මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 217 දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 217 දක්වා ඉහළට (විඩියෝ)

• පොලිසියේ රාජකාරියට බාධා කළ නිසා අත්අඩංගුවට ගත් රන්ජන් මිරිහාන පොලිසියට (විඩියෝ)

• තවත් කොරෝනා ආසාදිතයින් ‍තිදෙනෙක් (03) වාර්තා වෙයි (විඩියෝ)

• අටළුගමෙන් හමුවු පළමු ආසාදිතයා ඇසුරු කළ බව කියන 20 දෙනාට කොරෝනා නෑ

• කොරෝනා පරීක්ෂාවේදී ජෛව සාම්පල් එකතු කරන්න නැනෝ තාක්ෂණ ආයතනයෙන් උපාංගයක්

• ජනපති කාර්ය සාධක බලකාය මැදිහත් වී එළවළු කිලෝ ලක්ෂ 9 ක් මිල දී ගනී (විඩියෝ)

• කොරෝනාවෙන් අතරමං වූ පිරිසක් විහාරමහාදේවි උද්‍යානයේ (විඩියෝ)

• පාරට කුණු දාපු තරුණයින්, නැවත ඇවිත් හැමෝගෙන්ම සමාව ඉල්ලූ හැටි CCTV කැමරාවේ (විඩියෝ)

• බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 9 ක් නිවෙස් වෙත

• දිස්ත්‍රික්ක දෙකකින් වෙන්වු දරු පවුල යළි එක්කරයි (විඩියෝ)

• අත්‍යවශ්‍ය සේවා පුවරුවක් භාවියෙන් හෙරොයින් අලෙවි කළ 4 ක් අල්ලයි

• කටුනායක ගුවන්තොටුපලේ පවිත්‍රතා කටයුතු සිදු කළ කාන්තාවකටත් කොරෝනා

• මැදගම අලි මෙහෙයුම (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 217 දක්වා ඉහළට

(13.04.2020 – 19:49 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 217 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යාංශය කියා සිටියේ, මීට සුළු වේලාවකට පෙර තවත් රෝගීන් තිදෙනෙකු (03) හදුනාගත් බවයි.

පසුගියදා පුනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරුණු 219 දෙනාගෙන් 09 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඊයේ (12) දිනයේදී වාර්තා වූ රෝගීන් 11 න් 05 දෙනෙකු ද බේරුවල ප්‍රදේශයෙන් පුනානි මධ්‍යස්ථානයට යොමුකළ අයයි.

ඒ අනුව බේරුවල ප්‍රදේශයෙන් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 24 ක්.

මේ අතර, පූනානි කඳවුරේ නිරෝධායනයට ලක් කර සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (12) තහවුරු වූ පුද්ගලයන් සමඟ සබඳතා පැවැත්වූ බේරුවල ප්‍රදේශයේ තවත් 11 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අද (13) දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කෙරුණා.

එමෙන්ම, ජා-ඇල – සුදුවැල්ල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 25 දෙනෙකු ත්‍රිකුණාමලය -නාච්චිකුඩාහි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියමිත බව ජා-ඇල වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.ඒ.ඩී. ජයකොඩි මහතා කියා සිටියා. රාගම ප්‍රදේශයේ පුද්ගලයින් 03 දෙනෙකු සහ මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයින් 04 දෙනෙකු ද ඔවුන් සමග නිරෝධනය මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි නියමිතව ඇත්තේ.

තවත් පුද්ගලයින් 30 දෙනෙකු ද නිවෙස් තුල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා බව ජා-ඇල වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, හුදකලා කර ඇති බණ්ඩාරගම – අටළුගම ගම්මානයේ ස්වයං නිරෝධායනයට ලක් කළ පුද්ගලයන් විසිදෙනෙකු (20) අද (13) සිය නිරෝධායනය අවසන් කර තිබෙනවා. අටළුගම ගම්මානයේ පිහිටි සර්වෝදය ගොඩනැගිල්ලේ මොවුන් මෙලෙස දින 16 ක කාලසීමාවක් නිරෝධායනයට ලක් කෙරුණා.

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 09 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද සිය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර අද (13) ඉන් පිටව ගියා. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පිටව යාමට ප්‍රථම කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණයකට ද ලක් කළ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

කෙසේ වෙතත්, දැනට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගොස් සහ ස්වයං නිරෝධායන කාලසීමාව සපිරූ පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසිය සහ බුද්ධි අංශ පසු විපරමක් ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ. එමෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන්තොටුපල වසා දැමීමත් සමග එංගලන්තයේ ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපලේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු (02) ද අද (13) දිවයිනට පැමිණියා. ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම යම්කිසි ආකාරයකින් පාලනය කර ගත්ත ද එහි අවසානයක් දක්නට නොලැබීම ගැටළුවක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. ගම්පහ දිස්ත්‍රික් මහා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට අද (13) එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

+++++++++++++++++++++++++++++++++++

පොලිසියේ රාජකාරියට බාධා කළ නිසා අත්අඩංගුවට ගත් රන්ජන් මිරිහාන පොලිසියට

(13.04.2020 – 22:34 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ නිසා අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ වනවිට මිරිහාන පොලිසියේ රඳවා සිටිනවා.

ඇඳිරිනීති බලපත්‍ර නීතිරීති උල්ලංඝනය කරමින් මාදිවෙල මන්ත්‍රී නිවාස පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ ගත් ඔහුගේ භෞත චිකිත්සක යැයි හඳුන්වාගත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිසියට රැගෙන විත් තිබෙනවා.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට ගත අතර ඔහුගේ භෞත චිකිත්සක යැයි හඳුන්වාගත් පුද්ගලයෙකු ඇඳිරිනීති බලපත්‍ර නීතිරීති උල්ලංඝනය කරමින් මාදිවෙල මන්ත්‍රී නිවාස පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී පොලිසිය ප්‍රශ්න කිරීමට ලක්කළා.

එහිදී ඊට විරෝධය පළ කරමින් මැදිහත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පොලිස් රාජකාරියට බාධා කරන අයුරු දක්නට ලැබුණා.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට පිළියන්දල දක්වා වියළි ආහාර ප්‍රවාහනය කිරීමට යැයි පවසමින් ලබාගත් ඇඳිරිනීති බලපත්‍රයක් උපයෝගි කරගනිමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ භෞත චිකිත්සකයැයි හඳුන්වාගත් පුද්ගලයෙකු ඇඹිලිපිටියේ සිට පිළියන්දල දක්වා පැමිණ තිබුණේ අදාළ රථයේ වියළි ආහාර කිසිවක් නොමැතිව බව වාර්තාවනවා.

අදාළ පුද්ගලයා පිළියන්දල ප්‍රදේශයේ සිට මාදිවල මන්ත්‍රී නිවාස දක්වා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී මන්ත්‍රී නිවාසවලට ඇතුළුවන පරිශ්‍රයේදී පොලිස් පරීක්ෂාවට ලක්වුණා.

එහිදී ඇඳිරිනීති බලපත්‍ර උල්ලංඝනය කර ඇති බවට අනාවරණවීමත් සමඟ පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

එම අවස්ථාවේදී එහි පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අදාළ සිද්ධියට මැදිහත් වෙමින් පොලිස් රාජකාරියට බාධා කරන අයුරු දක්නට ලැබුණා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් ‍තිදෙනෙක් (03) වාර්තා වෙයි

(13.04.2020 – 19:53 +0530 – sinhala.adaderana.lk)

අද (13) දිනය තුළ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් තිදෙනෙකු (03) හඳුනාගෙන ඇත.

ඊයේ (12) දිනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 11 දෙනෙකු හා අද (13) දිනයේ හත් දෙනකු (07) හඳුනා ගැනිමත් සමඟ මෙරටින් වාර්තා වන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 217 ක්.

කොවිඩ් නයින්ටීන් ආසාදිත රෝගීන් ළගින් ඇසුරු කිරීම හේතුවෙන් අනිවාර්යය නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයන් 609 කට අධික පිරිසක් ඊයේ පි.සී.ආර්.පරීක්ෂණ ලක්කළ අතර මෙම ආසාදිතයන් හඳුනාගත්තේ ඒ අනුවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේ කොවිඩ් නයින්ටීන් ආසාදනය වූ බවට ඊයේ හදුනාගත් පුද්ගලයන් 11 දෙනා අතරින් අට දෙනෙකුම (08) නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටි අය වන අතර ඒ අතරින් සිව්දෙනෙකුම (04) බේරුවල ප්‍රදේශයේ සිට පුනානි නිරෝධායන මධ්‍යස්ථානය යොමු කර සිටි පුද්ගලයින් බවයි.

හඳුනාගත් මෙම ආසාදිතයන් අතුරින් පුද්ගලයන් හයදෙනෙකු (06) පසුගියදා විවෘත කරන ලද පුත්තලම – ඉරණවිල පිහිටි කොවිඩ් 19 සැකසහිත රෝගින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ඊයේ (12) දිනයේම යොමු කළේය.

ප්‍රථම වරට එම රෝහලට ඇතුලත් කළ පිරිස අතර මඩකලපු ඔලුවිල් පිහිටි නීරෝධානය මධ්‍යස්ථානය වෙත පසුගියදා ජා ඇල ප්‍රදේශයේ රැගෙන ගිය පිරිස අතරින් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇති පුද්ගලයින් යොමු කෙරුණි.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට මෙරට තුළ පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 154 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 88 දෙනෙකු , නැගෙනහිර කොළඔ මුලික රෝහලේ 28 දෙනෙකු හා වැලිකන්ද මුලික රෝහලේ 22 දෙනෙකු ඉරණවිල රෝහලේ 06 දෙනෙකු ඒ අතරට අයත්.

එමෙන්ම වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 56 දෙනෙකු සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඊයේ දිනය තුළ ද ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගියේය.

මේ වන විට කොරෝනා ආසාදනය වී පුද්ගලයින් 7 දෙනෙක් මියගොස් තිබේ.

+++++++++++++++++++++

අටළුගමෙන් හමුවු පළමු ආසාදිතයා ඇසුරු කළ බව කියන 20 දෙනාට කොරෝනා නෑ

(13.04.2020 – 19:08 +0530 – sinhala.adaderana.lk)

මේ වනවිට හුදෙකලා කර ඇති බණ්ඩාගම අටළුගම ගම්මානයෙන් හමුවූ පළමු කොවිඩ් 19 ආසාදිතයා ඇසුරු කළ බව කියන පුද්ගලයින් 20 දෙනෙකු බණ්ඩාරගම, අලුත්ගම සර්වෝදය මධ්‍යස්ථානයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකෙරුණේ ඉකුත් 28 වැනිදායි.

ඉන් දින 16 කට පසුව සිදුකළ PCR පරික්ෂණයෙන් අනාවරණ වී තිබුණේ ඉන් කිසිවෙකුටත් කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවයි.

ඒ අනුව යුද හමුදාවේ සහ පොලිසියේ මැදිහත්වීමෙන් එම පුද්ගයින් 20 දෙනා නිවෙස් වෙත පිටත් කර යැවුණි.

මේ අතර මේ වන විටත් බාහිර සබඳතා වලින් හුදෙකලා කර ඇති අටළුගම ගම්මානයේ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පිසූ ආහාර, වියළි ආහාර සහ සනීපාරක්ෂක දෑ රැගෙන ආ අතර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ පරික්ෂා කිරීමෙන් පසු ඒවා ගම්මානය වෙත බෙදාහැරුණි ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා පරීක්ෂාවේදී ජෛව සාම්පල් එකතු කරන්න නැනෝ තාක්ෂණ ආයතනයෙන් උපාංගයක්

(13.04.2020 – 20:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා පරීක්ෂාවට යොදා ගන්නා ජෛව සාම්පල එකතු කිරීමේ උපාංගයක් නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් මෙරට දී මුල්වරට නිපදවා තිබෙනවා.

මෙතෙක් මේවා අපනයනය කෙරුණු අතර, ලොව පුරා කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ ශ්‍රී ලංකාවේ මෙම උපාංගයේ හිඟයක් මතුව තිබුණා.

ඊට පිළියමක් ලෙස සකස් කෙරුණු දහසකින් පමණ සමන්විත පළමු උපාංග තොගය රෝගීන්ට භාවිතා කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත ලබාදුන් බවයි ඒවා නිපද වූ නැනෝ තාක්ෂණ ආයතනයේ සාමාජිකයෙකු වන ජ්‍යෙෂ්ඨ පරීක්ෂණ විද්‍යාඥ රුචිර විජේසේන මහතා කියා සිටියේ.

මේ අතර, නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් මෙවැනි සාම්පල එකතු කිරීමේ උපාංගයක් නිපදවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඇගයීමට ලක්ව තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තමන් ආඩම්බරයට පත්වන බවයි.

එසේම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග වලට එය මහත් රුකුලක් වනු ඇති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++++++++++++++++

ජනපති කාර්ය සාධක බලකාය මැදිහත් වී එළවළු කිලෝ ලක්ෂ 9 ක් මිල දී ගනී

(13.04.2020 – 22:46 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත්වීම මත ක්‍රියාත්මක කළ එළවළු මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල මඟින් අප්‍රේල් 11 හා 12 දෙදින තුළ එලවළු කිලෝග්‍රෑම් ලක්ෂ 09 කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.

ඒ අනුව, එළවළු හා පළතුරු මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායේ මැදිහත්වීමෙන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති අතර, රට තුළ ක්‍රියාත්මක වන ඇඳිරිනීති තත්ත්වය තුළ තම නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ගැටළුවකට මුහුණ පා සිටින ගොවි ජනතාවට සහන සැලසීම හා සිංහල හා හින්දු අලුත් අවුරුදු සහ පාස්කු සමය තුළ එළවලු හා පළතුරු පාරිභෝගික ජනතාව වෙත බෙදා හැරීම මෙහි අරමුණයි.

මෙම වැඩපිළිවෙල යටතේ අප්‍රේල් 11 හා 12 දෙදින තුළ එලවළු කිලෝග්‍රෑම් ලක්ෂ 09 කට අධික ප්‍රමාණයක් (904,010) රජය විසින් මිලදී ගෙන ඇත.

මේ සඳහා අවශ්‍ය අරමුදල් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වන විටත් නිකුත් කර ඇති අතර, ආර්ථික මධ්‍යස්ථාන හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එලවළු මිලදී ගැනීම අප්‍රේල් 11 දින ආරම්භ කර තිබේ.

එම එළවළු ප්‍රවාහනය කිරීමේ කටයුතු අප්‍රේල් 12 මධ්‍යම රාත්‍රිය වන විටත් ක්‍රියාත්මකව තිබුණි.

එළවළු මිලදී ගැනීම ආර්ථික මධ්‍යස්ථාන මට්ටමින් ගත්විට, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු එළවළු තොග අප්‍රේයෙල් 11 වන දිනයේදීම මිලට ගෙන අවසන් කර ඇත.

එමෙන්ම,එම තොග එදිනම රටපුරා බෙදා හරින ලදී.

නුවරඑළියෙන් මිලදී ගත් සම්පූර්ණ එළවලු කිලෝග්‍රෑම් ප්‍රමාණය 3,17,396 ක් වන අතර, මෙම එළවළු තොගයේ සම්පූර්ණ වටිනාකම රුපියල් 28,634,975.00 ක් වෙන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනාවෙන් අතරමං වූ පිරිසක් විහාරමහාදේවි උද්‍යානයේ

(13.04.2020 – 20:20 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා දිවයින පුරා බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිවෙස්වලට යා ගත නොහැකිව අතරමං වූ පිරිස් සම්බන්ධයෙන් අප මීට පෙර අවස්ථා කිහිපයකදී වාර්තා කළා.

එවන් වූ තවත් පිරිසක් අද අපට හමුවූයේ කොළඹ විහාර මහාදේවි උද්‍යානයෙන්.

අලුත් අවුරුදු දිනයේදී මෙලෙස නිවෙස්වලට යාගත නොහැකිව සිටින මෙම පිරිස පවසන්නේ පසුගිය 20 වනදා සිට තමන් මේ ආකාරයෙන් විහාර මහාදේවි උද්‍යානයේ රැදී සිටින බවයි.

දෛනිකව ආහාරපාන මෙන්ම, තම මූලික සෞඛ්‍ය අවශ්‍යතාවයන් පවා සපුරාගත නොහැකිව කල්ගෙවන මෙම පිරිසට පෞද්ගලික ආයතනවල ආරක්ෂක අංශවල සේවකයන්, ලොතරැයි අලෙවි කරන්නන් ආදී තවත් පිරිස් අයත්. අගනගරය කේන්ද්‍ර කර ගනිමින් විවිධ රැකියාවල නිරත වූ මෙම පිරිස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ පවතින තත්ත්වය හමුවේ ඇදිරි නීතිය අවසන් වනතුරු තමන්ට රැදී සිටීමට සුදුසු ස්ථානයක් ලබාදෙන ලෙසයි.

+++++++++++++++++++++++++++++++++++

පාරට කුණු දාපු තරුණයින්, නැවත ඇවිත් හැමෝගෙන්ම සමාව ඉල්ලූ හැටි CCTV කැමරාවේ

(13.04.2020 – 18:16 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 11 වෙනිදා මත්තේගොඩ නිවාස සංකීර්ණයක අතුරු මාර්ගයකට මෝටර් රථයකින් පැමිණෙන තරුණයන් දෙදෙනෙකු එහි කුණු තොගයක් දමා ගොස් තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් විසින් අදාළ කුණු තොගය පරීක්ෂා කිරීමේදී එහි නිවසකට බඩු මිලදීගත් ලැයිස්තුවක් සොයාගෙන එහි ඇති අංකයකට ඇමතුමක් ගෙන මේ පිළිබඳව විමසා තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් කුණු ගෙනත් දැමූ පාර්ශවය දින දෙකක් කිසිදු පියවරක් ගෙන නොමැති අතර අද (13) අලුයම රහසේම එම ස්ථානයට පැමිණෙන දෙදෙනෙකු කුණු තොගය ඉවත් කරගෙන යනු ලබන්නේ එම ස්ථානයේ Sorry (සමාවෙන්න) යනුවෙන් සටහන් කරන ලද පුවරුවක් තබමින්.

+++++++++++++++++++++++++++++++++++

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 9 ක් නිවෙස් වෙත

(13.04.2020 – 17:23 +0530 – hirunews.lk/sinhala)

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර අද ඉන් පිටව ගියා.

ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පිටව යාමට ප්‍රථම කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණයකට ද ලක් කළ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

දිස්ත්‍රික්ක දෙකකින් වෙන්වු දරු පවුල යළි එක්කරයි

(13.04.2020 – 20:43 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය හේතුවෙන් සති කිහිපයක් මුළුල්ලේ තම මව්පියන්ගෙන් ඈත් වී සිටිමට සිදුවූ දරුවන් සිව්දෙනෙකු පිලිබඳ අනුවේදනාත්මක පුවතක් අප ඊයේ (12) වාර්තා කළෙමු.

ඊට ප්‍රතිචාර දක්වමින් ගලහ පොලිසිය අද (13) එම මව්පිය යුවලට ඔවුන්ගේ දරුවන් රැඳී සිටින පානදුර නිවස වෙත ගමන්කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දුන්නේය.

වයස අවුරුදු 19,17,15 සහ 14 යන වයස්වල පසුවන මෙම දරුවන් සිව්දෙනා පානදුර බෝධිරුක්ඛාරාම මාවතේ පිහිටි තම නිවසේ මව්පියන් නොමැතිව අසරණ වී සිටියේ ඇඳිරි නීතිය පැනවූ ඉකුත් මාර්තු 20 වැනිදා සිටයි.

මව්පියන් විවාහ මංගල්‍යයකට සහභාගි වීම සඳහා මහනුවර ගලහ ප්‍රදේශයට ගොස් සිටින අවස්ථාවේ දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමත් සමග මෙම දරුවන්ට සහ මව්පියන්ට දිස්ත්‍රික් දෙකක වෙන් වී සිටීමට සිදුවුණි.

‘අද දෙරණ’ මෙම පුවත වාර්තා කළ පසු එය දුටු ගලහ පොලිසියේ නිලධාරීන් වහාම මැදිහත් වී අද එම මව්පියන්ට පානදුර ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවස වෙත ගමන් කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම සකසා දුන්නේය.

ඒ අනුව අද (13) සවස් වන විට මව්පිය යුවල පානදුර ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවස වෙත පැමිණියේය.

+++++++++++++++++++++++++++++++++++

අත්‍යවශ්‍ය සේවා පුවරුවක් භාවියෙන් හෙරොයින් අලෙවි කළ 4 ක් අල්ලයි

(13.04.2020 – 20:08 +0530 – sinhala.adaderana.lk)

අත්‍යවශ්‍ය සේවා පුවරුවක් ව්‍යාජව භාවිත කරමින් හෙරොයින් මත්කුඩු අලෙවි කළ සිව්දෙනෙකු (04) එප්පාවල පොලිසිය විසින් අද (13) අත්අඩංගුවට ගැනුණි.

මේ අතර පූගොඩ ඇල ආශ්‍රිතව නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ පිරිසක් වැටලීමට පූගොඩ පොලිස් විශේෂ කාර්ය බලකාය අද (13) සමත් වුණි.

සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගත් විශේෂ බලකා නිලධාරීන් මත්පැන් නිෂ්පාදනය සඳහා ගෙනවිත් තිබූ සීනි කිලෝග්‍රෑම් 60 ක්ද සිය භාරයට ගත්තේය.

ඇඹිලිපිටිය තෝරකොළ යායේදී ගෝඩා මිලිලීටර් හත්ලක්ෂ හයදහසක් (706,000) සමගින් සැකකරුවෙකු අද (13) අත්අඩංගුවට ගැනුණි. ඒ ඇඹිලිපිටිය පොලිසියේ දූෂණ විමර්ශන අංශය විසින්.

මේ අතර පරිභෝජනයට නුසුදුසු කරවල තොගයක් අද (13) කන්තලේ අග්බෝපුර ආරක්ෂක මුරපොලේ දී සොයා ගැනුණි. ඒ පිටකොටුව සිට කින්නියා දක්වා භාණ්ඩ ප්‍රවාහනය කළ ලොරි රථයක් පරික්ෂා කිරීමේදී.

එමෙන්ම ගාල්ල සිට කින්නියාව දක්වා මාළු ප්‍රවාහනය කළ ලොරි රථයකින්ද පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝග්‍රෑම් 200 ක් සොයා ගැනීමට අග්බෝපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද (13) සමත් වුණි ෴

+++++++++++++++++++++++++++++++++++

කටුනායක ගුවන්තොටුපලේ පවිත්‍රතා කටයුතු සිදු කළ කාන්තාවකටත් කොරෝනා

(13.04.2020 – 19:02 +0530 – sinhala.adaderana.lk)

කටුනායක ගුවන්තොටුපලේ පවිත්‍රතා කටයුතු සිදුකරන පෞද්ගලික ආයතනයක සේවය කළ කාන්තාවක්ද කොවිඩ් 19 ආසාදිතයකු බව තහවුරු කරගැනුණි.

පසුව ඇය සමඟම සේවය කළ වරකාපොළ, නියදිරිපොල ප්‍රදේශයේ 42 හැවිරිදි කාන්තාවක් ඇයගේ නිවස තුලදීම ස්වයං නිරෝධායනයට යොමු කෙරුණි.

කෙසේවෙතත් ඊයේ (12) පස්වරුවේ එම කාන්තාවට කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ඇයව IDH රෝහල වෙත යොමු කළ අතර ඇයට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට එහිදී තහවුරු වි ඇත.

ඇය පදිංචිව සිටි නිවස සහ අවට ප්‍රදේශය අද (13) පෙරවරුවේ වරකාපොළ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් විශබීජහරණයට ලක් කරනු ලැබුවේය ෴

***************************************

මැදගම අලි මෙහෙයුම

(13.04.2020 – 16:27 +0530 – hirunews.lk/sinhala)

මාදුරුඔය ඉසෙඩ්.ඩී ප්‍රධාන ඇලට 13 වෙනිදා අලුයම වැටුන වන අලියෙකු පැය දහයක (10) මෙහෙයුමකින් පසු ගොඩට ගෙන අලුත්වැව රක්ෂිතයට පලවා හැරිය බව වෙහෙරගල වනජිවි නිලධාරින් පවසනවා.

අරලගංවිල වීරාන ප්‍රදේශයෙන් ප්‍රධාන ඇලට වැටුන මෙම අලියා ජලයේ සැඩපහරට කිලෝමිටර් 10 ක් පමණ දුරට ගසාගෙන ගොස් මැදගම ප්‍රදේශයේ පිහිටි විදුලි බලාගාරය අසල ඇති යකඩ සොරොව්ව ලගින් එම අලියා ගොඩගත් බවයි වෙහෙරගල වනජිවි නිලධාරින් ප්‍රකාශ කළේ.

පොළොන්නරුව සහ වෙහෙරගල වනජීවි නිලධාරින් එක්ව සිදුකළ මෙම මෙහෙයුමෙන් ගොඩට ගත් මෙම වනඅලියා, වයස අවුරුදු 40 ක් පමණ වන, උස අඩි 09 යකින් යුත්, දරුණු අලියෙකු බවද මෙහෙයුමට එක්වු වනජිවි නිලධාරින් සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *