ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම අවශ්‍ය නැහැ – ජනපති ලේකම්ගෙන්, මැතිවරණ කොමිසමට පිළිතුරු

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම අවශ්‍ය නැහැ – ජනපති ලේකම්ගෙන්, මැතිවරණ කොමිසමට පිළිතුරු (විඩියෝ)

• කොරෝනා ආසාදිතයින් 190 ක් – දිස්ත්‍රික්ක පැන්නොත් සති දෙකක් නිරෝධායනයේ (විඩියෝ)

• කොරෝනා මර්දනයට ජනපති විශේෂඥ මතය විමසයි (විඩියෝ)

• කොරෝනා වෛරස ආසාදනයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 49 ක් වෙයි

• කොරෝනා වෛරසය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පළ කළ කාන්තාවක් ඇතුලු 9 ක් අත්අඩංගුවට

• ඇඳිරි නීති බලපත්‍ර උල්ලංඝණය කරන්නන් දින 14 ක් නිරෝධායනයට (විඩියෝ)

• සමෘද්ධිලාභීන්ට දුන් රු. 5000 ණය, ආධාරයක් කරයි

• කොරෝනා හඳුනාගෙන අදට (09) දින 100 යි (විඩියෝ)

• ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත මරණ 90,000 ඉක්මවයි

• මාලදිවයිනේ සිටින ලාංකිකයින්ගෙන් ඉල්ලීමක්

• COVID-19 අරමුදලට ඉහළ ජනතා දායකත්වයක්

• දිවයිනේ සියලුම ඹෟෂධ අලෙවි සැල් අද (09) සිට සෑම දිනකම විවෘතයි (විඩියෝ)

• කොරෝනා ගැන දැනුවත් කරන්න අලුත් ක්‍රමයක් (විඩියෝ)

• සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස නාවික හමුදා බාරයට

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම අවශ්‍ය නැහැ – ජනපති ලේකම්ගෙන්, මැතිවරණ කොමිසමට පිළිතුරු

(09.04.2020 – 17:04 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබෙනවා.

ඒ මීට පෙර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා, ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියකට පිළිතුරු යොමු කරමින්.

පවතින තත්ත්වය මත මහ මැතිවරණය පැවැත්වීම සහ යළි පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් ගැටලු පවතින බැවින් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම සුදුසු බව මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණේ පසුගිය අප්‍රේල් 2 වනදායි.

එම ලිපියේ දැක්වෙන්නේ ජනාධිපතිවරයාට ලැබී ඇති උපදෙස් අනුව මැයි මස 28 වන දින හෝ ඊට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම මෙම අවස්ථාවේ සිදුකළ නොහැකි බවයි.

ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේමේ වගකීමක් වන අතර මැතිවරණ කොමිසමේ කාර්යයන්ට සහ වගකීම්වලට මැදිහත්වීමට ජනාධිපතිවරයා අපේක්ෂා නොකරන බව ද එහි සඳහන්.

කල් දැමුනු ඡන්ද විමසීම පිළිබඳ නිවේදනය කිරීමේ කාල සීමාව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ විධිවිධාන අනුව දින 14 කට නොඅඩු කාලයක් තුල පැවැත්විය හැකි බව ද ජනපති ලේකම්වරයා සිය ලිපිය මගින් පෙන්වාදී තිබෙනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිතයින් 190 ක් – දිස්ත්‍රික්ක පැන්නොත් සති දෙකක් නිරෝධායනයේ

(09.04.2020 – 17:36 +0530 – hirunews.lk/sinhala)

බේරුවල ප්‍රදේශයෙන් රෝගියෙකු හමුවීමත් සමඟ මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 190 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව බේරුවල ප්‍රදේශයෙන් සොයා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙතෙක් හමුවූ රෝගීන්ගෙන් බහුතරයක් විදේශ රටවලින් පැමිණි පුද්ගලයින් ඇසුරු කළ අය බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ.

මෙරටදී කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊයේ (08) පෙරවරු දහයේ සිට ගෙවුණු පැය 24 තුළ සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 05 ක්.

තවදුරටත් රෝගීන් 134 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, ඊයේ (08) ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී ජීවිතක්ෂයට පත්වූ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයාගේ ආදාහන කටයුතු අද (09) සිදුකෙරුණා.

ඒ, නිරෝධායන නීතිරීතිවලට අනුකූලව කොටිකාවත්ත – මුල්ලේරියාව ආදාහනාගාරයේදීයි.

එම අවස්ථාවට පවුලේ ඥාතීන් කිහිපදෙනෙකු එක්ව සිටි අතර, සෞඛ්‍ය අංශ මඟ හැරි බවට ඔහුට චෝදනා එල්ල වුණා.

මේ අතර, නිරෝධානයනය වන ලෙස ලබාදුන් උපදෙස් උල්ලංඝනය කළ ජාඇල – සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 28 දෙනෙකු අද (09) නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

නාවික හමුදා බුද්ධි අංශය සිදුකළ මෙහෙයුමකදී මෙම පුද්ගලයින් සොයාගෙන ඇති අතර, ඔවුන් අම්පාර – ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකිරීමටයි නියමිතව ඇත්තේ.

පසුගියදා ජාඇල – සුදුවැල්ල ප්‍රදේශයේ කුලී රථ රියදුරෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟයි ඔහු සමීපව ඇසුරු කළ පුද්ගලයින්ට නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදී තිබුණේ.

මේ අතර, පුත්තලම – රත්මල්යාය ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමග අවමංගල්‍ය උත්සවයකට එක්වූ පුද්ගලයින් 39 දෙනෙකු සොයා ආරක්ෂක අංශය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පුත්තලම මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.සුරේෂ් සඳහන් කළේ පසුගියදා මෙම ආසාදිතයා පුද්ගලයින් 50 දෙනෙකු සමඟ මන්නාරම – තාරපුරම් ප්‍රදේශයේ අදාළ අවමංගල්‍ය උත්සවයට සහභාගි වී ඇති බවයි.

ඔවුන්ගෙන් 11 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා. රත්මල්යාය ප්‍රදේශයෙන් හමුවූ මෙම කොරෝනා ආසාදිතයා පසුගියදා දිවයිනට පැමිණ තිබුණේ ඉන්දුනීසියාවේ – ආගමික කටයුත්තකට සහභාගි වීමෙන් අනතුරුවයි.

ඔහු, මන්නාරම – තාරාපුරම් ගම්මානයේ අවමංගල්‍යය උත්සවයට සහභාගි වීම හේතුවෙන් පුද්ගලයින් 4600 ක් පමණ වෙසෙන ගම්මානයද මේ වනවිට හුදෙකලා කර තිබෙනවා.

අවමංගල්‍යය උත්සවයට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් කාදර් මස්තාන්ද ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගැනුණේ.

එමෙන්ම, කන්දකාඩු මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක්වූ තවත් 37 දෙනෙකු අද නිවෙස් වෙත පිටත් කර හැරියා. මොවුන් සියලුදෙනා පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර, නිරෝධායන මධ්‍යස්ථානයකින් පිටත්වීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කළ පළමු කණ්ඩායම මෙම පිරිස වනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා මර්දනයට ජනපති විශේෂඥ මතය විමසයි

(09.04.2020 – 18:25 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය මර්දනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂඥ මතය විමසා තිබෙනවා.

වෛරසය රට තුළ පැතිර යාම කඩිනමින් මර්දනයට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය අදහස් ලබාගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා සහ ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ වෛද්‍යවරුන් අතර හමුවක් අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුනා.

කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට රජය සහ ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත් ක්‍රියාමාර්ග සහ ඉදිරියට අනුගමනය කළ යුතු වැඩපිළිවෙල මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

වෛරසය ආසාධිත පුද්ගලයන් ළගින් ඇසුරු කළ කණ්ඩායම් සහ ඉන් අදියර දෙකක් ඉදිරියට සබඳතා පැවැත්වූ පුද්ගලයන් හඳුනාගනිමින් පරීක්ෂණ කිරීමේ වැදගත්කම විශේෂඥ වෛද්‍යවරුන් මෙහිදී පෙන්වාදී තිබෙනවා.

වෛරසය හඳුනා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල (Test Kits) ප්‍රමාණවත් තරම් පැවතුන ද ඕනෑම තත්වයකට මුහුණදිය හැකි වන පරිදි ඒවා ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙසටයි ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

ලෝකයේ සෙසු රටවල් අභිබවා යමින් වෛරසය පැතිරයාමට ගෙන ගිය නිරෝධායන වැඩපිළිවෙල විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ පැසසුමට ලක්ව තිබෙනවා.

එම නිරෝධායන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම වෛරසය පැතිර යාම වැළැක්වීමට ඇති වැදගත්ම ප්‍රවේශය බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම වෛරසය පැතිර ගොස් නොමැති ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ද වෛද්‍යවරුන් දැඩිව අවධාරණය කර ඇති අතර එම ප්‍රදේශවලට වෛරසය පැතිරී ඇති ප්‍රදේශවලින් සිදුවන සංචරණය නතර කර ගත යුතු බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ.

පංචායුධ ක්‍රමවේදයක් ලෙස සෑම අයෙකුම හැකි උපරිමයෙන් නිවසේ රැඳී සිටීම පළමු පියවර ලෙස ඉතා වැදගත් බව වෛද්‍යවරුන් ප්‍රකාශකර තිබෙනවා.

නිවසින් පිටව යාමේදී මුව ආවරණයක් පැළඳීම, මුහුණ ඇල්ලීමෙන් වැළකීම, සැම විටම මීරයක දුරස්ථභාවය පවත්වාගෙන යාම මෙන්ම අත හොඳින් සේදීම පංචායුධ ක්‍රමවේදයට අයත්.

කොරෝනා වෛරසය ඉක්මණින් ආසාදනය විය හැකි පුද්ගලයන් පිළිබඳව සහ ඔවුන් ඉන් මුදවා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී විමසීමක් කර තිබෙනවා.

එහිදී වෛද්‍යවරුන් පෙන්වාදී ඇත්තේ දියවැඩියාව, ඇදුම සහ හෘද රෝග ඇති පිරිස් දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි.

ඔවුන් නියම කර ඇති ඖෂධ නිසි පරිදි ගත යුතු බව ද විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කළා.

එමෙන්ම දුම් පානයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටීමේ වැදගත්කම ද ඔවුන් අවධාරණය කළා.

සෑම අයෙකුම නිරන්තරයෙන් උගුර ආශ්‍රිත ප්‍රදේශ තෙත්ව තබා ගැනීමට දියර පාන ගැනීමේ වැදගත්කම ද පෙන්වාදී තිබෙනවා.

මේ අතර, සමාජ දුරස්ථකරණය සඳහා පනවා ඇති මාර්ගෝපදේශවලට ජනතාව හොඳින් අනුගත නොවුනහොත් සමාජය තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නොවැළැක්විය හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවනවා.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරස ආසාදනයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 49 ක් වෙයි

(09.04.2020 – 18:31 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් දෙදෙනෙකු (02) සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව වෛරසය ආසාදනයෙන් පසු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 49 ක්.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 190 ක් හඳුනාගෙන ඇති අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 07 ක් ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරසය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පළ කළ කාන්තාවක් ඇතුලු 9 ක් අත්අඩංගුවට

(09.04.2020 – 19:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග කඩාකප්පල් කිරීමේ අදහසින් අසත්‍ය ප්‍රචාර පළ කළ සැකකරුවන් 9 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස අසත්‍ය තොරතුරු පළ කළ සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි.

මෙම පිරිසට එක් කාන්තාවක් ද අයත්.

ඔවුන් බණ්ඩාරගම, මහනුවර, දෙහිවල, මහරගම, නුගේගොඩ, ගාල්ල, වාද්දුව, අංගොඩ සහ පොල්ගහවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීති බලපත්‍ර උල්ලංඝණය කරන්නන් දින 14 ක් නිරෝධායනයට

(09.04.2020 – 19:31 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස්බල ප්‍රදේශ හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට පැනවූ ඇඳිරි නීතිය අද (09) පස්වරු 4 සිට යළි ක්‍රියාත්මකයි.

එය අප්‍රේල් 14 වන අඟහරුවාදා පෙරවරු 6 ට යළි ඉවත් කෙරෙනු ඇති.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දන්වන තුරු අඛණ්ඩව බලාත්මක වනවා.

කෙසේ වෙතත්, ඇඳිරි නීතිය ලිහිල් කෙරුණු ප්‍රදේශවල ජනතාව නගර වෙත පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බවයි ප්‍රදේශ රැසක හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

ඖෂධ අලෙවිසැල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණා.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව නගරයට පැමිණියත්, ඇතැම් ස්ථානවල රජය විසින් ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කළ බවක් දක්නට ලැබුණේ නැහැ.

මේ අතර, ඖෂධ සැල් වෙත ලබා දුන් මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ ද යන්න සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, මාර්ගෝපදේශ අනුගමනය නොකළ ඇතැම් ඖෂධ සැල්වලට අවවාද කිරීමට පියවර ගත් බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා කොළඹ ඖෂධ සැලක් පරීක්ෂා කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා දමා තිබුණද ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ අද (09) දිනයේත් මග දෙපස වෙළඳුන් එළවළු අලෙවි කරන ආකාරයක් දක්නට ලැබුණා.

එමෙන්ම, වැලිමඩ – කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානය ද වසා දමා ඇති අතර ඊට එළවළු රැගෙන පැමිණි වෙළඳුන් මාර්ගය දෙපස තබා ඒවා අලෙවි කිරීමට කටයුතු කළා.

රත්නපුර ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් දෙදෙනෙකු ඊයේ (08) වාර්තාවීමත් සමඟ එහි පවුල් 23 කට අයත් පුද්ගලයින් 67 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ බවයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

එමෙන්ම ඊයේ (08) වාර්තා වූ රෝගීන් සමග වැඩි වශයෙන් ඇසුරු කළ පුද්ගලයින් වෙසෙන රත්නපුර – මුද්දුව සහ හතමුව ප්‍රදේශවල ආරක්ෂාව ද තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඇඳිරි නීති බලපත්‍ර උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දින 14 ක් නිරෝධායනයට යොමුකරන බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

සමෘද්ධිලාභීන්ට දුන් රු. 5000 ණය, ආධාරයක් කරයි

(09.04.2020 – 19:44 +0530 – hirunews.lk/sinhala)

සමෘද්ධිලාභීන්ට ලබාදුන් රුපියල් පන්දහසේ (5000) ණය මුදල, ආධාරයක් බවට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ සමෘද්ධිලාභීන්ට රුපියල් දස දහසක (10,000) ණය මුදලක් ලබාදීමට මීට පෙර රජය තීරණය කළ බවයි.

ඒ අනුව ප්‍රථමයෙන් රුපියල් 5000 ක් ඔවුන්ට ලබාදී ඇති අතර, එය රජය විසින් දුන් ආධාරයක් බවට පත් කිරීමටයි රජය කටයුතු කර ඇත්තේ.

එමෙන්ම, කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා යුරෝපා සංගමයෙන් මෙරටට රුපියල් කෝටි 462 ක් ප්‍රදානයක් ලබාදී තිබෙනවා.

එය වෛද්‍ය උපකරණ හා වෛද්‍ය පර්යේෂණාගාර පහසුකම් වැඩිදියුණු කිරීම සහ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා වෙන් කර ඇති බවයි යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා හඳුනාගෙන අදට (09) දින 100 යි

(09.04.2020 – 19:47 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් හඳුනාගෙන අදට (09) දින 100 ක් ගත වෙද්දී ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 15,29,640 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාව ද 89,418 ක් ලෙසයි දැක්වෙන්නේ.

මේ අතර, සෞදි රජ පවුලේ 150 ක පමණ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අල්ජසීරා වෙබ් අඩවිය අද (09) වාර්තා කර තිබුණා.

ඔවුන්ට ප්‍රතිකාර කිරිම සඳහා ප්‍රභූ රෝහලක ඇඳන් 500 ක් සූදානම් කර ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

+++++++++++++++++++++++++++++++++++

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත මරණ 90,000 ඉක්මවයි

(09.04.2020 – 21:06 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 90,000 ඉක්මවා තිබෙනවා.

මේවන විට වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 90,086 ක්.

ලොවපුරා වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1,541,538 ක්.

රෝගීන් 342,272 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ප්‍රතිකාර ලබන පුද්ගලයන් අතරින් 48,509 ක් බරපතල තත්වයේ පසුවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අද වනවිට වෛරසය රටවල් සහ කලාප 200 කට අධික ප්‍රමාණයකට පැතිර ඇති අතර, වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 15 කට අධිකයි.

මේ අතර, තම රට තුළ කොවිඩ් 19 ව්‍යාප්තියේ දෙවන රැල්ලක් මතුවීමේ අවධානමක් ඇති බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා අනතුරු අඟවනවා.

වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවක් මේ වනවිට ඇමරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 435,160 ක්.

ඒ අතරින් ආසාදිතයන් 31,935 ක් වාර්තා වූයේ ගතවූ පැය 24 තුළයි.

එම කාලය තුළ ඇමරිකාවෙන් නව මරණ 1940 ක් වාර්තාවීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 14,792 දක්වා ඉහළ ගියා.

යුරෝපයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් මේ වනවිට ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 148,220 ක් දක්වා ඉහළ ගියේ ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 6278ක් හමුවීමත් සමඟයි.

ස්පාඤ්ඤයේ පුද්ගල මරණ 14,792 ක් මේ වනවිට වාර්තා වන අතර, ගතවූ පැය 24 තුළ එරටින් පුද්ගල මරණ 747 ක් වාර්තා වුණා ෴

+++++++++++++++++++++++++++++++++++

මාලදිවයිනේ සිටින ලාංකිකයින්ගෙන් ඉල්ලීමක්

(09.04.2020 – 22:32 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැදී සිටින ලාංකික ශ්‍රමිකයින් හට මෙරටට පැමිණීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස රජයෙන් ඔවුන් ඉල්ලා සිටියි.

එලෙස පැමිණීමට හැකිවුවහොත් මෙරට සිදු කරන සෞඛ්‍ය අංශවල ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කරන බවට ඔවුන් පොරෙන්දු වී ඇති බව මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයෙක් වන මහේන්ද්‍ර රණසිංහ මහතා පැවසීය.

මේ වන මාලදිවයිනේ ඇති සංචාරක හෝටල් 145 කින් 100 කට අධික සංඛ්‍යාවක් වසා දමා ඇති බව මහේන්ද්‍ර රණසිංහ මහතා ‘අද දෙරණ’ට පැවසීය.

එලෙස සංචාරක හෝටල් වසා දැමීම හේතුවෙන් දහස් ගණනක් ශ්‍රී ලාංකික සේවයින්ගේ වැවටුප් කප්පාදුවීම්, රැකියා අහිමිවීම් සහ වැටුප් රහිත නිවාඩු ලැබීම්වලට ලක්වෙමින් පවතින බව ද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර වැඩිදුරටත් ඔහු පවසා සිටියේ, ඇතැම් ශ්‍රී ලාංකියන් හට නවාතැන් පහසුකම් හා කෑම් බීම් ලබා ගැනීමට ද පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.

මෙම පිරිසගේ එකම බලාපොරොත්තුව වූයේ යළි දිවයින්ට වෙත යාම වුවත් මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ලංකාවේ ගුවන් තොටුපළ වසා දැමීම හේතුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වී ඇති බව මහේන්ද්‍ර රණසිංහ මහතා පැවසීය ෴

+++++++++++++++++++++++++++++++++++

COVID-19 අරමුදලට ඉහළ ජනතා දායකත්වයක්

(09.04.2020 – 19:28 +0530 – sinhala.adaderana.lk)

විශ්‍රාමික ගුරුවරයෙකු වන නුගේගොඩ පදිංචි සරත් කුමාර ගුරුසිංහ මහතා අප්‍රේල් මස තම විශ්‍රාම වැටුපත්, දෙඇස් අහිමි උයනහේවගේ අශෝක මහතා තමා එක් රැස්කර ගත් රුපියල් ලක්ෂ 05 ක මුදලත් අද (09) COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබේ.

රට මුහුණ දී ඇති අර්බුදකාරී අවස්ථාවේ රටවැසියෙකු ලෙස මීට දායකවීමට ලැබීම මානුෂික යුතුකමක් බව ඔහු සඳහන් කරයි.

අත්‍යාවශ්‍ය ආහාර වෙළෙඳ භාණ්ඩ ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පරිත්‍යාග කළ රුපියල් මිලියන 25 ක් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරිත්‍යාග කළ රුපියල් මිලියන 25 ක් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ වත්මන් සභාපති ශම්මි සිල්වා, ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සහ ලසිත් මාලිංග යන මහත්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දී තිබේ.

වැවිලි කර්මාන්ත හා අපනයන, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඊට අයත් ආයතනවල කාර්ය මණ්ඩලය පරිත්‍යාග කළ රුපියල් මිලියන 07 ක් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වා ඇත.

එයාර්පෝට් ඇන්ඩ් ඒවියේෂන් සර්විසස් (ශ්‍රී ලංකා) ලිමිටඩ් ආයතනය රුපියල් මිලියන 10 ක්, රජයේ නිලධාරින්ගේ යහ සාධක සංගමය සහ ඉරිගේෂන් ඉන්ජිනියරින් ඩිප්ලොමැට්ස් ඇසෝසියේෂන් ආයතනය රුපියල් මිලියනය බැගින් ද, කළුතර බෝධි භාරකාර මණ්ඩලය රුපියල් මිලියන 10 ක්, මනෝ සේකරම් මහතා රුපියල් මිලියන 05 ක්, විශ්වවිද්‍යාල විධායක නිලධාරින්ගේ සංගමය රුපියල් මිලියන 2.5 ක් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය රුපියල් පන්ලක්ෂ පනස්දහසක්, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව රුපියල් එක්ලක්ෂ විසි පන්දහසක් සහ ජාතික තරුණ සේවා සභාව මිලියන 1.5 ක් වශයෙන් වු පරිත්‍යාග අධ්‍යක්ෂ ජනරාල් (පාලන) විශ්‍රාමික මේජර් ජනරාල් කේ.බී. එගොඩවෙලේ මහතාට භාර දී තිබේ.

අද පස්වරු වන විට COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 585 ඉක්මවා ගොස් ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ.

දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මඟින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් දන්වයි.

දුරකථන අංක 011 235 4479 / 011 235 4354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැකියි.

+++++++++++++++++++++

A/C Name : COVID – 19 Healthcare and Social Security Fund
A/C No. : 85737373
Bank : Bank of Ceylon
Branch : Corporate Branch

+++++++++++++++++++++++++++++++++++

දිවයිනේ සියලුම ඹෟෂධ අලෙවි සැල් අද (09) සිට සෑම දිනකම විවෘතයි

(09.04.2020 – 18:54 +0530 – sinhala.adaderana.lk)

ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා දිවයිනේ සියළුම ඹෟෂධ අලෙවි සැල් අද (09) සිට සෑම දිනකම විවෘතව තබන ලෙස අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය දැනුම් දී තිබේ.

ඒ අනුව අද (09) පෙරවරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ඖෂධ අලෙවිසැල් විවෘත කිරීමත් සමඟ ජනතාව විශාල වශයෙන් ඖෂධ අලෙවිසැල් වෙත පැමිණෙන අයුරු දැකගත හැකිවුණි.

රට තුළ පවත්නා වාතාවරණය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයිමට රජය ගෙනයන වැඩපිළිවෙළ යටතේ දිවයිනේ සියළුම ඹෟෂධ අලෙවි සැල් අද (09) සිට සෑම දිනකම පෙ.ව 9.00 සිට ප.ව.5.00 දක්වා විවෘත කර තබන ලෙස අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය දැනුම් දී තිබේ.

ඒ අනුව අද (09) පෙරවරුවේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශ වල රජයේ ඔසුසැල් සහ පෞද්ගලික ඖෂධ අලෙවිසැල් ජනාතාවට අවශ්‍ය ඖෂධ මිළදී ගැනීම සඳහා විවෘත කර තිබුණි.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශ වල ඹෟෂධ අලෙවි සැල් රජය දැනුම්දුන් පරිදි විවෘත කර නොතිබීම හේතුවෙන් ජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත්වුණි.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ගැන දැනුවත් කරන්න අලුත් ක්‍රමයක්

(09.04.2020 – 18:27 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය පිළිබඳ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක් අද (09) දිනයේ ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය විසින් සංවිධානය කර තිබුණි.

මෙලෙස ජනතාව දැනුවත් කිරීම සඳහා කොරෝනා වෛරසයක ආකෘතියක ලෙස සරසුනු දෛනෙකු මීටරයකට වඩා ළඟන් සිටි ජනතාව අතරට ගොස් ඔවුන් දැනුවත් කිරීම සිදු කළේය.

මෙහිදී වෙළද සැල් කඩසාප්පු මෙන්ම ඇඹිලිපිටය මාර්ගයේ ගමන් ගත් වාහන නතර කර දැනුවත් කිරීම සිදු කෙරිණි.

ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ඇඹිලිපිටිය ෆේස්බුක් මිතුරන් එක මගින් සංවිධානය කර තිබිණි.

+++++++++++++++++++++++++++++++++++

සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස නාවික හමුදා බාරයට

(08.04.2020 – 19:55 +0530 – sinhala.adaderana.lk)

කල්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘සීලයින් හෝල්ඩින්ස්’ පුද්ගලික සමාගමට (Ceyline Holdings Pvt Ltd) අයත් කාමර 41 කින් සමන්විත ‘රුවල රිසෝට්’ සුඛෝපභෝගී නිවාඩු නිකේතනය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා තාවකාලිකව නාවික හමුදාව වෙත ලබා දීම අද (08) සිදු කර ඇත.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමත් සමඟ රටේ සංචාරක කර්මාන්තය සහ ඒ ආශ්‍රිත සේවාවන් මුළුමනින්ම අඩපණ වී ඇත.

එවන් වතාවරණයක් යටතේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා රජය ගෙනයනු ලබන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව සිදු කරනු ලබන නිරෝධායන කටයුතු සඳහා දායක වීමට මෙහි අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුව, කාමර 41 කින් සමන්විත සුඛෝපභෝගී නිවාඩු නිකේතනය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම සඳහා නාවික හමුදාව වෙත තාවකාලිකව අද බාර දී තිබේ.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් රැසක් මෙන්ම ‘සීලයින් හෝල්ඩින්ස්’ පුද්ගලික සමාගමේ විධායක සභාපති කපිතාන් (වෙළඳ නෞකා) අජිත් පීරිස් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *