කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අට වැදෑරුම් වැඩපිළිවෙලක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අට වැදෑරුම් වැඩපිළිවෙලක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්

• නවදිල්ලියේ ඉස්ලාමීය ආගමික සමුළුවට එක්වූ විදේශිකයන් 960 දෙනෙකුගේ වීසා තහනම් කෙරේ

• ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 11,019 ක් අත්අඩංගුවට

• විද්‍යුත් ගෙවීම් ක්‍රම සඳහා මහජනතාව උනන්දු කිරීමේ වැඩපිළිවෙළක් මහ බැංකුවෙන්

• අදත් (03) අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව

• මත්වතුර අලෙවිසැලක් කඩා ලක්ෂ 05 ක මත්වතුර සොරාගෙන

• කොවිඩ් 19 අරමුදලට ව්‍යාජ ලෙස මුදල් එකතු කරන බවට තොරතුරු වාර්තා වෙයි

• කොරෝනා වෛරසයට විශ්වාසයෙන් මුහුණ දෙමු – මහ බැංකු අධිපති

• යුද හමුදා රෝහලේ සායන සඳහා සහභාගී වන අයට දැනුම්දීමක්

• Covid 19 ආසාදිත යැයි සැක සහිත රෝගීන් 250 ක්

• ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය හමුව (විඩියෝ)

• හෙට (04) දිනයේ දී විශ්‍රාම වැටුප නිවසට නොලැබුණහොත් තැපැල් කාර්යාලයෙන් විමසන්න

• එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සුභසාධන කටයුතු ගැන විදේශ අමාත්‍යාංශය සොයා බලයි

• කොරෝනා ආසාදිතයෙක්ගේ අවසන් කටයුතු ගැන සෞඛ්‍ය සේවා ජනරාල්ගෙන් පැහැදිලි කිරීමක් (විඩියෝ)

• ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළට

• නාවික හමුදාව ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් අයිස් සහ කෙටමින් මත්ද්‍රව්‍ය තොගය සහ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට සේන්දු වෙයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අට වැදෑරුම් වැඩපිළිවෙලක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්

(03.04.2020 – 13:57 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියයට 80 ක ප්‍රශස්ථ සංචරණ සීමාවක් සහතික කිරිම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අට වැදෑරුම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව සංචරණය අවශ්‍ය නොවන නිවෙස් හඳුනා ගැනීම, ආහාර නිෂ්පාදනය කරන පිරිස හඳුනා ගැනීම සහ නිෂ්පාදන ද්‍රව්‍ය ප්‍රවාහනය මෙන්ම ඒවා මිලදී ගැනීම, සලාක වශයෙන් සකස් කිරීම ආදිය මෙම වැඩපිළිවෙලට ඇතුළත්.

එමෙන්ම, නිවෙස්වලට බඩු බාහිරාදිය බෙදා දීම, අඩුපාඩු පිළිබඳ පැමිණිලි කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සහ අනපේක්ෂිත සිද්ධි වාර්තාකරණය හා කළමනාකරණය සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම අදාළ වැඩපිළිවෙලට ඇතුළත් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

පවතින තත්ත්වය යටතේ ජාතික මට්ටමේ මෙන්ම ප්‍රාදේශීය මට්ටමෙන් මෙම වැඩපිළිවෙල සකස් විය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴

+++++++++++++++++++++++++++++++++++

නවදිල්ලියේ ඉස්ලාමීය ආගමික සමුළුවට එක්වූ විදේශිකයන් 960 දෙනෙකුගේ වීසා තහනම් කෙරේ

(03.04.2020 – 15:34 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්ත වීමට මූලික වශයෙන් ඉවහල් වූ බවට විශ්වාස කෙරෙන නවදිල්ලියේ පසුගිය මාසයේ පැවති තබ්ලිගි ජමාට් සංවිධානයේ සමුළුවක සහභාගි වූ විදේශිකයන් 960 දෙනෙකුගේ වීසා තහනම් කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ ඉතාලිය ආදී රටවලින් ඒ සඳහා පැමිණි 1300 කට අධික පිරිසක් ඉන්දියාවේ තවදුරටත් රැදී සිටින බවට හඳුනාගෙන ඇතැයි ඉන්දීය ස්වදේශ අමාත්‍ය අමිත් ෂා ප්‍රකාශ කළා.

ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 550 කට වැඩි පිරිසක් දිල්ලියේ නිසමුද්දීන් ප්‍රදේශයේ පැවති ආගමික සමුළුවට සහභාගි වූ අයයි.

ඉන්දීය රජය විසින් ඒ සඳහා පැමිණි විදේශිකයන්ගේ සංචාරක වීසා තහනම් කර ඇති අතර, ඔවුන්ට නැවතත් ඉන්දියාවට පැමිණීමට නොහැකි වන පරිදි අසාදු ලේඛනගත කර තිබෙනවා.

කෙසේ නමුත් ඔවුන් ඉන්දියාවෙන් නික්මීමට පෙර කොවිඞ් නයින්ටීන් රෝග ලක්ෂණ පවතින්නේ දැයි පරීක්ෂාවට ලක් කරනු ඇති.

මේ අතර, දිල්ලියේ නිසමුද්දීන් ආගමික සමුළුව සඳහා අන්තවාදීන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන බවට ලක් රජය ඉන්දීය බලධාරීන් දැනුවත් කර තිබූ බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.

එමගින් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් සහ මෙරට අන්තවාදීන් අතර සම්බන්ධතාවක් අඛණ්ඩව පැවතුණ බවයි.

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා එක්වූ අන්තවාදී පිරිස් ද ඉන්දියානු අන්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ බවට තොරතුරු පවතින බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 11,019 ක් අත්අඩංගුවට

(03.04.2020 – 15:25 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මස 20 වනදා සිට අද දහවල් 12 දක්වා කාල සීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 11,019 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාශය සඳහන් කළේ වාහන 2727 ක් ද එහිදී පොලිස් භාරයට ගෙන ඇති බවයි.

එසේම, අද (03) උදෑසන 6 සිට අද දහවල් 12 දක්වා පැය 6 ක කාලය තුළ පමණක් පුද්ගලයින් 289 දෙනෙකු සහ වාහන 70 ක් අත්අඩංගුවට ගැණුනා ෴

+++++++++++++++++++++++++++++++++++

විද්‍යුත් ගෙවීම් ක්‍රම සඳහා මහජනතාව උනන්දු කිරීමේ වැඩපිළිවෙළක් මහ බැංකුවෙන්

(03.04.2020 – 14:11 +0530 – hirunews.lk/sinhala)

මුදල් ගනුදෙනු සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිත කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, වෙළෙඳුන් සහ මහජනතාව උනන්දු කරවීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භකර තිබෙනවා.

වෙළෙඳුන් හට මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු 076 977 9779 යන අංකයෙන් ලංකා ක්ලියර් (Lanka clear) ආයතනය අමතා ලබාගත හැකි බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

අදත් (03) අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව

(03.04.2020 – 13:45 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක අද (03) දිනයේත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව වාර්තා වනවා.

එමෙන්ම, විශ්‍රාමිකයින්ට විශ්‍රාම වැටුප් සහ ඖෂධ ලබා ගැනීම සඳහා ආරක්ෂක අංශ ප්‍රවාහනය ඇතුළු අවශ්‍ය පහසුකම් සලසන බව සඳහන්.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මෙන්ම ඔවුන්ට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා සියළු ඖෂධසැල් ද විවෘතයි.

යුද හමුදා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ගේ ඖෂධ ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් යුද හමුදා මූලික රෝහල්, ක්ෂේත්‍ර රෝහල් සහ රෝගීන් භාර ගන්නා ස්ථානවල පහසුකම් සලසා තිබෙනවා.

මේ අතර, කොරෝනා ආසාදිතයින් සොයා ගැනීමත් සමඟ හුදෙකලා කෙරුණු අකුරණ ප්‍රදේශයේ වෙසෙන ජනතාවට අවශ්‍ය භාණ්ඩ බෙදා හරිනු ලබන්නේ ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන්.

එමෙන්ම, බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශය ද තවදුරටත් හුදෙකලා කර පවතිනවා.

එම ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් කටුයුතු කරන බවයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිමේෂා රත්නවීර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

බේරුවල – පන්නිල ප්‍රදේශයේ කොරෝනා රෝගීන් වාර්තා වීමත් සමඟ ඔවුන් හා සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 219 දෙනෙකු පුනානි නිරෝධායන කඳවුර වෙත යොමු කරනු ලැබුවා.

එම කොරෝනා රෝගීන් සමඟ සබදතා පැවැත්වූ 438 දෙනෙකු හඳුනාගෙන ඇති අතර තවත් 61 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුණ සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

මේ අතර, උතුර පළාතට අත්‍යාවශ්‍ය ආහාරද්‍රව්‍ය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් රැගෙන එන අතර ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේදී ඒවා වෙනත් ලොරි රථවලට පටවා රැගෙන යන බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු දිනසේන රතුගමගේ සඳහන් කළේ.

මේ අතර, කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අඛණ්ඩව රට තුළ ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමේ අරමුණෙන් සෞභාග්‍යා ගෙවත්ත නමින් ගෙවතු දස ලක්ෂයක් වගා කිරිමේ වැඩසටහනක් දියත් කර තිබෙනවා.

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ බීජ වර්ග 5කින් යුත් බීජ පැකට්ටුවක් සහ ඊට අවශ්‍ය උපදෙස් පත්‍රිකාවක් මෙන්ම එළවළු පැළ සහිත බඳුනක් ලබාදීමට කටයුතු කෙරෙනු ඇති.

මේ පිළිබඳ වැඩි විස්තර, බීජ සහ පැළ ඇණවුම් www.saubagya.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවයි මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

මත්වතුර අලෙවිසැලක් කඩා ලක්ෂ 05 ක මත්වතුර සොරාගෙන

(03.04.2020 – 12:36 +0530 – hirunews.lk/sinhala)

නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයට අයත් පුලියාවත්ත ප්‍රදේශයේ මත්වතුර අලෙවිසැලක් කඩා එම අලෙවිසැලේ තිබු දේශිය සහ විදේශිය මත්වතුර බෝතල් විශාල ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

අද (03) අලුයම් කාලයේ මත්වතුර අලෙවිසැලේ ඉදිරිපස දොරගුළු කඩා ඇතුළු වූ පිරිසක් මෙම සොරකම සිදුකර තිබෙනවා.

මෙලෙස සොරාගෙන ගොස් ඇති මත්වතුර බෝතල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහක් වන බවයි තක්සේරු කර ඇත්තේ.

සොරකම සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වනු ලබනවා ෴

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ් 19 අරමුදලට ව්‍යාජ ලෙස මුදල් එකතු කරන බවට තොරතුරු වාර්තා වෙයි

(03.04.2020 – 09:07 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට යැයි පවසමින් මුදල් එකතු කිරීමේ සිද්ධීන් පිළිබඳව තොරතුරු ජනාධිපති කාර්යාලයට වාර්තා වී තිබෙනවා.

අදාළ අරමුදලට ඍජුව මුදලින්, චෙක්පතකින් හෝ වෙනත් පිළිගත් ගෙවීම් මාර්ගයකින් දායක වනු හැර, කිසිවෙකුට හෝ සංවිධානයකට මුදල් නොගෙවන ලෙසටයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා ඉල්ලා සිටින්නේ.

එබැවින් මෙවැනි වංචනික ක්‍රියා පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස ජනාධිපති ලේකම්වරයා දැනුම් දෙනවා.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 011 235 4479 හෝ 011 235 4354 යන දුරකතන අංක ඇමතීමෙන්ද ලබාගත හැකියි.

අද (03) වනවිට අදාළ අරමුදලට බැර වී ඇති මුදල රුපියල් මිලියන 314 කට අධිකයි ෴

+++++++++++++++++++++

A/C Name : COVID – 19 Healthcare and Social Security Fund
A/C No. : 85737373
Bank : Bank of Ceylon
Branch : Corporate Branch

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරසයට විශ්වාසයෙන් මුහුණ දෙමු – මහ බැංකු අධිපති

(03.04.2020 – 16:34 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීමෙන් උද්ගතව ඇති අනපේක්ෂිත වාතාවරණය තුළ ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ඉවහල්වන අයුරින් ආර්ථිකය, බැංකු ක්‍රමය, වෙළෙඳාම වැනි අතිශය වැදගත් ක්ෂේත්‍ර ක්‍රියාත්මක වන්නේ කෙසේ ද, ඒ සඳහා අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග මොනවාද යන්න පැහැදිළි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ලිඛිත ප්‍රකාශයක් කර තිබේ.

එය පහත පරිද වේ,

“කොරෝනා වෛරසය හෙවත් COVID-19 ලොව පුරා පැතිරයාම හා පසුගිය මාසය තුළ එය ලංකාවට පැතිර ඒම පදනම් කොට ගෙන ඇතිව තිබෙන තත්ත්වයන් අතිශයින් නුහුරු නුපුරුදු විදියේ, සාමාන්‍ය තත්ත්වයන්ගෙන් ඈත් වුණු අතිවිශේෂ තත්ත්වයන්.

දුෂ්කර සහ අතිශයින් සංකීර්ණ ප්‍රශ්න මතුකර ඇති කාලයක්. අසාමාන්‍ය තත්ත්වයන් යටතේ පවතින මෙකී දුෂ්කර ප්‍රශ්නවලට පිළිතුරුදීමට සිදුවන්නේ ද සාමාන්‍ය නොවන ආකාරයට සිතා මතා ක්‍රියා කිරීමෙනි.

මේ අනුව සෞඛ්‍ය ප්‍රශ්න, මානුෂීය හා සමාජයීය ප්‍රශ්න, හදිසි අවස්ථා ප්‍රශ්න, මානව සුරක්ෂිතතා ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න යනාදිය සම්බන්ධව ක්‍රියාත්මක වන මුළු ආයතනික පද්ධතියම මේ අවස්ථාවට උචිත ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සම්පාදනය කරමින්, ඒවා අත්හදා බලමින් හා අඩුපාඩු නිවැරදි කර ගනිමින් ක්‍රියාත්මක කරමින් සිටින කාලයක්.

මෙම අර්බුදකාරී තත්ත්වයන්හි වඩාත්ම කැපී පෙනෙන්නා වූත්, ක්ෂණික සහ හදිසි පිළියම් අවශ්‍ය වන්නා වූත් ප්‍රශ්න වනුයේ පුළුල් වශයෙන් මානවවාදී හා මානව සුබසාධන ගණයට වැටෙන ප්‍රශ්නයි. පැතිර යන වෛරසය ප්‍රශ්නයට සහමුලින් යට නොවී, කෙටි කලකින් එයින් මිදීම සදහා සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව එක්තරා නිරෝධායන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට ඇත.

රටේ සමහර කොටස්වල විශේෂයෙන් ජනයා බහුලව වෙසෙන දිස්ත්‍රික්ක කිහිපයක, නොකඩවා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර රටේ ඉතිරි දිස්ත්‍රික්කවල කඩින් කඩ ඇඳිරි නීති තත්ත්ව ක්‍රියාත්මක වෙයි. සමාජ සත්වයකු හැටියට හුරු පුරුදු සමාජයීය ජීවිත ගතකිරීම මිනිසා වළක්වා ඇත.

මෙම සමාජ දුරස්ථකරණය, මිනිස් පැවැත්ම පිළිබද ප්‍රශ්න මතුකර ඇත. මිනිසුන්ට රැකියාවලට යාමට අවසර නැත. සමහර ආයතන වැසී යාම නිසා රැකියා නැතිව ගොස් ඇත.

එදිනෙදා යම් රැකියාවක් කොට ජීවිකාව සපයාගත් අයට විශේෂ වශයෙනුත්, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැසීයාමෙන් හා ස්වයං රැකියා නැතිවීමෙන් රැකියා අහිමි වූ සියලුදෙනාට සාමාන්‍ය වශයෙනුත් ජීවත්වීමට ආදායමක් නැති ඛේදනීය හා බියකරු තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇත.

ආදායම් නැති / අඩු අයට විශේෂයෙනුත්, මුදල් ළග ඇති අයත් ඇතුළුව අන් සියලුදෙනාට සාමාන්‍ය වශයෙනුත්, කෑම බීම සොයා ගැනීම ප්‍රශ්නයක්ව ඇත. මෙකී නොකී සියලු ප්‍රශ්න සම්බන්ධයෙන් ජනතාව විසඳුම් බලපොරොත්තු වන්නේ මූලික වශයෙන් රජයෙනි, ආණ්ඩුවෙනි.

එහිලා ආණ්ඩුව, පෞද්ගලික අංශයත්, වෙළෙදපොළවලුත් උදව් කරගෙන මෙම ප්‍රශ්නවලට විසඳුම් ලබාදී සාමාන්‍ය ජනයාගේ බර ලිහිල් කර දීමටත් අර්බුදය කෙළවර වූ පසු ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ.

ශ්‍රී ලංකා රජය ලෝකයේ අපිට වඩා දියුණු යැයි කියා ගන්නා රටවලට ද වඩා හොදින් මෙම කර්තව්‍යයන් වගකීමෙන් යුතුව භාරගෙන, ලෝක සමාජයේ ප්‍රසාදයටත් ලක් වෙමින් ක්‍රියාකරමින් ඇත. රජයේ දේශපාලන බලධාරිනුත්, පරිපාලන, පොලිස්, හමුදා යනාදී රාජ්‍ය සේවාත්, ශ්‍රී ලංකා මහ බැංකුවත්, රාජ්‍ය අංශයේ අවශේෂ ආයතන පද්ධතියත් මෙහිදී නායකත්වය ගෙන කටයුතු කරමින් සිටි.

මහබැංකු ප්‍රධානියා හැටියට පසුගිය දිනවල මම මේ සම්බන්ධයෙන් මහබැංකුව පැත්තෙන් ගත් ක්‍රියාමාර්ග සාරාංශ කරන්නම්.

• බැංකු ණය ලබා කටයුතු කරමින් සිටි ව්‍යාපාරිකයන් මෙන්ම පුද්ගලික ණය ගත් අය, විශේෂයෙන් කුඩා හා මධ්‍ය තරමේ ව්‍යාපාරිකයන් වෙනුවෙන්, ණය වාරික ආපසු ගෙවීම්, අදාළ කාලය සඳහා නැවැත්වීම (moratorium)

• අලුත් වැඩ ප්‍රාග්ධන (Working Capital) ණය ව්‍යාපාරිකයන්ට – 4% පොළියට මහ බැංකු ප්‍රති මූල්‍යන ක්‍රම යටතේ ලබාදීමට කටයුතු කිරීම.

• වෛරස් ප්‍රශ්නය නිසා පීඩාවට පත් විවිධ කොටස්වලට පිහිට වීම අරභයා රජය යෝජනා කොට ක්‍රියාත්මක කරන විවිධ වැඩසටහන් සඳහා ආණ්ඩුවට භාණ්ඩාගාර බිල්පත්/ සුරැකුම්පත් යටතේ මුදල් ලබාදීම – බිලියන 100ක් පමණ අවස්ථා දෙකකදී දැනට ලබා දී ඇත.

• පොළී අඩු කිරීම, සංචිත අනුපාත අඩු කිරීම ආදී ක්‍රම මඟින් ජනයාට බැංකු ණය පහසුකම් වැඩිකරදීමට බැංකු හා මූල්‍ය ආයතනවලට පහසුකම් සලසා දීම.

• මේ කාලය තුළ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශවලට අනුව මහජනයා සඳහා අවම බැංකු සේවා සපයාදීම සඳහා අවශ්‍ය බොහෝ කටයුතු බැංකු සමග එකතු වී ක්‍රියාත්මක කිරීම.

• ආනයන සීමා කිරීම හරහා සිදුවෙතැයි අපේක්ෂා කරන ගෙවුම් ශේෂය හා විදේශීය වත්කම් පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදීම හා එමගින් ආනයන වෙනුවට දේශීය නිෂ්පාදන කටයුතු ප්‍රවර්ධනය දිරිගැන්වීම.

• වාණිජ බැංකු හා වෙනත් මූල්‍ය ව්‍යාපාර හරහා මහජනයාට පිහිට වීම හා ව්‍යාපාර වලට උදව් වීම සඳහා පොලී අනුපාතික පහළ දැමීමටත් බැංකු ක්‍රමයේ ද්‍රවශිලතා තත්වයන් වැඩිදියුණු කිරීමටත් කටයුතු කිරීම.

• මහ බැංකුව බැංකු පරීක්ෂණ කටයුතුවලදී අදාළ කරගනු ලබන යම් යම් කොන්දේසි ලිහිල් කොට බැංකුවලට තමන් සතු වත්කම් පදනම් කොට දිය හැකි ණය ප්‍රමාණය ඉහළ නැංවීම.

(මහ බැංකුව පසුගිය සති කිහිපය තුළ ගත් සියලු පියවර පිළිබඳ විස්තර කරමින් 2020 සඳහා නිකුත් කළ මහ බැංකු චක්‍රලේඛ 4 ක් මහ බැංකුවේ වෙබ් අඩවියෙහි ඇත.)

මහජනයා ගනුදෙනු කරන්නේ වාණිජ බැංකු, ඉතුරුම් බැංකු, මුදල් සමාගම් ආදිය සමගයි. එම ආයතනවලට දෙන උපදෙස් හා නිර්දේශ හරහායි සාමාන්‍යයෙන් මහ බැංකුව සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ. පසුගිය කාලයෙහි අපි ලෝකයේම මහ බැංකුවලට හුරුපුරුදු විධිවලටම ක්‍රියා කරන්නට යන්නේ නැතුව, පවත්නා විශේෂ තත්ත්වයට ගැලපෙන පරිදි කටයුතු කර තිබෙනවා.

මහ බැංකුව හා මහජනයා ගනුදෙනු කරන මූල්‍ය ආයතන අතර සම්බන්ධතා සම්බන්ධයෙන් ලොව පුරා පවත්නා එක් ප්‍රශ්නයක් තමයි මහ බැංකුව කරන දේ අනිකුත් මූල්‍ය ආයතනවලට සන්නිවේදනය වී, මහජනයාට දැනෙන පරිදි මහ බැංකුව කියන දේ ක්‍රියාත්මක කිරීමට යන කාල පමාව (Transmission delays). මෙම ප්‍රශ්නය අපේ රටේත් තිබෙනවා. ඒ පිළිබඳ පැමිණිලි චෝදනා මේ දිනවල බොහෝයි.

මා බැංකුවලින් ඉල්ලා සිටින්නේ, පවත්නා තත්ත්වයේ විශේෂත්වය සලකා එයින් දුෂ්කරතාවලට මුහුණ දී සිටින පහළ ස්ථරවල ව්‍යාපාර හා මහජනයා වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරන නිර්දේශ හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරන ලෙසයි. දිගින් දිගට මේ යුතුකම් පැහැර හරින බැංකුවලට එරෙහිව අදාළ නීති රීති යටතේ කටයුතු කිරීමට මහ බැංකුවට සිදු නොවන පරිදි ක්‍රියා කරන සේ මා එම බැංකු ආයතනවලින් ඉල්ලා සිටිනවා.

රටේ අවශේෂ රාජ්‍ය ආයතන සමග, මහ බැංකුව ගන්නා ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හුදෙක් වර්තමාන තත්ත්වයන්ම අරමුණු කොට ගන්නා ක්‍රියාමාර්ග නෙවෙයි. කොරෝනා වෛරසයට පසුව එන කාලය ගැන අප නිතර කල්පනා කරමිනුයි ක්‍රියා කරන්නේ. මෙවැනි දුෂ්කර කාල විටින් විට එනවා. ඒවා ස්ථිරවම දිගටම පවතින්නේ නැහැ. ඒවා කාලයත් සමග (මෙම කොරෝනා වෛරස් තත්ත්වය නම් මාස 2කින් පමණ) ගෙවී යනු ඇත. එහෙත් මිනිසුන් හා ආයතන දිගටම ක්‍රියා කළ යුතුයි. ඒ ගැන අපි අපේ ප්‍රතිපත්ති වලදී නිතර සිතා මතායි ක්‍රියා කරන්නේ.

අතීතයේ අප දැක ඇති පරිදි, අසා ඇති පරිදි, එසේම ඉතිහාසයේ කියවා ඇති පරිදි අර්බුද තත්ත්වයන්ගෙන් ගොඩ එන ජනයා සාමාන්‍යයෙන් දැඩි ජවයකින් හා වේගයකින් සාමාන්‍ය තත්ත්වය නැවත ඒමත් සමග ක්‍රියාත්මක වෙනවා. ලංකාවේද අපි මෙය නිතර දැක තියෙනවා. ඒ බව දැන දැනයි අපි ආර්ථිකය හා සමාජයත්, විශේෂයෙන්ම එහි සිටින ව්‍යාපාර පන්තියත් වැඩ කරන මිනිසුනුත් මෙම අර්බුදයෙන් ධෛර්යය සුන් කර ගත් බලාපොරොත්තු විරහිත තත්ත්වයකට පත් වන්නට දෙන්නේ නැතුව ඔවුන් උස්සා තැබීමට කටයුතු කරන්නේ.

ඒ නිසා COVID – 19 ට පසු තත්ත්වයන් හා ඒ පිළිබඳව කළ යුතු දේ අප සිත්හි නිතරම පවතිනවා. ඉදිරිය ගැන විශාල විශ්වාසයක් පවතිනවා. මෙහිදී මට අවශ්‍ය වන්නේ රටේ මුළු මූල්‍ය පද්ධතියම මෙම විශ්වාසය තුළට ගෙන, එකමුතුව, රට පවත්නා තත්ත්වයෙන් ගොඩ ගෙන ඉහළ සංවර්ධන තලයකට නොබෝ දිනකින් ගෙන ඒමටයි.

ඒ පිළිබඳ ප්‍රතිපත්ති අප සතුව තිබෙන බවත්, ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි බවට විශ්වාසයක් පවතින බවත් මා තරයේ කීමට කැමැතියි.

මා හැමෝටම අවධාරණයෙන් කීමට කැමතියි, මහ බැංකුව අවශේෂ රාජ්‍ය අධිකාරීන් සමග සහයෝගීව, ආර්ථිකය හා මූල්‍ය ක්‍රම පිළිබඳ සෙවිල්ලෙන් පරීක්ෂාකාරීව සිටින බව.

මූල්‍ය වෙළඳපොළ හා සාර්ව ආර්ථික තත්ත්වයන් පරිණාමය වන අන්දම ගැන අප පරීක්ෂාවෙන් ඉන්නේ. මගේ අවසාන පණිඩුවය අභියෝග හා දුෂ්කරතා මැද්දේ වුවත් මහ බැංකුව සිටිනුයේ එක්තරා සුභවාදී දර්ශනයක් බවයි.

සාර්ව ආර්ථික කාරණා පහසුවෙන් හැඩ ගන්වා ගෙන අපට මෙම අර්බුද තත්ත්වයට පසු කාලය මෙහෙයවා ගත හැකියි. රටේ උද්ධමන තත්ත්වයන්හි කලබල වීමට තරම් පසුබිමක් නැහැ.

ක්‍රමයෙන් විසඳා ගත හැකි ප්‍රශ්න ඇතත් මූල්‍ය ක්‍රමයේ ස්ථාවරත්වය පිළිබඳ බරපතල ප්‍රශ්න නැහැ. COVID – 19 අප පසුකර යනු ඇත. ඉන් පසුව එන කාලයට ධෛර්යයෙන් හා විශ්වාසයෙන් මුහුණ දෙමුයි යන්නයි මගේ පණිවුඩය.”

+++++++++++++++++++++++++++++++++++

යුද හමුදා රෝහලේ සායන සඳහා සහභාගී වන අයට දැනුම්දීමක්

(03.04.2020 – 16:11 +0530 – sinhala.adaderana.lk)

දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාමකවන කාලසීමාව තුළ යුද හමුදා රෝහලේ සායන සඳහා සහභාගී වන යුධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට ළඟම ඇති යුධ හමුදා රෝහලෙන් අවශ්‍ය සායන සහ ඖෂධ ලබා ගත හැකි බව යුධ හමුදා මූලස්ථානය පවසයි.

එම මූලස්ථානය පවසන්නේ සේවයේ නියුතු විශ්‍රාමික නිළධාරින්ට සහ සෙසු නිළධාරින් මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සඳහා සේවා ස්ථානයට සහ පදිංචි ස්ථානයට ළඟම යුධ හමුදා රෝහලකින් තමාට අවශ්‍ය සේවාව ලබාගත හැකි බවයි.

යුධ හමුදා රෝහලේ සායන සදහා පැමිණෙන රෝගීන්ගේ ඖෂධ ලබා ගැනිම සදහා ප්‍රාදේශිය මට්ටමින් යුධ හමුදා මූලික රෝහල්, ක්ෂේත්‍ර රෝහල් සහ රෝගීන් භාර ගන්නා ස්ථාන වල පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 011 303 0534, 011 269 7517 යන දුරකතන අංක ඇමතීමෙන් ලබා ගත හැකි බව ද යුධ හමුදා මූලස්ථානය සදහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

Covid 19 ආසාදිත යැයි සැක සහිත රෝගීන් 250 ක්

(03.04.2020 – 15:48 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් 250 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද (03) පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ හදුනාගත් රෝගීන් තිදෙනා ඇතුළුව වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී තවදුරටත් රෝහල් වල ප්‍රතිකාර ලබනපුද් ගලයින්ගේ සංඛ්‍යාව 125 ක් වේ.

ඔවුන් ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහල සහ මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

මෙරට තුළ හදුනාගත් සමස්ත රෝගීන් 151 දෙනෙකු අතරින් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු සුව ලබා පිටව යාමත් සමඟ මේ වන විට පුද්ගලයින් 22 දෙනෙකු සුවය ලබා තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මෙරට පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය ෴

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ බවට සැක කරන්නන් සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ ක්‍රමවේදය වෙනසකට ලක් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

රෝගීන් හමුවන ප්‍රදේශ අවට පිරිස් පරික්ෂා කිරිමේ වැඩපිළීවෙලක් ක්‍රියාත්මක කරන බවද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

+++++++++++++++++++++++++++++++++++

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය හමුව

(03.04.2020 – 15:22 +0530 – sinhala.adaderana.lk)

රජයේ ප්‍රවෘත්ති දේපාර්තමේන්තුවේ අද (03) මේ වන විට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වේ.

+++++++++++++++++++++++++++++++++++

හෙට (04) දිනයේ දී විශ්‍රාම වැටුප නිවසට නොලැබුණහොත් තැපැල් කාර්යාලයෙන් විමසන්න

(03.04.2020 – 18:16 +0530 – sinhala.adaderana.lk)

දිවයින පුරා ඇඳිරි නීතිය බලපැවැත්වුණද විශ්‍රාමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ලබා දීම සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම ප්‍රදේශ රැසක අදත් (03) සාර්ථකව ක්‍රියාත්මක කෙරුණි.

වෛරස ව්‍යාප්තිය සහ ඇඳිරි නීතිය නිසා රටතුළ පවතින තත්ත්වය හමුවේ වුවද විශ්‍රාම වැටුප් ලාභීන්ගේ මෙම මසට අදාළ විශ්‍රාම වැටුප ඊයේ (02) සහ අද (03) යන දෙදින තුළ ගෙවීමට අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සොයා බලන ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය පසුගියදා තීරණය කළේය.

ඊයේ (02) සහ අද (03) විශ්‍රාම වැටුප් ලබාගත නොහැකි වන්නන්ට අප්‍රේල් මස 06 වනදා සඳුදාත් ඒ සඳහා වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

තැපැල් කාර්යාලවලින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමිකයන්ට නිවෙස් වෙතටම ගොස් වැටුප ලබා දීම සිදු කෙරෙයි.

එම නිසා කිසිවකු තැපැල් කාර්යාල වෙත පැමිණීමේ අව්‍යශතාවක් නොමැති අතර අප්‍රේල් මස 4 වන දිනටත් තම විශ්‍රාම වැටුප නිවසට නොලැබුණහොත් පමණක් නියමිත තැපැල් කාර්යාලයෙන් විමසන ලෙසයි රජය දැනුම් දෙන්නේ.

අදාල විශ්‍රාම ලාබීන්ට බැංකු වෙත පැමිණිම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් අදත් සපයා තිබුණි.

ප්‍රදේශ කිහිපයකම ලංකා බැංකු ශාඛාවන්වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රම භාවිත කරමින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබුණි.

මේ අතර විශ්‍රාම වැටුප් ගෙවන දින තුළ ඖෂධසැල් විවෘත කරන්නැයි රජය දුන් උපදෙස් අනුව දිවයින පුරා රජයේ ඔසුසල් මෙන්ම පෞද්ගලික ඖෂධහල් ද අද (03) විවෘත කර තිබුණි.

කැප්පෙටිපොළ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ කායික රෝග සඳහා මාසික සායන සඳහා සහභාගී වන රෝගීන් දහසකට මාස දෙකකට අවශ්‍ය ඖෂධ නිවසටම ගෙනැවිත් ලබාදීම අද සිදු කෙරුණි.

මේ අතර අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවසටම ගොස් සමෘද්ධි මුදල් ලබාදීමේ වැඩසටහන මෙළෙස ක්‍රියාත්මක විය.

මේ අතර පිටකොටුව මැනිං වෙළඳපොළේ කටයුතු අද (03) සාමාන්‍ය පරිදි සිදුවුණද සුපුරුදු ලෙස එළවළු මිල පහත වැටී තිබුණි.

එහිදී මැනිං වෙළඳ සංගමය තීරණය කර ඇත්තේ ඉදිරියේදී තොග වෙළදාම් දින තුනකුත්,සිල්ලර වෙළදාම් දින දෙකකුත් සිදු කිරීමේ වැඩපිලිවෙළක් ආරම්භ කිරීමටයි.

ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන් අදත් (03) දිවයින පුරා ක්‍රියාත්මක විය ෴

+++++++++++++++++++++++++++++++++++

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සුභසාධන කටයුතු ගැන විදේශ අමාත්‍යාංශය සොයා බලයි

(03.04.2020 – 17:56 +0530 – sinhala.adaderana.lk)

විදේශ සබඳතා අමාත්‍යාංශය, COVID-19 වසංගතය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම සහ ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට ඇති නොහැකියාව මධ්‍යයේ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සැලකිල්ලට බඳුන්වන කරුණු පිළිබඳව සංවේදී වෙමින්, ඉදිරි දිනවල දී ඔවුන් වෙත පැමිණිය හැකි ඕනෑම හදිසි අවශ්‍යතාවයක් සඳහා සූදානමින් යුතුව එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම සහ ආරක්ෂාව සඳහා පහසුකම් සැලසීම සඳහා, පසුගිය දින 2 තුළ දී ලොව වටා නගර 67 ක පිහිටි තම දූත මණ්ඩලවල ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.

කලාපීය රටවල් කාණ්ඩ 5 ක (දකුණු ආසියාව, මැදපෙරදිග, අග්නිදිග ආසියාව හා නැගෙනහිර ආසියාව, අප්‍රිකාව හා ලතින් ඇමරිකාව මෙන්ම උතුරු ඇමරිකාව හා යුරෝපය) පිහිටි දූත මණ්ඩල/දූත කාර්යාලවල ප්‍රධානීන් සමඟ විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ටෙලි සම්මන්ත්‍රණ මාලාවක දී, COVID-19 ගෝලීය වසංගතය පිළිබඳව රජයේ ප්‍රතිපත්තිමය නියමයන්ට අනුකූලව එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලදී.

විදේශ අමාත්‍යාංශයේ COVID-19 ක්‍රියාමාර්ග පිළිබඳ කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරන නැගෙනහිර ආසියා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා, අතිරේක ලේකම්වරු, අදාළ කලාප භාර අධ්‍යක්ෂ ජනරාල්වරු සහ අමාත්‍යාංශයේ අදාළ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ජනරාල්වරු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.එම්.වී. වන්සේකර මහතා ද ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් භාර ගන්නා රටවල් කෙරෙහි අවධානය යොමු කළ උපදේශන සමහරකට සහභාගී විය.

සමස්තයක් ලෙස ගත් කල, සියලුම ශ්‍රී ලංකා දූත මණ්ඩල, බොහෝ දුරට ‘නිවසේ සිට වැඩ කිරීමේ’ ක්‍රමය අනුගමනය කළ ද, ඔවුන් තම අදාළ ස්ථානවල සිටින ශිෂ්‍ය ප්‍රජාවන් සහ සංක්‍රමණික සේවකයින් සමඟ අඛණ්ඩ අන්තර් ක්‍රියාකාරිත්වයෙන් යුතුව කටයුතු කරමින් සිටින අතර, එම දූත මණ්ඩලවල කාර්ය මණ්ඩල වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි වන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක වන හදිසි දුරකථන ඇමතුම් මාර්ග ද පිහිටුවා තිබේ.

තම ස්ථානවල පිහිටුවා ඇති ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු අඩංගු දත්ත පාදක යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලියක මෙම දූත මණ්ඩල යෙදී සිටින අතර, තොරතුරු හුවමාරු කර ගත හැකි සම්බන්ධතා පවත්වා ගෙන යාම සහ වැඩි දියුණු කිරීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා ද යොදා ගැනේ.

මෙරට තුළ මෙම වෛරසයේ ව්‍යාප්තිය මැඩපවත්වා ගැනීමෙන් පසුව, ආපසු ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වන ඉල්ලීම් පිළිබඳව සලකා බලන බව, මෙම කලාපවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් එම ප්‍රජාවන්හි සාමාජිකයින්ට සහ එතෙර ඉගෙනුම ලබන සිසුන් හට සහතික වී ඇත.

ශ්‍රී ලාංකික විදේශික ශ්‍රමිකයින් විශාල වශයෙන් ගොනු වී සිටින සත්කාරක රටවල් වන මැදපෙරදිග මෙන්ම අග්නිදිග ආසියාව, නැගෙනහිර ආසියාව, අප්‍රිකාව සහ දකුණු යුරෝපය යන කලාපවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල, හදිසි විදේශ ගමන් බලපත්‍ර, වීසා දීර්ඝ කිරීම් සහ රැකියා කොන්ත්‍රාත්තු සම්බන්ධ කරුණුවල දී අදාළ පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා කිරීමෙන් සහ අවශ්‍ය පරිදි මැදිහත් වී අවසර ලබා ගැනීම මඟින් සහය වෙමින්, එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් සහ ප්‍රජා නියෝජිතයින් සමඟ අඛණ්ඩව ජාලගත වීම සඳහා දරන ප්‍රයත්න පිළිබඳව දන්වා සිටියහ.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සඳහා විශාලතම දායකත්වයක් ලබා දෙන මෙම වැදගත් සංක්‍රමණික ශ්‍රමික අංශයට සහාය වීමේ අවශ්‍යතාවය ඉස්මතු කරමින් මෙම අමාත්‍යාංශය අවධාරණය කළේ, වලංගු වීසා බලපත්‍ර නොමැති, රැකියා විරහිත මෙන්ම, ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයෙහි ලියාපදිංචිව නොමැති අයවලුන් ද ඇතුළුව ශ්‍රී ලාංකිකයන් රැකබලා ගැනීම හා යහපැවැත්ම සඳහා පහසුකම් සැලසීම එම දූත මණ්ඩල සහ ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය විසින් කළ යුතු බවයි.

එම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව ආපසු මෙරටට ගෙන්වා ගත හැකි අවස්ථාවක් එළඹෙන තෙක් ඔවුන්ට අවශ්‍ය සහය ලබා දීම සඳහා සමහර ශ්‍රී ලංකා දූත මණ්ඩල, රැකියා විරහිත පුද්ගලයින්ට සහාය වන දේශීය පුණ්‍යායතන, බඳවා ගැනීමේ නියෝජිත ආයතන, වෙනත් ප්‍රජා සංවිධාන, ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ සංවිධානය සහ කැරිටාස් වැනි ජාත්‍යන්තර සංවිධාන සමඟ සමඟ සම්බන්ධ වී කටයුතු කරන බව මෙහි දී සඳහන් කෙරිණ.

සමහර මැද පෙරදිග රටවල් විසින් පොදු සමා කාලසීමාවන් ප්‍රකාශයට පත් කිරීම සහ එවැනි ක්‍රියාමාර්ගයන්හි පසු ප්‍රතිඵල පිළිබඳව ද මෙම ටෙලි සම්මන්ත්‍රණවල දී සාකච්ඡා විය.

ලොව පුරා රටවලට බඳවා ගනු ලැබ සිටින ශ්‍රී ලාංකික සිසුන් සම්බන්ධයෙන්, එම සිසුන්ට නේවාසිකාගාරවල නවාතැන් පහසුකම් සඳහා ප්‍රවේශය, ආහාර සහ වෛද්‍ය පහසුකම් අඛණ්ඩව ලැබෙන බව තහවුරු කිරීම සඳහා, බටහිර රටවල් ඇතුළු බොහෝ රටවල පිහිටි දූත මණ්ඩල, එම විශ්වවිද්‍යාලවල පරිපාලනය හා ශිෂ්‍ය ප්‍රජාවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන බව වාර්තා කොට ඇත.

වීසා බලපත්‍ර අහෝසි වන සිසුන්ට මෙන්ම, අනෙකුත් පදිංචිකරුවන්ට සහ විදේශගතව සිටින අයට ද වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා ද මෙම දූත මණ්ඩල ප්‍රයත්න දරමින් සිටී. මැයි 12 වැනි දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයන් 15,000 කට අධික පිරිසකට, මෙම ගෝලීය වසංගතය හේතු කොට ගෙන මෙම සහනය ලබා දී තිබේ.

ආර්ථික ක්ෂේත්‍රය සම්බන්ධයෙන්, මෙම අස්ථාවර කාල පරිච්ඡේදය තුළ දී මෙම අමාත්‍යාංශය අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව, ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට දිගු කාලීනව නැවත ස්ථානගත වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා සිය දූත මණ්ඩල ජාලය හරහා කටයුතු කරමින් සිටී. මේ සම්බන්ධයෙන්, මෙම දූත මණ්ඩල ජාලය වෙළඳපොළ තොරතුරු ලබා ගැනීමට සහ අපගේ ප්‍රධාන අපනයන මූලාශ්‍ර රටවල් සඳහා සැපයුම් අංශයේ පවතින බාධකවලට අදාළ ගැටලු විසඳීමට අපනයන සංවර්ධන මණ්ඩලයට සහාය වේ. දැනට පවත්නා නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවට ඇති නව අවස්ථා පිළිබඳව සොයා බැලීම මෙන්ම COVID-19 වසංගත තත්වයට අදාළ අවශ්‍යතා ද මෙයට ඇතුළත් ය.

ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, රජයට හදිසි අවශ්‍යතාවයක්ව පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ එක් රජයකින් තවත් රජයකට මිලදී ගැනීමේ පටිපාටියට අනුව ප්‍රසම්පාදනය සම්බන්ධීකරණය කිරීම සඳහා ඇතැම් දූත මණ්ඩල විසින් ගනු ලැබූ සාධනීය ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙම අමාත්‍යාංශය අවධානය යොමු කළේය. මෙම වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, පරීක්ෂණ කට්ටල සහ අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා පවතින අවස්ථා පිළිබඳව සොයා බලන ලෙස ද මෙම දූත මණ්ඩලවලින් තවදුරටත් ඉල්ලා සිටින ලදී.

මේ අතර, 2020 මාර්තු 26 වැනි දින විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් දියත් කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ නව මාර්ගගත වෙබ් ද්වාරය තුළ මේ දක්වා විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් 45,770 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් මැද පෙරදිග සිටින්නන් වෙති. විමසීම් 1,955 ක් ද මෙම ද්වාරය වෙත යොමු කරනු ලැබ ඒවාට පිළිතුරු සපයා තිබීම ද සැලකිය යුතු කරුණකි.

එතෙර සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට මෙම අමාත්‍යංශය සහ එහි දූත මණ්ඩල වෙත සිය අදහස් හා සැලකිළිමත් වන කරුණු ප්‍රකාශ කිරීම සඳහා මෙම ද්වාරය සෘජු අතුරු මුහුණතක් වන අතර, එය විදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA) එක්ව නිර්මාණය කරන ලද්දකි. මෙම වෙබ් සබැඳිය මෙම අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.mfa.gov.lk මත පිහිටුවා ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk මඟින් ද ඊට පිවිසිය හැකිය ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිතයෙක්ගේ අවසන් කටයුතු ගැන සෞඛ්‍ය සේවා ජනරාල්ගෙන් පැහැදිලි කිරීමක්

(03.04.2020 – 22:03 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් -19 ආසාදිත මරණ පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ (02) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති හමුවේදී පැහැදිලි කිරීමක් කළේය.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා සියලු දෙනා හමුවේ කරුණු ඉදිරිපත් කර මෙම ප්‍රශ්න විසඳා ගත යුතු යැයි පැවසීය.

එයට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසා සිටියේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව ක්‍රමවේද දෙකම භාවිතා කළ හැකි දන්වා ඇති බවයි.

ඒ අනුව මෘත දේහයකින් වෛරසය පැතිරීම ‍මිථ්‍යාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පැහැදිලි කර ඇතැයි ද ඒ මහතා පැවසීය.

එයට පිළිතුරු ලබා දුන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසා සිටියේ මෙවැනි දෙයකි.

“පළවෙනි මියගිය රෝගියා බුද්ධාගමේ; ඒ වෙලාවේ රෝගියගේ ඥාතීන් පැමිණ ඉල්ලීමක් කළා පාංශුකූලය දෙන්න අවස්ථාව දෙන්න කියලා.

මේ විෂබීජයේ තිබෙන භයානක කමත් මිනිසුන්ට ව්‍යාප්ත වෙන්න තිබෙන ප්‍රශ්නයත් නිසා, අපේ ආගමේ හැටියට සර්, බෞද්ධයෙකුට පාංශුකූලය වත් නොදී අවසන් කටයුතු කරනවා කියන එක දරා ගන්නම බැරි වැඩක්.

ඒක අපේ ආගමේ හැටියට විශාල ප්‍රශ්නයක්, නමුත් කිසිම පාංශුකූලයක් හෝ මුකුත් දුන්නේ නැහැ. මේක ජාතික ව්‍යසනයක්, ලෝකයටම වෙච්ච ව්‍යසනයක් නිසා බුද්ධාගමේ අයට හෝ වෙනත් ආගම්වල අයට ආගමික කටයතු සහ ආගමික දේවල් එක්ක මේ දේවල් කරන්න අමාරුයි.”

මෙහිදී අදහස් දැක්වු අගමැතිවරයා පවසා සිටියේ වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කල යුතු බවයි.

අද වන විට බෞද්ධ ජනතාවටත් මෙම ප්‍රශ්නය ඇතිව තිබෙන නමුත් සියල්ලට පෙර සමාජය ගැන සිතිය යුතු බවත් අගමැතිවරයා අවධාරණය කර සිටියේය.

මෙහිදී අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ, මරණයක් සිදුවු වහාම අවසන් කටයුතු සිදු කිරීමට මුලික පරමාර්තය බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව මෘත ශරීරය ඇල්ලීමෙන් වළකින ලෙසත් දෙදෙනෙකුට පමණක් මෘත ශරීරය බැලිය හැකි ආදි නිර්ණායක ඇති බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

මෙය සියයට සියක් මෙසේ කළ යුතු යැයි කිව නොහැකි නමුත් ලංකාවේ ඇති කබොක් ගල් (පස) නිසාවෙන් විෂබීජය පැතිර යා හැකි බවත් පැවසු වෛද්‍යවරයා, මෙවැනි දෙයකට සුදුසු ස්ථානයක් ලංකාව තුළ සැකසීම අසීරු බවත් කියා සිටියේය.

මෙය පළාතෙන් පළාතට වෙනස් වන බවත්, සිංහල හෝ මුස්ලිම් අනුව මෙය බෙදීමක් කළ නොහැකි බවත් පැවසු අනිල් ජාසිංහ මහතා රෝගීයෙක් මිය ගිය වහාම අසල ඇති ආදාහනාගාරය තුළ අවසන් කටයුතු කිරීම අභිප්‍රාය වන බවත් පැවසීය.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළට

(03.04.2020 – 23:01 +0530 – sinhala.adaderana.lk)

අද (03) රාත්‍රී 10:10 වන විට තවත් කොරෝනා ‍ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද (03) දිනට පමණක් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළ ‍ගොස් තිබේ.

අද (03) රාත්‍රී 9 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් සිව් (04) දෙනෙක් හා සවස එක් (01) ආසාදිතයෙක් හඳුනා ගනු ලැබීය.

කෙ‍සේ වෙතත් අද (03) සවස 5.30 දක්වා ගතවු පැය 24 ක කාලය තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වුයේ නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මේ අතර, ඊයේ (02) රාත්‍රීයේ කොරෝනා ආසාදිත සිව්වන මරණය වාර්තා විය.

මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 24 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර, මිය ගිය සංඛ්‍යාව 4 ක් බවට පත්ව තිබේ ෴

***************************************

නාවික හමුදාව ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් අයිස් සහ කෙටමින් මත්ද්‍රව්‍ය තොගය සහ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට සේන්දු වෙයි (විඩියෝ)

(01.04.2020 – news.navy.lk)

ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් යොදවා ශ්‍රි ලංකාවේ සිට නාවික සැතපුම් 463 (දළ වශයෙන් 835km පමණ) පමණ දුරක සිදුකල සාර්ථක මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව අද (2020 අප්‍රේල් 01) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එන ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රීලංනානෞ සයුර මගින් 2020 මාර්තු 28 (සෙනසුරාදා) දින උදෑසන 0930 පැයට පමණ ශ්‍රී ලංකාවේ දකුණු වෙර‍ළේ සිට නාවික සැතපුම් 463ක පමණ දුරකදී (දළ වශයෙන් 835km පමණ) මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි යාත්‍රාවක් අත් අඩංගුවට ගන්නා ලදි. මෙම විදේශීය යාත්‍රාව රාජ්‍යක ධජයක් රහිතව (Flag state) ජාත්‍යන්තර මුහුදේ දී නිරීක්‍ෂණය කර, එය පරීක්‍ෂාවට ලක් කල අතර, එහි තිබී අයිස් නම් මත්ද්‍රව්‍ය (Methamphetamine) කිලෝග්‍රෑම් 605 ක ප්‍රමාණයක් ද, මීට පෙර ශ්‍රී ලංකාව තුළ සොයාගෙන නොතිබූ කෙටමින් නම් මත්ද්‍රව්‍ය (ketamine) කිලෝග්‍රෑම් 579 ක් ද සොයාගන්නා ලදී. තවද එහි බාබුල් නම් මත්ද්‍රව්‍ය පැකට් 200ක් සහ තවත් හඳුනා නොගත් මත් පෙති 100g ක් පමණ වන ප්‍රමාණයක් ද ඇති බව වාර්තා වේ. අයිස් මත්ද්‍රව්‍ය (Methamphetamine) තොගයේ පමණක් වටිනාකම රුපියල් කෝටි 605 ක් බවට ගණන් බලා ඇත. මෙහිදී එම යාත්‍රාවේ සිටි පකිස්ථානු ජාතික සැකකරුවන් 09 ක් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද අතර, මෙය මෙතෙක් මුහුදේදී සිදුකරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් ඉහළම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වේ.

මෙම වර්ෂයේ ගතවූ මාස 03 තුල ජාත්‍යන්තර මුහුදේදී අත් අඩංගුවට ගත් 03 වන විදේශීය යාත්‍රාව මෙය වන අතර, මීට පෙර පෙබරවාරි මස 22 සහ 25 දිනයන්හීදී මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටි විදේශීය යාත්‍රා දෙකක් හා එයින් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල ශ්‍රී ලාංකීය ධිවර යාත්‍රාවක් අත් අඩංගුවට ගන්නා ලදි. එහිදී විදේශිකයින් 16 හා ශ්‍රී ලාංකිකයින් 05 කුත්, මුහුදේදී ප්‍රවාහනයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 06 ක් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේදී අත් අඩංගුවට ගන්නා ලදී. තවද 2019 වර්ශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3653 ක්, හෙරෝයින් කිලෝග්‍රෑම් 762 ක්, අයිස් (Methamphetamine) කිලෝග්‍රෑම් 03 ක් අත්අඩංගුවට ගත් අතර, මෙම වර්ශයේදී මේ දක්වා මාස 03 ක කාලය තුළදී පමණක් කේරළ ගංජා කිලෝග්‍රෑම් 2339 ක්, අයිස් කිගෝග්‍රෑම් 739 ක්, හෙරෝයින් කිලෝග්‍රෑම් 438 ක් සහ කෙටමින් (ketamine) කිලෝග්‍රෑම් 579 ක් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

ඒ අනුව අද (2020 අප්‍රෙල් 01) දින දික්ඕවිට වරාය පරිශ්‍රය වෙත මෙම මත්ද්‍රව්‍ය තොගය ගෙන එන අවස්ථාව සඳහා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් පැමිණ සිටි අතර, මෙම අවස්ථාව නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ද සහභාගී විය. මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් යාත්‍රාව, පකිස්ථානු ජාතික සැකකරුවන් 09 දෙනා සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණය සහ ඉදිරි නීතිමය කටයුතු පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යාංශය මගින් සිදු කිරීමට නියමිතව ඇත. මෙලෙස ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය රැගෙන එන යාත්‍රාවන් පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව චන්ද්‍රිකා තාක්‍ෂණය උපයෝගී කරගෙන නිරතුරුවම සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබන අතර, මෙම මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ විදේශ මෙන්ම දේශීය කොටස්කරුවන් සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය හා ඒකාබද්ධව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු යොදා ඇත. ව්ශේෂයෙන් දේශීය ධීවර ප්‍රජාව මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් වලට හසු නොවී තම කර්මාන්තය සිදු කළ යුතු බව නාවික හමුදාධිපති විසින් වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

= සේයාරූ සහ විඩියෝ =
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *