ඊයේ (05) වාර්තාවූ කොරෝනා ආසාදිතයින් නව (09) යෙන් 03 ක් පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බවට අනාවරණය වෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ඊයේ (05) වාර්තාවූ කොරෝනා ආසාදිතයින් නව (09) යෙන් 03 ක් පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බවට අනාවරණය වෙයි

• දිස්ත්‍රික්ක 19 ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට (විඩියෝ)

• තරුණයෙකු මියයෑමත් සමඟ අරණායක ගමන් බිමන්වලට සීමා

• අලුත් අවුරුදු සතියේ මෙරට කොරෝනා ආසාදිතයන් 250 ක් විය හැකි බවට ඉඟියක්

• අපේක්ෂා රෝහල් කාර්යය මණ්ඩලයේ 14 ක් නිරෝධායනයට (විඩියෝ)

• සුපිරි නෞකාවේ සිටි ශ්‍රී ලාංකීක තරුණයා මව්බිමට පැමිණ කියු දේ (විඩියෝ)

• ඉතාලියේ MSC මැග්නිෆිකා නෞකාවේ සිටි විදෙස් කතක් කොළඹ ජාතික රෝහලට (විඩියෝ)

• මැග්නිෆිකා නෞකාවේ සිටි ජර්මානු ජාතික හදවත් රෝගී කතක් ගොඩබිමට

• බැංකු අසළ දිගු පෝළිම් – තම ATM කාඩ්පත පෙන්වා ළගම ඇති බැංකු ශාඛාවට යාමට අවසර ලබාදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

• ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහය

• යූ ටියුබ් සෙට් එකම එක්වී හැදූ කොරෝනා විඩියෝව චූටි මල්ලී අතින් හමුදාපතිට (විඩියෝ)

• දුමක් අල්ලා කැඳක් පොවා දින 3 න් කොරෝනා සුව කළ හැකි බව ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍යවරුන් සොයා ගනී (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ඊයේ (05) වාර්තාවූ කොරෝනා ආසාදිතයින් නව (09) යෙන් 03 ක් පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බවට අනාවරණය වෙයි

(06.04.2020 – 13:13 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් හමුවූ කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් 176 මට්ටමේ පවතිනවා.

වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන රෝගීන් 259 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන්නේ රෝහල් 32 කයි.

ඊයේ (05) පස්වරුව වනවිට රෝගීන් 9 දෙනෙකු අලුතින් වාර්තාවුණා.

ඔවුන්ගෙන් තුන්දෙනෙකු (03) පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින්.

එසේම ඊයේ (05) ජාඇළ – දෑලතුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුලුවූ පුද්ගලයෙකුට ප්‍රදේශවාසීන් විසින් පහරදී පමුණුගම පොලීසියට භාරදී තිබෙනවා.

අනතුරුව සැකකරු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කළ පරීක්ෂාවේදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වූ බවයි රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ වනවිට එම පුද්ගලයා අයි.ඩී.එච්. රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

එමෙන්ම පිළියන්දල – කහපොළ ප්‍රදේශයේ පවුලක පුද්ගලයින් හයදෙනෙකු (06) පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරනු ලැබුවේ එම පවුලේ සාමාජිකයෙකු, කොරෝනා ආසාදිතයෙකු වාර්තාවූ කළුබෝවිල ශික්ෂණ රෝහලේ පස්වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබා තිබීම හේතුවෙන් ෴

+++++++++++++++++++++++++++++++++++

දිස්ත්‍රික්ක 19 ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

(06.04.2020 – 06:14 +0530 – sinhala.adaderana.lk)

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 19 සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද (06) පෙරවරු 6 ට ඉවත් කෙරුණි. අද (06) පස්වරු 2 ට එම ප්‍රදේශ සඳහා යළිත් ඇඳිරි නීතිය පැනවෙනු ඇත. එය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි.

මේ අතර, අද (06) සිට ලබන 10 වන සිකුරාදා දක්වා කාලය නිවසේ සිට වැඩකරන තවත් කාලසීමාවක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක 19 සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද (06) පෙරවරු 6 ට ඉවත් කිරීමත් සමඟ එම ප්‍රදේශවල ජනතාව වෙළෙඳ සැල්, ඔසුසැල් හා බැංකු වෙත පැමිණෙන ආකාරය දක්නට ලැබුණි.

එමෙන්ම ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සේවා සැපයීමට ද රජය සියලු විධි විධාන ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

තරුණයෙකු මියයෑමත් සමඟ අරණායක ගමන් බිමන්වලට සීමා

(06.04.2020 – 12:58 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අධි අවධානම් කලාපය හැර ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශ රැසක දැඩි තදබදයක් පවතින බව වාර්තාවනවා.

ඇතැම් ප්‍රදේශවල ජනතාව, රජය විසින් ලබාදී ඇති ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන නමුත් ඇතැම් ස්ථානවල එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම දිවයින පුරා ඖෂධ අලෙවිසැල් අසළ අදත් දිගු පෝලිම් දක්නට ලැබුණා.

එක් පවුලකින් එක් අයෙකුට පමණක් භාණ්ඩ මිලදී ගැනීම ඇතුලු අත්‍යාවශ්‍ය කටයුතු සඳහා නිවසින් බැහැරවීමට ග්‍රාම නිලධාරීන් හරහා අවසර පත්‍රයක් ලබාදී ඇති බව සූරියවැව හිරු වාර්තාකරු නුවන් ජයසේකර මහතා සඳහන් කළා.

එමෙන්ම හැටන් නගරයේ වෙළඳසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු රංජිත් රාජපක්ෂ මහතා කියා සිටියේ.

ඊයේ (05) කොරෝනා ආසාදිතයෙකු හමුවීමෙන් පසුව මාතර – අකුරැස්ස ප්‍රදේශයේ ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා නගරයට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි හිරු වාර්තාකරු අජිත් ලංකාතිලක මහතා කියා සිටියේ.

කෑගල්ල දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය අද උදෑසන හයට ඉවත් කෙරුණද අරණායක සෞඛ්‍ය බල ප්‍රදේශය තුළ ගමන් බිමන්වලට සීමා පනවා තිබෙනවා. ඒ අරණායක – කළුගල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු සැකකටයුතු ආකාරයට මිය යෑමත් සමගයි.

මෙම සිද්ධියත් සමඟ අරණායක සෞඛ්‍ය බල ප්‍රදේශයේ ගමන් බිමන් සීමා කර ඇති බව පොලීසිය සහ අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් ප්‍රදේශවාසීන් දැනුවත් කළේ මෙලෙසයි.

කෙසේ වෙතත් අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා කියා සිටියේ මියගිය තරුණයාගේ සිරුරු කොටස් මේ වනවිට පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

අලුත් අවුරුදු සතියේ මෙරට කොරෝනා ආසාදිතයන් 250 ක් විය හැකි බවට ඉඟියක්

(06.04.2020 – 12:52 +0530 – hirunews.lk/sinhala)

ලබන 17 වනදා වනවිට මෙරටින් කොරෝනා රෝගීන් 250 ක් පමණ වාර්තාවිය හැකි බවට පුරෝකථනය වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් සංචාරණ සීමා ඇතුලු සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීම තුළ මෙරට කොරෝනා ව්‍යාප්තිය අවම කරගත හැකි බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

මේ අතර හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අද එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කොරෝනා රෝගීන් තහවුරු කර ගැනීමට සිදු කෙරෙන පරීක්ෂණ වැඩිදියුණු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිළි කළා.

මේ අතර කොවිඞ් 19 වෛරසයේ ජාන, නිස්සාරණය කරගැනීම සඳහා පර්යේෂණ කට්ටලයක් මෙරටදී වැඩිදියුණු කර තිබෙනවා.

ඒ, කොළඹ විශ්වවිද්‍යාලයේ අනුකජීව හා ජෛව රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රනිල් දසනායක මහතා ඇතුලු විශේෂඥයින් කණ්ඩායමක් විසින්.

මහාචාර්ය රනිල් දසනායක මහතා සඳහන් කළේ දැනට මෙම පරීක්ෂණ කට්ටලය විදේශ රටවලින් ගෙන්වන අතර, ඒ සඳහා ලක්ෂ 3 කට ආසන්න මුදලක් වැයවන බවයි.

එහෙත් දේශීය වශයෙන් නිපදවන මෙම කට්ටලය රුපියල් අසූ පන්දහසකට ආසන්න මුදලකට ලබාදිය හැකි බවද මහාචාර්යවරයා කියා සිටියා ෴

+++++++++++++++++++++++++++++++++++

අපේක්ෂා රෝහල් කාර්යය මණ්ඩලයේ 14 ක් නිරෝධායනයට

(06.04.2020 – 13:32 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණ සත්‍ය තොරතුරු වසන් කරමින් ප්‍රතිකාර ගැනීම හෙතුවෙන් එම රෝහල් වෛද්‍යවරුන් සිව් දෙනකු ඇතුළු කාර්ය මණ්ඩල 14 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබේ.

මෙරටින් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමු වූ දින සිට අදට දින 27 ක් ගත වී ඇති අතර මේ වන විට වෛරස් ආසාදිතයින් 176 දෙනකු හඳුනාගෙන තිබේ.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 10 දෙනෙකු ඊයේ (05) දිනයේ අලුතින් වාර්තාවූණි.

මේ වන විට වෛරසයෙන් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටවගොස් සිටින පිරිස 34 ක් වන අතර වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් අති පුද්ගලයින් සංඛ්‍යාව 5 කි.

කෙසේවෙත් රෝගීන් 138 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 259 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.

මේ අතර කොවිඩ් 19 වෛරස අසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන ‘පී.සි.ආර් පරීක්ෂණය’ සම්බන්ධයෙන් වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ‘අද දෙරණ’ට අදහස් පලකළා ෴

+++++++++++++++++++++++++++++++++++

සුපිරි නෞකාවේ සිටි ශ්‍රී ලාංකීක තරුණයා මව්බිමට පැමිණ කියු දේ

(06.04.2020 – 13:14 +0530 – sinhala.adaderana.lk)

ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරන එම්.එස්.සී. මැග්නිෆිකා මගී නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සූපවේදියා අද (06) පෙරවරුවේ මෙරටට ගොඩ බැස්සේය.

ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේ අදාල නෞකාවේ සිට නාවික හමුදාව භාරගත් මෙම සූපවේදියා, බූස්ස හි පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කරන බවයි.

ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරන එම්.එස්.සී. මැග්නිෆිකා නම් මගී නෞකාව ඉන්ධන ලබාගැනීමට අද කොළඹ වරායේ නැංගුරම් ලෑමට නියමිතව ඇති බැවින් මෙහි සිටින අනුර හේරත් නම් ශ්‍රී ලාංකික සූපවේදියා තමන්ට ශ්‍රී ලංකාවට ගොඩබැසීම සඳහා අවසර ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු එම ඉල්ලීම සිදුකළ අතර ඊයේ ‘අද දෙරණ’ 6.55 ප්‍රධාන පුවත් ප්‍රකාශය ඔස්සේ එය විකාශය කෙරුණි.

ඒ අනුව ජනාධිපතිවරයගේ උපදෙස් අනුව ඔස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරන එම්.එස්.සී. මැග්නිෆිකා මගී නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සූපවේදියා අද පෙරවරුවේ මෙරටට ගොඩ බැස්සේය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසා සිටියේ, මෙම තරුණයා නිසි ක්‍රමවේදයන්ට අනුකූලව පූර්ණ විෂබීජ හරණයට ලක් කරන බවයි.

ඉන් අනතුරුව දින 21 ක පූර්ණ නිරෝධායනයක් සඳහා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යැවු බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම්.එස්.සී.මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සූපවේදි අනුර හේරත් මහතා පවසා සිටියේ, ජනාධිපතිවරයාගේ පූර්ණ මැදිහත් වීම මත තමාට ලංකාවට පැමිණීමට හැකි වු බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහිදී විශාල වෙහෙසක් ගනු ලැබු බවත් පැවසු ඒ මහතා, තමාව ඉතා ආරක්ෂාකාරි ලෙස ඔවුන් ගොඩබිමට ගෙන ආ බවත් පැවසීය.

‘අද දෙරණ’ වෙබ් අඩවිය ඉතා ක්ෂණීකව මෙම පුවත වාර්තා කරමින් තමාට විශාල මෙහෙවරක් ඉටු කළ බවත් පැවසු ඒ මහතා, සියලු දෙනාටම ස්තූතිවන්ත වන බවද කියා සිටියේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා ගමන් ගත් සුඛෝපභෝගී මගී නෞකාවක සිටි ශ්‍රී ලාංකිකයෙකු ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදා සහාය

(06.04.2020 – news.navy.lk)

ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් සමාජ මධ්‍ය ඔස්සේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස පසුගිය දිනෙක ඉල්ලීමක් සිදු කර තිබූ අතර, ඒ අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ අනුමැතිය මත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සෘජු මැදිහත්වීම මත එම ශ්‍රී ලංකිකයා ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට අද (2020 අප්‍රේල් 06) නාවික හමුදාව කටයුතු කරන ලදි.

2020 ජනවාරි මස 05 වන දින මුහුදු සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබූ මගින් සහ කාර්ය මණ්ඩලය 2700කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම නෞකාව ලෝකය පුරා පැතිරී යන කොරෝනා වසංගතය හේතුවෙන් සිය සංචාරය ඕස්ට්‍රේලියාවේදි නවතා දැමිමට කටයුතු කරන ලද අතර, පසුව කිසිදු රටක වරායකින් මෙම නෞකාව බාර නොගැනීම හේතුවෙන් නෞකාවේ මව් ශාඛාව පිහිටා තිබෙන ඉතාලිය බලා පිටත් විමට ගමන් ආරම්භ කර ඇත.

නෞකාව ඉතාලිය බලා ගමන් කරන අවස්ථාවේදී ඉන්ධන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා කොළඹ වරාය ආසන්නයට පැමිණෙන බවත් එහිදී තමන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසත් එහි රාජකාරි සිදු කරනු ලැබූ එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර හේරත් මහතා විසින් සිදු කරන ලද ඉල්ලීමක් මත අතිගරු ජනාධිපති තුමාගේ මැදිහත්වීමෙන් මෙම පුද්ගලයා ගොඩ බිමට රැගෙන ඒම සඳහා අද (2020 අප්‍රේල් 06) අළුයම් කාලයේදී කොළඹ වරාය‍ට මුහුදු සැතපුම් 4.4 ක පමණ (කිලෝමීටර 09 කට) ආසන්නයට පැමිණි එම නෞකාව වෙත ලගා වූ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් එම ශ්‍රී ලාංකිකයා ආරක්‍ෂිතව ගොඩබිමට ගෙන ඒමට කටයුතු කරන ලදි. තවද මීට අමතරව මෙම මගී නෞකාවේ හෘදයාබාධයකින් ‍පෙළුනු වයස අවුරුදු 75 ක් වන ජර්මන් ජාතික කාන්තාවක්ද ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදි.

පසුව කොවිඩ් 19 මැඩලීමේ ජනාධිපති කාර්යසාධක බලකාය වෙත දැනුම් දීමෙන් පසු ඔවුන්ගේ උපදෙස් වලට අනුව සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රම වේදයන් අනුගමනය කරමින් මෙම පුද්ගලයා සහ රෝගී කාන්තාව වරාය පරිශ්‍රය තුළදීම පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමෙන් අනතුරුව අදාල පුද්ගලයා පමණක් දින 21 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා ආරක්‍ෂිත බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර රෝගී කාන්තාව ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත පිටත් කර යැවීමට කටයුතු කරන ලදි. තවද, මෙවැනි අවස්ථාවක් ඇති වුවහොත් ඒ සඳහා මුහුණදීම සඳහා මාර්තු මස 13 වන දින නාවික හමුදාව, වරාය අධිකාරිය සහ සුවසැරිය ගිලන් සේවය යන ආයතන ගනනාවක් සමග එකතුවී කොළඹ වරාය පරිශ්‍රය තුළදීම විධිමත් පෙරපුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. ලෝකයේ කිසිදු වරායකින් මෙම නෞකාව භාරගැනීමට කටයුතු කර නොතිබූ අවස්ථාවක එම නෞකාවේ සිටි එකම ශ්‍රී ලාංකිකයා මෙසේ ගෙන්වා ගැනීමට කටයුතු කිරීම ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප ආඩම්බර විය යුතු කරුණකි.

ඒ අනුව, මෙලෙස ගොඩබිමට ගෙන එන ලද එම නෞකාවේ සේවය කල අනුර බණ්ඩාර හේරත් මහතා විසින් ශ්‍රී ලංකා රජයට, අතිගරු ජනාධිපති තුමන්ට සහ නාවික හමුදාවට ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පල කර සිටින ලදි.

= සේයාරූ සහ විඩියෝ =

+++++++++++++++++++++++++++++++++++

ඉතාලියේ MSC මැග්නිෆිකා නෞකාවේ සිටි විදෙස් කතක් කොළඹ ජාතික රෝහලට (විඩියෝ)

(06.04.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

ඉතාලියේ MSC මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලංකා සූපවේදී අනුර හේරත් මහතා නාවික හමුදාව විසින් කොළඹ වරායට ආරක්ෂිතව රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළා.

එම අවස්ථාවේදී එම නෞකාව තුල අසනීප තත්ත්වයේ සිටි ජර්මානු ජාතික කාන්තාවක්ද නාවික හමුදාව විසින් මෙරටට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එම විදේශික කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අප සමඟින් පවසා සිටියේ.

මේ අතර ජාතික රෝහල ප්‍රකාශ කළේ අදාල විදේශීය කාන්තාව හෘදයාබාධයක් හේතුවෙන් ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

ඇයගේ තත්ත්වය බරපතල නොවන බවයි ජාතික රෝහල සඳහන් කළේ.

+++++++++++++++++++++

මැග්නිෆිකා නෞකාවේ සිටි ජර්මානු ජාතික හදවත් රෝගී කතක් ගොඩබිමට

(06.04.2020 – 12:54 +0530 – sinhala.adaderana.lk)

ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ සිටි ජර්මන් ජාතික කාන්තාවක්ද ගොඩ බිමට ගෙන්වා ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් සමාජ මධ්‍ය ඔස්සේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස පසුගිය දිනෙක ඉල්ලීමක් සිදු කර තිබූ අතර, ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අනුමැතිය හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සෘජු මැදිහත්වීම මත එම ශ්‍රී ලංකිකයා ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට අද (06) නාවික හමුදාව කටයුතු කර තිබේ.

මීට අමතරව මෙහි සිටි රෝස්මෙරි මාග්‍රට් නම් වූ 75 වියැති ජර්මානු ජාතික හදවත් රෝගී කාන්තාවක්ද ප්‍රථිකාර සඳහා ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාව අත්තර් ජාතික නීතියට සහ සම්මුතීන්ට අනුව ශ්‍රී ලංකාව වග කියන සොයා බැලීමේ සහ මුදවා ගැනීමේ කළාපය (SARR) තුල අනතුරට හෝ හදිසි තත්වයන්ට මුහුණ පාන නෞකාවන් සඳහා ආධාර කිරීමේ වගකීමක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරී ඇත.

එසේ නමුත් දැනට ලෝකය පුරා පවතින සෞඛ්‍යමය තත්ත්වය මත වගකීමටත් එහා ගිය මානුෂීයත්වයකින් මෙම රෝගී වූ කාන්තාව ගොඩ බිමට රැගෙන ඒමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සෘජුව මැදිහත්ව ඇත.

මෙහිදී සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයක් තුල කොවිඩ් 19 මැඩලීමේ ජනාධිපති කාර්යය සාධක බළකායේ නියමයන්ටද අනුකූල වන ආකාරයට ගොඩබිමට රැගෙන ආ මෙම කාන්තාව වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කර තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

බැංකු අසළ දිගු පෝළිම් – තම ATM කාඩ්පත පෙන්වා ළගම ඇති බැංකු ශාඛාවට යාමට අවසර ලබාදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

(06.04.2020 – nethnews.lk)

තම ATM කාඩ්පත පෙන්වා ළගම ඇති බැංකු ශාඛාවට යාමට අවසර ලබාදෙන්නේ නම් එය වඩාත් වැදගත්වනු ඇතැයි ජනතාව පවසනවා.

නෙත් නිවුස් ඇමතූ බොහෝ පිරිසක් පැවසුවේ තම ප‍්‍රදේශවලට පැමිණෙන රථ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට තමන් සතුව මුදල් තිබිය යුතු බවයි.

එබැවින් ATM කාඩ්පත සහ ජාතික හැදුනුම්පත පෙන්වා ළගම පිහිටි බැංකු ශාඛාවට හෝ යාමට අවසර ලබාදෙන්නැයි ඇදිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල ජනතාව ඉල්ලා සිටිනවා.

ඒ අනුව ඇදිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල ජනතාවගේ පහසුව වෙනුවෙන් ජංගම බැංකු සේවා හෝ කි‍්‍රයාත්මක කළ හැකි දැයි නෙත් නිවුස් සොයා බැලීමක් කළා.

බැංකු ප‍්‍රධානීන් පැවසුවේ එක් එක් බැංකුව සතුව ඇත්තේ සීමිත ජංගම රථ බැවින් සම්පූර්ණ ප‍්‍රදේශ ආවරණ වන පරිදි ජංගම රථ යෙදවීමේදී ප‍්‍රායෝගික ගැටළු මතු විය හැකි බවයි.

ඇදිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශවලද අද (06) උදෑසන සිට දිගුපෝලිම් වැඩි වශයෙන් දක්නට ලැබුණේ බැංකු ශාඛා අසල බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ ෴

+++++++++++++++++++++++++++++++++++

ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහය

(06.04.2020 – nethnews.lk)

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ටේ‍්‍රලියාවේ අධ්‍යාපනය ලබන ශී‍්‍ර ලාංකික සිසුන් මුහුණපා සිටින ගැටළු සඳහා සහයවීමට එරට ජීවත් වන ශී‍්‍ර ලාංකික ප‍්‍රජාව මැදිහත් වී තිබෙනවා. ඒ අනුව කිසියම් ආර්ථික ගැටළුවක් හෝ වෙනත් සාමාජීය ගැටළුවක් වේ නම් එම සිසුන්ට උපකාර කිරීමටයි ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකික ප‍්‍රජාව දැනටමත් කටයුතු යොදා ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ මෙල්බන් ශාඛාවේ සභාපති, වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය රංජිත් ඉහලනායක මහතාගෙන් විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකික සිසුන් මේ දක්වා කිසිදු බරපතල ගැටළුවකට මුහුණපා නොමැති බවයි.

ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකික සිසුන් වෙනුවෙන් පහසුකම් සැලසීම සදහා දැනටමත් විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක බවත් අනවශ්‍ය කලබලයක් ඇතිකර ගත යුතු නැති බවත් ආචාර්ය රංජිත් ඉහලනායක මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

මේ අතර ඔස්ටේ‍්‍රලියාවේ සිටින ශී‍්‍ර ලාංකික සිසුන් සම්බන්ධයෙන් සිය රජය නම්‍යශීලිව කටයුතු කරන බවයි ශී‍්‍ර ලංකාවේ ඔස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් කාර්යාලය ද ඊයේ (05) පැවසුවේ.

විදෙස් සිසුන් වෙනුවෙන් ගත හැකි පියවර පිළිබද මේ වනවිටත් සොයා බලමින් සිටින බවයි එහි දැක්වෙන්නේ. සිය රට තුළ සිටින විදෙස් සිසුන් ඔස්ටේ‍්‍රලියානු සාමාජිකයින් ලෙස සළකන බවද ශී‍්‍ර ලංකාවේ ඔස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා ෴

+++++++++++++++++++++++++++++++++++

යූ ටියුබ් සෙට් එකම එක්වී හැදූ කොරෝනා විඩියෝව චූටි මල්ලී අතින් හමුදාපතිට

(06.04.2020 – gossiplankanews.com)

කොරෝනා වෛරසය මැඩලීමේ ජාතික කර්තව්‍යය වෙනුවෙන් සඳහා සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් ඔවුන්ගේ දායකත්වය සපයමින් පසුගිය (2) දින සන්ධ්‍යාවේ සියලු පාර්ශවකරුවන්ගේ සහය ඇතිව මහජනතාව දැනුවත් කිරීමේ කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන ලදී. මේ වනවිට එම සියලුම නිර්මාණකරුවන්ගේ නාලිකා ඔස්සේ එම වීඩියෝව ජනප්‍රිය වී තිබේ.

යුද හමුදා මූලස්ථානයේදී හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා හමුවූ අතර එහිදී, වෛරසයේ අවධානම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම, සෞඛ්‍යාරක්‍ෂිත පුරුදු වල ඇති වැදගත්කම සහ ස්වයං නිරෝධායනය, සමාජ දුරස්ථභාවය යනාදි කරුණු පිළිබඳව සාකච්ඡා කර සමාජ මාධ්‍ය හරහා ඔවුන්ගේ යුතුකම ඉටු කිරීමට සාකච්ඡාවක් පවත්වා තිබුණි. ඒ අනුව නිර්මාණය වූ මෙම ව්‍යාපෘතිය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව සඳහා අෂාන් ඔන්ලයින් , නවා , එවර් ලවිං , ජනයි-ප්‍රියයි , වස්ති , ස්ටුඩියෝ රැට්ටා , විගඩම , ට්‍රැවල් විත් වයිෆ් , චූටී මල්ලී ඇන්ඩ් පොඩි මල්ලී යන ජනප්‍රිය යූ ටියුබ් නිර්මාණකරුවන් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී එක්රැස් වූහ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, වෛද්‍ය අශාන් පතිරණ මහතා සහ වෛද්‍ය කසුන් තාරක මහතා ද දායකවූ මෙම නිර්මාණයේ නිෂ්පාදන කටයුතු සඳහා ශ්‍රී ලංකා රූපවාහිණි සංස්ථාවේ දායකත්වය ද ලබා දී තිබිණි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත එය පිළිගනුවනු ලැබූ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මේ සමග පළවේ.

නිර්මාණය කරනු ලැබූ එම විඩියෝව :

+++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *