කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට (16) පැය 10 කට ලිහිල් වෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට (16) පැය 10 කට ලිහිල් වෙයි

• වෛරසයේ නව රෝග ලක්ෂණ ගැන හෙළිදරව්වක්

• ආසාදිතයෙකු අවට මීටර් 4 ක වටප්‍රමාණයක කොවිඩ්-19 තිබිය හැකියි (විඩියෝ)

• කොරෝනා බවට සැක තවත් 165 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක

• ජාතික රුධිර පාරවිලයන සේවය ප්‍රමාණවත් රුධිර සංචිත අඛණ්ඩව පවත්වාගෙන යාමේ ගැටලුවක

• රේගුවේ බහාලුම් නිශ්කාෂණයට සුනඛයින්

• සහල් මාෆියාවක් නැහැ – තියෙන්නේ තිරිඟු පිටි මාෆියාවක්, උන් තිරිඟු පිටි බදු රු. 28 කින් අඩුකරගත්තා – දැන් සහල් මිල රු. 8 කින් පහත දමා සහල් කර්මාන්තය වට්ටනවා – ජාතික සංවිධාන (විඩියෝ)

• වැඩිහිටි-වකුගඩු රෝගී සහ ආබාධ සහිත අයගේ අමතර ඉල්ලීම් සඳහාත් රු. 5000 ගෙවන්න තීරණයක්

• රු. 5000 දීමනාව පාසැල් දරුවන් ප්‍රවාහනය කරන රියදුරන්ටත්

• අන්තර්ජාලය ඔස්සේ වැඩි මිළට බඩු විකිණූ තවත් ආයතනයක් ( freshcart.lk ) මාට්ටු

• රජය වෙත බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක්

• මහනුවරට අයිස් වැස්සක් ඇදහැළෙයි

• මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ තවත් යාත්‍රාවක් ගැඹුරු මුහු‍දේදී නාවික හමුදා අත්අඩංගුවට (විඩියෝ)

• දින දෙකක සිට ජීවිතයත් මරණයත් අතර සටනක සිටි, ඇතින්න සහ පැටවා බේරාගත් මෙහෙයුම (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට (16) පැය 10 කට ලිහිල් වෙයි

(15.04.2020 – 07:43 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට (16) දිනයේ පැය 10 ක කාලයකට තාවකාලිකව ඇඳිරි නීතිය ලිහිල් කිරීමට නියමිතයි.

එම දිස්ත්‍රික්කවල හෙට (16) උදෑසන හයට (06) ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04 ට යළි පැනවෙනවා. අධි අවධානම් කලාපය ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු අඛණ්ඩව බලාත්මකයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය නතර කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඒ හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක්ද කරනවා.

භාණ්ඩ මිලදී ගැනීම් ඉතාමත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්ට පමණක් සීමා කරන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසත් අවධාරණය කෙරෙනවා.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගැනීමට හැකිවන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම, අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වනවා ෴

+++++++++++++++++++++++++++++++++++

වෛරසයේ නව රෝග ලක්ෂණ ගැන හෙළිදරව්වක්

(15.04.2020 – 07:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයේ නවතම රෝග ලක්ෂණයක් ලෙස පාද ආශ්‍රිතව සරම්ප හෝ පැපොල රෝගයට සමාන බිබිලි හටගන්නා බවට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි වෙස්ටන් රෝහලේ ස්නායු රෝග ඒකකයේ අංශ ප්‍රධානියා ලෙස සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍ය මහාචාර්ය තිස්ස විජේරත්න මහතා පවසනවා.

ස්පාඤ්ඤයේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකදී මේ බව අනාවරණ වී ඇති බවයි ඔහු කියා සිටියේ ෴

+++++++++++++++++++++

ආසාදිතයෙකු අවට මීටර් 4 ක වටප්‍රමාණයක කොවිඩ්-19 තිබිය හැකියි

(14.04.2020 – 21:28 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වෛරසය, ආසාදිතයෙකු අවට මීටර් 4 ක වටප්‍රමාණයක පැවතිය හැකි බවට නවතම පර්යේෂණයකින් හෙළිවී ඇතැයි ලෝක ස්නායු රෝග සංවිධානයේ මහජන අවබෝධය පිළිබඳ ලෝක කමිටු සභාපති මහාචාර්ය තිස්ස විජේරත්න මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ චීනයේ වූහාන් හි පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ අධ්‍යයනයකට අදාළ පර්යේෂණ පත්‍රිකාවක මෙම කරුණු අඩංගු වන බවයි.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා බවට සැක තවත් 165 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක

(15.04.2020 – 07:36 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 233 දක්වා ඉහල ගොස් තිබෙනවා.

ඒ, ඊයේ (14) දිනයේ වෛරසය ආසාදනය වී ඇති රෝගීන් 15 දෙනෙකු හඳුනාගැනීමෙන් පසුවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ අවසන්වරට හඳුනා ගැණුනු රෝගීන් 14 දෙනාම කොරෝනා ආසාදිතය රෝගීන් ළඟින් ඇසුරු කළ අය බවයි.

ඉන් එක් අයෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙක්.

තවත් 08 දෙනෙකු පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක් වෙමින් සිට ඇති අතර 04 දෙනෙකු මුලංකෝවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේ.

තවත් අයෙකු වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් වෙමින් සිටියෙකු බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඊයේ (14) දිනයේ වෛරසය වැළදී ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනෙකු (02) පූර්ණ සුවය ලබා ඉන් පිටව ගොස් ඇති අතර ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 61 ක්.

ඊට අමතරව තවත් 165 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා.

මේ අතර, කොරෝනා ආසාදිතයින් දිගින් දිගටම වාර්තා වීමත් සමගම බේරුවල – පන්නිල සහ චීනකොටුව ප්‍රදේශ හුදකලා ගම්මාන බවට ඊයේ (14) පෙරවරුවේ සිට ප්‍රකාශයට පත් කෙරුණා.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරුණ සෙනෙවිරත්න මහතා කියා සිටියේ තමන් ඇතුලු පිරිස අදාළ පුද්ගලයින් කළින් සිටම හඳුනාගැනීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය අවම කරගැනීමට හැකිවූ බවයි.

එමෙන්ම බේරුවලින් පමණක් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 35 දෙනෙකු පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

ඇතැම් පිරිස් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරන අවස්ථාවේදී තමන්ට දැඩි ලෙස විරෝධයක්ද දැක්වූ බවයි ඔහු කියා සිටියේ.

මෙරටින් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූ පසුගිය මාර්තු 11 වනදා සිට මේ දක්වා දිවයිනේ දිස්ත්‍රික්ක 14 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වන අතර, වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලින්.

45 බැගින් දිස්ත්‍රික්ක දෙකෙන් වාර්තාවුණු ආසාදිතයන් සංඛ්‍යාව 90 ක් ෴

+++++++++++++++++++++++++++++++++++

ජාතික රුධිර පාරවිලයන සේවය ප්‍රමාණවත් රුධිර සංචිත අඛණ්ඩව පවත්වාගෙන යාමේ ගැටලුවක

(14.04.2020 – 22:33 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමාණවත් රුධිර සංචිත අඛණ්ඩව පවත්වාගෙන යාමේ ගැටලුවකට ජාතික රුධිර පාරවිලයන සේවය මේ වනවිට මුහුණ පා සිටිනවා.

ඒ පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා දිවයින පුරා සංවිධානය වන ලේ දන්දීමේ කඳවුරු අවලංගුවීම හේතුවෙන්.

ජාතික රුධිර පාරවිලයන සේවයට අවශ්‍ය රුධිර සංචිත වලින් සියයට 90 ක් සපයා ගැනෙන්නේ දිවයින පුරා සංවිධානය කෙරෙන ලේ දන්දීමේ කදවුරු හරහායි.

නමුත් මේ වනවිට රටේ පවතින තත්ත්වය හේතුවෙන් සියලු ලේ දන්දීමේ කදවුරු අත්හිටුවා ඇති නිසා ඉදිරියේදී ප්‍රමාණවත් රුධිර සංචිත වල හිගයක් මතු විය හැකි බව එම සේවය පෙන්වා දෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

රේගුවේ බහාලුම් නිශ්කාෂණයට සුනඛයින්

(14.04.2020 – 19:47 +0530 – hirunews.lk/sinhala)

ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිල සුනඛයින් යොදාගනිමින් භාණ්ඩ නිශ්කාෂණය කිරීමේ කටයුතු සිදුකිරීමට රේගු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ සුනිල් ජයරත්න මහතා කියා සිටියේ ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ආරම්භ වූ මෙම කටයුතු මේ වනවිටත් සාර්ථකව සිදුවන බවයි.

විශේෂයෙන් මේ දිනවල නිෂ්කාශණ කටයුතු සඳහා නිලධාරීන්ට අමතරව විශේෂ ක්‍රමවේද භාවිත කිරීමටද රේගු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළා.

විදේශ රටවලින් පැමිණි පුද්ගලයින්ගේ සහ තෑගි ලෙස එවන ලද භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගුදම්වල ගොඩගැසී ඇති අතර, ඒවා නිශ්කාෂණය කිරීම ලබන 20 වනදායින් පසුව ආරම්භ කරන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

ලබන මස 3 වනදා දක්වාම ඉන්දියාව වසා දැමීමට තීරණය කර ඇති නමුත් වෙළඳ කටයුතු සඳහා එය බාධාවක් නොවන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

සහල් මාෆියාවක් නැහැ – තියෙන්නේ තිරිඟු පිටි මාෆියාවක්, උන් තිරිඟු පිටි බදු රු. 28 කින් අඩුකරගත්තා – දැන් සහල් මිල රු. 8 කින් පහත දමා සහල් කර්මාන්තය වට්ටනවා – ජාතික සංවිධාන

(15.04.2020 – 03:06 +0530 – lankaleadnews.com)

සහල් පාලන මිල පහත දැමීම පිළිබඳව සහල් කර්මාන්ත කරුවන්ගෙන් සහ වී ගොවීන්ගෙන් මතුවන විරෝධය පිළිබඳව ජාතික සංවිධානවල මතය ‘ලංකා ලීඩ්’ විසින් විමසන ලදී. මේ අප ඇසු ප්‍රශ්ණ වලට වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දුන් පිළිතුරු ‍ඔහුගේ වචනයෙන් සහ ඔහු විසින් රන්ගිරි රූපවාහිනියට කළ ප්‍රකාශය.

“අපේ රටේ සහල් මාෆියාවක් නැහැ – තියෙන්නේ තිරිඟු පිටි මාෆියාවක්. ඔවුන් පනත් 3 ක් යටතේ රෙගුලාසි වෙනස් කරලා පාන් පිටි වලට පනවා තිබූ ආනයන බදු කි.ග්‍රෑම් 1 කට රු. 28 කින් අඩුකර ගත්තා. දැන් ඉතා සූක්ෂමව නිලධාරීන් හරහා සහල් වෙළඳපළ, සහල් කර්මාන්තය සහ වී ගොවියා වට්ටන්නා ඉතා සූක්ෂම ක්‍රමයක් අනුගමනය කරලා තියෙනවා. ඒ තමා වී ගොවියාට සහතික මිල ගෙවන්න බැරි වෙන විදිහට සහල් පාලන මිල පහත දැමීම. ඒකෙන් පාරිභෝගිකයාට ලැබෙන විශේෂ සහනයක් නැහැ. හාල් කි.ග්‍රෑම් 1 කින් එක වේලකට 8 දෙනෙක් කනවා. හාල් රු. 8 කින් අඩුකලාම එක අයෙකුට වෙන්නේ රු. 1 කට අඩු මිලක්. නමුත් ඒ ගොන් වැඩෙන් පවුල් ලක්ෂ 8 මිනිසුන්ගේ ජිවිත ඇද වැටෙනවා. මහා මෝල් හිමියන්ට මිල අඩු කිරීම දරාගන්න පුළුවන්, ඔවුන් ළඟ අඩු මිලට ගත් වී තොග – විශේෂයෙන්ම කීරි සම්බා තොග තිබෙන නිසා. කැකුළු කි.ග්‍රෑම් 1 ක් රු. 95 කරලා නාඩු තැම්බූ සහල් රු. 100 කරලා, සම්බා රු. 105 කරලා, කීරි සම්බා රු. 110 හෝ 115 කලොත් විතරයි කර්මාන්තයට පවතින්න පුළුවන්.”

+++++++++++++++++++++++++++++++++++

14-04-2020

+++++++++++++++++++++++++++++++++++

වැඩිහිටි-වකුගඩු රෝගී සහ ආබාධ සහිත අයගේ අමතර ඉල්ලීම් සඳහාත් රු. 5000 ගෙවන්න තීරණයක්

(15.04.2020 – 11:30 +0530 – sinhala.adaderana.lk)

දැනට ප්‍රතිලාභ ලබන සහ පොරොත්තු ලේඛණවල සිටි වැඩිහිටි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා රුපියල් 5,000 දීමනාව රජය විසින් ගෙවා අවසන් කර ඇත.

එයට අමතරව මෙතෙක් එකී දීමනාවන් නොලද හෝ පොරොත්තු ලේඛණවල නොසිටි එහෙත් ග්‍රාමීය කමිටු මගින් අනුමත කරන ලද වැඩිහිටි, ආබාධ සහිත සහ වකුගඩු රෝගී පුද්ගලයින් සඳහා ද මෙම රුපියල් 5,000 දීමනාව ගෙවීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දැනට දීමනාව ලබමින් සිටින සහ පොරොත්තු ලේඛණවලට ඇතුළත්ව සිටි වැඩිහිටියන් 559,109 කටඅමතරව තවත් ග්‍රාමීයකමිටු විසින් අනුමත කරන ලද 74,154 දෙනෙකුට රුපියල් 5,000 හි වැඩිහිටිදීමනාව රජය විසින් ගෙවීමට කටයුතු කරන අතර එලෙසම දැනට දීමනාව ලබන සහ පොරොත්තු ලේඛණවල සිටි ආබාධිත පුද්ගලයින් 110,791 කට අමතරව තවත් 14,195 දෙනෙකුට රුපියල්, 5,000 ක දීමනාව රජය විසින් ගෙවීමට තීරණය කර ඇත.

තවදුරටත් දැනට දීමනා ලබමින් සිටි සහ පොරොත්තු ලේඛණවල සිටි වකුගඩු රෝගීන් 39,170 ට අමතරව තවත් 5,884 දෙනෙකුට රජය විසින් රුපියල් 5,000 හි වකුගඩු දීමනාව ගෙවීමට ද තීරණය කර ඇත.

මෙලෙස අමතරව ගෙවන සියලු දීමනා අද (15) දිනයේ දී ග්‍රාම නිලධාරීන් මගින් අදාල ප්‍රතිලාභීන්ගේ නිවසටම ගොස් ගෙවීම් සිදු කිරිමට සියළු කටයුතු සංවිධානය කර ඇති බව අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ ජනාධිපති කාර්යසාධන බලකාය විසින් නිවේදනය කරයි.

මේ පිළිබඳව කරුණු සොයා බැලීමේ විශේෂ සාකච්චාවක් අද (15) දින කාන්තා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යශයේදී පවත්වා ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

රු. 5000 දීමනාව පාසැල් දරුවන් ප්‍රවාහනය කරන රියදුරන්ටත්

(15.04.2020 – 10:23 +0530 – sinhala.adaderana.lk)

රජය විසින් ලබා දීමට පියවර ගෙන තිබෙන රු. 5000 සහන දීමනාව පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කිරීමේ කටයුතු වල නිරතව සිටින රියදුරන් සඳහාත් ලබා දීමට රජය විසින් තීරණය කර ඇත.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් නිසි ආදායම් නොමැතිව අසරණව සිටින පිරිස් සඳහා රජය විසින් ලබා දීමට පියවර ගෙන තිබෙන රු. 5000 සහන දීමනාව ත්‍රී රෝද රථ රියදුරන්ට හා පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කිරීමේ කටයුතු වල නිරතව සිටින රියදුරන් සඳහාත් ලබා දීමට රජය විසින් තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දැනට මෙම අංශ දෙකම නියාමණය හෝ කළමනාකරණය මධ්‍යම රජයේ අමාත්‍යාංශයකට පවරා නොමැති අතර ත්‍රීරෝද රියදුරන් හා පාසැල් සිසු ප්‍රවාහණ සේවා කටයුතුවල නිරතව සිටින පුද්ගලයින් නියාමණය කිරීම පළාත් සභා විෂය පථය යටතේ ගැනෙන්නක් වේ.

නමුත් ත්‍රී රෝද රියදුරන්ගේ ඇතැම් සංගම් මෙන්ම පාසැල් සිසුදරුවන් ප්‍රවාහන කටයුතුවල නිරතව සිටින රියදුරන් විසින් එම දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව මින් පෙර ප්‍රකාශ කළ පරිදි පුද්ගලික බස් රථ හා කොන්දොස්තරවරුන්ට එමරු. 5000 දීමනාව ලබා දීමට තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ මෙම ත්‍රීරෝද රථ රියදුරන් හා පාසැල් සිසුන් ප්‍රවාහනය කරන රියදුරන්ගේ ගැටළුවත් ඉදිරිපත් කළ අතර එහිදීමෙකී පාර්ශ්ව දෙක සඳහා ද අදාල රු. 5000 දීමනාව ලබා දීමට රජය එකගතාවය පළ කළ බව අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව ඔවුන්ට ද මෙම රු. 5000 දීමනාව ලබා දීමට රජය විසින් පියවර ගන්නා බව අමාත්‍යවරයා දැනුම් දෙයි ෴

+++++++++++++++++++++++++++++++++++

අන්තර්ජාලය ඔස්සේ වැඩි මිළට බඩු විකිණූ තවත් ආයතනයක් මාට්ටු

(15.04.2020 – 14:35 +0530 – truenews.lk)

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ සැපයීමේදී වංචනික ලෙස ජනතාව රවටමින් මුදල් ඉපයීමේ කාර්යයෙහි නිරත වන බවට නිරීක්ෂණය වී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

freshcart.lk ආයතනය සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබීම නිසා වහාම ක්‍රියාත්මක වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් අද (15) උදෑසන එම ආයතනය වැටලීමට කටයුතු කර තිබෙනවා.

කඩුවෙල පිහිටි ඔවුන්ගේ ලිපිනය ව්‍යාජ එකක් බව තහවුරු වූ අතර, එම ආයතනයේ වාහනයක් මාර්ගයෙන් අදාළ නිවැරදි ලිපිනය සොයා ගත් බවයි අධිකාරිය පවසන්නේ.

අධිකාරිය විසින් සිය ෆේස්බුක් ගිණුමේ එහි තත්ත්වය මෙලෙස සඳහන් කර තිබුණා.

වැඩිදුරටත් විමර්ශනය කිරීමේදී අනාවරණය වූයේ තම ආයතනයට ලැබෙන ඇනවුම් වැඩි කර ගැනීමේ අදහසින් ලැබී ඇති ඇනවුම් චේතාන්විතව යැවීම ප්‍රමාද කර ඇති බවයි. එසේම, ඔවුන්ගේ සියලුම භාණ්ඩ අනුමත මිලට වඩා වැඩියෙන් අලෙවි කරන බවත් අනාවරණය විය. ඇතැම් ආහාර ද්‍රව්‍ය පරිභෝජනයට නුසුදුසු වන පරිදි කල්ඉකුත් වී තිබුණි.

ඔවුන් භාර ගත් සියලුම ඇනවුම් කඩිනමින් ලබා දෙන ලෙසත් වැඩිපුර අය කරගත් මුදල් කුමන හෝ ක්‍රමයකින් ආපසු පාරිභෝගිකයන් වෙත ලබා දෙන ලෙසත් අධිකාරියේ නිලධාරීන් විසින් නියෝග කළ අතර, අදාළ පුද්ගලයන්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතයි.

සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානායක මහතාගේ උපදෙස් මත, පාරිභෝගික කටයුතු හා තොරතුරු අංශයේ අධ්‍යක්ෂ අසේල බංඩාර මහතාගේ මෙහෙයවීම මත, බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්ෂ ඒ.ඒ. ජසූර් මහතා සහ ප්‍රධාන කාර්යාලයේ විමර්ශන නිලධාරී දමින්ද කුමාර යන නිලධාරින් දෙදෙදනා විසින් මෙම වැටලීම සිදු කරන ලදී.

https://www.freshcart.lk/
• Colombo : No. 711/5, M.D.H Jayawardana Road, Korathota North, Kaduwela.

• Kandy : No 35/6A, Bakmee Anga Waththa, Kiribathkumbura, Kandy.

+++++++++++++++++++++++++++++++++++

රජය වෙත බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක්

(15.04.2020 – 16:00 +0530 – hirunews.lk/sinhala)

බේකරි කර්මාන්තයේ නිරතවූවන් සහ එහි සේවකයන් මේවන විට අසරණ තත්වයකට පත්ව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ පවතින තත්වය මත දිවයිනේ ඇති බේකරි 7000 කින් පමණ මේවන විට ක්‍රියාත්මක වන්නේ බේකරි 2000 ක පමණ සංඛ්‍යාවක් බවයි.

මේ හේතුවෙන් බේකරි සේවකයන්ට රජය කිසියම් සහනයක් ලබාදිය යුතු බව ද එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළා ෴

***************************************

මහනුවරට අයිස් වැස්සක් ඇදහැළෙයි

(15.04.2020 – 14:22 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (14) පස්වරුවේ මහනුවර අවට ප්‍රදේශ කිහිපයකට අයිස් කැට වර්ෂාවක් පතිත වී තිබෙනවා.

කටුගස්තොට, කුළුගම්මන ආදී ප්‍රදේශ කිහිපයකට මෙලෙස අයිස් කැට වර්ෂාව පතිත වී ඇති බවටයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.

ඊයේ (14) පස්වරු 4.30 ට පමණ මෙම වර්ෂාව ඇදහැළුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම වර්ෂාව පතිත වූ අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූයේ මෙලෙසින්.

***************************************

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ තවත් යාත්‍රාවක් ගැඹුරු මුහු‍දේදී නාවික හමුදා අත්අඩංගුවට

(15.04.2020 – news.navy.lk)

2020 වසරේදී පලමු කාර්තුව තුල ගැඹුරු මුහුදේ මුර සංචාරයෙහි යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුර නෞකාවන් ඉතාමත් සාර්ථක ප්‍රථිපල ගෙනදෙමින් හෙරෝයින්, අයිස් සහ කෙටමයින් යන මත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද එය රැගෙන එමින් සිටි මත් ද්‍රව්‍ය ඡාවාරම් කරුවන් සහ විදේශ යාත්‍රාවන් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

එහි නවතම ප්‍රථිපලය ලෙස ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 (දල වශයෙන් කි.මී 985 පමණ) දුරකින් වු ගැඹුරු මුහුදේදී රාජ්‍ය ධජ හිමි නැති (Flag Stateless) විදේශිය යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය සෝදිසි කිරීමේදී හෙරෝයින්කි.ග්‍රෑ. 260 සහ අයිස් කි.ග්‍රෑ. 56 සමඟ ඉරාන ජාතිකයින් බවට සැක කරන පුද්ගලයින් 07 අත්අඩංගුවට ගන්නා ලදී.

මෙය මෙම අවුරුද්ද තුල මෙයට පෙර ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද යාත්‍රා 03 හි සිටි පුද්ගලයින්ගේ ප්‍රශ්ණ කිරීමේදී ලද තොරතුරු මෙන්ම ජාත්‍යන්තර තොරතුරු හුවමාරුව, චන්ද්‍රිකා දුරකථන වල දත්ත විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වු කරුණු මත ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කල මෙහෙයුමක ප්‍රථිපල වේ.

එම විශ්ලේෂණයන් මත මාර්තු මස 30 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් දින 14 ක සාගරික මෙහෙයුමකට අදාල මුහුදු ප්‍රදේශය වෙත යොමු කරන ලදී. දින 02 ක ගමනකින් පසු නෞකාව සමකය පසුකර කලින් හදුනාගත් මුහුදු ප්‍රවේශ මාර්ගයන් දින 09 ක් පුරාවට නිරීක්‍ෂණය කර 10 වන දිනයේදී (2020 අප්‍රේල් මස 10 වන දින උදැසන 1100 පැයට පමණ) මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබු විදේශීය යාත්‍රාව සොයා ගන්නා ලදී. මෙම මුහුදු මෙහෙයුමේදී චන්ද්‍රිකා ජායාරෑප ද ජාත්‍යන්තර සහයෝගය මත ලබාගත් අතර, එම දත්තයන්ද විශේෂයෙන් මෙම ප්‍රවේශ මාර්ගයන් තහවුරු කර ගැනීමට පිටුවහලක් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයන් අවහිර කිරීමට තම දායකත්වය ප්‍රධාන නෞකාවන් හරහා ලබාදෙන අතර, මෙම දිවයින මත්ද්‍රව්‍ය වලින් තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙලට එය අගනා ශක්තියක් ලබා දෙයි.

මෙවර අත්අඩංගුවට පත් මත් ද්‍රව්‍ය වල වීදි වටිනාකම රුපියල් කෝටි 327 ක් පමණ වන බවට තක්සේරු කර ඇති අතර, මෙම තොගයද සමඟ මේ වසරේ පමණක් දැනට ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය ප්‍රමාණය හෙරෝයින් කි.ග්‍රෑ. 687 ක්, අයිස් කි.ග්‍රෑ. 795 ක් සහ කැටමයින් කි.ග්‍රෑ. 579 ක් වශයෙන් සටහන් වේ ෴

+++++++++++++++++++++

***************************************

දින දෙකක සිට ජීවිතයත් මරණයත් අතර සටනක සිටි, ඇතින්න සහ පැටවා බේරාගත් මෙහෙයුම

(15.04.2020 – 13:36 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට, මත්තල හාමුදුරුවෝ වැව ඉස්මත්තේ ඇති වගා ළිඳකට දින දෙකක සිට වැටී සිටි ඇතින්නක් සහ පැටවෙකු බේරාගැනීමට වනජීවී නිලධාරීන් ඊයේ (14) රාත්‍රියේ සමත්ව තිබෙනවා.

මෙලෙස බේරාගෙන ඇත්තේ වයස මාස තුනක පමණ අලිපැටවෙකු බවයි වාර්තා වන්නේ.

මෙම අලි පැටවා සහ ඇතින්න ගොඩගැනීම සඳහා පැය තුනක පමණ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *