සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරෙයි (විඩියෝ)

• බොරැල්ලේ අනතුරකින් තුන්දෙනෙකු රෝහල් ගත කෙරේ (විඩියෝ)

• කොරෝනා අර්බුදය මැද, ජෛව ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක් – ජගත් මහලේකම් අනතුරු අගවයි

• අවදානම් කලාපවල සිට වෙනත් ප්‍රදේශවලට යාම සපුරා තහනම් – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

• කොරෝනා ආසාදිතයන් හමුවීම නිසා හුදෙකලා කළ ප්‍රදේශ

• කරාපිටිය ශික්ෂණ රෝහලේදී මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතිවලට අනුව සිදුකරයි

• මෙරට කොරෝනා ආසාදිතයන් මේ මස අවසන් වන විට අඩුවීමේ ප්‍රවනතාවක් – ගෝලීය වසංගතය අවසන් කිරීමට වසරක් ගත වන ලකුණු – ශ්‍රී ලංකාවෙන් බිහි වූ ජාත්‍යන්තර වෛද්‍ය විශේෂඥයෙකුගෙන් අනාවැකි

• කොළඹ නගරයේ වායු දූෂණය, වසර 20 කට පසු අවම මට්ටමට

• කොරෝනා මැඬලන්න නව නිපැයුම් 106 ක්

• චීනයෙන් කොරෝනා පරීක්ෂණ කට්ටල 20,000 ක් රැගත් ගුවන් යානයක් අද (10) දිවයිනට

• කොවිඩ්-19 මැඬලීමට ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1.3 ක්

• ඇමරිකාවේ වැඩිම ආසාදිතයින් පිරිසක් නිව්යෝක් ප්‍රාන්තයෙන්

• මාරාන්තික කොරෝනා වෛරසයෙන් කුඩා දරුවන් ආරක්ෂා කිරීමට හඳුන්වා දුන් මුහුණු ආවරණ

• සුදුවැල්ලේ ස්වයං නිරෝධායනය මගහැරි පිරිසගෙන් පියතුමා කළ සංවේදී ඉල්ලීම (විඩියෝ)

• කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය යළි විවෘත කෙරේ

• කොරෝනාවට බියෙන් අනුරාධපුර රෝහලෙන් පළා ගිය තරුණයෙකු අත්අඩංගුවට

• තණමල්විල බල්ලෙක්

• දිවයින පුරා ඖෂධ අලෙවිසැල් දිනපතා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා විවෘතයි

• ගතවු පැය 24 ට ලංකාවේ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නෑ

• දකුණු ආසියාවේ කොරෝනා ආසාදිතයින් ගණන 12,000 ඉක්මවයි

• ඇඳිරි නීතිය වෙලාවේ හොරෙන් මරණ ගවයින් (විඩියෝ)

• ජනතාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න හමුදාවට පුළුවන් – යුද හමුදාපති

• ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වැඩි වීමත් සමඟ ලංකා මුහුදේ ආරක්ෂාව තරවෙයි

+++++++++++++++++++++++++++++++++++

සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරෙයි

(10.04.2020 – 12:30 +0530 – sinhala.adaderana.lk)

අත්‍යාවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය බැවින් සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID 19 නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කර තිබේ.

දිවයිනේ සියලුම සහල් මෝල් හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය, තමන් සතු වී තොග සහල් බවට පත් කිරීම කළ යුතු බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළත්, මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් දිස්ත්‍රික්ක බල ප්‍රදේශය තුළත් සහ මහ පරිමාණ සහල් මෝල් හිමියන් දිවයින පුරාත් පවතින සහල් තොග බෙදාහැරීමට ක්‍රියා කළ යුතු බව ජනාධිපතිවරයාගේ නියෝග මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වැඩබලන පොලිස්පති, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ආහාර කොමසාරිස් ජනරාල් සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති වෙත ලිපියකින් දැනුම් දී ඇත.

මේ වන විට මෙට්‍රික් ටොන් මිලියන 03 කට ආසන්න වී අස්වැන්නක් ලැබී ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එයින් 2/3 ක ප්‍රමාණයක් සහල් තොග වශයෙන් පවතින බවත් එහෙයින් අධික ලෙස සහල් මිල ඉහළ නැංවිම හෝ සහල් සැපයුම අඩාල කිරීම නිරෝධායන කටයුතුවලට අවශ්‍ය සුරක්ෂිතතාවයට දැඩි අවදානමක් ඇති කරන බව සියලු පාර්ශ්වයන්ට දන්වා සිටින බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

එබැවින් ජනතාව යම් රෝග නිවාරණයකට ලක් කර ඔවුන්ගේ නිවෙස්වලටම භාණ්ඩ ලබාදීමේ කාර්ය භාරයේ නිරත මේ මොහොත් දැඩි අවධානයක් සහ ප්‍රමුඛතාවක් දී කටයුතු කරන ලෙස ලේකම්වරයා දැනුම් දෙයි.

ඔසු සල, ඖෂධ හල් (Pharmacy) බැංකු සේවා ද තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස පවත්වාගෙන යනු ලැබේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

බොරැල්ලේ අනතුරකින් තුන්දෙනෙකු රෝහල් ගත කෙරේ

(10.04.2020 – 15:18 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල – සේනානායක මංසන්ධියේ අද (10) දහවල් සිදුවූ අනතුරකින් තුන්දෙනෙකු (03) තුවාල ලබා රෝහල ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ රත්නපුර රෝහලේ සිට කොළඹ දෙසට ධාවනය වූ ගිලන් රථයක් සහ කොළඹ ජාතික රෝහලේ සේවකයන් රැගත් ශ්‍රී ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් ගිලන් රථයේ රියදුරු, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට රැගෙන ආ දැරියක සහ රෝහල් සේවිකාවක ද තුවාල ලබා තිබෙනවා.

පසුව ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා අර්බුදය මැද, ජෛව ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක් – ජගත් මහලේකම් අනතුරු අගවයි

(10.04.2020 – 14:10 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා රජයන් කොරෝනා වෛරස් ගෝලීය වසංගතය කෙරෙහි අවධානය යොමු කරමින් සිටියදී ත්‍රස්තවාදීන් එය අවස්ථාවක් කරගෙන ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා පවසනවා.

විශේෂයෙන් එමගින් ජෛව රසායනික ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබදව ඔවුන්ට ඉඟියක් ලබාදෙන බවයි මහලේකම්වරයා පවසා ඇත්තේ.

වෛරස් සාම්පල රාජ්‍ය නොවන කණ්ඩායම් අතට පත්වීම අවදානම්සහගත වන අතර, එමගින් ලොව පුරා ජන සමාජයන් වෙත දැවැන්ත විනාශයක් සිදුකළ හැකි බව ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතාගේ අදහසයි.

මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය අමතමින්.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර, කලාපීය සහ ජාතික ගැටුම් විසදුම් ක්‍රියාවලි පිළිබද අවධානය ගිලිහී ගොස් ඇති බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

අවදානම් කලාපවල සිට වෙනත් ප්‍රදේශවලට යාම සපුරා තහනම් – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

(10.04.2020 – 14:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ අවදානම් ප්‍රදේශවල සිට වෙනත් ප්‍රදේශවලට යෑමට කිසිදු හේතුවක් මත ඉඩ ලබා නොදෙන බව ආරක්ෂක අංශ යළි අවධාරණය කරනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අද (10) සිට ආරම්භ වන ඉදිරි සතියක කාලසීමාව ජනතාව වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

මේ හේතුවෙන් සෞඛ්‍ය අංශවල නිර්ණායකයන්ට අනුව අවදානම් ප්‍රදේශවල සිට සිදු කෙරෙන සංචරණයන් දැඩිව සීමා කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිතයන් හමුවීම නිසා හුදෙකලා කළ ප්‍රදේශ

(10.04.2020 – 14:06 +0530 – hirunews.lk/sinhala)

අක්කරෙයිපත්තුව – 19 කොටස වසා දැමීමත් සමඟ එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමඟ මෙම ප්‍රදේශය වසා දැමීමට කටයුතු කළ අතර, පුද්ගලයින් 320 දෙනෙකු නිවසේම ස්වයං නිරෝධානයට යොමු කිරීමටයි කටයුතු කෙරුණේ.

එමෙන්ම, අක්කරෙයිපත්තුව – 19 කොටසට පිවිසිය හැකි මාර්ග 05 ක්ද මේ වනවිට සම්පූර්ණයෙන්ම අවහිර කර තිබෙනවා.

මේ අතර, බේරුවල – මරදාන – වෙත්තිමරාජපුර ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිත කාන්තාවක් ඊයේ (09) වාර්තා වුණා.

ඇය මීට පෙර කොරෝනා ආසාදනය වූ ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයාගේ බිරිඳ බවයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා කියා සිටියේ.

එමෙන්ම, එම නිවසේ සිටින පුද්ගලයින් විසි දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කළ බවද ඔහු සඳහන් කළා.

බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයද තවදුරටත් හුදෙකලා කර පවතිනවා. එම ප්‍රදේශවල ආරක්ෂාව තර කර ඇති අතර, අත්‍යවශ්‍ය සේවා සැපයීම් අඛණ්ඩව සිදුකරන බවයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

මේ අතර, රත්නපුර – මුද්දුව සහ හතමුව ප්‍රදේශද මේ වනවිට වසා දමා තිබෙනවා. ඒ, එම ප්‍රදේශවලින් ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන්.

සබරගමුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා කියා සිටියේ මේ වනවිට එම ප්‍රදේශ විෂබීජහරණයට ලක් කරන බවයි.

එමෙන්ම, අකුරණ ප්‍රදේශයද තවදුරටත් වසා දමා තිබෙනවා. අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සංජීව කුරුඳුගහමඩ මහතා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ දැනට නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමුකර ඇති පුද්ගලයින් 144 දෙනා සමඟ ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන්ද මේ වනවිට තොරතුරු රැස්කරමින් සිටින බවයි.

මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.එස්.කේ. රත්නායක මහතා කියා සිටියේ මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකපිට රෝහල් ගතවන සංඛ්‍යාවද පහල බැස ඇති බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

කරාපිටිය ශික්ෂණ රෝහලේදී මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතිවලට අනුව සිදුකරයි

(10.04.2020 – 14:02 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පුද්ගලයෙකුගේ දේහය මුද්‍රා තබා ජාත්‍යන්තර නිරෝධායන නීති යටතේ අද (10) පෙරවරුවේ ආදාහනය සිදුකර තිබෙනවා.

අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයෙකුගේ පියෙකුයි මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ දඩැල්ල පොදු සුසාන භූමියේදී ආදාහනය කර ඇත්තේ.

කොරෝනා ආසාදිත ඔහුගේ පුතු කොරියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර නිරෝධායනය අවසන් කර නිවෙස වෙත යෑමෙන් පසුව කොරෝනා වැළඳී රෝහල්ගතකර තිබුණා.

එමෙන්ම, කොරෝනා වෛරසය ශරීරගත වී ඇත්දැයි ඇති වූ සැකයක් මත වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම නිසා බියට පත්වී අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් ඊයේ (09) රාත්‍රියේ පළාගිය 19 හැවිරිදි තරුණයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගැටුමකදී පහරකෑමට ලක්ව ප්‍රතිකාර සඳහා මොහු පසුගියදා රෝහල් ගත කර ඇති අතර, පළා යමින් සිටියදී ඔහු ඔයාමඩුව මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

තන්තිරිමලේ – කිඹුලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම තරුණයා පුත්තලමේ සිට පැමිණ ඇති බව රෝහල් ගත කිරීමෙන් පසුව අනාවරණ වී ඇති අතර, ඒ අනුව ඔහු කොරෝනා වෛරසය ශරීරගත වී ඇත්දැයි තහවුරු කර ගැනීමේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබෙනවා.

එහෙත් ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බව අදාළ පරීක්ෂණයේදී තහවුරු වී ඇති අතර, අත්අඩංගුවට ගත් තරුණයා අනුරාධපුර රෝහල වෙත භාර දුන් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, කොරෝනා ආසාදනය වූ පුත්තලම – අට්ටවිල්ලුව ප්‍රදේශයේ කාන්තාවකගේ පවුලේ සාමාජිකයින් ඇසුරු කළ අය සිටීත් නම් ඒ පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට තොරතුරු ලබාදෙන ඉල්ලීමක් කරනවා.

34 හැවිරිදි ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව පසුගිය 05 වැනිදා අනාවරණ වී තිබුණේ හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

අද (10) දිනය තුළ මෙතෙක් කිසිදු කොරෝනා ආසාදිතයෙකු මෙරටින් වාර්තා වී නොමැති අතර, වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 190 ක්.

මෙරටදී කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 49 ක් වන අතර, වෛරසය ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 134 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

මෙරටින් කොරෝනා මරණ 07 ක් ද වාර්තා වුණා ෴

+++++++++++++++++++++++++++++++++++

මෙරට කොරෝනා ආසාදිතයන් මේ මස අවසන් වන විට අඩුවීමේ ප්‍රවනතාවක් – ගෝලීය වසංගතය අවසන් කිරීමට වසරක් ගත වන ලකුණු – ශ්‍රී ලංකාවෙන් බිහි වූ ජාත්‍යන්තර වෛද්‍ය විශේෂඥයෙකුගෙන් අනාවැකි

(10.04.2020 – 13:59 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා වෛරස් නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ මස අවසන් වන විට දිනකට එක් අයෙකු හෝ දෙදෙනෙකු ලෙස අඩු මට්ටමකට පැමිණෙනු ඇතැයි සෞඛ්‍ය හා වෛද්‍ය ක්ෂේත්‍රයේ සංඛ්‍යාලේඛන සහ පිරිවැය පිළිබද ජාත්‍යන්තර විද්වතෙකු ලෙස සැලකෙන වෛද්‍ය රවීන්ද්‍ර රනන්එළිය මහතා පවසනවා.

කෙසේ නමුත්, පරීක්ෂා කිරීම් ප්‍රමාණවත් නොවන නිසා එය මුළුමනින්ම ශූන්‍ය විය නොහැකි බවයි හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම, ගෝලීය වශයෙන් කොරෝනා වෛරස් වසංගතය අවසන්වීමට තවත් වසරකට වැඩි කාලයක් ගත වනු ඇති බව වෛද්‍ය රවීන්ද්‍ර රනන්එළිය මහතාගේ අදහසයි.

එක්සත් රාජධානිය මෙන්ම ආසියාකරයේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකානු රටවල් රැසක පර්යේෂණ හා උපදේශක මෙහෙවරක නිරත වූ ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව, ආර්ථික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය ඇතුළු ආයතන රැසක් සමඟ කටයුතු කර තිබෙනවා.

ඉදිරි කාලය සඳහා ශ්‍රී ලංකාවේ තත්ත්වය සහ ගෝලීය වසංගත තත්ත්වය පිළිබදව ඔහු වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළේ මෙලෙසින් :

“ඉදිරි සති දෙක, තුන සහ අප්‍රේල් මාසයේ අවසානය දක්වා සැලකූ විට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව අඩු වනු ඇතැයි අපේක්ෂා කළ හැකි වනවා. විශේෂයෙන් අප්‍රේල් මාසය අවසානය වන විට එය දිනකට එක් අයෙකු හෝ දෙදෙනෙකු ලෙස අඩු විය හැකියි. රජයේ ස්ථාවරය කුමක් වුවත් මේ මාසය පුරාම දැනට ක්‍රියාත්මක සීමාවන් පැවතීම බලාපොරොත්තු විය හැකි තත්ත්වයක්. කෙසේ නමුත්, මේ මාසය අවසානයේදී වුවද මෙරට දෛනික නව ආසාදිතයන් ශූන්‍යය විය නොහැක්කේ ප්‍රමාණවත් පරීක්ෂාවන් සිදුනොකිරීම හේතුවෙන්. ගෝලීය වශයෙන් සැලකූ විට කොරෝනා වෛරස් වසංගතය මුළුමනින්ම නිමාවට පත්වීමට තවත් මාස 12 ක් හෝ ඊට වැඩි කාලයක් ගත වනු ඇති. එම කාලය තුළම ලොව බොහෝ රටවල් සංචරණ සීමාවන් ක්‍රියාත්මක කොට වසා දමා පවතින ඇතැයි අපේක්ෂා කළ හැකියි. කොරෝනා ගෝලීය වසංගතය අවසන් කිරීමට නම් ඒ සඳහා එන්නතක් සාර්ථක ලෙස යොදා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක්. එය ලබන වසරේ අප්‍රේල් මාසය තෙක් බලාපොරොත්තු වීම දුෂ්කරයි.”

+++++++++++++++++++++++++++++++++++

කොළඹ නගරයේ වායු දූෂණය, වසර 20 කට පසු අවම මට්ටමට

(10.04.2020 – 13:37 +0530 – hirunews.lk/sinhala)

වසර විස්සකට පසුව කොළඹ නගරයේ වායු දූෂණ මට්ටම අවම අගයකට පැමිණ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ පවතින ඇඳිරි නීති තත්ත්වය තුළ කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල රථවාහන අවම වීම නිසා වායුගෝලයට නිකුත් වන දූවිලි අංශුවල වාර්තාගත අඩුවීමක් පෙන්නුම් කරන බවයි.

මේ අතර, සූර්යයා, දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට මේ දිනවල ඍජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනුව අද (10) දහවල් 12.11 ට කුඹුක්වැව, මැදගම, ඉපලෝගම, එප්පාවල, රොටවැව, පඟුරන සහ පනිච්චන්කේනි යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා මැඬලන්න නව නිපැයුම් 106 ක්

(10.04.2020 – 13:33 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දනය සඳහා නව නිපැයුම් 106 ක් නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වෙත මේ දක්වා ලැබී තිබෙනවා.

එහි කොමසාරිස් මහාචාර්ය රංගික හල්වතුර මහතා කියා සිටියේ මින් 13 කට වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සඳහා මූල්‍යාධාර ලබාදීමට පියවර ගත් බවයි.

පසුගිය මාර්තු මස 23 වන දා සිට නව නිපැයුම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර, පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට ද කොමිසම මැදිහත් වන බවයි නව නිපැයුම්කරුවන්ගේ සභාපති මහාචාර්ය රංගික හල්වතුර මහතා වැඩිදුරටත් කියා සිටියේ ෴

+++++++++++++++++++++++++++++++++++

චීනයෙන් කොරෝනා පරීක්ෂණ කට්ටල 20,000 ක් රැගත් ගුවන් යානයක් අද (10) දිවයිනට

(10.04.2020 – 13:26 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා පරීක්ෂණ උපකරණ කට්ටල 20,064 ක් රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් චීනයේ සිට අද (10) රාත්‍රියේ දිවයිනට පැමිණෙනවා.

එම්.යූ. 231 දරණ එම ගුවන් යානය ෂැංහයි නුවර සිට පැමිණීමට නියමිත බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

පී.සී.ආර්. හෙවත් කොරෝනා වෛරස් ආසාදනය සහතික කළ හැකි මෙම පරීක්ෂණ කට්ටල තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් 130,000 ක් පමණ වටිනාකමකින් යුක්ත බව සඳහන්.

ආසියාකරයේ ධනවත්ම පුද්ගලයෙකු වන චීන ප්‍රකෝටිපති ව්‍යාපාරික ජැක්-මා විසින් මෙම පරීක්ෂණ කට්ටල තොගය පරිත්‍යාග කර තිබෙනවා.

එමෙන්ම, ඉදිරි සතියේ තවත් පරීක්ෂණ කට්ටල 20,000 ක් දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ්-19 මැඬලීමට ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1.3 ක්

(10.04.2020 – 11:05 +0530 – hirunews.lk/sinhala)

යූ.එස්.ඒඩ් හෙවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය මගින් මෙරට කොවිඞ් නයින්ටීන් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.3 ක මුදලක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 26 කට ආසන්න මුදලක්.

කොළඹ එක්සත් ජනපද කාර්යාලය සඳහන් කළේ දුෂ්කර අවස්ථාවන් හිදී මිතුරු රටක් වෙත සහයෝගීතාව පළ කිරීමේ පියවරක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදුකරන බවයි.

ගෝලීය වසංගතය හමුවේ වුවද ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තිරසාර සබඳතාවක් පවතින බව මෙයින් පිළිබිඹු වනවා.

එමෙන්ම, මෙම මූල්‍යාධාරය මගින් කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව සටන් වදින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව ද වැඩි දියුණු කළ හැකි වනු ඇති බවයි එක්සත් ජනපද තානාපති කාර්යාලය අවධාරණය කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

ඇමරිකාවේ වැඩිම ආසාදිතයින් පිරිසක් නිව්යෝක් ප්‍රාන්තයෙන්

(10.04.2020 – 13:23 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ කොරෝනා මරණ සංඛ්‍යාවට ඊයේ (09) දිනයේදී තවත් 799 ක් එක්වූ අතර, එය තුන් වන දිනටත් වාර්තාගත මරණ සංඛ්‍යාවක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව මේ වන විට 16,700 කට ආසන්න වී ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 468,887 ක්.

ඒ අතුරෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ ද නිව්යෝක් ප්‍රාන්තයෙන්.

එහි නගරාධිපති ඇන්ඩෲ කුවෝමෝ සඳහන් කළේ තත්ත්වය පාලනය කිරීමට නිව්යෝක්වාසීන් තවදුරටත් නිවෙස්වලම රැදී සිටිය යුතු බවයි.

එමෙන්ම, ඇමරිකාවේ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්ම විය හැකි බවට කලින් ප්‍රකාශ වුවද දැන් එය 60,000 උපරිමයකට සීමා කළ හැකි වනු ඇති බවයි වෛද්‍ය අංශ විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ.

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට දහසය ලක්ෂය ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 95,700 කට අධිකයි. කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙන්.

එම සංඛ්‍යාව 18,000 ඉක්මවා ඇති අතර එරට ආසාදිත සංඛ්‍යාව ද 143,000 කට අධිකයි.

මේ අතර, ඉතාලියේ සෞඛ්‍ය සම්මේලනය සඳහන් කළේ කොරෝනා වෛරසය හේතුවෙන් පසුගිය පෙබරවාරියේ සිට එරට වෛද්‍යවරුන් ද සියයකට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි.

එමෙන්ම, ඉතාලි හෙදියන් සහ හෙද සහයිකාවන් ද 30 කට අධික සංඛ්‍යාවක් කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ඉතාලියේ සිටින හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

මාරාන්තික කොරෝනා වෛරසයෙන් කුඩා දරුවන් ආරක්ෂා කිරීමට හඳුන්වා දුන් මුහුණු ආවරණ

(10.04.2020 – 12:26 +0530 – hirunews.lk/sinhala)

මාරාන්තික කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා සෑම රටකම ව්‍යාප්තවී ඇති අතර එය ආසාදනය වීමෙන් පුද්ගලයින් 95,751 ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 1,605,277 ක් වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට අලුත උපන් දරුවන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය විය හැකි බවට වෛද්‍යවරුන් පවසනවා.

එම නිසා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වෛද්‍යවරුන් වැඩිදුරටත් උනන්දු වන බවයි වාර්තා වන්නේ.

බැංකොක්හි පිහිටා ඇති රෝහලක කුඩා දරුවන්ට වෛරසය ආසාදනය වීම වැළැක්වීමට විශේෂ මුහුණු ආවාරණයක් සකස් කර තිබෙනවා.

එම ආවාරණ සහිත දරුවෙකු වඩාගෙන සිටින හෙදියකගේ ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය පුරා ඉතා සීඝ්‍රයෙන් සංසරණය වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.

+++++++++++++++++++++++++++++++++++

සුදුවැල්ලේ ස්වයං නිරෝධායනය මගහැරි පිරිසගෙන් පියතුමා කළ සංවේදී ඉල්ලීම

(10.04.2020 – 10:22 +0530 – hirunews.lk/sinhala)

ජාඇල – සුදුවැල්ල ප්‍රදේශයේ ස්වයං නිරෝධායන කටයුතු මඟ හරිමින් සිටි පුද්ගලයින් 23 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම ප්‍රදේශයෙන් වාර්තා වුණු කොවිඩ් 19 ආසාදිතයෙකු සමඟ අදාළ පිරිස සෘජුවම සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් නිවෙස් තුළම ස්වයං නිරෝධානයට ලක් කර සිටි ඔවුන් එම ක්‍රියාවලිය මඟ හරිනා බවටයි තොරතුරු ලැබී තිබුනේ.

ඒ අනුව සිදුකළ බුද්ධි මෙහෙයුමක් මඟින් ඊයේ (09) දිනයේදී නාවික හමුදා භාරයට ගත් එම පිරිස ඔලුවිල් ප්‍රදේශයේ ස්ථාපිත නාවුක හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිර තිබෙනවා.

ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයේ පියතුමා මෙම පිරිසට කරුණු පැහැදිලි කර ස්වේඡ්චාවෙන් නිරෝධායනයට යන ලෙස සංවේදී ඉල්ලීමක් කරන අකාරයද එහිදී දක්නට ලැබුනා.

+++++++++++++++++++++++++++++++++++

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය යළි විවෘත කෙරේ

(10.04.2020 – 09:32 +0530 – hirunews.lk/sinhala)

තාවකාලිකව වසා දැමුණු කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය මේ වන විට යළි විවෘත කර තිබෙනවා.

හදිසි රෝගී තත්ත්වයකට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගියෙකුගෙන් කොරෝනා වෛරස ආසාදන තත්ත්වයක් පෙන්නුම් කිරීම නිසා එය ඊයේ පස්වරුවේ තාවකාලිකව වසා දැමුණා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය විෂබීජහරණය සිදුකර අද (10) පෙරවරු 8 ට යළි විවෘත කළ බවයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මීට පෙර කොරෝනා ආසාදිතයෙකු හමුවූ කටුපොතට ආසන්න සියඹලාගස්කොටුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඊයේ (09) රෝහලට ඇතුළත් වී ඇත්තේ ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනාවට බියෙන් අනුරාධපුර රෝහලෙන් පළා ගිය තරුණයෙකු අත්අඩංගුවට

(10.04.2020 – 09:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ශරීරගත වී ඇත්දැයි ඇති වූ සැකයක් මත වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම නිසා බියට පත්වී අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් පලා ගිය 19 හැවිරිදි තරුණයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගැටුමකදී පහරකෑමට ලක්ව ප්‍රතිකාර සඳහා මොහු පසුගිය දා රෝහල් ගත කර ඇති අතර ඊයේ (09) රාත්‍රියේ මෙලෙස පළා යමින් සිටියදී ඔහු ඔයාමඩුව මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

තන්තිරිමලේ – කිඹුලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම තරුණයා පුත්තලමේ සිට පැමිණ ඇති බව රෝහල් ගත කිරීමෙන් පසුව අනාවරණ වී ඇති අතර, ඒ අනුව ඔහු කොරෝනා වෛරසය ශරීර ගත වී ඇත්දැයි තහවුරු කර ගැනීමේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබෙනවා.

එහෙත් ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බව අදාළ පරීක්ෂණයේදී තහවුරු වී ඇති අතර, අත්අඩංගුවට ගත් තරුණයා අනුරාධපුර රෝහල වෙත භාර දුන් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

තණමල්විල බල්ලෙක් (ටෙලිබලියක් නොවේ !)

(10.04.2020 – 16:54 +0530 – hirunews.lk/sinhala)

= දැරියක් අපයෝජනය කළ තණමල්විල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාගේ පොදුජන පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි =

සෙවණගල – කිරිඉබ්බන්ආර ප්‍රදේශයේදී 13 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තණමල්විල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එහි ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඔහුට විනය පරීක්ෂණයක් සිදුකර පක්ෂයෙන් නෙරපීමට ද කටයුතු කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරයා ඇතුළු 5 දෙනෙකු මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ඒ, ඊයේ (09) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරිය හමුවට ඔවුන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මව සහ පියා වෙන්ව ජීවත්ව ඇති අතර, දැරිය මවගේ රැකවරණය යටතේ පසුවූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, පසුගිය දිනක සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු 5 දෙනෙකු විසින් දැරිය අපයෝජනයට ලක් කර තිබුණා ෴

+++++++++++++++++++++++++++++++++++

දිවයින පුරා ඖෂධ අලෙවිසැල් දිනපතා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා විවෘතයි

(10.04.2020 – 16:37 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සියලු ඖෂධ අලෙවිසල් සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා විවෘතව තැබෙන බව අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය නිවේදනය කරනවා.

මේ දිනවල දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීති තත්වයට බලපෑමක් ඇති නොවන පරිදි අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ පහසුකම් සැලසීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ ෴

+++++++++++++++++++++++++++++++++++

ගතවු පැය 24 ට ලංකාවේ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නෑ

(10.04.2020 – 16:55 +0530 – sinhala.adaderana.lk)

ගත වු පැය 24 තුළ ලංකාවේ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මේ අතර අද (10) දිනයේ දී තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව වෛරසයෙන් පූර්ණ සුවය ලබා පිටත්ව ගිය ආසාදිතයින් සංඛ්‍යාව 50 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 133 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ඒ අනුව අයි.ඩී.එච් රෝහලේ රෝගීන් 89 දෙනෙකු, වැලිකන්ද මූලික රෝහලේ රෝගීන් 17 දෙනෙකු සහ මුල්ලේරියාව රෝහලේ රෝගින් 27 දෙනෙකු ප්‍රතිකාර ලබන බව සඳහන්.

මීට අමතරව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 224 දෙනෙකු වෛද්‍යා අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

දකුණු ආසියාවේ කොරෝනා ආසාදිතයින් ගණන 12,000 ඉක්මවයි

(10.04.2020 – 16:49 +0530 – sinhala.adaderana.lk)

දකුණු ආසියානු රටවලින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පුද්ගලයින් සංඛායව 12,000 ඉක්මවා ගොස් තිබේ.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 343 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දකුණු ආසියානු රටවල් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවේ අද (10) වන විට ආසාදිතයින් 6771 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 228 ක් වෙයි.

පාකිස්ථානයෙන් ආසාදිතයින් 4601 දෙනෙකු සහ මරණ 66 ක් වාර්තා වී ඇති බව සඳහන්.

ඇෆ්ගනිස්ථානයෙන් ආසාදිතයින් 521 දෙනෙකු සහ මරණ 15 ක්, බංග්ලාදේශයෙන් ආසාදිතයින් 424 දෙනෙකු සහ මරණ 27 ක් මෙන්ම ශ්‍රී ලංකාවෙන් ආසාදිතයින් 190 දෙනෙකු සහ මරණ 07 ක් මේ වන විට වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් මාලදිවයින, නේපාලය සහ භූතානය යන රටවල කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත කිසිදු මරණයක් මේ දක්වා සිදුව නොමැති බව විදෙස් වාර්තා පවසයි.

මාලදිවයිනෙන් ආසාදිතයින් 19 දෙනෙකු, නේපාලයෙන් ආසාදිතයින් 9 දෙනෙකු මෙන්ම භූතානයෙන් ආසාදිතයින් 5 දෙනෙකු හඳුනා ගෙන තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය වෙලාවේ හොරෙන් මරණ ගවයින්

(10.04.2020 – 15:44 +0530 – sinhala.adaderana.lk)

කුරුණෑගල කුඹුක්ගැටේ තිත්තවැල්ගාල ප්‍රදේශයේ ගවයෙකු සොරකම් කර ඇති බවට කුඹුක්ගැටේ පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී ගවයා ඝාතනය කර ඇතැයි සැකකළ ස්ථානයට පොලීසිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊයේ (09) පැමිණියේය.

එහිදී අනාවරණ වූයේ නීත්‍යානුකූල ගවඝාතකාගරයක් වන මෙහි ඇඳිරි නීති සමයේ සොරකම් කරන ලද ගවයින් රැගෙන ගොස් මස් පිණිස ඝාතනය කර ඇති බවයි.

ඒ අතර ගැබ්බර වැස්සියකද ඝාතනය කර ඇති බවට සොයා ගැණුනි.

ගව ඝාතකාගාරය පවත්වාගෙන ගිය පුද්ගලයා එහිදී අත්අඩංගුවට ගැණුනු අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද එම ස්ථානයට මුද්‍රා තබා තිබේ.‍

මේ අතර කිරිඳිවැල බණ්ඩාරනායකපුර සිට කහඕවිට දක්වා මස් පිනිස නීතිවිරෝධී අයුරින් ප්‍රවාහනයකරමින් සිටි ගවයින් සිව් දෙනෙකු සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කිරිඳිවැල පොලීසියට හැකිවුණි.

+++++++++++++++++++++++++++++++++++

ජනතාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න හමුදාවට පුළුවන් – යුද හමුදාපති

(10.04.2020 – 13:11 +0530 – sinhala.adaderana.lk)

සැලසුම් සහගත ක්‍රමවේදයන් හේතුවෙන් මෙරට තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය යම් තරමකට පාලනය කිරීමට හැකියාව ලැබී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (10) උදෑසන ‘ටී.වී. දෙරණ’ ඔස්සේ විකාශය වූ ‘දෙරණ අරුණ’ වැඩසටහන සමඟ එක්වෙමින් යුධ හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල තවදුරටත් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ පුද්ගලයින් 1311 දෙනෙකු තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින බවයි.

මේ අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා සදහන් කළේ ජනතාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට තමා ඇතුළු හමුදාවට හැකියාව පවතින බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වැඩි වීමත් සමඟ ලංකා මුහුදේ ආරක්ෂාව තරවෙයි

(10.04.2020 – 11:38 +0530 – sinhala.adaderana.lk)

ඉන්දියාව තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ඉහළ යාමත් සමඟ මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.

ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය හිමිව ඇති බව ඔහු සඳහන් කළේය.

ඉන්දියාව තුළ ආසාදිතයින් ඉහළ යාමත් සමඟ දකුණු ඉන්දියාවේ සිට ධීවර කටයුතු සඳහා බව පවසමින් පුද්ගලයින් මෙරටට ඇතුළු වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද නාවික හමුදාපතිවරයා පැවසීය.

ඒ අනුව යාත්‍රා සංඛ්‍යාව ඉහළ නංවමින් පැය 24 පුරාම ආරක්ෂක කටයුතු තර කිරීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *