සඳුදා සිට ඇඳිරි නීතිය ඉවත් කරන්න සුදානමක් – සේවයට කැඳවීමට නියමිතව ඇත්තේ 20% ක් පමණයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සඳුදා සිට ඇඳිරි නීතිය ඉවත් කරන්න සුදානමක් – සේවයට කැඳවීමට නියමිතව ඇත්තේ 20% ක් පමණයි

• ඇඳිරි නීතිය ලිහිල් කිරීමට ජනපතිගේ අවධානය (විඩියෝ)

• කොරෝනා වෛරසය සමාජය තුළ තවදුරටත්, පැතිර යාමක් නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

• වෛද්‍ය මතයට සවන් දුන් නිසා කොරෝනා ව්‍යාප්තිය අවම වුණා – සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා (විඩියෝ)

• උගුර, කන, නාසය රෝගීන්ට සුබ ආරංචියක් (විඩියෝ)

• මධ්‍යම තැපැල් හුවමාරුවේ වැඩ ඇරඹේ

• ලොව පුරා කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 146,872 දක්වා ඉහළට

• තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් සුවයලබා පිටව යයි

• ආරක්ෂක ලේකම්වරයා උතුරේ සංචාරයක

• සමාජ මාධ්‍ය අසත්‍ය ප්‍රචාරයන් ගැන මැඩිල්ලේ හිමියන්ගෙන් පොලිසියට පැමිණිල්ලක් (විඩියෝ)

• දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 29,694 අත්අඩංගුවට

• කොවිඩ්-19 අරමුදලේ ශේෂය මිලියන 700 ඉක්මවයි

• PCR පරීක්ෂණයට නව නිර්මාණයක් (විඩියෝ)

• ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශලා යළි ආරම්භ කිරීමේ තීරණයක් (විඩියෝ)

• ලොව පුරා අතරමංව සිටින ලාංකිකයින් 59,000 කට අධික පිරිසක් ලියාපදිංචි වෙයි

• විදෙස් රටවල සිරවී සිටින සිසුන්ට නව බලාපොරොත්තුවක්

• රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවිය යුතුයි – GMOA (විඩියෝ)

• මැනිං වෙළඳපොළට එළවළු හා පළතුරු අලෙවිකළ සියලුම වෙළඳුන්ට දැනුම් දීමක්

• COVID 19 ආසාදිත දැයි සෙම පටල පරික්ෂාව කළ හැකි උපකරණයක් IDH රෝහලට (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

සඳුදා සිට ඇඳිරි නීතිය ඉවත් කරන්න සුදානමක් – සේවයට කැඳවීමට නියමිතව ඇත්තේ 20% ක් පමණයි

(17.04.2020 – 06:51 +0530 – truenews.lk)

එලැඹෙන සඳුදා (20) දිනයේ සිට දිවා කාලයේදී රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා.

මේ අනුව දිනපතා පෙ.ව. 6.00 ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය යළි පැනවෙන්නේ රාත්‍රී 8.00 ටය.

කෙසේ වෙතත් අවදානම් කලාප ලෙස හඳුනාගෙන දැනට වසා දමා ඇති ප්‍රදේශ තවදුරටත් එලෙසින්ම පවතිනු ඇතැයි වාර්තා වනවා.

දිවා කාලයේ ඇඳිරි නීතිය ඉවත් කළ ද සේවයට කැඳවීමට නියමිතව ඇත්තේ රජයේ සේවකයන්ගෙන් 20% ක ප්‍රමාණයක් බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

පෙ.ව. 6.00 ට ඇඳිරි නීතිය ඉවත් කළ ද පෞද්ගලික අංශයට රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නිර්දේශ වී ඇත්තේ පෙ.ව. 10.00 ටයි.

රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාල කටයුතු ආරම්භ වුවත් සියලුම සේවකයන්ට රාත්‍රි 8.00 වන විට නිවෙස්වලට යෑමට හැකිවන පරිදි සේවා මුර සකස් කර ගත යුතුවනු තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය ලිහිල් කිරීමට ජනපතිගේ අවධානය

(17.04.2020 – 09:32 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් වසංගතය නිසා අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කොට ආර්ථිකය යළි පණගැන්වීම පිණිස සැලසුම් කළ උපාය මාර්ගය රජය විසින් මේ සති අන්තයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළ යුතු බවටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා අවධාරණය කළේ.

රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊට අදාළ සාකච්ඡාවක් පැවති අතර, ඊට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

රාජකාරි කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යා හැකි අන්දමින් ඇඳිරි නීතිය ලිහිල් කිරීම කෙරෙහි මෙහිදී සාකච්ඡා කෙරුණා.

ජනතාව ඒකරාශී වීමට ඉඩ නොතබා නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සේවා කටයුතු පවත්වාගෙන යෑමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් වෙත පවරා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කෘෂි, ධීවර සහ ව්‍යාපාර ඇතුලු කර්මාන්ත ආයතන යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමේදී ඊට අවශ්‍ය සහය අමාත්‍යාංශ වෙතින් ලබාදීමට ක්‍රියාකරන ලෙස ජනාධිපතිවරයා ලේකම්වරුන්ට දැනුම්දී තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරසය සමාජය තුළ තවදුරටත්, පැතිර යාමක් නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

(17.04.2020 – 13:05 +0530 – hirunews.lk/sinhala)

අවදානම් කාලසීමාව පසුකරමින් සිටියද මේ වනතුරුත් ශ්‍රී ලංකාව කොරෝනා වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වීමේ තත්ත්වයකට පැමිණ නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරයාමේ වත්මන් තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදීයි.

ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා බුද්ධි අංශ සහ සෞඛ්‍ය අංශ අනුගමනය කළ අඛන්ඩ ක්‍රියාමාර්ග සහ මුල් අවස්ථාවේ සිට ආසාදිතයන් වෙන්කොට ප්‍රතිකාර කිරීම මෙන්ම සාර්ථක නිරෝධායන වැඩපිලිවෙල ඊට හේතු වූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

කොරෝනා ආසාදිත රෝගියෙකු ගුණසිංහපුර ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමඟ ඔහු සමඟ සම්බන්ධ වූ පුද්ගලයන් 300 දෙනෙකු පමණ පිරිසක් මේ වනවිට වේල්ලවීථිය පොලිස් ස්ථානය ආසන්නයේ ස්ථානයක හුදෙකලා කර තිබෙනවා.

එලෙස වෙන්කර සිටි පිරිස අතර පුද්ගලයින් දෙදෙනෙකු කොරෝනා බවට සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඊයේ (16) රෝහල් ගතකර ඇති අතර, ඉන් එක් අයෙකු කොළඹ ජාතික රෝහලෙන් පළාගොස් ඇති බවයි මැදකොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේ.

බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් සොයාගත් කොරෝනා ආසාදිත කාන්තාවගේ පවුලේ සියලු දෙනා මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඇයගේ ස්වාමි පුරුෂයාට සහ පුතුන් දෙදෙනෙකුට එම වෛරසය ආසාදනය වී නොමැති බව ඉන් තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත්, බාල පුත්‍රයාගේ වාර්තාව මේ දක්වා ලැබී නැහැ. එමෙන්ම, ඇය සමඟ සමීප සබඳතා පැවැත් වූ 16 දෙනෙකු නාවික හමුදාව මගින් නිරෝධායනය සඳහා යොමුකිරීමට පියවර ගත් බවයි මැදකොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේ.

කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 238 දෙනෙකු මෙරටින් වාර්තා වන අතර, ඉන් 68 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 163 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර, අද (17) දිනයේදී නිරෝධායන මධ්‍යස්ථානවල සිටින තවත් 200 කට අධික පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතයි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ තවත් 220 දෙනෙකු අද (17) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ අවසන් වීමෙන් පසු නිවෙස් වෙත යෑමටද නියමිතව ඇති බවයි.

මේ අතර, ඇඳිරි නීතිය කඩ කළ තවත් පුද්ගලයින් 1,129 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ගත වූ දින 28 ක කාලසීමාව තුළ ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 30,288 ක්.

එමෙන්ම, මෙම කාලසීමාව තුළ රථවාහන 7,770 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

වෛද්‍ය මතයට සවන් දුන් නිසා කොරෝනා ව්‍යාප්තිය අවම වුණා – සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා

(17.04.2020 – 13:00 +0530 – hirunews.lk/sinhala)

විශේෂඥ වෛද්‍ය මතයන්ට මුල් තැන දෙමින් කටයුතු කළ නිසා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම අවම කර ගැනීමට රජයට හැකි වූ බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

හිරු ටී.වී. ඔස්සේ අද (17) විකාශය වූ ‘රට සහ හෙට’ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා.

+++++++++++++++++++++++++++++++++++

උගුර, කන, නාසය රෝගීන්ට සුබ ආරංචියක්

(17.04.2020 – 13:00 +0530 – hirunews.lk/sinhala)

රෝගියා අසලට නොගොස් ඔහුගේ උගුර,කන සහ නාසය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට හැකි උපකරණයක් නිෂ්පාදනය කිරීමට හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය රිශ්නි සාකාෆ් මහතා සමත් වී තිබෙනවා.

සාමාන්‍ය ආකාරයට රෝගියෙකුගේ උගුර, කන සහ නාසය නිරීක්ෂණය කිරීමේදී වෛද්‍යවරයා ඔහු හෝ ඇය අසලටම යාම සිදු කළ යුතු වනවා.

මෙම තත්ත්වය නිසා යම් රෝගියෙකු සතු විෂබීජ, වෛද්‍යවරයා වෙත ආසාධනය වීමේ ප්‍රවනතාවය වැඩි බව විශේෂඥ වෛද්‍ය රිශ්නි සාකාෆ් මහතා සදහන් කළා.

වෛද්‍ය රිශ්වි සකාෆ් මහතා විසින් නිෂ්පාදනය කර ඇති නව උපකරණයේ ඇති කැමරාව තුළින් රෝගියාගේ උගුර, කන හෝ නාසය ඇතුළත පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබෙනවා.

එමෙන්ම නිරීක්ෂණයේදී ලබා ගන්නා ඡායාරූප සහ වීඩියෝ දර්ශණ උපකාරී කරගෙන රෝගියාට වැඩිදුර ප්‍රතිකාර කිරීම සදහා උපදෙස් ලබා ගැනීම පවා කළ හැකි බවයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ.

නව උපකරණය බිත්තියකට සවි කිරීම තුළින් රෝගියා සහ වෛද්‍යවරයා අතර ඇති දුරස්ථ භාවය තව දුරටත් රදවා ගත හැකි බවද වෛද්‍යවරයා සඳහන් කළා.

මෙවැනි උපකරණයක් මෙරට හෝ විදෙස් රටක මෙතෙක් නිෂ්පාදනය කර නොමැති බවත්, සැතපුම් කීපයක් දුර සිට හෝ රෝගියෙකු නිරීක්ෂණය කිරීමේ උපකරණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තමන්ට ඇති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම උපකරණය තුළින් තම රෝහලට පැමිනෙන රෝගීන්ට කඩිනමින් ගැටළුවකින් තොරව ප්‍රතිකාර කිරීමට හැකියාව පවතින බවද හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල මල්ලවාරච්චි මහතා කියා සිටියා.

+++++++++++++++++++++++++++++++++++

මධ්‍යම තැපැල් හුවමාරුවේ වැඩ ඇරඹේ

(17.04.2020 – 12:54 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී ඇති තැපැල් භාණ්ඩ තේරීම් කටයුතු අද (17) ආරම්භ කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ රේගුව සමඟ එක්ව එම කටයුතු සිදුකරන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

එම තැපැල් භාණ්ඩ බෙදා හැරීමෙන් පසු, තැපැල් කවුළු විවෘත කිරීම, ඇඳිරි නීතිය ලිහිල් කිරීම මත පදනම්ව තීරණය කරන බව ද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා ෴

+++++++++++++++++++++++++++++++++++

ලොව පුරා කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 146,872 දක්වා ඉහළට

(17.04.2020 – 12:50 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව මේ වන විට 146,872 දක්වා ඉහළ ගොස් ඇති අතර, මුළු ආසාදිත සංඛ්‍යාව 21,83,908 ක්.

මේ අතර කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ රට වන ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව මේ වන විට 34,617 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරට මුළු ආසාදිත සංඛ්‍යාව 677,570 ක්.

ඇමරිකා එක්සත් ජනපදයේ ගත වූ පැය 24 තුළ නව කොරෝනා මරණ 4491 ක් වාර්තා වී ඇති බවයි නිකුත් වී ඇති දත්ත වලින් පෙනී යන්නේ.

එය කොරෝනා වෛරස් ගෝලීය වසංගතය ආරම්භ වීමෙන් පසු ලොව ඕනෑම රටකින් දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.

කෙසේ නමුත්, ගත වූ පැය 24 තුළ ඇමරිකාවේ නව කොරෝනා මරණ සංඛ්‍යාවට නියත වශයෙන්ම සිදුවිය හැකි මරණ ද එක් කර තිබීම විශේෂත්වයක්.

එය මෙතෙක් දිනක කොවිඩ් නයින්ටීන් මරණ ගණනය කිරීමේදී එකතු නොකළ දත්ත විශේෂයක්.

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතයේ කේන්ද්‍රය වූ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරය, එහි සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාවට සංශෝධනයක් එක් කර තිබෙනවා.

නාගරික පරිපාලනය මගින් අද ප්‍රකාශ කළේ කොවිඩ් නයින්ටීන් ආසාදනයෙන් වූහාන් නගරයේ මිය ගිය සංඛ්‍යාව 3869 ක් බවයි.

එය කලින් ප්‍රකාශිත මරණ සංඛ්‍යාවට 1290 ක් එක්වීමක්.

ඊට හේතු ලෙස වූහාන් නගර පරිපාලනය සඳහන් කර ඇත්තේ ඇතැම් කොවිඩ් නයින්ටීන් මරණ අත්වැරදීම් හේතුවෙන් වාර්තා වී නොමැති බවයි.

මෙලෙස වූහාන් නගරයේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ වෛරසයෙන් චීනයේ සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 4632 ක් දක්වා ඉහළ යනවා.

මේ අතර, ඉන්දියාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැයි මාසයේ පළමු සතියේදී උපරිම තත්ත්වයට පත් වනු ඇති අතර ඉන් පසු එහි අඩුවීමක් දක්නට ලැබෙනු ඇතැයි අභ්‍යන්තර ඇගයීමකින් හෙළි වී තිබෙනවා.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය අද ඒ බව වාර්තා කළා.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දින 21 කට වසා දමා තිබූ ඉන්දියාවේ එම සීමාවන් මැයි 3 වන දා දක්වා දීර්ඝ කළ ද ආර්ථික ක්‍රියාකාරකම් සඳහා යම් ලිහිල් කිරීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙසේ නමුත්, ඉන්දීය රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ ඉදිරි සතිය ඉන්දියාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක බවයි.

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 13,000 ඉක්මවා ඇති අතර, එරටින් කොරෝනා මරණ 448 ක් ද වාර්තා වුණා.

මේ වන විට ඉන්දියාව තුළ කොරෝනා වෛරසය හේතුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන තුළ හෝ ස්වයං නිරෝධායනයට ලක් වන සංඛ්‍යාව 3,60,000 කට අධිකයි.

එමෙන්ම, සිංගප්පූරුවේ කොරෝනා වෛරස් නව ආසාදිතයන් ඊයේ දිනයේදී කැපී පෙනෙන ලෙස 728 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 4427ක් වන අතර, සිංගප්පුරුවේ කොරෝනා මරණ 10 ක් ද වාර්තා වුණා.

ඊයේ දිනයේදී වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින්ගෙන් 654 දෙනෙකුම සොයාගෙන ඇත්තේ විදේශීය ශ්‍රමිකයන්ගේ නේවාසිකාගාරවල සිදුකළ පරීක්ෂා කිරීම්වලින්. තවත් 26 දෙනෙකු එම නේවාසිකාගාරවලින් පිටත රැඳී සිටි විදේශීය ශ්‍රමිකයන්.

සිංගප්පූරු වැසියන් 48 දෙනෙකු ද කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ සොයා ගැනුණා.

නව ආසාදිතයන් අතර 7 හැවිරිදි පිරිමි ළමයෙකු සහ 13 හැවිරිදි ගැහැණු ළමයෙකු ද සිටින බව සඳහන්.

සිංගප්පූරුවේ නව ආසාදිතයන් සාමාන්‍යයෙන් දිනකට 9 දෙනෙකු පමණ වාර්තා වුවද විදේශීය ශ්‍රමිකයන්ගේ නේවාසිකාගාර පරීක්ෂා කිරීමට පටන් ගැනීමත් සමඟ එම සංඛ්‍යාව දිනකට 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් සුවයලබා පිටව යයි

(17.04.2020 – 12:42 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙක් සුවයලබා රෝහලෙන් පිටවගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 70 ක් දක්වා ඉහලගොස් තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ආරක්ෂක ලේකම්වරයා උතුරේ සංචාරයක

(17.04.2020 – 11:09 +0530 – hirunews.lk/sinhala)

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද (17) පෙරවරුවේ උතුරු පළාතේ සංචාරයකට එක්වුණා.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දින ගණනක් වසා දමා ඇති යාපනය දිස්ත්‍රික්කයේ ජන ජීවිතය පිළිබදව අවධානය යොමු කිරීම සහ උතුර පළාතේ ආරක්ෂක තත්ත්වය නිරීක්ෂණය කිරීම මෙම සංචාරයේ අරමුණ වී ඇති බව සඳහන්.

එහිදී ආරක්ෂක ලේකම්වරයා උතුරු පළාතේ රාජකාරිවල නිරත ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුවදුක් විමසා ඇති අතර, ඔවුන්ට නව වසර වෙනුවෙන් සුභාශිංසන ද එක් කර තිබෙනවා.

අද (17) පස්වරුවේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා, නැගෙනහිර පළාතේ ද සංචාරය කිරීමට නියමිත බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

සමාජ මාධ්‍ය අසත්‍ය ප්‍රචාරයන් ගැන මැඩිල්ලේ හිමියන්ගෙන් පොලිසියට පැමිණිල්ලක්

(17.04.2020 – 08:38 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හමුවේ රජය සහ මාධ්‍ය සිදුකරන සේවය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවයන් සමාජ මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාරයන් සිදුකරන බව සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ ඊයේ (16) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කිරීම සදහා පැමිණියා.

+++++++++++++++++++++++++++++++++++

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 29,694 අත්අඩංගුවට

(17.04.2020 – 07:53 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අතරතුර එය කඩ කළ පුද්ගලයන් 29,694 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 7,646 ක්.

ඊයේ (16) දහවල් දොලහේ සිට සවස හය දක්වා පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 331 දෙනෙකු සහ වාහන 72 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

එමෙන්ම, ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කොළඹ මහ නගර සභාව මගින් පාලනය වන මාර්ගයන්හි වාහන නැවතුම් ගාස්තු අය කිරීම සඳහා කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලය පවරා නොමැති බව කොළඹ මහ නගර සභාව දැනුම් දෙනවා.

මේ අතර, මේ වනවිට කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් 238 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 68 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (16) දිනයේදී කිසිදු රෝගියෙකු වාර්තා නොවූ අතර, දැනට කොරෝනා පරීක්ෂණ 8,000 ක් පමණ සිදුකර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ්-19 අරමුදලේ ශේෂය මිලියන 700 ඉක්මවයි

(17.04.2020 – 06:48 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය මේ වනවිට රුපියල් මිලියන 703 ඉක්මවා තිබෙනවා.

ඊයේ (16) දිනයේදී ද තවත් පරිත්‍යාග කිහිපයක් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ගංගාරාම වෙසක් අරමුදලෙහි රුපියල් මිලියන 10 ක් විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් විසින් ලබාදී ඇති අතර, කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය ද රුපියල් මිලියන 2.5 ක් ඊයේ (16) එම අරමුදල වෙත ලබාදී ඇති බව සඳහන්.

මීට අමතරව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ද රුපියල් මිලියන 2.5 ක් කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත ඊයේ (16) ලබාදී තිබෙනවා.

මේ අතර, සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සභාපති සහ ලංකාරාමාධිපති පූජ්‍ය කේ.ගුණරතන හිමියන්, ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය එක්ව කොවිඩ් 19 මර්දනයට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් ජනාධිපති කාර්යාලය වෙත භාර දෙනු ලැබුවා.

පෞද්ගලික ආරක්ෂිත උපකරණ සහ උෂ්ණත්ව මාන වලින් සමන්විත මෙම උපකරණවල වටිනාකම රුපියල් මිලියන 10 කට අධික වන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

චින රජය මගින් ශ්‍රී ලංකාව වෙත ප්‍රධානය කෙරෙන වෛද්‍ය ආධාර තොගයේ තවත් කොටසක් අද (17) දිවයිනට රැගෙන එමට නියමිතයි.

චින තනාපති කාර්යාලට නිවේදනය කළේ ෂැංහයි නුවර සිට කටුනායක දක්වා එම වෛද්‍ය ආධාර තොගය ගුවන් මගින් මෙරටට රැගෙන එන බවයි.

කොරෝනා වෛරසය පරික්ෂා කරන PCR කට්ටල 20,000 ක්, සෞඛ්‍ය සේවකයින් සඳහා ආරක්ෂිත මුහුණු ආවරණ 10,000 ක්, ශල්‍ය මුහුණු ආවරණ ලක්ෂයක් සහ ඇස් ආවරණ කට්ටල 1000 ක් ඇතුළු ඇමරිකානු ඩොලර් හය ලක්ෂ 93,191 ක් වටිනා වෛද්‍ය උපකරණ ඊට ඇතුළත්.

ශ්‍රී ලංකා රජය සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය කොරෝනා වසංගතයට එරෙහිව සිදුකරන සටනේ සාර්ථකත්වයට චීනය විසින් සුබ පැතුම් ද එක් කර තිබෙනවා.

මේ අතර, අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ රටවල තානාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (16) අරලියගහ මන්දිරයේදී විශේෂ හමුවක් සිදුව තිබෙනවා.

ඇමරිකාව, එංගලන්තය, යුරෝපා සංගමය, ඕස්ට්‍රේලියාව, සහ කැනඩාව යන රටවල මෙරට සිටින තානාපතිවරුන් සහ නියෝජිතයින් ඊට එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

කොරෝනා උවදුර හමුවේ මෙරට රජය සහ ජනතාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව එහිදී එම නියෝජිතයින්ගේ ප්‍රසාදය ශ්‍රී ලංකා රජයට පිරිනමා ඇති අතර, ඉදිරි කටයුතු සඳහා ඔවුන්ගේ සහය ලබාදෙන බවට ද එහිදී ප්‍රකාශ කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

PCR පරීක්ෂණයට නව නිර්මාණයක්

(16.04.2020 – 21:45 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා කෙරෙන මූලිකම පරීක්ෂණය වන්නේ PCR පරීක්ෂණයයි.

ඒ සඳහා සාම්පල ලබාගැනීමේදී වඩා කාර්යක්ෂම සහ ඉහළ නිරවද්‍යතාවක් සහිත නව නිර්මාණයක් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය විසින් හඳුන්වාදී තිබෙනවා.

හෝමාගම පිහිටි ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය මෙම ජෛව සාම්පල ලබාගැනීමේ උපකරණය සකස් කර ඇත්තේ රජයේ සහ පෞද්ගලික ආයතන කිහිපයක සහයෝගය ඇතිවයි.

මෙහි විශේෂත්වය වන්නේ ජෛව සාම්පල ලබා ගැනීමේදී දැනට භාවිත කෙරෙන සාමාන්‍ය උපකරණයට වඩා විධිමත් අයුරින් එහි කෙඳි සකසා තිබීමයි.

මේ අතර, කොළඹ වෛද්‍ය පීඨයේ සිසුවෙකු විසින් නිර්මාණය කළ යාන්ත්‍රික පපු තෙරපුම් යන්ත්‍රයක් පිළිබඳ පසුගිය 10 වැනිදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප වාර්තා කළා.

ඔහුගේ එම නිර්මාණය වැඩිදියුණු කිරීම සඳහා ජාතික තරුණ සේවා සභාව අනුග්‍රාහකත්වය දක්වා ඇති අතර, එම යන්ත්‍රය කොළඹ වෛද්‍ය පිඨ බලධාරීන් හමුවට අද (16) ඉදිරිපත් කෙරුණා.

+++++++++++++++++++++++++++++++++++

ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශලා යළි ආරම්භ කිරීමේ තීරණයක්

(16.04.2020 – 20:57 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශලා එහි නිෂ්පාදන කටයුතු යළි ක්‍රමානුකූලව ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේද හා මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම මඟපෙන්වීම සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින්.

ඒ අනුව කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමට අවශ්‍ය ඇඳිරී නීති බලපත්‍ර ලබාගැනීම සඳහා ranjithd@boi.lk විද්‍යුත් ලිපිනයෙන් ඉල්ලුම් කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා ඉල්ලීමක් කළා.

ක්‍රමානුකූලව ආර්ථිකය විවෘත කරමින් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුවීමත් සමඟ ඊට ශක්තියක් ලබාදෙමින් ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම ගැනීම මෙහි අරමුණ බවයි සංජය මොහොට්ටාල මහතා ප්‍රකාශ කළේ.

+++++++++++++++++++++++++++++++++++

ලොව පුරා අතරමංව සිටින ලාංකිකයින් 59,000 කට අධික පිරිසක් ලියාපදිංචි වෙයි

(17.04.2020 – 08:34 +0530 – sinhala.adaderana.lk)

ලොව පුරා පැතිර යමින් පවතින කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් විවිධ රටවල අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් 59,000 කට අධික පිරිසක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

විවිධ රටවල අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සහන සැලසීම සඳහා පසුගිය මාර්තු මස අගභාගයේ දී මෙම වැඩසටහන විදේශ සබඳතා අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලැබීය.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 59,419 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මොවුන්ගෙන් 21,575 දෙනෙකු මැද පෙරදිග කලාපයේ පදිංචි පුද්ගලයින් බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව පවතින තත්ත්වය හමුවේ මැදපෙරදිග රැදී සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ලබාදෙන සහය වේගවත් කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

මීට අදාළ සාකච්ඡාවක් විදේශ ලේකම් රවීනාත ආරියසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර මෙහිදි විදෙස් රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල හා කොන්සල් කාර්යාලවල තානාපතිවරුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මන්ත්‍රණයකට ද එක්වූ බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙහිදි ඉහළ යමින් පවතින විරැකියා ගැටළුව කොන්ත්‍රාත්තු අහිමිවීම්, වැඩ බලපත්‍ර දීර්ඝ නොකිරීම සහ තාවකාලිකව නිදහස් රැකියා නතර කිරීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබේ.

ඒ අනුව ශ්‍රමික කොටස්වලට ඔවුන්ගේ මූලික ජීවන තත්ත්වයන් පවත්වාගෙන යාමටත් ඔවුන්ගේ නිවෙස්වල සිටින පවුල්වලට සහය වීමත් කෙරෙහි අවධානය යොමුව ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම දැනට උද්ගතව ඇති ගැටළුකාරී තත්ත්වයන් පිළිබඳව සොයා බලා අවශ්‍ය විසඳුම් ලබාදීමට විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට උපදෙස් ලබා දී තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බවට සැකකරනු ලබන හෝ එය ආසාදනය වීම හේතුවෙන් වෛද්‍ය ආධාර ඉල්ලා සිටින ශ්‍රී ලාංකිකයින්ට අදාළ වෛද්යෙ පහසුකම් සැපයිමට ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද විදේශ ලේකම්වරයා මෙහිදි වැඩිදුරටත් උපදෙස් ලබා දි ඇති බව සඳහන්‍ වෙයි ෴

+++++++++++++++++++++++++++++++++++

විදෙස් රටවල සිරවී සිටින සිසුන්ට නව බලාපොරොත්තුවක්

(17.04.2020 – 13:35 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්ත්වය තුළ විදෙස් රටවල අධ්‍යාපනය සඳහා පිටත්ව ගොස් දිවයිනට පැමිණීමට නොහැකිව සිටින සිසුන් ගෙන්වා ගැනීම සඳහා ඉදිරි දින කිහිපය තුළදී විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

ජනාධිපතිවරයා විසින් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴

+++++++++++++++++++++++++++++++++++

රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවිය යුතුයි – GMOA

(17.04.2020 – 12:48 +0530 – sinhala.adaderana.lk)

රට නැවත යථා තත්ත්වට පත් කිරීම සඳහා රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

+++++++++++++++++++++

17.04.2020 :

16.04.2020 :

+++++++++++++++++++++++++++++++++++

මැනිං වෙළඳපොළට එළවළු හා පළතුරු අලෙවිකළ සියලුම වෙළඳුන්ට දැනුම් දීමක්

(17.04.2020 – 12:14 +0530 – sinhala.adaderana.lk)

දැනට උද්ගත වී ඇති තත්ත්වය මත පිටකොටුව මැනිං තොග වෙළඳපොළ තුළ කොවිඩ් – 19 (Covid -19) ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් තවත් සතියක කාලයක් වසා තැබීමට නියමිතය.

ඒ හේතුවෙන්;

1. දැනට එළවළු හා පළතුරු නිෂ්පාදන මැනිං වෙළඳපොළ වෙත රැගෙන ගොස් අලෙවිකරන ලද සියලුම ගොවි මහතුන් හා වෙළඳ මහතුන් නැවත දැනුම්දෙනතුරු තම නිෂ්පාදන මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන, වැලිසර, පිළියන්දල හා වේයන්ගොඩ පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලෙසද,

2. මැනිං තොග වෙළදපොළින් තොග සිල්ලර වෙළඳාම සඳහා එළවළු හා පළතුරු මිල දී ගත් වෙළඳ මහතුන් එම මිල දී ගැනීම් සඳහා ඉහතින් සඳහන් කරන ලද ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමුවන ලෙසද දන්වනු ලැබේ.

3. තවද, පවතින තත්ත්වය හේතුකොට ගෙන තොග වෙළඳපොළවල් තාවකාලිකව වසා තැබීම හේතුවෙන් එළවළු හා පළතුරු තොග අපතේ යාමක් සිදුවිය හැකි බැවින් අස්වනු නෙළීම පමා කළ හැකි බෝගයන්ගේ අස්වනු නෙළීම ප්‍රමාද කිරීම මඟින් මෙම තත්ත්වය වළක්වා ගත හැකි බවද ගොවි ජනතාව වෙත දන්වනු ලැබේ.

4. මීට අමතරව අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ගොවීන් විසින් නිෂ්පාදනය කරනු ලබන එළවළු සහ පළතුරු දිසාපතිවරුන් හා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මිල දී ගෙන මහජනතාවගේ එළවළු හා පළතුරු අවශ්‍යතාවන් සැපයීම නොකඩවාම කරගෙන යනු ලැබේ.

+++++++++++++++++++++++++++++++++++

COVID 19 ආසාදිත දැයි සෙම පටල පරික්ෂාව කළ හැකි උපකරණයක් IDH රෝහලට

(17.04.2020 – 10:26 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරසය වැලදුණු බවට සැක කරන පුද්ගලයින්ගේ සෙම පටල පරික්ෂා කිරිමට හැකි උපකරණයක් අයි.ඩි එච් රෝහලට ඊයේ (16) පරිත්‍යාග කළේය.

මෙය නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතා විසින්.

එම උපකරණය මගින් කොවිඩ් නයින්ටීන් රෝග ලක්ෂණ ඇති බවට සැකකරන රෝගින්ගේ සෙම පටල ඉතා පහසුවෙන් පරික්ෂා කිරිමට හැකිව තිබේ.

සෙමපටල පරික්ෂාව ආරක්ෂක කුටියක් තුළ සිදු කරිමට හැකිවිම තුළින් පරික්ෂා කරන වෛද්‍යවරයාගේ ආරක්ෂාවද මෙමගින් තහවුරු වේ.

එහිදි රෝගියෙක් පරික්ෂා කිරිමෙන් අනතුරුව ස්වයංක්‍රීයව අදාල කුටියට දියරයක් ඉසිමට සැලැස්විම තුළින් එය විෂබිජ හරනයට ලක්වන අකාරයයි.

මෙය ඕනෑම ස්ථානයකට ගෙනයෑමේ හැකියාවද ඇති අතර එය නිර්මාණය කිරිමට රුපියල් 40,000 පමණ මුදලක් වැයවන බව වාර්තා වන්නේ.

ඒ අනුව උපකරණය අයි.ඩි එච් රෝහල් අධ්‍යක්ෂකවරයා වෙත භාරදිම ඊයේ (16) සිදු කළේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *