2020 – 18:23 +0530 – sinhala.adaderana.lk)

මීගමුව රෝහලට ඇතුළත් කර සිටි නව කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයෙකු මියගොස් තිබේ.

මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

හෘද රෝගී තත්ත්වයක් ඇති බව පවසමින් මීගමුව රෝහලට ඇතුළත් වූ මෙම පුද්ගලයා සැකකටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් සිදුකළ විමර්ශනවල දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබුණි.

මෙය මෙරටින් වාර්තා වු දෙවන කොරෝනා මරණයයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

රජයේ සේවකයන්ට, විශ්‍රාමිකයන්ට, ස්වයං රැකියා කරන්නන්ටත් සහන

(31.03.2020 – 06:23 +0530 – hirunews.lk/sinhala)

  • ගර්භනී මාතාවන් සහ මන්ද පෝෂිත දරුවන් සඳහා ත්‍රිපෝෂ සහ වෙනත් පෝෂණ ද්‍රව්‍ය නිවෙස් වෙත ඝෘජුවම සැපයීම ද මෙම සහන අතර වනවා.
  • 645,179 ක් වන විශ්‍රාමික රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප ගෙවීමද මීට අයත්.
  • 1,500,000 ක් වන රජයේ සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප ගෙවන අතර වැටුප මත ණය මුදල් අය කිරීම නැවත දන්වන තුරු අත්හිටුවීමද මේ සහන අතර වනවා.
  • ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ සහ ස්වයං රැකියා සඳහා භාවිත මෝටර් රථ හිමියන් ඇතුළු ස්වයං රැකියාවල නිරත 1,500,000 ක් දෙනාට කල් බදු වාරික සඳහා සහන සැලසීමද ඊට ඇතුළත්.
  • උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආර්ථික අපහසුතා නිසා සේවක වැටුප් ගෙවීමට නොහැකි පෞද්ගලික ව්‍යාපාරවලට ද සහන ලබාදෙන බවද එහි දැක්වෙනවා.
  • රු 5000 දීමනාව හිමිවන්නේ පහත පුද්ගල කණ්ඩායම්වලටයි :

• වැඩිහිටි දීමනා ලාභී 416,764 දෙනාට සහ වැඩිහිටියන් ලෙස හඳුනාගනු ලැබ, පොරොත්තු ලේඛනගතව සිටින 142,345 කට රුපියල් 5000/- ක් ගෙවීම.

• ආබාධිත දීමනාලාභී 84,071 සහ ආබාධිත ලෙස හඳුනාගනු ලැබ, පොරොත්තු ලේඛනයේ සිටින 35,229 ක් දෙනාට ද රුපියල් 5,000/- දීමනාව පිරිනැමීම.

• ගොවි රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි 160,675 වන ගොවීන්ට ද රුපියල් 5,000/- දීමනාව හිමිකරදීම.

• වකුගඩු රෝගී දිමනාලාභී 25,320ක් සහ පොරොත්තු ලේඛනයේ සිටින 13,850 ක් දෙනාට ද රුපියල් 5,000/- දීමනාව ගෙවීම.

• සමෘද්ධි හිමිකම්ලාභී 1,798,655 ක් දෙනාට සහ පොරොත්තු ලේඛනගත පවුල් 600,339 දෙනාට රුපියල් 5,000/- දීමනාව සමෘද්ධි බැංකුව / සමෘද්ධි අධිකාරිය මගින් ගෙවීම.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ව්‍යසනයෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා බැංකු සහන පහසු කිරීම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාවට නංවයි

(30.11.2019 – biz.adaderana.lk)

කොරෝනා ව්‍යසනය හෙවත් COVID–19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා සහන සැලසීම උදෙසා අවශ්‍ය නම්‍යශීලීත්වය බැංකු ක්ෂේත්‍රයට ලබාදීමේ අරමුණින් ‍ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සදහා සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දීමට තීරණය කර ඇත. මෙම ක්‍රියාමාර්ග හඳුන්වා දීමේ දී මුදල් මණ්ඩලය විසින් විශේෂයෙන් බැංකු විසින් දැනටමත් රැස් කර ගෙන ඇති ප්‍රාග්ධන අතිරික්තයන් ඇතුළු ව බැංකු ක්ෂේත්‍රයේ සමස්ත ස්ථායිතාව සැලකිල්ලට ගත් අතර දැනට පවතින හා ඉදිරියේ දී අපේක්ෂිත ද්‍රවශීලතා මට්ටම්, අසාමාන්‍ය ලෙස ආර්ථික කටයුතු බිඳ වැටීම සහ බහුතරයක් ගනුදෙනුකරුවන් හට ඔවුන්ගේ ණය පහසුකම් නිසි පරිදි ගෙවා දැමීමට නො හැකි වීම නිසා ඉදිරියේ දී අක්‍රීය ණය ඉහළ යාමට ඇති ප්‍රවණතාව වැනි කරුණු පිළිබඳ ව අවධානය යොමු කරන ලදී.

ඒ අනුව, කොවිඩ්-19 මගින් බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන්හට සහන සැලසීම සඳහා බලපත්‍රලාභී බැංකු වෙත වැඩිදුරටත් ඉඩකඩ සපයා දීමේ අරමුණින් පහත සඳහන් සුවිශේෂ ක්‍රියාමාර්ග කඩිනමින් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

  1. දේශීය මූල්‍ය පද්ධතියේ වැඩි වැදගත්කමක් සහිත බැංකු (D-SIBs)සහ එසේ නො වන බැංකු සඳහා පිළිවෙලින් පදනම් අංක 100 සහ 50 බැගින් තම ප්‍රාග්ධනය සුරැකීම සඳහා ඇති අතිරික්තයන් පහත දැමීමට අවස්ථාව සලසා දීම තුළින් ආර්ථිකයට සුමට ව ණය ගලා යාමට පහසුකම් සැලසීම සහ කොරෝනා ව්‍යසනය මගින් බලපෑමට ලක්වූ ණය ගැනුම් කරුවන් හට සිය ව්‍යාපාර කටයුතු නුදුරු අනාගතය තුළ අඛණ්ඩ ව පවත්වාගෙන යාමේ හැකියාව ලබාදීම
  2. යම් ගනුදෙනුකරුවෙකුගේ මුළු අක්‍රිය ණය පහසුකම් ප්‍රමාණය, ඔහු වෙත ලබා දී ඇති මුළු ණය පහසුකම් ප්‍රමාණයෙන් 30% ඉක්මවන විට එම ගනුදෙනුකරු වෙත ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය ම අක්‍රිය ගණයේ ලා සැලකීමට ඇති නියාමන අවශ්‍යතාව ඉවත් කිරීම
  3. කිසියම් ණයක් විදේශ මුදලින් පියවා ගැනීමට ඇති හැකියාවක් නොමැති විටෙක, අවසාන විකල්පය වශයෙන්, බැංකු විසින් නිශ්චිත කොන්දේසි සපුරාලීම තහවුරු කිරීමට යටත් ව, එම ණය රුපියල්වලින් පියවා ගැනීමට බැංකු වෙත අවසර ලබා දීම
  4. වෙනත් කිසිදු සහනයක් සඳහා හිමිකම් නො ලබන ගනුදෙනුකරුවන් සඳහා මාර්තු මස තුළ දී අය වීමට නියමිත ඔවුන්ගේ ණය හා අත්තිකාරම් වාරික සඳහා දින 60ක කල් දිගුවක් ලබා දීමට බලපත්‍රලාභී බැංකු වෙත අවසර දී ඇති අතර අදාළ දින 60 අවසන් වන තුරු එම ණය පහසුකම්, ගෙවීම පැහැර හැර ඇති සේ නොසැලකිය යුතු වීම
  5. කොරෝනා ව්‍යසනය (කොවිඩ්-19) නිසා ගනුදෙනුකරුවන් මුහුණ පා ඇති ගැටළු හේතුවෙන් 2020.03.16 සිට 2020.06.30 දක්වා කාල සීමාව තුළ දී ණය ගිවිසුම් සහ ආපසු ගෙවීමේ කාල සීමා සඳහා කරනු ලබන සියළු වෙනස් කිරීම් ණය සහ අත්තිකාරම් වර්ගීකරණය සහ ණය හානිකරණය ගණනයේ දී ‘ප්‍රතිව්‍යුහගත’ ලෙස සැලකීම වෙනුවට ‘සංශෝධන’ ලෙස සැලකීමට බැංකු වෙත අවසර දීම
  6. 2020 වසර අවසානය වන විට වැඩි කළ ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරා ගත යුතු ව තිබූ බැංකු හට එකී අවශ්‍යතා සපුරාගැනීමේ අවසාන දිනය 2022 වසර අවසානය තෙක් දීර්ඝ කිරීම
  7. නියාමනයේ දී හඳුනා ගත් සැලකිය යුතු කරණු නිවැරදි කිරීම සඳහා ලබා දී ඇති කාල සීමාවන් බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව හා සාකච්ඡා කර ඒවායේ, වැදගත්කම / බැරෑරුම්කම සලකා බලා අවශ්‍ය නම් නැවත සකස් කිරීමට අවසර දීම. නියාමනයේදී හඳුනාගත් කරුණු / සොයා ගැනීම් සඳහා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමේ කාල කාලසීමාව 2020 මැයි 30 දක්වා ඇති බැංකු සඳහා අමතර මාස 3 ක කාලයක් ලබාදීම
  8. යළි දැනුම්දෙන තුරු , බලපත්‍රලාභී බැංකු විසින් බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කාලීන ව සිදු කළ යුතු ව්‍යවස්ථාපිත වාර්තාකරණයන් සඳහා නියමිත කාල සීමාව සති දෙකකින් දීර්ඝ කිරීම සහ කාර්තුමය මූල්‍ය වාර්තා ප්‍රකාශනය සඳහා නියමිත කාල සීමාව මසකින් දීර්ඝ කිරීම

බැංකු වෙත ලබා දුන් මෙම සහනයන් තම ගනුදෙනුකරුවන්ගේ හා සමස්ත ආර්ථිකයේ ම යහපත උදෙසා යොදා ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලු ම බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා සිටින අතර එමගින් බැංකු ක්ෂේත්‍රයට වඩාත් ශක්තිමත් ලෙස අභියෝගවලට මුහුණ දීමට හැකියාව ලැබෙනු ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

රෙජිස්ටාර් ජනරාල්ගෙන් නිවේදනයක් – උපත් ලියාපදිංචියට අනවශ්‍ය කලබල එපා

(30.03.2020 – 19:33 +0530 – sinhala.adaderana.lk)

දැනට රට තුළ පවතින තත්ත්වය අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ උකස් ඔප්පු ලියාපදිංචි කිරීම සඳහා රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී. විතානගේ මහතා මේ බව සඳහන් කරයි.

ඒ සඳහා දුරකථන අංක කීපයක් ද ඒ මහතා විසින් දැනුම්දෙනු ලැබ ඇත.

• රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී. විතානගේ : 0701 588 433

• ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාල් ජනරාල් (පාලන) පුබුදිකා එස්. බණ්ඩාර : 0713 483 238

• සහකාර රෙජිස්ට්‍රාල් ජනරාල් සී.එස්. ජාගොඩආරච්චි : 0714 485 564

• සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් සමන් දිසානායක : 0703 899 535

ඒ අනුව 1951 අංක දරණ උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ පනත අනුව උපතක් සිදුවී මාස තුනක් ඇතුළත උපත් හා මරණ රෙජිස්ට්‍රාර් මඟින්ද, ඉන්පසුව උපත සිදුවු ස්ථානය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින්ද උපතක් ලියාපදිංචි කර ගැනීමේ හැකියාව පවතින බව දැනුම් දෙයි.

එබැවින් මෙම අවස්ථාවේ දී උපත් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙසත් මහජනතාවට දැනුම් දෙයි.

මරණ ලියාපදිංචි කිරීමේ කටයුතු ද මින් පෙර චක්‍රලේඛ මඟින් සියලු පළාත් පාලන ආයතන දැනුවත් කර ඇති පරිදි මරණ සහතික හෝ පහත සඳහන් ලේඛන තුනෙන් එකක් ලබා ගෙන ආදළ මරණයේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා සුසාන භූමි / ආදාහනාගාර වෙන් කර දෙන ලෙස සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි.

  1. උපත් හා මරණ රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරනු ලබන වාර්තාව – (ආකෘති අංක : B 16)
  2. මහේස්ත්‍රාත් / හදිසි මරණ පරීක්ෂක තැන විසින් නිකුත් කරනු ලබන සහතික – (ආකෘති අංක : B 18 )
  3. රෝහල් මරණ ප්‍රකාශය – (ආකෘති අංක : B 33)

+++++++++++++++++++++++++++++++++++

ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනෙන් දැනුම්දීමක්

(30.03.2020 – 17:14 +0530 – sinhala.adaderana.lk)

රට තුළ පවතින තත්ත්වය හමුවේ වුවද ජාතික ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයින්ට අවශ්‍ය සේවා සැපයීමට විශේෂ වැඩපිළිවලක් සකස් කර තිබේ.

ඒ අනුව කොළඹ පිහිටි මධ්‍යම සායනය මගින් සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8.00 සිටි මධ්‍යහන 12.00 දක්වා ඖෂධ නිකුත්කිරීම හා සේවා ලබාදීම සිදු කරන බව ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහ පවසයි.

කේසේවෙතත්, තමන්ට නියමිත සායනය වෙත පැමිණීමට අපහසු පුද්ගලයින්ට තමාට ළඟම සායනයට පැමිණීමට හැකි බවද ජාතික ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසයි ෴

+++++++++++++++++++++++++++++++++++

පැමිණිලි කරන්න පැය 24 ම ක්‍රියාත්මක දුරකථන අංක කිහිපයක්

(30.03.2020 – 20:28 +0530 – sinhala.adaderana.lk)

රජය ලබාදෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයේ සිදුවීම පිලිබඳ පැමිණිලි කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය මගින් පැය 24 ම ක්‍රියාත්මක දුරකථන අංක කිහිපයක් හඳුන්වා දි තිබේ.

011 435 4550 හෝ 011 435 4655 යන අංක ඔස්සේ සහ මෙහි සඳහන් අනෙකුත් දිගු අංක ඔස්සේ ජනාධිපති මහජන සම්බන්ධතා අංශය ඇමතිය හැකියි.

+++++++++++++++++++++++++++++++++++

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට ආයතන හා පුද්ගල මට්ටමින් ඉහළ දායකත්වයක්

(30.03.2020 – president.gov.lk)

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ශක්තිමත් කිරීමට ආයතන සහ පෞද්ගලික පරිත්‍යාගශීලීහු විශාල පිරිසක් දායක වෙමින් සිටිති.

කොරෝනා හෙවත් COVID 19 වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වනදා ස්ථාපනය කළේය.

ජනාධිපතිතුමාගේ නියමයෙන් ජනාධිපති අරමුදලින් ඒ සඳහා රුපියල් මිලියන 100 ක මුදලක් ප්‍රදානය කෙරිණ.

ශ්‍රී දළදා මාළිගය භාර අරමුදලෙන් රුපියල් මිලියන 10 ක්, මල්වතු සහ අස්ගිරි උභය විහාරයෙන් රුපියල් මිලියන 10 ක් පරිත්‍යාග කර තිබේ.

ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය රුපියල් මිලියන 2.5 ක්, ජනාධිපති ලේකම් කාර්යාලය රුපියල් ලක්ෂ 02 ක්, ශ්‍රී ලංකා ඉන්ජිනේරු සේවා සංගමය රුපියල් මිලියන 6.5 ක්, කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය රුපියල් මිලියන 2.5 ක්, ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමය රුපියල් මිලියනයක්, රාජ්‍ය සේවා ඉන්ජිනේරු සංගමය රුපියල් මිලියන 03 ක්, ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනය රුපියල් මිලියනයක් සහ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා රුපියල් මිලියන 05 ක් ඇතුළුව රුපියල් මිලියන 140 ක පරිත්‍යාග මේ වන විට අරමුදලට ලැබී ඇත.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශීලින් ද ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

‘සෞඛ්‍ය සහ සමාජ සංරක්ෂණ අරමුදල’ කළමනාකරණය පරිපාලන, මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් සිදු කෙරේ. අමාත්‍යංශ ලේකම්වරු, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විගණන විශේෂඥයන් සහ බැංකු ප්‍රධානීහූ කළමනාකරණ මණ්ඩලයට පත් කර තිබේ.

දේශීය, විදේශීය සමාගම්වලට ද අරමුදලට දායක වීමෙන් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණය දිරි ගැන්වීමට හවුල් විය හැකි මානුෂීය මෙහෙවරකින් සමස්ථ ප්‍රජාව දෙස බැලීමට ලැබූණු විශේෂ අවස්ථාවක් බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සඳහන් කරයි.

A/C Name : COVID – 19 Healthcare and Social Security Fund
A/C No. : 85737373
Bank : Bank of Ceylon
Branch : Corporate Branch

+++++++++++++++++++++

කොරෝනා ආසාදිතයෙක් සොයා ගැනීමත් සමඟ කළුබෝවිල වාට්ටුවක් වැසෙයි

(31.03.2020 – 06:57 +0530 – sinhala.adaderana.lk)

දකුණු කොළඹ ශික්ෂණ රෝහල හෙවත් කළුබෝවිල මහාරෝහලෙන් කොවිඩ් නයින්ටීන් ආසාධිතයෙකු සොයා ගැනීමත් සමඟ එම රෝහලේ වාට්ටුවක් සම්පුර්ණයෙන්ම වසා දැමීමට රෝහල් බලධාරින් පියවර ගෙන තිබේ.

60 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය අසාධනය වි ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අදාළ වාට්ටුවේ නේවාසිකව ප්‍රකාර ලබමින් සිටි රෝගින් සහ කාර්යය මණ්ඩලය නිරෝධායනයට ලක්කිරිමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

එම වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාල නේවාසිකාගාරයේ දින 14 කාලයක් නිරෝධායනයට ලක් කරන අතර රෝගින් හෝමාගම මුළික රෝහල තුළ දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කෙරෙනු ඇති.

+++++++++++++++++++++++++++++++++++

වන්නි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටි 208 ක් පිටව යයි

(31.03.2020 – 11:18 +0530 – sinhala.adaderana.lk)

ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන වන්නි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටි 208 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සිය නිවෙස් වෙත පිටත් කර හැර තිබේ.

විදෙස් රටවල සිට පැමිණ වන්නි නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවාසිටි අදාල පිරිස දින 14 ක නිරෝධායන කාලසීමාව අවසන් කිරිමෙන් අනතුරුව මෙලෙස නිවෙස්වෙත පිටත් කෙරුණු බව ගුවන් හමුදා මූලස්ථානය පැවසුවේය.

පසුගිය 17 වනදා සිට අදාල පිරිස එම නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිට තිබේ.

නිවෙස් වෙත යාම සදහා ඔවුන්ට අවශ්‍ය වාහන පහසුකම් සැපයීම ද ගුවන් හමුදාව විසින් සිදු කළබව ගුවන් හමුදා මූලස්ථානය පැවසුවේය.

+++++++++++++++++++++++++++++++++++

ඇදිරි නීති බලපත්‍ර නොමැතිව මාර්ගවල ගමන් ගන්නා සියළුම දෙනා වරෙන්තු නොමැතිව අත්අඩංගුවට

(31.03.2020 – 12:05 +0530 – sinhala.adaderana.lk)

තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන් ගන්නා සියළුම පුද්ගලයින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි ෴

+++++++++++++++++++++++++++++++++++

දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන විෂබීජහරණ කුටි ස්ථාපිත කෙරේ

(31.03.2020 – 11:20 +0530 – hirunews.lk/sinhala)

දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් විෂබීජහරණ කුටි ස්ථාපිත කිරීමට මෙරට තරුණ කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

සාර්ථකව අත්හදා බැලූ එහි පළමු කුටිය කොළඹ – බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලට භාරදීමට ඔවුන් පසුගිය දා කටයුතු කළා.

මෙම එක් කුටියක් සඳහා රුපියල් 35,000 ක මුදලක් වැය වන බව සඳහන්.

තවත් කුටියක් ඉදිරියේදී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බවයි අදාළ විෂබීජහරණ කුටි ස්ථාපිත කිරීමට කටයුතු කළ තරුණ කණ්ඩායමේ සාමාජික චලන සෙනරත් මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

Covid-19 ට එරෙහි බුද්ධි අංශ මෙහෙයුම

(31.03.2020 – 11:15 +0530 – hirunews.lk/sinhala)

Covid-19 හෙවත් කොරෝනා වෛරසයට එරෙහි මෙහෙයුමට බුද්ධි අංශ දෙන දායකත්වය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් කමල් කමල් ගුණරත්න මහතා පැහැදිළි කිරීමක් කළා.

ඒ හිරු සලකුණ වැඩසටහනට සහභාගීවෙමින්.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ්-19 ආසාදිතයන් මින්ත්තු 15 කින් හඳුනා ගැනීමට ඕස්ට්‍රේලියාවෙන් පරීක්ෂණ කට්ටලයක්

(31.03.2020 – 09:55 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි මින්ත්තු 15 කින් හඳුනා ගත හැකි පරීක්ෂණ කට්ටලයක් ඕස්ට්‍රේලියාව විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

එය ඉදිරි සතියේ පරීක්ෂා කිරීම් සඳහා යොදා ගැනීමට නියමිත අතර, එමගින් එරට කොරෝනා වෛරස් පරීක්ෂාවන් කාර්යක්ෂම වනු ඇති.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පෙන්වා දී ඇත්තේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය මැඬලීමට නම් පරීක්ෂාවන් පුළුල් කළ යුතු බවයි.

නව පරීක්ෂණ කට්ටල සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේ එරට ජාතික විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මහාචාර්ය සංජය සේනානායක මහතා විසින්.

බෝවන රෝග පිළිබඳ විශේෂඥවරයෙකු වන ශ්‍රී ලාංකික සම්බවයක් සහිත ඔහු කියා සිටියේ නව කොරෝනා පරීක්ෂණ ක්‍රමවේදය ගර්භනී පරීක්ෂාවට බෙහෙවින් සමාන වන බවයි.

රුධිරය බින්දුවක් යොදා ගනිමින් විනාඩි 15 ක් ඇතුළත අදාළ වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපද වී ඇත්දැයි පරීක්ෂා කළ හැකි වන අතර, නාස් කුහරයේ බිඳිත්තකින් පරීක්ෂා කිරීමේදී ඒ සඳහා ගත වන කාලය විනාඩි 45 ක්.

දැනට පවතින නවීනතම කොරෝනා වෛරස් පරීක්ෂණ කට්ටල මගින් ප්‍රතිඵල ලබා ගැනීමට පැය 5 ත්, 6 ත් අතර කාලයක් ගත වන බව සඳහන්.

වෛද්‍ය මහාචාර්ය සංජය සේනානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නව පරීක්ෂණ කට්ටල මගින් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයන් සංඛ්‍යාව ද අනාවරණ කර ගත හැකි වනු ඇති බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනාවලට ජපානය විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධය ලංකාවට

(31.03.2020 – 09:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය සඳහා ජපානය විසින් දැනට නිෂ්පාදනය කර ඇති බවට පැවසෙන අවිගන් (Avigan) නැමති ඖෂධය මෙරටට ගෙන්වා ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද උදෑසන විකාශය වූ ‘හිරු ටී.වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා නිසා මියගිය දෙවන පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් නිරෝධායනයට

(31.03.2020 – 08:20 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මීගමුව මහරෝහලේදී ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ නිවසේ සිටි කුඩා ළමයින් ඇතුළු 13 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබෙනවා.

මීගමුව – පෝරුතොට – ආබ්දීන් මාවත ප්‍රදේශයේ ඔහු පදිංචිව සිටි පිරිසයි මෙලෙස එම නිවස තුළදීම නිරෝධායනයට ලක් කර ඇත්තේ.

මීට අමතරව මීගමුව, වැල්ලවීදිය සහ පෙරියමුල්ල ප්‍රදේශවල පෞද්ගලික ඖෂධසැල් දෙකක වෛද්‍යවරුන් සහ සේවක සේවිකාවන් ද නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇති බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම, පසුගිය දින තුළ ඔහු සංචාරය කළ ස්ථාන සහ ආශ්‍රිය කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ද තොරතුරු සොයා බැලීමක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (30) පස්වරුවේ මීගමුව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 64 හැවිරිදි කොච්චිකඩේ – පෝරුතොට ප්‍රදේශයේ පදිංචි මෙම ව්‍යාපාරිකයා කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.

ඔහුගේ අවසන් කටයුතු ද මීගමුව මහ නගර සභා පොදු සුසාන භූමියේදී ඊයේ (30) රාත්‍රියේම සිදුකළ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඒ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ පොලීසියේ අධීක්ෂණය යටතේයි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

දකුණු ආසියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට පියවර

(31.03.2020 – 11:41 +0530 – sinhala.adaderana.lk)

විදේශ අමාත්‍යාංශය සමඟ එක්ව, දකුණු ආසියාවේ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල එතෙර සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවන් සමඟ සමීපව කටයුතු කරමින් සිටින අතර, COVID-19 වසංගතයෙන් අනතුරුව මෙම කලාපයේ රටවල සිටින බොහෝ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ආධාර සහ පහසුකම් සැලසීමට කටයුතු කරමින් සිටී.

ඔවුන් සමඟ සමීප සබඳතා පවත්වා ගැනීමේ සහ ඔවුන්ගේ සුභසාධනය සැම විටම සහතික කිරීමේ අරමුණින් යුතුව, එක් එක් දූත මණ්ඩලයට අයත් වන ශ්‍රී ලාංකික සිසුන්ගේ සහ අනෙකුත් විදේශගත ශ්‍රී ලාංකිකයන් පිළිබඳ දත්ත ගබඩාවන් මෙම දූත මණ්ඩල මඟින් සම්පාදනය කෙරෙමින් පවතී.

COVID-19 වසංගතය පිළිබඳ අවදානම අවම වන තෙක් ඔවුන් වර්තමානයේ සිටින ස්ථානවලම රැඳී සිටින ලෙස සියලුම විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා රජය මෑතකදී නිවේදනයක් නිකුත් කළ අතර, මෙම වෛරසයේ ව්‍යාප්තිය මෙරට තුළ මැඩපවත්වා ගැනීමෙන් අනතුරුව, නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වන ඉල්ලීම් පිළිබඳව සලකා බලන බවට තවදුරටත් සහතික වී තිබේ.

මේ අතර, නවදිල්ලිය, චෙන්නායි, මුම්බායි, කත්මණ්ඩු, ඉස්ලාමාබාද්, ඩකා, කාබුල් සහ මාලේ යන නගරවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල විශේෂ ඍජු දුරකථන ඇමතුම් මාර්ග සහ සමාජ මාධ්‍ය කණ්ඩායම් පිහිටුවා ඇති අතර, එම ජාලය හරහා එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්, ප්‍රජා සංවිධාන සහ නියෝජිතයින් සමඟ සම්බන්ධ වෙමින්, දේශීය රෙගුලාසිවලට අනුකූලව ඔවුන් වර්තමානයේ සිටින ස්ථානවල ආරක්ෂිත පරිසරයක රැඳී සිටීමට සහාය වීම සහ විවිධ ස්ථානවල සිටින ශ්‍රී ලාංකිකයන්ට ආහාර සහ වෙනත් අවශ්‍යතා සඳහා ප්‍රවේශය ඇති බව සහතික කිරීම සඳහා කටයුතු කරයි.

තවද, මෙම දූත මණ්ඩල අදාළ බලධාරීන් සමඟ සම්බන්ධීකරණය කරමින් සාකච්ඡා පවත්වා ඇති අතර, අවශ්‍ය පරිදි වීසා දීර්ඝ කිරීම් සඳහා මැදිහත් වී අනුමැතිය ලබාගෙන තිබේ.

ජංගම උපාංග හරහා ප්‍රජාවට පණිවුඩ බෙදා හැරීම සඳහා සිංහල භාෂාවෙන් COVID-I9 වසංගතය පිළිබඳ දැනුවත් කිරීමේ පණිවිඩ සකස් කිරීමේ දී, ඇතැම් දූත මණ්ඩල ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් සමඟ සම්බන්ධ වී කටයුතු කර ඇත.

කලින් දන්වන ලද පරිදි ඇතැම් ස්ථාන වසා දැමීමත් සමඟ, මෙම දූත මණ්ඩල රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ නිවෙස්වල උප කාර්යාල පිහිටුවීමට, සිය නිවෙස්වල සිට රාජකාරි කටයුතු කිරීමට සහ ප්‍රජා සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

මෙම රටවල විශ්වවිද්‍යාලවලට බඳවාගෙන සිටින ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසකට නේවාසිකාගාර, ආපනශාලා සහ වෛද්‍ය පහසුකම් සඳහා අඛණ්ඩව ප්‍රවේශය ලබා දීම සහතික කිරීම සඳහා, එම ශ්‍රී ලංකා දූත මණ්ඩල අදාළ අධ්‍යාපන ආයතන සමඟ සම්බන්ධතා පවත්වමින්, එම ශිෂ්‍ය කණ්ඩායම් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වී සිටියි.

නිවාඩු සහ විභාග කාලසටහන් නැවත සකස් කොට සිසුන්ට පහසුකම් සැලසීම සඳහා, මෙම දූත මණ්ඩල විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, රෙජිස්ට්‍රාර්වරුන්, පීඨාධිපතිවරුන් සහ වෙනත් අධ්‍යාපන ආයතන සමඟ ද සාකච්ඡා පවත්වා ඇත.

ශිෂ්‍යත්වලාභීන්ගේ ශිෂ්‍යත්ව මුදල් අඛණ්ඩව ලබා ගැනීම සහතික කිරීම සඳහා ද සාකච්ඡා පවත්වනු ලැබේ.

කලාපීය දෘෂ්ටි කෝණයකින් බලන කල, COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමේ ප්‍රයත්නයේ දී, සාමාජික රටවල ස්වේච්ඡා දායකත්වයෙන් සාර්ක් COVID-19 හදිසි අරමුදල පිහිටුවීමට සාර්ක් රටවල නායකයෝ මෑතක දී එකඟ වූ අතර, ශ්‍රී ලංකාව විසින් ලබා දීමට පොරොන්දු වූ ඇමරිකානු ඩොලර් මිලියන 5 ක මුදල ද ඊට අයත් වේ.

තවද, වර්තමාන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සහ අඛණ්ඩව ඖෂධ සැපයීම හා සූදානම සහතික කිරීම පිණිස, එක් රජයකින් තවත් රජයකට මිලදී ගැනීමේ වැඩ පිළිවෙලක් ඔස්සේ ඖෂධීය ද්‍රව්‍ය හා වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය දැනටමත් දකුණු ආසියානු රටවලින් ද්විපාර්ශ්වික සහයෝගීතාව හා සහය ඉල්ලා ඇත.

COVID-19 වසංගතය ව්‍යාප්ත වීම වැනි හදිසි අවස්ථාවල දී ශ්‍රී ලංකා රජයට ලොව පුරා සෑම තැනකටම ළඟා වී ආධාර සැපයීමට ශක්තිය ලබා දෙන අතිරේක පියවරක් ලෙස විදේශ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA) විසින් ඒකාබද්ධව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත වෙබ් ද්වාරයෙහි ලියාපදිංචි වන ලෙස එතෙර සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කර ඇත.

මෙම මාර්ගගත ද්වාරය විදේශ අමාත්‍යාංශය විසින් පසුගිය සතියේ දී දියත් කරන ලදී.

https://www.mfa.gov.lk/
https://www.contactsrilanka.mfa.gov.lk/

+++++++++++++++++++++++++++++++++++

පවතින වසංගත අර්බුදයෙන් මිදීමට ජනතාවගේ සහාය අවශ්‍යයි – බැසිල් රාජපක්ෂ

(31.03.2020 – 10:02 +0530 – sinhala.adaderana.lk)

රට මුහුණ පා ඇති වත්මන් තත්ත්වය හමුවේ ජනතාවගේ ආර්ථික මෙන්ම ආහාර ගැටලු විසඳීමට රජය මැදිහත් වන බව අත්‍යාවශ්‍ය සේවාවන් පිළිබද ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

‘දෙරණ 360’ වැඩසටහනට ඊයේ (30) එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ පවතින වසංගත අර්බුදයෙන් මිදීම සඳහා ජනතාවගේ සහාය ද අපේක්ෂා කරන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *