නව කොරෝනා රෝගීන් පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් දැනුම් දීමක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• නව කොරෝනා රෝගීන් පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් දැනුම් දීමක්

• ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින් අල්ලන්න, පොලීසිය සිවිල් ඇඳුමෙන් (විඩියෝ)

• රන්ජන් රාමනායක රක්ෂිත බන්ධනාගාරයට (විඩියෝ)

• රන්ජන්ට ප්‍රතිකාර කරන්න පැමිණි පුද්ගලයා ‍භෞතචිකිත්සක නිලධාරියෙක් නෙමෙයි (විඩියෝ)

• සුවය ලැබූ තවත් කොරෝනා රෝගීන් 3 දෙනෙකු පිටව යයි

• ඉන්දියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුවියන් දිවයිනට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීමක්

• කොරෝනා හේතුවෙන් පීඩාවට පත්ව සිටින විගමනික ශ්‍රමිකයින්ට සහන රැසක්

• බදුල්ලේ ඉංජිනේරුවන් සහ වෛද්‍යවරු කණ්ඩායමක් එක්ව වෙන්ටිලේටර් යන්ත්‍රයක් නිපදවයි (විඩියෝ)

• බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශය යළි විවෘත කරයි (විඩියෝ)

• දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවීමේ පහසු ක්‍රමවේදයක්

• සුදුවැල්ලේ තවත් පිරිසක් නිරෝධායනයට

• ගිලන් රථයෙන් මත්පැන් ප්‍රවාහනය කළ රියදුරු සහ සහායක පොලිස් දැලේ (විඩියෝ)

• එම් එස් සී නැවේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලට ඇතුළත් කළ ජර්මානු කාන්තාව මිය යයි (විඩියෝ)

• කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සේවකයෙකු තෙල් ටැංකියකින් ඇද වැටී ජීවිතක්ෂයට

• බොරැල්ල රජයේ මුද්‍රණාලයේ ගින්නක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

නව කොරෝනා රෝගීන් පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් දැනුම් දීමක්

(14.04.2020 – 12:32 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (13) සහ පෙරේදා (12) දින වලදී සොයා ගැනුණු කොරෝනා රෝගීන් සියල්ලම පාහේ පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

නිරෝධායනය මධ්‍යස්ථාන වල සිටි මොවුන්ට කොරෝනා රෝගය වැලදී ඇති බවට තහවුරු වූයේ පී.සී.ආර්. පරීක්ෂණය මඟින් බවයි එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ.

මේ නිසා ශ්‍රී ලංකාව තුල රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණ සංඛ්‍යාව තවදුරටත් ඉහල දැමිය යුතු බව ඔහු අවධාරණය කළා.

මේ අතර, මී උණ රෝගයේ ඉහල යාමක් ද මේ වනවිට පෙන්නුම් කරන බැවින් ඒ පිළිබඳව ද අවධාණය යොමු කර වී වගා කටයුතු සිදු කිරීමට පෙර ඊට අදාළ ඖෂධ ලබා ගන්නා ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා ගොවි ජනතාවට දැනුම් දෙන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින් අල්ලන්න, පොලීසිය සිවිල් ඇඳුමෙන්

(14.04.2020 – 13:11 +0530 – hirunews.lk/sinhala)

අද (14) සහ හෙට (15) දින දෙකෙහි දිවයින පුරා සිදුකරන විශේෂ මෙහෙයුම් සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් යෙදවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබෙනවා.

ඒ ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින් සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ අරමුණෙන්.

මේ අතර, අද (14) උදෑසන 6 න් අවසන් වූ ගෙවුණු පැය 24 ක කාලය තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1600 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 26,600 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මීට අමතරව වාහන 6799 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

රන්ජන් රාමනායක රක්ෂිත බන්ධනාගාරයට

(14.04.2020 – 13:35 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ භෞත චිකිත්සක යැයි හඳුන්වා ගත් පුද්ගලයෙකු ඇඳිරි නීති බලපත්‍ර උල්ලංගණය කරමින් ඊයේ (13) පස්වරුවේ මාදිවෙල මන්ත්‍රී නිවාස පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී පොලීසිය ප්‍රශ්න කර තිබුණා.

එහිදී ඊට විරෝධය පළ කරමින් මැදිහත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පොලිස් රාජකාරියට බාධා කරන අයුරු දක්නට ලැබුණා.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට පිළියන්දල දක්වා වියළි ආහාර ප්‍රවාහනය කිරීමට යැයි පවසමින් ලබාගත් ඇඳිරිනීති බලපත්‍රයක් උපයෝගි කරගනිමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ භෞත චිකිත්සකයැයි හඳුන්වාගත් පුද්ගලයෙකු ඇඹිලිපිටියේ සිට පිළියන්දල දක්වා පැමිණ තිබුණේ අදාළ රථයේ වියළි ආහාර කිසිවක් නොමැතිව බව වාර්තාවනවා.

අදාළ පුද්ගලයා පිළියන්දල ප්‍රදේශයේ සිට මාදිවල මන්ත්‍රී නිවාස දක්වා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී මන්ත්‍රී නිවාසවලට ඇතුළුවන පරිශ්‍රයේදී පොලිස් පරීක්ෂාවට ලක්වුණා.

එහිදී ඇඳිරිනීති බලපත්‍ර උල්ලංඝනය කර ඇති බවට අනාවරණවීමත් සමඟ පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

එම අවස්ථාවේදී එහි පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අදාළ සිද්ධියට මැදිහත් වෙමින් පොලිස් රාජකාරියට බාධා කරන අයුරු දක්නට ලැබුණා.

+++++++++++++++++++++

රන්ජන්ට ප්‍රතිකාර කරන්න පැමිණි පුද්ගලයා ‍භෞතචිකිත්සක නිලධාරියෙක් නෙමෙයි

(14.04.2020 – 13:53 +0530 – sinhala.adaderana.lk)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට භෞතචිකිත්සක ප්‍රතිකාර ලබා දීම සඳහා යැයි පවසමින් පැමිණි පුද්ගලයා ‍භෞතචිකිත්සක නිලධාරියෙක් නොවන බව රජයේ භෞතචිකිත්සක නිලධාරීන්ගේ සංගමය පවසයි.

‘අද දෙරණ’ වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය විසින් මේ බව දන්වා සිටියි.

ශ්‍රී ලංකාවවේ භෞතචිකිත්සකවරයෙකු ලෙස සේවය කිරීම සඳහා සිව් අවුරුදු ‍භෞතචිකිත්සක උපාධිය සමඟ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අවශ්‍ය බවද එම සංගමය පෙන්වා දෙයි.

ඊයේ (13) දිනයේ දී ‍හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හමුවීමට පැමිණ ඇතැයි සැලකෙන පුද්ගලයා එවැනි සුදුසුකමක් නැති අයෙකු බවද භෞතචිකිත්සක සංගමය ‍සඳහන් කරයි.

කෙරෝනා වෛරසයෙන් පෙලෙන රෝගීන් එයින් මුදා ගැනීමේ දී රෝගීන්ගේ ශ්වසන පද්ධතිය සක්‍රියව පවත්වා ගැනීමට භෞතචිකිත්සක නිලධාරීන් ආන්ත්‍රාව දර ගනිමින් විශාල සේවය නියැලී සිටින මෙවන් මොහොතක එම නිලධාරීන්ගේ චිත්ත ධෛර්යට හානි සිදුවන ආකාරයෙන් මෙලෙස විෂමාචාරී ක්‍රියාවන් සිදු කිරීම දැඩි පිළි‍කුලෙන් යුතුව හෙළා දකින බවත් රජයේ භෞතචිකිත්සක නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටියි.

තවද මෙම පුද්ගලයා රජයේ සේවකයෙකු නොවන බවද එම සංගමය පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අප්‍රේල් මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (14) නියෝග කර ඇත.

ඇඳිරි නීති කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (13) පස්වරුවේ මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

පිළියන්දල ප්‍රදේශයේ සිට කැබ් රථයකින් පැමිණි පුද්ගලයෙකු ඊයේ (13) දහවල් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හමුවීමට අවශ්‍ය බව එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත.

එම අවස්ථාවේ ඔහු සන්තකයේ වලංගු ඇදිරි නීති බලපත්‍රයක් නොතිබූ බැවින් ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විමසීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

සුවය ලැබූ තවත් කොරෝනා රෝගීන් 3 දෙනෙකු පිටව යයි

(14.04.2020 – 13:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී, සුවය ලැබූ රෝගීන් 3 දෙනෙකු අද (14) රෝහලෙන් නික්ම ගියා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 59 දක්වා ඉහළ යනවා.

මෙම පුද්ගලයින් තුන් දෙනා ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහල සහ මුල්ලේරිය මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී සුවය ලබා පිටව ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

මේ වන විට කොරෝනා ආසාදනය තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 218 ක් වන අතර, ඉන් 87 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේයි.

එමෙන්ම, කොරෝනා ආසාදනය වී ඇති බවට සැක කරන පුද්ගලයින් 142 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ දිවයින පුරා රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ඉන්දියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුවියන් දිවයිනට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීමක්

(14.04.2020 – 12:41 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුවියන් පිරිසක් තමන් දිවයිනට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීමක් කරනවා.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ තමන් ඉගෙනුම ලබන ‘ලව්ලි ප්‍රොෆෙෂනල් යුනිවසිටි’ හි සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ අවදානම් තත්ත්වයක් හටගෙන ඇති බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා හේතුවෙන් පීඩාවට පත්ව සිටින විගමනික ශ්‍රමිකයින්ට සහන රැසක්

(14.04.2020 – 11:35 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තියත් සමඟ පීඩාවට පත්ව සිටින විදේශගත විගමනික ශ්‍රමිකයින්ට සහන රැසක් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ ඒ සඳහා විදේශ දූත මණ්ඩල 16 ක කම්කරු සුබ සාධන අංශ සමඟ ඍජුව සම්බන්ධ වී කටයුතු කරන බවයි.

අබුඩාබි, බහරේන්, සයිප්‍රස්, ඩුබායි, ඊශ්‍රායල, ජෝර්දාන්, කුවේට්, ලෙබනන් මෙන්ම මැලේසියා, ඕමාන්, මාලදිවයින්, කටාර්, දකුණු කොරියාව සහ සිංගප්පූරුව යන රටවල් 16 යේ දූත මණ්ඩල කම්කරු සුබසාධන අංශයට අයත් වනවා.

ඒ සම්බන්ධයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක 1989 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විගමණික ශ්‍රමිකයින්ට තොරතුරු ලබා ගත හැකියි.

එමෙන්ම කොරියානු තානාපති කාර්යාලය, විගමණික ශ්‍රමිකයින්ට ලබාදීම සඳහා මුඛ ආවරණ 5000 ක් ද ලබාදී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

බදුල්ලේ ඉංජිනේරුවන් සහ වෛද්‍යවරු කණ්ඩායමක් එක්ව වෙන්ටිලේටර් යන්ත්‍රයක් නිපදවයි

(14.04.2020 – 10:44 +0530 – hirunews.lk/sinhala)

බදුල්ලේ ප්‍රදේශයේ ඉංජිනේරුවන් සහ වෛද්‍යවරු කණ්ඩායමක් එක්ව වෙන්ටිලේටර් යන්ත්‍රයක් (කෘත්‍රිම ස්වසන යන්ත්‍රයක්) නිපදවීමට සමත්ව තිබෙනවා.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන මෙම යන්ත්‍ර මේ වන විට ලොවටම හිඟවී ඇති බව නොරහසක්.

මෙවැනි යන්ත්‍රයක් විදේශයකින් ආනයනය කළහොත් ලක්ෂ 20 ක පමණ වියදමක් දැරීමට සිදුවන අතර මෙම යන්ත්‍රය නිපදවීමට පිරිවැය ලෙස වැය වී ඇත්තේ රුපියල් අසූ පන්දහසක පමණ මුදලක් බවයි එහි නිර්මාණකරුවන් පවසන්නේ.

අප වාර්තාකරු පැවසුවේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ යටතේ නිෂ්පාදනය කළ මෙම වෙන්ටිලේටර් යන්ත්‍රය අද (14) දිනයේදී බදුල්ල මහ රෝහල වෙත භාරදීමට නියමිත බවයි.

+++++++++++++++++++++++++++++++++++

බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශය යළි විවෘත කරයි

(14.04.2020 – 08:36 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 26 වන දා සිට හුදෙකලා කර තිබූ බණ්ඩාරගම – අටළුගම ගම්මානය අද (14) සිට යළි නිදහස් කරන බව ද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඊයේ (13) දිනයේ වාර්තා වූ රෝගීන් 8 දෙනාගෙන් 7 දෙනෙකු බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයෙකු සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඒ අතර කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු වනවා.

ඔවුන් සියළු දෙනා මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල රදවා සිටින්නන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ.

එමෙන්ම, අද (14) දිනයේ පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටින 190 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

අද (14) දිනයේ මෙතෙක් කොරෝනා ආසාදිතයින් කිසිවෙක් වාර්තා වී නොමැති අතර, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 218 ක්.

පුද්ගලයින් 155 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.

මේ අතර, බූස්ස නාවික හමුදා කදවුරේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කාලය අවසන් කළ පුද්ගලයින් 9 දෙනෙකු ඊයේ (13) ඉන් පිටව ගියා.

ඔවුන් පිටව යාමට පෙර ද පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කළ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවීමේ පහසු ක්‍රමවේදයක්

(14.04.2020 – 08:27 +0530 – hirunews.lk/sinhala)

සේවාදායකයින්ට සහ තැන්පත්කරුවන්ට බදු එකවර ගෙවීමට අපහසු බවට ලද ඉල්ලීම මත අදාළ ගෙවීම් පහසු ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

කෙසේ නමුත්, මෙහිදී නව බදු හඳුන්වාදීමක් සිදුකර නොමැති බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතා අවධාරණය කළේ.

ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ අදාළ සේවා යෝජකයන්ගේ කැමැත්ත මත එම බදු මුදල් මාසිකව වැටුපෙන් අඩු කරගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බවයි.

එහිදී බදු අය කිරීමේ මාසික ආදායම් සීමාව රුපියල් 250,000 වනු ඇති ෴

+++++++++++++++++++++++++++++++++++

සුදුවැල්ලේ තවත් පිරිසක් නිරෝධායනයට

(14.04.2020 – 07:55 +0530 – hirunews.lk/sinhala)

ජා-ඇල – සුදුවැල්ල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 25 දෙනෙකු ඊයේ (13) ත්‍රිකුණාමලය – නාච්චිකුඩාහි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ලැබුවා.

රාගම ප්‍රදේශයේ 03 දෙනෙකු සහ මට්ටක්කුලිය ප්‍රදේශයේ 04 දෙනෙකු ද ඔවුන් සමග නිරෝධනය මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සදහන් කළේ.

කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම යම්කිසි ආකාරයකින් පාලනය කර ගත්ත ද එහි අවසානයක් දක්නට නොලැබීම ගැටළුවක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ (13) ප්‍රකාශ කළා.

මේ අතර, කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ එය පාලනය කිරීමේ කටයුතු සඳහා සහභාගි වී සිටින හමුදා නිලධාරීන්ට සිය ස්තූතිය පුද කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යාපනයේදී ඊයේ (13) කියා සිටියා ෴

+++++++++++++++++++++++++++++++++++

ගිලන් රථයෙන් මත්පැන් ප්‍රවාහනය කළ රියදුරු සහ සහායක පොලිස් දැලේ

(14.04.2020 – 15:48 +0530 – hirunews.lk/sinhala)

ගිලන් රථයක් භාවිත කරමින් මත්පැන් ප්‍රවාහනය කළ රෝහල් සේවකයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරකට අනුව විමර්ශන කණ්ඩායමක් එම රථය පසුපස හඹාගොස් කදුරුවෙල සේවාගම කාලිංගඇල ප්‍රදේශයේදී ගිලන් රථය පරීක්ෂා කර තිබෙනවා.

එම අවස්ථාවේදීයි වෑන් රථයේ ප්‍රවාහනය කරමින් තිබූ මත්පැන් මිලිලීටර් 180 ක බෝතල් 125 ක් පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ගිලන් රථයේ රියදුරු සහ එහි සහායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතා සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ ගිලන් රථ රියදුරුගේ සහ එහි සහායකගේ සේවය අත්හිටුවා විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

අදාළ ගිලන් රථය නිරෝධායන කඳවුරුවල රෝගීන් ප්‍රවාහනය කිරීමට භාවිත කළ පොළොන්නරුව මහරෝහලට අයත් රථයක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අද (14) දිනයේ අදාළ ගිලන් රථය ඖෂධ තොගයක් හිඟුරක්ගොඩ රෝහල වෙත ප්‍රවාහනය කර තිබෙනවා.

ඉන් අනතුරුව රථය මින්නේරිය පොලිස් වසමේ තඹලවැව ප්‍රදේශයට පැමිණ ඇති අතර එහි පැමිණි වෙනත් රථයකින් මත්පැන් තොගය මෙම රථයට පටවා ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

කදුරුවෙල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

***************************************

එම් එස් සී නැවේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලට ඇතුළත් කළ ජර්මානු කාන්තාව මිය යයි

(14.04.2020 – 07:58 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික සූපවේදීයා ශ්‍රී ලංකාවට ගොඩබස්වා ගැනීමේදී, එම් එස් සී මැග්නිෆිකා නෞකාවේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලට ඇතුළත් කළ 75 හැවිරිදි ජර්මානු කාන්තාව රෝහලේදී මිය ගොස් ඇති බව , රෝහල් ආරංචි මාර්ග පවසනවා.

***************************************

කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සේවකයෙකු තෙල් ටැංකියකින් ඇද වැටී ජීවිතක්ෂයට

(14.04.2020 – 12:30 +0530 – hirunews.lk/sinhala)

කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සේවකයෙකු එහි තෙල් ටැංකියකින් ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම පුද්ගලයා තෙල් ටැංකියක ධාරිතාව පරික්ෂා කිරිමට යාමේදී ඉන් ඇදවැටී අද (14) උදෑසන මෙම අනතුර මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර ලක්වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරන් මියගොස් ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙක් බවයි ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා සඳහන් කළේ ෴

***************************************

බොරැල්ල රජයේ මුද්‍රණාලයේ ගින්නක්

(14.04.2020 – 15:40 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණාලයේ අද (14) පස්වරුවේ ගින්නක් හටගත්තා.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ රථ හතරක් සමඟ ගිනි නිවන භටයින් විසිදෙනෙකු ගින්න පාලනය කිරීම සඳහා යොදවා ඇති බවයි.

ගින්නට හේතුව පිළිබඳ මෙතෙක් වාර්තාවී නැහැ.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *