වසර 6300 ක්‌ පැරණි මිනිස් ලේ පැල්ලමක්‌ බලංගොඩින් සොයාගැනේ..

(25.11.2017 – nethgossip.lk)

වසර 6300 ක්‌ පැරණි මිනිස් ලේ පැල්ලමක්‌ බලංගොඩින් සොයාගැනේ.. ලොව මෙවැනි රුධිර පැල්ලම් අති දුර්ලභයි.. – ලංකා ඉතිහාසයට නව පිටුවක්‌ එක්වෙන හැටි මෙන්න

බලංගොඩ – වැලිගේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඉලුක්‌කුඹුර සහ පනාන ගම් ප්‍රදේශයේ ගල් ගුහාවක කරන ලද කැණීමකදී අති පුරාණ ලේ පැල්ලමක්‌ පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් ලුණුගල්ගේ නමින් හඳුන්වන මෙම ගල් ගුහාවේ 2015 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාඡ් සෝමදාස ඇතුළු පිරිස විසින් කරනු ලැබූ කැණීමකදී මෙම ලේ පැල්ලම සොයා ගෙන ඇත්තේ.

ලෝකයේ මෙවැනි අති පුරාණ මිනිස්‌ රුධිර පැල්ලම් වාර්තා වී තිබෙන්නේ දහසකට අඩු සංඛ්‍යාවක්‌ වන අතර පුරාණ මිනිස් ශිෂ්ටාචාරය සම්බන්ධ ඉතිහාසය සොයා යාමට මෙවන් මෙවලම් ඉතා වැදගත් සාක්ෂි සපයන බව පොදු පිළිගැනීම වනවා.

භාවිත වර්ෂ අනුව අවුරුදු 6300 කට වඩා පැරණි මෙම රුධිර පැල්ලම පිළිබඳ වැඩි දුරටත් අධ්‍යයනය කිරීමට මෙය රාගම වෛද්‍ය පීඨයට යවා ඇති බවයි වාර්තා වන්නේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාඡ් සෝමදේව මහතා මෙම සොයා ගැනීම පිළිබඳව මෙසේ පැවසුවා,

අපිට මෙම ගල් මෙවලම හමුවූයේ 2015 වසරේදීයි. මෙය ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගල් මෙවලමක්‌. මෙම ගල් මෙවලමේ තිබූ පැල්ලම ලේ පැල්ලමක්‌ යෑයි මා අනුමාන කර එය බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනය හරහා අදාළ විද්‍යාත්මක පර්යේෂණන් සිදුකරනු ලැබුවා. ඒ පිළිබඳව ලබාගත් ඉලෙක්‌ට්‍රෝනික පරිලෝකන අන්වීක්‌ෂ ඡායාරූප මගින් මිනිස්‌ රුධිරයට අයත් බව තහවුරු වුණා.

එම ගල් මෙවලම තැන්පත්ව පස්‌ ස්‌ථර විද්‍යාත්මක කාලනිර්ණය කිරීමෙන් මෙම රුධිර පැල්ලම ක්‍රිස්‌තුපූර්ව 4300 – 3900 අතර කාලයට අයත් බව සනාථ වුණා. ඒ අනුව මෙම රුධිර පැල්ලම සහිත මෙවලම භාවිත වර්ෂ අනුව අවුරුදු 6300 ක්‌ පැරණි කාලයට අයත් වූවක්‌ යෑයි අනාවරණය වුණා. වැඩිදුර මෙය අධ්‍යනය කිරීම සඳහා මෙම ගල් මෙවලම රාගම වෛද්‍ය පීඨයට යවා තිබෙනවා.

නිවර්තන කලාපීය වියළි ගල් ගුහා අභ්‍යන්තරයේ පවතින ආංශුක පරිසර තත්ත්වය මෙවැනි ජීවවිද්‍යාත්මක සලකුණු දීර්ඝ කාලයක්‌ තිස්‌සේ සුරකිව තිබෙන්නට ඇතැයි සිතනවා. ලෝකයේ මෙවැනි අති පුරාණ මිනිස්‌ රුධිර පැල්ලම් වාර්තා වී තිබෙන්නේ දහසකට අඩු සංඛ්‍යාවක්‌. එවැනි දේ අධ්‍යනය කිරීම සඳහා රුධිර හායන විද්‍යාව (haemo – taphonomy) නමින් උප ශික්‌ෂණයක්‌ දැන් ලෝකයේ දියුණුවී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *