ලංකාවේ පස්වන (5) කොරෝනා මරණය වාර්තා වෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ලංකාවේ පස්වන (5) කොරෝනා මරණය වාර්තා වෙයි (විඩියෝ)

• පස්වෙනියට මියගිය කොරෝනා ආසාදිතයා ඉතාලියේ සිට පැමිණි හෝමාගම පදිංචිකරුවෙක් (විඩියෝ)

• කොරෝනා බිළිගත් පස්වන රෝගියාගේ සිරුර ආදාහනය කරයි (විඩියෝ)

• මැතිවරණ ‌කොමිසමෙන් තහනමක්

• අභ්‍යන්තර විදුලි-ජල පරිපථ දෝෂ සඳහා විශේෂ සේවාවක් හෙට (05) සිට

• නිරෝධායනය අවසන් කළ 303 ක් නිවෙස්වලට

• COVID-19 මැඩලන්න ද්‍රව්‍යමය ආධාර විශාල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට

• විදෙස් ගත ලාංකීකයන්ගේ දුෂ්කරතා ගැන අමාත්‍යාංශයේ අවධානය

• Covid 19 මැඩපැවැත්වීමට මුස්ලිම් ප්‍රජාව වෙත මුස්ලිම් ජන නායකයින්ගෙන් කාරුණික ඉල්ලීම

• ‘සෞභාග්‍යා’ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන අද (04) ඇරඹෙයි (විඩියෝ)

• දරුවෙකු ප්‍රසූත කළ බේරුවල කාන්තාවකට කොරෝනා

• පන්නිල මුස්ලිම් ගම්මානයෙන් COVID-19 ආසාදිත ගැබිනි කාන්තාවක් ව්‍යාජ ලිපිනයක් දී නාගොඩ රෝහල රවටා දරුවෙකු ප්‍රසූත කරයි!

• කොරෝනා ගැන දැනුම් දෙන්න මධ්‍යම පළාතේ මෙහෙයුම් මැදිරියක්

• මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාව ගැන මහාචාර්යවරයෙකු පැහැදිළි කරයි

• ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ දොළහා ඉක්මවයි – මරණ සංඛ්‍යාව 64,675 ක් දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

ලංකාවේ පස්වන (5) කොරෝනා මරණය වාර්තා වෙයි

(04.04.2020 – 06:56 +0530 – sinhala.adaderana.lk)

වැලිකන්ද රෝහලේ සිටි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඉතාලි‍‍යේ සිට පැමිණි සිටි 44 හැවිරිදි ‍පිරිමි පුද්ගලයෙක් මෙලෙස නිව්මෝනියා තත්ත්වයෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව ලංකාවේ මිය ගිය රෝගීන් සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ (03) රාත්‍රී වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 159 ක් වාර්තා විය.

සුවය ලබා රෝහ‍ල්වලින් පිටව ගිය සංඛ්‍යාව 24 ක් වෙයි.

ඒ අනුව තවත් රෝගීන් 131 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අතර නව කොරෝනා වෛරසය අසාධනය වුවන් ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරනු ලබන වෛද්‍ය පරික්ෂණයන් සංඛ්‍යාත්මකව ඉහළ නැංවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ මෙතෙක් හඳුනා ගෙන ඇති අසාධිතයන් ගැවැසි ඇති ස්ථාන හා ඔවුන් ඇසුරුකළ පුද්ගලයින් කඩිනම් වෛද්‍ය පරික්ෂණයන් සඳහා යොමු කිරිමට කටයුතු කරන බවයි.

+++++++++++++++++++++

පස්වෙනියට මියගිය කොරෝනා ආසාදිතයා ඉතාලියේ සිට පැමිණි හෝමාගම පදිංචිකරුවෙක්

(04.04.2020 – 08:50 +0530 – sinhala.adaderana.lk)

අද (04) උදෑසන ලංකාවේ පස්වන කොරෝනා ආසාදිතයාගේ මරණය වාර්තා විය.

ඒ පොළොන්නරුව, වැලිකන්ද රෝහලේ දීය.

‍මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ, ඔහු වයස අවුරුදු 44 ක් වු පිරිමි පුද්ගලයෙක් බවයි.

හෝමාගම පදිංචිකරුවෙක් වෙන මෙම පුද්ගලයා ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ අයෙකි.

පසුගිය මාර්තු 23 වන දින වැලිකන්ද රෝහලට මෙම ආසාදිතයා ඇතුළත් කර ඇති අතර මාර්තු 26 වන දින දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කරයි.

මෙම පුද්ගලයා ද වෙනත් කිසිදු ‍අසනීපයකින් පෙළී නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

+++++++++++++++++++++

කොරෝනා බිළිගත් පස්වන රෝගියාගේ සිරුර ආදාහනය කරයි

(04.04.2020 – 14:28 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට දී සිදුවූ පස්වන මරණය වැලිකන්ද රෝහලෙන් අද (04) උදෑසන වාර්තා වුණි.

මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු අරලගන්විල විජයබාපුර පොදුසුසාන භූමියේ දී අද (04) දහවල් 1.30 ට පමණ සිදුවිය.

එම පුද්ගලයාගේ අවසන් කටයුතු සඳහා බිරිඳ හා එක් දරුවෙක් සහභාගී වී සිටියේය.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

මෙලෙස මියගොස් ඇත්තේ ඉතාලියේ සිය දිවයිනට පැමිණි දෙදරු පියෙකි.

හෝමාගම ප්‍රදේශයේ පදිංචි කරුවකු වන ඔහු ඉතාලියේ සිට පැමිණ වැලිකන්ද නිරෝධයන මධ්‍යස්ථානයට යොමු කර තිබුණි.

පසුව රෝග ලක්ෂණ මතුවිම හෙතුවෙන් මාර්තු 23 වන දා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු මාර්තු මස 26 වනදා රෝහලේ දැඩිසත්කාර එකකයට ඇතුළත් කර තිබේ.

මෙම පුද්ගලයාට වෙනත් අසනීප තත්තවයකින් පෙළී නොමැති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමත් සමඟ ඇති වූ නියුමෝනියා තත්ත්වය හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි.

මේ අතර මෙරටින් වාර්තා වන, නව කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 159 ක් දක්වා ඉහ‍ ගොස් තිබේ.

ඊයේ (03) රාත්‍රි වනවිට තවත් නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් අටදෙනෙකු (08) හඳුනාගැනීමට හැකි වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර මේ වන විට රෝගීන් 25 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව තවත් රෝගීන් 130 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

මැතිවරණ ‌කොමිසමෙන් තහනමක්

(04.04.2020 – 04:54 +0530 – lankaleadnews.com)

කොරෝනා වයිරසය ‌හේතුවෙන් රට පුරා මතුව ඇති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී ‌දේශපාලන ප්‍රචාරණ වාසි ලබා ගැනීමෙන් වළකින ‌ලෙස මැතිවරණ ‌කොමිසම මගින් නිවේදනයක් නිකුත් ‌කොට ඇත.

මැතිවරණ ‌කොමිසමේ සභාපති මහින්ද ‌දේශප්‍රිය මහතා‌ගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ ‌මෙසේද සදහන්ය.

+++++++++++++++++++++++++++++++++++

අභ්‍යන්තර විදුලි-ජල පරිපථ දෝෂ සඳහා විශේෂ සේවාවක් හෙට (05) සිට

(04.04.2020 – 13:53 +0530 – sinhala.adaderana.lk)

විශේෂ ඇදිරි නීති කාලය තුල සිදුවන විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සදහා විශේෂ සේවාවක් හෙට (05) සිට ක්‍රියාත්මක කර ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම), ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකො) හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඒකාබද්ධව මෙම සේවාව ක්‍රියාවට නගයි.

දැනටමත් ක්‍රියාත්මක විදුලි සේවා බිදවැටුම් හා ජල සේවා බිදවැටුම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාව හරහා පාරිභෝගික පරිශ්‍ර තුල පිහිටි අභ්‍යන්තර විදුලි හා ජල සේවා පද්ධතිවල වල දෝෂ අලුත්වැඩියා කර ගැනීම සදහා පාරිභෝගිකයින්ට එම ගැටළු ඉදිරිපත් කිරීමට මේ යටතේ පහසුකම් සළසා ඇත.

එම ගැටළුව මත පදනම්ව අභ්‍යන්තර දෝෂ නඩත්තුව සදහා ප්‍රෙද්ශයේ විදුලිකාර්මිකයෙකුගේ හෝ ජල නල කාර්මිකයෙකුගේ සහාය ලබාගැනීමට අදාල පාරිභෝගිකයාට පහසුකම් සලසනු ලැබේ.

ඒ සදහා දිස්ත්‍රික්කයේ පදිංචි විදුලිකාර්මිකයින්ගේ හා ජලනල කාර්මිකයින්ගේ තොරතුරු ගොනුවක් ද පවත්වාගෙන යයි. එම විදුලි කාර්මිකයින් හා ජලනල කාර්මිකයින් පිළිබද තොරතුරු අදාල පොලිස් ස්ථාන හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදීමට ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

ලියාපදිංචි විදුලිකාර්මිකයින් හා ජලනල කාර්මිකයින් විසින් අනුමත සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් හා ඇදිරි නීති කාලය තුල අනුගමනය කල යුතු මාර්ගෝපදේශ වලට අනුකූලව මෙම සේවාව සලසනු ඇත. ආරම්භයේදී දැනට ඇදිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ හා කළුතර යන දිස්ත්‍රික්ක සදහා මෙම විශේෂ සේවාව ක්‍රියාත්මක කරනු ලැබේ.

අවශ්‍යතාවය අනුව අනෙකුත් දිස්ත්‍රික්ක සදහා ද මෙම විශේෂ තාක්ෂණික සහාය සේවාව ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරයි. විදුලිකාර්මිකයාගේ හෝ ජලනල කාර්මිකයාගේ සේවය ලබාගැනීමෙන් අනතුරුව ඒ සදහා ගාස්තු අයකිරීමේදී සාධාරණ ගාස්තු අයකිරීමටත් ඒ සදහා පිළිගත හැකි ලදුපතක් නිකුත් කරන ලෙසද අදාල විදුලිකාර්මිකයින් හා ජලනල කාර්මිකයින්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව තම ජලනල පද්ධතියේ ගැටළුවක් සිදු වු විට ජලනල කාර්මිකයෙකුගේ සේවාව ලබාගැනීම සදහා 1939 අංකය අමතා අදාල ගැටලුව ඉදිරිපත් කල හැකියි. ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි පාරිභෝගිකයෙකුගේ අභ්‍යන්තර විදුලි පද්ධතියෙහි දෝෂයක් ඇති වු විට 1987 ඇමතීමෙන්ද ලෙකො විදුලි පාරිභෝගිකයෙකුගේ අභ්‍යන්තර විදුලි පරිපථයෙහි දෝෂයක් ඇති වු විට 1910 අංකයද අමතා සහාය ලබාගත හැකියි.

ඊට අමතරව මෙම සේවාවට අදාල වැඩිදුර තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ දුරකතන අංක 076 427 1030 අමතන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා. එමෙන්ම විදුලිකාර්මිකයෙකුගේ හෝ ජලනල කාර්මිකයෙකුගේ සේවාව ලබාගත් පසු එම සේවාව පිළිබද පාරිභෝගිකයාගේ ප්‍රතිචාරයද අදාල අංක අමතා දන්වා සිටිය හැකි වේ.

ඇදිරි නීතිය බලපැවත්වෙන අනෙකුත් දිස්ත්‍රික්ක සදහා ද මෙම සේවාව කඩිනමින් හදුන්වාදීමට නියමිතය. එසේම විදුලිකාර්මිකයින්ට සහ ජලනල කාර්මිකයින්ට වෘත්තීය බලපත්‍ර පිරිනැමීමෙන් අනතුරුව එම කාර්මිකයින්ගේ සේවාව ලබාගැනීම සදහා ඔවුන්ගේ තොරතුරු විදුලි හා ජල පාරිභෝගකයින්ට පහසුවෙන් ලබාගැනීමට වැඩපීළිවෙලක් ද මේ වසර තුලදී ක්‍රියාවට නැගෙනු ඇත.

මෙම සේවාවන් ලබාදීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම ඒකාබද්ධව අවශ්‍ය පියවර ගෙන තිබේ.

වැඩිදුර තොරතුරු සදහා :

• ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා – 071 999 8404

• ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි ඉංජිනේරු වසන්තා ඉලංගසිංහ මහත්මිය – 077 340 4140

• ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති නීතිඥ අතුල ද සිල්වා මහතා – 077 776 9787

• ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ-ආයතනික සන්නිවේදන, ජයනාත් හේරත් මහතා – 077 294 3193 අමතන්න.

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායනය අවසන් කළ 303 ක් නිවෙස්වලට

(04.04.2020 – 13:36 +0530 – sinhala.adaderana.lk)

විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාවලදී නිරෝධායන අවසන් කළ පුද්ගලයින් 303 දෙනෙකු අද (04) දින පිටව ගිය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර ඇඳිරි නීතිය පැනවීමත් සමග මහල් නිවාසවලට සීමා වී සිටින පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමේ අරමුණින් ආරක්ෂක අංශ සංගීත වැඩසටහන් සංවිධානකර තිබුණි.

විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනය සඳහා යොමුකර සිටි තවත් 303 දෙනෙකු අද නිරෝධායන කටයුතු අවසන්කර නිවෙස් බලා පිටව ගියේය.

ඊට මින්නේරිය කටුකැලියාව පාබල යුද හමුදා කඳවුරු මූලස්ථාන නිරෝධායන වූ 108 දෙනෙකු ඇතුළත්.

දඹදිව වන්දනාවේ ගොස් මෙරටට පැමිණි පිරිසක්, ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබා පැමිණි සිසුන් මෙන්ම ඉන්දියාවේ සංචාරය කර මෙරටට පැමිණි පුද්ගලයින් පිරිසක් ඒ අතර වෙයි.

ඔවුන් මහනුවර, කොළඹ, දඹුල්ල, කුරුණෑගල, යාපනය සහ මාතර ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර ඉරණමුඩු හි පිහිටුවා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි මගීන් 172 දෙනෙකුද අද (04) නිවෙස් බලා පිටව ගියේය ෴

+++++++++++++++++++++++++++++++++++

COVID-19 මැඩලන්න ද්‍රව්‍යමය ආධාර විශාල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට

(04.04.2020 – 13:32 +0530 – sinhala.adaderana.lk)

COVID-19 වසංගතය අප රටට පමණක් ලොව මුළු ලෝකටම අද වන විට තර්ජනයක් බවට පත් වී ඇත. ලෝකයේ අනෙක් රටවල් මෙන්ම අප රට තුල ද මෙම වෛරසය පාලන සහ මැඩපැවැත්වීම සදහා ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇත.

එම ක්‍රියාවලියේ දී අප රටේ සමාගම්, සංවිධාන මෙම වසංගතය අප රටින් තුරන් කිරීමේ ප්‍රධාන අරමුනින් මුල්‍ය හා ද්‍රව්‍යමය ආධාර ලබාදීම ද බොහෝ සෙයින් සිදු විය.

යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම මගින් රෝහල් වල හා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල සුව සේවා සත්කාර සිදුකරන කාර්ය මන්ඩලයේ පරිහරනය සදහා භාවිතා කිරීමට පුද්ගල ආරක්ෂිත ඇදුම් කට්ටල 4000 ක් (ppe kits) සහ උෂ්තන්වමාන තොගයක්ද යුනිලීවර් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ අරුන මාවිල්මඩ සහ මාධ්‍ය ප්‍රධානි චන්න තෙන්නකොන් යන මහත්වරුන් විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත අද (04) දින භාර දෙන ලදී. මෙම උපකරණ වන වටිනාකම ලක්ෂ 45 කි.

COVID -19 ආසාදිත හා සැකසහිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන වෛද්‍ය – හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මන්ඩලයේ සුරක්ෂිතතාවය රැක ගැනීමෙ අරමුනින් DIALOG AXIATA පුද්ගල සමාගම මගින් රුපියල් ලක්ෂ 20 කට අධික වටිනාකමකින් යුත් දුර සංනිවේදන ටෙලි සාකච්ඡා පැවැත්වීමේ හැකියාව ඇති තාක්ෂනික උපකරණ තොගයක් DIALOG AXIATA පුද්ගල සමාගමේ තිරසාර අංශයේ ප්‍රධානි චරිත රත්වත්ත මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත අද (04) දින භාර දෙන ලදී.

විදුලි හා යාන්ත්‍රික කොන්ත්‍රාත් සමාගමක් වන A.D. PERERA & SONS සමාගම මගින් රෝහල් වල සුව සේවා සත්කාර සිදුකරන කාර්ය මන්ඩලයේ පරිහරනය සදහා භාවිතා කිරීමට ශල්‍ය ඇදුම් කට්ටල 1555 ක් සහ ශල්‍ය ඇදන් 40 ක් ප්‍රධානය කිරීමද අද (04) දින සිදු විය. ඒහි වටිනාකම රුපියල් ලක්ෂ 30 කට අධික වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දුමින්ද සිල්වා මහතා විසින් වෛද්‍ය – හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මන්ඩලයේ සුරක්ෂිතතාවය රැක ගැනීමේ අරමුණින් මුහුණු ආරක්ෂිත උපකරණ (Face Shield) තොගයක් ප්‍රධානය කිරීමද අද (04) දින සිදු විය. ඒහි වටිනාකමරුපියල් ලක්ෂ 03 කි.

‍ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ යාන්ත්‍රික ඉංජිනේරු කමිටුවේ සාමාජිකයන් විසින් ද පරිත්‍යාගයක් අද (04) දින සිදු කරන ලදී. වෛද්‍ය – හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පරිහරණය සදහා භාවිතා කිරීමට පුද්ගල ආරක්ෂිත ඇදුම් කට්ටල 50 ක් ලබාදුන් අතර ඒහි වටිනාකම රුපියල් ලක්ෂ 5 කට අධික වේ ෴

+++++++++++++++++++++++++++++++++++

විදෙස් ගත ලාංකීකයන්ගේ දුෂ්කරතා ගැන අමාත්‍යාංශයේ අවධානය

(04.04.2020 – 07:47 +0530 – sinhala.adaderana.lk)

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ සුබ සාධනය, ඔවුන් මුහුණ දි සිටින දුෂ්කරතා සහ ඊට විසඳුම් ඉදිරිපත් කිරිම පිළිබඳ විදේශ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සාක්ච්ඡාවක් පැවැත්වු බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වු පිරිස් මෙන්ම මැද පෙරදිග රටවල සංක්‍රමණික සේවකයන්ගේ ගැටළු පිළිබඳ එහිදි අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් අතර ආර්ථික හා වෙළද සබඳතා පවත්වාගෙන යාම නව වෙළද පොළ ගවේෂණය කිරිම ආදී ක්‍රියාමාර්ගවලට අදාළ පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන් සමබන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ලොව වටා නගර 67 ක පිහිටි දුත මණ්ඩල ප්‍රධානීන් සමඟ අමාත්‍යාංශ නිලධාරින් සාකච්ඡා පවත්වා තිබේ.

පවතින තත්වය අවසන් වු වහාම ඔවුන්ට මෙරටට පැමිණීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මේ අතර ‘ශ්‍රී ලංකාව අමතන්න’ යන නව මාර්ග ගත වෙබ් ද්වාරය හරහා ශ්‍රී ලාංකිකයන් 46,000 ක් පමණ ලියාපදිංචි වී තිබේ.

https://www.mfa.gov.lk/
https://www.contactsrilanka.mfa.gov.lk/

+++++++++++++++++++++++++++++++++++

Covid 19 මැඩපැවැත්වීමට මුස්ලිම් ප්‍රජාව වෙත මුස්ලිම් ජන නායකයින්ගෙන් කාරුණික ඉල්ලීම

(04.04.2020 – 15:49 +0530 – sinhala.adaderana.lk)

දැනට ලෝකයේ රටවල් 200 කට වැඩි ගණනක පැතිරී දහස් ගණන් මිනිස් ජීවිත අහිමි වීමට බලපා ඇති මාරාන්තික කොරෝනා වසංගතය, අප රට තුලද සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී.

මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම, නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම, රෝගීන් සහ රෝග වාහකයින් හඳුනාගැනීම සඳහා අවැසි පරීක්‍ෂා සිදුකිරීම සහ රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර සිදුකිරීම ඇතුළු දැඩි පියවර කිහිපයක්ම රජය විසින් ගනු ලැබ ඇත.

රජය මඟින් ගනු ලැබූ මුල් පියවර කිහිපයත් සමඟම, අනෙකුත් ක්‍රියාමාර්ග සමඟින් මුස්ලිම් නායකයින් විසින් ඒකමතිකව ගනු ලැබූ එක් තීරණයක් නම්, පල්ලි තුල යාඥා මෙහෙයන් හෝ අන් කවර ජන රාශියක් හෝ පැවැත්වීම තහනම් කිරීමයි.

රෝගීන් වාර්තා වූ ඇතැම් ප්‍රදේශ දැනටමත් සම්පූර්ණයෙන් වසා දමා (Locked Down) ඇත.

මීට හේතු වන්නේ, රෝගීන්ගේ සහ / හෝ රෝගය වැළඳී ඇති බවට සැක කෙරෙන අයවළුන්ගේ සමීපයට යන අනෙකුත් පුද්ගලයින්ටද රෝගය වැළඳීමට ඇති ඉඩකඩ අසුරාලීමය.

එබැවින්, මේ වන විට එවන් වසා දමන ලද ප්‍රදේශ වල වසන අපගේ සියලුම පුරවැසියන්ගෙන් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසත්, රජයෙන් පනවන ලද නීති සහ උපදෙස් එයාකාරයෙන්ම අනුගමනය කරන ලෙසත්, ඉල්ලා සිටිමු.

වසංගතය පැතිරීම පාලනය කිරීම උදෙසා පහත ක්‍රියාමාර්ග ගන්නා ලෙස ප්‍රජාවගෙන්, ප්‍රාදේශීය නායකයින්ගෙන් සහ අනෙකුත් නායකයින්ගෙන් දැඩිව ඉල්ලා සිටිමු.

මීට පෙර සඳහන් කළ පරිදි, සිකුරාදා ජුම්මා යාඥාවද ඇතුළුව පල්ලිවල සිදුකරන යාඥා කටයුතු හෝ වෙනත් ජන රාශීන් සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය.

ඉහත සඳහන් නීතිය කඩ කරමින් කිසියම් හෝ පල්ලියක පැවැත්වෙන ඕනෑම කටයුත්තක් සම්බන්ධයෙන් තොරතුරක් ඇතොත් ලඟම ඇති පොලිස් ස්ථානයට දැනුම්දිය යුතුය.

2020 මාර්තු මස 10 වෙනිදායින් පසු යම් විදේශ රටක සිට ලංකාවට පැමිණි පුද්ගලයන් කිසිදු ප්‍රමාදයකින් තොරව ලඟම ඇති පොලිස් ස්ථානය වෙත තමාගේ විස්තර ලබාදී ලියාපදිංචි විය යුතුය.

විදේශ රටක සිට පැමිණි පුද්ගලයින් සමඟ කිසිදු සම්බන්ධයක් නොපැවැත්විය යුතු අතර, ඔබ එවන් අයෙකු හා කිසියම් හෝ සම්බන්ධයක් පැවැත්වූයේ නම් ඔබ ස්වයං නිරෝධායනයට ලක්විය යුතුය. ස්වයං නිරෝධායනයට ලක්වන්නේ නම්, නිවැසියන් සමඟ හෝ කිසිදු සම්බන්ධයක් නොතිබිය යුතුය.

යම් හෙයකින් ස්වයං නිරෝධායනය සඳහා අවැසි පහසුකම් ඔබ සතු නොවේ නම්, වහාම සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දිය යුතුය.

යම් කිසි පුද්ගලයෙක් Covid-19 ආසාදනය වී ඇති බවට සැක කළ හැකි රෝග ලක්‍ෂණ පෙන්වන්නේ නම්, ඔහු / ඇය ලංගම ඇති රජයේ රෝහල වෙත රැගෙන යා යුතු වේ.

රෝහල් කාර්යමණ්ඩලයට නිසි ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන ලෙස, රෝගියා රැගෙන යාමට පෙර අදාළ රෝහල දැනුවත් කරන්න. පුද්ගලික රෝහලකට හෝ වෙනත් සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වෙත රෝගියා රැගෙන නොයා යුතුය.

රජය සහ නිසි බලධාරීන් විසින් පනවන ලද ඇඳිරි නීති සහ අනෙකුත් සියලුම නීති / රෙගුලාසි වලට අනුගත විය යුතුය.

ඉහත සඳහන් නීති රීතිවලට යටත් නොවන පුද්ගලයින්ට විරුද්ධව දැඩි නීතිමය පියවර ගනු ලබන අතර, අප ආගමේ ඉගැන්වීම වන්නේද, රටේ නීතිරීතිවලට යටත්ව ජීවත්වීම සහ එම නීතිරීතිවලට ගරු කිරීමයි.

ඉහත ක්‍රියාමාර්ග වලට පටහැනිව කටයුතු කිරීම වයිරසයේ ව්‍යාප්තියට හේතු වේ.

අප ආගම පවසනු ලබන්නේ, සෑම මුස්ලිම්වරයෙකුගේම හදවතේ සමාජයේ යහපත සඳහා අන් සියල්ලටම වඩා වැඩි වටිනාකමක් පැවතිය යුතු බවයි.

එබැවින්, ඉහත උපදෙස් සහ රජයේ නීති හා රෙගුලාසි උල්ලංඝනය කරන ඕනෑම මුස්ලිම්වරයෙක්, ශුද්ධ වූ කුරාණයේ සහ අති උතුම් නබි තුමාගේ ඉගැන්වීම ප්‍රකාරව තමා විසින් ඉටු කළ යුතු වගකීම් පැහැර හරින්නෙක් වනු ඇත.

සියලු මිනිසුන් කෙරෙහි අනුකම්පා කොට මෙම වසංගත උවදුරෙන් අප රැකගන්නා මෙන් ශුද්ධ වූ අල්ලා දෙවියන් වෙත යාඥා කරමු.

All Ceylon Jamiyathul Ulama (ACJU)
Supreme Command of the Sufi Thariqas (SCOST-SL)
Sri Lanka Muslim Council
.
National Shoora Council
Young Mens Muslim Association
Colombo District Mosque Federation
.
Sri Lanka Jamath e-Islam
Jamathul Salamah
Collective of Arabic Colleges- Sri Lanka
.
Zam Zam Foundation
All Ceylon Thowheed Jamath
All Ceylon Muslim League – Youth Front
.
Conference of Sri Lankan Malays
Memon Association of Sri Lanka
Anjuman e- Saifi ( Sri Lanka) Trust- The organization administering the affairs of The Dawoodi Bohra Muslim Community of Sri Lanka
.
Sri Lanka Media Forum
Markez Islamic Centre

+++++++++++++++++++++++++++++++++++

‘සෞභාග්‍යා’ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන අද (04) ඇරඹෙයි

(04.04.2020 – 15:00 +0530 – sinhala.adaderana.lk)

“සෞභාග්‍යා” ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන අද (04) ආරම්භ කෙරුණි.

මීට සමගාමීව ක්‍රියාත්මක වන සෑම නිවසකම වගාවක් ආරම්භ කිරීමට දිරිගන්වන “සෞභාග්‍යා ගෙවත්ත” වගා සංග්‍රාම වැඩපිළිවෙළ යටතේ සෑම නිවසකටම බීජ හා පැළ ලබාදීමටත් නියමිතයි.

අද (04) දිනයේදී ආරම්භ කෙරුණු “සෞභාග්‍යා” ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන හඳුන්වාදීම වෙනුවෙන් අද (04) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදි මාධ්‍ය හමුවක් පැවැත්වුණි.

මේ අතර කොළඹ මැනිං වෙළදපලේ එළවලු අතිරික්තයක් මේ දිනවල පැවතීම හේතුවෙන් වෙළද සංගමය තීරණය කර ඇත්තේ දින 3 කට වතාවක් පමණක් පිටපළාත් වල සිට මැනිං වෙළදපලට එළවලු ප්‍රවාහනය කිරීමටයි.

හඟුරන්කෙත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, රිකිල්ලගස්කඩ දිසා මූලික රෝහල සහ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා කාර්යාලය ඒකාබද්ධව එම ප්‍රදේශයේ සායනිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඖෂධ නිවෙස් වලට ගෙන ගොස් භාරදීමේ වැඩසටහන ඊයේ (03) පස්වරුවේ ආරම්භ කෙරුණි.

ඒ අනුව නිසිලෙස සැකසුණු ඖෂධ නිවෙස් වලට ගෙනයාමට ප්‍රදේශයේ ආර්ථික සංවර්ධන නිලධාරීන් වෙත භාරදීම සිදුකෙරුණි.

+++++++++++++++++++++++++++++++++++

දරුවෙකු ප්‍රසූත කළ බේරුවල කාන්තාවකට කොරෝනා

(04.04.2020 – 12:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ 5 වන කොවිඩ්-19 මරණය අද (04) උදෑසන වාර්තා වුණා.

වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස කොරෝනා වෛරස් ආසාදනයෙන් මිය ගිය අතර, ඔහු ඉතාලියේ සිට දිවයිනට පැමිණි අයෙක්.

කොරෝනා ආසාදනය නිව්මෝනියා තත්ත්වයට වර්ධනය වීමෙන් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ.

මොහු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිට ඇති අතර, පසුගිය දා වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබුණා.

පසුගිය 26 වන දා ඔහු එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණා.

එහි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

අද (04) මිය ගිය එම පුද්ගලයාට වෙනත් කිසිදු රෝගයක් තිබී නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.

එමෙන්ම, මෙරටදී සොයා ගත් කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව 159 දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (03) දිනයේදී ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වූ අතර, සුවය ලබා දෙදෙනෙකු ඊයේ (03) දිනයේදී රෝහලෙන් පිටව ගියා.

130 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතව තවදුරටත් ප්‍රතිකාර ලබන අතර, මේ දක්වා සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාව 24 ක්.

මේ අතර, ඊයේ (03) අලුතෙන් හමුවූ ආසාදිතයන් පිළිබදව තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව යාපනය – තල්සෙවන නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයන් තුන් දෙනෙකු හමුවී ඇති අතර ඔවුන් පසුගිය දා යාපනයේදී ස්විට්සර්ලන්ත දේවගැතිවරයෙකු පැවැත්වූ මෙහෙයකට සහභාගි වූ අය බව සඳහන්.

පුත්තලම, දෙහිවල, පන්නිපිටිය, මතුගම සහ බේරුවලින් ද නව ආසාදිතයන් එක් අයෙකු බැගින් හමුවී තිබෙනවා.

බේරුවලින් හමුවී ඇත්තේ කාන්තාවක් වන අතර ඇය ඊයේ (03) දිනයේදී දරුවෙකු ද ප්‍රසූත කර තිබුණා.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම කාන්තාව මීට පෙර කිසිදු කොරෝනා ලක්ෂණයක් පෙන්නුම් කර නොතිබූ බවයි.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 36 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 25 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 26 දෙනෙකු, නිරෝධායන මධ්‍යස්ථානවලින් 34 දෙනෙකු, ගම්පහින් 11 දෙනෙකු, මහනුවරින් 4 දෙනෙකු, රත්නපුරෙන් 3 දෙනෙකු, යාපනයෙන් 4 දෙනෙකු වාර්තා වනවා.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන 73 දෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා ෴

+++++++++++++++++++++

පන්නිල මුස්ලිම් ගම්මානයෙන් COVID-19 ආසාදිත ගැබිනි කාන්තාවක් ව්‍යාජ ලිපිනයක් දී නාගොඩ රෝහල රවටා දරුවෙකු ප්‍රසූත කරයි!

(04.04.2020 – 12:54 +0530 – lankaleadnews.com)

දැනට නිරෝධායනයට ලක්කර තහනම් කලාපයක් ලෙස නම් කර ඇති බේරුවල පන්නිල කොරෝනා ආසාදිතයන් සිටි ගම්මානයේ රතු අවදානම් කලාපයේ පදිංචිව සිට ඇති 28 හැවිරිදි මවක් දර්ගා නගරයේ පදිංචි බවට ව්‍යාජ ලිපිනයක් ලබා දී අද (04) අලුයම කළුතර නාගොඩ රෝහලට ඇතුළු වී විශේෂ වාට්ටුවකදී දරුවකු බිහිකර ඇතැයි වාර්තා වී තිබේ.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ සායන කාඩ්පත පරීක්ෂා කිරීමේදී ඇය පදිංචි සැබෑ ලිපිනය බේරුවල, පන්නිල ප්‍රදේශයේ බව අණාවරණය වී ඇත. ඒ අනුව ඇයගේ රුධිරය පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී ඇයට COVID-19 වෛරසය ආසාදිත තත්ත්වයේ පසුවන බව තහවුරු කරගෙන තිබෙන බව වාර්තා වේ.

මෙවන විට ඇය බිහි කළ දරුවාට වෛරසය ආසාදිතව ඇත් දැයි පරීක්ෂණ කෙරෙමින් පවතින අතර රෝහල් වාට්ටුවේ කාර්යමණ්ඩලය නිරෝධායනට ලක් කිරීමට නියමිතව ඇතැයිද රෝහල් ප්‍රකාශකයෙක් මාධ්‍යයට සඳහන් කළේය.

මෙම රෝගී කාන්තාවත් සමඟ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ COVID-19 වෛරසය ආසාදිත පුද්ගල සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ගැන දැනුම් දෙන්න මධ්‍යම පළාතේ මෙහෙයුම් මැදිරියක්

(04.04.2020 – 14:58 +0530 – lankadeepa.lk)

මධ්‍යම පළාත තුළ කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම ලෙස පහසුකම් සැලසීමේ අරමුණින් විශේෂ මෙහෙයුම් මැදිරියක් ආරම්භ කර ඇත.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාලේ උපදෙස් පරිදි මහනුවර පිහිටි ඒම කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කොට ඇති මෙම මෙහෙයුම් මැදිරිය තුළින් මධ්‍යම පළාතේ ජනතාව ඉදිරිපත් කරන ගැටලු පිළිබඳ විමර්ශනය කොට සුදුසු විසඳුම් ලබාදීම සිදු කෙ‌රේ.

ඒ අනුව අවශ්‍ය සහන ලබා ගැනීම සම්බන්ධයෙන් හෝ කොරෝනා වෛරසය නිසා සිදු වන පීඩාකාරී තත්වයකට සහන අවශ්‍ය නම් ඒ සදහා 081 720 0480 හෝ 081 495 3363 යන දුරකතන අංක විවෘත කොට ඇත.

නව තාක්ෂණය භාවිත කරන්නේ නම්, වට්ස් ඇප් හෝ වයිබර් යටතේ 076 261 1717 යන අංකයත්, cpcgovcovid19@gmail.com යන ඊමේල් අංකය මගින් මෙම මධ්‍යස්ථානය හා සම්බන්ධවීමට මධ්‍යම පළාතේ ජනතාවට අවස්ථාව ඇත.

+++++++++++++++++++++++++++++++++++

මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාව ගැන මහාචාර්යවරයෙකු පැහැදිළි කරයි

(04.04.2020 – nethnews.lk)

නිවසින් බැහැරව යන්නේ නම් හෝ ජනාකීර්ණ ස්ථානවල ගැවසෙන්නේ නම් අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පළඳින්නැයි, සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා.

කෙසේවෙතත් කොරෝනා වෛරසයේ සීග‍්‍ර ව්‍යාප්තිය හමුවේ එම සංවිධානය ද ඉදිරියේදී සිය තීරණය වෙනස් කරනු ඇති බවයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ.

අමෙරිකාව තුළ නව කොරෝනා වෛරසය සීග‍්‍රයෙන් පැතිරයාමට ප‍්‍රධානතම හේතුවක් වූයේ එරට වැසියන් මුඛ ආවරණ නොපැළඳීම බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මේ වනවිට අමෙරිකානු රෝග නිවාරණ ආයතනය, මුඛ ආවරණ පැළඳීම එරට වැසියන්ට අනිවාර්යය කර තිබෙන බව ද රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසුවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ දොළහා ඉක්මවයි – මරණ සංඛ්‍යාව 64,675 ක් දක්වා ඉහළට

(05.04.2020 – 06:20 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ දොළහා ඉක්මවා තිබෙනවා.

එමෙන්ම ලොව පුරා වාර්තා වන කොවිඩි නයින්ටීන් මරණ සංඛ්‍යාව 64,675 කට අධිකයි.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් 311,357 ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර ඊයේ (04) දිනයේදී පමණක් නව ආසාදිතයන් 34,196 ක් ඊට එක්වීම විශේෂත්වයක්.

වැඩිම කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාවක් එනම් 15,362 ක් ඉතාලියෙන් වාර්තා වන අතර, ඊයේ (04) දිනයේදී ඊට එක්වී ඇති සංඛ්‍යාව 681 ක්.

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ සංඛ්‍යාව 11,947 ක් ඉක්මවා ඇති අතර ඊයේ (04) දිනයේදී ඊට තවත් 749 ක් එක්වීමත් සමඟයි.

ඉන්දියාවේ මේ වන විට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 3,588 ක් ඉක්මවා ඇති අතර එරටින් මරණ 86 ක් ද වාර්තා වුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *