දුම්රිය පෙට්ටියක මගීන් 50 යි.. බස් රථවල මගීන් දුරින් – සේවක ප්‍රවාහනයට ආණ්ඩුවේ සූදානම මෙන්න

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• දුම්රිය පෙට්ටියක මගීන් 50 යි.. බස් රථවල මගීන් දුරින් – සේවක ප්‍රවාහනයට ආණ්ඩුවේ සූදානම මෙන්න

• පිටරට සිට ලංකාවට ‘මුලින්ම ගෙනෙන්න සැලසුම් කළ’ පිරිස මෙන්න – ශ්‍රී ලන්කන් කිසිදා නොගිය ගමනාන්තවලටත් යයි

• දිනක් තුළ PCR පරීක්ෂණ 695 ක් සිදුකරයි (විඩියෝ)

• ඇඳිරි නීතිය ලිහිල් කරයි (විඩියෝ)

• ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු රාජ්‍ය ආයතන පිළිපැදිය යුතු මාර්ගෝපදේශ ඇතුලත් චක්‍රලේඛයක්

• ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 254 ක් දක්වා ඉහළට

• දින 15 කට පසුව විවෘත කළ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය (විඩියෝ)

• ඊයේ (18) වාර්තා වු සියලුම ආසාදිතයින් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් (විඩියෝ)

• ඇඳිරි නීතිය ඉවත්කළ පසු ක්‍රියාකළ යුතු ආකාරය ගැන රජයෙන් උපදෙස් මාලාවක්

• සෞඛ්‍ය උපදෙස්වලට අනුව තවදුරටත් කටයුතු කරන්නැයි යුද හමුදාපතිවරයාගෙන් දැනුම්දීමක් (විඩියෝ)

• ඇඳිරි නීති කාලයේ නීති විරෝධීව දුම්වැටි අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

දුම්රිය පෙට්ටියක මගීන් 50 යි.. බස් රථවල මගීන් දුරින් – සේවක ප්‍රවාහනයට ආණ්ඩුවේ සූදානම මෙන්න

(18.04.2020 – 08:40 +0530 – lankaleadnews.com)

දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලිහිල් කර ජන ජීවිතය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මගී ප්‍රවාහන සේවාවන් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලි හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

ඇඳිරි නීතිය ඉවත් කළහොත් රජයේ ඉල්ලීම අනුව ජන ජීවිතය ගොඩනැගීම සඳහා අවශ්‍ය මගී ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රාජ්‍ය හා පෞද්ගලික ප්‍රවාහන නිලධාරීන් සමග අමාත්‍යාංශයේදී පසුගිය සිකුරාදා 17 පැවති සාකච්ඡාවේදී තීරණ කිහිපයකට එළැඹ ඇත.

රාජ්‍ය හා පෞද්ගලික කාර්යාලවල සේවකයන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා මූලිකත්වය ලබාදීමට නියමිතය.

ඒ අනුව ලංගම බස්රථ 5000 ක් සූදානම් කර ඇති අතර, දුම්රිය ගමන් වාර 300 ක් පමණද සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. පුද්ගලික අංශයේද බස් රථ දහඅට දහසක් (18,000) පමණ තිබේ.

සියලු මගීන් මුඛ ආවරණ පැලඳ ගමන් කිරීම අනිවාර්ය කර ඇති අතර, මීටරයක දුර සිටින ආකාරයෙන් ගමන් කිරීම අනිවාර්ය කර ඇත. ඒ අනුව එක් දුම්රිය පෙට්ටියක මගීන් 50 කට සීමා කිරීමටද තීරණය කර තිබේ. ගමන් වාර ආරම්භය හා අවසානයේ බස් රථ හා දුම්රිය ජීවානුහරණය කිරීමද අනිවාර්ය කර තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

පිටරට සිට ලංකාවට ‘මුලින්ම ගෙනෙන්න සැලසුම් කළ’ පිරිස මෙන්න – ශ්‍රී ලන්කන් කිසිදා නොගිය ගමනාන්තවලටත් යයි

(18.04.2020 – 07:19 +0530 – truenews.lk)

විදෙස්ගතව අධ්‍යාපනය ලබන සිසුන් ඇතුළුව මෙරටට පැමිණීමට අවසර ඉල්ලා ඇති හැට දහසක (60,000) පමණ පිරිසෙන් පළමුව දකුණු ආසියානු කලාපයේ සිටින සිසුන් රැගෙන ඒමට සැලසුම් කරගෙන යන බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළා.

ඒ වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සමග ඔවුන්ව සම්බන්ධීකරණය කර මෙරටට ගෙන්වීමට කටයුතු යොදා ඇති අතර, ශ්‍රී ලන්කන් ගුවන් යානා ගමන් නොකරන ගුවන් තොටුපළවල් වෙත පවා ගමන් කිරීමට මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

ඒ ඉන්දියාව ඇතුළු රටවල් සියලු ගුවන් ගමන් නවතා ඇති නිසායි ෴

+++++++++++++++++++++++++++++++++++

දිනක් තුළ PCR පරීක්ෂණ 695 ක් සිදුකරයි

(18.04.2020 – 08:08 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (17) දිනයේ පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 695 ක් සිදුකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ‘හිරු ටී.වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින්.

මේ අතර, අවසන් වරට හමුවූ කොරෝනා ආසාදිතයන් 06 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක සිටි පවුල් දෙකකට (02) අයත් සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය ලිහිල් කරයි

(18.04.2020 – 18:17 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කර ඇත.

අප්‍රේල් 20, සඳුදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදු වනුයේ මෙසේය :

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම,මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 20 දා සඳුදා උදේ 05:00 ට ඉවත් කොට එදිනම රාත්‍රී 08:00 ට යළි පනවනු ලැබේ.

ඉන්පසු නැවත දැනුම් දෙන තුරු මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සෑම දිනකම ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 08:00 සිට පසුදා අළුයම 05:00 දක්වා පමණි.

= = = = = = =

මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ, අකුරණ, වරකාපොළ සහ අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක කෙරේ.

මේ දිස්ත්‍රික්ක 03 ට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 20 දා සඳුදා සිට සෑම දිනකම උදේ 05:00 ට ඉවත් කොට රාත්‍රී 08:00 ට යළි පනවනු ලැබේ.

= = = = = = =

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පහත සඳහන් පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 22, බදාදා සිට උදේ 05:00 ට ඉවත්කොට රාත්‍රී 08:00 ට යළි ක්‍රියාත්මක කෙරේ.

මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ වනුයේ,

• කොළඹ දිස්ත්‍රික්කයට අයත් : කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත,මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල

• ගම්පහ දිස්ත්‍රික්කයට අයත් : ජාඇල, කොච්චිකඩේ සහ සීදුව,

• පුත්තලම දිස්ත්‍රික්කයට අයත් : පුත්තලම, මාරවිල සහ වෙන්නප්පුව

• කළුතර දිස්ත්‍රික්කයට අයත් : බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අළුත්ගම,

මේ අනුව කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල, කොහුවල, ජාඇල, කොච්චිකඩේ, සීදුව, පුත්තලම, මාරවිල, වෙන්නප්පුව, බණ්ඩාරගම, පයාගල, බේරුවල, අළුත්ගම, වරකාපොළ, අකුරණ, අලවතුගොඩ සහ අක්කරෙයිපත්තු යන පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් තොරව දිගටම ක්‍රියාත්මකව පවතී.

ඇඳිරි නීතිය ලිහිල් කර ඇති යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනා ගතහොත් එකී ප්‍රදේශවලට සීමාවන පරිදි ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇත.

කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරකුට හෝ ඊට ඇතුළුවීම සහ ඉන් පිටවයාම සම්පූර්ණයෙන් තහනම් වේ.

ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවා සඳහා ප්‍රධාන මාර්ග ඔස්සේ ගමනාගමනයට ඉඩ ලැබේ.

ඇඳිරි නිතීය ඉවත් කළ ප්‍රදේශවල ද ප්‍රධාන මාර්ග භාවිත කළ යුත්තේ රැකියා සඳහා යාම් ඊම් ඇතුළු අත්‍යාවශ්‍ය කාර්යයන් උදෙසා පමණි.

දිස්ත්‍රික්ක අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇත.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු රාජ්‍ය ආයතන පිළිපැදිය යුතු මාර්ගෝපදේශ ඇතුලත් චක්‍රලේඛයක්

(18.04.2020 – 21:46 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හමුවේ සාමාන්‍ය ජන ජීවිතය යථාතත්ත්වයට පත්කිරීම සඳහා ඇඳිරිනීතිය ලිහිල් කිරීමේදී රාජ්‍ය ආයතන පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් ඇතුළත් චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ, අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් වෙතයි.

https://www.president.gov.lk/wp-content/uploads/2020/04/Circular-Sinhala-20-2020.pdf

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 254 ක් දක්වා ඉහළට

(18.04.2020 – 23:57 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 254 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් පුද්ගලයන් 6 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදිතයන් බවට තහවුරු කර ගැනීමත් සමගයි.

ඔවුන් 6 දෙනා ද වාර්තාවී ඇත්තේ වැලිසර නිරොධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිස අතරින් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියාසිටියේ.

ඒ අනුව අද (18) දිනයේ පමණක් වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 10 ක්.

මේ වන විට පුද්ගලයන් 161 දෙනෙකු වෛරස ආසාදනයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

86 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වාර්තාවූ මරණ සංඛ්‍යාව 07 ක් ෴

+++++++++++++++++++++++++++++++++++

දින 15 කට පසුව විවෘත කළ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය

(19.04.2020 – 10:59 +0530 – sinhala.adaderana.lk)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින 15 කට පසුව අද (19) පෙරවරු 06:00 සිට නැවත ආරම්භ කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගනු ලැබීය.

ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගොවීන් සිය නිෂ්පාදන විශාල වශයෙන් රැගෙනවිත් ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

දඹුල්ල නගරයේ සෑම මාර්ගයකම කිලෝමීටර් තුනත් පහත් අතර එළවළු ලොරි රථ පෝලිං උදෑසන දැකගැනීමට හැකිවිය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පසුගිය පස්වනදා නියමයක් නොමැතිව වසා දැමුණු අතර එහි පැමිණෙන ජනතාව සෞඛ්‍යආරක්ෂිතව නොසිටීම හේතුවෙන් මෙම පියවර ගනු ලැබීය.

පසුව ගොවීන් දඹුල්ල නගරයේ තැන තැන තම අස්වනු තබාගෙන දින පහළොවක පමණ කාලයක් එක දිගට ම අලෙවි කිරීම සිදු කරන්නට වූහ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙළෙඳ සංගමයේ සහ නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ සිදුකළ විශේෂ සාකච්ඡාවකින් පසුව නැවත 19 දින සිට ආර්ථික මධ්‍යස්ථානය උදෑසන 06:00 සිට සවස 06:00 දක්වා විවෘත කර තැබීමට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් උදෑසන 06:00 සිට පස්වරු 06:00 දක්වා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කොට, සවස 06:00 සිට 08:00 දක්වා එහි පිරිසිදු කිරීම් කටයුතු සිදු කිරීමට උපදෙස් ලබාදී ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 19 දින එළවළු ලොරි රථ 5000 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත් තම ගොවීන්ට උපරිම මිලක් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැවුල මහතා පැවසීය.

මුඛ ආවරණ නොමැතිව පැමිණෙන පිරිස් ඉවත් කිරීමට ඇතුලත රැදී සිටීමේදී මුඛ ආවරණ ඉවත් කරන පිරිස් වෙළද පොළ තුලින් ඉවත් කිරීමට පියවර ගන්නා බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය දින කිහිපයේම එළවළු අස්වැන්න අලවි කිරීම සඳහා රැගෙන ආ ගොවීන් විවිධ කණ්ඩායම් විසින් කොල්ලකා විනාශ කළ බවත් ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරන බව ආරංචියත් සමග ගොවීන් තම බව භෝග නිෂ්පාදන සියල්ල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තුළට රැගෙන එන්නේ විශාල බලාපොරොත්තුවකින් බවත් එම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර දීම තම ව්‍යාපාරික ප්‍රජාවගේ ම අරමුණ බය බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙදින එළවළු තොග මිලෙහි විශාල වෙනසක් නැතත් මධ්‍යස්ථ මිල ගණන් යටතේ එළවළු අලෙවි වීම සිදු වන බව වාර්තා වේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ඊයේ (18) වාර්තා වු සියලුම ආසාදිතයින් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින්

(19.04.2020 – 09:53 +0530 – sinhala.adaderana.lk)

ගෙවුණු පැය 24 ක කාලය තුල කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දසදෙනෙකු (10) හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 254 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, ඔවුන් සියලුදෙනාම නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් බවයි.

මේ අතර සුවය ලැබූ තවත් රෝගීන් 09 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඊයේ (18) දිනය තුළ හඳුනාගත් රෝගීන් දස (10) දෙනාගෙන් හය (06) දෙනෙකු වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයෙනුත්, තිදෙනෙකු (03) ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙනුත් වාර්තා වේ.

අනෙක් ආසාදිතයා රඹුක්කන ප්‍රදේශෙයේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙක්.

මේ අතර ගත වූ පැය විසි හතර තුළ වාර්තා වූ රෝගීන් දස (10) දෙනාත් සමඟ මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 254 ක් දක්වා ඉහළ ගියේය.

මේ වන විට රෝගීන් අසූ හය (86) දෙනෙකු සම්පුර්ණයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 161 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

වෛරසය ආසාදිත යැයි සැකපිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 103 ක්.

මෙරටින් කොවිඩ්-19 මරණ 7 ක් වාර්තා වී තිබේ.

අද (19) උදෑසන ‘දෙරණ අරුණ’ වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (18) හඳුනා ගත් ආසාදිතයින් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි ක‍ළේය.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය ඉවත්කළ පසු ක්‍රියාකළ යුතු ආකාරය ගැන රජයෙන් උපදෙස් මාලාවක්

(19.04.2020 – 07:59 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු දෙපාර්තමේන්තු, සංස්ථා, බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සමාන්‍ය පරිදි ක්‍රියාත්මක තැබිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල සේවක පිරිසෙන් තුනෙන් එකක් සේවයට වාර්තාකළ යුතු අතර සෙසු දිස්ත්‍රික්කවල පිහිටි රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලයෙන් සියයට පනහක (50%) පිරිසක් සේවයට වාර්තා කළ යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වාදෙයි.

සෙසු පිරිස් නිවසේ සිට සිය රාජකාරි සිදුකළ යුතු අතර සේවයට වාර්තා කළ යුතු සේවකයින් කවුරුන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි තීරණය කිරිමේ හැකියාව පවතියි.

එමෙන්ම කාර්යාල විවෘත කර පවත්වාගෙන යාමේදි සෞඛ්‍ය අංශවලින් නියම කර ඇති උපදෙස් මුළුමනින්ම අනුගමනය කර යුතු අතර ඊට අදාළ පහසුකම් සැපයීම ආයතන ප්‍රධානීයාගේ වගකීම බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පෞද්ගලික අංශයේ ආයතන පෙරවරු 10 ට විවෘත කළ යුතු අතර සේවයට පැමිණෙන සේවකයින් සංඛ්‍යාව තීරණය කිරීම ආයතන ප්‍රධානීන් විසින් සිදුකළ යුතු වෙයි.

මේ අතර රාජ්‍ය ආයතන වල දෛනික රාජකාරි කටයුතු යථාතත්වයට පත්කිරිමේ දි එම ආයතන විසින් අනුගමනය කළ යුතු මාර්ගෝදේශ මාලාවක් ඇතුළත් චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් පි.බි. ජයසුන්දර මහතා විසින් නිකුත් කර තිබේ.

අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් , දෙපාර්තුමේන්තු ප්‍රධානින්, ප්‍රාදේශිය ලේකම්වරුන් , රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් හා සමාන්‍යාධිකාරිවරුන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

සේවා ස්ථානයේ කොවිඩි-19 ව්‍යාප්තිය පාලනය සදහා අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්, සේවකයින් සේවයට පැමිණීමේ යාන්ත්‍රණයක්, මහජනතාව විශාල වශයෙන් ඒකරාශී විම වැලැක්වීම හා නිවසේ සිට රාජකාරි කටයුතු සිදුකරන ආකාරය යන කරුණු 04 කින් සමන්විතව එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ලෙස සියලුම රාජ්‍ය ආයතන විසින් සමාජ දුරස්ථභාවය, මුහුණ ආවරණ පැළදීම, අත් සේදීම සහ අනෙකුත් ක්‍රියාපිළිවෙත් දැඩිව අනුගමනය කළ යුතු වන අතර මහජනතාව නිරන්තරයෙන් පැමීණෙන සේවා ස්ථානයන්හි දෑත් පිරිසිදු කිරිම සදහා පහසුකම් සැළසීම ද සිදුකළ යුතු වෙයි.

මීට අමතරව සියලු ආකාරයේ උත්සව, වන්දනා, විනෝද චාරිකා, සැණකෙළි, පෙරහැර, රැස්වීම් ආදිය යළි දැනුම් දෙන තුරු තහනම් වන අතර ජනතාව ඒකරාශිවීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් වන බැවින් සියලුම ආගමික උත්සවද අත්හිටුවන ලෙස රජය ඉල්ලා සිටියි.

කොරෝනා වසංගත අවධානම තවමත් මුළුමනින්ම පහව ගොස් නොමැති බැවින් සියලු සෞඛ්‍ය නියමයන් පිළිපදීමින් වගකීමෙන් සහ ඉවසීමෙන් කටයුතු කරන ලෙස දැනුම්දෙන ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරන්නේ ඇදිරි නීතිය ලිහිල් කළද රැකියා සදහා පිටත්ව යාම හැරුණු විට සෙසු සෑම අවස්ථාවකම නිවෙස් වල රැදි සිටින ලෙසයි.

මේ අතර කොවිඩ් 19 වෛරසය ප්‍රජාව අතර ව්‍යාප්ත වීමක් නිරික්ෂණය නොවීම හේතුවෙන් රටේ ජනජීවිතය සමාන්‍ය තත්වයට ගෙන ඒමට මුළික පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

මේ අතර ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසුවද ජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබා දි ඇති මාර්ගෝපදේශ පිලිපැදීම අනිවාර්යය බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පවසයි ෴

+++++++++++++++++++++++++++++++++++

සෞඛ්‍ය උපදෙස්වලට අනුව තවදුරටත් කටයුතු කරන්නැයි යුද හමුදාපතිවරයාගෙන් දැනුම්දීමක්

(19.04.2020 – 08:14 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය හෙට (20) සිට ලිහිල් කිරීමට පියවර ගත්තද, ජනතාව තවදුරටත් වගකීමකින් යුක්තව සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් අනුව කටයුතු කළ යුතු බව යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

‘හිරු ටී වී පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියා.

ඇඳිරි නීතිය හුදෙක්ම ලිහිල් කර ඇත්තේ අත්‍යාවශ්‍ය සේවා සහ රැකියා සඳහා පිටත්ව යන පිරිස් සඳහා බවත් සඳහන් කළ යුද හමුදාපතිවරයා එම පිරිස් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නා.

මේ අතර, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (18) කියා සිටියේ නිරෝධායනයට යොමුකළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ 118 දෙනෙකු ඉන් මුදවා ගැනීම සඳහා වන පුනරුත්ථාපන වැඩසටහනකටද යොමු කර ඇති බවයි.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීති කාලයේ නීති විරෝධීව දුම්වැටි අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට

(18.04.2020 – 21:41 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය ක්‍රියාත්මක අවස්ථාවේ නීතිවිරෝධී ලෙස දුම්වැටි අලෙවි කළ වෙළෙඳසලක් වැටලීමට මත්තෙගොඩ පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා.

උපාය දූතයෙකු යොදවා සිදුකළ මෙම වැටලීමේදී අනාවරණ වී ඇත්තේල වෙළෙඳ සලේ හිමිකාරිය විසින් සාමාන්‍ය මිල මෙන් දෙගුණයක මිලකට දුම්වැටි අලෙවි කර ඇති බවයි.

මෙහිදී අදාළ කාන්තාව පොලීසියේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ද රාජකාරියට බාධා කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *