ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 244 ක් දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 244 ක් දක්වා ඉහළට

• විවිධ බෝග වගා කිරීම සඳහා ගොවීන් දිරිමත් කිරීමට බෝග වර්ග 15 කට සහතික මිලක් (විඩියෝ)

• හිරු සී.අයි.ඒ. : කොරෝනා වෛරසයට මුවාවී රක්ෂිත වනාන්තර විනාශ කිරීමේ සුක්ෂම ජාවාරමක් (විඩියෝ)

• හිටපු ඇමති බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කර ගැනීමේ සැලසුමක් ගැන සිංහලේ සංවිධානය කියයි (විඩියෝ)

• හිරු පුවත අගමැතිගේ අවධානයට (විඩියෝ)

• කොවිඩ් 19 වෛරසය මැඩපැවැත්වීම ගැන ඔස්ට්‍රේලියාවේ ශ්‍රේණිගත කිරීමකින් ශ්‍රී ලංකාව 9 වන ස්ථානයට (විඩියෝ)

• රුපියල් 5000 දීමනාව ලබාදීමේ කටයුතුවලින් ඉවත්වීමට ග්‍රාම නිලධාරීවරුන් ගත් තීරණය අත්හැර දමයි

• ජපානයත්, ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන මූල්‍යාධාර නතර කිරීමේ සූදානමක (විඩියෝ)

• PCR පරීක්ෂණ කට්ටල සහ තවත් වෛද්‍ය සැපයුම් තොගයක් රැගත් චීන ගුවන් යානය දිවයිනට

• ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශේෂ සහන ඉල්ලයි (විඩියෝ)

• ආසාදිත කාන්තාවන් 3 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමුවෙයි – සමස්ථ කොරෝනා ආසාදිතයන් 242යි – සුවය ලැබූ සංඛ්‍යාව 77 දක්වා ඉහළට (විඩියෝ)

• ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වෙයි

• කොරෝනා වෛරසය ගැන අසත්‍ය ප්‍රචාර පැතිරවූ 50 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට (විඩියෝ)

• ලංකාවෙම හදන එතනෝල් (විඩියෝ)

• නව අධ්‍යාපන නාලිකාව අප්‍රේල් 20 සිට ඇරඹෙයි

• කොළඹ යාචකයින් සහ නාට්ටාමිවරුන් ඇතුළු 360 ක් නිරෝධායනයට (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 244 ක් දක්වා ඉහළට

(17.04.2020 – 22:57 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් දෙදෙනෙකු (02) හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ වන විට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 244 ක්.

අද (17) දිනයේදී වාර්තාවු කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 06 ක්.

මේවන විට පුද්ගලයන් 160 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර 77 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ මරණ සංඛ්‍යාව 07 ක් ෴

+++++++++++++++++++++++++++++++++++

විවිධ බෝග වගා කිරීම සඳහා ගොවීන් දිරිමත් කිරීමට බෝග වර්ග 15 කට සහතික මිලක්

(17.04.2020 – 22:51 +0530 – hirunews.lk/sinhala)

පිටරටින් භෝග ගෙන්වීම සීමා කිරීමට රජය ගෙන ඇති තීරණය යටතේ විවිධ බෝග වර්ග වගා කිරීම සඳහා ගොවීන් දිරිමත් කිරීමට බෝග වර්ග 15 කට සහතික මිලක් ලබාදී මිලදී ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

බඩ ඉරිඟු, මුං ඇට, උඳූ, කොල්ලු, කව්පි, සෝයා බෝංචි, රටකජු, තල, කුරක්කන්, ලොකු ලුණු, රතු ලුණු, වියළි මිරිස්, අර්තාපල්, කහ සහ ඉඟුරු සඳහා මෙලෙස සහතික මිලක් ලබාදීමට නියමිතයි.

මේ අතර බණ්ඩාරවෙල ප්‍රදේශයේ මල්වගාකරුවන් සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ තමන් දැඩි ගැටලුවලට මුහුණ පා සිටින බවයි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස පිටකොටුව මැනිං වෙළෙඳපොළ තවත් සතියක කාලයක් වසා දැමීමට තීරණය වීම හේතුවෙන් දැනට එම වෙළෙඳපොළ වෙත රැගෙන එන එළවළු සහ පළතුරු තොග යළි දැනුම් දෙනතුරු මීගොඩ, නාරහේන්පිට, රත්මලාන, වැලිසර, පිළියන්දල සහ වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන යන ලෙස අත්‍යවශ්‍ය සේවා සැපයීම පිණිස වූ ජනාධිපති කාර්ය සාධන බලකාය උපදෙස් ලබා දෙනවා.

+++++++++++++++++++++++++++++++++++

හිරු සී.අයි.ඒ. : කොරෝනා වෛරසයට මුවාවී රක්ෂිත වනාන්තර විනාශ කිරීමේ සුක්ෂම ජාවාරමක්

(17.04.2020 – 20:34 +0530 – hirunews.lk/sinhala)

කොවිඩි 19 වෛරසය මැඩපැවැත්වීම සදහා මේ වනවිට මුළු මහත් සමාජයේම අවධානය යොමුව ඇති පසුබිමක ත්‍රීකුණාමලය ආශ්‍රිතව සංවිධානාත්මක පිරිසක් රක්ෂිත වනාන්තර විනාශ කිරීමේ සුක්ෂම ජාවාරමක් ආරම්භ කර තිබෙනවා.

ත්‍රිවිධ හමුදාව ඇතුළු මෙරට ආරක්ෂක අංශ ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පිළිබදව දැඩිව විමසිලිමත් වන මේ වකවානුවේ නීතියේ ඇස්වලට වැලි ගසා සිදුකරන එම ජාවාරම පිළිබදවයි අද (17) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය.

+++++++++++++++++++++++++++++++++++

හිටපු ඇමති බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කර ගැනීමේ සැලසුමක් ගැන සිංහලේ සංවිධානය කියයි

(17.04.2020 – 20:23 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගේ සොහොයුරෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ‘සිංහලේ ජාතික සංවිධානය’ අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++++++

හිරු පුවත අගමැතිගේ අවධානයට

(17.04.2020 – 20:13 +0530 – hirunews.lk/sinhala)

හිරු ප්‍රවෘත්ති ඔස්සේ මීට පෙර පෙන්වා දුන් ස්වයං නිරෝධායනයට ලක් කෙරෙන පිරිස්වල ක්‍රියාකාරකම් දුරස්ථව සිට නිරීක්ෂණය කළ හැකි අත් පළඳනාව පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව එහි නිර්මාණකරු අද (17) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා හමුවුණා.

මෙම තාක්ෂණික අත් පළඳනාව නිර්මාණය කර තිබුණේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි අමිල රත්නායක මහතායි.

මෙම අත්පළදනාව හරහා නිරෝධායනයට ලක් කර සිටින පුද්ගලයන් අදාල ස්ථානයෙන් බැහැරව ගියහොත් එස්.එම්.එස් පණිවිඩයක් මාර්ගයෙන් ඒ පිළිබදව තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතිනවා.

පසුගිය 15 වනදා අප මේ පිළිබද හිරු ප්‍රවෘත්ති හරහා අනාවරණය කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව හිරු ප්‍රවෘතිත්ති අංශය හරහා තොරතුරු ලබාගත් අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය මෙම අත්පළඳනාවේ නිර්මාණකරුට අග්‍රාමාත්‍යවරයා හමුවීමට අද (17) අවස්ථාව සලසා දුන්නා.

මේ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතා විසින් කොවිඩ් 19 වෛරසය වැලදුන බවට සැකකරන පුද්ගලයන්ගේ සෙම පටල පරීක්ෂා කිරීමට හැකි උපකරණයක් නිර්මාණය කර ඇති අතර, ඔහු එය ජාතික බෝවන රෝග විද්‍යායතනයට පරිත්‍යාග කරනු ලැබුවා.

ඕනෑම ස්ථානයකට ගෙනයෑමේ හැකියාව ඇති මෙම නිර්මාණය කිරීම සදහා වැයව ඇති මුදල රුපියල් 40,000 ක්.

මේ අතර, රෝගියා සමීපයට නොගොස් රෝග පරීක්ෂා කළ හැකි උපකරණයක් හලාවත මහ රෝහලේ උගුර, කන, නාසය පිළිබද විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා විසින් නිර්මාණය කර තිබෙනවා.

කුඩා ප්‍රමාණයේ කැමරාවක් උපයෝගී කරගනිමින් පරිගණකයක් හරහා උගුර, කන, නාසය වැනි ඉන්ද්‍රියන්ගේ අභ්‍යන්තර දර්ශන ලබාගෙන රෝග විනිශ්චය කිරීමට මෙහි හැකියාව පවතිනවා.

මේ අතරල කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ගැබිණි මව්වරුන්ගේ ප්‍රතිකාර සඳහා වෙන් කෙරුණු නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට නාවික හමුදාව විසින් භෞතික සම්පත් රැසක් ලබාදි ඇති අතර, ඒ අතරට රොබෝ යන්ත්‍රයක්ද ඇතුළත්.

මෙම රොබෝ යන්ත්‍රය හරහා රෝගින්ට අවශ්‍ය ඖෂධ ඇතුළු සැපයුම් සිදුකළ හැකි අතර, සන්නිවේදන කටයුතුද දුරස්ථව සිට සිදුකළ හැකියි.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සචින්ත සිල්වා ශිෂ්‍යා විසින් නිර්මාණය කර ඇති මෙම රොබෝ යන්ත්‍රය හරහා රෝහල් කාර්ය මණඩලයට රෝගීන් වෙත නොගොස් ඔවුන්ට අවශ්‍ය ඖෂධ ආදිය ලබා දිය හැකියි.

එම සිසුවා අද මෙම රොබෝ යන්ත්‍රය මහනුවර රෝහලට පරිත්‍යාග කළා.

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ් 19 වෛරසය මැඩපැවැත්වීම ගැන ඔස්ට්‍රේලියාවේ ශ්‍රේණිගත කිරීමකින් ශ්‍රී ලංකාව 9 වන ස්ථානයට

(17.04.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වෛරසය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ICMA ආයතනය සිදුකළ ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව 9 වන ස්ථානයට පත්ව තිබෙනවා.

ඉන්දියාව, රුසියාව, අමෙරිකාව, බ්‍රිතාන්‍ය, චීනය ඇතුළු ප්‍රබල රටවල් එම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට වඩා පහළ ස්ථානයක් ඉසිලිම විශේෂත්වයක්.

මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ කොවිඩ් 19 වෛරසය මැඩපැවැත්වීමේදී රාජ්‍ය නායකත්වය සහ ඒ ඒ රටවල් තුළ සෞඛ්‍ය පද්ධතියේ සූදානම අනුවයි.

නවසීලන්තය එම ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර, එහි 9 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවී තිබෙනවා.

අසල්වැසි ඉන්දියාව එම ශ්‍රේණිගත කිරීමේ පසුවන්නේ 38 වන ස්ථානයේයි.

අදාළ ශ්‍රේණිගත කිරිමට අනුව රුසියාව 50 වන ස්ථානයේත් වෛරසය ආරම්භ වූ චීනය 61 වන ස්ථානයේත් ඇමරිකා එක්සත් ජනපදය 70 වන ස්ථානයේත් පසුවනවා.

ICMA ආයතනය පෙන්වා දෙන්නේ චීනයේ වූහාන් සිට කොවිඩ් 19 වෛරසය පැතිරීම ආරම්භ වීමත් සමග සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනිම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සුපරික්ෂාකාරීව ක්‍රියාමාර්ග ගෙන තිබූ බවයි.

ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ යොදවා සෝදිසි සිදුකිරීම්ල රට තුළට පැමිණෙන සියලුම සංචාරකයින්ගේ ගමන්බිමන් නිරීක්ෂණය, විශේෂ සීමා පාලන ඇති කිරිම ආදිය මෙහිදී ඇගයීමට ලක්ව ඇති අතර, චීනයේ වූහාන්හි සිරව සිටි ශ්‍රී ලාංකිකයින් මෙරට ගෙන්වා ගැනීම සඳහා සිදුකළ මෙහෙයුම මෙන්ම ඔවුන්ව නිරෝධායනයට යොමුකිරීම පිළිබඳවද මෙහිදී වැඩි අවධානයට ලක්ව තිබෙනවා.

නොමිලේ ක්‍රියාත්මක වන මහජන සෞඛ්‍ය පද්ධතියක් පැවතීමල නිදහස් අධ්‍යාපන ක්‍රමය යටතේ සුදුසුකම්ලත් සෞඛ්‍ය සේවාවක් ස්ථාපනය වී තිබීම, නොමිලේ පවත්වනු ලබන ප්‍රතිෂක්තීකරණ වැඩසටහන් ආදිය හේතුකොටගෙන ශ්‍රී ලංකාව මෙම වෛරසයට හොඳින් ප්‍රතිචාර දක්වා ඇතැයි එම වාර්තාවේ සඳහන්.

මේ අතර රට පුරා කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හිරු ටී.වී. ඔස්සේ විකාශය කෙරෙනු “රට සහ හෙට” විශේෂ වැඩසටහන් මාලාව අද ආරම්භ වූ අතර, අද දිනයේ එහි තේමාව වූයේ කොවිඩ් 19 සහ රාජ්‍ය සහන යන්නයි.

+++++++++++++++++++++++++++++++++++

රුපියල් 5000 දීමනාව ලබාදීමේ කටයුතුවලින් ඉවත්වීමට ග්‍රාම නිලධාරීවරුන් ගත් තීරණය අත්හැර දමයි

(17.04.2020 – 19:46 +0530 – hirunews.lk/sinhala)

චක්‍රලේඛ ගැටලුවක් මුල්කරගනිමින් අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000 ක දීමනාව ලබාදීමේ රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ගත් ක්‍රියාමාර්ගය අත්හැර දැමීමට එම සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අද (17) පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ අනූව ග්‍රාම නිලධාරීවරුන් හෙට (18) සිට සුපුරුදු පරිදි අදාළ රාජකාරීවල නිරතවනු ඇති ෴

+++++++++++++++++++++++++++++++++++

ජපානයත්, ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන මූල්‍යාධාර නතර කිරීමේ සූදානමක

(17.04.2020 – 19:30 +0530 – hirunews.lk/sinhala)

ලෝක සෞඛ්‍ය සංවිධානයට මූල්‍යාධාර ලබාදීම පිළිබඳව කොරෝනා වසංගතය අවසන්වීමෙන් පසු යළි සලකා බලන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

අද (17) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය දේශපාලනිකව කටයුතු කරන බැවින් තමන්ට ද ඔවුන් සමග ගැටළු පවතින බවයි.

මේ අතර, ඇමරිකානු ජෛව තාක්ෂණ සමාගමක් වන ගිලිඩ් සයන්සස් සමාගම මගින් ඉබෝලා වෛරසය සඳහා නිෂ්පාදිත රෙම්ඩෙසිවියර් නම් ඖෂධය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා භාවිත කළ හැකි බව චිකාගෝ හි විශ්වවිද්‍යාල රෝහලක් තුළ සිදුකළ අධ්‍යයනයකදී අනාවරණ වී තිබෙනවා.

එසේම, ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 21,97,161 දක්වා ඉහළ ගොස් ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,47,512 ක් ලෙස සටහන් වුණා.

+++++++++++++++++++++++++++++++++++

PCR පරීක්ෂණ කට්ටල සහ තවත් වෛද්‍ය සැපයුම් තොගයක් රැගත් චීන ගුවන් යානය දිවයිනට

(17.04.2020 – 19:10 +0530 – hirunews.lk/sinhala)

චීන රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇමරිකානු ඩොලර් 693,191 ක් වටිනා පී.සී.ආර් පරීක්ෂණ කට්ටල සහ තවත් වෛද්‍ය සැපයුම් තොගයක් රැගත් ගුවන් යානය දිවයිනට ළඟා වී තිබෙනවා.

ඒ චීනයේ ෂැංහයි නුවර සිටයි.

මෙම සැපයුම් තොගයට පී.සී.ආර් පරීක්ෂණ කට්ටල 20,016 ක් ඇතුලත්.

සෞඛ්‍ය සේවකයන් භාවිත කරන ආරක්ෂිත මුහුණු ආවරණ 10,000 ක්, ශල්‍ය මුහුණු ආවරණ 100,000 ක්, භාවිතයෙන් පසු ඉවත් කළ හැකි ආරක්ෂිත ඇඳුම් 10,000 ක් මෙන්ම සෞඛ්‍ය සේවකයන් භාවිත කරන ඇස් ආවරණ කට්ටල 1000 ක් මෙම ආධාර අතර වනවා.

එමෙන්ම එක්වරක් පමණක් භාවිත කරන ශල්‍ය අත්වැසුම් 50,000 ක් ද ඊට අයත්.

මීට පෙර ද චීනයෙන් ශ්‍රී ලංකාවට පී.සී.ආර් කට්ටල 20,064 ක් පරිත්‍යාග කළා.

+++++++++++++++++++++++++++++++++++

ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශේෂ සහන ඉල්ලයි

(17.04.2020 – 18:10 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වසංගතයෙන් පසු රට ගොඩනැගීම සඳහා, ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශේෂ සහන රජය විසින් ලබා දියයුතු බව ශ්‍රි ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනයේ සභාපති ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා පවසනවා.

කොවිඩ් 19 වසංගතය නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කළ මිලියනයක පමණ පිරිසක් ගෙවල්වලට වී අසරණව සිටින බව පවසන සභාපතිවරයා, ඔවුන් සියලුදෙනා වසංගතය නිමවීමත් සමග නැවත රැකියා සොයා මෙම ක්ෂේත්‍රයට පැමිණෙන්න බව පෙන්වා දෙනවා.

හිරු ප්‍රවෘත්ති වෙත සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු මේ බව සදහන් කළා.

වසංගතයෙන් පසු මෙසේ යළි කර්මාන්තයට පැමිණෙන පිරිස් සදහා රැකියා අවස්ථා ලබාදීම සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි ගොඩගෙන තිබිය යතු බව ද ඔහු පෙන්වා දෙනවා.

ප්‍රධාන පෙළේ ඉදිකිරීම්කරුවන්ද මේවන විට සේවක පඩි නඩි ගෙවා ගත නොහැකි තත්වයකට පත්ව තිබෙන බවයි ඔහු පවසන්නේ.

බැංකු අයිරා, පොළිය ගොඩගැහෙමින් පවතින බවත් ඔහු කියා සිටියා.

+++++++++++++++++++++++++++++++++++

ආසාදිත කාන්තාවන් 3 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමුවෙයි – සමස්ථ කොරෝනා ආසාදිතයන් 242යි – සුවය ලැබූ සංඛ්‍යාව 77 දක්වා ඉහළට

(17.04.2020 – 17:59 +0530 – hirunews.lk/sinhala)

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ කාන්තාවන් තුන්දෙනෙකුට සහ තවත් අයෙකුට කොරෝනා ආසාදනය වූ බව අද (17) තහවුරු වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 242 දක්වා ඉහළ ගියා.

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් තහවුරු කර ගත් ආසාදිතයන් පසුගියදා මහරගම අපේක්ෂා රෝහලට ගොස් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ඇතුළත් වූ කොරෝනා ආසාදිතයාගේ ඥාතීන් බවයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

ඊට අමතරව, අද (17) හඳුනාගත් අනෙක් පුද්ගලයා පසුගියදා කෙසෙල්වත්ත – බණ්ඩාරනායක මාවතෙන් සොයා ගත් කොරෝනා ආසාදිත කාන්තාවගේ බාල පුත්‍රයා බවට තහවුරු වී තිබෙනවා.

තවත් 158 දෙනෙකු මේ වනවිට වෛද්‍ය අධීක්ෂණ යටතේ රෝහල් ගතව පසුවන අතර, සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව ද මේ වනවිට 77 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය කියා සිටියා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ කොරෝනා රෝග ලක්ෂණ සහිතව රෝහල්වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයින්ගෙන් 2.5% කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

එලෙස රෝහල්ගත වූ 7000 කගේ පමණ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී 189 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එමෙන්ම, රෝගියෙකු හඳුනා ගැනීමත් සමඟ ඔහු ඇසුරු කළ සමීපතමයින් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කටයුතු පුද්ගලයින් ලෙස හඳුනාගෙන සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී 3.2% කට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව එලෙස සැක කටයුතු පුද්ගලයින් 1500 කගේ පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර, එහිදී 49 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ එම ප්‍රකාශකයා සඳහන් කළේ.

මේ අතර, පිටකොටුව – ගුණසිංහපුර ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත පුද්ගලයා ගැවසුණු ප්‍රදේශවල සිටි තවත් පුද්ගලයින් 312 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා දිවුලපිටිය , අඹේපුස්ස, කළුතර – බෝම්බුවල සහ කොළඹ – ගංගාරාමයේ පිහිටුවා ඇති පොලිස් අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක, නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබුවා.

ඒ වේල්ලවීදිය පොලීසියේ මැදිහත්වීමෙන්.

මෙම පිරිස ඊයේ (16) දිනයේ වේල්ලවීදිය පොලීසියට රැගෙන ආ අතර පසුව ඔවුන් හුදකලා කර තැබීමටයි කටයුතු කෙරුණේ.

අද (17) දිනයේ මෙම පිරිස විෂබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව මෙලෙස නිරෝධායන කඳවුරුවලට රැගෙන යාමට කටයුතු කර තිබුණා.

එම පිරිස අතර, සිටි දෙදෙනෙකු අසනීප තත්ත්වයන් පෙන්නුම් කිරීම හේතුවෙන් ඊයේ (16) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර එක් පුද්ගලයෙකු එහිදී රෝහලෙන් පැනගොස් තිබුණා.

එම පුද්ගලයා මේ වනවිට ඔහුගේ ගම් ප්‍රදේශය වන ගුණසිංහපුර ප්‍රදේශයට යළි පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි මැදකොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල තවදුරටත් සඳහන් කළේ.

මේ අතර, කෙසෙල් වත්ත බණ්ඩාරනායක මාවතෙන් හමුවූ කොරෝනා ආසාදිත කාන්තාවගේ දෙවැනි පුත්‍රයා, මුඛ ආවරණ 550 ක් විකිණීම සඳහා භාර දී තිබූ කොහුවල සරණංකර පාරේ ඖෂධ අලෙවි සැලකට මුද්‍රා තැබීමට කටයුතු කර තිබුණා.

ඒ මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග මෙම ඖෂධ අලෙවිසැලට පැමිණ එහි ස්ථාන කිහිපයක් ස්පර්ශ කර තිබූ බැවින්.

දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ මහජන සෙඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලීසිය අදාළ ඖෂධ සැලට පැමිණ මුඛ ආවරණ සිය භාරයට ගත් අතර, ඒ වනවිට කිසිදු මුඛ ආවරණයක් අලෙවි කර නොතිබූ බව සඳහන්.

පසුව, ඖෂධ අලෙවිසැලේ හිමිකරු සහ එහි සේවය කරන ඖෂධවේදීන් දෙදෙනා වැල්ලවත්ත සහ කළුබෝවිල ප්‍රදේශවල පිහිටි ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

එමෙන්ම, ග්‍රෑන්ඩ්පාස් – නාගලගංවීථිය ප්‍රදේශයේ නිරෝධායනයට ලක්වූ නිවසක සිටි 32 හැවිරිදි පුද්ගලයෙකුට අද (17) ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර පසුව ඔහු රෝහලෙන් පැනගොස් ඇති බව වාර්තා වුණා.

මේ අතර, හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ රට සහ හෙට වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශවල සාර්ථක මැදිහත්වීමෙන් මෙරට තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරිමට හැකියාව ලැබුණු බවයි.

කෙසේ වෙතත්, පවතින වාතාවරණය තුළ තවදුරටත් කොරෝනා ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන නිර්දේශ කිහිපයක් අඩංගු නිවේදනයක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (17) නිකුත් කළා.

එමගින් ඔවුන් සඳහන් කළේ රට නැවත අදියරෙන් අදියරට විවෘත කිරීම සඳහා මේ මොහොතේ සිදුකළ යුතු ප්‍රධාන කාර්ය වන්නේ රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ පුළුල් කිරීම බවයි.

***************************************

ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වෙයි

(17.04.2020 – 17:32 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් මහතා අද (17) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට 76 වන වියේ පසුවූ ඔහු කලක සිට රෝහල් ගතව ප්‍රතිකාර ලැබුවා.

1969 වසරේ ‘හන්තානේ කතාව’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු ‘අහස් ගව්ව’, ‘එයා දැන් ලොකු ළමයෙක්’, ‘බඹරු ඇවිත්’, ‘සෙයිලම’ වැනි චිත්‍රපට ගණනාවක කැපී පෙනෙන චරිත රැසකට දායකත්වය ලබා දුන්නා.

දයා තෙන්නකෝන් මහතා ටෙලි නාට්‍යය මෙන්ම, වේදිකා නළුවෙකු සහ ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකු ලෙස ද ප්‍රකට කලාකරුවෙක්.

මේ දිනවල හිරු ටී.වී ඔස්සේ විකාශය වන ‘හතේ කල්ලිය’ ටෙලි නිර්මාණය ඇතුලු අප ආයතනයෙන් නිශ්පාදනය කළ ටෙලි නිර්මාණ කිහිපයකටම ඔහු දායක වෙමින් සිටියා ෴

+++++++++++++++++++++

***************************************

කොරෝනා වෛරසය ගැන අසත්‍ය ප්‍රචාර පැතිරවූ 50 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට

(17.04.2020 – 15:26 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ 50 හැවිරි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීරිගම නාල්ල ප්‍රදේශයේදීයි.

පොලිසිය සඳහන් කළේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පළ කරන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන විමර්ශනවලට අදාළව ඊයේ (16) මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

නාල්ල දිවුල්දෙණිය ප්‍රදේශයේ පදිංචි සැකකාර කාන්තාව අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පළ කරන ලද කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු පුද්ගලයන් 17 ක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය අවධාරණය කළේ මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කරන සහ හුවමාරු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි.

***************************************

ලංකාවෙම හදන එතනෝල්

(17.04.2020 – 23:19 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ මුළු එතනෝල් අවශ්‍යතාව දේශීයව සම්පූර්ණ කිරීමට මෙරට සමාගම් සමත්ව ති‍බේ.

එතනෝල් දේශීයව නිෂ්පාදනය පුළුල්කිරීමට පියවර ගැනුණේ එතනෝල් ආනයනය ජනවාරි පළමු වැනිදා දින සිට අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය ගත් තීරණයට අනුවයි.

බොරතෙල්වල අතුරු ඵලයක් ලෙස නිපදවෙන එතනෝල් – උක් සහ බඩ ඉරිඟු අමුද්‍රව්‍ය කරගනිමින්ද නිෂ්පාදනය කෙරෙයි.

ප්‍රධාන වශයෙන් මධ්‍යසාර නිපදවීම සඳහා එතනෝල් යොදා ගැනුණත් විෂබීජහරණ ද්‍රව්‍ය, ජීවානුහරණ ද්‍රව්‍ය, තීන්ත, රූපලාවන්‍ය නිෂ්පාදන, සුවඳ විලවුන් ආදිය නිෂ්පාදනය සඳහාද එතනොල් යොදා ගැනෙයි.

ලීටර් මිලියන 36 ක් වූ මෙරට වාර්ෂික එතනොල් අවශ්‍යතාවයෙන් 55% කට ආසන්න ප්‍රමාණයක් මෙතෙක් කල් විදෙස් රටවලින් ආනයනය කෙරුණු අතර 2019 වසරේ පමණක් ඊට ශ්‍රී ලංකාව දැරූ වියදම රුපියල් මිලියන විසිදහසක්.

එහෙත් වංචනිකව එතනෝල් ආනයනය කිරීම නැවැත්වීමේ සහ එම විදේශ විනිමය ඉතිරි කර ගනිමින් අවශ්‍ය ධාරිතාව දේශීයව සපයා ගැනීමේ අරමුණ ඇතිව ඉකුත් ජනවාරි පළමුවැනිදා සිට එතනෝල් ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට රජය පියවර ගත්තේය.

එහි ප්‍රතිඵලයක් ලෙස මාස තුනක් ඇතුළත ශ්‍රී ලංකාවට අවශ්‍ය මුළු එතනෝල් නිෂ්පාදනය සැපයීමටත් එම සමාගම් සමත්වී තිබේ.

මෙතෙක් කල් එතනෝල් විශාල ප්‍රමාණයක් විදෙස් රටවලින් ආනයනය කර ඇත්තේත් , වංචනිකව මෙරටට ගෙන්වා ඇත්තේත් අවශ්‍ය මුළු ධාරිතාව දේශියව සපයා ගත හැකිව තිබූ පසුබිමකයි.

ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා තීන්දු ගැනීමෙත් , අදාල සමාගම් නිසි පරිදි සම්පත් කළමනාකරණයෙත් ප්‍රතිඵලයක් ලෙස විශාල විදේශ විනිමයක් රටට ඉතිරි කරගත හැකි වූවා සේම මෙවන් අනෙකුත් නිෂ්පාදන රැසක්ද දේශීයව සපයාගැනීමේ වැඩපිළිවෙළකට යා හැකිනම් එය රටට ආර්ථික වශයෙන් නැගී සීමටද පිටුබලයක් වනු නොඅනුමානයි.

***************************************

නව අධ්‍යාපන නාලිකාව අප්‍රේල් 20 සිට ඇරඹෙයි

(17.04.2020 – 21:54 +0530 – sinhala.adaderana.lk)

“හැදෙන අපි හදන තැන” තේමාවෙන් ඉදිරිපත් කෙරෙන ගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාව අප්‍රේල් 20 වනදා සිට විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සංකල්පයක් අනුව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ද සහයෝගයෙන් ගුරුගෙදර අධ්‍යාපන නාලිකාව ක්‍රියාවට නැංවෙයි.

එළඹෙන අප්‍රේල් මස 20 වනදා පෙරවරු 8.00 සිට රාත්‍රී 7.00 දක්වා ද රාත්‍රී 10.00 සිට රාත්‍රි 12.00 දක්වාද ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් සමඟ එක්වීමේ අවස්ථාව සිසු දරුදැරියන්ට හිමිවේ.

වැඩසටහන් සමාරම්භක දිනයෙන් පසු එනම් අප්‍රේල් 21 දා සිට සෑම දිනකම පෙරවරු 4 සිට අධ්‍යාපන විකාශය ආරම්භ කෙරේ. මේ යටතේ –

උසස් පෙළ කලා විෂය ධාරාව සඳහා :
සිංහල, දෙමළ, භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, බෞද්ධ සංස්කෘතිය යන විෂයයන් ද,

උසස් පෙළ වාණිජ විෂය ධාරාව සඳහා :
ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යනය, ආර්ථික විද්‍යාව යන විෂයයන් ද,

උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂය ධාරාව සඳහා :
සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව යන විෂයයන් ද,

උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව සඳහා :
තාක්ෂණය සඳහා විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණය, කෘෂිකර්මය සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන විෂයයන් ද ආවරණය කෙරේ.

සාමාන්‍ය පෙළ සිසුන් සඳහා :
සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ඉතිහාසය යන විෂයන් ආවරණය කිරීමට නියමිත අතර,

සෑම විෂයක් සඳහා ම සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා විෂයට අදාල ආචාර්යවරුන් සම්බන්ධ වන සාකච්ඡාමය වැඩසටහන් ද පැවැත්වීමට නියමිතය.

ගුරු ගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාවේ අධ්‍යාපන වැඩසටහන් සඳහා තාක්ෂණ හා සංවර්ධන සහාය ලබාදීමට ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ආයතනය, ධර්මවාහිනි ආයතනය, සහ DP අධ්‍යාපන ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව සිටි.

අධ්‍යාපන අමාත්‍යාංශයට අමතරව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසම මඟින් ද සෑම දිනකම රාත්‍රී 10:00 සිට අධ්‍යාපනික වැඩසටහන් විකාශනය කිරීමට අපේක්ෂිතය ෴

+++++++++++++++++++++++++++++++++++

කොළඹ යාචකයින් සහ නාට්ටාමිවරුන් ඇතුළු 360 ක් නිරෝධායනයට

(17.04.2020 – 19:26 +0530 – sinhala.adaderana.lk)

කොළඹ නගර සීමාව තුළ සිටි යාචකයින් 360 දෙනෙකු අද (17) රැඳවුම් මධ්‍යස්ථාන කිහිපයක් වෙත රැගෙන ගියේය. ඒ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසිමෙන් අනතුරුවයි.

පසුගියදා හඳුනාගැනුණු කොවිඩ් – 19 ආසාදිතයෙකු මෙම යාචකයින් සමඟ සබඳතා පවත්වා ඇතැයි යන සැකය මත මෙලෙස ඔවුන්ව රැගෙන යනු ලැබුවේය.

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තියත් සමඟ මුළු දිවයිනට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවිමට රජය තීන්දු කළේය.

යාචකයින්, ඒ හේතුවෙන් පීඩාවට පත් වු එක් කොටසක්.

එහෙත් ගුණසිංහපුර බස් නැවතුමේ රැඳී සිටි එවන් යාචකයින් සොයා පොලිසිය පසුගිය කාලය පුරාම ආහාර ද්‍රව්‍ය ලබා දිමට කටයුතු කළේය.

මේ හේතුවෙන් කොළඹ නගර සිමාවේ සිටි යාචකයින් බොහෝ දෙනෙක් එම ස්ථානයට පැමිණ තිබුණි.

කෙසේ වෙතත් පොලිසිය මැදිහත්වි ඔවුන් සියලුදෙනා කොළඹින් පිටත රැඳවුම් මධ්‍යස්ථාන කිහිපයකට යොමු කිරිමට අද කටයුතු කළේය.

ඒ අනුව ගුණසිංහපුර බස් නැවතුම්පළ පරිශ්‍රයේ රැඳි සිටි යාචකයින් සියලු දෙනා අද (17) උදෑසන විෂබීජහරණය කළේය.

අනතුරුව පොලිසිය විසින් ඔවුන්ට දිවා ආහාර වේල ලබා දිමටද කටයුතු කළේය.

පොලිස් ජල ප්‍රහාරක රථ යොදා ගනිමින් මෙම සියලු යාචකයින්ට පිරිසිදු විමට අවස්ථාව ලබා දුන් පොලිසිය ඔවුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දිමටද කටයුතු කළේය.

පසුව මොවුන් සියලුදෙනා ලියාපදිංචි කර රැඳවුම් මධ්‍යස්ථාන වෙත පිටත් කළේය.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *