ලංකාවේ හයවන (06) කොරෝනා මරණය වාර්තා වෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ලංකාවේ හයවන (06) කොරෝනා මරණය වාර්තා වෙයි

• කොරෝනා නිසා ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු (02) බ්‍රිතාන්‍යයේ දී මරුට

• වෛරසය ආසාදනය සීමා කරන්න දුම් ඇල්ලීම පිළිබඳ තීරණයක්

• කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5 ක සිර දඬුවම් ලැබිය හැකි වරදක්

• කොරෝනා රෝගීන්ගේ තෙල් වර්ගයක් ආලේපනය කරන්න ගිය පොලිස් කොස්තාපල් නිරෝධායනයට

• වසංගත තත්ත්වය පාලනයට සහ මැඩපැවැත්වීමට තීන්දු තීරණ රැසක්

• අද (07) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයක ජලය අත්හිටුවයි

• ආයුර්වේද වෛද්‍ය සංගමයෙන් ප්‍රතිශක්තිකරණ ඖෂධයක්

• කොරෝනා-ඇඳිරිනීතිය නොතකා ආවා නායකයෙක් උතුරේ සාදයක් දමයි..

• විපරීත බුද්ධිය නොහොත් දොස්(තර) වන බක පඬි කතා

• කොරෝනා ගැන බොරු ප්‍රචාර සිදුකිරීම වසර 5 ක සිර දඬුවම් ලැබිය හැකි වරදක්

• මෙපමණ ව්‍යසනයක් සිදුව ඇති මොහොතක මැකො දේශපාලනය කරනවා – අමාත්‍ය විමල් වීරවංශ

• බ්‍රිතාන්‍යයේදී මියගිය ලාංකිකයාට oxygen දීලා නෑ.. රෝහලට අරගෙන නෑ.. ගෙදරදී මරුට.. – ඛේදජනක අවසානයක කඳුළු කතාවක්

• කොරෝනා සුවකරන්න පුළුවන් කියද්දීත් ආයුර්වේද වෙදුන්ට ඊට ඉඩ නොදෙයි.. කුමක්ද හේතුව..?

• කොරෝනා සටනට ආයුර්වේදයත් කැඳවයි

+++++++++++++++++++++++++++++++++++

ලංකාවේ හයවන (06) කොරෝනා මරණය වාර්තා වෙයි

(07.04.2020 – 10:20 +0530 – sinhala.adaderana.lk)

මෙරට කොරෝනා ආසාදිත හයවන (06) මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 80 ක් වු පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 180 ක් වාර්තා වෙයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා නිසා ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු (02) බ්‍රිතාන්‍යයේ දී මරුට

(07.04.2020 – 09:47 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසයට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

වයස අවුරුදු 72 ක සහ වයස අවුරුදු 62 ක දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තාවන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

වෛරසය ආසාදනය සීමා කරන්න දුම් ඇල්ලීම පිළිබඳ තීරණයක්

(07.04.2020 – 09:09 +0530 – sinhala.adaderana.lk)

වෛරසය ආසාදනය වීම සීමා කර ගැනීම සඳහා ඖෂධීය ශාක පත්‍ර යොදාගෙන දුම් ඇල්ලීම පිළිබඳව කොවිඩ් 19 සඳහා වන පර්යේෂණ කණ්ඩායම ඒකමතිකව තීරණයක් ගෙන ඇති බව එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය :

“වෙනිවැල් ගැට හා කොත්තමල්ලි ගැන විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය කරන ලද පරීක්ෂණ දැන ගන්න ලැබුණා. බැක්ටීරියා ආසාදනය සඳහා කොත්තමල්ලිවල ඇති වටිනාකමත් වෛරස් ආසාදනයන් සඳහා වෙනිවැල්ගැටවල තියෙන ප්‍රයෝජනයත් පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා.

කොවිඩ් 19 සඳහා පර්යේෂණ කණ්ඩායමක් පත් කරලා තියෙනවා. එහි ප්‍රධානත්වය දරන්නේ මම. එම කමිටුව ඒකමතිකව තීරණය කළා දුම් ඇල්ලීමේ ඇති වැදගත්කම පිළිබඳ.

චීනේ අය උණුවතුර බීමත් දුම් ඇල්ලීමත් විවිධ ක්‍රමවලට පාවිච්චි කරනවා අපි දකිනවා. ඒ නිසා එහි වටිනාකම තහවුරු කරන්න අපි දැනට පර්යේෂණ ගණනාවක් ආරම්භ කරලා තියෙනවා.

එතෙක් පර්යේෂණ කණ්ඩායමක් ලෙස ඒකමිතිකව තීරණය කළා ඖෂධීය කොළ වර්ග යොදා නිවසේ සිට සිදු කරන දුම් ඇල්ලීම.

එහිදී ඇස් ආරක්ෂා කරගෙන ඉරියව්ව පවත්වා ගැනීම ඉතාම වැදගත්.”

+++++++++++++++++++++

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5 ක සිර දඬුවම් ලැබිය හැකි වරදක්

(07.04.2020 – 09:30 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5 ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.

අද (07) පෙරවරුවේ ‘අද දෙරණ’ට අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

කොවිඩ් 19 රෝගයේ ලක්ෂණ ඇති පුද්ගලයින් සිටියි නම් නිවස තුළ රැදී සිටන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.

රටේ අපරාද නීතිය අනුව මෙවැනි අවස්ථාවකදී යම් ස්ථානයකට ගොස් මෙම රෝගය බෝකිරීමට කටයුතු කළහොත් වසර 2 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා රෝගීන්ගේ තෙල් වර්ගයක් ආලේපනය කරන්න ගිය පොලිස් කොස්තාපල් නිරෝධායනයට

(06.04.2020 – 22:51 +0530 – sinhala.adaderana.lk)

වැලිකන්ද කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයට අද පෙරවරුවේ අනවසරයෙන් ඇතුළු වී එහි ප්‍රතිකාර ලබන වෛරස් ආසාදිතයින්ගේ හිසෙහි යම් තෙල් වර්ගයක් ආලේපනය කිරීමට උත්සහ කළ පොලිස් කොස්තාපල්වරයෙකු එම රෝහලේ වෛද්‍යවරු විසින් අල්ලාගෙන වැලිකන්ද පොලිසියට භාර දී තිබේ.

ඔහු පස්සර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අයෙක් වන අතර පසුව ඔහුව යුද හමුදාවේ මැදිහත්වීමෙන් පූනානී නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණේ නිරෝධානය කටයුතු සඳහායි.

මේ අතර කොවිඩ් 19 අධි අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බේරුවල, පන්නිල ප්‍රදේශයේ නිවාස 33 ක පිරිස් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වන විට කටයුතු කර තිබේ.

මේ අතර කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් විසින් අද (06) විදේශිකයින් සිව් (04) දෙනෙකු සහ සංචාරක මග පෙන්වන්නකු කතරගම ස්ථාන දෙකකදී නිරෝදායනයට ලක් කළේය.

+++++++++++++++++++++++++++++++++++

වසංගත තත්ත්වය පාලනයට සහ මැඩපැවැත්වීමට තීන්දු තීරණ රැසක්

(07.04.2020 – 11:08 +0530 – sinhala.adaderana.lk)

COVID–19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සහ වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සදහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි.

ඊයේ (06) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී COVID–19 වසංගත තත්ත්වයට මුහුණ දීමට අදාල වැදගත් වූ තීන්දු තීරණ රැසක් පිළීබදව විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරුන් සෞඛ්‍ය අමාත්‍යතුමිය දැනුවත් කිරීමට පියවර ගන්නා ලදි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගීව සිටි මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා විසින් කියා සිටියේ මහජනතාව වෙත වර්තමානයේ මෙන් දැඩි පාලනයක් ඉදිරි කාල සීමාව තුල ද අත්‍යාවශ්‍ය වන බවයි.

අප්‍රේල් 20 තෙක් දෙසතියක කාලසීමාව තුල වසංග තත්ත්වයේ දෙවන නැගීමක් අපේක්ෂා කරන බැවින් දින 14 ක් බැගින් කාල සීමාවන් දෙකක් තුල දී සීමාවන් සහ නීතිරීතී දැඩි කිරීම අත්‍යාවශ්‍ය බව ද පෙන්වා දෙන ලදි.

එහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය කියා සිටියේ එම සති දෙකක කාලයෙන් අනතුරුව ද අවශ්‍ය වුවහොත් ඉහත ආකාරයෙන් කටයුතු කළ යුතු බවට ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මැතිතුමන් වෙත ලිඛිතව දැන්වීමට කටයුතු කරන බවයි.

මෙහිදී ප්‍රජා වෛද්‍ය සංගමය විසින් කරුණූ දක්වමින් හැකිතාක් දුරට පුද්ගලික වාහන ගමනාගමනය අවම කරගැනීම, තම නිවසට ආසන්න කුඩා වෙළෙදසැළකින් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදීගැනීමට යොමුවීම, පොදු වාහන භාවිතයේ දී දුරස්ථභාවය පවත්වාගෙන යාම, නිරන්තරයෙන් දෑත් සේදීම ආදී කරුණූ පිළිබද අත්‍යාවශ්‍ය කරුණ ඉදිරි මාස 06 සදහා පවත්වාගෙන යාම සුදුසු බව දන්වන ලදි.

ඒ පිළිබදව අතිගරු ජනාධිපතිවරයා විසින් ප්‍රජාව දැනුවත් කිරීම වැඩාත් සුදුසු බව ද පෙන්වා දෙන ලදි.

පොදු ප්‍රවහනයේ දී දුරස්ථභාවය ඇතිව ගමන් කළ යුතු බවට ක්‍රමවේදයක් සකස් කොට එය රට පුරා ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති කාර්ය සාධක බලකායට දැනුම්දීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පෙන්වා දෙන ලදි.

එමෙන්ම විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර මහතා කියා සිටියේ ඇදිරිනීති කාලසීමාව ක්‍රමාණුකූලව ඉවත් කිරීමෙන් පසු පොදු ජනයා අපහසුතායට පත් නොවන අයුරු අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සහ ආසාදිතයින් හදුනාගැනීමේ වැඩපිළීවෙළක් සමාජයේ ක්‍රියාත්මක කළ යුතු බවයි.

එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ බුද්ධි අංශ හරහා අවශ්‍ය තොරතුරු ලබාගෙන වසංගත රෝග විද්‍යා ඒකකය සහ සම්බන්ධ වී ඒ සදහා අවශ්‍ය පියවර ගත යුතු බවයි.

නීති විරෝධී ලෙස පුද්ගලයින් රටතුලට ඇතුලුවීමේ අවධානම, මාර්තු 15 සිට 20 දක්වා විදේශයන් හී සිට මෙරටට පැමිණි සියළු පුද්ගලයින් ස්වයං නිරෝධානයට යොමු කිරීමට කටයුතු කිරීම, වයස අවුරුදු 60 ට වැඩි ස්වසන රෝග ඇති පුද්ගලයින් සදහා සංකූලතා ඇතිවීමෙ වැඩි අවධානමක් ඇති බැවින් (ක්ෂුද්‍ර වෛද්‍ය සංගමය) ඔවුන් නිවෙස් තුලම රැදී සිටිය යුතු බවට වූ පණිවුඩය සමාජ ගත කිරීම යන කරුණු ද පෙන්වා දෙන ලදි.

ප්‍රතිකාර සහ පරීක්ෂණ සම්බන්ධයෙන් තොරතුරු යාවත්කාලීන කිරීම සදහා කණ්ඩායම් දෙකක් මේ වන විට යොදා ඇති අතර, ඉදිරියේ දී රෝගය පැතිරීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා තවත් කණ්ඩායමක් පත් කිරීමට ද මෙහිදී තීරණය කරන ලදි.

බෙහෙත් වට්ටෝරු නිවාස වෙත යැවීමේ කාර්යයේ දී ඇතැම් පුද්ගලයින් හට ගැටලු වලට මුහුණපෑමට සිදුව ඇති බැවින් වැඩිහිටි ලේකම් කාර්යාලය හරහා ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් මෙහිදී වැඩිදුරටත් දන්වා සිටින ලදි.

මේ වනවිටත් COVID-19 ප්‍රතිකාර කටයුතු සදහා යටිතලපහසුකම් සැළැස්මක් සකස් කොට ඇති බවත්, මුල්ලේරියා රෝහලේ මාතෘ හා නව ජන්ම ඒකක වැඩිදියුණු කිරීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටි අතර, IDH රෝහල සදහා Mobile CT Scanner යන්ත්‍රයක් ස්ථාපිත කිරීම සදහා කඩිනමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා වෙත උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු නිලධාරින් පිරිසක් සහභාගි වූහ ෴

+++++++++++++++++++++++++++++++++++

අද (07) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයක ජලය අත්හිටුවයි

(07.04.2020 – 06:49 +0530 – sinhala.adaderana.lk)

අද (07) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද (07) දහවල් 02:00 සිට රාත්‍රී 10:00 දක්වා පැය 08 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

කොළඹ 09, කොළඹ 14, නවගම්පුර යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව සඳහන්ය.

එමෙන්ම කොළඹ 15 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි ෴

+++++++++++++++++++++++++++++++++++

ආයුර්වේද වෛද්‍ය සංගමයෙන් ප්‍රතිශක්තිකරණ ඖෂධයක්

(07.04.2020 – 13:28 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සංගමය නව කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා ප්‍රතිශක්තිකරණ ඖෂධ වර්ගයක් නිපදවා පැකට් කර බෙදා දීම දිවයින පුරා ආරම්භ කර ඇත.

ඒ අනුව කෝට්ටේ නගර සභාවට මෙම ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාදීම අද (07) සිදුකෙරුණි.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා-ඇඳිරිනීතිය නොතකා ආවා නායකයෙක් උතුරේ සාදයක් දමයි..

(07.04.2020 – 16:40 +0530 – lankacnews.com)

යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේදී ඇඳිරිනීතිය පවතින අතරතුර ආවා කල්ලියේ බවට සැකකෙරෙන නායකයෙකුගේ උපන්දින සාදයක් පැවත්වූ නිවසක් යුදහමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (06) රාත්‍රියේ වටලා තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට තෙලිප්පලෙයි පොලීසිය පවසයි.

තෙලිප්පලෙයි පොලීසියට මල්ලාකම් අධිකරණ මාවතේ පිහිටි නිවසක පිරිසක් එක්ව මත්පැන් බාවිතා කරමින් සාදයක් පවත්වන බවට ලැබුනු තොරතුරකට අනුව ඒ බව යුදහමුදාවට හා පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු වෙතට දැනුම් දී එම නිලධාරීන් පිරිසක් විසින් තෙලිප්පලෙයි ප්‍රදේශයේ අදාල සාදය තිබුනු නිවස වටලා ඇත.

එහෙදී ආරක්ෂක අංශ නිලධාරීන් දැක පිරිසක් පලාගොස් ඇති අතර නිවසේ සිටි තරුණයින් තිදෙනෙකු හා යතුරුපැදි 5ක් අත්අඩංගුවට ගෙන තෙලිප්පලෙයි පොලීසියට භාර දී ඇත.

අදාල උපන්දින සාදය ආවා කල්ලියේ නායකයෙකු වූ විනෝදන් නැමත්තාගේ උපන්දිනය වෙනුවෙන් පැවති සාදයක් බවටත් එම සාදයට සහභාගී වූ සියලු පුද්ගලයින් ආවා කල්ලියේ බවට සැක පලකරන අතර පලාගිය පුද්ගලයින්ද අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද පොලීසිය පවසයි.

කෙසේ වෙතත් යාපනයේ පවතින ඇඳිරිනීතිය හමුවේ පුද්ගල රැස්වීම්, සාදයන් හා මත්පැන් සියල්ලක්ම තහනම් කර තිබෙන අවස්ථාවක මෙවැනි ක්‍රියාකාරකම් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදුකරන තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

+++++++++++++++++++++++++++++++++++

විපරීත බුද්ධිය නොහොත් දොස්(තර) වන බක පඬි කතා

(07.04.2020 – 07:21 +0530 – lankaleadnews.com)

පුංචි තිරයේ පරසිදු විකට නළු කැළක යොදවා කොරෝනා කෙරෙන් නිදහස් වීමේ උපදෙස් වශයෙන් ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව මගින් නිෂ්පාදනය කළ සල දසුනක් (වීඩියෝවක්) යූ ටියුබයෙන් දැක ගතිමි.

මේ සටහන ලියන්නට මා පෙළඹවූයේ මෙම වීඩියෝව වුවත් අපේ දැනුම ගර්හාවට ලක්කරන එවැනි මතවාදයන්ට මෙය පිළිතුරකි.

මෙහි එන බටහිර වෛද්‍යවරයා ශාස්ත්‍රීය හා විශ්වසනීය දැනුම, උපදෙස ලබා දෙන්නා හැටියට විරාජමාන වේ. ඔහු කියන සියලු දේ ඉතා විශ්වාසකටයුතු, නිවැරදි, සත්‍ය දැනුම ලෙස අනෙක් සියළුදෙනා පිළිගත යුතු බවට විධානය කෙරේ.

පාරම්පරික දැනුම (සිංහල වෙදකම) ඉතිහාසයේ යම් අවස්ථාවක යොදා ගෙන ඇති බවත් එහෙත් එය දැන් යල් පැනගිය වැඩකට ගත නොහැකි බව කියා ගර්හාවට හා අවඥාවට ජාතික ඇඳුම හැඳි පුද්ගලයකු ලවා පත්කර තිබේ. (ජාතික ඇඳුම හැඳි කපටි සූට් කාරයින් මෙන්ම ටයි-කෝට් පල් හොරුන් ද හැම ක්‍ෂේත්‍රයකම වාගේ අද ඇති බව වෙනම කරුණක්. එහෙත් ජාතික ඇඳුම පමණක් මෙහි ගර්හිතවේ). එබැවින් පාරම්පරික දැනුම හෝ විශේෂයෙන් සිංහල වෙදකම නොවැදගත් අත්හැර දැමිය යුතු බව මෙම වීඩියෝවෙන් සමාජයට හැඟවීමට ඉඩ හරී. වෙනිවැල් ගැට, ඉඟුරු කොත්ත මල්ලි හා විශේෂයෙන් පෙරුම්කායන් ඉතා සියුම් ලෙස සභාවේ සිනාවට ලක් කෙරේ.

පළමුව සඳහන් කළයුත්තේ අප බටහිර වෛද්‍ය විද්‍යා තාක්ෂණ ප්‍රතික්ෂේප නොකරන බවයි. එමෙන්ම විශේෂයෙන් ම මෙම කොවිඩ් 19 වසංගත රෝග නිවාරණ කටයුතු වල දිවා රෑ නොබලා අපමණ වෙහෙස මහන්සියෙන් පරිත්‍යාගයෙන් කටයුතු කරන බටහිර වෛද්‍ය, හෙද, රසායනාගාර හා අනෙකුත් කාර්ය මණ්ඩලයට මෙන්ම ලෝකයේ විශිෂ්ඨ රෝග නිවාරණ නායකත්වයක් සපයන ගෝඨාභය අතිගරු ජනපති තුමා ඇතුළු රජයටත්, කාර්ය සාධක බලකායටත් යුධ හමුදාපති තුමා ඇතුළු සියලු ආරක්ෂක අංශ වලටත් අපගේ ගෞරවය ස්තුති පූර්වකව පලකරන අතර ඒ සියලු දෙනාටම පිං දෙමු.

අපේ විරෝධය අපේ පැරණි විද්‍යාව, වෙදකම හා දැනුම සිනහවට ගර්හාවට ලක් කිරීම මගින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිවයි. එමගින් අද අපට ලබා ගත හැකි ආලෝකය විසඳුම් වලට මග අහුරන පරගැතියනට එරෙහිවයි. බටහිර විද්‍යාව පමණක් ඇදහිය යුතු සත්‍ය වන අතර අනෙකුන් සියලු දැනුම් මිත්‍යාවන් හැටියට සලකන මහා හීන මානයෙන් පෙලෙන ඇතැම් ඊනියා ‘උගත්’ යයි සැලකෙන මුග්ධයන්ට එදිරිවයි.

මෙය තවදුරටත් කෙටියෙන් විමසමු.

මෙම සලරූ පෙලින් බොහෝ තැන් හි කියැවෙන සෞඛ්‍යාරක්ෂිත ඇතැම් පුරුදු පිලිබඳ වත් දැනුවත් කිරීමක් කෙරෙන අතර එමගින් සියලු ජනයා මෙය පිළිපැදිය යුතුබවට විශ්වාසයක් ගොඩනගා ගනී. ඒ අතර ඉතා සියුම්ව හා කපටි ලෙස අපේ මුල් අපටත් හොරෙන් ගලවා දැමේ.

මුඛවාඩම්

මේ දොස්තර බක පඬිතුමා මහා පාණ්ඩිත්‍යයෙන් අපට දෙසා බාන්නේ සාමාන්‍ය පොදු ජනයාට මුහුණු ආවරණ (මුඛවාඩම්) පැළඳීම කිසිදු වැඩකට නැති මෝඩ ක්‍රියාවක් බවයි. එය අවශ්‍ය වනුයේ ලෙඩේ තියෙන අයටත් බේත් කරන අයටත්ලු. ලෙඩේ තියෙන එහෙත් ඒ බව දන්නැති (වෛරසය ශරීර ගතව ඇති නමුත් රෝග ලක්ෂණ තවම නොපෙන්වන හෝ ඔහුගේ ප්‍රතිශක්තිය හේතුවෙන් කිසිදා රෝග ලක්ෂණ නොපෙන්වන එනමුදු රෝග වාහකයෙක් වන) හෝ කී දෙනෙක් අප අතර ගැවසේද? ඒ අය ගැන පඬි ඥානයට සිතීම අකැපද?

ඇත්තටම මෙවන් බක පඬින් හට හිතා මතා නුවණ මෙහෙයවා මතයක් පළ කිරීමට බැරිය. මොවුන් දන්නේ හූ කියනදේ පමණි. හූ කියන්නේ WHO ය. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ය. (රටට ගැලපෙන අයුරින් නිසි තැනක ජාත්‍යන්තර සම්මතයන් ප්‍රමිතීන් යොදා ගැනීම පිලිබඳ කිසිදු ප්‍රශ්නයක් නැත). එහෙත් අද WHO කියන්නේ කොවිඩ් 19 රෝගය පිළිබඳව හෝ එහි වෛරසය වන සාර්ස් කොව් 2 පිලිබඳව හෝ එයින් වැළකීම පිළිබඳව හෝ නිසි උපදෙසක්, මතයක් ප්‍රකාශ කර ගැනීමට අසමත් සාමාන්‍ය ව්‍යවහාරයේ කියනා පරිදි ඇත්තටම නනත්තාර වූ සංවිධානයකි. එහි ප්‍රධාන සම්පත් දායක කාරකාදීන් ද කිසි දෙයක් කරකියා ගත නොහැකිව හිස ලූ ලූ අත දුවන අසරණයන් වී ඇත. ඒ බොහෝ රට වල මළ සිරුරු ගොඩ ගැසෙන්නේ මැසි මදුරුවන් ගානටය.

දැන් WHO මුහුණු ආවරණ පිළිබඳ අලුත් කතාවක් කියයි. ඊයේ එපාලු. අද හැමෝටම දා ගන්නලු. දැන් අර බක පඬි දොස්තර තුමා හෙට ඇවිත් මොකද කියන්නේ? මේ දොස්තර පඬිතුමා රෙදි කඩකින් මුහුණ ආවරණ කරගත් සාමාන්‍ය මිනිසෙකු පතුරු ගසයි. දිවයිනේ විශිෂ්ඨ වියතෙකු වන මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමනයන් අද ප්‍රකාශ කලේ රෙද්දෙන් හරි මුහුණ වහ ගැනීමෙන් මහත් ආරක්ෂාවක් සැපයෙන බවයි.

චීනය ඇතුළු ඇතැම් රටවල් තම තමන්ට ආවේණික දේශජ ප්‍රවේශයන් ඔස්සේ මෙම වසංගතය හැකි තරමකට හෝ පාලනය කරගෙන ඇත.

පේ ක්‍රම යල් පැන ගිහින්ද?

දොස්තර බක පඬිතුමා තවද අපේ වෙදකමට ගරහන්නේ මෙය අලුත් රෝගයක් බවත් ඉතිහාසයේ කෙදිනකවත් මෙම රෝගය නොතිබූ බැවින් පැරණි ක්‍රම මෙහිදී වලංගු නොවන බවත් කියමිනි.

පළමුව, ඉතිහාසයේ මිනිසුන්ට සෑදුනු සියලු වෛරස් රෝග හටගෙන ඇත්තේ කුමන වෛරසයකින්දැයි යන්න මේ බක පඬි තුමා දන්නේ කෙසේද? ඒ සියලු වාර්තා ඇත්නම් දුහුණන් ගේ දැනගැනීම පිණිස පල කළ හැකිද?

දෙවනුව, සිංහල වෙදකමේ මූලිකව කෙරෙන්නේ පුද්ගලයාගේ නිරෝගීකම වර්ධනය කිරීමයි. එනම් ශරීර ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීමයි. ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ ඖෂධයන් හැටියට තමයි වෙනිවැල් ගැට, කොත්තමල්ලි, ඉඟුරු, සුදුළුණු, පෙරුම්කායන් හා තවත් බොහෝ ඔසු නිසි පරිදි යොදා ගන්නේ. ප්‍රතිශක්තිය ප්‍රබලයි නම් වෛරසයට කළ හැකි කෙන්ගෙඩියක් නැති බව මොළේ කලඳක් හෝ තියෙන බටහිර වෛද්‍යතුමන්ලාම පවසනවා. ඒ නිසා වෛරසය අතීතද අනතීතද යන්න කිසිම තර්කයක් නැති පුස්සක් බව මේ බක පඬි දොස්තර තුමාට කියා දෙන්නට WHO ඕනද?

තෙවනුව, තවද පෙරුම්කායන් පමණක් පළඳා අනෙකුත් සියල්ල නොකර සිටීමක් ගැන බොරු කතාවක් දොස්තර පඬිතුමා ගොතයි. සිංහල බේත් බොන හැමෝම වගේ දන්නා දෙයක් ඇත. එනම් බේත පත්තියම් වීමට ඒ අනුව පැවැත්ම අවශ්‍ය බවයි. කෑම බීම, නෑම, නින්ද පමණක් නොව ඇතැම් බේත් බොන විශේෂිත කාල (නැකත්) ද ඇත.

සිව්වනුව, අද මුළු ලොව පුරා මේ ව්‍යසනයට මුහුණ දෙන්නේත් අපේ පැරැණ්නන් ගේම ක්‍රමයකිනි. එනම් දෙයියන්නේ ලෙඩ හැදුනම අනුගමනය කල වෙන් කිරීම, තනි කිරීම තුළිණි. (බලන්න quarantine, Lockdown උපාය)

බටහිර වෛද්‍ය විද්‍යාව කෙසේ වෙතත් බටහිර වෛද්‍ය තාක්ෂණය පසුගිය අවුරුදු තුන් හාරසීය තුළ (විශේෂයෙන් යුරෝපයේ සිදුවූ කාර්මික විප්ලවයෙන් පසු) විශිෂ්ඨ දියුණුවක් ලබා තිබේ. 15 වැනි ශතවර්ෂයේ පමණ පසු යුරෝපයේ සිදු වූ චින්තන විප්ලවය (කතෝලික චින්තනය (ආගම නොවේ) බිඳ වැටී ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය බලවත් වීම) හේතුවෙන් බටහිර යුධ, ආර්ථික, සංස්කෘතික හා විශේෂයෙන් බටහිර දැනුම් ආධිපත්‍ය ලොව පුරා පැතිරෙන්නට වුණා. එහි ඵල විපාකයන් හැටියට ඉහත සඳහන් වඳ අනුකාරක පඬියන්, පඬි නැට්ටන් හා නැට්ටියන් බටහිර අධ්‍යාපනයෙන් බිහි කෙරී ඇත. මේ දැනුම නිර්මාණාත්මක සාපේක්ෂතා වාදී ප්‍රවාදයන් නිපදවමින් ජාතියට දායාද කළ දිවයිනේ අග්‍රගන්‍ය ප්‍රාඥයා වනුයේ නලින් ද සිල්වා මහැදුරුතුමාය. අපි එතුමාට ද නිරෝගී චිර ජීවනය පතමු.

පේ දේ රැකගෙන අලුත් දේ අරගෙන

මෙය ‘දෙරණ නාළිකාවේ ආදර්ශ පාඨය බවයි මා අසා ඇත්තේ. ‘දෙරණ’ එය එළෙස සිදු කළත් නොකළත් විය යුත්තේ එයයි.

අපේ පැරණි දැනුම, තාක්ෂණය, සිංහල වෙදකම, වස විස නැති ගොවිතැන මතුකර ගමු. නගා සිටුවමු. අදට අවැසි පරිදි දියුණු කර යොදා ගනිමු. අපට අවැසි දේ අවැසි අයුරින් එතෙරින් ගෙන අපේ දියුණුවට යොදා ගමු.
නිවනින් නිවෙන තුරු නිවී සැනසිල්ලේ ඉන්නට මගක් හෙළි පෙහෙළි කර ගමු.

කොරෝනා උවදුර වහා නිමවී සියලු ලෝ වැසියන් සුවපත් වේවා!

සටහන: මෛත්‍රී ඉඳුරුව (ඩුබායි එමිරේටයේ සිට)
04-04-2020

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ගැන බොරු ප්‍රචාර සිදුකිරීම වසර 5 ක සිර දඬුවම් ලැබිය හැකි වරදක්

(07.04.2020 – colombotoday.com)

සමාජ මාධ්‍ය ඔස්සේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5 ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙරට පවතින අපරාද නීතිය අනුව මෙවැනි අවස්ථාවකදී යම් ස්ථානයකට ගොස් මෙම රෝගය බෝකිරීමට කටයුතු කළහොත් වසර 2 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය ෴

+++++++++++++++++++++++++++++++++++

මෙපමණ ව්‍යසනයක් සිදුව ඇති මොහොතක මැකො දේශපාලනය කරනවා – අමාත්‍ය විමල් වීරවංශ

(00.04.2020 – gossiplankanews.com)

ඊයේ (06) හෝමාගම රෝහලේ කොරෝනා ආසාදිත රෝගී ඒකකයට වායුසමීකරණ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව අමාත්‍ය විමල් වීරවංශ මෙම අදහස පළ කළේය.

“පළමුව කිව යුතුයි, ‘අපට කොරෝනා රෝගීන් අල්ලාගෙන දේශපාලනය කරන්න උවමනාවක් නැහැ’ කියා.

මට නම් පෙනෙන්නේ මැතිවරණ කොමිසම යම් දේශපාලනයක් සිදු කරන බවයි. මැතිවරණ කොමිසමේ එක් සාමාජිකයකු බී.බී.සී. පුවත් සේවයට පවසා තිබුණා ‘මේ රට ඒකාධිපතිත්වයක් කරා යමින් තිබෙනවා’ කියා.

එහි සභාපතිවරයා නිහඬව සිට එක්වරම සිහිනෙන් අවදි වූවා සේ මෙවැනි නිවේදන නිකුත් කරනවා. ඔවුන් පසුගිය ආණ්ඩු කාලයේ හැසිරුණු විදියයි දැන් හැසිරෙන විදියයි අපට හොඳට තේරෙනවා. අපි කුඩා දරුවන් නොවෙයි. ඒ නිසා අපි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නඩයෙන් ඉල්ලනවා. ‘කරුණාකර මෙපමණ ව්‍යසනයක් සිදුව ඇති මොහොතක ඔබලා සිදු කරන දේශපාලනය නතර කරන්න’ කියා.

මේ ව්‍යවසනයෙන් මිදීමට පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් භේද නොතකා සමාජයට නායකත්වය ලබා දිය යුතුයි. රාජ්‍ය නිලධාරීන්ට පමණක් මේ බර අදින්න බැහැ. මෙපමණ ව්‍යසනකාරී වෙලාවක දී අපට මේ රටේ මිනිස්සුන්ට පිහිට වෙන්න බැරිනම් මොකද්ද එතැන තිබෙන සාධාරණය. මේ මොහොතේ ජනතාවට සහන සැලසීම අපේ අයිතියක්. ඒ අයිතිය අනුව අපි කටයුතු කරනවා. එය නතර කිරීමට කිසිවෙකුට බැහැ.”

+++++++++++++++++++++++++++++++++++

බ්‍රිතාන්‍යයේදී මියගිය ලාංකිකයාට oxygen දීලා නෑ.. රෝහලට අරගෙන නෑ.. ගෙදරදී මරුට.. – ඛේදජනක අවසානයක කඳුළු කතාවක්

(07.04.2020 – 18:11 +0530 – truenews.lk)

කොරෝනා වැළඳුණු ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු, බ්‍රිතාන්‍යයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව අද (07) වාර්තා වුණා.

එහිදී මිය ගිය අනුර ගාල්ලගේ සම්බන්ධයෙන් සංවේදී සටහනක් ෆේස්බුක් ගිනුමක දක්නට ලැබෙනවා.

එය ඒ රටේ තත්ත්වය මනා ලෙස කියාපාන්නක් වනවා.

06-04-2020
“අනුර අයිය ඔබට නිවන් සුව….

අද දින වන විට එංගලන්තයෙ කොරොනා ආසාදිත 4 වන ශ්‍රී ලාංකිකයත් මිය ගියා.

එත් ඒ තුන් වැනියා මට ඉතා හොදින් දන්නා හදුනන අයෙක් නමින් ඔහු අනුර ගාල්ලගේ මහතා.

එංගලන්තයෙ North London ප්‍රදෙශයේ මා ජිවත් වන ගමේ මගෙ නිවසෙ සිට 1 km පමණ දුර පදිංචි ඔහු Enfield සහ Edmonton යන පන්සලෙ ප්‍රධාන දයකයෙක් වන අතර ඔහුගෙ බිරිඳ ආයුර්වේද වෛද්‍යවරියක්. ඔහුගේ නැන්දම්මා මේ වන විට දස සිල් මාතාවක්. ඇය අපේ දයාබර රතන මෑණියන්.

මේ මහතා හට covid 19 කොරොනා වයිරසය අසාදිතව බව වෛද්‍ය පරික්ෂණයෙන් තහවුරු විමෙන් පසු ස්වයං නිරෝධායනය වී ඇත්තේ ඔහුගෙ නිවසේ පහළ මාලයේ ඇති කාමරයක යි.

ඉහළ මාලයෙ සිටින ලෙසට ඔහුගෙ බිරිඳට උපදෙස් ලැබුණා. පසුව ඔහුට උණ තත්වය වර්ධනය වී හුස්ම ගැනිමේ අපහසුතාවය ඇති විමෙන් ඔහු විසින් ඊයෙ හදිසි වෛද්‍ය සේවය අමතා ප්‍රතිකාර ඉල්ලා සිටියද එම සේවය විසින් ‘ඔබට අමාරුවක් නැ; හුමාලය අල්වා උනු ජලය පානය කර ඉන්න’ යනුවෙන් පමණක් පවසා තිබුණා.

ඔහුගෙ අපහසුතාවය එන්න එන්න උත්සන්න විය නැවත හදිසි වෛද්‍ය සේවය අමතා උපකාර පැතුවා. එවරද ඔවුන් ඔහුව ප්‍රතික්ෂේප කර ඔබට අමාරුවක් නැ කියා දුරකතනය විසන්දි කරලා. පසුව ඔහුගෙ බිරිද නැවත වතාවක් කතා කර තම සැමියාට හුස්ම ගැනිමට අපහසු බැවින් ඔහු රෝහල රැගෙන යන ලෙස ඉල්ලා සිටියා.

NHS ලොවම පිලිගත් වෛද්‍ය සේවය විසින් දුන් පිලිතුර ඔබේ සැමියා සිහි නැති උන පසු දන්වන ලෙසයි. ඔහු දොර වසා ඔහුගෙ කාමරෙ තනි වුණා. බිරිඳ උඩු මහලට ගියා.

ඒ බිහිසුණු රාත්‍රියෙ ඔහු තනිවම පොර බදන්න ඇති මාරය සමග. මුලු ජිවිතෙ පුරා කල පින් දහම් – ඔහුගෙ පරිත්‍යාග – තම දෑතින් මහත් වු ශ්‍රධාවෙන් දුන් දාන මාන සිහි වෙන්න ඇති. ඒ කිසිවක් ඔහුගේ පිහිටට නොපැමිණි මොහොතේ – පාන්දර ජාමයෙ ඔහුගෙ හුස්ම සදහට නතර වුණා.

මේ කිසිත් නොදන්නා බිරිද සුපුරුදු ලෙස පහත මාලයට පැමිණ ඔහුට කතා කොට ඔහුගෙ පිලිතුරක් නැති තැන ඔහු නිදන කාමරයෙ දොර හැර බැලිය. ඔහුව සොලව සොලව ඇහැරවන්නට උත්සහ කර තිබෙනවා.

බිහිසුනු කොරෝනා ඇයව කන වැන්ඳුමි කර අවසන් වග ඇයට ඒ මොහොතෙ හැඟෙන්නට ඇත.

අවසන් වරට මාර්තු මාසයෙ 7 වෙනිදා තිබුන දානමය පින්කමේදී ඔහු මට හමුවුණා. තමාගේ දැතින්ම ගැබිබර ලෙලියට දානයේ කොටසක් පිලිගැන්වූ ඔහු ඉතා දයාබර පියෙක්.

මේ සියල්ල ලියා මම මෙසෙ ලියමි. ඔහුගේ මරණයට වග කිව යුතු එංගලන්තයෙ මහ ලොකු නොනලා මහත්වරු කියන NHS සේවය බව මම නැවතත් කියමි. ඔහුට හුස්ම ගන්න අපහසු යැයි පැවසු මොහොතෙ ඔහුට oxygen ලබා දුන්නා නම් රෝහලට රැගෙන ගියා නම් අදත් ඔහු ජිවත් වනු ඇති.

මෙයයි මහා බ්‍රිතාන්‍යයේ සැබෑ නිරුවත….

සැමට එකම සේවයක් equal opportunity, human rights කියල නෙ කියන්නෙ. Mr. Boris Johnson උන අඩු නොවන නිසා රොහල් ගත කරපු එංගලන්තෙ Mr. Anura Gallage ව ගෙදර මැරෙන්න සැලැස්සුව ඇයි ?

කාටත් පොදු Tax ගෙවල මෙ රටට ඔහු කැඹිරුවේ නැද්ද? නැත්තම් ඒ හම කලු සාමාන්‍ය‍ මනුස්සයෙක් නිසාද? ඉඩ අඩු ඇති; පහසුකමි අඩු ඇති; එහෙත් වගකිමක් නැති කමට නම් සමාව දිය නොහැකි.

පහු ගිය දවස් වල මම මෙ ගැන කියද්දි අපෙ සිංහල නොනලා දෙන්නෙක් English වලින් මහා වැල් රචනා ලිව්ව මගෙ මතය වැරදියි කියා; ප්‍රශ්නය ඔබෙ නොවන තාක් ඔබට එහි බරපතල කම නොවැටහෙවි.

මෙය කියවන ලාංකික ඔබට ලංකාවේ දැනට ලැබෙන්නෙ ලොව ඉහලම මානුෂිය සේවය බව වගකිමෙන් ලියමි.

මේ දියුණු රට වල අපේ උන් උදව් ඉල්ලදි මැරෙන්න හරිනව. එංගලන්තෙ Rules and regulations වලට අනුව Covid 19 virus හැදුන කිසි වෙක් රොහල්වලට නොපැමිණිය යුතුයි.

නිවසෙ සිට 999 අමතා Covid 19 team එක සම්බන්ධ කර ගත හැක. එයට ඉතා අපහසු බව මගෙ මතයයි.

එංගලන්තයෙ තියරියට අනුව කොරොනා ආසාදිතයන් මහ මඟ හෝ නිවසෙ බල්ලො බලලුන් ලෙස මිය යා යුතුය. මෙයද එංගලන්ත වැසියෙකුගේ වටිනාකම.

අපේ ලංකාවේ බලෙන් ඇවිත් උදව් කරලා ජිවිත බේරනව. ගරු කරන්න ඒ වගකිව යුතු සේවයට. මේ රටවල මිනිස්සු ජිවිතය හිඟමන් යදිද්දි අපෙ පුංචි රටේ ජිවිත දානය දෙන දෙවිවරු ඉන්නව. ජනපති – අගමැති ආරක්ෂක අංශ වෛද්‍ය හෙද සහ සිවිල් – ඔබ එකිනෙකාට උදවි කරමින් තම දනය ශ්‍රමය වැය කරමින් කරන සේවය දුරින් හිද බලා සිටින අපි අගය කරමු. අපි ජිවිත අවදානම අතින් ගෙන ජිවත් වෙන බව ඔබට ඉතා කනගාටුවෙන් කියමි.”

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා සුවකරන්න පුළුවන් කියද්දීත් ආයුර්වේද වෙදුන්ට ඊට ඉඩ නොදෙයි.. කුමක්ද හේතුව..?

(08.04.2020 – 06:27 +0530 – lankacnews.com)

ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය මගින් කොරෝනා රෝගීන් සුවපත් කරන්නට ඉඩ නොදෙන්නේ මන්දැයි රජය පැහැදිලි කල යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියෝ පවසති.

ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

“ලංකාවේ අවුරුදු දහස් ගණනක සිට පැවතෙන ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන ආණ්ඩුවට විශ්වාසයක් නැහැ. මේ වෛද්‍යවරුන්ට මෙතෙක් කල් පඩි දීල තිබීම අපරාධයක්; වහාම මේ අය ඉවත් කල යුතුයි. මේ ජනතාවගේ සල්ලි; මේ රෝහල් නිරෝධායන කටයුතු වලට ගන්න.

ආයුර්වේදයෙන් මෙච්චර කියද්දී කොරෝනා ඒ අයට සනීප කරන්න පුලුවන් කියල ඇයි ඒ අයට මේක බලන්න හරි දෙන්න බැරි? එහෙම ආයුර්වේදයක් මේ ලංකාවට එහෙම නම් මොකටද?, අවිගන් ඖෂධය කියපු ගමන් ගෙන්නෙව්වා. මේක හරිද වැරදිද බැලුවේ නැහැ. ඉතින් අපේ ආයුර්වේදයට ඇයි තැනක් දෙන්න බැරි ? මේ ජපන් බෙහෙතත් අත්හදා බැලීමේ තැනක තියෙන එකක් වෙන්න ඇති.

මම අගමැතිට කතාකලා; ඇමතිවරු 10 කට විතර කතාකලා; මේ අය කවුරුත් පිළිගන්නවා ආයුර්වේද ක්‍රමය; හැබැයි කවුරුත් නිහඩයි. මොකක්ද මේ වෙන්නේ ?

බලධාරීන් ඉඩ නොදෙන්න හේතුව මොකක්ද ? අවශ්‍ය කරන්නේ ප්‍රතිකාරය පමණයි. ජපානය අත්හදාබලන බෙහෙත් තරම්වත් අපේ ආයුර්වේද ක්‍රමය පිළිගන්නේ නැද්ද ? මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක් අංශයක් ‍වන ආයුර්වේද අංශයෙන් ඇති වැඩේ මොකක්ද ?

මේ අය මෙච්චරකල් පිංපඩිනේද ලබාගෙන තියෙන්නේ ? ඇයි වැඩක් නැති ක්‍රමයක් නඩත්තු කරන්නේ ?”

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා සටනට ආයුර්වේදයත් කැඳවයි

(08.04.2020 – 04:50 +0530 – lankaleadnews.com)

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා බටහිර වෛද්‍ය ක‍්‍රමයට අමතරව දේශීය වෙදකම භාවිතා කිරීමට රජය තීරණය කර ඇතත් නිරෝධායන පනත යටතේ ඒ සඳහා අනුමැතිය මෙතෙක් හිමිවී නොමැති බව වාර්තා වේ. කොවිඩ් 19 ආසාදිතයන්ට ප‍්‍රතිකාර කරනු ලබන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් බලධාරියා වන නිරෝධායන පනත යටතේ බැවින් එවැනි රෝගීන්ට දේශීය වෛද්‍ය ක‍්‍රම යටතේ ප‍්‍රතිකාර කිරීමට නම් ඔහු ගේ අනුමැතිය අවශ්‍ය වේ.

එනමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ඒ සඳහා මෙතෙක් හිමි ව නොමැති අතර එය ඉදිරියේ දී ලබා දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම අවසරය හිමි වූ පසු දේශීය වෛද්‍ය ක‍්‍රමය යටතේ කොවිඩ් 19 මර්දනය සඳහා ප‍්‍රතිකාර කිරීමට නියමිතය. ඒ අනුව කොරෝනා රෝගය මර්දනය කිරීම සඳහා දේශීය වෙදකම පිළිබඳව ජාතික කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුවේ යෝජනා සහ අදහස් අනුව රජය ඉදිරි තීරණ ගැනීමට නියමිතය.

කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප‍්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ සඳහා වන සාකච්ඡාවක් පසුගිය දා එම මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවති අතර ඒ සඳහා ආයුර්වේද වෛද්‍යවරුන්, දේශීය වෛද්‍යවරුන්, හෝමියෝපති වෛද්‍යවරුන් ඇතුළු පනස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව සිටියහ.

මෙහිදී, දේශීය වෛද්‍ය ක‍්‍රම භාවිතා කිරීම සඳහා වන අනුමැතිය කඩිනමින් ලබා ලබාදීම අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව යුද හමුදාපතිවරයා කොරෝනා රෝග මර්දනය කිරීම සඳහා පත් කළ දේශීය වෙදකම පිළිබඳ ජාතික කමිටුවට සහතිකයක් දී ඇත.

මේ සම්බන්ධයෙන් කොරෝනා රෝග මර්දනය කිරීම සඳහා පත් කළ දේශීය වෙදකම පිළිබඳ ජාතික කමිටුවේ සාමාජික, ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා සඳහන් කළේ ජනතාවගේ ප‍්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම ඒ සඳහා දේශීය ඖෂධ ලබා දීමට කමිටුව තීරණය කර ඇති බවයි.

එහි දී හීන් අරත්ත අල, වියළි ඉඟු‍රු, කොත්තමල්ලි, පාවට්ටා කොළ සහ මදුරුතලා මුල් සම ප‍්‍රමාණයට ගෙන තම්බා පානයක් ලෙස සකසා ලෙඩක් නොමැති සාමාන්‍ය ජනතාවගේ ප‍්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීම සඳහා භාවිතා කළ හැකි බවත් හෙතෙම කීවේය.

එසේම තේ වෙනුවට ඉරමුසු, රණවරා, පත්පාඩගම්, ඉඟු‍රු, කොත්තමල්ලි භාවිතා කළ හැකි බවත් උදෑසන ආහාර පිණිස කොළ කැඳ සකසා ගැනීම යෝග්‍ය බවත් හෙතෙම පැවසී ය.

ව්‍යාංජන සඳහා පොළොස්, කොහිල අල, කෙසෙල්මුව, එල තිබ්බටු, එල බටු, බතල, වට්ටක්කා වැනි දේශීය ආහාර ද්‍රව්‍ය ඉතා යෝග්‍ය බවත් ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා කීවේය.

කොරෝනා වෛරසය ආසාදිත වූවන් සඳහා ද දේශීය වෛද්‍ය ක‍්‍රමය යටතේ ප‍්‍රතිකාර කළ හැකි බවත් එය රෝගියාගෙන් රෝගියාට ඔහුගේ ප‍්‍රකෘතිතාවය අනුව වෙනස් වන බැවින් බෙහෙත් වට්ටෝරු පිළිබඳව සඳහන් කිරීම උචිත නොමැති බවත් කුමාරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *