ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 132 දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 132 දක්වා ඉහළට (විඩියෝ)

• විඩියෝ තාක්ෂණයෙන් බෙහෙත් දෙන්න අද (31) ඇරඹුණු අලුත්ම සේවය මෙන්න

• ඇඳිරි නීතිය කඩකළ 7,619 ක් අත්අඩංගුවට

• විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැදවීම යළි දීර්ඝ කෙරේ

• රුපියල් මිලියන 12,500 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

• ඉදිරි සති 2 ත් 3 ත් අතර කාලය වගකීමෙන් කටයුතු කරන්න – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර (විඩියෝ)

• තොරතුරු වසන් කර වාට්ටු දෙකක් වසා දැමූ ආසාදිතයන් දෙදෙනාගේ තවත් තොරතුරු හෙළි වේ

• ජනතාවට දුන් ණය සහන ලැබුණේ දැයි, මහබැංකුව සොයයි

• කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනයට යළි දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය

• ‘COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ’ තැන්පත් ශේෂය ඉහළට

• ආනයනික තත්ත්වයේ දැඩි සත්කාර ඒකක ඇඳන් නිපදවීමට පියවර

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 132 දක්වා ඉහළට

(31.03.2020 – 16:40 +0530 – hirunews.lk/sinhala)

කොවිඞ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් තුන්දෙනෙකු (03) මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් හමුවූ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගියා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ අද (31) දිනයේදී නව ආසාදිතයන් දසදෙනෙකු (10) හඳුනාගත් බවයි.

මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 16 ක් වන අතර, මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව දෙකක් (02).

මේ අතර කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෝග පැතිරීම පිළිබඳ වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව තුන-ඒ (3A) මට්ටමේ සිට තුන-බී (3B) තත්ත්වයට හෝ හතර (4) මට්ටමට ඇතුලුවීමේ දැඩි අවදානමක් මේ වනවිට මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාව මේ වනවිට තුන-ඒ (3A) හෙවත් ‘නිවෙස් ආශ්‍රිතව රෝගී සමූහයන් සිටින’ අවස්ථාවේ පවතින බවයි.

කෙසේ වෙතත් තුන-බී (3B) තත්වය හෙවත් ගම හෝ නගරය තුළ කුඩා රෝගී කණ්ඩායම් සමූහ වශයෙන් වාර්තාවීම හෝ හතර වන මට්ටම (4) හෙවත් රෝගය සමාජය තුළ පැතිරීමේ අවස්ථාවට ඇතුලුවීමේ දැඩි අවදානමක් මේ වනවිට පවතින බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ සියයට 80 කට වඩා වැඩි සමාජ දුරස්ථකරණයක් තහවුරු කිරීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග දිවයින පුරා ඒකකාරී ලෙස ක්‍රියාවට නැංවිය යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිර්දේශ කරනවා.

+++++++++++++++++++++++++++++++++++

විඩියෝ තාක්ෂණයෙන් බෙහෙත් දෙන්න අද (31) ඇරඹුණු අලුත්ම සේවය මෙන්න

(31.03.2020 – 17:09 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්වය සමඟ රෝහල්වල බාහිර රෝගී අංශ වලට සෞඛ්‍ය සේවා ලබාගැනීම සදහා පැමිණෙන රෝගීන්ට තම නිවසේ සිට වෛද්‍යවරයාගෙන් ලබාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් අද (31) සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළා.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස රිඡ්වේ ආර්යා ළමා රෝහල කේන්ද්‍ර කරගනිමින් අද (31) ආරම්භකළා.

මෙම වැඩපිළිවෙල ඔස්සේ වෛද්‍යවරයා හා රෝගියා අතර ජංගම දුරකථන මාර්ගයෙන් වෛද්‍ය සේවාව ක්‍රියාත්මක කිරීම‌ටයි කටයුතු සිදු කෙරෙන්නේ.

එහිදි ළමා ස්නායු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඉහත වීඩියෝ තාක්ෂණය ඔස්සේ ළමා රෝගියෙකු පරීක්ෂාවට ලක්කිරීම සිදුකළා.

මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදය ඉදිරියේ දී අනෙකුත් වි‌ශේෂිත රෝහල් තුල ක්‍රියාත්මක කිරීම නියමිතයි.

රෝගීන් විසින් මෙම සේවය ලබාගැනීම සඳහා oDoc app තම ජංගම දුරකථනයට භාගත කරගත යුතුයි.

මේ අතර අතර 077 077 3333 දුරකථන අංකය ඔස්සේ සහ අන්තර්ජාලයේ oDoc.life ලෙස සටහන් කොට පරිශිලනය කිරීමෙන් ද මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතිනවා.

එම අවස්ථාවට රිඡ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී.විඡේසුරිය, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ඇතුලු වෛද්‍යවරු පිරිසක් එක්ව සිටියා.

https://odoc.life/

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය කඩකළ 7,619 ක් අත්අඩංගුවට

(31.03.2020 – 16:08 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අතරතුර එය උල්ලංඝනය කළ පුද්ගලයින් 7619 ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මේ මස 20 වනදා සිට අද (31) දහවල් 12 දක්වා කාලය තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම කාලය තුළ පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 1864 ක්.

අද (31) උදෑසන හයේ සිට මධ්‍යහ්න 12 දක්වා වූ පැය හයක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 261 ක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ආහාර සහ ඖෂධ සම්බන්ධව මතුවන ජනතා ගැටළු යොමුකිරීම සඳහා දුරකථන අංක 5 ක් අග්‍රාමාත්‍ය කාර්යාලය හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව 011 345 6200 , 011 345 6201 , 011 345 6202 , 011 345 6203 , 011 345 6204 යන දුරකථන අංකවලට ජනතාවට ගැටළු යොමුකළ හැකියි ෴

+++++++++++++++++++++++++++++++++++

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැදවීම යළි දීර්ඝ කෙරේ

(31.03.2020 – 14:22 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැදවීමේ අවසන් දිනය නැවතත් දීර්ඝ කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලත් සමඟ රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹුණු බවයි.

ඒ අනුව නැවත දිවයිනේ සියළු පාසල් විවෘත කර සති දෙකක් යන තුරු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැදවීමේ අදාළ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා ෴

***************************************

රුපියල් මිලියන 12,500 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

(31.03.2020 – news.navy.lk)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ‘ශ්‍රීලංනානෞ සයුර’ මගින් 2020 මාර්තු 28 (සෙනසුරාදා) දින උදෑසන 0930 පැයට පමණ ශ්‍රී ලංකාවේ දකුණු වෙර‍ළේ සිට නාවික සැතපුම් 463 ක පමණ දුරකදී (දළ වශයෙන් 835 km පමණ) මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි යාත්‍රාවක් අත් අඩංගුවට ගන්නා ලදි. මෙම විදේශීය යාත්‍රාව රාජ්‍යක ධජයක් රහිතව (Flag state) ජාත්‍යන්තර මුහුදේ දී නිරීක්‍ෂණය කර, එය පරීක්‍ෂාවට ලක් කල අතර, එහි තිබී ICE නම් මත්ද්‍රව්‍ය 500 kg පමණ වන ප්‍රමාණයක් ද, කොකේන් ලෙස සැක කරන මත්ද්‍රව්‍ය 500 kg ප්‍රමාණයක් ද සොයාගන්නා ලදී. තවද එහි බාබුල් නම් මත්ද්‍රව්‍ය පැකට් 200 ක් සහ තවත් හඳුනා නොගත් මත් පෙති 100 g ක් පමණ වන ප්‍රමාණයක් ද ඇති බව වාර්තා වේ. ඒවායේ වීදී අගය (Street Value) මත මූල්‍යමය වටිනාකම මෙතෙක් ගණනය කර නොමැති අතර, පොදුවේ සියල්ලම ගත් කල රුපියල් මිලියන 12,500.00 ට අධික වේ යැයි අනුමාන කෙරේ.

මෙම විදේශීය යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුර පරීක්‍ෂණ සඳහා අප්‍රේල් මස 01 වන දින දික්ඕවිට වරායට ගෙන දැඩි පරීක්‍ෂාවකට පත් කිරීමට නියමිතය. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මතුවට ලබා දෙනු ලැබේ. මෙය ගතවූ මාස 02 තුල ජාත්‍යන්තර මුහුදේදී ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබියදී අත් අඩංගුවට ගත් 03 වන විදේශීය යාත්‍රාව වේ. මීට පෙර පෙබරවාරි මස 22 සහ 25 දින මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටි විදේශීය යාත්‍රා දෙකක් හා එයින් ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල ශ්‍රී ලාංකීය ධිවර යාත්‍රාවක් අත් අඩංගුවට ගත් අතර, විදේශිකයින් 16 හා ශ්‍රී ලාංකිකයින් 05 කුත්, මුහුදේදී ප්‍රවාහනයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 06 ක් දකුණු ප්‍රදේශයේදී අත් අඩංගුවට ගන්නා ලදී.

මෙලෙස ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය රැගෙන එන යාත්‍රාවන් පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව චන්ද්‍රිකා තාක්‍ෂණය උපයෝගී කරගෙන නිරතුරුවම සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලැබේ. මෙම මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ විදේශ මෙන්ම දේශීය කොටස්කරුවන් පසුපස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය හා ඒකාබද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු යොදා ඇත ෴

***************************************

ඉදිරි සති 2 ත් 3 ත් අතර කාලය වගකීමෙන් කටයුතු කරන්න – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

(31.03.2020 – 08:44 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි සති දෙකක හෝ තුනක කාලය තුළ මෙරට ජනතාව වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

අනාරක්ෂිතව සමාජය තුළ නව කොරෝනා වෛරස ආසාදිතයින් සැරීසැරිමත් සමග මේ පිලිබඳ අවධානය යොමුකළ යුතු බවයි ඔහු සදහන් කළේය.

ඊයේ (30) පස්වරුවේ මාධ්‍යට කරුණු දක්වමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

තොරතුරු වසන් කර වාට්ටු දෙකක් වසා දැමූ ආසාදිතයන් දෙදෙනාගේ තවත් තොරතුරු හෙළි වේ

(31.03.2020 – nethnews.lk)

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු සොයා ගැනීම හේතුවෙන් කලූබෝවිල ශික්ෂණ රෝහලේ 05 වන වාට්ටුව ඊයේ (30) දිනයේ සිට වසා දැමුණා. එහි සිටි රෝගීන් 15 දෙනෙකු සහ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයන් 20 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ.

අදාල රෝගීන් 15 දෙනා හෝමාගම මූළික රෝහලට මාරු කර යවා ඇති අතර රෝහල් කාර්යය මණ්ඩලය කලුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂිත ගොඩනැගිල්ලක නිරෝධායනය සඳහා රඳවා ඇති බව ද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවා.

එම රෝහලේදී හදුනා ගත් කොරෝනා ආසාදිතයා දෙහිවල නැදිමාල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක් පමණ පුද්ගලයෙක්.

එම පුද්ගලයා ඊයේ (30) පස්වරුවේ IDH රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම පුද්ගලයා රෝගය පිළිබඳ තොරතුරු වසන් කිරීමට උත්සාහ දැරූ අයෙකු බව ද සෞඛ්‍ය අංශ සඳහන් කළා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඊයේ (30) දිනයේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා ද සෞඛ්‍ය අංශ වෙත තොරතුරු වසන් කිරීමට උත්සාහ දැරූ අයෙක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඔහුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු ඉන්දියාවේ සිට මෑතකදී මෙරටට පැමිණ ඇති බව ද වාර්තා වනවා.

මෙම පුද්ගලයා මාර්තු 11 වැනිදා යාපනය ප‍්‍රදේශයේ ද සංචාරය කර ඇති අතර පෙරේදා (29) දිනයේ මීගමුව ප‍්‍රදේශයේ පුද්ගලික රෝහලකට ඇතුලත්ව ප‍්‍රතිකාර ලබා ගෙන ඇති බවත් එහිදී වෛද්‍යවරුන්ට සැබෑ තොරතුරු ලබා දී නොමැති බවත් සෞඛ්‍ය අංශ පැවසුවා.

අදාල පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන්ට ඇති වූ සැකයක් මත එම පුද්ගලයා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ශ්වසන ආබාධවලින් පෙලෙන රෝගියෙකු ලෙස දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබා ඇති බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අනාවරණ කළේ.

මීගමුව මහ රෝහලේ කාර්යය මණ්ඩලයේ 50 දෙනෙකු පමණ එම පුද්ගලයාට නිරාවරණය වී තිබෙනවා. මේ හේතුවෙන් මීගමුව මූලික රෝහලේ 20 වන වාට්ටුව සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර එම වාට්ටුවේ රාජකාරි කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය සහ එහි සිටි රෝගීන් නිරෝධායනයට යොමු කෙරුණා.

මේ අතර, මියගිය එම පුද්ගලයාගේ ආදාහන කටයුතු මීගමුව කොච්චිකඩේ ප‍්‍රදේශයේ මයියොක්කාහේන පොදු සුසාන භූමියේදී ඊයේ (30) රාතී‍්‍ර 12.00 ට පමණ සිදු කෙරුණු බව කොච්චිකඬේ පොලිසිය පැවසුවා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදිතව තොරතුරු සඟවන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන නීති යටතේ දැඩි පියවර ගැනීමට පොලිසිය සූදානම් වනවා. මාර්තු 16 වැනිදායින් පසු විදෙස් රටවල සිට පැමිණ ලියාපදිංචි නොවූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා ෴

+++++++++++++++++++++++++++++++++++

ජනතාවට දුන් ණය සහන ලැබුණේ දැයි, මහබැංකුව සොයයි

(31.03.2020 – 13:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය හමුවේ අපහසුතාවට පත්ව සිටින ජනතාවට රජය විසින් ලබාදී ඇති බැංකු සහන ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබදව ශ්‍රී ලංකා මහබැංකුව පසු විපරමක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මහබැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරට සියළුම වාණිජ බැංකු මගින් අදාළ පහසුකම් ලබාදෙන්නේදැයි පසු විපරමක් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

වෛරසය හමුවේ අපහසුතාවට පත්ව සිටින ජනතාවට සහන රැසක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මීට පෙර කටයුතු කර තිබුණා.

ඒ අනුව ත්‍රිරෝද රථ හිමියන්ගේ ලීසිං ණය වාරික අය කර ගැනීම මාස 6කට අත්හිටුවීම, බැංකු හා මූල්‍ය ආයතන විසින් ලබාදී ඇති රුපියල් ලක්ෂ 10 ට අඩු පෞද්ගලික ණය අය කර ගැනීම මාස 3 කට අත්හිටුවන ලෙසටයි රජය සියළුම මූල්‍ය ආයතනවලට දැනුම් දුන්නේ.

මීට අමතරව සංචාරක, ඇඟලූම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මාස 6 ක සහන කාලයක් ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, රුපියල් 50,000 ට අඩු මාසික ණයපත් හෙවත් කෙඩි‍්‍රට් කාඩ් සඳහා ද ගෙවීමට සහන කාලයක් ලබාදීමටයි රජය කටයුතු කර තිබුණේ.

කෙසේ වෙතත්, රජය විසින් ජනතාවට ලබාදී ඇති මෙම මූල්‍ය සහන අදාළ බැංකු මගින් ක්‍රියාත්මක වන්නේ ද පිළිබදව අප සොයා බැලීමක් කළා.

රාජ්‍ය බැංකු වන මහජන බැංකුව සහ ලංකා බැංකුව ඇතුළු අනෙකුත් බැංකු මෙම සහන ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් මේ වන විටත් කටයුතු කර අවසන්.

රජයේ බැංකුවලට අමතරව පෞද්ගලික අංශයේ බැංකු ද මේ වන විටත් රජය විසින් ලබාදී ඇති ණය සහන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට කටයුතු කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනයට යළි දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය

(31.03.2020 – 17:43 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරනවා.

සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරී නීතිය හෙට, අප්‍රේල් 01 බදාදා උදෑසන 6.00 ට ඉවත් කොට දහවල් 2.00 ට යළි පනවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබෙනවා.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

කළුතර දිස්ත්‍රික්කයේ අටුළුගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.

කවරකුට හෝ මේ ගම්මාන දෙකට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වනු ඇති.

+++++++++++++++++++++++++++++++++++

‘COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ’ තැන්පත් ශේෂය ඉහළට

(31.03.2020 – 17:46 +0530 – sinhala.adaderana.lk)

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වන දින ස්ථාපනය කෙරිණි.

බැංකුව වෙත කෙරුණු රුපියල් මිලියන 9.5 ක ඝෘජු තැන්පත් කිරීම් සහ ජනාධිපති ලේකම් කාර්යාලය පරිත්‍යාග කළ රුපියල් ලක්ෂ 05 ක් සමගින් අද (31) පෙ.ව 8.00 වන විට රුපියල් මිලියන 145 ක් අරමුදල වෙත බැර වි තිබිණ.

මහජන බැංකුවේ මූල්‍ය කළමනාකරණ ගිණුම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 10 ක්, මහජන බැංකු විශ්‍රාමිකයන්ගේ සංගමය රුපියල් මිලියන 03 ක්, පීපල් ලීසිං, ලීට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලංකා බැංකුව රුපියල් මිලියන 05 බැගින් ද ජාතික ඉතිරි කිරීමේ බැංකුව රුපියල් මිලියන 08 ක් සහ අක්බාර් බ්‍රදසර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පරිත්‍යාග කළ රුපියල් මිලියන 50 සමගින් තැන්පතුවේ ශේෂය රුපියල් මිලියන 242 දක්වා ඉහළ ගොස් තිබිණ.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ ‘COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල’ට දෙස් විදෙස් ඕනෑම අයෙකුට පරිත්‍යාග හෝ ඝෘජු තැන්පත් කිරීම් හෝ සිදු කල හැක.

නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් ද මුදල් තැන්පත් කිරීමට පිළිවන.

011 235 4354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පාලන) කේ.බී. එගොඩවෙලේ මහතා ඇමතීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට ද හැකි වේ.

A/C Name : COVID – 19 Healthcare and Social Security Fund
A/C No. : 85737373
Bank : Bank of Ceylon
Branch : Corporate Branch

+++++++++++++++++++++++++++++++++++

ආනයනික තත්ත්වයේ දැඩි සත්කාර ඒකක ඇඳන් නිපදවීමට පියවර

(31.03.2020 – 16:36 +0530 – sinhala.adaderana.lk)

මෙරට රෝහල්වල භාවිතා කරන ආනයනික දැඩි සත්කාර ඒකක ඇඳන්වල ප්‍රමිතියටත් එහා ගිය ඉහළ ප්‍රමිතියෙන් යුත් ඇඳන් නිපදවීමට Rex Indrustries ආයතනයට හැකියාව ඇති බව ඔවුන් යොදා ගනු ලබන අධි තාක්ෂණික උපකරණ හා ඉංජිනේරු තාක්ෂණය අනුව පෙනී යන බවත් දැනට නිපදවා ඇති සාම්පලය සායනික ප්‍රමිතීන්ට අනුකූල බවත් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් අනුව මීගමුව Rex industries ආයතනය විසින් නිෂ්පාදනය කළ මෙරට ප්‍රථම දේශීය දැඩි සත්කාර ඒකක ඇඳන් සාම්පලය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ලෝක පරිමාණ කොරෝනා ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාවට ඉදිරියේ දී දැඩි සත්කාර ඒකක ඇඳන් හිඟයකට මුහුණ දීමට සිදුවිය හැකි බවත් එම අභියෝගයට කල්තියා සූදානම් වන කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයාගේ මෙම සද්කාර්යයට දායක වීමට ලැබීම සතුටට කරුණක් බවත් මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් හිටපු පළාත් සභා මන්ත්‍රී ලලන්ත ගුණසේකර මහතා එක්ව සිටි අතර එම ආයතනය වෙනුවෙන් එක්ව සිටි එහි අධ්‍යක්ෂ, යාන්ත්‍රික ඉංජිනේරු සහන් ප්‍රනාන්දු මහතා මෙම දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදන ක්‍රියාවලිය මාධ්‍ය වෙත පැහැදිලි කර දුන්නේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *