වෛරස අවදානම් රහිත ප්‍රදේශවල දැනට පවතින සීමාවන් ඉවත් කිරිම අලුත් අවුරුදු සමයෙන් අනතුරුව

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• වෛරස අවදානම් රහිත ප්‍රදේශවල දැනට පවතින සීමාවන් ඉවත් කිරිම අලුත් අවුරුදු සමයෙන් අනතුරුව

• අලුත් අවුරුදු සමය නිමවනතෙක් කොරෝනා මර්දන වැඩසටහන්

• ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 166 ක් දක්වා ඉහළට

• ලොවම වසාගෙන ඇති කොරෝනා මුහුණදීමට ශ්‍රී ලාංකිකයන්ගෙන් නව නිපැයුම් කිහිපයක් (විඩියෝ)

• මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමක් – 15 හැවිරිදි සැකකරු සොයා මෙහෙයුම්

• රටම වසා දමන පුවත අසත්‍යයක් – රහස් පොලීසියෙන් පරික්ෂණ (විඩියෝ)

• බස්නාහිර පළාත, පුත්තලම, මහනුවර සහ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට (06) පැය අටකට (08) ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

• ගතවූ පැය 24 තුළ අමෙරිකාවෙන් කොරෝනා මරණ 1224 ක්

• ස්වයං නිරෝධායනය නිසි ලෙස අනුගමනය නොකළ අකුරණ 144 ක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට (විඩියෝ)

• ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලයින්ට නීති දැඩි වෙයි

• කැස්ස-සෙම්ප්‍රතිශ්‍යාව සහ ස්වසන අපහසුතා ඇත්නම් 1390 ට අමතන්න

• වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ගේ ඇඳිරි නීති බල පත්‍ර අහෝසි කිරීමේ තිරීණයක්

• කොට්ටාව, හේනවත්තෙන් ආසාදිතයෙක් සොයාගැනීමත් සමඟ ප්‍රදේශයේ පුද්ගලයින් 86 ක් නිරෝධායනට

+++++++++++++++++++++++++++++++++++

වෛරස අවදානම් රහිත ප්‍රදේශවල දැනට පවතින සීමාවන් ඉවත් කිරිම අලුත් අවුරුදු සමයෙන් අනතුරුව

(05.04.2020 – 06:31 +0530 – sinhala.adaderana.lk)

එළඹෙන අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමඟ කොවිඩ් නයින්ටීන් වෛරස අවදානමෙන් තොර දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක සීමාවන් ඉවත් කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම නිසා අලුත් අවුරුදු අවසානය තෙක් කොරෝනා මර්දන වැඩසටහන පවත්වාගෙන ගොස් පවතින තත්ත්වය විමර්ශනය කර ඊලඟ පියවර තීරණය කිරීමට නියමිත බවයි මාධ්‍ය අංශය සඳහන් කළේ.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කිරීම සදහා රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

එම සාකච්ඡාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිට ඇති බව සඳහන්.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මෙතෙක් සිදුකළ අයුරින්ම වෛරසය මර්දනය සඳහා ඉදිරියටත් තීරණය ගනු ලබන්නේ සෞඛ්‍ය, වෛද්‍ය, ආරක්ෂක සහ නීති ඇතුළු අදාල ක්ෂේත්‍රවල විශේෂඥයින් දැනුම් සහ නිර්දේශ මත පදනම් වෙමින් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

රෝගයේ ගෝලීය ව්‍යාප්තිය නිරීක්ෂණය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වරින් වර සිදුකරන නිර්දේශ අධ්‍යයනය කොට සුදුසු පරිදි පිළිපැදීමට ද මෙම සාකච්ඡාවේ දී තීරණය වී තිබේ.

එමෙන්ම දැනට ආරම්භ කර ඇති කොරෝනා මර්දන වැඩසටහන වඩා විධිමත්ව තත්ත්වය යහපත් වන තුරු ඉදිරියට ගෙන යෑමට ද මෙම සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ෴

+++++++++++++++++++++

අලුත් අවුරුදු සමය නිමවනතෙක් කොරෝනා මර්දන වැඩසටහන්

(05.04.2020 – 07:31 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුදු සමය අවසානය තෙක් වත්මන් කොරෝනා මර්දන වැඩසටහන පවත්වාගෙන ගොස් අනතුරුව තත්ත්වය විමර්ශනය කර ඉදිරි පියවර ගැනීමට රජය තීරණයකට එළඹ තිබෙනවා.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට දියත් කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙම සාකච්ඡාවට අදාළ අංශ නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් එක්වුණා.

එහිදී අනාවරණ වුණේ රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග නිසා මෙම සෞඛ්‍ය ගැටළුව පාලනයෙන් ගිලිහී යා නොදී කලමනාකරණය කර ගැනීමට හැකි වූ බවයි.

කොරෝනා රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමුවූ දිස්ත්‍රික්ක කිහිපය හැර බහුතරයක් දිස්ත්‍රික්කවල රෝගය ව්‍යාප්ත වීමේ තර්ජනයක් දැනට නොමැති බව එහිදී හෙළිව තිබෙනවා.

එමෙන්ම, අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමඟ අවදානමෙන් තොර දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක සීමාවන් ඉවත් කිරීමේ හැකියාව පිළිබඳවද එම සාකච්ඡාවේදී අවධානයට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එමෙන්ම, කොරෝනා වෛරසය මර්දනය සඳහා ඉදිරියටත් තීරණ ගනු ලබන්නේ සෞඛ්‍ය, වෛද්‍ය, ආරක්ෂක සහ නීති ඇතුළු අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ නිර්දේශ මත පදනම් වෙමින් බව ද එහි වැඩිදුරටත් සඳහන්.

කෙසේ වෙතත්, මෙරට කොරෝනා වෛරස් අවදානම තවම පහව ගොස් නොමැති බවද එහිදී හෙළි වුණා. ආසාදිතයන් සහ ආසාදිත වූ බවට සැක කෙරෙන පිරිස් මෙන්ම ඔවුන් ඇසුරු කළ අය නැවත නැවතත්, දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු බවටද මෙහිදී තීරණයකට පැමිණ තිබෙනවා.

ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, හිටපු ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොල, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන්ද එම රැස්වීමට එක්ව සිටියා ෴

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 166 ක් දක්වා ඉහළට

(04.04.2020 – 22:38 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 166 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (04) පස්වරුවේ තවත් ආසාදිතයන් 4 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

වෛරසය ආසාදනය වී සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 27 ක්.

කොරෝනා වෛරසය ආසාදනය වී රෝගීන් 134 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එමෙන්ම සැක සහිතව දැනට රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පුද්ගලයන් සංඛ්‍යාව 273 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ.

වෛරසය ආසාදනයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්තාවී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 5 ක් ෴

+++++++++++++++++++++++++++++++++++

ලොවම වසාගෙන ඇති කොරෝනා මුහුණදීමට ශ්‍රී ලාංකිකයන්ගෙන් නව නිපැයුම් කිහිපයක්

(04.04.2020 – 20:29 +0530 – hirunews.lk/sinhala)

ලොවම වසාගෙන සිටින කොවිඩ් 19 වෛරසයට මුහුණදීමට ශ්‍රී ලාංකිකයන් විසින් නව නිපැයුම් කිහිපයක් සොයාගෙන තිබෙනවා.

කොවිඩ් 19 වෛරසය අද වන විට මුළු ලෝකයටම තර්ජනයක් වී අවසන්.

මෙම වෛරසයට ගොදුරු වුණු පුද්ගලයින් වෙතොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා නිපදවන ලද නව සොයාගැනීම් පිළිබඳව අපට විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා.

ඒ අනුව කොවිඩ් 19 ආසාදිතයින්ට කෘත්‍රිම ශ්වසනය ලබා දිය හැකි උපකරණයක් නිපදවීමට සමත් වූ පුවතක් අපට වාර්තා වුණා.

ඒ බැලුම්මහර නැදුම්ගමුව ප්‍රදේශයෙන්.

සෞඛ්‍ය අංශ මගින් කළ ඉල්ලීමකට අනුව පුද්ගලික සමාගමක් හා එක්ව ඉංජිනේරු බුද්ධික මාරසිංහ මහතා මෙම නව සොයාගැනීම සිදුකර තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ රෝගීන්ගේ ප්‍රාශ්වාස වාතය සාමාන්‍ය ලෙස බැහැර නොකර දහනය කළ හැකි විමයි.

මේ අතර මහනුවර රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ හෙද නිලධාරී බිහාන් හපුතන්ත්‍රී මහතා විසින් එකවර සිව්දෙනෙකුට කෘත්‍රිම ශ්වසනය ලබා දිය හැකි වෙන්ටිලේටර් යන්ත්‍රයක් නිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා.

එම යන්ත්‍රය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට හඳුන්වා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවුණා.

මේ අතර සේවා ලබාගැනීමට පැමිණෙන මහජනතාව හා සිය සාමාජිකයින්ගේ විෂභීජහරණය කිරීමේ අරමුණින් මහරගම පොලීසිය විසින් විෂබීජහරණය කිරීමේ කුටියක් නිර්මාණය කර තිබෙනවා.

මේ අතර පොදු ස්ථානවල භාවිතා කළ හැකි පාදයෙන් ක්‍රියාත්මක කළ හැකි ජල කරාමයක් හඳුන්වාදීමට හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේ කාර්මිකයෙකු සමත්වී තිබෙනවා.

වෘත්තීය පුහුණු අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික්කයේ උපදේශකවරයෙකු ලෙස සේවය කරන H.M.S.P. හේරත් මහතා විසින් පාදයෙන් ක්‍රියාත්මක කළ හැකි ජල කරාමය නිපදවනු ලැබුවා.

ජලකරාමය විවෘත කිරීම, අත් සේදිම සඳහා අවශ්‍ය සබන් දියර ලබා ගැනීම සහ අත් පිස්නා ඉවත් කිරීම සඳහා කසල බදුන විවෘත කිරීම යන සියලු කාරණයන් පාදයෙන් පමණක් සිදු කළ හැකි වීම මෙහි ඇති විශේෂත්වයක්.

මේ අතර රටේ පවතින තත්ත්වයත් සමඟ ජනතාවට තම සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම් ලබාගැනීමට 1390 ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වාදීමට ස්වෙච්ඡා වෛද්‍ය කණ්ඩායමක් පියවර ගෙන තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමක් – 15 හැවිරිදි සැකකරු සොයා මෙහෙයුම්

(04.04.2020 – 19:28 +0530 – sinhala.adaderana.lk)

රඹුක්කන පොලිස් වසමේ පත්තම්පිටිය ‍ප්‍රදේශයේ දී කොරෝනා‍ වෛරසය මැඩලීමේ රාජකාරියෙදී සිටි රඹුක්කන මහජන සෞඛ්‍ය කාර්යා‍ලයේ සේව‍යේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබේ.

අද (04) සවස 3 ට පමණ මෙම පහර දීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

සිය රාජකාරියට බාධා කර තියුණු ආයුධයකින් පහර දීම සම්බන්ධයෙන් මේ වන විට රඹුක්කන පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පහර කෑමෙන් තුවාල ලැබු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රඹුක්කන රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 15 ක්වු අයෙක් බවට හඳුනා ගෙන තිබේ.

එම සැකකරු මේ වන විට කැලෑබඳ ප්‍රදේශයක සැඟවී ඇති බවට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම් කීපයක් ‍මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ‍සැකකරුට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

රටම වසා දමන පුවත අසත්‍යයක් – රහස් පොලීසියෙන් පරික්ෂණ

(04.04.2020 – 18:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා තත්ත්වය නිසා මුළු දිවයිනම වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරය අසත්‍යයක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

කොළඹදී අද (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අදාළ ප්‍රචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එසේම මෙවැනි අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු නොකළ යුතු බවට ජනතාවට අවවාද කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

අප්‍රේල් මස 10 වනදා සිට 15 වනදා දක්වා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව වසා දැමීමට කටයුතු කරන බවත් එම කාලය තුළ නීතිය දැඩිව ක්‍රියාත්මක වන බව ද සමාජ ජාලා ඔස්සේ සංසරණය වන අසත්‍ය තොරතුරේ සඳහන් වුනා.

එමෙන්ම ආහාර සැපයීම්, බෙදාහැරීම් සේවා, මාර්ගගත ඇණවුම්, බේකරි නිශ්පාදන වාහන ආදී කිසිවක් එම කාලය තුළ ක්‍රියාත්මක නොවන අතර කිසිදු වෙළඳසැලක් විවෘත කිරීමට ඉඩ නොදෙන බවටයි අදාළ අසත්‍ය තොරතුර මගින් ප්‍රකාශවී තිබුනේ.

පොලිසිය අවධාරණය කරන්නේ එම තොරතුරෙහි කිසිදු සත්‍යතාවක් නොමැති අතර රජය විසින් මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර, අද (04) දහවල් 12 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1446 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළා.

එම කාලසීමාව ඇතුළත පොලිස් භාරයට ගත් රථ වාහන සංඛ්‍යාව 373 ක්.

පසුගිය 20 වනදා දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග එය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 12,465 ක් වනවා.

ඉන් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ පොලිස් කොට්ඨාශයෙන් වන අතර එම සංඛ්‍යාව 870 ක්.

+++++++++++++++++++++++++++++++++++

බස්නාහිර පළාත, පුත්තලම, මහනුවර සහ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට (06) පැය අටකට (08) ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

(05.04.2020 – 07:49 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය හෙට (06) උදෑසන හයට (06) තාවකාලිකව ඉවත් කිරීමට නියමිතයි.

එය යළි එදිනම පස්වරු දෙකට පනවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය ඇඳිරි නීතිය ඉවත් කළත් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

කවර දිස්ත්‍රික්කයක වුව ද ගොවිතැන් සහ කුඩා තේ වතු, අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එම වැඩකටයුතු කර ගෙන යාම සඳහා අවසර ලබාදී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එසේම, අනුමත සේවා හැඳුනුම්පත් හෝ ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව ගමන් කරන පුද්ගලයන් සහ වාහන සියල්ල අත්අඩංගුවට ගන්නා බව පොලීසිය ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++++++++++++++++

ගතවූ පැය 24 තුළ අමෙරිකාවෙන් කොරෝනා මරණ 1224 ක්

(05.04.2020 – 08:32 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 ආසාදනයෙන් ඊයේ (04) දිනයේදීද අමෙරිකාවෙන් දහස ඉක්මවූ මරණ සංඛ්‍යාවක් වාර්තාවී තිබේ.

එරට නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් පමණක් අලුතින් මරණ 630 ක් වාර්තාවී ඇති අතර දෛනිකව එම ප්‍රාන්තයෙන් වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාවද මෙයයි.

කොවිඩ් 19 වෛරසයෙන් ලොව රටවල් සහ පාලන කලාප 206 කින් අද වන විට ආසාදිතයන් 1,201,473 දෙනෙකු හමුවී තිබේ.

ඉන් මේ වන විට වාර්තාවී ඇති ගෝලීය මරණ සංඛ්‍යාව 64,691 කි.

කෙසේ වෙතත් පුද්ගලයන් 246,000 කට වැඩි පිරිසක් වෛරසයෙන් පූර්ණ සුවය ලබා තිබේ.

කොවිඩ් 19 වෛරසයෙන් මේ වන වැඩිම බලපෑමක් එල්ලවී ඇති අමෙරිකාවෙන් මරණ 8,452 ක් වාර්තාවී තිබේ.

ගතවූ පැය 24 තුලදීද අමෙරිකාවෙන් මරණ 1,224 ක් වාර්තාවී ඇති බව සඳහන්ය.

එරටින් වාර්තාවන ආසාදිතයන් ගණන 311,357 කි.

වැඩිම මරණ සංඛ්‍යාවක් එනම්, මරණ 3500 කට වැඩි ප්‍රමාණයක් වාර්තාවී තිබෙන්නේ නිව්යෝක් ප්‍රාන්තයෙන්ය.

ඊයේ දිනයේ පමණක් එම ප්‍රාන්තයෙන් අලුතින් මරණ 630 ක් වාර්තාවී තිබුණි.

එම ප්‍රාන්තයෙන් පමණක් හඳුනාගෙන ඇති ආසාදිතයන් ප්‍රමාණය 113,000 ඉක්මවයි.

මෙම සතිය මෙන්ම ඉදිරි සතියත් බොහෝදුරට අමෙරිකාවට දුෂ්කර කාලසීමාවක් වනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.

ඉදිරි සතියේ මරණ රැසක් සිදුවීමට ඉඩ ඇති බව පැවසූ ට්‍රම්ප් මහතා වසංගතය පාලනය කිරීමට ඇතැම් ක්‍රියාමාර්ග ගැනීම තුළින් මරණ සංඛ්‍යාව අවම කරගත හැකි බවත් සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

ස්වයං නිරෝධායනය නිසි ලෙස අනුගමනය නොකළ අකුරණ 144 ක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට

(05.04.2020 – 08:09 +0530 – sinhala.adaderana.lk)

ස්වයං නිරෝධායනයට ලබාදුන් උපදෙස් නිසි ලෙස අනුගමනය නොකළ අකුරණ ප්‍රදේශයේ පුද්ගලයින් 144 දෙනෙකු අද (5) අළුයම පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් 19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා හැකි සෑම පියවරක්ම අනුගමනයකර තිබියදී, පුද්ගලයන්ගේ නොසැලකිලිමත්භාවය මත රෝගය පැතිරීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවරගත් බව යුද හමුදාපති වරයා සඳහන් කළේය.

ඇදිරි නීති බලපත්‍ර අවභාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් බලපත්‍ර ලබාදී ඇති අතර නීති කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු දැඩි කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලයින්ට නීති දැඩි වෙයි

(05.04.2020 – 06:59 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බලපත්‍ර ලබාදී ඇති අතර නීති කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු දැඩි කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

මේ අතර ජාති හාආගම් අතර අසමඟිය ඇතිවන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව ද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

කැස්ස-සෙම්ප්‍රතිශ්‍යාව සහ ස්වසන අපහසුතා ඇත්නම් 1390 ට අමතන්න

(05.04.2020 – 10:44 +0530 – sinhala.adaderana.lk)

මේ දිනවල කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ස්වසන අපහසුතා පවතින්නේ නම් වහාම 1390 ක්ෂණික දුරකතන අංකයට අමතන්න ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හැකි ඉක්මණින් සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසද ඔහු සිවිල් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොවිඩ් නයින්ටීන ආසාදිතයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු මේ වන විට තීව්‍ර කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ගේ ඇඳිරි නීති බල පත්‍ර අහෝසි කිරීමේ තිරීණයක්

(05.04.2020 – 11:28 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය අතරතුර වැඩි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ගේ ඇඳිරි නීති බල පත්‍ර අහෝසි කිරීමට තිරීණය කර ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පොලිසීයට හා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.

එවැනි වෙළදුන්ට එරෙහිව වහා නීතිමය පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (04) පොලිසීයට හා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය සදහා පනවා ඇති ඇදිරි නීතිය අතරතුර ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව සදහා අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණ.

අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිය සදහා ලබාදී ඇති ඇදිරි නීති බලපත්‍ර උපයෝගී කර ගනිමින් රජයේ උපරිම මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළදුන් පිළිබදව තොරතුරු රැසක් වාර්තවා වී ඇතැයි මෙහිදී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවයි.

මේ නිසා මෙවැනි වෙළදුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයිද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අත්‍යවශ්‍ය සේවා බල පත්‍රලාභීන් රජයේ උපදෙස් අනුව නියමිත මිලට හා නියමිත ප්‍රමිතියට අනුව භාණ්ඩ අලෙවි කරන්නේ දැයි පරීක්ෂා කරන ලෙසද ඇමතිවරයා ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

ඇදිරි නීතිය පවතින කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩ සටහන 80% ක් පමණ සාර්ථක බවත් ඒ සදහා ප්‍රාදේශිය ලේකම්වරු, පළාත් පාලන නියෝජිතයන්, ග්‍රාම නිළධාරීන්, සමෘද්ධි නිළධාරීන් ඇතුළු සියළු ක්ෂේත්‍රවල නිළධාරීන්ට සිය ප්‍රසාදය පල කරන බවත් පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉදිරි සති දෙක තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින කිසිවෙකු ඉන් පිටතට නොයැවීමටත් දිස්ත්‍රික්කයෙන් පිටත සිටින කිසිවෙකු දිස්ත්‍රික්කය තුලට පැමිණීම සීමා කිරීමටත් රජය තීරණය කර ඇති බවද කීවේය.

සමූපකාරය මගින් ප්‍රාදේශිය ලේකම්වරු හරහා බල පත්‍ර ලබා දී ඇති වෙළදුන්ට අවශ්‍ය තරම් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසද ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිහිටි, ආබාධ සහිත ආර්ථික අපහසුතා ඇති පුද්ගලයන් වෙත රුපියල් 5000 ක දීමනාවක් ලබා දීමේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කීවේ සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන්, බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්, ප්‍රාදේශිය මාධ්‍ය වේදීන්, වැනි, පවතින තත්ත්වය තුළ ආර්ථික වශයෙන් අපහසුතාවට පත්ව ඇති සියලුම දෙනාට මෙම දීමනාව ලබා දිය යුතු බවයි.

එමෙන්ම පිට පලාත්වලින් පැමිණ මේ වන විට සිය ගම් බිම් වලට යාමට නොහැකිව කිසියම් අයෙකු ඇත්නම් ඔවුන්ටද මෙම දීමනාව ලබා දිය යුතු බව ඇමතිවරයා කීවේය.

ඒ අනුව මේ සියළුම දෙනා වෙත රුපියල් 5000 දීමනාව ලබා දීමටද මෙහිදී තීරණය කෙරිණ.

මෙහිදී අනාවරණය වූයේ මෙම දීමනාව ලබා දීම සදහා රුපියල් මිලියන 300 ක මුදලක් දැනටමත් ඒ සදහා වෙන් කර ඇති බවයි.

එම මුදල් අදාල ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත මුදා හැර ඇති බවද දිස්ත්‍රික් සුනිල් ජයලත් මහතා මෙහිදී කියා සිටියේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව කොවිඩ් 19 වසංගතයෙන් මෙන්ම පානීය ජල ගැටලුවලටද මුහුණ දෙමින් සිටින බවයි.

දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන මගින් දිස්ත්‍රික්කයේ පානීය ජල ප්‍රශ්ණයට මුහුණපා ඇති ජනතාවට අවශ්‍ය ජලය ලබා දීමේ වැඩ සටහනක් කඩිනමින් ආරම්භ කිරීමටද මෙහිදී තීරණය කෙරිණි ෴

+++++++++++++++++++++++++++++++++++

කොට්ටාව, හේනවත්තෙන් ආසාදිතයෙක් සොයාගැනීමත් සමඟ ප්‍රදේශයේ පුද්ගලයින් 86 ක් නිරෝධායනට

(05.04.2020 – 11:27 +0530 – sinhala.adaderana.lk)

කොට්ටාව, හේනවත්ත ප්‍රදේශයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයෙකු සොයාගැනීමත් සමඟ එම ප්‍රදේශයේ පුද්ගලයින් 86 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

ඉන් පුද්ගලයින් 45 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති අතර සෙසු 41 දෙනා සිය නිවෙස්වලම නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳන් කළේ.

කොවිඩ් නයින්ටීන් ආසාදිත පුද්ගලයා මේ වන විට අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු සමඟ ගණුදෙණු කරන පුද්ගලයින් සිටී නම් වහාම සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන ලෙස ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලීමක් කරයි.

අදාල පුද්ගලයා සංචාරක සේවා සපයන ආයතනයක රාජකාරී සිදුකරඇති අතර කොරෝනා වෛරසයේ මූලික ලක්ෂණ මතුවීම හේතුවෙන් ඔහු මාර්තු 31 වනදා හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් වී තිබේ.

එහිදී සිදුකළ පරීක්ෂණවලට අනුව අප්‍රේල් මස 3 වනදා අදාල පුද්ගලයාට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *