පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් සහ රිෂාඩ්ගේ සොහොයුරා අතර ඍජු සබඳතා පැවති බව විමර්ශනවලදී හෙළිවේ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් සහ රිෂාඩ්ගේ සොහොයුරා අතර ඍජු සබඳතා පැවති බව විමර්ශනවලදී හෙළිවේ (විඩියෝ)

• අත්අඩංගුවට පත් නීතිඥ හිජාස් හිස්බුල්ලා ඥානසාර හිමිට විරුද්ධව තොග පිටින් නඩු දැමූවෙක්

• පාස්කු ප්‍රහාරයට කලින් රිෂාඩ්ගේ මල්ලි බෝම්බකරුවන් හමුවෙලා – රිෂාඩ් බදුර්දීන්ටත් රතු එළියක්

• පාස්කු බෝම්බ ප‍්‍රහාරය : රිෂාද් බදියුදීන් 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට…?

• හිටපු ඇමති රිෂාඩ්ගේ මල්ලිගෙන් ‘පාස්කු ප්‍රහාරකයාට’ ඇමතුම් හතක් – සහරාන්ට ප්‍රවාහන පහසුකමුත් දීලා

• රිෂාඩ් බදියුදීන්ගෙන් CIDයට පැය 4 ක ප්‍රකාශයක්

• පුත්තලමේ සුළඟින් හානිවූ විදුලි රැහැන් පිළිසකර කිරීම ඇරඹේ

• ඇඳිරි නීතිය මැද වැඩිමිලට මත්පැන් විකිණූ හෝටල් අයිතිකරු අත්අඩංගුවට

• ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදනයට ලංකාව සැරසෙයි

• මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිළධාරින් සෘජුවම සම්බන්ධ කරගැනීමට වැඩපිළිවෙලක්

• හෙද පුහුණුව සඳහා On-line ක්‍රමයට අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කරයි

• මහ බැංකුව බැංකු අනුපාතිකය අඩු කරයි

• කොරෝනා ආසාධිත ගර්භනී මව්වරුන්ට ප්‍රතිකාර සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පහසුකම් පුළුල් කරයි

• එදිනෙදා ජීවනෝපාය අහිමි පුද්ගලයන්ට රුපියල් 5000 දිමනාව 20 වන දා සිට

• විදෙස් තැපැල් සේවයෙන් ගෙන්වු භාණ්ඩ හෙට (17) සිට රේගුවෙන් නිදහස් (විඩියෝ)

• කොරෝනා මැඩලන්න මේ වනවිට ඖෂධයක් සොයාගෙන ද ? ඇත්ත නැත්ත (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් සහ රිෂාඩ්ගේ සොහොයුරා අතර ඍජු සබඳතා පැවති බව විමර්ශනවලදී හෙළිවේ

(15.04.2020 – 18:52 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ඊයේ (14) අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් බෝම්බකරුවන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මේ අතර දැනට පාස්කු ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් 119 දෙනෙකු සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයෙන් සැකකරුවන් 78 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ.

එමෙන්ම විමර්ශනවලට අදාළව එම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් නීතීඥවරයෙකු වන 40 හැවිරිදි අනෙක් සැකකරු බෝම්බකරුවන් දෙදෙනෙකු සබඳතා පවත්වා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

+++++++++++++++++++++

අත්අඩංගුවට පත් නීතිඥ හිජාස් හිස්බුල්ලා ඥානසාර හිමිට විරුද්ධව තොග පිටින් නඩු දැමූවෙක්

(15.04.2020 – colombotoday.com)

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ විමර්ශනයන්ට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නීතිඥයා වන හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (15) අත්අඩංගුවට පත් නීතිඥ හිජාස් හිස්බුල්ලා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට විරුද්ධව නඩු 5 ක් පමණ ගොනු කල පුද්ගලයෙක් බව වාර්තා වෙනවා ෴

+++++++++++++++++++++

පාස්කු ප්‍රහාරයට කලින් රිෂාඩ්ගේ මල්ලි බෝම්බකරුවන් හමුවෙලා – රිෂාඩ් බදුර්දීන්ටත් රතු එළියක්

(16.04.2020 – mawbima.lk ඇසුරෙන්)

හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන්ගේ සෙහොයුරා වන පනියුදීන් මොහමඩ් රියාද් බදුර්දීන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් සමඟ ඍජු සම්බන්ධතා පවත්වා පාස්කු බෝම්බ පිපිරවීමේ සිද්ධියට ආසන්න දිනයකදී ප්‍රසිද්ධ හෝටලයක එකට හිඳිමින් සාකච්ඡා පවත්වා ඇති බවට තොරතුරු විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී ඊයේ (15 දා) පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අනාවරණය කළ කරුණු :

  1. අත්අඩංගුවට ගෙන සිටින නීතිඥවරයා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් දෙදෙනකු සමඟ සහ එක්තරා සංවිධානයක් සමඟ සම්බන්ධකම් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
  2. එක බෝම්බකරුවෙක් මෙම එක් සංවිධානයකට ඉඩමක් පරිත්‍යාග කර ඇති අතර එම සංවිධානය එම ඉඩමෙහි තවමත් පවත්වාගෙන යන බවට තොරතුරු අනාවරණය වී ඇත.
  3. මෙම සැකකරුවන් සුබසාධක සමිති පිහිටුවා බෝම්බකරුවන් සමඟ එකට කටයුතු කර ඇති බවටත් එම සමාගම්වලට මුදල් ආයෝජනය කර ඇති බවට හා ඉඩම් පරිත්‍යාග කර ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇත.
  4. මෙය ඉතාමත් සංකීර්ණ විමර්ශනයකි. විමර්ශන කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා යොදවා ඇත.
  5. පාස්කු ප්‍රහාරයේදී විවිධ පැතිකඩවල සම්බන්ධතාවන් ඇති කරගෙන තිබේ. ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 197 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය 78 දෙනකු හා රහස් පොලිසිය 119 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අතරින් 33 දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය 52 දෙනකු රඳවාගැනීමේ නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.
  6. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පැවැති විමර්ශන කටයුතු නිසි පරිදි සිදු නොකෙරුණු අතර එම පරීක්ෂණ මන්දගාමීව සිදුකළ නිලධාරීන් ඉවත් කර වෙනත් නිලධාරීන් යොදවා අලුතින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

විමර්ශන අඩපණ කළ නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගන්නා බවට කලින් පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බැවින් එම නිලධාරීන් සම්බන්ධයෙන් ගනු ලැබූ පියවර කුමක් දැයි ‘මව්බිම’ නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකයක් යටතේ පරීක්ෂණයක් පැවැත්වෙන බවත් එම පරීක්ෂණය පොලිස්පතිතුමාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙමින් පවතින බවත් පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේය.

මෙම සිද්ධියට හිටපු ඇමැතිවරයකු වන රිෂාඩ් බදුර්දීන්ගේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු වාර්තා වී ඇද්දැයි ‘මව්බිම’ නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් පොලිස් අධිකාරිවරයා තොරතුරක් අනාවරණය වුවහොත් තරාතිරම නොබලා කටයුතු කෙරෙනු ඇතැයි පැවැසීය ෴

+++++++++++++++++++++

පාස්කු බෝම්බ ප‍්‍රහාරය : රිෂාද් බදියුදීන් 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට…?

(16.04.2020 – 09:20 +0530 – lankacnews.com)

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් රහස් පොලිසිය වෙත කැඳවා ඇත.

අද (16) දිනයේ තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව ඔහු සඳහන් කර තිබේ.

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද බෝම්බකරුවෙකු සමගින් සමීප සම්බන්ධතා පැවැත්වූයේ යැයි ඔහුගේ සහෝදරයෙකු මේ වන විටත් රහස් පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

තමන්ගේ සහෝදරයා කිසිදු වරදක් කර නැති බවත් ඔහු පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්ධතාවයක් නැති බවත් මීට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බදුර්දීන් හිටපු ඇමති සඳහන් කළේය.

එම බෝම්බ ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව පසුගිය රජය පැවති සමයේ පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ ද ඔප්පු වූ බව ඔහු සඳහන් කරයි.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ හිටපු ඇමතිවරයා ද මේ සම්බන්ධයෙන් නුදුරේදිම අත්අඩංගුවට ගනු ඇති බවයි ෴

+++++++++++++++++++++

හිටපු ඇමති රිෂාඩ්ගේ මල්ලිගෙන් ‘පාස්කු ප්‍රහාරකයාට’ ඇමතුම් හතක් – සහරාන්ට ප්‍රවාහන පහසුකමුත් දීලා

(16.04.2020 – 07:35+0530 – lankaleadnews.com)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති රිෂාඩ් බදියුද්දීන්ගේ සොහොයුරා පසුගිය වසරේ පාස්කු ඉරුදින මඩකළපුව සියෝන් දේවස්ථානයේදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් නමැත්තා සමග දුරකථන සංවාද හතක් (07) පවත්වා ඇති බව දුරකථන විශ්ලේෂණ වාර්තාවලින් හෙළි වී තිබේ.

මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා ඇමැති බදියුද්දීන්ගේ සොහොයුරු බදියුද්දීන් මොහොමඩ් රියාජ් පෙරේදා (14 වැනිදා) පුත්තලමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනුණි.

මොහු සමග අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා නීතිඥයකු වන අතර ඔහු මාවනැල්ල බුදුපිළිම කැඩූ ඉබ්‍රාහිම් සහෝදරයන් දෙදෙනාගේ කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයායි.

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් සහරාන් තමාගේ වාහනයෙන් රැගෙන ගිය බවට ලැබී ඇති තොරතුරු සනාථ කර ගැනීමට ද දැනට රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරමින් සිටියි. රාජ්‍ය නොවන සංවිධානයකට අයත් රුපියල් ලක්ෂ දහසක් ගිණුමක ඇතැයි කියන සිද්ධියක් ගැනද විමර්ශන අරඹා තිබේ ෴

+++++++++++++++++++++

රිෂාඩ් බදියුදීන්ගෙන් CIDයට පැය 4 ක ප්‍රකාශයක්

(16.04.2020 – 14:19 +0530 – sinhala.adaderana.lk)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය 04 කට ආසන්න කාලයක ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ඉන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

‘අද දෙරණ’ වාර්තාකරු පැවසුවේ මන්නාරම ප්‍රදේශයේ ඉඩම් සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි ෴

***************************************

පුත්තලමේ සුළඟින් හානිවූ විදුලි රැහැන් පිළිසකර කිරීම ඇරඹේ

(16.04.2020 – 10:44 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හරහා හමාගිය තද සුළඟින් හානිවූ විදුලි රැහැන් යළි යථා තත්ත්වය පත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ අද (16) පස්වරුව වනවිට විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

පුත්තලම – නවගත්තේගම ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් දස දහසකට පමණ තද සුළඟ හේතුවෙන් විදුලිය විසන්ධි වී තිබෙනවා. ඒ, විදුලි රැහැන් මතට ගස් කඩාවැටීම හේතුවෙන්.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය මැද වැඩිමිලට මත්පැන් විකිණූ හෝටල් අයිතිකරු අත්අඩංගුවට

(16.04.2020 – 10:26 +0530 – hirunews.lk/sinhala)

මාතර කද්දුව ප්‍රදේශයේදි මාර්ගයේ ගමන් කරමින් තිබූ සැකසහිත සුඛෝපභෝගි මෝටර් රථයක් පරික්ෂා කළ මාලිම්බඩ පොලීසියේ පොලිස් නිළධාරින් එහි ප්‍රවාහනය කරමින් තිබූ මත්පැන් බෝතල් තොගයක් සමග 35 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගැනිමට සමත් වූවා.

සැකකරුවන්ගෙන් සිදු කල ප්‍රශ්ණ කිරිම් වලදි මෙම මත්පැන් බෝතල් මාතර මාකදුර ප්‍රදේශයේන් මිලදි ගෙන වැඩි මිලට අලෙවි කිරිම සදහා මාතර දක්වා රැගෙන යමින් සිටි බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව පරික්ෂණ මෙහෙයවු මාලිම්බඩ පොලීසිය සහා මාතර කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් මාකදුර ප්‍රදේශයේ අදාළ පුද්ගලයාගේ නිවස වටලා විවිධ ප්‍රදේශ වලට අලෙවි කිරිමට සකස් කර තිබූ තවත් මත්පැන් බෝතල් විශාල තොගයක් සොයාගැනීමට සමත්වූවා.

එහිදී මෙම ජාවාරම මෙහෙයවු 55 හැවිරිදි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ වල මෙම සැකකරුට අයත් හෝටල් පවතින බවත් පවතින තත්වය හමුවේ ඒවා වසා දමා ඇති හෙයින් අලෙවි කිරිමට රැගෙන ආ මත්පැන් සැකකරු විසින් මෙලෙස නිවසට රැගෙන විත් වැඩි මිලට විවිධ පුද්ගලයින්ට අලෙවි කර ඇති බවයි ඔහුගෙන් සිදු කල ප්‍රශ්න කිරිම් වලදි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් කඹුරුපිටිය හා මාකදුර යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර ඔවුන් හෙට දිනයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

මාලිම්බඩ පොලීසියයි වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරන්නේ.

+++++++++++++++++++++++++++++++++++

ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදනයට ලංකාව සැරසෙයි

(16.04.2020 – 07:06 +0530 – sinhala.adaderana.lk)

අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය සහ එක්සත් ජාතින්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයින් අතර හමුවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදි පැවැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ලොවපුරා අවශ්‍යතාවයක්ව පවතින ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදනවලට පවති ඉල්ලුමට සරිලන ආකාරයේ නිෂ්පාදනයක් මෙරට තුළ සිදුකළ හැකිද යන්න පිළිබඳව මෙහිදි සාකච්ඡාවට ලක්ව තිබේ.

මෙම සාක්ච්ඡාවට ඩෙන්මාර්ක් සහ නේපාලයේ රැදිසිටින යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයින්ද විඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙහිදි සාකච්ඡා වු කරුණු අතර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට සතියක් සඳහා අත්වැසුම් මිලියනයක් සහ මුඛ ආවරණ මිලියන 10 ක අවශ්‍යතාවයක් පවතින බව අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ කර්මාන්ත ශාලා මඟින් එය ඉටුකරගත හැකිද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

මෙහිදි ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදන සඳහා මෙරට ඇඟලුම් කර්මාන්තවලට අවශ්‍ය කරන සම්බන්ධීකරණ කටයුතු සිදුකිරිමට ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලයේ මුලිකත්වයෙන් යුතු කම්ටුවක් පත්කළ බව හම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිළධාරින් සෘජුවම සම්බන්ධ කරගැනීමට වැඩපිළිවෙලක්

(16.04.2020 – 08:45 +0530 – sinhala.adaderana.lk)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන් වෙත සුදුසු පරිදි අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙල පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සි.කේ. අලහකෝන් මහතා විසින් මාධ්‍ය වෙත මෙම නිවේදනය නිකුත් කර තිබේ.

නව කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මේ වන විට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විෂය පථයට අදාළ වන වාහන ලියාපදිංචි කිරීමේ කටයුතු හා රියදුරු බලපත්‍ර නිකුත් කිරිමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

එසේ වුවද නිවසේ සිට රාජකාරී කිරීමේ රජයේ ප්‍රතිපත්ති අනුගතව මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුවේ සේවාලාභීන් වෙත සුදුසු පරිදි අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබා දීමේ වැඩපිළිවෙලක් ඇති කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව, වාහන ලියාපදිංචි කිරීම්, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම්, වාහන අංක තහඩු නිකුත් කිරීම් හා වාහන පරීක්ෂා කර කාර්මික වාර්තා ලබා ගැනීම ආදි කටයුතු දැනටමත් ආරම්භ කර එහෙත් එම සේවාවන් සම්පුර්ණ කරගත නොහැකි වු හා එම සේවාවන් පිළිබඳව තොරතුරු විශේෂයෙන් අවශ්‍ය වන පාර්ශවවල පහසුව සඳහා එම එක් එක් ක්ෂේත්‍රය පිළිබඳව වගකීම් දරණ නිළධාරින්ගේ ජංගම දුරකථන අංක ප්‍රකාශයට පත් කර තිබේ.

එම දුරකථන අංක සටහන පහත පරිද වේ :

Department of Motor Traffic by Nuwani Ruwinika Vitharana on Scribd

+++++++++++++++++++++++++++++++++++

හෙද පුහුණුව සඳහා On-line ක්‍රමයට අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කරයි

(16.04.2020 – 09:33 +0530 – sinhala.adaderana.lk)

හෙද පුහුණුව සඳහා (On-line) ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2020 මැයි මස 15 දින දක්වා දීර්ඝ කර ඇත.

Covid-19 වෛරසය හේතුවෙන් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් මෙය තීරණ කර තිබේ.

ඒ අනුව, හෙද පුහුණුව සඳහා අන්තර්ජාලය ඔස්සේ (On-line) ක්‍රමවේදය මගින් අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2020 මැයි මස 15 දින දක්වා දීර්ඝ කොට ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සදහන් කරයි ෴

+++++++++++++++++++++++++++++++++++

මහ බැංකුව බැංකු අනුපාතිකය අඩු කරයි

(16.04.2020 – 12:21 +0530 – sinhala.adaderana.lk)

අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු අනුපාතිකයන් අඩු කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (15) දිනයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව බැංකු අනුපාතිකය සියයට 15 සිට සියයට 10 දක්වා වූ පදනම් අංක 500 කින් අඩු කර තිබේ.

හදිසි අවස්ථාවකදී යොදා ගත හැකි පරිපාලනමය වශයෙන් තීන්දු කරනු ලබන අනුපාතිකයක් වන බැංකු අනුපාතිකය මෙලෙස අඩු කර ඇති බව ද අදාල නිවේදනයේ සදහන්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), 2019 මැයි මස 31 වන දින සිට සමස්තයක් ලෙස පදනම් අංක 200 බැගින් පහළ දැමීම සලකා බලමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අනුපාතිකය පදනම් අංක +300 ක ආන්තිකයක් සහිත ව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) හා අනුකූල ව ස්වයංක්‍රීය ව ගැළපීම සඳහා ඉඩ හැරීමට තීරණය කරනය කර ඇත.

ඒ අනුව, 2020 අප්‍රේල් මස 16 වන දින සිට එනම් අද සිට ක්‍රියාත්මක වන පරිදි, හදිසි අවස්ථාවන්වලදී යොදා ගත හැකි පරිපාලනමය වශයෙන් තීරණය කරනු ලබන අනුපාතිකයක් වන බැංකු අනුපාතිකය, සියයට 15.00 සිට සියයට 10.00 ක් දක්වා පදනම් අංක 500 කින් අඩු කර ඇත.

වාණිජ බැංකුවල තාවකාලික ද්‍රවශීලතා අරමුණු ඉටුකර ගනු වස් මහ බැංකුව අත්තිකාරම් ප්‍රදානය කිරීමේ දී ඒ සඳහා පැනවෙන පොලී අනුපාතිකය බැංකු අනුපාතිකය ලෙසින් හැඳින්වේ ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාධිත ගර්භනී මව්වරුන්ට ප්‍රතිකාර සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පහසුකම් පුළුල් කරයි

(16.04.2020 – 12:43 +0530 – sinhala.adaderana.lk)

නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් සිදු කරන ලද අළුත්වැඩියාවන් සහ උපකරණ කෙරෝනා ආසාධිත ගර්භනී මව්වරුන් හට ප්‍රතිකාර ලබා දීමේ රෝහලක් ලෙස රජය මගින් නවීකරණය කර ඇති නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත නිල වශයෙන් ලබා දීම ‍ඊයේ (15) දින සිදු කරන ලදි.

මෙම වෛරසය ආසාධිත රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දෙමින් සහ ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් තම ජීවිත අවධානමද නොතකා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන වෛද්‍ය සහ රෝහල් කාර්ය මණ්ඩලයන් සඳහාද අවශ්‍ය පහසුකම් ලබා දීමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සෘජු අධීක්‍ෂණය යටතේ මේ වන විට බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව රෝගීන් ඇතුලත් කිරීම සහ බාහිර නියැදි පරීක්‍ෂාව සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම, සමාජ දුරස්ථ භාවය රැක ගනිමින් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා කැමරා පද්ධතියක් සවි කිරීම, රෝගීන් සමග සන්නිවේදනය කිරීම සහ වෛද්‍යාධාර ලබා දීම සඳහා මෙඩි මේඩ් (Medimate) ස්වයංක්‍රීය යන්ත්‍රයක් ලබා දීම, රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව සඳහා විෂබීජහරණ කුටියක් රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කිරීම, වෛරසය ආසාධිත රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දීමට භාවිතා කරනු ලබන උපකරණ සහ ඇදුම් විෂබීජහරණය කිරීම සඳහා අධිතාප කුටීරයක් ඉදිකීරිම, රෝගීන් ගමන්කරනු ලබන මාර්ගයන් ජීවානුහරණය කිරීම සඳහා අධෝරක්ත කිරණ පද්ධතියක් රෝහල් පරිශ්‍රයේ ස්ථාන දෙකක ස්ථාපිත කිරීම සහ රෝහලෙහි විදුලි සෝපානයන් සඳහා අරක්‍ෂිත ක්‍රමවේදයක් සහිත ඉලෙක්ට්‍රෝනික නියාමන පද්ධතියක් සකස් කිරීම යන අළුත්වැඩියාවන් සහ උපකරණ ලබා දීම සිදු කරන ලදි.

+++++++++++++++++++++++++++++++++++

එදිනෙදා ජීවනෝපාය අහිමි පුද්ගලයන්ට රුපියල් 5000 දිමනාව 20 වන දා සිට

(16.04.2020 – 13:03 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමඟ රට තුල පීඩාවට පත්ව සිටින තවත් පාර්ශව කිහිපයක් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කිරීමත් සමග එම ප්‍රතිලාභ ලබාදීමට අදාලව වැඩපිළිවෙල දියත් කිරිම පිළිබද විශේෂ සාකච්ඡාවක් අද දින (16) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ දි පැවැත්විනි.

මෙම සාකච්ඡාවේ දී කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමග රට තුල පීඩාවට පත්ව සිටින අනෙකුත් ප්‍රතිලාභීන් තේරිමේ ක්‍රියාවලින් 2020.04.17 සහ 18 දෙදින ආරම්භ කර 2020.04.19 දින හෝ ඊට පෙර ග්‍රාමිය කමිටු නිර්දේශ සහිතව ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීමේ කටයුතු පිළිබදවත්, මෙම ගෙවීම් 2020.04.20 වන දා සිට සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස් හා නිර්දේශ අනුගමනය කරමින් ගෙවීම් ආරම්භ කිරීමට අදාලව දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම වැඩපිලිවෙල යටතේ මධ්‍යම රජය හා පළාත් සභාවලින් නිර්දේශ කර එවා ඇති පෙරපාසල් ගුරුවරුන්, පුද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තර වරුන්, රජයේ සේවයේ නොයෙදෙන ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්, හස්ත කර්මාන්තකරුවන්, අත්යන්ත්‍ර පේෂකර්මාන්ත කරුවන්, උසාවි මගින් නඩත්තු දීමනා ලබන කාන්තාවන්, ආදායම් අහිමි කුඩා තේ වතු හිමියන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් යන රැකියා කාණ්ඩවල පවුල් ඒකක වලට මෙම දීමනා ගෙවීම සිදුකරනු ඇත.

මීට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ,කාර්මාන්ත ක්ෂේත්‍රයේ, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් සේවා සපයන, ග්‍රාමීයව අලෙවිකරණයේ යෙදෙන, රැකියාවල නියලුන පුද්ගලයින් සදහා රුපියල් 5,000 දීමනාව ලබාදීමට තීරණය කර තිබේ.

මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ඒ.එස්.එම්.එස්.මහානාම,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි , අමාත්‍යතුමීයගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ ෴

+++++++++++++++++++++++++++++++++++

විදෙස් තැපැල් සේවයෙන් ගෙන්වු භාණ්ඩ හෙට (17) සිට රේගුවෙන් නිදහස්

(16.04.2020 – 14:09 +0530 – sinhala.adaderana.lk)

විදෙස් තැපැල් සේවාව හරහා ගෙන්වනු ලබන භාණ්ඩ හෙට (17) සිට රේගුවෙන් නිදහස් කරන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.බී රවිප්‍රිය මහතා පවසයි.

අද (16) පෙරවැවේ ‘අද දෙරණ බිග් ෆෝකස්’ සංවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඇඳිරි නීති බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාවක් නොමැති නම් ඒ සඳහාද පහසුකම් සලසා ඇති බවත් ඒ සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ද පත් කර ඇති බව රේගු අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ සම්බන්දයෙන් දැනුම්වත් කිරීම් සිදු කරන අතර දිස්ත්‍රික්ක වශයෙන් මෙම කටයුතු සිදු කරන බව ඒ මහතා ප්‍රකාශ ක‍ළේය.

එහිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා ඒ සම්බන්දයෙන් පැහැදිලි කිරීමක් සිදු කළේය.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා මැඩලන්න මේ වනවිට ඖෂධයක් සොයාගෙන ද ? ඇත්ත නැත්ත

(16.04.2020 – 12:20 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛර්සය සඳහා මෙතෙක් ඖෂධයක් සොයාගෙන නොමැති බව මහජන අවබෝධය පිළිබඳව ලෝක කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විජේරත්න මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් මහාචාර්යවරයා හිරු පුවත් වෙත සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *