ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 142 ක් දක්වා ඉහළට

(31.03.2020 – 19:41 +0530 – sinhala.adaderana.lk)

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

අද (31) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ තවත් ආසාදිතයින් 10 දෙනා තහවුරු වී ඇති බවයි.

ඒ අනුව අද දවස තුල කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 20 ක් වාර්තා වි තිබේ.

මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 123 ක් වන අතර , සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 17 ක් වේ.

එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මෙ වන විට දෙදෙනෙකු මිය ගොස් ඇත.

වෛරසය ආසාදිතව අයි.ඩී.එච් සහ මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු අද සුවය ලබා එම රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

+++++++++++++++++++++

බේරුවල ස්වයං නිරෝධායනය කළ එකම පවුලේ සිව්‍ ‍දෙනෙකුටත් කොරෝනා ආසානය වෙයි

(31.03.2020 – 20:14 +0530 – sinhala.adaderana.lk)

බේරුවල චීනකොටුව ප්‍රදේශයේ නිවසක ස්වයං නිරෝධායනයට ලක්කර සිටි එකම පවුලේ සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බව අද (31) තහවුරු විය.

ඒ ඊයේ කළුතර පන්විල ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා අසාධිතයාගේ මව පියා බිරිඳ සහා අවුරුද්දයි මාස 08 ක් වයසැති බිළිදා වන අතර ඔවුන් අද (31) ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කෙරුණි.

අද කොරෝනා රෝගීන් 20 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගියේය.

ඉන් ආසාදිතයන් 16 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව තිබේ.

පසුගිය පැය විසිහතර තුළ කොරෝනා ආසාදිතයැයි සැකපිට පුද්ගලයින් 59 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ එම සංඛ්‍යාව 173 ක් ලෙස ඉහළ යයි.

+++++++++++++++++++++

කො‍රෝනා රෝගියෙක් ගිය දුර

(31.03.2020 – 20:01 +0530 – sinhala.adaderana.lk)

නව කොරෝනා රෝගීන් 20 දෙනෙකු අද (31) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සමස්ථ රෝගීන් ගණන 142 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කොරෝනා වැළඳි මියගිය දෙවැනි පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (30) මැදියම් රැයේදී මීගමුව නගර සභා පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.

මීගමුව මහ රෝහලේදී මියගිය 64 හැවිරිදි පුද්ගලයා මීගමුව පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුගේ සිරුර ඊයේ මීගමුව මහරෝහලේ සිට මීගමුව මහනගර සභා පොදු සුසාන භූමිය වෙත රැගෙන ආවා.

ඒ දැඩි පොලිස් ආරක්ෂක රැකවල් මධ්‍යයේයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු මධ්‍යම රැයේදී සිදුකෙරුණේ ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසීන්ට අනුකූලවයි.

කොරෝනා වෛරසය වැලදී මියගිය මෙම පුද්ගලයා පසුගිය 08 වනදා යාපනයේ ඥාති නිවෙසක පැවැති මංගල උත්සවයකට ද සහභාගී වී තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කරන ලද සොයාබැලීමකදී අනාවරණ වී ඇත්තේ, ඔහු පෝරුතොට ගමේ නිවෙස් කිහිපයකටම ගොස් ඇති බවයි.

එමෙන්ම කොළඹ සහ කටුනායක ප්‍රදේශවල රැකියාව කරන ඔහුගේ පුතුන් දෙදෙනා ද රෝගී පියා වෙසෙන පෝරුතොට නිවසට පසුගිය දිනවල අවස්ථා කිහිපයකදීම පැමිණ තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ, හෘදයාබාධයකින් සහ ස්වසන ආබාධයකින් පෙළෙන මෙම පුද්ගලයා මෑතකදී මීගමුව වැල්ලවීදිය සහ පෙරියමුල්ල ප්‍රදේශවල පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකට ගොස් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි.

පසුගිය 29 වනදා ඔහුගේ තත්ත්වය අසාධ්‍යවීම හේතුවෙන් මීගමුවේ පිහිටි පෞද්ගලික රෝහලකදී නේවාසිකව ප්‍රතිකාර ලබා තිබේ.

ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණ වී ඇත්තේ, ඊයේ (30) පෙරවරුවේ මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.

මෙම 64 හැවිරිදි පුද්ගලයාට කොරෝනා වැළදී ඇත්තේ කෙසේද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

කෙසේ වෙතත් මොහු පදිංචි ව සිටි මීගමුව පෝරුතොට ප්‍රදේශයේ ටාක්කියා මාර්ගය සම්පූර්ණයෙන්ම බාහිර සබ්බන්ධතාවලින් තොරව ආරක්ෂක අංශ විසින් හුදකලා කර තිබේ.

ඔහු පදිංචිව සිටි නිවස අද සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිරීක්ෂණය කර තිබේ.

එහිදී අනාවරණ වූයේ දරුවන් කිහිපදෙනකු සමඟ පුද්ගලයින් 16 දෙනෙකු එම නිවසේ සිටින බවයි.

අනතුරුව එහි සිටි පිරිස හා ඔහුගේ කටුනායක පිහිටි දරුවාගේ නිවෙස් වල සිටින පිරිස නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

සෞඛ්‍ය අංශ පැවසුවේ, මියගිය පුද්ගලයා ප්‍රතිකාර ලබාගත් ස්ථානවල සිටි පිරිස් ද ස්වයං නිරෝධායනයට ලක්කළ බවයි.

මේ අතර ඔහුට ප්‍රතිකාර සිදුකළ මීගමුව රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ සාමාජිකයින් ද ස්වයං නිරෝධායනය සඳහා මීගමුවේ පිහිටි පෞද්ගලික හෝටලයකට ඇතුළත් කෙරුණි.

මේ අතර කොරෝනා වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වූ අයෙකු හමුවීමත් සමඟ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අදාළ වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගින් සහ කාර්යය මණ්ඩලය නිරෝධායනය කෙරුණි.

ඒ අනුව එම වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන් ඇතුලු කාර්යය මණ්ඩලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාල නේවාසිකාගාරයේ දින 14 කාලයක් නිරෝධායනයට ලක්කිරීම සඳහා යොමු කර තිබේ.

අනෙක් රෝගීන් පිරිස හෝමාගම මුළික රෝහල තුළ දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්වනු ඇති.

+++++++++++++++++++++++++++++++++++

ගත වු පැය 6 ට නීති කැඩු 312 ක් අත්අඩංගුවට

(31.03.2020 – 21:35 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 312 ක් ගතවු පැය 6 තුළ අත්අඩංගුවට පත්ව තිබේ.

ඒ දහවල් 12 සිට අද සවස 6 දක්වා වු කාලය තුළ දීය.

එහිදී අත්අඩංගුවට පත් වාහන සංඛ්‍යාව 117 ක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඒ අනුව ඇඳිරි නීතිය පැනවු මාර්තු 20 වන දින සිට අද දක්වා අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 7931 වන අතර වාහන 1981 වන බවද පොලීසිය සඳහන් කරයි.

+++++++++++++++++++++++++++++++++++

‘ජැක් මා’ ගෙන් ලංකාවට මුඛ ආවරණ ලක්ෂයක්

(31.03.2020 – 20:40 +0530 – sinhala.adaderana.lk)

ලොව ප්‍රමුඛ පෙළේ ධනවතෙකු වන ලෝ සුපතල ‘අලි බාබා’ සමාගමේ නිර්මාතෘ ‘ජැක් මා’ විසින් පරිත්‍යාග කෙරුණු මුඛ ආවරණ තොගය අද (31) ශ්‍රී ලංකාවට හිමි විය.

පරිත්‍යාග කෙරුණු මුඛ ආවරණ සංඛ්‍යාව ලක්ෂයක්.

මේ අතර කොරෝනා තර්ජනය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට තවත් මූල්‍ය හා ද්‍රව්‍යමය සහන රැසක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවට පත් ජනතාවට, රුපියල් 5000 ක මුදලක් එකවර ලැබෙන දීමනාවක් ලෙස ලබා දෙන්නැයි ජනාධිපතිවරයා අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායට උපදෙස් දී තිබේ.

එලෙස ලබා දෙන නව සහන පිළිබඳ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ඊයේ (30) චක්‍රලේඛයක් නිකුත් කෙරුණි.

ඒ අනුව, වැඩිහිටි දීමනා ලාභීන් සහ වැඩිහිටියන් ලෙස හඳුනාගනු ලැබ, පොරොත්තු ලේඛනගතව සිටින්නන් සඳහා, රුපියල් 5000 ක මුදලක් ගෙවනු ලබයි.

ආබාධිත දීමනාලාභීන් සහ ආබාධිතයින් ලෙස හඳුනාගනු ලැබ, පොරොත්තු ලේඛනයේ සිටින්නන් සඳහාද රුපියල් 5000 දීමනාව හිමි වනවා.

ගොවි රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි ගොවීන්, වකුගඩු රෝගී දිමනා ලාභීන් සහ පොරොත්තු ලේඛනයේ සිටින්නන් සඳහාද රුපියල් 5,000 දීමනාවක් ලබාදීමටයි තීරණය කර ඇත.

සමෘද්ධි හිමිකම්ලාභීන් සහ පොරොත්තු ලේඛනගත පවුල් සඳහා රුපියල් 5,000 දීමනාව සමෘද්ධි බැංකුව හෝ සමෘද්ධි අධිකාරිය මඟින් ලබාදීමට නියමිතයි.

රජයේ සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප ඉදිරියේදි ගෙවීමට නියමිත අතර වැටුප මත ණය මුදල් අය කිරීම යළි දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එසේම විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට විශ්‍රාම වැටුපද ඉදිරියේදි ගෙවීමට නියමිතයි.

ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ යන ස්වයං රැකියාවල නියුක්තිකයන් සඳහාද, මෝටර් රථ භාවිතයෙන් ස්වයං රැකියාවල නිරතවන්නන් සඳහා කල් බදු වාරික සහන හිමිව තිබෙනවා.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ සේවක වැටුප් ගෙවීමට නොහැකි පෞද්ගලික ව්‍යාපාර සඳහාද සහන සැලසීමටයි ඉන් තීරණය කර ඇත්තේ.

ගර්භනී මාතාවන් සහ මන්ද පෝෂිත දරුවන් සඳහා ත්‍රිපෝෂ සහ වෙනත් පෝෂණ ද්‍රව්‍ය නිවෙස් වෙත සෘජුවම සැපයීමට නියමිතයි.

+++++++++++++++++++++++++++++++++++

අකුරණ ආසාදිතයා ගුවන් තොටුපලින් නිවසට රැගෙන ගිය රථය බුද්ධි නිලධාරීන් ගම්පොළින් සොයා ගනී

(31.03.2020 – 20:31 +0530 – sinhala.adaderana.lk)

අකුරණ ප්‍රදේශයෙන් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයා ගුවන්තොටු පොළේ සිට අකුරණ ඔහුගේ නිවස දක්වා රැගෙන ආ වෑන් රථය ගම්පොළ සිංහපිටිය ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තිබි පොලිස් බුද්ධි අංශ නිලධාරින් අද (31) පෙරවරුවේ සොයා ගත්තේය.

ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම වෑන් රථයේ හිමිකරු වන අතර ඔහු සිය වෑන් රථය මිගමුව ප්‍රදේශයේ කුලි රථ අයතනයකට ලබාදි තිබේ.

වෑන් රථයේ රියදුරු නුවරඑළිය රාගල ප්‍රදේශයේ පිදිංචිකරුවෙකු බවට වාර්තා වෙයි.

මේ අතර අකුරන ප්‍රදේශයෙන් තහවුරු කර ගත් කොරෝනා වෛරස ආසාදිතයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයකට සහභාගි වි ඇති බවට තොරතුරු අනාවරණ වෙයි.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ආසාදිත පුද්ගලයාගේ ඡායාරූප පෙන්වා ප්‍රශ්න කළද ගම්වාසින් ඒ පිළිබඳ තොරතුරු වසන් කිරිමට කටයුතු කරන ආකාරය දක්නට ලැබුණි.

කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා දඹුල්ල පොලිසිය එක්ව නිකවටවන ගම්මානයේ නිවාස හතක පුද්ගලයින් 33 දෙනෙකු සිය නිවාස තුළම ස්වං නිරෝධායනයකට ලක්කෙරුණි.

+++++++++++++++++++++

රෝගීන් ගැවසුණු තවත් ගම්මාන තුනකට දැඩි සීමා

(31.03.2020 – 20:28 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා රෝගීන් වාර්තා වූ තවත් ගම්මාන කිහිපයකට අද (31) දැඩි සීමා පනවනු ලැබීය.

එමෙන්ම ඇතුළුවීම සහ පිටවීම තහනම් කෙරුණු අකුරන හා අටලුගම යන ගම්මානවල ආරක්ෂාව තවදුරටත් දැඩි කොට තිබේ.

මේ අතර හමුදාපතිවරයා පවසන්නේ, නිරෝධායන ක්‍රියාවලිය අවසන් වූ පුද්ගලයින් 321 දෙනෙකු අද (31) නිවෙස් බලා පිටව ගිය බවයි.

කොරෝනා වෛරස ආසාදිතයින් හඳුනාගැනිමත් සමග මහනුවර අකුරන හා බණ්ඩාරගම අටුලුගම යන ගම්මානවලට ඇතුළු විම හා පිටවිම සම්පුර්ණයෙන්ම තහනම් කොට අදට දින දෙකක්.

බණ්ඩාරගම අටුලුගම ගම්මානයේ ග්‍රාමසේවා වසම් 7 පවුල් 3057 කට අයත් පුද්ගලයින් 15,162 ක් ජීවත් වෙයි.

ගම්මානයේ රැඳි සිටින පිරිස් වෙත අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යාම අදත් සිදුකෙරුණි.

ඒ දැඩි සෞඛ්‍ය ආරක්ෂාවක් යටතේයි.

මේ අතර වසා දමා ඇති අටුලුගම ජනතාවට ලොරි තුනක පටවාගත් පොල් , කොස් හා පාන් රැගෙන පැමිණි හිටපු එක්සත් ජාතික පක්ෂ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට එම ගම්මානයට ඇතුළුවීමට අවස්ථාව හිමිවූයේ නැහැ.

හිටපු මන්ත්‍රීවරයා රැගෙන ආ ආහාර ද්‍රව්‍ය වෙනත් ලොරි රථවල පටවා ගම්මානයට යවනු ලැබුවේ පොලීසිය මැදිහත් වීමෙන්.

අද වන විට බාහිර සබඳතාවලින් සම්පුර්ණයෙන්ම දුරස් කර ඇති මහනුවර අකුරන ගම්මානයේ රැඳි සිටින පවුල් ගණන 997ක්.

එම පවුල්වලට අයත් පුද්ගලයින් ගණන 4267 ක් වෙයි.

ගම්මානයට ඇතුළුවන ප්‍රධාන මාර්ග වන තෙලඹුගහවත්ත මාර්ගය මෙන්ම තවත් අතුරු මාර්ගයක් මාර්ග බාධක යොදා වසා දමා ඇත. ආකාරයයි මේ.

කෙසේ වෙතත් ගම්මුන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැගෙනයාම අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයෙකු සොයා ගත් පුත්තලම කඩුමයම්කුලම් ප්‍රෙද්ශයට ඇතුළු වන මාර්ග 5 ම අද සම්පුර්ණයෙන්ම වසා දැමිම පොලිසිය කටයුතු කළේය.

උතුරු නැගෙනහිර හා පොළොන්නරුව යන ප්‍රදේශවලින් මොණරාගලට පැමිණි පුද්ගලයින් 9 දෙනෙකු අද (31) ස්වං නිරෝධානයට ලක් කෙරුණි.

මේ අතර පසුගියදා යාපනයේ යාඥා මෙහෙයකට සහභාගි වූ කෝරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වු විදේශිය දේවගැතිවරයා හැටන් දික්ඔය දරවල ප්‍රදේශයට ගොස් යාඥා මෙහෙයක් සිදු කර බඩු භාණ්ඩ බෙදාදිමක් සිදු කර ඇති බව අද (31) තහවුරු කරගෙන තිබේ.

ඒ හේතුවෙන් හැටන් දික්ඔය දරවල පවුල් 200 පමණ ජිවත්වන ප්‍රදේශයක් අද (31) පස්වරුවේ දැඩි නිරෝධායනයට ලක්කිරීමට හැටන් දික්ඔය නගර සභාව, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සහ පොලිසිය තීරණය කළේය.

+++++++++++++++++++++

නිරෝධායනය වු 2021 දෙනෙක් පිටව යයි – නිරෝධායන මධ්‍යස්ථාන 16 ක් හිස් වෙයි

(31.03.2020 – 18:59 +0530 – sinhala.adaderana.lk)

විදෙස් රටවලසිට පැමිණ ආරක්ෂක අංශ මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් 2021 දෙනෙකු මේ වන විට සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 16 ක් හිස්ව පවතින බව ඔහු සදහන් කළේය.

අද (31) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එ ක්වෙමින් යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම අදහස් පල කළේය.

මේ අතර විශ්‍රාමවැටුප් ලබා ගැනිම සදහා වෙන් කර ඇති දින දෙකෙහි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඒ සදහා අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බව ද යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එහිදී පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

අද (01) සිට එකම වේලාවක පිරිත් සජ්ඣායනා කරන්නැයි මල්වතු අස්ගිරි මහනාහිමිවරු විහාරස්ථානවලින් ඉල්ලයි

(01.04.2020 – 06:44 +0530 – sinhala.adaderana.lk)

පවතින වසංගත තත්ත්වයෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා අද (01) සිට සතියක කාලයක් පිරිත් සජ්ඣායනා කර රටටත් ජනතාවටත් ආශිර්වාද කරන්නැයි මල්වතු අස්ගිරි මහනාහිමිවරු ප්‍රමුඛ මහාසංඝරත්නය දිවයිනේ සියලු විහාරස්ථානවලින් ඉල්ලීමක් සිදු කරයි.

එමෙන්ම රජයේ උපදෙස් පිළිපදිමින් නිවසේ සිටම මෙම ආධ්‍යාත්මික වැඩසටහන සමඟ සම්බන්ධවන ලෙස උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද (01) සිට අප්‍රේල් 07 වැනිදා තෙක් සතියක කාලයක් රාත්‍රී 7 සිට 8 දක්වා පැයක්, ජනතාවට ආශිර්වාද කිරීම සඳහා එක්වන්නැයි නිවේදනයක් නිකුත් කරමින් මහනාහිමිවරු ප්‍රමුඛ ස්වාමීන් වහන්සේ සියලු විහාරස්ථානවලින් ඉල්ලා සිටියි.

සියලු විහාරස්ථානවල ඝන්ඨාර නාද කර, ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පන්සිල් සමාදන් කර, බුද්ධ වන්දනාව සිදුකර රතන සූත්‍රය හා ගිරිමානන්ද සූත්‍රය ඇතුළුව පිරිත් දේශනා කර ජනතාවට සෙත් පතා සියලු විහාරස්ථානවල එකම වේලාවක එනම් රාත්‍රී 7.55 ට සත්‍ය ක්‍රියා කරන ලෙස එහි දැක්වෙයි.

මේ අතර පසුගියදා ජනාධිපති මාධ්‍ය අංශය ද නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, ගිහි ජනතාව ද රජය විසින් ලබාදෙන නිවේදන අකුරටම පිළිපදිමින් නීතිගරුකව සිය නිවෙස්වල සිට මේ උතුම් ක්‍රියාවට සම්බන්ධවන ලෙසයි.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය ඉවත් කරාට සමෘද්ධි බැංකුවලට යන්න එපා

(01.04.2020 – 06:38 +0530 – sinhala.adaderana.lk)

අද (01) දින ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරනු ලැබු ප්‍රදේශවල ජනතාවට සමෘද්ධි බැංකුවලට යෑම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය ඉල්ලීමක් කරයි.

එසේ බැංකුවලට ගිය ද ආධාර ලබා ගැනීමට ‍හැකියාවක් නොමැති බවත් ඇය පැවසීය.

සමෘද්ධි ආධාර මුදල ලබා දීමට සමෘද්ධි නිලධාරීනිය හෝ නිලධාරියා නිවසටම පැමිණ මුදල් බාර දෙන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

ඊයේ (31) පැවති කොවිඩ් 19 පැතිරීමේ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.

ජනාධිපතිවරයාගේ නියමය පරිදි පොලී රහිත ‍රුපියල් 5000 ණය මුදල පවුල් 948,000 ක ප්‍රමාණයකට නිකුත් කර ඇති බවත් අමාත්‍යවරිය පැවසීය.

ඒ සඳහා වු මුදල් රුපියල් මිලියන 4700 අදාළ බැංකු වෙත මේ වන විට මුදා හැර ඇති බවත් හෙට (02) හෝ අනිද්දා වන විට එම මුදල් සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ සියලු පවුල‍් වෙත ලැබෙනු ඇතැයි ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්යාතප්තිය වලක්වා ගැනිමේ අරමුණින් රජය විසින් සමෘද්ධි ලභීන්ට ලබා දෙනු ලබන රුපියල් 10,000 ක අත්තිකාරම් මුදල ලබන 10 වන දිනට පෙර ලබාදී අවසන් කිරිමට අපේක්ෂා කරන බව සංමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආර්.පී බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ මෙම අත්තිකාරම් මුදල අදියර දෙකක් යටතේ ලබාදීමට කටයුතු කර ඇති බවයි.

එහි පළමු අදියර යටතේ රුපියල් 5000 ක දිමනාමක් සමෘද්ධිලාභින් සඳහා මේ වන විටත් ලබාදීමට පියවර ගෙන ඇති බව සඳහන්.

සමෘද්ධි ප්‍රතිලාභි පවුල් ලක්ෂ 20 කට ආසන්න සංඛ්‍යාවකට මේ යටතේ සහන සැලසෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 20,000ක මුදල් වෙන් කර තිබේ.

මෙම සහන මුදල සඳහා කිසිදු පොලියක් අය කර නොගන්නා අතර එම මුදල නැවත ගෙවීම සඳහා මාස 18 ක කාලයක් හිමිවන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට පත් සංඛ්‍යාව 8451 දක්වා ඉහළ‍ට

(01.04.2020 – 07:44 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙතෙක් අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයින් ගණන 8451 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (31) උදෑසන 6 සිට අද (01) උදෑසන 6 දක්වා වු කාලය තුළ පමණක් පුද්ගලයින් 1093 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මේ අතර ගත වු පැය 24 ක කාලය තුළ වාහන 310 ක් ද අත්අඩංගුවට පත්ව තිබේ.

පසුගිය මාර්තු 20 වන දින සිට අද දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 2078 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ රට තුළ උද්ගත වී ඇති වසංගත තත්ත්වය පාලන වන තෙක් අත්අඩංගුවට පත් කිසිදු වාහනයක් මුදා නොහරින බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ් 19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ක් දක්වා ඉහළට

(01.04.2020 – 07:37 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආයතනික හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු හේතුවෙන් එම අරමුදලේ ශේෂය ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මහතා විසින් පසුගිය 23 වනදා කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ස්ථාපනය කරනු ලැබිය.

දෙස් විදෙස් පරිත්යාපගශීලීන් රැසක් ද මේ වන විට මෙම අරමුදලට දායක වී ඇති අතර ලංකා බැංකුවේ අංක 85737373 යන විශේෂ ගිණුමට ඒ සඳහා මුල්‍ය ප්‍රදානයන් සිදු කළ හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේය.

+++++++++++++++++++++++++++++++++++

අධ්‍යාපනයටත් ජනාධිපති කාර්යය සාධන බලකායක්

(01.04.2020 – 07:35 +0530 – sinhala.adaderana.lk)

මෙරට අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල අනුව අදාල කාර්යය සාධක බලකාය ස්ථාපනය කර ඇති අතර ඊට අදාල ගැසට් නිවේදනය ද ඊයේ (31) ප්‍රකාශයට පත් කර තිබුණි.

මේ වන විට උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්ත්වයන් හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රය කිසිදු අයුරකින් පසුබෑමකට ලක් නොවී අඛණ්ඩව ඉදිරියට පත්වාගෙන යමේ ක්‍රමවේදයන් යොදා ගැනිමේ අවශ්‍යතාවය අවධානයට ලක්කරමින් මෙම අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කර ඇති බව සඳහන්.

එමෙන්ම මෙරට ප්‍රාථමික, ද්වීතීයික හා තෘතීයික අධ්‍යාපන ක්ෂේත්‍රයන් කාලීන අවශ්‍යතාවයන්ට උචිතවනසේ නවීකරණය කිරිමද මෙම කාර්යය සාධක බලකාය ස්ථාපිත කිරිමේ අරමුණ වී තිබේ.

උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.ඒ.ආර්.බී දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් යුතු කාර්යය සාධක බලකාය සඳහා සාමාජිකයින් 26 දෙනෙකු පත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් විත්‍රානන්ද, නිපුනතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.එම් අබේගුණවර්ධන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුවන් එහි සෙසු සාමාජිකයින් අතර වෙයි.

මීට අමතරව ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්.එම් කීර්තිරත්න, විශාකා විද්‍යාලයේ විදුහල්පති සඳමාලි අවිරුප්පොල, ගේට්වේ පාසල් සමූහයේ සභාපති වෛද්‍ය හර්ෂ අලස් යන මහත්ම මහත්මීන් මෙන්ම විශ්වවිද්‍යාල උපකුලපතිවරු පිරිසක් ද එම කාර්යය සාධක බලකායේ සෙසු සාමාජිකයින් ලෙස පත් කර තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • It is clear that the those that were contributing to the spread of the disease in the country are our own stupid and arrogant citizens. it is also emerging that muslim people are more bone headed, and flouting the rules concerning declaration of their conditions immediately or the fact that they have returned from abroad. Deliberately concealing their situations must be punishable by law, sending them to 2-years in jail, because they are endangering the remiander of the citizens.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *