මහමාර්ගවල ගමන් ගන්නා සියලු දෙනාට අද (11) සිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මහමාර්ගවල ගමන් ගන්නා සියලු දෙනාට අද (11) සිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි (විඩියෝ)

• ඇඳිරි නීතිය උල්ලංගණය කළ පුද්ගලයින් 22,000 ක් අත්අඩංගුවට

• ඇඳිරි නිතිය මැද්දේ රංචු ගැසී රා බොයි (විඩියෝ)

• පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක් (විඩියෝ)

• හඳුනා නොගත් මත්පෙති තොගයක් සමඟ මාතර දී දෙදෙනෙකු අත්අඩංගුවට

• මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ තවත් යාත්‍රාවක් ගැඹුරු මුහු‍දේදී නාවික හමුදා අත්අඩංගුවට (විඩියෝ)

• ප්‍රදේශ කිහිපයකට පස්වරු 4 සිට පැය 12 ක් ජලය අත්හිටුවයි

• ඉබෝලා යළි මතුවේ

• බලංගොඩ නගරාධිපතිට එරෙහිව පරීක්ෂණයක්

• නිවසේ සිට ඉගෙන ගන්න O/L දරුවන්ට ගාස්තු රහිත විශේෂ දුරකථන සේවාවක්

• මෝටර් රථයක් පරීක්ෂාවට – හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට – තිදෙනෙක් පලා යයි (විඩියෝ)

• කොරෝනා පාලනයට දේශීය ඖෂධ යොදා ගත යුතුයි – අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන (විඩියෝ)

• කොරෝනා ව්‍යාප්තිය නිසා ගැටළුවලට මුහුණපා සිටින ලාංකික ශ්‍රමිකයින් ගැන රජයේ අවධානය

• සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

• සැලසුම් කළ අයුරින් උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ දී – විභාග කොමසාරිස්

• කොවිඩ් 19 වෛරසය මැඩලීමට ‘MyHealth ශ්‍රී ලංකා’ නමින් නව App එකක් ICTA වෙතින්

+++++++++++++++++++++++++++++++++++

මහමාර්ගවල ගමන් ගන්නා සියලු දෙනාට අද (11) සිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි

(11.04.2020 – 10:19 +0530 – sinhala.adaderana.lk)

මහමාර්ගවල සහ අතුරු මාර්ගනල ගමන් ගන්නා සියලු දෙනාට මුහුණු ආවරණ පැළඳීම අද (11) සිට අනිවාර්ය කර තිබේ.

ඇඳිරි නීති බලපත්‍ර අතැතිව ගමන් ගන්නා පුද්ගලයින්ට ද මෙය අද (11) සිට මෙය බලාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇත.

මේ වන මහමාර්ගවල ආරක්ෂාව සඳහා යොදවා ඇති ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මේ වන විට රාජකාරී කටයුතුවල නියැලි සිටි පොලිස් නිලධාරීන් 100 කට අධික ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය උල්ලංගණය කළ පුද්ගලයින් 22,000 ක් අත්අඩංගුවට

(11.04.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය උල්ලංගණය කළ පුද්ගලයින් 22,000 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සදහන් කළේ වාහන 5750 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මේ අතර, මේ වන විට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ වෙත පනවා ඇති ඇඳිරි නීතිය නැවත දන්වන තුරු අඛණ්ඩව බලාත්මකයි.

එම දිස්ත්‍රික්ක හැර සෙසු සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ලබන 14 වන අඟහරුවාදා පෙරවරු හය (06) දක්වා ක්‍රියාත්මක අතර, එදින පෙරවරු හයට (06) එම ඇඳිරි නීතිය ඉවත් කෙරෙනවා.

පසුව එදිනම (14) සවස හතරේ (04) සිට යළි ක්‍රියාත්මක කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර, හැටන් – කොටගල නගරයේ මත්පැන් අලෙවිසැලකට ඊයේ (10) අළුයම ඇතුළු වූ පිරිසක් එහි තිබූ මත්පැන් බෝතල් 100 කට ආසන්න ප්‍රමාණයක් සොරාගෙන ගොස් තිබෙනවා.

දිඹුලපතන පොලීසිය සඳහන් කළේ ප්‍රදේශයේ ඇති සී.සී.ටී වී උපයෝගී කරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර ඇඳිරි නීතිය කඩ කරමින් නීතිවිරෝධී මත්පැන් ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු සහ ඔහුගේ සොහොයුරිය උහන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී මත්පැන් බෝතල් දෙකක් සමග අදාළ තරුණයා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර එම ස්ථානයට පැමිණි ඔහුගේ සොහොයුරිය මෙම මත්පැන් බෝතල් දෙක විනාශ කර තිබෙනවා.

සිවිල් ආරක්ෂක සෙබලියක වන ඇය ද පසුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙදෙනාම ලබන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නිතිය මැද්දේ රංචු ගැසී රා බොයි

(11.04.2020 – 12:51 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සුරාබදු විශේෂ ඒකකයට ලද තොරතුරක් මත වාද්දුව, පානදුර සහ නල්ලුරුව ප්‍රදේශවල පවත්වාගෙන ගිය මහා පරිමාණ රා පොළවල් 04 ක් වටලා පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා.

මෙහිදී රා බෝතල් 800 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ රා විකුණුම් ස්ථානවලට ජනයා ඒකරාශී වීම නිසා කොරෝනා රෝග ව්‍යාප්ත වීමටද ඇත්තේ ඉහළ අවදානමක්.

සියලුම ස්කාගාර වසා ඇති මෙම අවස්ථාවේ රා (මත්පැන්) වෙළඳමද නීති විරෝධී බවට පත්කර තිබෙනවා.

ස්කාගාර වලට සැපයීමට නියමිත මෙම රා තොග එම කොන්ත්‍රාත් කරුවන් විසින් පානය සඳහා විකුණා ඇති බවයි හෙළිව ඇත්තේ.

මේ අතර, එම රා වලින් කොටසක් කසිප්පු නිෂ්පාදනයට යොමු කර තිබෙනවා.

ඉතිරිය විනාකිරි නිෂ්පාදනයටද යොදවා තිබෙන අතර විනාකිරි නිෂ්පාදනය කිරීමටද සැකකරුවන්ට බලපත්‍ර නොමැති බවයි වැටලීම කළ සුරාබදු නිලධාරීන් සදහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් 04 දෙනා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඇප මත මුදාහැර තිබෙනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ.බෝදරගම, අතිරේක කොමසාරිස් ජනරාල් වසන්ත දිසානායක යන මහත්වරුන්ගේ උපදෙස් මත මෙම වැටලීම දියත් කෙරුනා.

+++++++++++++++++++++++++++++++++++

පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක්

(11.04.2020 – 12:50 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ රාජකාරිවල නිරත ප්‍රධාන පොලිස් පරීක්ෂක හා ඉන් පහළ තනතුරුවල නිලධාරින්ට රුපියල් පන්දහස බැගින් මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ එම මුදල් ගෙවීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත මේ වනවිට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි.

ඒ අනුව පසුගිය මාර්තු 11 වනදා සිට ඊයේ (10) දිනය දක්වා කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ රාජකාරි නොපිරිහෙළා ඉටුකළ නිලධාරීන්ට පොලිස් ත්‍යාග අරමුදල යටතේ මෙම විශේෂ මුදල් ත්‍යාග පිරිනැමෙනු ඇති ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

හඳුනා නොගත් මත්පෙති තොගයක් සමඟ මාතර දී දෙදෙනෙකු අත්අඩංගුවට

(11.04.2020 – 10:48 +0530 – hirunews.lk/sinhala)

හඳුනා නොගත් මත්පෙති තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මාතර කොට්ඨාශ දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උපාය දූතයන් යොදවා ඊයේ (10) පස්වරුවේ වල්ගම ප්‍රදේශයේදී මෙම මෙහෙයුම සිදුකර ඇති අතර, එහිදී මත්පෙති 600 ක් පමණ සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

දීර්ඝ කාලයක් තිස්සේ මොවුන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිගම – දෙනිපිටිය සහ මාතර – කනත්තගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

+++++++++++++++++++++++++++++++++++

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ තවත් යාත්‍රාවක් ගැඹුරු මුහු‍දේදී නාවික හමුදා අත්අඩංගුවට

(11.04.2020 – news.navy.lk)

2020 වසරේදී පලමු කාර්තුව තුල ගැඹුරු මුහුදේ මුර සංචාරයෙහි යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුර නෞකාවන් ඉතාමත් සාර්ථක ප්‍රථිපල ගෙනදෙමින් හෙරෝයින්, අයිස් සහ කෙටමයින් යන මත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද එය රැගෙන එමින් සිටි මත් ද්‍රව්‍ය ඡාවාරම් කරුවන් සහ විදේශ යාත්‍රාවන් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

එහි නවතම ප්‍රථිපලය ලෙස ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 (දල වශයෙන් කි.මී 985 පමණ) දුරකින් වු ගැඹුරු මුහුදේදී රාජ්‍ය ධජ හිමි නැති (Flag Stateless) විදේශිය යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය සෝදිසි කිරීමේදී හෙරෝයින් කි.ග්‍රෑ. 260 සහ අයිස් කි.ග්‍රෑ. 56 සමඟ ඉරාන ජාතිකයින් බවට සැක කරන පුද්ගලයින් 7 අත්අඩංගුවට ගන්නා ලදී.

මෙය මෙම අවුරුද්ද තුල මෙයට පෙර ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද යාත්‍රා 03 හි සිටි පුද්ගලයින්ගේ ප්‍රශ්ණ කිරීමේදී ලද තොරතුරු මෙන්ම ජාත්‍යන්තර තොරතුරු හුවමාරුව, චන්ද්‍රිකා දුරකථන වල දත්ත විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වු කරුණු මත ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කල මෙහෙයුමක ප්‍රථිපල වේ.

එම විශ්ලේෂණයන් මත මාර්තු මස 30 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් දින 14 ක සාගරික මෙහෙයුමකට අදාල මුහුදු ප්‍රදේශය වෙත යොමු කරන ලදී. දින 2 ක ගමනකින් පසු නෞකාව සමකය පසුකර කලින් හදුනාගත් මුහුදු ප්‍රවේශ මාර්ගයන් දින 09 ක් පුරාවට නිරීක්‍ෂණය කර 10 වන දිනයේදී (2020 අප්‍රේල් මස 10 වන දින උදැසන 1100 පැයට පමණ) මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබු විදේශීය යාත්‍රාව සොයා ගන්නා ලදී. මෙම මුහුදු මෙහෙයුමේදී චන්ද්‍රිකා ජායාරෑප ද ජාත්‍යන්තර සහයෝගය මත ලබාගත් අතර, එම දත්තයන්ද විශේෂයෙන් මෙම ප්‍රවේශ මාර්ගයන් තහවුරු කර ගැනීමට පිටිවහලක් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයන් අවහිර කිරීමට තම දායකත්වය ප්‍රධාන නෞකාවන් හරහා ලබාදෙන අතර, මෙම දිවයින මත්ද්‍රව්‍ය වලින් තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙලට එය අගනා ශක්තියක් ලබා දෙයි.

මෙවර අත්අඩංගුවට පත් මත් ද්‍රව්‍ය වල වීදි වටිනාකම රුපියල් කෝටි 327 ක් පමණ වන බවට තක්සේරු කර ඇති අතර, මෙම තොගයද සමඟ මේ වසරේ පමණක් දැනට ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය ප්‍රමාණය හෙරෝයින් කි.ග්‍රෑ. 687 ක්, අයිස් කි.ග්‍රෑ. 795 ක් සහ කැටමයින් කි.ග්‍රෑ. 579 ක් වශයෙන් සටහන් වේ ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ප්‍රදේශ කිහිපයකට පස්වරු 4 සිට පැය 12 ක් ජලය අත්හිටුවයි

(11.04.2020 – 13:47 +0530 – hirunews.lk/sinhala)

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (11) පස්වරු 4 සිට පැය 12 ක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව කැළණිය, පෑලියගොඩ, වත්තල, මාබෝල, ජාඇල, කටුනායක හා සීදුව නගර සභා බල ප්‍රදේශ වෙත මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව කැළණිය, වත්තල, ජාඇල, බියගම, මහර හා දොම්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ද අද (11) පස්වරු 4 සිට පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළා.

එසේම ගම්පහ, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද මෙම කාලසීමාව තුළ ජලය අත්හිටුවනු ලබනවා ෴

***************************************

ඉබෝලා යළි මතුවේ

(11.04.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර අප්‍රිකාවේ කොංගෝ රාජ්‍යයෙන් නැවතත් ඉබෝලා වෛරස් ආසාදිතයෙකු හමුවී ඇති අතර, එවැනි තවත් ආසාදිතයන් සිටිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

එලෙස ඉබෝලා ආසාදිතයෙකු හමුවී ඇත්තේ එම වෛරස් රෝගය අප්‍රිකාවෙන් තුරන් වූ බවට ප්‍රකාශයට පත් කිරීමට දින 3 ක් තිබියදියි.

පසුගිය දින 42 පුරාම ඉබෝලා වෛරස් ආසාදිතයන් හමු නොවූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ.

ඉබෝලා රක්තපාත උණ ලෙස හැදින් වූ මාරාන්තික විය හැකි ඉබෝලා වෛරසය 2014 – 2016 කාලය තුළ බටහිර අප්‍රිකාවේ පැතිරුණු අතර, එහිදී පුද්ගලයන් 2260 ක් ජීවිතක්ෂයට පත්වුණා ෴

+++++++++++++++++++++++++++++++++++

බලංගොඩ නගරාධිපතිට එරෙහිව පරීක්ෂණයක්

(11.04.2020 – 13:06 +0530 – sinhala.adaderana.lk)

‍අලෙවිය සඳහා තබා තිබූ එළවළු තොඟයකට භූමිතෙල් දමා විනාශ කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් බලංගොඩ නගර සභාවේ නගරාධිපතිවරයාට එරෙහිව පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

පසුගියදා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිට පැමිණි ව්‍යාපාරිකයින් පිරිසක් ඇදිරි නීතිය හේතුවෙන් බලංගොඩ ප්‍රදේශයේ සිය එළවළු ලොරිය නවතා තම ව්‍යාපාර කටයුතු කරගෙන ගොස් ඇති බව සඳහන්.

එහිදී එම ස්ථානයට පැමිණි නගරාධිපතිවරයා වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ව්‍යාපාරිකයින්ට දැනුම්දී ඇති අතර පසුව ඔහු එම එළවළු තොගයට භුමිතෙල් දමා විනාශ කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපතිවරයාට ඓරහිව පරික්ෂණයක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සඳහන් කළේය ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

නිවසේ සිට ඉගෙන ගන්න O/L දරුවන්ට ගාස්තු රහිත විශේෂ දුරකථන සේවාවක්

(11.04.2020 – 13:02 +0530 – sinhala.adaderana.lk)

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටළු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි දුරකථන සන්නිවේදන ආයතන රැසක් හා තැපැල් හා විදුලි සංදේශන කොමිෂන් සභාවේ සහයෝගයෙන් මෙම පියවර ගෙන තිබේ.

දෙමාපියන්ට තමන් සතු ඕනෑම දුරකථන ජාලයකින් 1377 අංකයට ඇමතුමක් ලබා දීමෙන් දරුවන් වෙත මෙම අවස්ථාව සලසා දිය හැකිය.

මේ සඳහා දුරකථන ගාස්තු කිසිවක් අය නොකෙරෙන අතර, සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් අදාල විමසීම් සිදු කළ හැක.

එක් එක් විෂයයන් සම්බන්ධ පළපුරුදු ගුරුවරුන් මේ සඳහා සම්බන්ධ කරගනු ලබන අතර, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, මව්බස සිංහල හා මව්බස දෙමළ යන විෂයන් සම්බන්ධව මතුවන ඕනෑම ගැටළුවකට මේ යටතේ පිළිතුරු ලබා දීමට කටයුතු යොදා ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

මෝටර් රථයක් පරීක්ෂාවට – හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට – තිදෙනෙක් පලා යයි

(11.04.2020 – 12:19 +0530 – sinhala.adaderana.lk)

බද‍්දේගම පොලිස් වසමේ බටබැද්ද, නුගේතොට, අගලිය ප්‍රදේශයේ දී පාළු නිවසක් අසල සැක කටයුතු මෝටර් රථයක් නවතා ඇති බවට බද්දේගම පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇත.

එහිදී අගලිය පොලිස් මුරපලේ නිලධාරීන් විසින් මෝටර් රථය පරීක්ෂා කිරීමට යෑමේ දී එහි සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පළා ගොස් ඇත.

ලුහුබැඳ ගොස් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තතයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 250 ක් සොයා ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 21 ක් වු බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

පසුව මෝටර් රථය පරීක්ෂා කිරිමේ දී එහි තිබී තවත් හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 150 ක් , පිහියක්, ජංගම දුරකථන 2 ක්, පෙන් ඩ්‍රයිව් 2 ක්, සිම්පත් 11 ක්, ඩොංගල් 3 ක්, බැංකු පොත් 14 ක්, බැංකු කාඩ් 12 ක්, මුදල් රුපියල් 3470 ක් විදේශ මුදල් නොට්ටු 8 ක්, යතුරු කැරැල්ලක් හා පළා ගිය බවට සැක කරන පුද්ගලයින්ගේ හැඳුනුම්පත් 2 ක් ද සොයා ගෙන ඇත.

මෝටර් රථය පොලිස් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (11) දින බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ඇත.

පලාගිය සැකකරුවන් සොයා බද්දේගම පොලීසියෙන් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා පාලනයට දේශීය ඖෂධ යොදා ගත යුතුයි – අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

(11.04.2020 – 11:08 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් 19 වෛරසය පැතිරයාම වැලක්විම සඳහා දේශිය ඖෂධ ද යොදාගත යුතුබව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මාළඹේ කාර්මික තාක්ෂණ ආයතනයේ නිරික්ෂණ චාරිකාවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මාළඹේ කාර්මික තාක්ෂණ ආයතනය මගින් කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා විම සඳහා කළ නිෂ්පාදන කිහිපයක් නිරික්ෂණය කිරිමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ මේ වන විට විවිධ නව නිෂ්පාදන එළිදක්වා ඇති බවයි.

ඇඳිරි නීති පවතින අවස්ථාවේ වුවත් ඒ සිදුකරන මෙහෙවර පිළිබඳව ස්තූතිය පිරිනමන බවද පැවසු අමාත්‍යවරයා, වෛද්‍ය සභාවේ වෛද්‍ය පාදෙණිය මහතා හා අනෙක් අය විසින් ගෝලීය වශයෙන් ඉදිරියේ දී රටේ ඇති වන තත්ත්වය හමුවේ ලංකාවේ සම්පත් උපයෝගී කර ගනිමින් සිදු කරන මෙවැනි අත්හදා බැලීම් පිළිබඳව දිරි ගැන්වීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ඉදිරියේ දී කැබිනට් මණ්ඩලය හමුවේ ගනු ඇතැයි ද පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ව්‍යාප්තිය නිසා ගැටළුවලට මුහුණපා සිටින ලාංකික ශ්‍රමිකයින් ගැන රජයේ අවධානය

(11.04.2020 – 07:46 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ගැටළුවලට මුහුණපා සිටින ශ්‍රී ලාංකික සංක්‍රමනික ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් විෂයභාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර ඊට විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් පිරිසක් ද එක්ව සිට ඇති බව සදහන්ය.

ශ්‍රී ලාංකික සංක්‍රමනික ශ්‍රමිකයින්ට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වූ බවත් ඔවුන්ට උපකාර කිරිම සදහා ක්‍රියාත්මක කළ හැකි යාන්ත්‍රණ පිළිබඳ ගවේෂණය කිරිමත් මෙහිදී අවධානයට යොමු වූ බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

මැද පෙරදිග, අග්නදිග ආසියාව, නැගෙනහිර ආසියාව, යුරෝපය සහ අප්‍රිකානු කලාපවල මිලියනයට අධික ශ්‍රී ලාංකික සංක්‍රමිනික ශ්‍රමිකයින් රැකියාවල නිරත වන බවට මෙහිදී තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව විශේෂයෙන් ගල්ෆ් කලාපයේ සේවය කරන සංක්‍රමනික ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා පිළිබඳ මෙහිදී අවධානය යොමුව ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්විම සඳහා මෙම කලාපයේ සත්කාරචක රටවල් ගෙන ඇති පියවර සංක්‍රමනිකයින්ට අහිතකර ලෙස බලපා ඇති බවත් එහිදී ඉස්මතුවන කරුණුවලට ඉතා ඉක්මනින් විසදුම් ලබාදිය යුතු බවත් අමාත්‍යවරයා නිළධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචි නොවූ සංක්‍රමනික ශ්‍රමිකයින්ගේ ගැටලු සහ මෑතකදී රැකියා අහිමි වු හා මුදල් ප්‍රේෂණ සම්බන්ධ ගැටළු පිළීබඳව ද අවධානය යොමුව ඇති බව සඳහන්ය.

මේ අතර ඉන්දියාවේ අධ්‍යාපන කටයුතු සදහා ගොස් ප්‍රාන්ත කිහිපයක රැදී සිටින සිසුන් තමන්ව හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ කොවිඩ් නයින්ටීන් වෛරසය ඉන්දීයාව තුළ ඉතා සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින අතර මේ හේතුවෙන් තමන් දැඩි සෞඛ්‍ය තර්ජනයකට මුහුණ පා ඇති බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

(11.04.2020 – 07:34 +0530 – sinhala.adaderana.lk)

සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරිමට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසින් ඊයේ (10) දිනයේ සිට බලැපැත්වෙන පරිදි අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.

ඒ අනුව කීරි සම්බා කිලෝග්‍රැම් 01 ක උපරිම සිල්ලර මිල 125 ක් වන අතර තම්බන ලද සුදු හා රතු සම්බා කිලෝග්‍රෑම් 01 ක උපරිම සිල්ලර මිල රුපියල් 90 ක් වෙයි.

සුදු හා රතු කැකුළු සම්බා කිලෝග්‍රෑම් 01 ක උපරිම සිල්ලර මිල මෙන්ම තම්බන ලද සුදු හා රතු නාඩු කිලෝග්‍රෑම් 01 ක උපරිම සිල්ලර මිල ද රුපියල් 90 ක් වන බව අදාල ගැසට් නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම සුදු හා රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 85 ක උපරිම සිල්ලර මිලක් ද නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළීබඳ අධීකාරිය විසින් සහල් වර්ග සදහා නියම කර ඇති මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට ඒවා වෙළඳාම් කිරිම, වෙළඳාම් කිරිම සදහා ඉදිරිපත් කිරිම හා වෙළඳාම සදහා ප්‍රදර්ශනය කිරිම නොකළ යුතු බව ද ගැසට් නිවේදනයේ සදහන්ය ෴

+++++++++++++++++++++++++++++++++++

සැලසුම් කළ අයුරින් උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ දී – විභාග කොමසාරිස්

(11.04.2020 – 15:11 +0530 – sinhala.adaderana.lk)

සැලසුම් කළ පරිදි උසස් පෙළ විභාගය අගෝස්තු මස පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

අද (11) පෙරවරුවේ පැවති ‘අද දෙරණ බිග් ෆෝකස්’ සංවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ඒ තත්ත්වය මත සිට වැඩකටයුතු සිදු කරමින් පවතින බවයි.

එහිදී ළමයින්ට කිසිදු පාඩුවක් සිදු නොවන අයුරින් විභාග පැවැත් වීමට කටයුතු සංවිධානය කරන බවත් ඒ මහතා පැවසීය.

මෙම සිදුවීම මෙන්ම පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය තුළින් ද ළමුන්ට විශාල පාඩුවක් සිදුවු බව පැවසු සනත් පූජිත මහතා මේ සියලු දේ සලකා බලා කටයුතු කරන බවත් කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වු අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේ උසස් පෙළ ළමුන් තරම් අසාධාරණයට ලක්වු පිරිසක් නොමැති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ දරුවන්ට පීඩනය අවම වෙන අයුරින් සියලු තීරණ ගන්නා බවයි.

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ් 19 වෛරසය මැඩලීමට ‘MyHealth ශ්‍රී ලංකා’ නමින් නව App එකක් ICTA වෙතින්

(10.04.2020 – biz.adaderana.lk)

කොවිඩ් 19 මාරාන්තික වෛරස් ව්‍යාප්තිය පිළිබඳව විශ්වාසනීය ලෙස තොරතුරු දැනුම් දීමට, ඒ හා සම්බන්ධ තොරතුරු ලබාදීමට හා ප්‍රතිචාර දැක්වීමට නව ජංගම යෙදුමක් (App) ‘MyHealth ශ්‍රී ලංකාව’ නමින් හදුන්වාදී ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA) එක්ව මෙම යෙදුම දියත් කරන ලදී.

ගෝලීය වසංගතය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තිය ආරම්භ විමත්, ආසාදිත පුරවැසියන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමඟ ශක්තිමත් ජංගම යෙදුමක අවශ්‍යතාව පිලිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද අවධානය යොමුවිය. ඒ අනුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය මෙම යෙදවුම හදුන්වාදුන් අතර ඒ සඳහා පෞද්ගලික ආයතන හා විවිධ පුගලයන් විශාල දායකත්වයක් දක්වන ලදී. වෛරස ආසදිතයන් පිලිබදව වෛද්‍ය බලධාරීන් විසින් බෙදාගන්නා ලද දත්ත මෙම යෙදුම තුලින් අදාල අංශ වෙත ලබාදීම, බෙදාහැරීම සහ අවශ්‍ය ප්‍රතිචාර ලබාදීම සිදුකෙරේ. Google Play, Huawei Appstore Store සහ Apple App Store, මගින් බාගතකරගත් මෙම යෙදුම හා සම්බන්ද වන පුරවැසියන්ට ඔවුන්ගේ ස්ථානය සටහන් කිරීමට නියම කරනු ලැබේ.

මෙම යෙදුමේ ප්‍රධාන ලක්ෂණය නම් වෛරසය වැළඳී ඇති පුද්ගලයෙකු අනාවරණය වූ විට එම තොරතුරු සියලු පරිශීලකයින් සමඟ බෙදා ගැනීමයි. ඒ අතරම, ආසාදිත පුද්ගලයාගේ ගමන් මාර්ගය ඔබේ සිටින ස්ථාන හා සමගාමිව සිතියම් ගත කරන අතර එමඟින් යෙදුමේ පරිශීලකයා වෛරසයට ගොදුරු වූ අවාසනාවන්ත අවස්ථාවකදී, ගබඩා කර ඇති ස්ථාන පිළිබද ඉතිහාස තොරතුරු අදාළ අංශ සමඟ හෙළි කළ හැකිය. එමෙන්ම පසුගිය දින 14 තුළ පටිගත කරන ලද සියළුම තොරතුරු ආරක්ෂිතව තබා ඇති අතර ජංගම යෙදුම් පරිශීලකයාගේ අවසරයකින් තොරව කිසිදු බාහිර පද්ධතියකට එම තොරතුරු සම්ප්රේෂණය නොකෙරේ.

මෙය සිදු කරනුයේ ඔබගේ දත්ත සුරක්ෂිතව තබා ගැනීම සහතික කිරීමත් සමගිනි. එමෙන්ම ඔබ ආසාදිත පුද්ගලයෙකු සමීපව ඇසුරු කර ඇත්නම්, ඔබට ජාතික රෝග නිරීක්ෂණ පද්ධතිය සමඟ ස්වයංක්‍රියව ලියාපදිංචි වීමට අවස්ථාව උදාවේ. කොරෝන ආසදිතයන් හදුනාගැනීම, ව්‍යාප්තිය පාලනය කිරීම ආසදිතයන්ගෙන් අනෙකුත් අයට ආරක්ෂා විමටත් මෙමගින් හැකියාව ලැබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *