ඖෂධ සැල් විවෘත කරන ක්‍රමය ගැන පැහැදිලි කිරීමක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ඖෂධ සැල් විවෘත කරන ක්‍රමය ගැන පැහැදිලි කිරීමක්

• ලොව පුරා කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි

• රජයෙන් ලබාදෙන රුපියල් 5000 ක මුදල ක්‍රමවත්ව නොදෙන බවට චෝදනාවක්

• ‘සෞභාග්‍යා’ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන (විඩියෝ)

• ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු පුද්ගලයින් 07 ක් නිරෝධායනයට (විඩියෝ)

• මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ සම්පූර්ණයෙන්ම සුවය ලබා අද නිවසට (විඩියෝ)

• දේශීය හා බටහිර වෛද්‍ය කේෂ්ත්‍රවල සියලු දෙනාට දැනුම් දීමක්

• COVID-19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 දක්වා ඉහළට

• නාවික හමුදාවෙන් කොළඹ ජාතික රෝහලට විෂබීජහරණ කුටියක්

• රටක් වටින පොතක් ලියන්න දරුවන්ට ආරාධනාවක්

• තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු මෙරටින් හඳුනාගැනේ (විඩියෝ)

• කොවිඩ් 19 වසංගතයට මුහුණදීමට ශ්‍රී ලාංකිකයන්ගේ නව නිපැයුම් (විඩියෝ)

• කොරෝනා නිසා විදෙස් රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම (විඩියෝ)

• විශේෂඥ පුහුණුවට ගිය වෛද්‍යවරු 85 ක් ලංකාවට ගෙන්වා ගන්නැයි ජනපතිගෙන් ඉල්ලති

• දිනක් තුළ කොවිඩ්-19 මරණ ගණන 2000 ඉක්මවූ පළමු රට බවට ඇමරිකාව පත්වෙයි

• ඇමෙරිකානු සමාගමක කෝටි 14 කට විද්ද හැකරුන් 31 ක් සොයා සී.අයි.ඩී. විමර්ශන

+++++++++++++++++++++++++++++++++++

ඖෂධ සැල් විවෘත කරන ක්‍රමය ගැන පැහැදිලි කිරීමක්

(10.04.2020 – 16:37 +0530 – hirunews.lk/sinhala)

අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් අනුව දිවයිනේ ඇඳිරි නීතිය ක්‍රියත්මක වන අවදානම් සහිත දිස්ත්‍රික්ක සහ සම්පූර්ණ නිරෝධායනයට යටත් කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් දිස්ත්‍රික්කවල සියලු ඖෂධ සැල් පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා විවෘතව තැබෙනවා.

එම කාර්ය සාධක බලකාය නිවේදනය කළේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවදානම් දිස්ත්‍රික්කවල පමණක් මීට පෙර පැවති ක්‍රමයට ඇණවුම් මගින් නිවසටම ඖෂධ වර්ග ලැබීමට සලස්වන බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි

(10.04.2020 – 22:52 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 වෛරස ආසාදනයෙන් ලොව පුරා මියගිය පිරිස ලක්ෂයකට ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 16 ක් ලෙස වාර්තා වෙයි.

වෛරසයේ වැඩිම බලපෑමට ලක්ව සිටින ලොව සුපිරි බලවතා වන අමෙරිකාව සමූහ මිනීවලවල් සකස් කරමින් පවතින්නේ මියයන පිරිස වැඩිවෙමින් පැවතීම හේතුවෙන්ය.

මේ අතර ලෝක බැංකුව නිවේදනය කළේ, වසර 90 ක කාලයකදී ලෝකය මුහුණ දෙන දරුණුතම ආර්ථික අවපාතය මේ වනවිට උදාවී ඇති බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

රජයෙන් ලබාදෙන රුපියල් 5000 ක මුදල ක්‍රමවත්ව නොදෙන බවට චෝදනාවක්

(10.04.2020 – 22:29 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමඟ උද්ගතවු වතාවරණය හමුවේ රැකියා අහිමි වු අඩු ආදායම් ලාභි පවුල් සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 5000 ක මුදල ක්‍රමවත්ව සහ විධිමත්ව ලබා නොදෙන බව පවසමින් හැටන් වතුකරයේ සහ මැදගම මැල්ලගම ප්‍රදේශයේ අද (10) විරෝධතා පැවැත්වුණි.

තම ප්‍රදේශය භාර සමෘද්ධි නිලධාරින් විසින් මාස 03 ක් පමණ කල් ඉකුත් වු සහල් තමන්ට බෙදා දුන් බවට පානදුර වලපනේ පට්ටිය ප්‍රදේශයේ සමෘර්දිලාභින් චෝදනා කරයි.

ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීම සඳහා ලබාදෙන බලපත්‍රය දේශපාලන හිතවත්කම් මත තෝරාගත් වෙළදසැල් වලට පමණක් ලබාදෙන බවට කුලියාපිටිය නඟරයේ වෙළඳසැල් හිමියන් චෝදනා කරයි.

මේ අතර ‘අද දෙරණ බිග් ෆෝකස්’ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා ඉදිරියේදිද අඛණ්ඩව සැපයීමේ ක්‍රියා පිළිවෙත පිළිබඳවයි ෴

+++++++++++++++++++++++++++++++++++

‘සෞභාග්‍යා’ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන

(10.04.2020 – 22:27 +0530 – sinhala.adaderana.lk)

ලොවපුරා ‘කොවිඩ් නයින්ටීන්’ පැතිර යාමත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමකි.

ඒ නිසාම තමන්ට අවශ්‍ය ආහාර ගෙවත්තේදීම සකස් කරගැනීමට ජනතාව දැන් උනන්දු වී තිබේ.

කොවිඩ්-19 වෛරසය ලොව පුරා පැතිරයාමත් සමඟ සෑම රටකම ආර්ථිකය පිරිහීමකට ලක්වෙමින් පවතියි.

මෙය අප රටටද බලපෑම් කර ඇත්තේ, ආදායම් මාර්ග රැසක් අහිමි කරමින්ය.

මේ නිසාම ලාංකිකයින්ට ද වගා කිරීමේ පුරුද්ද මේ වන විට වැඩිවෙමින් පවතියි.

අද වන විට ප්‍රදේශ රැසක සාමාන්‍ය ජනතාව වගා කිරීම සඳහා වැඩි උනන්දුවක් දක්වන අයුරු දක්නට පුළුවන්.

භික්ෂුන් වහන්සේ ද වගාවන් සඳහා උනන්දු වී ඇති ආකාරය ඇතැම් ප්‍රදේශවලින් අපට වාර්තා වුණි.

කෙසේ වෙතත් වගාවට හුරු අපේ රටේ ඇතැමුන් කොවිඩ් නයින්ටීන් බලපෑමටත් පෙර තමන්ට අවශ්‍ය එළවළු සහ පළතුරු ගෙවත්තේම වගා කර තිබිණි.

මේ අතර, රටේ ජනතාවට අත්‍යාවශ්‍ය එළවළු හා පළතුරු අඛණ්ඩව ලබා දිමේ අරමුණින් රජය ද පසුගියදා “සෞභාග්‍යා” ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන ආරම්භ කළේය.

+++++++++++++++++++++

http://saubagya.lk/

+++++++++++++++++++++++++++++++++++

ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු පුද්ගලයින් 07 ක් නිරෝධායනයට

(10.04.2020 – 21:52 +0530 – sinhala.adaderana.lk)

මාතර මාලිම්මඩ ප්‍රදේශයේ නිවසක සිටි ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ අද (10) කටයුතු කළේය.

ඒ ස්වාමීන් වහන්සේ ඇතුළු සිව්දෙනෙකු (04) ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව කිසිඳු බලපත්‍රයක් නොමැතිව අනුරාධපුරයේ සිට අදාල නිවසට පැමිණීම හේතුවෙන්ය.

අනතුරුව බලධාරීන් විසින් නිවසේ සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු (03) ද ස්වයං නිරෝධායනයට යොමු කළේය.

මොවුන් පැමිණි මෝටර් රථය සහා නිවසේ තිබූ ත්‍රී රෝද රථය පොලිස් භාරයට ගනු ලැබුවේය.

+++++++++++++++++++++++++++++++++++

මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ සම්පූර්ණයෙන්ම සුවය ලබා අද නිවසට

(10.04.2020 – 21:26 +0530 – sinhala.adaderana.lk)

රත්නපුර, මුද්දූව ප්‍රදේශයේ පදිංචි කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ සම්පූර්ණයෙන්ම සුවය ලබා අද නිවසට පැමිණියේය.

මේ අතර ඇයට පොලිස් ආරක්ෂාව ලබාදීමට පොලිසිය කටයුතු කර තිබේ.

මේ අතර රෝග ලක්ෂණ රහිත රෝගීන් වාර්තා වීම අභියෝගයක් බව සෞඛ්‍ය අංශ පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ අවසානයට වාර්තා වූ රෝගීන් තිදෙනා වගකීම් සහගතව හැසිරුණානම් සිංහල අලුත් අවුරුද්ද සැමරීමට ඉඩතිබූ බවයි.

+++++++++++++++++++++++++++++++++++

දේශීය හා බටහිර වෛද්‍ය කේෂ්ත්‍රවල සියලු දෙනාට දැනුම් දීමක්

(10.04.2020 – 19:19 +0530 – sinhala.adaderana.lk)

දේශීය හා බටහිර වෛද්‍ය කේෂ්ත්‍රයේ සියලුම තරාතිරම්වල සේවකයින්ගේ රාජකාරී හෝ සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කරන ලෙස පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

පොලිස්පතිවරයා විසින් සියලූම පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු අදාළ නිලධාරීන් වෙත ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරිම සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙමින් මේ බව පවසා තිබේ.

මෙම සේවා හැඳුනුම්පතට අමතරව ආයතන ප්‍රධානියාගේ ලිපියක් අවශ්‍ය නොවන බව ද එම නිවේදනය මඟින් දක්වා තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

COVID-19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 දක්වා ඉහළට

(10.04.2020 – 17:52 +0530 – sinhala.adaderana.lk)

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතු සමඟ COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 ඉක්මවා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වන දින ස්ථාපනය කෙරිණි.

ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක, ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය විහාරය හා පාමංකඩ ශ්‍රී මහා විහාරාධිපති අන්තර් ජාතික ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක අග්‍රමහා පණ්ඩිත, පූජ්‍ය ආචාර්ය වල්පොළ පියනන්ද නාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි වියට්නාම – ඇමෙරිකන් බෞද්ධ සම්මේලනයේ සභාපති ගරු තික් වීන් ලී (ThichVien Ly) ස්වාමින් වහන්සේ අමරිකානු ඩොලර් 15,000 ක මුදලක් පරිත්‍යාග කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම මුදල පූජ්‍ය වල්පොල පියරතන හිමියෝ විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වෙත භාර දී තිබේ.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරෙයි.

දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති.

නීත්‍යානූකූල ගිණුම් මඟින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මඟින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 235 4479 / 011 235 4354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක ෴

+++++++++++++++++++++++++++++++++++

නාවික හමුදාවෙන් කොළඹ ජාතික රෝහලට විෂබීජහරණ කුටියක්

(10.04.2020 – 17:26 +0530 – sinhala.adaderana.lk)

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද තවත් විෂබීජ හරණ කුටියක් අද (10) කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය වෙත ලබා දීම සිදු කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද විෂබීජ හරණය සිදු කල හැකි කුටියක් කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය වෙත ලබා දීම අද සිදු කරන ලදි.

එම රෝහලෙහි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් තුමන් විසින් නාවික හමුදාධිපතිගෙන් සිදු කල ඉල්ලීමකට අනුව මෙම විෂබීජ හරණ කුටිය ලබා දීමට කටයුතු කරන ලද අතර විශේෂයෙන් දෛනිකව ප්‍රථිකාර ලබා ගැනීම සදහා මහජනතාව විශාල ප්‍රමාණයක් මෙම රෝහල වෙත පැමිණෙන බැවින් එම මහජනතාවගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව උදෙසා මෙම විෂබීජ හරණ කුටි ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදි.

තවද, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද මෙවැනි විෂබීජ හරණ කුටි මේ වන විට රෝහල් කිහිපයක් වෙත ලබා දීමට කටයුතු කර ඇති අතර, කොරෝනා වෛරසය ආසාධිතයින්ට ප්‍රථිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක්ද නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත ලබා දීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

+++++++++++++++++++++++++++++++++++

රටක් වටින පොතක් ලියන්න දරුවන්ට ආරාධනාවක්

(09.04.2020 – 17:07 +0530 – sinhala.adaderana.lk)

දරු දැරියන් තුළ චිත්ත ශක්තිය, නිර්මාණ ශක්තිය හා අභියෝග ජය ගැනීමේ ශක්තිය වර්ධනය කිරීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය හා එක්ව සිදුකරන පොත් 10,000 ලිවිමේ දීපව්‍යාප්ත වැඩසටහනක් දියත් කර ඇත.

1 වසරේ සිට 13 වසර දක්වා රජයේ හෝ ජාත්‍යන්තර පාසැලක ඉගෙන ගන්නා ඕනෑම දරුවෙකුට කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ලබා දී ඇති නිවාඩු කාලය තුළ මෙම තරගය වෙනුවෙන් ග්‍රන්ථයක් රචනා කළ හැකියි.

දූ දරුවන් විසින් ලියන ලද ග්‍රන්ථය පාසල ආරම්භ වු පසු ගුරුවරුන් ලබා යළිත් සංශෝධනය කරවා ගෙන විදුහල්පතිවරයා මඟින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යැවිය යුතු අතර, කලාප අධ්‍යක්ෂ එම පොත්වලින් හොඳම පොත් තෝරා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවනු ලබයි.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය හොඳම පොත් දස දහස තෝරා ප්‍රකාශයට පත් කරනු ඇත.

එක් පාසලකින් එක් පොතක් හෝ ඉදිරිපත් වෙනු ඇතැයි විශ්වාස කරන බවද නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

නිර්නායක :

  1. වයස් කාණ්ඩ – 1 වසරේ සිට 13 වසර දක්වා
  2. සිංහල/දෙමළ/ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ග්‍රන්ථකරණයේ යෙදීමට හැකියි.
  3. පොත් වර්ග
    ළමා කතන්දර / පද්‍ය රචනා / යොවුන් සාහිත්‍ය කෘති / කෙටි කතා / නව කතා / නාට්‍ය රචනා / පරිවර්තන / ඓතිහාසික කතා / මායා කතා / මිත්‍යා කතා / අභිරහස් කතා / උපමා කතා / ජන කතා / විද්‍යා ප්‍රබන්ධ / පරිසර විත්ති / චරිතාපදාන / ස්වයං චරිතාපදාන / සුරංගනා කතා / අතියෝක්ති කතා / ආගමික කතා/ වීර කතා / විෂයානුබද්ධ පොත් / පුරාවෘත්ත / මිශ්‍ර යන ඕනෑම කාණ්ඩයකින් එකක් තෝරා ගත හැකියි.
  4. කෙටි කතා සංග්‍රහයක් නම් අවම වශයෙන් කෙටි කතා 5 ක් ඇතුළත් විය යුතුයි.
  5. පද්‍ය සංග්‍රහයක් නම් පද්‍ය 20 කට වැඩි 50 කට නොවැඩි විය යුතුයි.

නවකතාවක් නම්, පරිගණක ගත ඒ-4 පිටු අවම වශයෙන් 120 ක්

  1. ළමා කතන්දර පොතක පිටු 16 ක් වත් තිබිය යුතුයි. අනිකුත් පොත්වල පිටු ගණන 49 කට වැඩි හා 150 ට අඩු විය යුතුයි.
  2. දහවන ශ්‍රේණිය දක්වා ඉගෙන ගන්නා දු පුතුන්ට කතන්දර ලියා එවිය හැකියි.(ළමා කතන්දර පොත් වර්ණ පිටු හා චිත්‍ර සහිත විය හැකියි)
  3. සෑම පොතක්ම ඒ-4 කඩදාසිවල ලිවිය යුතුයි.
  4. සෑම පොතක්ම පරිගණක යතුරු ලියනය කර තිබිය යුතුයි.
  5. සෑම පොතක්ම දෘඩ පිටපතක් හා මෘදු පිටපතකින් යුක්ත විය යුතුයි.
  6. ඡායාරූප ඇත්නම් හැකි සෑම විටම ඒවා කළු සුදු ඡායාරූප විය යුතුයි. වර්ණ ඡායාරූප 4 colours විය යුතුයි. ඡායාරූප දක්වා ඇති අවස්ථාවල කිසිදු පුද්ගලයෙකු පෞද්ගලිකව හඳුනා ගැනීමට නොහැකි වන ආකාරයේ ඡායාරූප පමණක් එකතු කළ හැකියි.
  7. සත්‍ය නම් ගම් සහිතව රචනා කළ නොහැකිය.
  8. ළමා කතන්දරවල පරිගණක අකුරු ප්‍රමාණය 14 විය යුතුයි. අනෙක් අකුරු ප්‍රමාණය 12 විය යුතුයි. පේළි අතර පරතරය 1.5 ක් විය යුතුයි.
  9. මාතෘකාව හා පේළිය අතර පරතරය පරිගණක පුවරුවට අනුව 2 ක් විය යුතුයි.
  10. ලියනු ලබන පිටුවක ඉඩ ප්‍රමාණය පහත පරිදි විය යුතුයි. වම් අත අඟල් 1.5 ක් ඉඩක් ද, ඉතිරි තුන් පැත්ත අඟල බැගින් ඉඩක් ද තබා ලිවිය යුතුයි.
  11. අකුරු වර්ගය Iskolepotha විය යුතුයි.
  12. පිට කවරය වර්ණ ඡායාරූපවලින් හෝ චිත්‍රවලින් සැකසිය හැකියි.
  13. කවි පොත් චිත්‍ර සහිත හෝ රහිත විය හැකියි. එහෙත් ඒවා පරිගණක Phlip art නොවිය යුතුයි.
  14. දෘඩ පිටපත් Wiren binding මඟින් අමුණා තිබිය යුතුයි.

මෘදු පිටපත් (CD) සංයුක්ත තැටි මඟින් ඉදිරිපත් කළ යුතු අතර පළාත් කාර්යාලය මඟින් තෝරා ගනු ලබන පොත්වල මෘදු පිටපත පහත විද්‍යුත් තැපෑලට PDF ලියවිල්ලක් ආකාරයට එවිය හැකියි.

21. පාසල මඟින් ඉදිරිපත් කරනු ලබන සියලු පිටපත්වල මෘදු පිටපත කලාප කාර්යාලය වෙත විද්‍යුත් තැපෑලෙන්ද යැවිය හැකියි.

  1. වෙනත් අයකු පළ කර ඇති කිසිදු කරුණක් අවසරයකින් තොරව පළ නොකළ යුතුය. වෙනත් අයෙකුගේ නිර්මාණයක් ඉදිරිපත් නොකළ යුතුයි.
  2. 11 සිට 13 ශ්‍රේණි කාණ්ඩය සඳහා විෂයානුබද්ධ පොත්, ව්‍යාපෘති හෝ පර්යේෂණ ඉදිරිපත් කළ හැකියි.
  3. එවැනි පොත් පත් ඉදිරිපත් කරන දරුවන් සඳහා පහත 25 සිට 28 දක්වා නිර්ණායක අනුගමනය කළ යුතුයි.
  4. විෂය කරුණු සහිත පොත් සඳහා පැහැදිලි කිරීම අවශ්‍යම අවස්ථාවල පමණක් ඡායාරූප හා චිත්‍ර ඇතුළත් කළ හැකියි.
  5. එම කාණ්ඩය ඉදිරිපත් කරනු ලබන පොත්පත් අතර ව්‍යාපෘති හෝ පර්යේෂණ ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා ද ඔබට අවසර ලැබේ. ඒ සඳහා වන ආචාර ධර්ම ඔබ විසින් පිළිපැදිය යුතුයි.
  6. උපුටා ගැනීම දැක්විය යුතුයි. ඒ සඳහා ආශ්‍රිත ග්‍රන්ත නාම ලේඛනයක් ඇමිණිය යුතුය. ආශ්‍රිත ග්‍රන්ථ පළ කිරීම APA ක්‍රමය හෝ Hawerd ක්‍රමය යන දෙකෙන් එකක් භාවිතා කළ හැකියි.

උදාහරණ :
කතුවරයාගේ නම – පී තේනබදු
වර්ෂය – 1959
පොතේ නම – සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය
ප්‍රකාශකයා – කොළඹ ඇපොතිකරිස් සමාගම
ප්‍රකාශිත නගරය – කොළඹ

මෙම තොරතුරු ආශ්‍රිත ග්‍රන්ථ නාම ලේඛනයක සඳහන් කරන්නේ මෙසේය :
තේනබන්දු,පි.(1959). සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය. කොළඹ:ඇපොතිකරිස් යන ආකාරයටය.

+++++++++++++++++++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු මෙරටින් හඳුනාගැනේ

(11.04.2020 – 07:04 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 7 දෙනෙකු මෙරටින් හමුවෙයි

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 07 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ඉන් රෝගීන් 06 දෙනෙකු ජාඇල – සුදුවැල්ල ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බවයි.

දෙහිවල ප්‍රදේශයෙන් ද තවත් එක් (01) ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වූ මුළු සංඛ්‍යාව 197 දක්වා ඉහළ යනවා.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා :

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ් 19 වසංගතයට මුහුණදීමට ශ්‍රී ලාංකිකයන්ගේ නව නිපැයුම්

(10.04.2020 – 22:29 +0530 – hirunews.lk/sinhala)

ලොවම පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගතයට මුහුණදීමට ශ්‍රී ලාංකිකයන් විසින් දිනෙන් දින නව සොයාගැනීම් සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් සිටිනවා.

කොවිඩ් 19 වෛරසය වැළඳීමෙන් හදවත අකර්මන්‍ය වූ රෝගීන්ට ලබා දෙන පපු තෙරපීම මේ වන විට සිදු කරන්නේ වෛද්‍යවරුන් විසින් වන අතර එම පපු තෙරපීම ලබා දීම සඳහා නව යන්ත්‍රයක් හඳුන්ව දීමට සීදූව ප්‍රදේශයේ පදිංචි ඩිල්ෂාන් අබේවර්ධන මහතා සමත් වී තිබෙනවා.

කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබන ඩිල්ෂාන් අබේවර්ධන වෛද්‍ය සිසුවා පෙන්වා දෙන්නේ මෙම යන්ත්‍රය මගින් රෝගියා හා වෛද්‍යවරයා අතර පරතරය නිසිලෙස පවත්වාගෙන යෑමට හැකි වන බවයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුබද්ධිත ශ්‍රී ලංකා සෞඛ්‍ය පර්යේෂණ හා නවෝත්පාදන සංගමය සහ කොවිඩ් 19 වෛරසයට එරෙහි ජනාධිපති පර්යේෂණ බලකායේ පර්යේෂණ සංවර්ධන ඒකකය ඒකාබද්ධව නවෝත්පාදන කිහිපයක් අද (10) හඳුන්වා දුන්නා.

රජයේ වෛද්‍ය නිලධාරි සංගම් ශාලාවේ පැවති මෙම වැඩසටහන සඳහා නව නිපැයුම් 30 ක් ඉදිරිපත් කර තිබුණා.

ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ජල කරාමයක් හඳුන්වාදීමට වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විද්‍යාලයේ දිනුත් චාමිකර සිසුවා සමත් වී තිබෙනවා.

11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා විසින් නිර්මාණය කරන ලද මෙම ජල කරාමය අසලට යම් අයෙකු තම දෑත් ළං කළ විට එය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා නිසා විදෙස් රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම

(10.04.2020 – 20:15 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වෛසරස ව්‍යප්තියත් සමග ලොව පුරා රටවල නගර රැසක් මේ වනිවට සම්පූර්ණයෙන් වසා දමා අවසන්.

එම විවිධ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් රජය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් තමන් මව් රටට ගෙන්වා ගන්නා ලෙසටයි.

ඉන්දියාවේ විවිධ නගරවල උසස් අධ්‍යාපන කටයුතු සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකික සිසුන් තමන් යළි මෙරටට ගෙන්වා ගන්නා ලෙසට ඉල්ලා සිටියා.

කෙසේ වුවත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ගැටළුවක් නොමැති බවත් ඔවුන් මෙරට නිරෝධායන ක්‍රියාවලියට ඇතුළත් කිරීමෙන් පසු සමාජගත කළ හැකි බවත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහා පවසනවා.

+++++++++++++++++++++++++++++++++++

විශේෂඥ පුහුණුවට ගිය වෛද්‍යවරු 85 ක් ලංකාවට ගෙන්වා ගන්නැයි ජනපතිගෙන් ඉල්ලති

(10.04.2020 – aruna.lk)

තමන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නැයි විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා එක්සත් රාජධානියට ගොස් සිටින වෛද්‍යවරුන් 85 ක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

මෙරට රජයේ රෝහල්වල සේවය කරමින් සිටි මෙම වෛද්‍යවරුන් විශේෂඥ පුහුණුව සඳහා එක්සත් රාජධානිය වෙත ගොස් ඇති අතර මේ වන විට ඔවුහු එම පුහුණුවේ අවසන් අදියරේ සිටින බවද කියා සිටිති.

එක්සත් රාජධානියේ කොවිඩ් 19 වෛරසය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බවද අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ඉදිරි පෙළ කණ්ඩායම් ලෙස විශේෂඥ පුහුණුව ලබන තම කණ්ඩායම යොදා ගැනීම ආරම්භ කර ඇතැයිද පවසන මෙම වෛද්‍යවරු ශ්‍රී ලංකාවට පැමිණීමට සහ නිරෝධායනය සඳහා වැයවන සියලු වියදම් දැරීමට සූදානම් බවද ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

අජිත් අලහකෝන්

+++++++++++++++++++++++++++++++++++

දිනක් තුළ කොවිඩ්-19 මරණ ගණන 2000 ඉක්මවූ පළමු රට බවට ඇමරිකාව පත්වෙයි

(11.04.2020 – 08:52 +0530 – hirunews.lk/sinhala)

එක් දිනක් තුල වාර්තා වූ කොවිඩ්-19 මරණ ගණන 2000 ඉක්මවූ පළමු රට බවට ඇමරිකාව පත්ව තිබෙනවා.

ගෙවූ පැය 24 තුළ ඇමරිකාවේ කොරෝනා මරණ 2108 ක් වාර්තා වී තිබනෙවා.

ඒ අනුව එක්සත් ජනපදයේ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 18,719 ක් දක්වා ඉහළ යන අතර, එරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද 502,876 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ඇමෙරිකානු සමාගමක කෝටි 14 කට විද්ද හැකරුන් 31 ක් සොයා සී.අයි.ඩී. විමර්ශන

(10.04.2020 – aruna.lk)

අන්තර්ජාලය ඔස්සේ ගදෙනු කරන ඇමෙරිකාවේ ජාත්‍යන්තර වෙළෙඳ සමාගමක බැංකු ගිණුමකට අනවසරයෙන් පිවිස රුපියල් කෝටි දාහතරක් (14) මෙරටට බැංකු ගත කළ හැකරුන්ගේ කණ්ඩායමක තිස් එක් (31) දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.

එක කණ්ඩායමේ හත් දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

වංචාවට සම්බන්ධ රුපියල් කෝටි නවයක් (09) පමණ ඊයේ (9 වැනිදා) වන විට සොයාගත් බව විමර්ශන නිලධාරීන් පවසයි.

එම කණ්ඩායම මෙරට පුද්ගලික බැංකුවක වූ ගිණුම් හතළිහකට (40) පමණ ‘ඔන්ලයින්’ මගින් මෙම මුදල බැරකර තිබේ. අදාළ සමාගමේ වෙබ් අඩවියෙන් කළ ඇනවුම් නැවතීම නිසා යළි එම මුදල් බැර කර ඇති බව හැකර්වරුන්ගේ කණ්ඩායම බැංකුවට දන්වා ඇතත් මෙය ගැන ඇති සැකය මත බැංකු නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *