තවත් පවුල් ලක්ෂ 10 කට පමණ රු. 5000 දීමනාව

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• තවත් පවුල් ලක්ෂ 10 කට පමණ රු. 5000 දීමනාව (විඩියෝ)

• විදෙස් ගතව සිටින්නන්ට මුදල් තැන්පත් කිරීමට විශේෂ ගිණුමක් – 2% ක අමතර පොළියක් (විඩියෝ)

• පෞද්ගලික බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ටත් රුපියල් පන්දහසේ දීමනාව

• විදුලිබිල ගෙවීම සඳහා ලබාදුන් සහන කාලය දීර්ඝ කරයි

• ඉන්දියාවේ කොරෝනා උපරිම තැනක සිටින ශ්‍රී ලාංකික සිසුවියන් පිරිසක් කළ ප්‍රකාශය (විඩියෝ)

• විදේශ රටවල ගුවන් තොටුපළවල සිරව සිටින ශ්‍රී ලාංකිකයන් 33 ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ තීරණයක් (විඩියෝ)

• රථවාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක්

• රත්නපුර පුද්ගලයින් 67 ක් නිරෝධායනයට (විඩියෝ)

• මියගිය හත්වැන්නාගේ දේහය ආදාහනය කෙරේ – රත්නපුරයේ 67 ක් දියතලාවට (විඩියෝ)

• සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 47 දක්වා ඉහළට

• නිරෝධායන උපදෙස් කඩකළ ජාඇළ 28 දෙනෙකු නාවික හමුදා භාරයට

• ප්‍රධාන පෙළේ සහල් මෝල් අඛණ්ඩව විවෘතව තැබීමට රජය තීරණය කරයි (විඩියෝ)

• කොරෝනා මැඩලන්න ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 22 ක ප්‍රදානයක්

• මීගමුව දිස්ත්‍රික් මහරෝහලෙන් රෝගීන්ට නිවසටම ඖෂධ

• මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින වැරදිකරුවන්ට ඇප දීම ගැන නීතිපතිගේ මාර්ගෝපදේශනය වැඩබලන පොලිස්පතිට

• රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනාවක් (විඩියෝ)

• රත්මල්යායේ කොරෝනා ආසාදිතයා සමග අවමගුලකට එක්වූ 39 දෙනෙකු සොයා මෙහෙයුමක්

+++++++++++++++++++++++++++++++++++

තවත් පවුල් ලක්ෂ 10 කට පමණ රු. 5000 දීමනාව

(09.04.2020 – 10:59 +0530 – hirunews.lk/sinhala)

දැනට සහන ලබාදී ඇති පවුල් ලක්ෂ 54 ට අමතරව ස්වයං රැකියා ආදිය කරමින් සිටි සහන ලැබිය යුතු අවම වශයෙන් තවත් පවුල් ලක්ෂ 10 කට පමණ රුපියල් 5000 දීමනාව ලබාදිම සඳහා දැනට ග්‍රාම සේවා නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් මට්ටමින් කටයුතු කරමින් පවතින බව, දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

විදෙස් ගතව සිටින්නන්ට මුදල් තැන්පත් කිරීමට විශේෂ ගිණුමක් – 2% ක අමතර පොළියක්

(09.04.2020 – 10:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් සියලූම රටවල් මුහුණදී ඇති මූල්‍යමය අර්බුදයත් සමඟ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණවීම වළක්වාගැනීම සඳහා විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම වෙනත් විදේශිකයන්ට මුදල් තැන්පත් කිරීමට විශේෂ ගිණුමක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම විශේෂිත ගිණුමට අදාළ විශේෂ ගැසට් පත්‍රය අද (09) නිකුත් කරන බවයි.

සාමාන්‍යයෙන් විදේශ මුදල් තැන්පත් කරන මෙරට ගිණුම්වලට(NRFC) ගෙවන පොළියට අමතරව 2% ක පොළියක් මෙම තැන්පතු සඳහා ගෙවන බවද ඔහු සඳහන් කළා.

මෙම තැන්පතු අවම වශයෙන් මාස 6 ක කාලයක් මෙම ගිණුමේ පැවතිය යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ. වාසිදායක කොන්දේසි යටතේ, බදු බලපෑමකින් තොරව මෙම තැන්පතු කළ හැකි බවද ඔහු කියා සිටියා.

+++++++++++++++++++++++++++++++++++

පෞද්ගලික බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ටත් රුපියල් පන්දහසේ දීමනාව

(09.04.2020 – 10:54 +0530 – hirunews.lk/sinhala)

කොවිඞ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආදායම් මාර්ගයක් නොමැතිව සිටින පෞද්ගලික බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

මඟී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත මෙම දීමනාව ලබාදෙන බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

විදුලිබිල ගෙවීම සඳහා ලබාදුන් සහන කාලය දීර්ඝ කරයි

(09.04.2020 – 09:39 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය පැතිර යාම වැළැක්වීම යටතේ රජය ගෙන යන වැඩපිළිවෙල සමඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා ලබාදී තිබූ සහන කාලය අප්‍රේල් 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට ඊයේ (08) උපදෙස් ලබාදෙමින් සඳහන් කර ඇත්තේ රට තුළ පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ සිට පාරිභෝගිකයින්ට විදුලි බිල්පත් ගෙවීමට නොහැකිවී ඇති බවයි.

එම නිසා බිල්පත් ගෙවීමට නොහැකි වුවද විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි විදුලිබල අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ෴

+++++++++++++++++++++++++++++++++++

ඉන්දියාවේ කොරෝනා උපරිම තැනක සිටින ශ්‍රී ලාංකික සිසුවියන් පිරිසක් කළ ප්‍රකාශය

(09.04.2020 – 08:31 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ආග්‍රා, හි උසස් අධ්‍යාපනය හදාරණ ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් පිරිසක් මෙලෙස අදහස් පල කළා.

+++++++++++++++++++++++++++++++++++

විදේශ රටවල ගුවන් තොටුපළවල සිරව සිටින ශ්‍රී ලාංකිකයන් 33 ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ තීරණයක්

(09.04.2020 – 11:03 +0530 – hirunews.lk/sinhala)

විදේශ රටවල ගුවන් තොටුපළවල සිරව සිටින ශ්‍රී ලාංකිකයන් 33 ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය හිමිවූ බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී කියා සිටියා.

ඕමානය, ඩුබායි, සිංගප්පුරුව, ඉතියෝපියාව, තුර්කිය, මැලේසියාව, ඉන්දියාව- නවදිල්ලිය , මාලදිවයින, බ්‍රිතාන්‍ය- ලන්ඩන්, ෂිෂෙල්ස්, පැපුවානිව්ගිනියා, ඊජිප්තුව, පේරු ආදී ගුවන් තොටුපළ-වල මෙම පිරිස සිරව සිටින බවයි ඔහු පැවසුවේ.

+++++++++++++++++++++++++++++++++++

රථවාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක්

(09.04.2020 – 07:26 +0530 – hirunews.lk/sinhala)

රථවාහන දඩ මුදල්, තැපැල් කාර්යාල මගින් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට සහ අතිරේක දඩමුදල් ඉවත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබෙනවා.

පොලීසිය විසින් මාර්තු මස 1 වන දින හෝ එම දිනයට පසුව නිකුත් කර ඇති රථවාහන දඩපත්‍රිකා සඳහා මෙය අදාළ වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

රත්නපුර පුද්ගලයින් 67 ක් නිරෝධායනයට

(09.04.2020 – 12:07 +0530 – sinhala.adaderana.lk)

රත්නපුර නගරයේ පුද්ගලයින් 67 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට අද (09) තීරණය කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාධිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකපිට ඔවුන් නිරෝධායනයට යොමු කළ බවයි.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවලට ඇදිරි නීතිය ඉවත් නොකිරීමට පොලිසිය තීරණය කර තිබේ.

ඒ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම නිසා මියගිය පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු ආශ්‍රය කිරීම නිසා හා රත්නපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ සමීප ඥාතීන් පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටීම නිසායි.

https://www.youtube.com/watch?v=dsIfUuc9AKs#t=6

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

මියගිය හත්වැන්නාගේ දේහය ආදාහනය කෙරේ – රත්නපුරයේ 67 ක් දියතලාවට

(09.04.2020 – 12:41 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්වූ හත්වැන්නාගේ දේහය ආදාහනය කිරීම අද (09) පෙරවරු 11:30 ට පමණ කොටිකාවත්ත – මුල්ලේරියාව – උඩුමුල්ල ආදාහනාගාරයේදී සිදු කෙරුණා.

ඒ, පවුලේ ඥාතීන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන්, ජාත්‍යන්තර නිරෝධායන නීතිරීතිවලට අනුකූලවයි. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ 44 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මැණික් ව්‍යාපාරිකයෙක්.

අද (09) දිනයේ මේ දක්වා අලුතින් ආසාදිතයෙකු වාර්තාවී නොමැති අතර, මෙතෙක් වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 189 ක්.

මේ අතර කන්දකාඩු මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක්වූ තවත් 37 දෙනෙකු අද (09) නිවෙස් වෙත පිටත් කර හැරියා.

මොවුන් සියලුදෙනා පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර, නිරෝධායන මධ්‍යස්ථානයකින් පිටත්වීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කළ පළමු කණ්ඩායම මෙම පිරිස වනවා.

මේ අතර කොරෝනා රෝග ලක්ෂණ යැයි සැක පිට බූස්ස සිර කඳවුරේ රැඳවියන් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඊයේ (08) පස්වරුවේ ඇතුළත් කර තිබෙනවා.

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කමල් කොඩිකාර මොවුන් දෙදෙනා මාතර සහ කළුතර ප්‍රදේශවලින් බූස්ස සිරකඳවුරට පසුගියදා රැගෙන ආ රැඳවියන් බවයි.

මාතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා දකුණු කොරියාවේ සිට පැමිණි අයෙකු සමඟ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පෙර සාදයකට සහභාගි වී තිබෙනවා.

මෙම රැඳවියන් දෙදෙනා පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කර ඇති අතර, එහි ප්‍රථිඵල අද (09) දහවල් ලැබීමට නියමිත බවයි රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කමල් කොඩිකාර වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ගල්කිස්ස – සේරම් පාර පිහිටි අවන්හලක වාහන අංගනයක් තුළ තිබී සොයාගත් නාඳුනන මළ සිරුර නිරෝධායන රෙගුලාසිවලට අනුව විෂබීජහරණය කර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අවන්හලේ තිබියදි මෙම මළ සිරුර සොයාගනු ලැබුවේ ඊයේ (08) උදෑසනයි.

මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පමණ පෙර මියගොස් ඇති බවට සැක කෙරෙන අතර, මරණකරු කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

එමෙන්ම වැලිගම මුහුදේ පාවෙමින් තිබී ඊයේ (08) හමුවූ මළ සිරුරේ අනන්‍යතාව මේ දක්වා තහවුරු කරගෙන නැහැ.

අවුරුදු 67 ත් 70 ත් වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයෙකුගේ බවට සැක කරන මෙම මළ සිරුර මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ගුවන්තොටුපලවල සිරවූ ශ්‍රී ලාංකිකයින් 33 ක් ගෙන්වීමට පියවර.

මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සතුව පවතින පී.සී.ආර්. යන්ත්‍ර 51 ක් කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ සඳහා යොදාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මෙහිදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ විදේශයන්හි ගුවන් තොටුපල 13 ක සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 33 දෙනෙකු දිවයිනට ගෙන්වා ගැනීමට රජය තීරණය කර ඇති බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 47 දක්වා ඉහළට

(09.04.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ පෙරවරු දහයේ සිට ගෙවුණු පැය 24 තුළ සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 5 ක්.

එම රෝගීන් පස්දෙනාම ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී සුවය ලබා පිටව ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

එමෙන්ම කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කරන රෝගීන් 242 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ දිවයිනේ රෝහල් 32 ක ප්‍රතිකාර ලබනවා.

මේ වනවිට මෙරට කොරෝනා රෝගීන් ලෙස හඳුනාගෙන ඇති 189 දෙනාගෙන් අනූ දෙදෙනෙකු ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේයි.

රෝගීන් විසි හත්දෙනෙකු මුල්ලේරියාව රෝහලේත්, 16 දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර, මධ්‍යම පළාතේ සියලුම බලපත්‍ර හිමි මත්පැන් අලෙවිසැල්වලට මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න කියා සිටියේ ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවල වැඩි මිලට මත්පැන් අලෙවි කිරීම ඇතුලු බලපත්‍ර කොන්දේසි කඩකරන්නන් සම්බන්ධයෙන් තොරතුරු වැඩි වශයෙන් ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

ඒ අනුව මධ්‍යම පළාත තුළ මත්පැන් අලෙවිසැල් සහ ආපනශාලා 500 කට අධික ප්‍රමාණයකට මෙලෙස මුද්‍රා තබා තිබෙනවා.

එසේම තම බල ප්‍රදේශයට අයත් ගොවීන්ගේ අස්වැන්න අලෙවි කිරීමට නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සූදානම් වනවා.

කොවිඩ් – 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ගොවින්ගෙන් එළවළු සහ පළතුරු මිලදී ගෙන අලෙවිකරුවන්ට බෙදාහැරීමට කටයුතු සූදානම් කර ඇති බවයි ප්‍රාදේශීය ලේකම් හර්ෂණ ජයසිරි සඳහන් කළේ.

වට්ටක්කා කිලෝ 30,000 ක්, වම්බටු කිලෝ 300 ක්, පැණි දොඩම් 5,000 ක්, ඉඟුරු කිලෝ 125 ක් ඇතුලු එළවළු සහ පළතුරු රැසක් මෙලෙස ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ගොවීන්ගෙන් මිලදි ගෙන ඇති අතර, එය මිලදී ගැනීමට අවශ්‍ය වන්නේ නම් 032 205 2973 දුරකථන අංකය අමතන ලෙස ඔහු ඉල්ලීමක් කරනවා ෴

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායන උපදෙස් කඩකළ ජාඇළ 28 දෙනෙකු නාවික හමුදා භාරයට

(09.04.2020 – 13:37 +0530 – hirunews.lk/sinhala)

නිරෝධානයනය වන ලෙස ලබාදුන් උපදෙස් උල්ලංඝනය කළ ජාඇල – සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 28 දෙනෙකු අද (09) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා බුද්ධි අංශය සිදුකළ මෙහෙයුමකදී මෙම පුද්ගලයින් සොයාගෙන ඇති අතර, ඔවුන් ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකිරීමටයි නියමිතව ඇත්තේ.

පසුගියදා ජාඇළ – සුදුවැල්ල ප්‍රදේශයේ කුලී රථ රියදුරෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟ ඔහු ළඟින් ඇසුරු කළ පුද්ගලයින්ට නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබාදී තිබුණා ෴

+++++++++++++++++++++++++++++++++++

ප්‍රධාන පෙළේ සහල් මෝල් අඛණ්ඩව විවෘතව තැබීමට රජය තීරණය කරයි

(09.04.2020 – 13:59 +0530 – hirunews.lk/sinhala)

සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා ප්‍රධාන පෙලේ සහල් මෝල් අඛණ්ඩව විවෘත කර තැබීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ නියෝජිතයන්ගේ හමුවේදියි මෙම තීරණය ගෙන ඇත්තේ.

සහල් නිෂ්පාදන පවත්වාගෙන යෑම සඳහා වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කළ යුතු බවට මෙම සාකච්ඡාවේදි අවධානය වී තිබෙනවා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

කොරෝනා මැඩලන්න ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 22 ක ප්‍රදානයක්

(09.04.2020 – 14:16 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා යුරෝපා සංගමයෙන් මෙරටට යූරෝ මිලියන 22 ක ප්‍රදානයක් ලබාදී තිබෙනවා.

එය වෛද්‍ය උපකරණ හා වෛද්‍ය පර්යේෂණාගාර පහසුකම් වැඩිදියුණු කිරීම සහ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා වෙන් කර ඇති බවයි යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මීට අමතරව, මෙරට සංචාරක කර්මාන්තයේ නගා සිටුවීම සඳහා ද යුරෝපා සංගමය මුදල් වෙන් කර තිබෙනවා.

මෙම ප්‍රතිපාදන වලින් කොටසක් මේ මොහොතේදීත්, ඉතිරිය කොටස් වශයෙන් වසර තුළ සහ ඉන් ඉදිරියට ලබාදීමට නියමිතයි.

ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල මෙරට තානාපතිවරුන් ඇතුළු යුරෝපා සංගම් දූත පිරිසක් ඊයේ (08) දින අත්‍යාවශ්‍ය සේවා පිළිබඳව විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ හමුවී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවක ද නිරත වී තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

මීගමුව දිස්ත්‍රික් මහරෝහලෙන් රෝගීන්ට නිවසටම ඖෂධ

(09.04.2020 – 15:23 +0530 – hirunews.lk/sinhala)

මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් වෙත නිවසටම ඖෂධ නිකුත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, දැනට ක්‍රියාත්මක පරිදි තැපැල් දෙපාර්තමේන්තුව හරහා එම ඖෂධ ලබාදීම සිදුකෙරෙන බවයි මීගමුව දිස්ත්‍රික් මහරෝහල දැනුම් දෙන්නේ.

ඒ සඳහා තොරතුරු දැන ගැනීමට විශේෂ දුරකථන අංක කිහිපයක් ද හඳුන්වා දී තිබෙනවා.

031 312 1107, 031 312 1136 හෝ 031 228 0777 යන දුරකථන අංක එලෙස වෙන් කර ඇති අතර, රෝගියාගේ සායන අංකය, නම සහ වෛද්‍යවරයාගේ නම ඇතුළු තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ඖෂධ ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බව සඳහන් ෴

+++++++++++++++++++++++++++++++++++

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින වැරදිකරුවන්ට ඇප දීම ගැන නීතිපතිගේ මාර්ගෝපදේශනය වැඩබලන පොලිස්පතිට

(09.04.2020 – 15:26 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ලේකම්වරයාගේ කොරෝනා මර්දන වැඩසටහන අනුව, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින වැරදිකරුවන් ඇප මත නිදහස් කිරීමට අදාළ මාර්ගෝපදේශ, නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකර තිබෙනවා.

ඒ අනුව, අදාළ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසට නීතිපතිවරයා, උපදෙස් ලබාදී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනිතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළා.

මීට අදාළව වැරදිකරුගේ තොරතුරු, මුදා හරින ලෙසට අභියාචනයක් ඉදිරිපත් කර ඇත්තේ ද, සිරගතව සිටි කාලය සහ පෙර වැරදි ආදී කරුණු පිලිබඳව වාර්තාවක් නීතිපතිවරයා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබුණා ෴

+++++++++++++++++++++++++++++++++++

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනාවක්

(09.04.2020 – 16:49 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා රැවටීමට ලක්කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

ඔහු චෝදනා කළේ ජනාධිපති කාර්ය සාධක බලකායට එක්ව සිටි වෘත්තීය සමිති නියෝජනය කළ වෛද්‍යවරුන් කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයන් බවයි.

+++++++++++++++++++++++++++++++++++

රත්මල්යායේ කොරෝනා ආසාදිතයා සමග අවමගුලකට එක්වූ 39 දෙනෙකු සොයා මෙහෙයුමක්

(09.04.2020 – 16:56 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම – රත්මල් යාය ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමග අවමංගල්‍ය උත්සවයකට එක්වූ පුද්ගලයින් 39 දෙනෙකු සොයා ආරක්ෂක අංශය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පුත්තලම මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්. සුරේෂ් මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පසුගියදා මෙම ආසාදිතයා පුද්ගලයින් 50 දෙනෙකු සමග මන්නාරම ප්‍රදේශයේ අදාළ අවමංගල්‍ය උත්සවයට සහභාගි වී ඇති බවයි.

ඔවුන්ගෙන් 11 දෙනෙකු මේ වනවිට සොයා ගෙන ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

සැඟව සිටින අනෙක් 39 දෙනා සොයා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

රත්මල්යාය ප්‍රදේශයෙන් හමුවූ මෙම කොරෝනා ආසාදිතයා ඉන්දුනීසියාවේ – ආගමික කටයුත්තකට සහභාගි වී යළි දිවයිනට පැමිණ තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *