කොරෝනා පාලන උපාය මාර්ගය දැන්වත් වෙනස් කළ යුත්තේ ඇයි – වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

(08.04.2020 – 01:18 +0530 – lankaleadnews.com)

පසුගිය සතියකට ආසන්න කාලයක් තුල විවිධ ක්‍රමවේද හරහා වර්තමාන වසංගත පාලන උපාය මාර්ගය වෙනස් කළ යුතු බවට ජාතික සංවිධාන වලට සම්බන්ධ විද්වතුන් විසින් මත පළ කරන්නට යෙදුණි. එනම් වර්තමානයේ යොදා ගනු ලබන නිරෝධායන සහ ‘ලොක් ඩවුන්’ හෙවත් සමාජ සබඳතා භෞතිකව සීමා කිරීම යන මූලික ක්‍රමවේද දෙක හරහා රෝගය සමාජයට පැතිරීම වළක්වා ගැනීම සඳහා යොදා ගනු ලබන උපායමාර්ගය තවදුරටත් විස්තීරණ කළ යුතු බවය. ඒ සඳහා කළ යුත්තේ ප්‍රතිකාර ක්‍රියාවලිය තුල රෝග විනිශ්චය සඳහා යොදා ගන්නා පරීක්ෂණ ක්‍රමවේදය සමාජය තුල සිටින රෝගය බෝ කිරීමේ විභාවය සහිත පිරිස් සොයා ගැනීම සඳහා යොදා ගැනීමය. (Screening at community level) එහෙත් එය කිසිසේත්ම සමස්ත සමාජය ‘ස්ක්‍රීන්’ කිරීමක් හෝ පරික්ෂාවට ලක් කිරීමක් නොවේ.

එහිදී සිදු කළ යුත්තේ විදේශවල සිට පැමිණි සහ පැමිණෙන පිරිස් මෙන්ම හඳුනාගත් ස්පර්ශකයින් සියළු දෙනා පරීක්ෂණ වලට යටත් කිරීමය. එනම් සැක කටයුතු සියළු දෙනා හෙවත් රෝග ලක්ෂණ නොපෙන්වන හෝ මෘදු ලක්ෂණ සහිත එහෙත් රෝගය අන් අයට බෝ කිරීමට හැකියාව ඇති සියළු සැක කටයුතු පිරිස් පරික්ෂාවට ලක්කොට ඔවුන් සුපරික්ෂාකාරීත්වයේ දැළ ඇතුලට කොටුකර ගැනීමය. එසේ නොමැතිව ඔවුන්ට සමාජය තුල යටින් සැරිසැරීමට ඉඩ හැර ‘ලොක් ඩවුන්’ කිරීමෙන් පමණක් රෝග පාලන උපාය මාර්ගික අරමුණ ඉටු වන්නේ නැත. සංචාරකයින්ගේ පැමිණීම සීමා කිරීම සහ ඔවුන් නිරෝධායනය කිරීමේ ක්‍රියාවලිය යම් දින කිහිපයකට පමා වීම නිසා ආරක්ෂක හමුදා වලට එසේ සමාජයට නිදහස් වූ පිරිස් සොයා ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු විය. එය සමාන කළ හැක්කේ වත්ත ඇතුළට කඩා වදින ගව රැලක් ඇතුළුවීමේ ගේට්ටුව අසළදී අල්ලා ගැනීම වෙනුවට ඔවුනට ඇතුළුවීමට ඉඩ දී ඔවුන් අල්ලා ගැනීමට වත්ත වටේ දිවීම වැනි ක්‍රියාවකටය.

ඉන්දියාව ගත්විට චිනයෙන් පැමිණි පළමු රෝගියා හඳුනා ගන්නේ ජනවාරි 30 වැනිදාය. නමුත් විදේශ සංචාරකයින් සිමා කළයුතු බවට තීන්දුව ගනු ලබන්නේ රෝගීන් හමුවීමට පෙර ජනවාරි 15 වැනි දාය. පෙබරවාරි 01 වැනිදා චිනයට ගුවන් ගමන් නැවැත් වූ අතර වසංගතයට මුහුණ දීම සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂණ උපකරණ සහ උපාංග අපනයනය කිරීම තහනම් කරනු ලැබීය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පළමු රෝගියා වන චීන ජාතික කාන්තාව හඳුනාගත්නේ ජනවාරි 27 වැනිදාය. ඒ අතර ජනවාරි 20 වන විට කොරියාවේ සහ ඇමරිකාවේ පළමු රෝගියා හඳුනා ගැනීම නිසා රෝග පාලනයට අදාළ සමාජ කතිකාව ඉහළට පැමිණ තිබුණි. රෝගය උත්සන්න වී ඇති ඉතාලියේ පළමු රෝගියා හමුවන්නේ ජනවාරි 31 වැනිදාය. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තම මූලික යුතුකම වන රෝග පාලන උපාය මාර්ගික ප්‍රවේශය පිළිබඳ තාක්ෂණික උපදෙස් ලබාදීම නිසි පරිදි කළේ නැත. ඒ වෙනුවට ඔවුන් සංවිධානයේ බැනරය යට සිටිමින් අනතුරු ඇඟවීම් සහ සාමාන්‍ය සෞඛ්‍ය අධ්‍යාපන උපදෙස් නිකුත් කරනු ලැබීය.

එම තත්වය තුළ ලෝකයේ බොහෝ රටවලට රෝග පාලන උපායමාර්ගය පිළිබඳ පැහැදිළි එකඟතාවයකින් තොරව එන හැටියට මුහුණ දීමට සිදුවිය. එහෙත් ශ්‍රී ලංකාවේ අප සතුව බිහිසුණු ගරිල්ලා යුද්ධයක් ජයගත් ආරක්ෂක හමුදාවක් සහ පද්ධතියක් සේ ක්‍රියා කරන උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් තිබූ බැවින් පමා වී හෝ අවුල බොහෝ දුරට බේරා ගැනිමට හැකි විය. රට තුලට පැමිණි පිරිස් හඹා යැමට ආරක්ෂක හමුදා ඔත්තු සේවා වලට සුවිශේෂි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. ඉහත සඳහන් කළ ආකාරය රෝගය පැතිරීමේ රටාව පිළිබඳව වූ අඩු අවබෝධය නිසා මාර්තු 17 වැනි දිනක පවා තමිල්නාඩුවෙන් රෝග වාහකයින්ට නිරෝධායනයට ලක් නොවී රට තුලට ඇතුළු වීමට හැකි විය. ඔවුන් සහ ඔවුන්ගේ ස්පර්ශකයින් හඳුනා ගැනීම සඳහා ආරක්ෂක හමුදා වලට ඉතා දුෂ්කර ව්‍යායාමයක යෙදිමට සිදු වූ අතර පළමු වරට ගම්මානවලින් එනම් සමාජයේ තෝරා ගන්නා පිරිස් ආයතනගත නිරෝධායනයට ලක් කිරීමටද සිදුවිය.

කෙසේ වෙතත් ආයතනගත නිරෝධායන ක්‍රියාවලිය තුල ආරක්ෂක හමුදා සාමාජිකයින් විසින් පෙන්වූ උසස් මානුෂීය ගුණය නිරෝධායනයට ලක්වුණ පිරිස් වල බලවත් ඇගයීමට ලක් වූ නිසා එම ක්‍රියාවලියට එරෙහිව පැන නැගීමට ඉඩ තිබූ මහජන විරෝධය සමනය විය. මහජන සහයෝගය යනු රෝග පාලනයට අදාළ මූලික උපාය මාර්ගික පුර්ව කොන්දේසියකි. එහෙත් නිරෝධායනයෙන් දින 14 කට පසුව ශරීරඋෂ්ණත්වය පමණක් පරික්ෂා කොට ඔවුනට සහතිකයක් ලබා දිම මුලික රෝග පාලන මූලධර්මවලට පටහැනි වේ. එක් පැත්තකින් එසේ සහතිකයක් ලබා දිය හැක්කේ පිළිගත් පරීක්ෂණයක් එනම් ඒ වන විට පැවති පී.සී.ආර් (P.C.R) පරීක්ෂණය සිදු කිරීමෙන් පසුව පමණි. අනෙක් පැත්තෙන් වෛරසය රෝග ලක්ෂණ නොමැතිව දින 14 කට වැඩි කාලයක් වුවද ශරීරය තුල තිබිය හැකි බව ඔප්පු වීම නිසා දින 14 යන තීරණාත්මක සාධකයක් ලෙස සැලකිය නොහැක. දින 30 ක් දක්වා වෛරසය ශරීරයෙන් මුදා හැරිය හැකි රෝගීන් චීනයේදී හඳුනාගනු ලැබීය.

මෙම ලිපියේ මූලික අරමුණ වන රෝග පාලන උපාය මාර්ගය වෙනස් කළ යුතු බව අවධාරණය කිරීම සඳහා එම දීර්ඝ අමතර කරුණු පැහැදිළි කිරීම අවශ්‍ය විය. ඒ අනුව නව උපාය මාර්ගය තුල සමාජයේ සැරිසරන රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් හැකි ඉක්මනින් හඳුනාගෙන සමාජයෙන් ඉවත් කිරීම මඟින් රෝග පාලන ක්‍රියාවලිය කාර්යක්ෂම සහ ප්‍රතිඵලදායක කළ හැකි බව පිළිගන්නේ නම් පහත සඳහන් කරුණු සැලකිල්ලට ගැනීමට සිදුවේ. මේ වන විට රුසියාවේ එසේ සමාජයේ සිටින රෝගීන් පරික්ෂා කිරීම සඳහා පී.සී.ආර් පරීක්ෂණ ලක්ෂ 6 ක් සිදු කොට ඇත. ජර්මනියේ සතියකට එවැනි පරීක්ෂණ ලක්ෂ 2 ක් තරම් ඉහල ප්‍රමාණයක් සිදු කරයි. ඇමරිකාවේ සහ ද.කොරියාවේ පළමු රෝගියා හමුවන්නේ එකම දිනක එනම් ජනවාරි 20 වන දින වුවත් මාර්තු මැද වන විට මිලියන 50 ක ජනගහණයක් සිටි දකුණු කොරියාවෙ පරීක්ෂණ ලක්ෂ 3 ක් සිදු කරන විට මිලියන 360 ක් සිටින ඇමරිකාව සිදු කරන්නේ ඉන් පහෙන් එකක් පමණි. ඊට අදාළ වන්දිය දැන් ඇමරිකානු ජනතාව විසින් ගෙවමින් ඇත. දකුණු කොරියාව බරපතල ‘ලොක්ඩවුන්’ කිරීම් වලින් තොරව රෝගය සාර්ථකව පාලනය කිරීමට සමත් වන්නේ සමාජයේ සිටින රෝගය බෝ කරන පිරිස් හඳුනා ගැනීම සඳහා එසේ බහුලව ස්ක්‍රීන් පරීක්ෂණ සිදු කිරීම නිසාය.

නමුත් දැන් ඇමරිකාව චෝදනා එල්ල වීමෙන් පසුව පරීක්ෂණ ක්‍රියාවලිය පුළුල් කොට ඇති අතර පී.සී.ආර් පරීක්ෂණවලට අමතරව විනාඩි 15 කදී සිදු කළ හැකි එම පරීක්ෂණයේ හදිසි ප්‍රබේදයක්ද (Rapidtest) යොදා ගැනීම ආරම්භ කොට ඇත. ‘ඇබෝට්’ නම් සුප්‍රසිද්ධ සමාගම විසින් නිපදවූ එම පරීක්ෂණය දැන් ඉලිනෝස් ප්‍රාන්තයේ භාවිතයට ගන්නා අතර එම සමාගම විසින් දිනකට පරීක්ෂණ කට්ටල 50,000 ක් නිපදවනු ලබයි. ඉන්දියාව සතුව රජයේ පරීක්ෂණාගාර වල පි.සී.ආර්. යන්ත්‍ර පහසුකම් සහිත රසායනාගාර 123 ක් යොදාගන්නා අතර පුද්ගලික අංශය සතුව රසායනාගාර 51 ක් යොදගෙන ඇත. පී.සී.ආර්. යන්ත්‍රයකින් දිනකට පරීක්ෂණ 300 – 400 ත් අතර ප්‍රමාණයක් සිදු කළ හැක. එසේ වුවත් ආරම්භයේ සිටම ඉන්දියාවේ විදේශ සංචාරකයින් පරීක්ෂණ වලට ලක් කලද මේ වන විට ඉන්දියාවේදී සිදු කරන පරීක්ෂණ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවට එරට ජනයා චෝදනා එල්ල කරති. බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් මැට් හැංකොක් පසුගිය සතියේදී ප්‍රකාශ කරනු ලැබවේ තම රටේ පරීක්ෂණ ඉලක්කය වන දිනකට 10,000 ක් කිසි සේත්ම ප්‍රමාණවත් නොවන බැවින් එය 10 ගුණයකින් වැඩි කළ යුතු බවය.

තත්වය එසේ නම් අප රටේදී ඉන්දියාව සහ ඇමරිකාව පමා වී කළ දේ අපත් පමා වී හෝ කිරීමට නම් පළමුව වැදගත් වන්නේ උපාය මාර්ගය වෙනස් කරන බව ප්‍රකාශයට පත් කිරීමය. එසේ නැතහොත් පවතින ක්‍රමවේදයට අමතරව බහුලව සමාජය තුල පරීක්ෂණ කිරීමේ ක්‍රමවේදය එකතු කරන බව පිළිගෙන ඊට අදාළව පද්ධතිය සූදානම් කිරීමය. පරීක්ෂණ ක්‍රමවේදය කුමක්ද සහ එහි ධාරිතාව හෝ ප්‍රායෝගික ගැටළු හෝ වෙනත් හදිසි පරීක්ෂණ ක්‍රමවේද යොදා ගන්නවාද නැත්ද යන්න සැලකිල්ලට ගත යුත්තේ අදාළ උපායමාර්ගික තීන්දුව නිශ්චිතව ගැනීමෙන් පසුවය. ඉන් පසුව වැදගත් වන්නේ දැනට රට තුල පවතින පි.සී.ආර්. පරීක්ෂණ ක්‍රමවේදය උපරිම විභවයට අනුව භාවිත කරන්නේ කෙසේද යන කාරණයයි. එහිදී එම යන්ත්‍ර අයත් වන්නේ සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවටද, විශ්ව විද්‍යාල පද්ධතියටද, එසේ නැතහොත් පුද්ගලික අංහයටද යන්න වැදගත් නොවේ. උපාය මාර්ගික තින්දුව ගැනීමෙන් පසුව වඩා කාර්යක්ෂම සහ ප්‍රතිඵලදායක ක්‍රමවේදය වන්නේ පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය ආයතනවල පරීක්ෂණාගාර රජයේ අධීක්ෂණයට යටත් කිරීම නම් නොපැකිලිව එය සිදු කළ යුතුය.

එහිදී අයර්ලන්තයේ සිදු කරන ආකාරයට පුද්ගලික රෝහල් පවරා ගැනීම අවශ්‍ය වන්නේ නැත. ඒ සඳහා පරීක්ෂණාගාර සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවේ අධීක්ෂණයට යටත් කිරීම සහ පිරිවැය පමණක් ප්‍රතිපූර්ණය කිරීම ප්‍රමාණවත් වේ.මෙම දුෂ්කර අවස්ථාවේදී මහජනයා වෙනුවෙන් එම සේවාව නොමිලයේ ලබා දීමට යම් පුද්ගලික රෝහල් එකඟ වීමේ ඉඩක් ද ඇත. මෙම වසංගතයේදී පුද්ගලික රෝහල් වල භූමිකාවට සීමා වීම නිසා එසේ කිරීම මඟින් ඔවුන්ගේ ප්‍රතිරූපය වර්ධනය වනු ඇත. පුද්ගලික අංශය පසෙක තැබුවද රජයේ සහ අර්ධ රාජ්‍ය අයතනවල සෘජුව පරීක්ෂණ ක්‍රියාවලියට යොදාගත හැකි යන්ත්‍ර 56 ක් ඇත. නමුත් පුද්ගලික අංශය සතුව ඇත්තේ යන්ත්‍ර 06 ක් පමණි. රජයට අයත් යන්ත්‍ර වලින් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ යන්ත්‍ර 10 ක් ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ විවිධ රෝහල් වල යන්ත්‍ර 20 ක් ඇත. විශ්ව විද්‍යාල සහ අනෙකුත් රාජ්‍ය ආයතන සතුව යන්ත්‍ර 38 ක් ඇත.

නමුත් ක්ෂය රෝගය මර්ධන ව්‍යාපාරයේ යන්ත්‍ර 31 ක් සහ මැලේරියා මර්ධන ව්‍යාපාරයේ යන්ත්‍ර 1 ක් වශයෙන් තවත් යන්ත්‍ර 32 ක් ඇතත් මිලදී ගැනීමේදී සිදුවී ඇති තාක්ෂණික අඩුපාඩුකම් නිසා එම යන්ත්‍ර එක් වරම මෙම කාර්යයට යොදා ගත නොහැක. කෙසේ වෙතත් ඒඩ්ස් රෝග මර්ධන අංශයේ යන්ත්‍රයක් මෙම කාර්ය්‍ය සඳහා යොදා ගත හැකි බව වාර්තා වේ. මෙම යන්ත්‍රවල සම්පූර්ණ ධාරිතාව ප්‍රයෝජනයට ගන්නේ නම් දිනකට පරීක්ෂණ 10,000 ක් වුවද සිදු කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා මානව සම්පත් හිඟකමක් තිබේනම් අදාළ යන්ත්‍ර පිළිබඳව පරිවය සහිත පශ්චාත් උපාධි සිසුන්ගේ සේවය ඒ සඳහා ලබාගත හැක. මෙම යන්ත්‍ර සඳහා වාණිජ කට්ටල මෙන්ම ඇමරිකානු සී.ඩී.සී. ආයතනයේ ප්‍රමිතීන් අනුව රසායනික ද්‍රව්‍යය යොදා ගත හැක. ඒවා සැපයීම සඳහා ශ්‍රී ලංකාවේ ‘රන් ප්‍රමිතීන්’ අනුගමනය කරන විශේෂඥයින් සහිත පුද්ගලික ආයතන ඇත. එහෙත් අදාළ ඇනවුම් කිරීමේදී අදාළ මූලික රසායනික ද්‍රව්‍ය කට්ටලවලට අමතරව අතුරු ද්‍රව්‍යයද ඇනවුම් කිරීම වැදගත් වේ. එසේ නැතහොත් පවතින ජාත්‍යන්තර වෙළඳපළ සීමාකම් අනුව අතරමඟදී සැපයුම් ලබාගැනීම දුෂ්කර විය හැක.

කෙසේ වෙතත් ඇමරිකාව අනුගමනය කරන ප්‍රතිපත්තිය අනුගමනය කරමින් පී.සී.ආර්. පරීක්ෂණ ක්‍රියාවලියට අමතරව නව හදිසි පරීක්ෂණ කට්ටලයද යම් ප්‍රමාණයක් ඇනවුම් කිරීම වැදගත් වනු ඇත. එහිදී පි.සී.ආර්. පරීක්ෂණයට සමාන හදිසි පරීක්ෂණ කට්ටල ඇමරිකාවෙන් ලබා ගත හැකි අතර රුසියාවද මෑතකදී එවැනි නව පරීක්ෂණ කට්ටලයකට අනුමැතිය ලබාදී ඇත. ඒ අතර සරල රුධිර පරික්ෂාවක් මඟින් ප්‍රතිදේහ හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටලයක්ද චිනය විසින් නිෂ්පාදනය කොට වාණිජ වශයෙන් මුදා හැර ඇත. නමුත් එම පරීක්ෂණ යොදා ගත හැක්කේ වෛරසය ශරීරගත වී දින 07 ක් පමණ ඉක්මවා ගිය රෝගීන් සඳහාය. එම පරීක්ෂණවල පළමු වටයේදී යම් ගැටළු තිබුණද මේ වන විට ඒවා වැඩි දියුණු කොට ඇති බව වාර්තා වේ. එම පරීක්ෂණ පී.සී.ආර්. පරීක්ෂණ සමඟ සමගාමීව යොදා ගැනීමේ හැකියාව ඇත. ඒවා ඉතා ලාභදායි නිසා එනම් කට්ටලයක් ඇ.ඩොලර් 2.50 පමණ වන නිසා පර්යේෂණ මට්ටමින් භාවිත කිරීමේ හැකියාව ඇත. මෙම නව පරීක්ෂණ කට්ටල රජයෙන් රජයකට ඉල්ලීමක් ලෙස ඇනවුම් කිරීම වඩා සුදුසු වනු ඇත.

පරීක්ෂණ කිරීමේ ධාරිතාව ඉහළ මට්ටමකින් පවත්වා ගැනීම වැදගත් වන්නේ අනපේක්ෂිත ලෙස සමාජය තුල බහුලව පරීක්ෂණ කිරීමට හේතු කාරණා පැන නැගිය හැකි විමය. උදාහරණයක් ලෙස ආයෝජන මණ්ඩලයේ සේවය කොට ගමට ගිය පිරිස් සහ ඔවුන්ගේ ස්පර්ෂකයින් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් මතු විය හැක. ඊට අමතරව බොහෝ රටවල දැනට සිදුකරන ආකාරයට රෝග ලක්ෂණ නැතත් ස්පර්ෂකයින් බවට සැක කරන පිරිස් වලට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ලෙසට නිවේදනය කළ හොත් ස්ක්‍රීන් පරීක්ෂණ සඳහා ඉල්ලුම ඉහළ යනු ඇත. කෙසේ වෙතත් සමාජය තුල පරීක්ෂණ කිරීමට විරුද්ධ වන විවිධ විද්වතුන් හේතු 04 ක් ඉදිරිපත් කරති. පළමුවැන්න නව පරීක්ෂණ වල ගැටළු පවතින නිසා ඒවා යොදාගත නොහැකි බවය. එහෙත් ඔවුන්, තිබෙන පී.සී.ආර්. යන්ත්‍ර ධාරිතාව උපරිමයෙන් යොදා ගැනීම පිළිබව කථා නොකරති. දෙවැන්න රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් ප්‍රමාණය ඉතා අඩු ප්‍රමාණයක් යැයි විශ්වාස කිරීමය. නමුත් විවිධ විද්වත් ආයතන වලින් නිර්මාණය කොට ඇති සංඛ්‍යානමය ආකෘති අනුව එම ප්‍රමාණය 80% තරම් ඉහළ විය හැක. තුන්වැන්න ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය මුල්වටයේදී අනුගමනය කළ ‘රංචු ප්‍රතිශක්තිය’ මඟින් වසංගතය පාලනය වීමට ඉඩ හැරීමේ ප්‍රවේශය හෙවත් ආරක්ෂාකාරී ප්‍රවේශය අනුමත කිරීමය. හතරවැන්න වැරදි නිෂේධාත්මක පරීක්ෂණ වාර්තාවක් මඟින් රෝගියා තුල ව්‍යාජ ආරක්ෂාකාරී මනසක් ඇතිවිය හැකි බවය. නමුත් කිසිඳු පරීක්ෂණයක් නොකරන විට සහ රෝග ලක්ෂණ නොමැති විටද එවැනි මනසක් ඇති වීමේ හැකියාව ඇත. කුමන හෝ පරීක්ෂණයක් සිදු කළ විට තමා ප්‍රතිකාර ක්‍රියාවලියකට ඇතුළු වූ බව රෝගියාට දැනෙන බැවින් පළමු පරීක්ෂණය නිෂේධාත්මක වුවද දෙවන පරීක්ෂණය සිදු කරන තෙක් රෝගියාගේ අවනත භාවය පවත්වා ගැනීමේ හැකියාව පවතී.

කෙසේ වෙතත් ‘රංචු ප්‍රතිශක්තිය’ හෙවත් Heard Immunity මඟින් වසංගතයක් පාලනය වීමට ඉඩ හැරීම යනු ස්වාභාවික චක්‍රයට ඉඩදීමය. එනම් ජනග්‍රහණයෙන් යම් පිරිසක් මරණයට පත් වී සෙසු පිරිසෙන් සැලකිය යුතු ප්‍රතිශක්තියකට ප්‍රතිශක්තිය ඇති වීම මඟින් රෝගය පාලනය වීමය. එම න්‍යාය පිළිගන්නේ නම් රටකට සෞඛ්‍ය බලධාරීන් අවශ්‍ය වන්නේ නැත. වසංගතයක් පාලනය කිරීම යනු අනිවාර්යෙන්ම ප්‍රහාරාත්මක ප්‍රවේශයකි. එනම් රෝගය සහ රෝග කාරකය හඳුනා ගෙන සියළු ස්පර්ශකයන් හඹාගොස් හුදකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම යනු ප්‍රහාරාත්මක ප්‍රවේශයක් මිස ආරක්ෂාකාරී ප්‍රවේශයක් නොවේ. එසේම රෝගය පැතිරී යන බවට සැක කරන පවුල් හෝ ග්‍රාමීය කැටිති වල සමස්ථ පිරිස පරික්ෂාවට පක් කළ යුතු අතර ඉන් සාම්පලයක් පමණක් පරික්ෂා කිරීම නිවැරදි නොවේ.

මෙම සියළු කරුණු සැලකිල්ලට ගැනීමේදී වහාම හැකිතාක් පරීක්ෂණ වැඩි කිරීම යන ප්‍රහාරාත්මක ප්‍රවේශය අනුව කටයුතු කළ යුතු බව වටහාගැනීමට වසංගත රෝග විද්‍යා හෝ වෛරස විද්‍යාව ගැන මහා දැනුමක් අවශ්‍ය වන්නේ නැත. වසංගත රෝග විද්‍යාව විද්‍යාවක් වුවද වසංගතයක් පාලනය කිරීමේ උපාය මාර්ග තේරීමේදී එම විද්‍යාත්මක පදනම මත සිට දේශපාලන තීන්දු ගැනීමට සිදුවේ. එහිදී විද්‍යාත්මක සාධක වලට සමානව හෝ ඊටත් වඩා ආර්ථික, සමාජ සංස්කෘතික, සාධක මෙන්ම ජනකොටස් වල චර්යාමය වෙනස්කම් සහ මානසික සාධකද සැලකිල්ලට ගැනීමට සිදුවේ. මිලියන 60 ක් සමඟ වූහාන් නගරය ආශ්‍රිත පලාත වසා දැමීමේ තීන්දුව ගනු ලැබූවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මිස විද්වත් කමිටුවකින් නොවේ. එහිදී විද්වතුන්ගේ අදහස් සැලකිල්ලට ලක්වන්නට ඇති බවට විවාදයක් නැත. එහෙත් එදා ඇමරිකානු රජය ප්‍රමුඛ බොහෝ ගෝලීය මට්ටමේ විද්වතුන් විසින් එම තීන්දුව විවේචනය කරන ලදී. නමුත් එම තීන්දුව නොගත්තා නම් අද චීනයට සිදුවන දේ කිසිවෙකුට රහසක් නොව්. ඉතාලිය සහ ඇමරිකාව විසින් ඊට සාක්ෂි සපයමින් ඇත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

+++++++++++++++++++++++++++++++++++++

වසංගතයෙන් පසු නැවත නැඟී සිටීමට නම් පළමුවෙන්ම බැංකු වෙනස්විය යුතුයි

(07.04.2020 – 13:33 +0530 – lankaleadnews.com)

කොරෝනා වසංගතයෙන් පසු නැවත නැඟී සිටීමටනම් පළමුවෙන්ම බැංකු හෝ මූල්‍ය ආයතන වෙනස්වියයුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ (06) ‘දෙරණ 360’ වැඩසටහනට එක්වෙමින් මේ බව අවධාරණය කර සිටියේය.

“යම් රටක බැංකු හෝ මූල්‍ය ආයතන එරටේ වැඩිම ලාභ උපයන ආයතන 20 ට අයත් වනවා නම් ඒ රටේ ආයෝජකයින්ට කිසි දවසක ගොඩ එන්න බැහැ. අපේ රටේ පළමු 10 ට බැංකු අයත් වෙනවා. මේ සහනයත් අද ආයෝජකයින්ට ලබා නොදී විවිධ ක්‍රමවේද හරහා මූල්‍ය ආයතන කට්ටි පනින බවට කිසිඳු සැකයක් නැහැ. රටේ ආර්ථික අවපාතයකදී බැංකු වලට පමණක් තම ඉලක්ක ගත ලාභාංශ පවත්වා ගැනීමට ඉඩ නොදිය යුතුය. ඔවුන්ට සංචිත ප්‍රතිශතය අඩු කිරීමේ සිට බොහෝ ප්‍රතිලාභ දුන්නත් ඒවා මහජනයාට ලැබී නැහැ. දැන් ඔවුන් තම අතිරික්ත ප්‍රාග්ධනයෙන් කොටසක් සහන ලෙස ආර්ථිකයට මුදා හැරීමට මීට වඩා බලකිරීමක් කළ යුතුයි.”

++++++++++++++++++++++++

මිනිත්තු 84
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *