කො‍රෝනා ආසාදිතයින් ගණන 175 ක් වෙද්දි සුවය ලැබු ගණන 33 ක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කො‍රෝනා ආසාදිතයින් ගණන 175 ක් වෙද්දි සුවය ලැබු ගණන 33 ක් (විඩියෝ)

• ලොව පුරා කොරෝනා මරණ 65,603 ක් (විඩියෝ)

• ගත වූ පැය 24 තුළ ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 552ක් අත්අඩංගුවට (විඩියෝ)

• කොරෝනා නිසා ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයෙකු මරුට

• කොරෝනා ගැන ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් අත්අඩංගුවට (විඩියෝ)

• පුද්ගලික ‍රෝහල්වල හෝ ඖෂධ අලෙවිසැල්වල අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් නෑ – SLCPI

• ඇඳිරි නීතිය තවත් මාසයක් ? – මාස තුනක් දැඩි අවධානයකින්

• බැංකුවල ATM යන්ත්‍ර සහිත ජංගම රථ ‘ඔබේ නිවස අසළට එන’ වේලාවන් මෙන්න

+++++++++++++++++++++++++++++++++++

කො‍රෝනා ආසාදිතයින් ගණන 175 ක් වෙද්දි සුවය ලැබු ගණන 33 ක්

(05.04.2020 – 20:49+0530 – sinhala.adaderana.lk)

මේ වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 175 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට අද (05) දිනයට පමණක් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වී ඇත.

මේ අතර කොරෝනා ආසාදිත පුද්ගලයින් සිව් (04) දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව රෝගය ආසාදනය වූ පුද්ගලයින් 33 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 05 ක් වෙයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ලොව පුරා කොරෝනා මරණ 65,603 ක් (විඩියෝ)

(05.04.2020 – 19:53 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව දොළොස් ලක්ෂ 14,487 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාව ද 65,603 ලෙසයි දැක්වෙන්නේ. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව තුන්ලක්ෂ 11,637 ක්.

එමෙන්ම, ඇමරිකාවේ මරණ සංඛ්‍යාව ද දැක්වෙන්නේ 8454 ක් ලෙසයි.

ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් වාර්තා වී ඇති නව මරණ සංඛ්‍යාව 1224 ක් වන අතර, ඉන් මරණ 630 ක් ම වාර්තා වී ඇත්තේ නිව්යෝක් ප්‍රාන්තයෙන්.

එම ප්‍රාන්ත පොලීසියේ 1400 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.

එමෙන්ම, බොස්ටන් හි සෞඛ්‍ය සේවකයන් 700 කට අධික පිරිසකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පවතින තත්ත්වය හමුවේ මාධ්‍ය අමතමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉදිරි දෙසතිය තීරණාත්මක කාලසීමාවක් බවයි.

එම කාලය තුළ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගනු ඇති බවට ඔහු අනතුරු අගවා තිබෙනවා.

එමෙන්ම කොරෝනා වෛරසයට ගොදුරු වූ බොහෝ පිරිසකට දිවි ගලවා ගැනීම සඳහා කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර ලබාදීමට ප්‍රාන්ත රජයන් කටයුතු කර නොමැති බවට ද ජනපති ට්‍රම්ප් චෝදනා කළා.

මේ අතර, ධවල මන්දිරයේ වෛද්‍ය විශේෂඥයන් අනාවැකි පළ කරන්නේ ලක්ෂයත්, දෙලක්ෂ 40,000 ත් අතර, ඇමරිකානුවන් පිරිසක් මිය යා හැකි බවටයි.

කොරෝනා ගණයට අයත් වෛරසයක් අත්හදා බැලීමට චීනයේ වූහාන් හි රසායනාගාරයක් නිර්මාණය කිරීමට සිය දැනුම මුදල් වලට විකිණීම සහ ඊට අදාළ තොරතුරු ඇමරිකානු බුද්ධි අංශවලට වසන් කිරීමේ චෝදනා මත ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ රසායන සහ ජීව විද්‍යා අංශයේ ප්‍රධාන විද්‍යාඥවරයා වන චාල්ස් ලීබර් නැමති වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාර්යය වෙනුවෙන් වෛද්‍ය ලීබර්ට මාසිකව ඇමරිකානු ඩොලර් 50,000 බැගින් සහ එක්ලක්ෂ 58,000 බැගින් මුදල් ලැබී ඇති බවට ඔහුගේ බැංකු ගිණුම් පරීක්ෂාවේදී අනාවරණ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇමරිකාවට පසු වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් වන අතර, එම සංඛ්‍යාව එක්ලක්ෂ 30,759 ක්. මරණ සංඛ්‍යාව ද 12,418 ක් ලෙස දැක්වෙන්නේ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන ඉතාලියේ මරණ 15,362 කට දෙවැනි වෙමින්.

ජර්මනියේ ද ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂයට ආසන්න වී ඇති අතර එම සංඛ්‍යාව 96,108 ක්. බ්‍රිතාන්‍යයෙන් මේ වන විට ආසාදිතයන් 42,479 ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 4000 ඉක්මවා තිබෙනවා.

මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ගර්භනී පෙම්වතිය වන කෙරී සයිමන්ට ද කොරෝනා රෝග ලක්ෂණ පැවති බව ඇය අද අනාවරණ කළා. මැදපෙරදිග කලාපයේ වෛසරයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ඉරානයෙන් ආසාදිතයන් දිනෙන් දින වැඩි වශයෙන් වාර්තා වීම සැලකිල්ලට ගනිමින් එරට උත්සව ශාලා තාවකාලික රෝහල් බවට පත් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

මලාවි රාජ්‍යයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ සියළු අමාත්‍යවරුන් සිය වැටුපෙන් සියයට 10 ක කප්පාදුවකට එකඟ වී ඇත්තේ කොරෝනා වෛරසයට එරෙහිව සිදුකරන ක්‍රියාන්විතයට ශක්තියක් වීමේ අරමුණෙන්.

අසල්වැසි ඉන්දියාවේ ද කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3588 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව ද වාර්තා වන්නේ 99 ක් ලෙසයි.

+++++++++++++++++++++++++++++++++++

ගත වූ පැය 24 තුළ ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 552ක් අත්අඩංගුවට (විඩියෝ)

(05.04.2020 – 19:48 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 තුළ පොලිස් ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 552 දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 20 වනදා සිට මේ දක්වා, ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගත් පිරිස 14,268 ක් බවයි පොලිසිය කියා සිටියේ.

අදාළ කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 3,563 ක්.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා නිසා ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයෙකු මරුට

(05.04.2020 – 18:31 +0530 – hirunews.lk/sinhala)

ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයෙකු, කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් එරට මෙල්බන් නුවරදී මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවරුදු 52 ක් වු ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි සුමිත් ප්‍රේමචන්ද්‍ර නැමැත්තෙක් ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ගැන ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් අත්අඩංගුවට (විඩියෝ)

(05.04.2020 – 18:17 +0530 – hirunews.lk/sinhala)

covid 19 සම්බන්ධයෙන්, සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 44 ක් හැවිරිදි වාද්දුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

+++++++++++++++++++++++++++++++++++

පුද්ගලික ‍රෝහල්වල හෝ ඖෂධ අලෙවිසැල්වල අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් නෑ – SLCPI

(05.04.2020 – 20:15 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ පුද්ගලික සෞඛ්‍ය අංශය තුළ එනම් පුද්ගලික රෝහල් හා පුද්ගලික ඖෂධ අලෙවිසැල්වල කිසිදු අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නොමැති බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය (SLCPI) පවසයි.

එම සංගමයේ සභාපති කස්තුරි චෙල්ලරාජා විල්සන් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

වෙළඳපොළේ ඖෂධ හිඟයක් ඇති බවට මාධ්‍ය තුළ පැතිර යන කටකතා අසත්‍ය බවද ඒ මහතා පවසයි.

එවැනි ඖෂධ හිඟතාවයක් නොමැති බැවින් අනියත බියක් ඇති කර ගැනීමට අනවශ්‍ය බව ද සභාපතිවරයා සඳහන් කරයි.

අවම වශයෙන් මාස දෙකකට හෝ ඊටත් වැඩි කාලයක් සඳහා අත්‍යාවශ්‍ය ‍ඖෂධ තොග සියලුම ප්‍රධාන ඖෂධ ආනයනකරුවන් සතුව පවතින බව ද ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය පවසයි.

ශ්‍රී ලංකාව යනු කුඩා වෙළඳපොළක් වන බැවින් ලෝකය පුරා පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගම් සමඟ මෙම සංගමයේ සාමාජිකයන් අතර විශිෂ්ට සබඳතාවයක් පවතින බවද සභාපතිවරයා ‍පෙන්වා දෙයි.

එමෙන්ම ඔවුන් සියලු දෙනාම ජාතික ඖෂධ නියමන අධිකාරීයේ ලියාපදිංචි වී ඇති නිසාත් ඖෂධ තොග අවසන් නොවන බවට සහතික වන බවත් කස්තුරි චෙල්ලරාජා මහතා පවසයි.

දැනට පවතින ඇඳිරි නීතිය හේතුවෙන් පිට පළාත්වලට ඖෂධ බෙදා හැරීමේ බාධා සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හා පොලීසියේ සහාය ඇතිව එය විසඳා ගත් බවත් එම සංසදය සඳහන් කරයි.

එමෙන්ම ඖෂධ ගබඩා කිරීමේ දී ඒ පිළිබඳ දැන සිටීම ඉතා වැදගත් බවත් අවධාරණය කර සිටින සභාපතිවරයා, ඖෂධ අතිරික්ත නිවසේ නිවැරදි ලෙස ගබඩා කිරීමට අපොහොසත් වීම එහි ක්‍රියාකාරීත්වයට බලපෑ හැකි බවත් පෙන්වා දෙයි ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය තවත් මාසයක් ? – මාස තුනක් දැඩි අවධානයකින්

(06.04.2020 – 07:36 +0530 – truenews.lk)

කොවිඩ් – 19 හෙවත් කොරෝනා වයිරසයේ බරපතළකම පිළිබඳව තවදුරටත් ලෝකයේම වෛද්‍ය අංශ පර්යේෂණ කරන නිසා මෙම වයිරසය ආසාදනය වී ඇති වන සංකූලතාව හේතුවෙන් ඕනෑම වයස් සීමාවක පුද්ගලයකු මරණයට පත්වීමේ හැකියාව පවතින බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.

කොරෝනා වයිරසයට කිසිදු ඖෂධයක් තවමත් සොයාගෙන නොමැති නිසා මෙම භයානක වයිරසයට ගොදුරු නොවී සිටීම මේ අවස්ථාවේදී ගතහැකි හොඳම ක්‍රියාමාර්ගය බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරනවා.

ඕනෑම වයස් කාණ්ඩයක නිරෝගී කෙනකුට වුවද කොරෝනා වයිරසයට ගොදුරුවීමෙන් ඇතිවන සංකූලතාව හේතුවෙන් මරණයට පත්වීමට හැකි නිසා සියලුම දෙනා ආරක්ෂිත උපදෙස් පිළිගෙන තම නිවෙස්වලට වී කටයුතු කරන ලෙස තමා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවා.

අත්‍යවශ්‍ය සේවා බොහෝදුරට නිවාසවලටම ලැබෙන ක්‍රියාවලියක් සිදුවන නිසා අවම වශයෙන් අප්‍රේල් මාසය අවසන් වනතුරු සියලුම දෙනා තම නිවාසවලම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිගෙන සිටීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරනවා.

ඒ අනුව ඇඳිරි නීතිය මේ පවත්වාගෙන යන ආකාරයෙන් අවම වශයෙන් තව මාසයක කාලයක්වත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව ප්‍රබලව මතුවී තිබෙන බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

ඊට අමතරව තවත් මාස තුනක කාලයක් පුරාවට සමාජය දැඩි අවධානයකින් සිටිය යුතු බවත් කොරෝනා අවසන් ආසාදිතයා හඳුනාගන්නාතුරු එම අවධානය සමාජය තුළ තිබිය යුතු බවත් එසේ නොවුණහොත් යළිත් යම් පුද්ගලයකුගෙන් කොරෝනා වයිරසය ව්‍යාප්තවීමේ අවදානමක් ඇතිවිය හැකි බවත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.

ඇඳිරි නීතිය මේ අවස්ථාවේදී ක්‍රියාත්මක කරනු ලබන්නේ ජනතාවට නීතිමය රැකවරණයක් ලබාදීමට බවත් නිසි සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස්වලට රටේ පොදු මහජනතාව පෙලඹවීම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ බවත් ඊට ජනතා සහයෝගය මේ අවස්ථාවේදී අත්‍යවශ්‍ය වන බවත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා ෴

+++++++++++++++++++++++++++++++++++

බැංකුවල ATM යන්ත්‍ර සහිත ජංගම රථ ‘ඔබේ නිවස අසළට එන’ වේලාවන් මෙන්න

(06.04.2020 – 10:12 +0530 – truenews.lk)

බැංකු විසින් සිය ජංගම රථ අද (06) දිනයේ මහජනතාවගේ අවශ්‍යතා සඳහා ගමින් ගමට පිටත් කිරීමට නියමිතයි.

= ඒ පිළිබඳව තොරතුරු =
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *