හමුදාපතිවරයාට තේරෙන දේ සෞඛ්‍ය බලධාරීන්ට තේරෙනවා නම් කොරෝනා ප්‍රස්තාරය පහළට නැමීම අමාරු නැහැ – ජාතික සංවිධාන

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• හමුදාපතිවරයාට තේරෙන දේ සෞඛ්‍ය බලධාරීන්ට තේරෙනවා නම් කොරෝනා ප්‍රස්තාරය පහළට නැමීම අමාරු නැහැ – ජාතික සංවිධාන

• දරුවො හතර දෙනාට දේපොළ ලිව්ව අම්මයි තාත්තයි කන්න නැතුව හලාවත බස්පොළේ

• ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 146 ක් දක්වා ඉහළට

• රුපියල් මිලියන 50 කට අධික වෛද්‍ය උපකරණ චීන රජයෙන් ලංකාවට (විඩියෝ)

• Covid 19 පාලනයට කැපවෙන රාජ්‍ය නිළධාරින්ට අපහස කරන පිරිසට නීතිය දැඩි වෙයි

• Covid 19 පාලනයට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රසාදය (විඩියෝ)

• ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් අප්‍රේල් 8 සිට 30 දක්වා අත්හිටුවයි

• 2020 A/L පැවැත්වෙන දිනයේ කිසිඳු වෙනසක් නෑ – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

• O/L ප්‍රතිඵල අප්‍රේල් මස 30 වනදාට පෙර නිකුත් කිරීමට පියවර – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

• අධ්‍යාපන සඳහා වෙන්වු රූපවාහිණි නාලිකාවක් – අමාත්‍ය බන්දුල ගුණවර්ධන (විඩියෝ)

• ශ්‍රී ලංකාවේ විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර මැයි 12 තෙක් දීර්ඝ කරයි

• එක් දිනයකදි මෙරටින් හමු වු වැඩිම කොරෝනා ආසාදිතයින් සොයා ගත් හැටි (විඩියෝ)

• දිවයින පුරා ෆාමසි දින 3 ක් විවෘත වෙයි (විඩියෝ)

• විශ්‍රාමිකයින්ට බෙහෙත් ගන්න අද (02) ඔසුසැල් විවෘතයි

• ශ්‍රී ලංකාවේ තුන්වන (03) කොරෝනා ‍මරණයත් වාර්තා වෙයි (විඩියෝ)

• Covid 19 ආසාදනයේ ඊයේ (01) මිය ගිය පුද්ගලයා දිර්ඝ කාලීන රෝග කිහිපයකින් පීඩා විඳි අයෙක් (විඩියෝ)

• ලංකාව කොරෝනා වෛරස ව්‍යාප්තියේ 3A අවදියට – ආරක්ෂක සහ ප්‍රහාරක පියවර දැඩි කළ යුතු බව GMOA කියයි (විඩියෝ)

• නිරෝධායනය වූ තවත් 195 දෙනෙක් අද (02) පිටව යෑමට නියමිතයි

• බේරුවල පිරිසකට නිවසක් කුලියට දුන් හම්බන්තොට පවුලක් ස්වයං නිරෝධායනයට (විඩියෝ)

• බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර ගන්න ගිය අයෙක් කො‍රෝනා බවට සැකපිට හම්බන්තොට රෝහලට

• ගෙදරටම ආපු බෙහෙත් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

(01.04.2020 – 16:14 +0530 – lankaleadnews.com)

පසුගිය දින 3 – 4 ක කාලයක සිට දැනට අනුගමනය කරන කොරෝනා වසංගතය පාලනය කිරීමේ උපාය මාර්ගය වෙනස් කළ යුතු බවට ජාතික සංවිධාව වලින් ප්‍රබල මතයක් ඉදිරිපත් විය.

පුත්තලම සහිරා විද්‍යාලයෙදී නිරෝධායනයට ලක් කළ පිරිසක් අතුරින් 10 දෙනෙකු පරීක්ෂණ මඟින් රෝගින් බවට තහවුරු කර ගැනිමට හමුදාපති වරයා විසින් සිදු කරනුලැබූ මැදිහත්වීම පිළිබඳව අප විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් පළ කළ අදහස් ඔහුගේ වචනයෙන් :

“හමුදාපතිවරයාට තේරෙන දේ සෞඛ්‍ය බලධාරීන්ට තේරෙනවා නම් කොරෝනා ප්‍රස්ථාරය සිංගප්පූරුව, කොරියාව වැනි රටවල් කළ ආකාරයට පහළට නැමීම අමාරු දෙයක් නොවේ. අප දැන් දින ගණනාවක් තිස්සේ විවිධ ක්‍රමවේද හරහා කියන්නේ හමුදාපතිවරයා තීන්දු කළ ආකාරයට සියළුම සැක කටයුතු පිරිස් පරීක්ෂණ වලට භාජනය කළ යුතු බවයි. මුහුණ බලලා, උණ බලලා, නිරෝධායනය අවසන් කියලා සහතික දෙන්න බැහැ. මේ වෙලාවේ වහාම සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ පුද්ගලික මතය වන ‘ආරක්ෂාකාරී ප්‍රවේශය’ වෙනස් කරලා ප්‍රහාරාත්මක ප්‍රවේශයට යන්න ඕන. 20,000 කට වැඩි යැයි උපකල්පනය කෙරෙන සියලු සැක කටයුතු පිරිස් සමාජය තුලදී සහ රෝහල් වලට කැඳවා වහාම පරීක්ෂණවලට භාජනය කොට එළියේ සැරි සරන රෝගය බෝ කරන්නන් හැකි තාක් රජයේ දැල ඇතුලට ගන්න ඕන. ඒක නොකර ඇඳිරි නීතය විතරක් දැමීම වැඩක් නැහැ.”

+++++++++++++++++++++++++++++++++++

දරුවො හතර දෙනාට දේපොළ ලිව්ව අම්මයි තාත්තයි කන්න නැතුව හලාවත බස්පොළේ

(31.03.2020 – 07:56 +0530 – lankaleadnews.com)

තමන්ගේ කියා තිබූ ඉඩ කඩම් දරුවන්ට පවරා දීම නිසා සියල්ල අහිමිවී මහ මගට වැටුණු යුවළක් හලාවත බස්පොළේ ජීවත් වෙති.

ධර්මදාස (අවු:74) සහ එමලින් (අවු:70) යුවළ කාලයක් පදිංචිවී සිට ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේය. මේ වන විට එම යුවළගේ නවාතැම්පළ බවට පත්ව ඇත්තේ හලාවත නගරයේ ඇති පෞද්ගලික බස් නැවතුම්පළය.

දරුවන් සිව් දෙනෙකුගේ මව්පියන් වන මෙම යුවළට වර්තමානයේ හව්හරණක් නැත. මේ දිනවල පවතින ඇඳිරි නීතිය නිසා ඔවුන්ට බත්පතක් හෝ ලැබෙන්නේ නැත. ඉඳහිට හෝ පිහිට වූවා නම් ඒ හලාවත පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පමණි.

ර්තමානයේ තමන් පත්ව සිටින තත්ත්වය සම්බන්ධයෙන් එමළින් මහත්මිය මෙසේ පවසයි :

“අපිට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. මම අංශභාග රෝගියෙක්. මහත්තයා වකුගඩු රෝගියෙක්. අපිට තිබුණු දේපළ සියල්ල දරුවන්ට ලියලා දුන්නේ කොයි වෙලාවේ අපි දෙන්නා මිය යයිද කියලා දන්නේ නැති නිසයි. කිව්ව විදියටම අපි දෙන්නම රෝගී වුණා. දෙන්නම ප්‍රතිකාර සඳහා රෝහල් ගත වුණා. රෝහලෙන් ඇවිත් බලන කොට දරුවෝ දේපළ ඔක්කොම විකුණලා දාලා වෙන පළාත්වලට ගිහිං. ඒ අය ඉන්න තැනක් අපි දන්නේ නෑ. ඊට පස්සේ අපිට යන්න එන්න තැනක් නැති නිසා මේ බස්නැවතුම්පළට ආවා. දැන් ඉතිං මියැදෙනකල් මෙතනම තමයි ඉන්න වෙන්නේ.”

තමන්ගේ දුක පැවසූ ධර්මදාස මහතා :

“මේ දවස්වල කඩවල් වහලා නිසා තේ එකක් බොන්නවත් තැනක් නැහැ. පොලිසියේ මහත්තුරු නම් ඉඳලා හිටලා අපිට මොනවා හරි ගෙනත් දෙනවා. අපිට කව්රු හරි මැදිහත් වෙලා ඉන්න තැනක් සකස් කරලා දෙනවා නම් ඒක ලොකු පිනක් මහත්තයෝ.”

දරුවන් සිව් දෙනකු සිටියත් ධර්මදාස යුවළට අද උරුම මහ පාර පමණි ෴

+++++++++++++++++++++++++++++++++++

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 146 ක් දක්වා ඉහළට

(01.04.2020 – 17:40 +0530 – sinhala.adaderana.lk)

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 03 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 146 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

අද (01) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද (01) දිනය තුළ ආසාදිතයින් තිදෙනකු තහවුරු වී ඇති බවයි.

ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 126 ක් වන අතර , සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 18 ක් වේ.

වෛරසය ආසාදිතව අයි.ඩී.එච් සහ මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එක් රෝගීයෙක් අද (01) සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මෙ වන විට දෙදෙනෙකු මිය ගොස් ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

රුපියල් මිලියන 50 කට අධික වෛද්‍ය උපකරණ චීන රජයෙන් ලංකාවට

(01.04.2020 – 17:33 +0530 – sinhala.adaderana.lk)

මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට චීන රජය විසින් රුපියල් මිලියන 50 කට අධික වෛද්‍ය උපකරණ තොඟයක් පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූවෙයි මහතා විසින් එම උපරණ තොගය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මීට අමතරව අන්තර්ජාලය හරහා ව්‍යාපාරික කටයුතු සිදු කරන අලිබාබා ආයතනයේ හිමිකරු සහ ලොව ධනවත්ම පුද්ගලයෙකු වන ජැක්මා විසින් ප්‍රදානය කරනලද රුපියල් මිලියන 25 කට අධික වටිනාකමින් යුතු මුඛ ආවරණ තොඟය ද සෞඛ්‍ය අමාත්‍යාංශයවෙත භාරදී තිබේ.

+++++++++++++++++++++++++++++++++++

Covid 19 පාලනයට කැපවෙන රාජ්‍ය නිළධාරින්ට අපහස කරන පිරිසට නීතිය දැඩි වෙයි

(01.04.2020 – 16:54 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමේ කටයුතුවල නිරතව සිටින රාජ්‍ය නිළධාරින්ට එරෙහිව සමාජජාල මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා ද්වේශ සහගත ප්‍රකාශ සිදු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා රාජ්‍ය අංශය මනා කැපවීමකින් යුතුව සිය සේවය ලබා දෙන බව පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් එම රාජකාරි කටයුතු විවේචනය කරමින් සහ එම නිළධාරින්ගේ සුළු අඩුපාඩු පෙන්වමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කරන හා ඔවුන්ට බැණ තර්ජනය කරමින් අසත්‍ය හෝ ද්වේශ සහගත ප්‍රකාශ සිදු කරන විඩියෝ දර්ශන සහ වෙනත් ප්‍රකාශ අන්තර්ජාලය ඔස්සේ පල වී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.

මේ ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිම සඳහා වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

Covid 19 පාලනයට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රසාදය

(01.04.2020 – 16:28 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රසාදය පළ කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමතා මේ සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කර ඇති බව වාර්තා වේ.

එහිදී කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියෙන් ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ත කලාපයට සිදුවියහැකි සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් පිළිබඳව සාකච්ඡා වූ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබුණි.

එමෙන්ම වෛරස ව්‍යාප්තියට එරෙහි සටනේ දී රජය රජය සැලසුම් සහගතව සිදුකරන වැඩපිළිවෙළට ප්‍රසාදයපළ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කර තිබුණේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසස් මහතාගේ ටිව්ටර් සටහනට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දක්වන සහයෝගයට සිය ස්තූතිය පළ කර තිබුණි.

මෙම වසංගත තත්ත්වය පාලනය වන තුරු ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර තිබුණේය.

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් අප්‍රේල් 8 සිට 30 දක්වා අත්හිටුවයි

(01.04.2020 – 16:07 +0530 – sinhala.adaderana.lk)

අප්‍රේල් 08 වනදා සිට 30 වනදා දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් ගමන් වාර අත්හිටුවා ඇත.

නමුත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සේවා පමණක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය දන්වා තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

2020 A/L පැවැත්වෙන දිනයේ කිසිඳු වෙනසක් නෑ – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

(01.04.2020 – 15:53 +0530 – sinhala.adaderana.lk)

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයේ කිසිඳු වෙනසක් සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අද (01) පෙරවරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඇතැම් විද්‍යුත් මාධ්‍ය සහ වෙබ් අඩවිවල ප්‍රචාරණය වන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.

2020 වසරේ අපොස උසස් පෙළ සඳහා මුහුණ දීමට සිටින කිසිඳු සිසුවෙක් හෝ ශිෂ්‍යාවක් ඒ සම්බන්ධයන් සැකයක් තබා නොගතයුතු අතර අධ්‍යන කටයුතුවල කිසිඳු අතපසුවීමක් සිදු නොකළ යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

O/L ප්‍රතිඵල අප්‍රේල් මස 30 වනදාට පෙර නිකුත් කිරීමට පියවර – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

(01.04.2020 – 15:41 +0530 – sinhala.adaderana.lk)

අපොස සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 30 වනදාට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරූම මහතා පවසයි.

අද (01) පෙරවරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය ෴

+++++++++++++++++++++++++++++++++++

අධ්‍යාපන සඳහා වෙන්වු රූපවාහිණි නාලිකාවක් – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

(01.04.2020 – 15:36 +0530 – sinhala.adaderana.lk)

පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් අතපසුවන අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා රජය මඟින් අධ්‍යාපන කටයුතු සඳහා වෙන්වු රූපවාහිණි නාලිකාවක් මඟින් අධ්‍යාපන කටයුතු සිදු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවේ විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර මැයි 12 තෙක් දීර්ඝ කරයි

(01.04.2020 – 13:55 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ ‍වෙසෙන විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර කාලය 2020 මැයි මස 12 වන දින තෙක් දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව දැනට ලබා ගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය 2020 මාර්තු 14 වන දින සිට අප්‍රේල් 12 වන දින තෙක් දීර්ඝ කළ බව රජය පසුගිය දා දැනුම් දෙනු ලැබීය.

රට තුළ පවතින කොරෝනා වෛරසය පිළිබඳ අවධානය යොමු කරමින් ලංකාවට පැමිණ තිබෙන විදේශිකයන්‍ ලබා ගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය දින 30 කින් දීර්ඝ කර ඇත.

ඒ අනුව කටයුතු කළ යුතු ආකාරය පහතින් දැක්වෙයි :

  1. දැනට ලබා දී ඇති සියලුම වර්ගවල වීසා බලපත්‍රයන්හි වලංගු කාලය 2020 මැයි 12 දින තෙක් දීර්ඝ කර තිබේ.
  2. එම වීසා දීර්ඝ කිරීමට අදාළව, වීසා ගාස්තු ගෙවීම හා වීසාව ගමන් බලපත්‍රයේ පිටසන් කර ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය ඉදිරි‍‍යේ දී දැනුම් දෙනු ඇත.
  3. පෙර කී නිවේදනය පරිදි එම දිනයන්හිදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශයට පැමිණිමෙන් වළකින ලෙස වැඩිදුරටත් දැනුම් දෙයි.
  4. මෙම කාලය තුළ දී දිවයිනෙන් බැහැර වීමට අදහස් කරන්නේ නම්, ඉහත වීසා දීර්ඝ කිරීමට අදාළ වීසා ගාස්තු පමණක් ගුවන් තොටුපල වෙත ගෙවා දිවයිනෙන් බැහැර ‍වී යා හැක. එහිදී කිසිදු දඬ මුදලක් අය නොකරයි.
  5. දැනටමත් වීසා ලබා ගැනීම සඳහා ගමන් බලපත්‍ර, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශය වෙත ලබා දී ඇත්නම්, එහිදී ඔබ වෙත ලබා දී ඇති පිළිගැනීමේ රිසිට් පත‍්‍රයෙහි (Acknowledgement) වලංගු කාලය ද තවත් දින 30 කින් එනම් 2020 මැයි 12 වන දින තෙක් දිර්ඝ කර තිබේ.

මෙම කාලය තුළ දී ඔබ දිවයිනෙන් බැහැර වීමට අදහස් කරන්නේ නම් පමණක් ඔබගේ ගමන් බලපත්‍රය මෙම දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීම සඳහා ඉල්ලීමක්, අදාළ පිළිගැනීමේ රිසිට් පතේ (Acknowledgement) පිටපතක් හා ගුවන් ගමන් ටිකට් පත්‍රයෙහි පිටපතක් සමඟ පහත විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුයි.

වැඩිදුර විමසීම් – 077 158 8724

dcvisa@immigration.gov.lk

acvisa@immigration.gov.lk

acvisa1@immigration.gov.lk

acvisa2@immigration.gov.lk

aceta@immigration.gov.lk

http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=342&lang=en

+++++++++++++++++++++++++++++++++++

එක් දිනයකදි මෙරටින් හමු වු වැඩිම කොරෝනා ආසාදිතයින් සොයා ගත් හැටි

(01.04.2020 – 13:06 +0530 – sinhala.adaderana.lk)

පුත්තලම නැගෙනහිර ප්‍රදේශයෙන් පසුගිය දා සොයා ගත් කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා ඇසුරු කළ තවත් පුද්ගලයන් 10 දෙනෙකු ඊයේ (31) සොයාගත් කොරෝනා ආසාදිතයන් අතර සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ (31) දිනයේදී වෛරසය ආසාදිත රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වීම සම්බන්ධයෙන් අද (01) උදැසන දෙරණ සජීවි වැඩසටහනකදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.

යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ එකතුව යුහුසුලුව සිදු කළ නිරෝධායන කටයුතු නිසා මෙම ආසාදිතයින් සොයා ගත හැකි බව ඒ මහතා පැවසීය.

මුල්ම ආදිතයාගේ අදාල දිනයන්හි හැසිරි ඇති ආකාරය සම්බන්ධයෙන් කළ විශ්ලේෂණයක් අනුව ඔහු පදිංචිව සිටි ගම්මානයේ පුද්ගලයින් 88 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කළ බවත් එහිදි සිදු කළ පරීක්ෂණ අනුව මෙම රෝගීන් 10 දෙනා සොයා ගත් බවත් ඒ මහතා පැහැදිලි කළේය.

එම රෝගීන්ගේ කිසිදු රෝග ලක්ෂණයක් නොතිබුණ බවත් නමුත් ඇති වු සැකය මත එම පිරිසිසෙන් 19 දෙනෙකුගේ රුධිර සාම්පල පරීක්ෂා කළ බවත් එහිදි 10 දෙනෙකුට මෙම වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

+++++++++++++++++++++++++++++++++++

දිවයින පුරා ෆාමසි දින 3 ක් විවෘත වෙයි

(01.04.2020 – 18:15 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ෆාමසි හෙට (02) සහ අනිද්දා (03) මෙන්ම ලබන සඳුදා (06) දිනවල විවෘත කර තැබෙන බව පොලිසිය පවසනවා.

ඒ විශ්‍රාමික පුරවැසියන්ට තම ඖෂධ මිලදී ගැනීම සඳහා බවයි පොලිසිය කියාසිටියේ.

මෙම දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිතව ඇති බැවින් මෙම පියවර ගෙන ඇතැයි ද පොලිසිය සඳහන් කළා.

අදාළ දිනවල විශ්‍රාමිකයන්ට තම විශ්‍රාම හැඳූනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙසට භාවිත කිරීමට අවසර ලබාදෙන ලෙසටයි වැඩබලන පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථාන වෙත දැනුම්දී ඇත්තේ.

+++++++++++++++++++++

විශ්‍රාමිකයින්ට බෙහෙත් ගන්න අද (02) ඔසුසැල් විවෘතයි

(02.04.2020 – 06:48 +0530 – sinhala.adaderana.lk)

විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජය විසින් නියම කර ඇති අද (02) හෙට(03) සහ ලබන 06 වැනිදා දිවයින පුරා ඔසුසැල් විවෘතව තැබෙන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් මෙලෙස ඔසුසැල් විවෘතව තැබීමට රජය තීරණය කර ඇති බවයි.

මේ අතර විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පැමිණෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අදාළ ස්ථාන කරා රැගෙන යාම සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු යොදා තිබේ.

මේ හේතුවෙන් දිවයින පුරා සියලුම ඩිපෝවලට අනුයුක්ත දැනට සේවයට වාර්තා කර නොමැති රියදුරු සහ සහයකයින් අදාළ ඩිපෝ කළමනාකරුවන්ගේ උපදෙස් මත සේවයට වාර්තා කරන ලෙස ලංකා ගමනාගමන මණ්ඩලය දැනුම් දෙයි.

එමෙන්ම ඊයේ (01) දිනයේ දී මාධ්‍යට අදහස් දක්වමින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, විශ්‍රාමිකයින්ට අදාළ බැංකු වෙත යෑමට හා නැවත නිවෙස් වෙත පැමිණීම සඳහා යුද හමුදාව විසින් ප්‍රවාහන පහසුකම් සපයා දෙන බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවේ තුන්වන (03) කොරෝනා ‍මරණයත් වාර්තා වෙයි

(02.04.2020 – 00:01 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් 19 ආසාදිත තවත් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී රාත්‍රීයේ එම පුද්ගලයා මිය‍ ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් ‍කළේය.

මරදාන ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මෙරට සිදුවු කොවිඩ් 19 ‍(නව කොරෝනා) මරණ සංඛ්‍යාව 3 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් නයින්ටීන් රෝගීන් තිදෙනකු මරදාන, කුරුණෑගල සහ යාපනය ප්‍රදේශවලින් ඊයේ (01) හමුවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව ඉහළ යන්නේ 146 ලෙසින්.

මාර්තු මස එකලොස්වෙනිදා සිට මේ දක්වා කාලය තුළ මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරසය අසාදිත වූ රෝගීන් 146 දෙනෙකු වාර්තා වී තිබේ.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ඊයේ (01) දිනය තුළ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 21 ක්.

ඒ අතරින් රෝගීන් දස දෙනෙකුම පුත්තලම සහිරා විද්‍යාලයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා විය.

ඉන් 08 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර අනෙක් දෙදෙනා කාන්තාවන්.

මේ අතර ඊයේ (01) රාත්‍රියේ මොවුන් පිරිස යුද හමුදා ආරක්ෂාව මධ්‍යයේ මුල්ලේරියාව මූලික රෝහලට රැගෙන ආවේය.

ඔවුන්ට ආරක්ෂාව සැපයූ හමුදා සාමාජිකයින් වෛරස් ආරක්ෂිත ඇඳුමින් සැරසී සිටීම විශේෂත්වයක්.

මොවුන් පිරිස ඇතුළු පුත්තලම කඩුමයාන්කුලම් ගම්මානයේ සිටි පවුල් 20 ක පුද්ගලයින් 69 දෙනෙකු පසුගිය 29 වනදා නිරෝධායනය සඳහා පුත්තලම සහිරා විද්‍යාලයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙතට යොමුකර තිබේ.

ඒ කොවිඩ් නයින්ටීන් රෝගය ආසාදනය වූ පුද්ගලයෙකු එම ප්‍රදේශයෙන් හමුවීමත් සමඟයි.

ඔහු මලයාසියාවේ දේව මෙහෙයකට ද සහභාගී වි පැමිණි අයෙක්.

අදාල පුද්ගලයා පුත්තලම නගරයේ පිහිටි දේවස්ථාන තුනකට ද ගොස් ඇති අතර ඔහු ගුරුවරයෙකු බව වාර්තා වෙයි.

මේ අතර කොවිඩ් නයින්ටීන් රෝගය ආසාදනය වූ නව ආසාදිතයින් 06 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් ද, තිදෙනෙක් මහනුවර දිස්ත්‍රික්කයෙන්, දෙදෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ගත වූ පැය 24 තුළදී වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ, කොවිඩ් නයින්ටීන් රෝගීන් හමුවූ බේරුවල පන්නිල සහ චීන කොටුව යන ප්‍රදේශව පවුල් 51 ක සාමජිකයින් නිරෝධායනය සඳහා අද කන්දකාඩු මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවයි.

ඒ කොවිඩ් නයින්ටීන් රෝගය අසාදනය වූ පිරිස් මෙම පවුල්වල සාමාජිකයින් සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් කොවිඩ් නයින්ටීන් රෝගය ආසාදනය වීමෙන් දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 126 ක්.

https://www.youtube.com/watch?v=3qpMZf1Lows

+++++++++++++++++++++

Covid 19 ආසාදනයේ ඊයේ (01) මිය ගිය පුද්ගලයා දිර්ඝ කාලීන රෝග කිහිපයකින් පීඩා විඳි අයෙක්

(02.04.2020 – 09:33 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය මරදාන ප්‍රදේශයේ පදිංචිකරු දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු රෝග තත්ත්වයන්ගෙන් පෙලුනු අයෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 73 හැවිරිදි අදාළ පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (02) දිනයේ තහවුරු වී තිබුණි.

ඉන් අනතුරුව අයි.ඩි.එච්.රෝහලට මාරු කෙරුණු ඔහු එම රෝහලට ඇතුළත් කරගන්නා අවස්ථාවේදී මියගොස් ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

මියගිය පුද්ගලයා දියවැඩියාව, අධික රුධිර පීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපනවීම ආදි රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳි අයෙකු බවට අනාවරණය වී තිබේ.

ඔහු රෝහල් ගත වීඇත්තේ ද කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වය උත්සන්න වු අවස්ථාවේදී බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය ෴

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=AFqwV03N-lQ#t=6

+++++++++++++++++++++++++++++++++++

ලංකාව කොරෝනා වෛරස ව්‍යාප්තියේ 3A අවදියට – ආරක්ෂක සහ ප්‍රහාරක පියවර දැඩි කළ යුතු බව GMOA කියයි

(01.04.2020 – 21:25 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් 19 ව්‍යාප්තියේ 3A අවදියට පිවිස තිබේ.

එහි හතරවැනි අවදිය වන්නේ ගම්මානයකින් රෝගීන් කිහිප දෙනකු වාර්තා වීමයි.

එම තත්ත්වය වළක්වා ගත හැක්කේ කෙසේ ද ?

‘අද දෙරණ’ ඒ පිළිබඳ සොයාබැලීමක් කළා.

ශ්‍රී ලංකාවෙන් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමුවී අදට මාස දෙකකුත් දින හතරක් වෙයි. එම කාලය තුළ රෝගීන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ අතර පුද්ගලයින් දෙදෙනකු ද එම රෝගයෙන් මිය ගියා.

වෛද්‍යවරුන් පවසන්නේ, ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් 19 ව්‍යාප්තියේ 3A අවදියේ සිටින බවයි. තුන-ඒ යනු එකම නිවසකින් රෝගීන් කිහිපදෙනකු වාර්තා වීමයි.

ගම්මානයකින් රෝගීන් කිහිපදෙනකු වාර්තාවීම තුන-බී ලෙස හැඳින් වෙයි.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ, නිවාසිතව ආසාදිතයින් පොකුරු වශයෙන් මෙම අවදියේදී දැකි බවත් මෙයට ප්‍රතිචාර නොදැක්වුවහොත් ඉදිරිය කණගාටුදායක විය හැකි බවයි.

වෛද්‍යවරයා පවසන්නේ, සිව්වැනි අදියර ඉතාමත්ම භයානක තත්ත්වයක් බවයි.

එසේ නම් එම අවස්ථාවට නොයෑම සඳහා ගත යුතු පියවර කුමක් ද ?

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ මේ යන ආකාරයෙන් නිවැරදි ක්‍රියාමාර්ග නොගන්නේ නම් අප්‍රේල් මස 4 වන සතිය වන විට උපරිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවයි.

එහිදී ආසාදිතයින් සමඟ ගැටුණු සියලු දෙනා නිරෝධායනයට ලක් කළ යුතු බවත්, රෝගීන් හැකිතාක් හඳුනා ගත යුතු බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම පරීක්ෂණ පහසුකම් පවා වැඩි කළ යුතුව ඇතැයි ද වෛද්‍යවරයා මෙහිදී කියා සිටියේය.

යුරෝපය ඇතුළු ශීත කාලගුණික තත්ත්වයක් පවතින රටවල කොවිඩ් 19 න් සීග්‍රයෙන් ව්‍යාප්ත වෙද්දී මෙරට කාලගුණය ඊට කොතෙක් ඔරොත්තු දෙන්නේ ද ?

උෂ්ණත්වය ඉහළ යන විට වෛරසය විනාශ වීමේ හැකියාව ඇති බවත් නමුත් වෛරසය පැය කීපයක් බාහිර පරිසරයේ පැවතිය හැකි බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

කෙසේ වෙතත් කොවිඩ් 19 වෛරසය චීනයෙන් පළමුවරට හමුවී මාස තුනකට වැඩි කාලයක් ගතවුත් මෙතෙක් ඊට නිශ්චිත ඖෂධයක් සොයාගෙන නැහැ.

මිනිසා කොතෙක් බුද්ධියෙන් උසස් වුවත් රෝග ව්‍යාප්තිය පාලන කරන එකම ක්‍රමවේදය ලෙස සිදුකරන්නේ, ලෝක ප්‍රජාව නිවෙස් වෙතට සීමා කිරීමයි.

මේ තත්ත්වය තව කොතෙක් කල් පවතීද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ බටහිර පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ, තකේෂී කසායි මහතා පවසා සි‍ටියේ මෙවන් අදහසක්.

“කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර සොයාගැනීමට පැය විසි හතර පුරාම අඛණ්ඩව කැපවෙන පුද්ගලයින් ඉන්නවා. ඒත් මෙම වෛරසය මේ සතිය හෝ ලබන මාසයේදී තුරන් වේවි කියලා අපේක්ෂාකරන්න බැහැ.

ගෝලීය වසංගත තත්ත්වය පවතින තුරු අවදානම පහව යන්නේ නැහැ. කෙසේ වෙතත් දැනට අනුගමනය කරන ආරක්ෂක ක්‍රම වේද මගින් ඉදිරි අවදානමකට මුහුණදෙන්න තරම් කාලය අපට ලැබේවි.”

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායනය වූ තවත් 195 දෙනෙක් අද (02) පිටව යෑමට නියමිතයි

(02.04.2020 – 06:52 +0530 – sinhala.adaderana.lk)

විදේශ ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි තවත් පිරිසක් අද (02) නිවෙස් බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ 195 දෙනෙකු මෙලෙස නිරෝධායනය අවසන් කොට නිවෙස් බලා පිටත්ව යන බවයි.

මේ අතර විදෙස්රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි තවත් කණ්ඩායමක් ඊයේ (01) සිය නිවෙස් වෙතපිටත් කර හැර තිබේ.

නිරෝධායන කාලසීමාව අවසන් කළ විදේශිකයෙකු ඇතුළු පුද්ගලයින් 100 දෙනෙකු මෙලෙස එම මධ්‍යස්ථානවලින් පිටත් කර හැරුණු බව යුද හමුදාව සඳහන් කළේය.

ඔවුන් දියතලාව, ධම්මින්න සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් වේ.

විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් 2121 දෙනෙකු මේ වන විට සිය නිවෙස් වෙත පිටත් කර හැර ඇති අතර 1500 කට වැඩි පිරිසක් තවදුරටත් මධ්‍යස්ථාන 32 ක රැදී සිටින බව යුද හමුදාව සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

බේරුවල පිරිසකට නිවසක් කුලියට දුන් හම්බන්තොට පවුලක් ස්වයං නිරෝධායනයට

(01.04.2020 – 22:51 +0530 – sinhala.adaderana.lk)

හම්බන්තොට ජාතික නිවාස මාවතේ පදිංචි පවුලක් ද අද (01) ස්වයං නිරෝධායනයට ලක් කෙරුණි.

ඒ ඔවුන්ට අයත් හම්බන්තොට කොහොලංකල රොටරි නිවාසවල පිහිටි නිවසක් බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකට ලබාදීමේ සිද්ධියක් පදනම් කරගනිමින්.

ඉකුත් 16 වනදා අදාළ නිවස බේරුවල පිරිසකට බදු දී ඇති අතර පසුදාම එම නිවස භාර දී එම පුද්ගලයින් ගොස් ඇති බවත් පසුව ඉන් අයෙකු කොරෝනා ආසාදිතයෙක් බව හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය අංශ සහ පොලීසිය මෙහිදී උපදෙස් දුන්නේ, ස්වංය නිරෝධායනයට ලක්කළ පුද්ගලයින්ගේ නිවස යාබද නිවසද නිරෝධායනයට ලක් කළ යුතු බවයි.

එහිදී එම නිවැසියන්ගෙන් විරෝධය එල්ල විය.

+++++++++++++++++++++

බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර ගන්න ගිය අයෙක් කො‍රෝනා බවට සැකපිට හම්බන්තොට රෝහලට

(01.04.2020 – 22:45 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා රෝගය යැයි සැක සහිත රෝගී ලක්ෂණ සහිතව දෙබරවැව පුද්ගලික බෙහෙත් ශාලාවක් වෙත ප්‍රතිකාර සඳහා පැමිණි පුද්ගලයෙකු අද (01) හම්බන්තොට මහ රෝහලට යොමු කෙරුණි.

පොලිසිය පැවසුවේ, තිස්සමහාරාම රත්නෙළුම්වලයාය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අයෙකු වන ඔහු තංගල්ල සංචාරක හෝටලයක සේවය කර ඉකුත් 18 වැනිදා නිවස වෙත පැමිණ ඇති බවයි.

ඒ අතරතුර ඔහු හම්බන්තොට දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය එම්.එන්.එච්.ක්‍රිෂාන්ත මහතාගේ දෙබරවැව පිහිටි පුද්ගලික බෙහෙත් ශාලාවට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අද (01) පැමිණ තිබුණි.

ඔහුගේ නිවස පරීක්ෂා කළ සෞඛ්‍ය අංශ, මව සහ පියාත්, යාබද නිවසේ පුද්ගලයින් පස්දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළේය.

අදාළ වෛද්‍යවරයාද ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

+++++++++++++++++++++++++++++++++++

ගෙදරටම ආපු බෙහෙත්

(01.04.2020 – 22:41 +0530 – sinhala.adaderana.lk)

පසුගිය දින කිහිපය පුරා බොහෝ දෙනා අතර කතාබහට ලක් වූ ප්‍රධාන මාතෘකාවක් වූයේ ඇඳිරි නීතිය පවතින කාලය තුළ ජනතාවට ඖෂධ බෙදා දීම පිළිබඳවයි.

ඒ සඳහා රජය ආරම්භ කළ, තැපැල් දෙපාර්තමේන්තුව හරහා ජනතාවට නිවෙස් වෙතම ඖෂධ බෙදාහැරීමේ වැඩපිළිවෙළ මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක සාර්ථකව ක්‍රියාත්මක කෙරෙයි.

මේ, ගතවූ දෙදින තුළ පොලොන්නරුව ඔසුසලෙන් ජනතාව ඇනවුම් කළ ඖෂධ අද (01) නිවෙස් වෙත බෙදා දෙනු ලැබීය.

මේ අතර වීරකැටිය ප්‍රාදේශීය රෝහල, එම ප්‍රදේශයේ සායනික රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ නිවසටම ගෙනැවිත් දීමේ වැඩපිළිවෙළක් අද ආරම්භ කළේය.

මේ අතර කැප්පෙටිපොළ සමෘද්ධි බැංකුව විසින් අද ප්‍රදේශයේ සමෘද්ධිලාභීන් 845 දෙනෙකු සඳහා රුපියල් පන්දහසක දීමනාව ඔවුන්ගේ නිවෙස් වෙතම ගොස් බෙදා දීම සිදු කෙරුණි.

නමුත් අද ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කළ කාලය තුළ පොළොන්නරුව සමෘද්ධි බැංකුවට පැමිණි ජනතාව එම රාජකාරී නිසි ලෙස සිදු නොවීම හේතුවෙන් අපහසුතාවට පත් වුණා.

මේ අතර ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ආරම්භ කළ ATM ජංගම සේවාව අදත් ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක කෙරුණි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *