ස්විට්සර්ලන්ත දේවගැතිවරයාගේ යාපනයේ දේව මෙහෙයට ගිය 7 කට කොරෝනා – දෙසීයක් (200) සැඟවිලා

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ස්විට්සර්ලන්ත දේවගැතිවරයාගේ යාපනයේ දේව මෙහෙයට ගිය 7 කට කොරෝනා – දෙසීයක් (200) සැඟවිලා

• කිසිම වරායකට නොගත් මගින් 2700 ක් රැගත් නැව හෙට (06) කොළඹට – එකම ලාංකිකයා මව්බිමට බහින්න අවසර ඉල්ලයි (විඩියෝ)

• නිරෝධායනය වී පැමිණි අයෙකුට දින 10 කට පසු කොරෝනා

• කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාවේ හදිසි ගින්නක් (විඩියෝ)

• කුරුණෑගල රෝහලේ ගින්නට හේතුව රසායනිකයක් – 4 දෙනෙකු බේරා ගැනේ (විඩියෝ)

• අප්‍රේල් 6 සිට 10 තෙක් රාජ්‍ය හා පෞද්ගලික අංශ සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් (විඩියෝ)

• ඔස්ට්‍රේලියානු අගමැති කී පරිදි එරට සිටින ලංකාවේ සිසුන්ට සිදුවන දේ – මහකොමසාරිස් දන්වයි

• වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ගෙවීම – අප්‍රේල් 06 වැනි සඳුදා

• අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසට ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුවෙන් වැඩපිළිවෙලක්

• පරීක්ෂණ ක්‍රමවේදයන් පුළුල් කළ යුතුයි – GMOA (විඩියෝ)

• ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 170 ක් වෙයි

• සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පල කිරීම පිළිබඳ CID යට පැමිණිල්ලක් (විඩියෝ)

• කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න වැලිකන්ද රෝහලට රොබෝවක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ස්විට්සර්ලන්ත දේවගැතිවරයාගේ යාපනයේ දේව මෙහෙයට ගිය 7 කට කොරෝනා – දෙසීයක් (200) සැඟවිලා

(05.04.2020 – 11:02 +0530 – truenews.lk)

කොරෝනා වයිරසය වැළඳී ඇති බවට සැකපිට යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු තවත් රෝගීන් තිදෙනෙකුට එම වයිරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමග යාපනයෙන් පුද්ගලයින් 07 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා පැවසුවා.

අදාළ රෝගීන් 7 දෙනා පළමුව එක් අයෙකුත් දෙවනුව හා තෙවනුව රෝගීන් තිදෙනා බැගින් වාර්ථා වූ බවටත් එම රෝගීන් 07 දෙනාම කොරෝනා වයිරස්ය වැළඳුන ස්විට්සර්ලන්ත දේවගැතිවරයාගේ දේව මෙහෙයන්ට සහභාගී වූවන් වශයෙන් හෙළි වී ඇති බවටත් වෛද්‍ය සත්‍යමූර්ති මහතා වැඩිදුරටත් සඳහන් කළා.

අරියාලෙයි ප්‍රදේශයේ ස්විස් දේවගැතිවරයා විසින් පවත්වන ලද දේව මෙහෙය වෙනුවෙන් වව්නියාව, මන්නාරම, හා යාපනය යන දිස්ත්‍රීක්කයන්ගෙන් පුද්ගලයින් 300 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බවට මේ වන විට තොරතුරු ලැබෙමින් පවතින අතර ඉන් 200 කට ආසන්න පිරිසක්ම නිරෝධායනය නොවී සැඟව සිටිනා බවට උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පවසනවා ෴

+++++++++++++++++++++++++++++++++++

කිසිම වරායකට නොගත් මගින් 2700 ක් රැගත් නැව හෙට (06) කොළඹට – එකම ලාංකිකයා මව්බිමට බහින්න අවසර ඉල්ලයි

(05.04.2020 – 10:43 +0530 – truenews.lk)

ලෝක සවාරියක යෙදෙන MSC Magnifica නෞකාව 06 දා ශ්‍රී ලංකාවේ කොළඹ වරායට සේන්දුවීමට නියමිත බවත් එහිදි තමාව ශ්‍රී ලංකාවට භාර ගන්නා ලෙස ජනාධිපතිතුවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් එම නෞකාවේ සේවය කරන එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර මහතා පවසනවා.

නෞකාවේ සමස්ත මගින් සංඛ්‍යාව 2700 ක් පමණ බවත් ලෝක සවාරියක් නෞකාව ජනවාරි මස 5 වෙනිදා පිටත් වුවත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙම සංචාරය ඕස්ට්‍රේලියාවේදි නවතා දැමීමට සිදුවූ බවත් ඔහු සඳහන් කරනවා.

ලෝකයේ කිසිදු රටක වාරයක් මෙම නෞකාව භාර නොගැනීම හේතුවෙන් නෞකාවේ මවු ශාකාව පිහිටා තිබෙන ඉතාලිය බලා පිටත් වීම සඳහා දැන් ගමන් ආරම්භ කර සිටින බවත් ඔහු පවසනවා.

මේ වන විට දින 25 ක් ක කාලයක් සියලු දෙනා මෙම නෞකාවේ රැදි සිටින අතර කිසිදු කොරෝනා ආසාදිතයෙක් නෞකාවෙන් වාර්තා වී නොමැති වීම විශේෂත්වයක්.

මෙම නෞකාවට සැපයුම් ලබා ගැනීම සඳහා හෙට (06) අලුයම 6 ට පමණ කොළඹ වරායට පැමිණ පැය 3 ක කාලයක් රැදි සිටින බවත් එහිදි ශ්‍රී ලංකාවට තමාව භාර ගන්නා ලෙසත් අනුර බණ්ඩාර මහතා ඉල්ලීමක් කරනවා.

මේ අවස්ථාවේදි තමාට ලංකාවට ඒමට බැරි වුවහොත් නැවත යුරෝපයට යෑමට සිදුවන බවත් ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීම ඉතාමත් අපහසු බවත් ඔහු පවසනවා.

තමාව හෙට (06) දිනයේදි ලංකාවට ලබා ගැනිමට කටයුතු කරන ලෙසත් තමා මාසයක් දෙකක් හෝ නිරෝධායනයට යොමු වීමට කැමැත්ත ප්‍රකාස කර සිටින්නට කැමැති බවද අනුර බණ්ඩාර මහතා කියා සිටියා.

මෙහි අනිකුත් රටවල් වන ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියාව වැනි රටවල් වල පිරිස් ලබා ගැනිම සඳහා එම රටවල් වල ගුවන් යානා ලබා දුන්නත් එකම ශ්‍රී ලාංකිකයා වන තමාට එවැනි කාර්‍යක් මෙරටට කිරිමට අපහසු වන බැවින් හෙට (06) දිනයේදි මෙරට වරායට පැමිණි පසු රටට ලබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවද සඳහන් කරනවා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

06-04-2020

+++++++++++++++++++++

06-04-2020

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායනය වී පැමිණි අයෙකුට දින 10 කට පසු කොරෝනා

(05.04.2020 – 06:47 +0530 – truenews.lk)

කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය 24 වැනදා සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින් කලුතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා.

අනාවරණයවිමෙන් පසු එම පුද්ගලයා සමග බස් රථයේ පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ හය (06) දෙනෙකු ද පරික්ෂණ සඳහා ඊයේ (04) දින රෝහල් ගත කර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.

මෙම හය (06) දෙනාගෙන් එක් අයෙකු මාතර කොටවිල රෝහලටද අනෙක් පස් දෙනා කරාපිටිය රෝහලටද ඇතුලත් කර තිබෙනවා.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ මෙම හය (06) දෙනාටද කොරෝනා වෛරසය වැළඳි ඇතිදැයි තහවුරු කර ගැනිම සඳහා පී.සි.ආර්.පරික්ෂණය කිරිමට මෙසේ රෝහල් ගත කල බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාවේ හදිසි ගින්නක්

(05.04.2020 – 11:37 +0530 – sinhala.adaderana.lk)

අද (05) උදෑසන 11.15 ට පමණ කුරුණෑගල රෝහ‍ලේ ඖෂධ ගබඩාවේ හදිසි ගින්නක් හට ගෙන තිබේ.

කුරුණෑගල පොලීසිය හා කුරුණෑගල ‍නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටියි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ද පොලීසි පවසයි.

කුරුණෑගල‍ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

කුරුණෑගල රෝහලේ ගින්නට හේතුව රසායනිකයක් – 4 දෙනෙකු බේරා ගැනේ (විඩියෝ)

(05.04.2020 – 19:46 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාවේ අද (05) පෙරවරුවේ ඇති වූ ගින්න ගින්න එහි තිබූ රසායනික ද්‍රව්‍යයක් නිසා සිදුවූවක් බවට අනාවරණ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඖෂධ ගබඩාවේ සේවය කළ සෞඛ්‍ය කාර්ය සහකයෙකු විසින් අධි සාන්ද්‍රණයෙන් යුත් විෂබීජ නාශකයක් වන ටී.සී.එල්. නැමති රසායනික ද්‍රව්‍ය අඩංගු භාජන 4 ක් ලබාගෙන ඒවා රැගෙන යාමට සූදානම් වන අවස්ථාවේදී එම භාජනය තුළින් හදිසි ගින්නක් හටගෙන ඇති බවයි.

එම ගින්න නිවීමට ජලය යෙදූ අවස්ථාවේදී ජලය සමඟ රසායනිකය ප්‍රතික්‍රියා කර මෙම ගින්න හටගෙන බිම් මහලේ කාමර 3 ක සහ කොරිඩෝවේ ගබඩා කර තිබූ ඖෂධ අඩංගු පෙට්ටිවලට ගිනි ඇවිලී විනාශ වී තිබෙනවා.

ගින්න හට ගන්නා අවස්ථාවේ ගොඩනැගිල්ලේ තුන්වන මහලේ සිර වී සිටි රෝහල් කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් සිව් දෙනෙකු ද නිරුපද්‍රිතව ඉවත් කර ගැනීමට කටයුතු කරනු ලැබුවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

අප්‍රේල් 6 සිට 10 තෙක් රාජ්‍ය හා පෞද්ගලික අංශ සඳහා නිවසේ සිට වැඩකරන කාලයක්

(05.04.2020 – 12:49 +0530 – sinhala.adaderana.lk)

හෙට(06) අප්‍රේල් 06 සඳුදා සිට 10 සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

කළින් සතියද නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස නම් කර තිබිණ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනා ගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

සෙසු සියලු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට උදේ 6.00 ට ලිහිල් කෙරෙන අතර, එදිනම (06) දහවල් 2.00 සිට යළි පනවනු ලැබේ.

මේ දිස්ත්‍රික්කවලට පැනවෙන ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධව පසුව දැනුම් දෙනු ලැබේ.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.

කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ.

කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

+++++++++++++++++++++++++++++++++++

ඔස්ට්‍රේලියානු අගමැති කී පරිදි එරට සිටින ලංකාවේ සිසුන්ට සිදුවන දේ – මහකොමසාරිස් දන්වයි

(05.04.2020 – 16:13 +0530 – truenews.lk)

පසුගියදා ඔස්ට්‍රේයානු අගමැති මොරිසන් මහතා ජාතිය අමතා කළ ප්‍රකාශයේදී එරට සිටින මූල්‍ය ශක්තිය අඩු විදෙස් සංචාරකයින් හා විදෙස් සිසුන්ට මේ කරදරකාරී අවස්ථාවේ රටින් පිටවන ලෙස දන්වා සිටි අතර අනතුරුව විවිධ මාධ්‍ය ඔස්සේ එම ප්‍රකාශය විවිධ ආකාර වලින් විස්තර කෙරිණි.

මේ අතර දැනට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරණ ශ්‍රී ලාංකික සිසුන්ගේ දෙමාපියන්ද කලබලවී ඒ ගැන විමසීම් කර තිබුණි.

මෙම කාරණාව සම්බන්ධව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේයානු මහකොමසාරිස් ඩේවිඩ් හොලී මහතා නිල වශයෙන් පැහැදිලි කිරීමක් කර තිබේ. එය පහත දැක්වේ :

+++++++++++++++++++++++++++++++++++

වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ගෙවීම – අප්‍රේල් 06 වැනි සඳුදා

(05.04.2020 – 16:25 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අවදානම හේතුවෙන් වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවීමට සැලසුම් කර ඇති දීමනාව හෙට (06) ගෙවා නිම කිරීමට රජය තීරණය කර තිබෙනවා.

දැනට මෙම දීමනාව ලබන ආබාධිත සහ වකුගඩු රෝගීන් සහ පොරොත්තු ලේඛනවල සිටින පුද්ගලයින් සියළු දෙනාට රුපියල් 5000 ක් වූ එම දීමනාව නිවසටම ගොස් ගෙවීමටයි සැලසුම් කර ඇත්තේ.

දැනට අප්‍රේල් මාසය සඳහා රුපියල් 2000 ක වැඩිහිටි දීමනාව ගෙවා ඇති සියළුම වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා තවත් රුපියල් 3000 ක අමතර මුදලක් හෙට (06) දිනයේ ගෙවීමට නියමිතයි.

සමෘද්ධි දීමනා ඇතුළු අනෙකුත් දීමනා ගෙවීමේ වැඩපිළිවෙල අනිද්දා (07) සිට ක්‍රියාත්මක වනු ඇති ෴

+++++++++++++++++++++++++++++++++++

අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසට ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුවෙන් වැඩපිළිවෙලක්

(05.04.2020 – 15:38 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දී ඇති ගැටලුවලට සහනයක් ලෙස ලබා දීමේ අරමුණින් අමාත්‍ය බන්දු ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි ආරම්භා කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම බෙදීමෙ සේවාව කඩිනම් කිරීමට කටයුතු යොදා තිබේ.

මෙම අවස්ථාවේ පීඩාවට පත්වී ඇති අප රටේ ජනතාවට තම දෛනික කටයුතු සඳහා වන අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම සැපයීම සඳහා රට පුරා විසුරුණු අප තැපැල් කාර්යාල ජාලයද ශක්තිමත්ම සූදානමව පවිතින බව තැපැල්පති පවසයි.

ඒ අනුව අලෙවිය වෙනුවෙන් සූදානම් කර ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ කඩිනමින්, සෞඛ්‍යාරක්ෂිතව පාර්භෝගිකන් වෙත් භාරදීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව හා එක් වන මෙන් සියලුම සුපිරිවෙළඳසැල් හිමියන් වෙත ආරාධනා කර තිබේ.

ඔබේ එක්වීම ළඟම තැපැල් කාර්යාලයට හෝ පහත දුරතථන අංක මගින් මුලාස්ථාන මෙහෙයුම් ඒකකයට දන්වන මෙන් තැපැල් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

නිලන්ති – 071 809 8700, දිනුෂා – 071 443 1624, චන්න – 071 819 4214, අනිල් – 071 819 4224, උත්පල – 071 880 7921‍, අස්මීන් – 076 100 2005 (දෙමළ භාෂාව)

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

පරීක්ෂණ ක්‍රමවේදයන් පුළුල් කළ යුතුයි – GMOA

(05.04.2020 – 14:37 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරස තත්ත්වය පාලනය කිරීම සඳහා ඉදිරි කාලය ඉතා වැදගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොවිඩ් 19 ආසාදිතයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු මේ වන විට තීව්‍ර කර ඇති බවත් ඒ මහතා පවසයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ කොවිඩ් 19 ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රමවේදයන් පුළුල් කළ යුතු බවයි.

ඒ අනුව රුධිර සාම්පල ලබා ගැනීම හරහා සිදුකරන ‘රැපිඩ් ටෙස්ට්’ හෙවත් ‘ක්ෂණික පරීක්ෂණය’ මඟින් කඩිනමින් රෝගීන් හඳුනාගත හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 170 ක් වෙයි

(05.04.2020 – 16:45 +0530 – sinhala.adaderana.lk)

මෙරටින් වාර්තා වන, කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ්-19 වෛරසය තවත් ආසාදිත රෝගීන් තිදෙනෙකු අද (05) හඳනාගැනීමට හැකි වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර කොවිඩ් 19 රෝග ලක්ෂණ ඇත්නම් 1390 දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන්ගෙන් 29 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වෛරසය හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් ගණන 05 දෙනෙකි.

ඊයේ පස්වරුවවන විට නව ආසාදිතයින් 07 දෙනෙකු හමුවීමත් සමඟ මෙරටින් වාර්තා වන, කොවිඩ් 19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 166 ක් දක්වා ඉහළ ගියේය.

තවත් රෝගීන් 136 දෙනෙකු මෙවනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබයි.

වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන පිරිස 273 කි ෴

+++++++++++++++++++++++++++++++++++

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පල කිරීම පිළිබඳ CID යට පැමිණිල්ලක්

(05.04.2020 – 16:52 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් 19 වෛරස ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහ පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පල කර ඇති ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පවසයි.

කොළඹදී ඊයේ (04) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.

සමාජ වෙබ් අඩවියක “මුස්ලිම් දේහයන් ආදාහනය කිරීමට අගමැතිගෙන් විශේෂ කමිටුවක්” යනුවෙන් පුවතක් පල කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අංශවල ප්‍රධානීන් නියම කළ ආකාරයට මළ සිරුරු ජාතින් අතර භේදයකින් තොරව සියලුම දෙනා ආදාහනය කරන ලෙස පැහැදිලි තීන්දුවක් ගෙන ඇති පසුබිමක මෙසේ පළ කරන අසත්‍ය පුවත් සම්බන්ධව පැමිණිල්ලක් සිදු කළ බවත් ඒ මහතා පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න වැලිකන්ද රෝහලට රොබෝවක් (විඩියෝ)

(05.04.2020 – 16:58 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව, වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාධිත රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු පහසු කිරීම සඳහා නිර්මාණය කළ රොබෝවක් අද (05) එම රෝහලට භාරදුන්නා.

පෞද්ගලික ආයතනයක් විසින් මෙම රොබෝව නිරිමාණය කර, භාරදීම සිදුකෙරුනේ පොළොන්නරුව මහ රෝහලේදීයි.

කොරෝනා රෝගීන්ට අවශ්‍ය ආහාර පාන ආදිය සැපයීම, වෛද්‍යවරුන්ට රෝගීන්ගේ තත්ත්වය පරික්ෂා කිරීම වැනි අවශ්‍යතා රැසක් මෙම රොබෝව උපයෝගී කරගනිමින් සිදුකර ගත හැකියි.

එකවර කිලෝ ග්‍රෑම් 60 ක බරක් මෙම රොබෝව උපයෝගී කරගෙන ප්‍රවාහනය කළ හැකි බවයි එහි නිර්මාණකරුවන් කියා සිටියේ.

මෙම රොබෝවක් විදේශ රටකින් ආනයනය කළ හොත් රුපියල් ලක්ෂ 50 ක පමණ මුදලක් වැය වෙන අතර දේශීයව නිර්මාණය කළ මෙම රොබෝව සඳහා පිරිවැය ලෙස වැය වී ඇත්තේ ලක්ෂ 05 ක පමණ මුදලක්.

+++++++++++++++++++++++++++++++++++

වැල්ලවායේ තරුණයෙකු, කොරෝනා රෝගීන්ට නිපද වූ යන්ත්‍රය

+++++++++++++++++++++

වැල්ලවායේ තරුණයෙකු අතින් නිමවූ කෘතිම ස්වසන යන්ත්‍රය

(05.04.2020 – 22:31 +0530 – sinhala.adaderana.lk)

වැල්ලවාය ප්‍රදේශයේ තරුණයෙකු විසින් කොවිඩ් 19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට කෘතිම ස්වසන යන්ත්‍රයක් නිපදවා තිබේ.

මෙම තරුණයා විසින් ඉවතලන ද්‍රව්‍ය සහ නිවසේ තිබූ ද්‍රව්‍ය කිහිපයක් උපයෝගී කර ගනිමින් මෙම යන්ත්‍රය නිපදවා ඇති අතර එය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව යන්ත්‍රය නිපද වූ තරුණයා පැවසීය.

මෙම උපකරණය විදෙස් රටකින් මෙරටට ලබා ගන්නේනම් රු. ලක්ෂ විස්සකට වඩා වැඩි මුදලක් වැය වන බවත් එය මෙරටටදී රුපියල් පහලොස් දහසක මුදලකට නිපදවීමට හැකි බවත් ඔහු පැවසීය.

මෙම උපකරණය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් විමේන් පසු විමල් වීරවංශ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් අදාල තරුණයාට අවශ්‍ය පහසුකම් ලබා දී යන්ත්‍රය වැඩි දියණු කිරීමට දායකත්වය ලබා දෙන බව ද පවසා ඇත.

මෙම යන්ත්‍රය නිරීක්ෂණය කිරීම සදහා අද (05) දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතාද පැමිණ තිබේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *