ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 203 යි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 203 යි (විඩියෝ)

• විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු මැයි 18 ඇරඹේ (විඩියෝ)

• රාගම සහ වැලිසර රෝහල්වල කාර්ය මණ්ඩලයේ 27 දෙනෙකු නිරෝධායනයට

• අනුරාධපුර වට්ටක්කා, මිළට ගැනීමට රජය මැදිහත් වෙයි

• ආහාර අර්බුදයක් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇගවීමක්

• කොරෝනා නිසා මිය යන පුද්ගලයන්ගේ ආදාහනය ගැන ගැසට් නිවේදනයක්

• පොලිස්පතිගෙන් සියලු පොලිස් ස්ථානවලට විශේෂ නියෝගයක්

• කොරෝනා මර්දනයට මැලේරියා ඖෂධ ඉන්දියාවෙන් ඇමරිකාවට

• බන්ධනාගාර නිල හැඳුනුම්පත අවභාවිත කළ තුන්දෙනෙකු අත්අඩංගුවට

• ඇඳිරි නීතිය කඩකළ තවත් 1,535 ක් අල්ලයි

• විදෙස් ගුවන්තොටුපලවල සිරවූ තවත් 14 ක් දිවයිනට

• ඇඳිරි නීති බලපත්‍ර අව භාවිත කර ගවයන් ප්‍රවාහනය කළ 04 ක් අත්අඩංගුවට (විඩියෝ)

• ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීති දැඩි වෙයි – ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 23,500 ක් අත්අඩංගුවට (විඩියෝ)

• ඇඳිරි නීතිය නොතකා ගල්කිස්සේ සංචාරක හෝටලයක මත්පැන් අලෙවි කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට (විඩියෝ)

• පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ 208 දෙනෙකු කොරෝනා වෛරස් පරීක්ෂාවට (විඩියෝ)

• කොවිඩ් 19 බවට සැක සහිත රෝගීන් පරීක්ෂාවට ජංගම රථයක් (විඩියෝ)

• ඇඳිරි නීතිය පැනවීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ 23,519 අත්අඩංගුවට (විඩියෝ)

• රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් චෝදනාවක් (විඩියෝ)

• රෝගීන්ගේ මානසික ආතතිය දුරලන්න වැලිකන්ද කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ විශේෂ වැඩසටහනක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 203 යි

(12.04.2020 – 13:53 +0530 – sinhala.adaderana.lk)

තවත් කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කො‍රෝනා ආසාදිතයින් ගණන 203 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 55 ක් වන අතර 07 දෙනෙකු මරණයට පත් විය.

එසේම තවත් රෝගීන් 141 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

+++++++++++++++++++++++++++++++++++

විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු මැයි 18 ඇරඹේ

(12.04.2020 – 15:14 +0530 – hirunews.lk/sinhala)

විශ්ව විද්‍යාල අවසන් වසර සිසුන් සඳහා මැයි මස 11 වනදා සහ අනෙකුත් සියළුම සිසුන් සඳහා මැයි මස 18 වනදා අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ මැයි මස 04 වනදා අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැඩ කටයුතු ආරම්භ කරන බවයි.

+++++++++++++++++++++++++++++++++++

රාගම සහ වැලිසර රෝහල්වල කාර්ය මණ්ඩලයේ 27 දෙනෙකු නිරෝධායනයට

(12.04.2020 – 16:53 +0530 – hirunews.lk/sinhala)

රාගම සහ වැලිසර රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 27 දෙනෙකු මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

ජාඇල – සුදුවැල්ල ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද කොරෝනා ආසාදිතයා ඇසුරු කළ රාගම – උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවකයෙකුට මෙම වෛරසය ආසාදනය වීම හේතුවෙනුයි එම රෝහලේ සේවකයන් 22 සහ වැලිසර ලය රෝහලෙහි 05 දෙනෙකු අද (12) මෙලෙස නිරෝධායනයට යොමු කරනු ලැබුවේ.

ජාඇල – සුදුවැල්ල ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි 28 දෙනෙකු එම නිරෝධායනය කටයුතු මගහැර සිටීම හේතුවෙන් පසුගිය 09 වන දා නාවික හමුදා නිලධාරීන් සිය භාරයට ගෙන නිරෝධායනය සඳහා යොමු කරනු ලැබුවා.

පසුව අනාවරණ වූයේ ඉන් 06 දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බවයි. එම පිරිස ඇසුරු කළ රාගම ශික්ෂණ රෝහලේ පුද්ගලයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව පසුව අනාවරණ වුණා.

+++++++++++++++++++++++++++++++++++

අනුරාධපුර වට්ටක්කා, මිළට ගැනීමට රජය මැදිහත් වෙයි

(12.04.2020 – 16:46 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර සහ මහවිලච්චියේ වට්ටක්කා වගාවෙන් ලැබී ඇති විශාල පලදාව මිළදී ගැනීමට වහා පියවර ගන්නැයි රජය අනුරාධපුර දිසාපතිවරයාට දැනුම් දී තිබෙනවා.

වට්ටක්කා මිළට ගැනීමට අවශ්‍ය මුදල් දිසාපතිවරයාට ලබා දෙන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට උපදෙස් දී තිබෙනවා.

මිළ දී ගන්නා වට්ටක්කා තොග අනුරාධපුර දිසාපතිවරයාගේ ද සහාය ඇතිව කොළඹට ගෙන්වා දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වලට බෙදා දෙන්නැයි කොළඹ දිසාපතිවරයාට දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

සිය වට්ටක්කා ඵලදාව අනුරාධපුර දිසාපතිවරයාට භාරදෙන මෙන් රජය ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ආහාර අර්බුදයක් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇගවීමක්

(12.04.2020 – 16:06 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හමුවේ ගෝලීය වශයෙන් ව්‍යාපාර හා රටවල් වසා දැමීම නිසා ආහාර අර්බුදයක් ඇති විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවනවා.

ඒ, සැපයුම් දාමයට තර්ජන මතුවීම සහ ආහාර පිළිබඳ අනාරක්ෂිත බව ඉහළ යාම හේතුවෙන්.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ සුපිරි වෙළදසැල් සතුව දැනටමත් ආහාර ද්‍රව්‍ය ගබඩා පවතින බවයි.

කෙසේ වෙතත්, දිග්ගැස්සෙමින් පවතින කොරෝනා වසංගතය හමුවේ ගොවීන්, කෘෂිකාර්මික යෙදවුම්, වගා කිරීම්, නැව් ගත කිරීම්, වෙළදාම් කිරීම ඇතුළු ආහාර සැපයුම් ජාලයට සිදුව ඇති බලපෑම හමුවේ ආහාර අර්බුදයක් ඇති විය හැකි බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

දේශසීමා වසා දැමීම්, සීමා කිරීම් සහ නැව්ගත කිරීම් මෙන්ම ගුවන් ගමන්වලට ඇති වූ බාධාවන් හමුවේ ආහාර නිෂ්පාදනය සහ භාණ්ඩ ජාත්‍යන්තර වශයෙන් ප්‍රවාහනය දුෂ්කර වී තිබෙනවා.

ගෝලීය ආහාර සැපයුමෙහි ඉහළ යමින් පවතින අස්ථාවරත්වය දිළිඳු රටවලට දැඩි ලෙස බලපානු ඇති බවට ලෝක ආහාර සුරක්ෂිතතාවය පිළිබද එක්සත් ජාතීන්ගේ කමිටුව ද පසුගිය මාර්තු මාසයේදී අනතුරු අගවනු ලැබුවා ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා නිසා මිය යන පුද්ගලයන්ගේ ආදාහනය ගැන ගැසට් නිවේදනයක්

(12.04.2020 – 15:22 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ ආදාහනය කරන ආකාරය දැක්වෙන ගැසට් නිවේදනයක් රජය විසින් මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක් සහිතව විනාඩි 45 ත් පැයත් අතර කාලයක් සම්පූර්ණයෙන්ම දැවී යන තෙක් දේහය ආදාහනය කළ යුතු වනවා.

ඒ, නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයකයි. එමෙන්ම, කොරෝනා ආසාදිතයෙකුගේ අවසන් කටයුතු නිසි බලධාරියා විසින් නම් කරනු ලබන තැනැත්තෙකුට හැර වෙනත් කිසිවෙකුට භාර නොදෙන බවට ද එම ගැසට් නිවේදනයේ සඳහන්.

ආදාහනය කිරීම සඳහා එක්වන තැනැත්තන්ගේ ඇඳුම සහ නැවත භාවිතා කළ නොහැකි පෞද්ගලික ආරක්ෂණ උපාංග එම අවස්ථාවේදීම මිනී පෙට්ටිය ද සමඟින් පුළුස්සා දැමිය යුතුයි.

මිය ගිය තැතැන්තාගේ භෂ්මාවශේෂ ළඟම ඥාතියා වෙත භාර දෙනු ලැබිය හැකි බවට ද රජය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් ෴

+++++++++++++++++++++++++++++++++++

පොලිස්පතිගෙන් සියලු පොලිස් ස්ථානවලට විශේෂ නියෝගයක්

(12.04.2020 – 14:47 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය බල පැවැත්වෙන මෙම අවස්ථාවේදී ග්‍රාමීය මට්ටමින් කුඩා පරිමාණයේ අලූත් අවුරුදු උත්සව පැවැත්වීම නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා සියළුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවල මෙලෙස අලුත් අවුරුදු උත්සව සංවිධාන කර ඇති බවට ලැබී තිබූ තොරතුරු මත ජංගම සංචාර සහ යතුරුපැදි සංචාර වැඩි වශයෙන් යොදවා මහජන ඒකරාශීවීම් නතර කරන ලෙසට දැනුම් දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බැවින් අවුරුදු උත්සව ආදී කටයුතු සඳහා එක්රැස්වීමෙන් වළකින ලෙස පොලීසිය සියළු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා මර්දනයට මැලේරියා ඖෂධ ඉන්දියාවෙන් ඇමරිකාවට

(12.04.2020 – 13:27 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් සිදුකළ ඉල්ලීමකට අනුව ඉන්දීය රජය ලබාදුන් මැලේරියා මර්දන හයිඩ්‍රොක්සි – ක්ලොරොක්වින් පෙති තිස් පන්ලක්ෂ 82,000 ක තොගයක් ඊයේ (11) ඇමරිකාවට ළඟාවී තිබෙනවා.

එම ඖෂධ තොගය සහ ඇමරිකාව ඉල්ලා සිටි අනෙකුත් වෛද්‍ය උපකරණ රැගත් ගුවන් යානයක් නිව්ජර්සි ප්‍රාන්තයේ නෙවාක් ගුවන් තොටුපලට ළඟාවූ බවයි ඇමරිකාවේ ඉන්දීය තානාපති තරංජිත් සිං සන්දු මහතා ප්‍රකාශ කළේ.

කොරෝනා වෛරස් ආසාදිතයන්ට මෙම මැලේරියා ඖෂධය ලබාදීම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව ජනපති ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබුණා.

කෙසේ නමුත් හයිඩ්‍රොක්සි – ක්ලොරොක්වින් ඖෂධය අපනයනය කිරීම ඉන්දීය රජය මගින් කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ අත්හිටවනු ලැබුවා.

එහෙත් ජනපති ට්‍රම්ප් මහතා කළ ඉල්ලීමට අනුව එම තහනම ඉවත් කිරීමත් සමඟයි ඖෂධ තොගය ඇමරිකාවට රැගෙන විත් ඇත්තේ.

මේ අතර කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින එක්සත් රාජධානියට සහ ජර්මනියට අලුත් එළවළු සහ පළතුරු ගුවනින් සැපයීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

බන්ධනාගාර නිල හැඳුනුම්පත අවභාවිත කළ තුන්දෙනෙකු අත්අඩංගුවට

(12.04.2020 – 13:20 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය ක්‍රියාත්මක අවස්ථාවේ බන්ධනාගාර නිල හැඳුනුම්පතක් අවභාවිත කරමින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඇතුලු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොටපොල – කොස්මෝදර – ගල්දොළ මාර්ග බාධකයේදියි.

මොවුන් මෝටර් රථයකින් ගමන් කරමින් සිට ඇති අතර, පොලිස් නිලධාරීන් සිදුකළ විමසීමේදී මෝටර් රථය පැදවූ පුද්ගලයා පවසා ඇත්තේ තමන්, බන්ධනාගාර නියාමකවරයෙකු බවයි.

ඔහු ඊට අදාළ නිල හැඳුනුම්පතක් පෙන්වා ඇති අතර, වැඩිදුර පරීක්ෂණවලදි මෙම පුද්ගලයා 2015 වසරේදී වැඩ තහනමට ලක්වූ අයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

ඉන් අනතුරුව මොහු සේවය කර ඇත්තේ කුලී රථ රියදුරෙකු ලෙසයි.

මෙම ව්‍යාජ හැඳුනුම්පත භාවිත කර ඇත්තේ රත්මලාන සිට දෙණියාය දක්වා කාන්තාවක් සහ පුද්ගලයෙකු ප්‍රවාහනය කිරීමට බවද අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව බන්ධනාගාර නියාමකවරයෙකු ලෙස ව්‍යාජ හැඳුනුම්පතක් පෙන්වූ පුද්ගලයා මෙන්ම මෝටර් රථයේ ගමන් කළ කාන්තාව සහ අනෙක් පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය කඩකළ තවත් 1,535 ක් අල්ලයි

(12.04.2020 – 12:05 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ පසුගිය මාර්තු 20 වනදා සිට අද දක්වා කාලසීමාව තුළ එය කඩ කළ පුද්ගලයින් 23,519 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 6,072 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අද (12) පෙරවරු හයෙන් අවසන් වූ ගතවූ පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 1,535 ක් වන අතර, පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 385 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර අප්‍රේල් 14 වන අඟහරුවාදා කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල පැය 10 කට තාවකාලිකව ලිහිල් කිරීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය සංශෝධනය කිරීමට පියවර ගැනුනා.

ඒ අනුව එම දිස්ත්‍රික්කවලට මේ වනවිටත් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 16 වන බ්‍රහස්පතින්දා උදෑසන 06 දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. එම දිස්ත්‍රික්කවල එදින උදෑසන හයට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04 ට යළි පැනවෙනවා.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු අඛණ්ඩව බලාත්මකයි.

එමෙන්ම ඊයේ (11) යාපනය ප්‍රදේශයේදී අදහස් දක්වමින් හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ කොරෝනා වෛරස් තත්වය පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳව සතුටට පත්විය හැකි බවයි.

එමෙන්ම හැකිතාක් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිවෙස්වල සිටිමින් එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර මාතර – වැලිගම – මිදිගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකින් ජනතාවට සහන සැළසීමට ලබාදුන් ආහාර ද්‍රව්‍ය පාර්සල් තොගයක් ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුලු පිරිසක් විසින් අලෙවි කර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඔවුන් අද (12) පෙරවරුවේ වැලිගම – මිදිගම – වෑකඩ ශ්‍රී සුදර්ශනාරාමයට රැස්ව මෙම සිද්ධියට සිය විරෝධතාව පළ කළා.

අනතුරුව එම ආහාර ද්‍රව්‍ය පාර්සල් ලබාදුන් පෞද්ගලික ආයතනයේ උසස් නිලධාරියෙකුට එම ස්ථානයේ සිටි පිරිස් දුරකථන ඇමතුමක්ද ලබාගත් අතර, එහිදි ඔහු කියා සිටියේ තම ආයතනය මෙම පාර්සල් ලබාදුන්නේ පීඩාවට පත් ජනතාවට නොමිලේ ලබාදීම සඳහා බවයි.

හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ ගෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහු කියා සිටියේ එම ආයතනය මගින් ලබාදී ඇත්තේ සහල් කිලෝ 3,000 ක් පමණක් බවයි.

ඒවා අලෙවි කිරීමක් සිදු නොකළ බවද ඔහු කියා සිටියා.

මේ අතර,බොරැල්ල රාජගිරිය – ඔබේසේකරපුර මාවතට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නිසි පරිදි නොලැබුණු බවට පවසමින් ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක නිරතවුණා.

පසුව එම ස්ථානයට පොලීසියද පැමිණි අතර, විරෝධතාවට එක්වූවන් ප්‍රකාශ කළේ ඇඳිරි නීතිය හේතුවෙන් තමන්ට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට හැකියාවක් නොමැති අතර, එම ප්‍රදේශයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලැබීමේ ක්‍රමවේදයේද ගැටළුවක් පවතින බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

විදෙස් ගුවන්තොටුපලවල සිරවූ තවත් 14 ක් දිවයිනට

(12.04.2020 – 11:24 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වසංගතයට මුහුණදීම සඳහා ගෝලීය වශයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් විදෙස් රටවල ගුවන් තොටුපලවල සිරවූ තවත් ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු අද (12) අලුයම දිවයිනට පැමිණියා.

මොවුන් අතුරෙන් 09 දෙනෙකු සිංගප්පූරුවේ සිට පැමිණි අතර, ඉතිරි පස්දෙනා (05) පැමිණියේ දෝහා කටාර් සිටයි.

අද (12) දිනය තුළ මෙරටින් මේ දක්වා නව කොරෝනා ආසාදිතයෙකු වාර්තාවී නැහැ.

ඒ අනුව තවදුරටත් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව සටහන් වන්නේ 199 දෙනෙකු ලෙසයි. ඉන් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 54 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා තිබෙනවා.

මෙරටින් වාර්තාවී ඇති නව කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව හතක් (07).

මේ අතර අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ ලාබාලතම කොරෝනා රෝගියා සුවය ලබා නිවෙස වෙත පැමිණ තිබෙනවා.

නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි මාස 04 ක බිළිඳෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වූ බවට පසුගිය 30 වනදා තහවුරු වූ අතර, එම පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකුටද (04) කොරෝනා ආසාදනය වී තිබුණා.

ඉන් තුන්දෙනෙකු (03) මේ වනවිටත් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එමෙන්ම එම පවුල සමඟ ඍජුව සම්බන්ධකම් පැවැත්වූ විසිදෙනෙකු (20) නිවෙස් තුළම නිරෝධායනය සඳහා යොමු කිරීමටයි පියවර ගැනුනේ.

එහිදී සායනිකව මෙන්ම පී.සී.ආර්. පරීක්ෂණයට එම පිරිස් යොමු කිරීමෙන් අනතුරුව කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවයි නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලක මහතා කියා සිටියේ.

එමෙන්ම මඩකලපුව – පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයින් 208 දෙනෙකුගේ සාම්පල කොරෝනා වෛරස පරීක්ෂාව සඳහා ඊයේ (11) දිනයේ ලබාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර රට සාමාන්‍ය තත්ත්වයට පත්වුවද ගෝලීය වශයෙන් එය තුරන් කරන තුරු රෝගය පැතිරීමට වැලැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවනු ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ වසංගත තත්වය පාලනය කළද, ඉදිරි කාලයේදීත් සෞඛ්‍ය රීතීන්ට අනුව කටයුතු කිරීමට ජනතාවට සිදුවනු ඇති බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීති බලපත්‍ර අව භාවිත කර ගවයන් ප්‍රවාහනය කළ 04 ක් අත්අඩංගුවට

(12.04.2020 – 11:00 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය සේවාවක් ලෙසට පොල් ප්‍රවාහනය කිරීම සඳහා ලබාගත් බලපත්‍රයක් භාවිත කරමින් ගවයන් ප්‍රවාහනය කළ සැකකරුවන් 04 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ කලාඔය පාලම අසලදී ඊයේ (11) රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇත්තේ.

වව්නියාව සිට හලාවත දක්වා මෙම ගවයන් ප්‍රවාහනය කරමින් සිට ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

මෙම ලොරියේ හිංසාකාරී අයුරින් ගවයන් 10 ක් ප්‍රවාහනය කරමින් සිට ඇති අතර ඉන් දෙදෙනෙකු (02) ලොරිය තුලම මියගොස් සිට තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීති දැඩි වෙයි – ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 23,500 ක් අත්අඩංගුවට

(12.04.2020 – 10:08 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ පොලිස් භාරයට ගන්නා වාහන ද අදාළ නඩු කටයුතු අවසන් වන තෙක් අධිකරණ භාරයේ තබා ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර ගතවූ පැය 24 ක කාලය තුල ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයන් 1525 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ වාහන 350 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මාර්තු මස 20 වනදා පස්වරු 06 ට ඇඳිරි නීතිය පැනවීමෙන් පසු මේ දක්වා ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 23,500 ක්.

එම කාල සීමාව තුල පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 6500 ක් බවයි අජිත් රෝහණ මහතා කියාසිටියේ.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය නොතකා ගල්කිස්සේ සංචාරක හෝටලයක මත්පැන් අලෙවි කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

(12.04.2020 – 10:04 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය නොතකමින් ගල්කිස්ස – ද සේරම් ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී සංචාරක හෝටලයක මත්පැන් අලෙවි කරමින් සිටි චීන ජාතිකයෙකු සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්පැන් අලෙවි කිරීම සඳහා ලබාදෙන බලපත්‍රය ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එම මත්පැන් කවුන්ටරයට සහ ගබඩාවටද සුරාබදු නිලධාරීන් විසින් මුද්‍රා තබා ඇති බව සඳහන්.

අදාළ හෝටලයේ චීන ජාතිකයින් 140 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කර සිට ඇති අතර, ඔවුන් එම කාලය සම්පූර්ණ කර ඇති බවද අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම එම සංචාරක හෝටලය තුළ චීන ජාතිකයින් සඳහා වෙළඳසැලක් පවත්වාගෙන යන අතර, එහි තිබී තීරුබදු නොගෙවූ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 9,000 ක්ද සොයාගෙන තිබෙනවා.

ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂය ඉක්මවන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවැනි නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 1913 කෙටි දුරකථන අංකය ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ මෙහෙයුම් මැදිරියට යොමුකරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

+++++++++++++++++++++++++++++++++++

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ 208 දෙනෙකු කොරෝනා වෛරස් පරීක්ෂාවට

(12.04.2020 – 08:08 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව – පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයින් 208 දෙනෙකුගේ සාම්පල කොරෝනා වෛරස පරීක්ෂාව සඳහා ඊයේ දිනයේ ලබාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

ඊයේ (11) දිනයේදී මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් දෙදෙනා සම්බන්ධයෙන්ද හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අද (12) එක්වෙමින් ඔහු අදහස් පළ කළා.

කටාර් රාජ්‍යයට ගොස් පැමිණ අක්කරෙයිපත්තුව ප්‍රදේශයෙන් මීට පෙර සොයාගත් ආසාදිතයෙකුගේ බිරිඳට සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකුට ඊයේ (11) දිනයේදී වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි ඔහු කියා සිටියේ.

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ් 19 බවට සැක සහිත රෝගීන් පරීක්ෂාවට ජංගම රථයක්

(12.04.2020 – 22:42 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – ලුනාව රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් කොවිඩ් 19 බවට සැක සහිත රෝගීන් පරීක්ෂාවට ලක් කළ හැකි ජංගම පරීක්ෂණාගාරයක් නිර්මාණය කර තිබෙනවා.

මින් නිරෝධායනය මධ්‍යස්ථානවල සිටින සහ අවදානම් ප්‍රදේශවල සිටින වෛරසය වැළඳී ඇතැයි සැක කෙරෙන පුද්ගලයන්ගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව, අත්තිඩිය පොලිස් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයන්ගේ ජෛව සාම්පල පරික්ෂාව අද සිදු කෙරුණා.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය පැනවීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ 23,519 අත්අඩංගුවට

(12.04.2020 – 19:33 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය පැනවීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ එය උල්ලංඝනය පුද්ගලයින් කළ පුද්ගලයින් 23,519 දෙනෙකු සහ වාහන 6,072 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, වැඩබලන පොලිස්පතිවරයා පොලිස් ස්ථාන වෙත නියෝග කර ඇත්තේ, ග්‍රාමීය මට්ටමින් අවුරුදු උත්සව සංවිධාන කිරීම් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මේ වනවිටත් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති අතර, අද (12) දිනයේදීත් පොලීසිය සහ ආරක්ෂක අංශ ඇඳිරි නීති රාජකාරියේ නිරත වන ආකාරය දක්නට ලැබුණා.

පොලිස් මූලස්ථානය පැවසුවේ, අද (12) උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,535 දෙනෙකු සහ වාහන 385 ක් අත්අඩංගුවට ගත් බවයි.

+++++++++++++++++++++++++++++++++++

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් චෝදනාවක්

(12.04.2020 – 19:30 +0530 – hirunews.lk/sinhala)

රට තුළ ශීඝ්‍රයෙන් පැතිරී යන කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සිදුකළ යෝජනාවන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිටත් සැලකිල්ලට ගෙන නොමැති බවට එම සංගමය චෝදනා කරනවා.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී එහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙම චෝදනාව සිදුකළ අතර තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ද අදහස් පල කළා.

+++++++++++++++++++++++++++++++++++

රෝගීන්ගේ මානසික ආතතිය දුරලන්න වැලිකන්ද කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ විශේෂ වැඩසටහනක්

(12.04.2020 – 18:50 +0530 – hirunews.lk/sinhala)

වැලිකන්ද මූලික රෝහලේ පිහිවුවා ඇති කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ මානසික ආතතිය දුරුකිරීම සඳහා විශේෂිත වැඩසටහනක් ඊයේ (11) සංවිධානය කර තිබුණා.

මේ සඳහා එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය ද එක්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

එහිදී ඔවුන් ගීත ගයනා කරමින්, නර්තනයේ යෙදිමින් සිය මානසික ආතතිය නැතිකර ගැනීම සඳහා කටයුතු කළේ මේ ආකාරයෙන්.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *