ලංකාවේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් කවුද? BBC ලොවටම හෙළිකරන වීඩියෝව! මෙන්න

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ලංකාවේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් කවුද? BBC ලොවටම හෙළිකරන වීඩියෝව! මෙන්න (විඩියෝ)

• පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු දෙවන බෝම්බ ප්‍රහාරයකට තිබූ සැලසුමක් ගැන හෙළිවේ (විඩියෝ)

• මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 269 දක්වා ඉහළට

• කොරෝනා ආසාදිත බවට ඊයේ (18) තහවුරු වූ දසදෙනා (10) ගෙන් 06 ක් කෙසෙල්වත්තෙන්

• එළවළු ලොරි 5000 ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට (විඩියෝ)

• රජයේ ප්‍රතිලාභ ලබා ගැනමේදී නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලීමක්

• කාර්යාල දුම්රිය හෙට (20) සිට ධාවනයට එක්වෙයි – මගීන්ට නිර්ණායක කිහිපයක් (විඩියෝ)

• රාජකාරි හැඳුනුම්පත සහ දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය නොමැති නම් දුම්රියේ ගමන් බෑ – දුම්රිය දෙපාර්තමේන්තුව

• ප්‍රදේශ කිහිපයකට හෙට (20) උදෑසන 05 ට ඇදිරි නිතිය ළිහිල් කරයි

• සාක් රටවල සිරවූ ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට පියවර අඟහරුවාදා (21) – 113 ක් පාකිස්ථානයෙන්

• COVID-19 වසංගතය හමුවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාවය ඉහළට (විඩියෝ)

• කොරෝනා මර්දනයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පැසසුමට

• ඇඳිරි නීතිය ලිහිල් කළත් COvid 19 පාලනය අඛණ්ඩව ක්‍රියාත්මකයි – ජනපති (විඩියෝ)

• කිසිදු රෝහලක ශල්‍යකර්ම නතර කිරීමට උපදෙස් ලබාදී නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

• ‘ඉසෙඩ් ඩී’ ඇලට වැටුනු වන අලියෙකු බේරා ගැනේ (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ලංකාවේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් කවුද? BBC ලොවටම හෙළිකරන වීඩියෝව! මෙන්න

(18.04.2020 – 11:00 +0530 – lankaleadnews.com)

2019 අප්‍රේල් 21 වනදා උදෑසන ලොවම කම්පා කරවමින් මෙරට ස්ථාන කිහිපයක් ඉලක්කකරගෙන ඉස්ලාම් අන්තවාදීන් විසින් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කල අතර ඉන් අහිංසක ජීවිත 300 කට ආසන්න ප්‍රමාණයක් අහිමි වුවා.

කෙසේ නමුත් හෙට දිනට එම ප්‍රහාරය එල්ලවී වසරක් සපිරෙන අතර අදාළ ප්‍රහාරය පිළිබඳව තව දුරටත් පරීක්ෂණ බවත්වන අතර ආරක්ෂක අංශ විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් ගේ සහෝදරයකු සමඟ 200 කට ආසන්න පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට තත්වය එසේ තිබියදී BBC ලෝක සේවය විසින් ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව වැඩසටහනක් නිෂ්පාදනය කොට ඇති අතර එමගින් ප්‍රහාරයේ කුරිරු බව මෙන්ම ප්‍රහාරය වලකා ගන්නට තිබු අවස්ථා මඟ හැරගත් අකාරයත් ඒවාට වගකිවයුත්තන් කවුද යන්නත් ලොවටම හෙළිදරව් කරමින් නිකුත් කල එම වීඩියෝව පහතින් නරඹන්න…

16 APR 2020

+++++++++++++++++++++

21 OCT 2019

+++++++++++++++++++++

29 APR 2019

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=0gNbG3lyd8o
24 APR 2019

+++++++++++++++++++++

23 APR 2019

+++++++++++++++++++++

පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු දෙවන බෝම්බ ප්‍රහාරයකට තිබූ සැලසුමක් ගැන හෙළිවේ

(19.04.2020 – 16:42 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පසු දෙවන බෝම්බ ප්‍රහාරයකට සැලසුමක් තිබු බවත්, සී.අයි.ඩී පරීක්ෂණ අනුව එය වළක්වා ගත හැකි වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා, අද (19) පැවැත්වුන විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

විදේශ රටක කිහිප දෙනෙකුගේ සහය ලබාගෙන දකුණු ආසියානු කලාපයේ රටක ප්‍රහාරයක් එල්ල කර එම ප්‍රහාරකයන් සඟවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව භාවිත කිරීමට සැලසුම් කළ පුද්ගලයන් ගැනද තොරතුරු ලැබී ඇතැයි ඔහු සඳහන් කළා.

දැනට අත්අඩංගුවට ගත් නීතිඥවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ, හුදු දුරකථන සංවාද මත පමණක් නොව, සී.අයි.ඩී. විමර්ශනවලදී ප්‍රමාණවත් සාක්ෂි ලැබුන නිසා බවද ඔහු කියා සිටියා.

සහරාන්ගේ කණ්ඩායම දෙකට බෙදුන බවට ප්‍රචාරයක් යවා ඇත්තේ විමර්ශකයන් නොමග යැවීමට බවයි පොලිස් ප්‍රකාශකවරයා පැවසුවේ.

අත්අඩංගුවට ගත් අය යම් සංවිධානවලට සම්බන්ධව කටයුතු කර ඇති බවත්, මුස්ලිම් අන්තවාදය පැතිරවීමට, ඉස්ලාම් දහම වැරදි ආකාරයට අර්ථකථනය කිරීමට කටයුතු කර ඇති බවත් හෙළිව ඇතැයි ඔහු ප්‍රකාශ කළා.

මෙම කටයුතුවලට සහය වූ තවත් පිරිසක් ගැන විමර්ශන පවත්වන බවද ඔහු පැවසුවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 269 දක්වා ඉහළට

(19.04.2020 – 17:37 +0530 – hirunews.lk/sinhala)

මෙරට දී කොරෝනා ආසාදිත තවත් 13 දෙනෙකු සොයා ගැනීමෙන් පසුව ආසාදිතයන් සංඛ්‍යාව 269 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව 158 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. වෛරසය ආසාදනය වූවන් 91 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටත්ව ගොස් තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිත බවට ඊයේ (18) තහවුරු වූ දසදෙනා (10) ගෙන් 06 ක් කෙසෙල්වත්තෙන්

(19.04.2020 – 13:29 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට ඊයේ (18) දිනයේ තහවුරු වූ දසදෙනා (10) ගෙන් හයදෙනෙකුම (06) කොළඹ – කෙසෙල්වත්ත – බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන්.

බණ්ඩාරනායක මාවතේ පදිංචි 59 හැවිරිදි කාන්තාවකට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පසුගිය 15 වනදා අනාවරණ වුණා.

පසුගිය පෙබරවාරි 29 වනදා ඇය සිය ස්වාමි පුරුෂයා සහ වැඩිමහල් පුත්‍රයා සමඟ දඹදිව වන්දනාවේ ගොස් තිබුණේ නුගේගොඩ ප්‍රදේශයේ වන්දනා චාරිකා සඳහා පුද්ගලයන් රැගෙන යන ආයතනයක් මාර්ගයෙන්.

මාර්තු 12 වනදා ඇය යළි මෙරටට පැමිණ තිබූ අතර, පොලීසියේ ලියාපදිංචි වී දින 14 ක කාලසීමාවක් නිරෝධායනයටද ලක්වී තිබුණා.

කෙසේ වෙතත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 15 වනදා රෝහල් ගතකිරීමෙන් අනතුරුව ඇයට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට අනාවරණ වූ අතර, ඊට අමතරව ඇය සමඟ වන්දනාවේ ගිය ස්වාමි පුරුෂයාට මෙන්ම වැඩිමහල් පුත්‍රයාට සහ බාල පුත්‍රයාටද වෛරසය වැළඳී තිබුණා.

ඊයේ (18) දිනයේ මෙලෙස වෛරසය වැළඳී ඇති බවට අනාවරණ වූ 10 දෙනාගෙන් හයදෙනෙකු (06) අතර සිටින්නේ දඹදිව සිට පැමිණි මෙම කාන්තාවගේ ඉදිරිපස නිවසේ පදිංචිකරුවන් දෙදෙනෙකු (02), යාබද නිවසේ පදිංචිකරුවන් දෙදෙනෙකු (02) සහ ඒ ආසන්නයේ පිහිටි තවත් දෙමහල් ගොඩනැගිල්ලක ජීවත්වන පවුල් දෙකකට (02) අයත් පුද්ගලයන් දෙදෙනෙක් (02).

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙරට කොරෝනා වෛරසය පැතිරයාම ආරම්භවීමෙන් පසු මෙලෙස එකම ප්‍රදේශයකින් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තාවූ ප්‍රථම අවස්ථාව මෙය බවයි.

කෙසේ වෙතත් එම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තාවීම හේතුවෙන් තවත් පුද්ගලයන්ට සම්ප්‍රේෂණය වීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අතර ඊයේ (18) දිනයේ වාර්තාවූ අනෙක් කාන්තාව කෑගල්ල – තුල්හිරිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇයට මෙම රෝගය වැළඳී ඇත්තේ කටුනායක ප්‍රදේශයේ සනීපාරක්ෂක සේවා සපයන ආයතනයක සේවය කරන සිය හිතවතියක මාර්ගයෙන් බව අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ ඊයේ (18) දිනයේ තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් තුන්දෙනෙකු (03) වාර්තාවූ අතර, ඔවුන් ජාඇළ – සුදුවැල්ල ප්‍රදේශයෙන් පසුගියදා සොයාගත් කොරෝනා රෝගීන් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ හේතුව මත නිරෝධායනය සඳහා යොමුකළ අය බවයි වාර්තාවන්නේ.

අද (19) දිනය තුළ මේ දක්වා කොරෝනා වෛරස් නව ආසාදිතයන් කිසිවෙකුත් වාර්තාවී නැහැ.

ඒ අනුව තවදුරටත් මෙරට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාවන්නේ 254 ක් ලෙසයි ෴

+++++++++++++++++++++++++++++++++++

එළවළු ලොරි 5000 ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට

(19.04.2020 – 15:24 +0530 – hirunews.lk/sinhala)

දින 15 කට පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (19) පෙරවරු 6 සිට නැවත ආරම්භ කිරීමත් සමඟ එළවළු ලොරි රථ 5000 කට ආසන්න සංඛ්‍යාවක් එහි පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළා.

දඹුල්ල නගරයේ මාර්ග රැසකම පාහේ එළවළු රැගත් ලොරි එක පෙළට නවතා තිබෙන අයුරු දක්නට ලැබුණා.

ආර්ථික මධ්‍යස්ථානය පසුගිය 5 වන දා දින නියමයක් නොමැතිව වසා දැමුණේ එහි පැමිණෙන ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය නොකිරීම හේතුවෙන්.

+++++++++++++++++++++++++++++++++++

රජයේ ප්‍රතිලාභ ලබා ගැනමේදී නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලීමක්

(19.04.2020 – 14:50 +0530 – sinhala.adaderana.lk)

රජය විසින් ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන යටතේ වැඩිහිටි, ආබාධිත, සමෘද්ධි හා වකුගඩු ආදී දීමනාවන් ලබාදීම මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මකව පවතී.

එම වැඩසටහනේම දිගුවක් ලෙස කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමි වූ ජනතාවටද සහන සැලසීමට රජය පියවර ගෙන ඇත.

මෙම සමාජ ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලබා එහෙත් මේ දක්වා ප්‍රතිලාභ හිමි නොවූ අයවළුන්ට අදාළ මුදල් ප්‍රතිලාභ ලබාදීම අප්‍රේල් 20 / 21 දෙදින තුළ දිවයින පුරා සිදු කිරීමට නියමිතය.

ඒ අනුව, හැකි සෑම අවස්ථාවකදීම අදාළ නිලධාරීන් විසින් ප්‍රතිලාභීන්ගේ නිවෙස්වලටම ගොස් අදාළ මුදල් ලබාදීමට කටයුතු කරනු ඇත.

නමුත් යම් ප්‍රායෝගික තත්වයන් හේතුවෙන් අදාළ ගෙවීම් සිදු කිරීම සඳහා ප්‍රදේශයේ පොදු ස්ථාන හෝ කාර්යාල යොදා ගන්නේ නම් ඒ සියලු අවස්ථාවන්හිදී කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට ලබාදී ඇති සියලු සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කළ යුතු බව රජය අදාළ සියලු පාර්ශ්වයන්ට දැනුම් දෙයි.

එනම්, එම ස්ථානයන්හි ජනතාව එක්රැස් නොවීමට සහ සෑම අවස්ථාවකදීම පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීමට කටයුතු කළයුතුය. ඒ අනුව පොදු ස්ථානයන්ට ජනතාව කැඳවන්නේ නම් කුඩා කණ්ඩායම් සඳහා වෙන් වෙන් වූ නිශ්චිත වේලාවන් ලබාදී කැඳවීම වැනි යම් සංවිධානාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස රජය අදාළ සියලු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, එම ලබාදෙන උපදෙස් වලට අනුගතව කටයුතු කරන ලෙස අදාළ ප්‍රතිලාභ අපේක්ෂිත මහජනතාවගෙන් රජය ඉල්ලා සිටී.

එසේම, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වී සහන ලැබිය යුතු සියලුම කණ්ඩායම් වලට අදාළ ප්‍රතිලාභ හිමිකරදීම රජයේ අරමුණයි. ඒ අනුව, දැනට ප්‍රතිලාභ වලට හිමිකම් ලැබිය යුතුයැයි හඳුනාගෙන ඇති කණ්ඩායම් වලට අමතරව එම සහනය තවදුරටත් ලැබිය යුතු යැයි රජය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් 20 හා 21 දෙදින තුළ හඳුනාගන්නා ජීවනෝපාය අහිමි වී සිටින අනෙකුත් කණ්ඩායම් සඳහාද අප්‍රේල් මස 22 දින වනවිට ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂිතය.

එසේම අප්‍රේල් 20 හා 21 යන දෙදින තුළ සහනාධාර ලබාදීමෙන් පසු, තවදුරටත් සහනාධාර ලැබිය යුතුයැයි අභියාචනා ඉදිරිපත් කර ඇති අයවලුන්ටද සුදුසුකම් සපුරන්නේ නම් අප්‍රේල් 22 දින එම දීමනා ගෙවීමට කටයුතු කරනු ඇත.

එහෙයින් අනවශ්‍ය කලබල වීමකින් තොරව සහ පීඩනයකට පත්වීමකින් තොරව, සෑම විටම සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් අදාළ නිලධාරීන් සමග සහයෝගයෙන් මෙම ප්‍රතිලාභ ලබාගැනීමට කටයුතු කරනලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී ෴

+++++++++++++++++++++++++++++++++++

කාර්යාල දුම්රිය හෙට (20) සිට ධාවනයට එක්වෙයි – මගීන්ට නිර්ණායක කිහිපයක්

(19.04.2020 – 13:50 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ පොදු ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීමට රජය සූදානම්ව සිටිනවා.

ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5,000 ක් හෙට (20) සිට ධාවනයට එක් කිරීමට නියමිතයි.

මේ අතර දුම්රිය ගමන් වාර 400 ක් ද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කියාසිටියේ දුම්රියවල ගමන් කරන මගීන්ට නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.

එමෙන්ම දුම්රියකට ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බැගින් යොදවන බව ද ඔහු සඳහන් කළා.

+++++++++++++++++++++

රාජකාරි හැඳුනුම්පත සහ දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය නොමැති නම් දුම්රියේ ගමන් බෑ – දුම්රිය දෙපාර්තමේන්තුව

(19.04.2020 – 17:13 +0530 – hirunews.lk/sinhala)

හෙට (20) සිට දුම්රියෙන් ගමන් කළ හැක්කේ රාජකාරි හැඳුනුම්පත සහ දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය හිමි අයට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ප්‍රදේශ කිහිපයකට හෙට (20) උදෑසන 05 ට ඇදිරි නිතිය ළිහිල් කරයි

(19.04.2020 – 13:26 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට පනවා ඇති ඇඳිරි නීතිය ප්‍රදේශ කිහිපයකට හෙට (20) උදෑසන 05 ට ඉවත් කිරීමට නියමිතව ඇති අතර, එම ප්‍රදේශවලට එදිනම රාත්‍රී 08 ට එය යළි පැනවෙනවා.

පසුව නැවත දැනුම් දෙනතුරු මෙම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සෑම දිනකම රාත්‍රී 08 සිට පසුදා අලුයම 05 දක්වා ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පොලිස් බල ප්‍රදේශ 21 ක් හැර කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන්නේ ලබන බදාදා (22) උදෑසනයි.

මෙලෙස ඇතැම් ප්‍රදේශවලට ඇඳිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කළද මුළු දිවයිනේම පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පන්ති සහ සෙසු අධ්‍යාපන ආයතන මෙන්ම සිනමාහල් ද නැවත දැනුම්දෙනතුරු වසා තැබෙනවා.

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු දෙපාර්තමේන්තු, සංස්ථා, බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකව පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.

එසේම, සියලු ආකාරයේ උත්සව, වන්දනා සහ විනෝද චාරිකා, සැණකෙලි, පෙරහර, රැස්වීම් ආදිය නැවත දැනුම්දෙනතුරු තහනම් කර ඇති අතර, ජනයා ඒකරාශිවීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සවද අත්හිටුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

මේ අතර ඇඳිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කළද එම නිදහස අවභාවිත නොකරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ‘හිරු ටී.වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (19) උදෑසන එක්වෙමින් ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

එමෙන්ම ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 33,155 මේ වනවිට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ රථවාහන 8,519 ක්ද එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති බවයි.

එසේම අද (19) උදෑසන හයෙන් (06) අවසන් වූ ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,475 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 368 ක්.

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ පොදු ප්‍රවාහන කටයුතුද ආරම්භ කිරීමට රජය සූදානම් ව සිටි අතර, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5,000 ක් ද හෙට (20) සිට යෙදවීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර දුම්රිය ගමන් වාර 400 ක් ද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

සාක් රටවල සිරවූ ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට පියවර අඟහරුවාදා (21) – 113 ක් පාකිස්ථානයෙන්

(19.04.2020 – 12:39 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් විදෙස් රටවල සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් යළි ගෙන්වාගැනීමට පියවර ගැනෙනවා.

ගුවන් තොටුපල අධ්‍යක්‍ෂ ෂෙහාන් සුමනසේකර මහතා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ ප්‍රථමයෙන් සාක් රටවල ඉගෙනුම ලබන සිසුන් දිවයිනට ගෙන්වා ගැනීමට මෙලෙස පියවර ගන්නා බවයි.

එම රටවල තානාපති කාර්යාල හරහා සිසුන්ගේ දත්ත එක්රැස් කෙරෙන අතර, පසුව ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇති.

එහි පළමු අදියර ලෙස පාකිස්ථානයේ සිටින සිසුන් 113 දෙනෙකු අනිද්දා (21) දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

ඒ සඳහා කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඉන්දියාවේ ඉගෙනුම ලබන සිසුන් එකසිය දෙදෙනෙකු (100) ද ඉදිරි සතියේ දිවයිනට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවයි ගුවන් තොටුපල අධ්‍යක්‍ෂ ෂෙහාන් සුමනසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

COVID-19 වසංගතය හමුවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාවය ඉහළට

(19.04.2020 – 15:32 +0530 – sinhala.adaderana.lk)

COVID -19 වසංගතය හමුවේ රටවැසියන් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට සහ වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සදහා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යවරියගේ මෙහෙයවීමින් රජය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද රැසක් ක්‍රියාවට නංවා ඇත.

මෙහිදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කරනු ලබන පැරසිටමෝල් 500mg (pacidol) ඖෂධ නිෂ්පාදන ධාරිතාවය සහ ශ්වසන ආබාධ සදහා ලබාදෙනු ලබන ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය වැඩිකොට රටෙහි පවතින වසංගත රෝගී තත්ත්වයන් පාලනය කිරිම සදහා සෘජු දායකත්වයක් ලබාදෙන ලද අතර, ඊට සමගාමීව අධිරුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝගී තත්ත්වයන් පාලනය කෙරෙන ඖෂධ නිෂ්පාදනය වැඩි කිරිම තුලින් පවතින වසංගත තත්ත්වය හමුවේ ඇතිවන අනෙකුත් සංකූලතා මැඩපැවැත්වීම සදහා ද අඛණ්ඩ සැපයුමක් ලබාදෙනු ලැබීය.

රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත ඊයේ (18) පස්වරුවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැමිණියේ COVID-19 වෛරසය හමුවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිදු කළ සේවයට ස්තුතිය පළ කිරිම සඳහායි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන කටයුතු ද නිරීක්ෂණයට ලක් කරන ලද අතර මෙම අවස්ථාවට ගරු අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

රට තුල දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 20 ක් පමණ දැනට දේශීයව නිෂ්පාදනය කරනු ලබන අතර, මෙය සියයට 60-75 දක්වා ඉහළ නැංවිම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ බලාපොරොත්තුවයි.

ඖෂධ ආනයනය කිරීම සදහා වැයවන විදේශ විනිමය රට තුල ඉතිරි කර ගනිමින් තත්ත්වයෙන් උසස් ඖෂධ ලබාදීමට හැකිවීමත්, රැකියා අවස්ථා වැඩිවීමත්, රට තුල ඖෂධ නිෂ්පාදනයේ පවතින තාක්ෂණික දැනුම ද ඉහළ යාම මගින් රටේ සංවර්ධනයට එය ඉමහත් දායකත්වයක් ලබාදෙනු ඇති බවත් පෙන්වා දෙන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව තත්ත්වයෙන් උසස් ඖෂධ සදහා වන වට්ටෝරු සම්පාදනය කරනු ලබන්නේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක් බව ද පෙන්වා දෙයි.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා මර්දනයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පැසසුමට

(19.04.2020 – 15:26 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගතය මර්දනය කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ශ්‍රී ලංකා රජය වෙත සතුට පළ කරන බව එම සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින බාර අධ්‍යක්ෂිකා සිම්රින් සිං (Simrin Singh) මහත්මිය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ කොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවැති විශේෂ හමුවකදීය.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේ දී පැවැති මෙම හමුවේදී අදහස් දැක්වූ ඇය කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ සේවක වැටුප් ගෙවීම, වෘත්තීය සුරක්ෂිතතාව හා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නිසි ලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජය මෙතෙක් ගෙන ඇති පියවර ප්‍රශංසා කටයුතු බව ය.

සමස්ත ලෝකයම අර්බුදයකට ගොස් ඇති මොහොතක ශ්‍රී ලංකා ආණ්ඩුව මෙරට ආර්ථිකය නගා සිටුවීමට අදාලව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිම්රින් සිං මහත්මියට කරුණු පැහැදිලි කරන ලදි. විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් ගේ වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය සම්බන්ධයෙන් ද මෙහිදී දෙදෙනා විශේෂයෙන් සාකච්ඡා කළහ.

කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් මෙරට කම්කරු ක්ෂේත්‍රයට අවශ්‍ය ආධාර ලබාදීමට ද ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිතවරිය අමාත්‍යවරයාට පොරොන්දු විය.

මෙම විශේෂ හමුව සඳහා අමාත්‍යාංශ ලේකම් ඩී.එම්. සරත් අභයගුණවර්ධන, කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත යන මහත්වරු ද එක්ව සිටියහ ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය ලිහිල් කළත් COvid 19 පාලනය අඛණ්ඩව ක්‍රියාත්මකයි – ජනපති

(19.04.2020 – 12:43 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය ලිහිල් කළ ද කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ කොවිඩ් නයින්ටීන් උවදුර මර්දනය කිරීම හා සමගාමීව රටේ ආර්ථිකය, රාජ්‍ය යාන්ත්‍රණය සහ පුද්ගල ආර්ථිකය නොකඩවා පවත්වාගෙන යාම යන කරුණු සලකා සති 4 ක කාලයක සිය දිවයින පුරා පැවති ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය තීරණය කළ බවයි.

මෙම අවස්ථාවේ දී වගකීමෙන් කටයුතු කිරීම සමස්ත ජනතාවගේ යුතුකමක් වන අතර සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් සහ රජය විසින් පනවා ඇති සීමාවන් නිසි ලෙස පිළිපදිමින් මෙම අභියෝගය ජයග්‍රහණය කිරීමට සහය වන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කිසිදු රෝහලක ශල්‍යකර්ම නතර කිරීමට උපදෙස් ලබාදී නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

(18.04.2020 – 18:14 +0530 – hirunews.lk/sinhala)

කිසිදු රෝහලක සාමාන්‍යයෙන් සිදු කරන ශල්‍යකර්ම සිදු නොකරන ලෙසට කිසිදු අවස්ථාවක චක්‍රලේඛ මගින් දැනුම්දී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

කිසියම් පාලනයක් සහිතව අදාළ රෝහල්වලට එම ශල්‍යකර්ම සිදු කළ හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියාසිටියේ.

කෙසේවෙතත් කල් දැමීමෙන් ගැටළුවක් ඇති නොවන ශල්‍යකර්ම පසුව සිදු කිරීමේ හැකියාව පවතින බව ද අදාළ නිවේදනය මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දෙනවා.

පිළිකා රෝගීන් සඳහා පිළිකා රෝහලේ සැත්කම් සිදු කළ ද අනෙක් රෝහල්වල සැත්කම් සිදු නොකරන බවට ඇතැම් පාර්ශව පළකරන අදහස්වලට ප්‍රතිචාර දක්වමිනුයි අනිල් ජාසිංහ මහතා මෙම කරුණු අනාවරණ කර ඇත්තේ.

මේ අතර පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරනු ලබන්නේ විද්‍යානුකූල පදනමක් මත පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරනවා.

විවිධ ප්‍රදේශවල ජනතාව සහ ජන කණ්ඩායම් විසින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර දෙන්නැයි කරන ඉල්ලීම් පිළිබඳ කරුණු පැහැදිළි කිරීමක් සිදු කරමිනුයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව කියාසිටියේ.

මෙය ඉල්ලීම් කර සිදු කරගත යුතු පරීක්ෂණයක් නොවන අතර විද්‍යාත්මක සාධක අනුව සෞඛ්‍ය අංශ විසින් තීරණ කර සිදු කරන පරීක්ෂණයක් බව අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙනවා.

විද්‍යාත්මක සාධක අනුව තීරණය කර ලබාගන්නා සාම්පල පරීක්ෂණයට ලක් කිරීමට පැය 5 ක් 6 ක් වැනි කාලයක් ගත වනවා.

මේ සඳහා ගතවන කාලය යෙදවිය යුතු කාර්ය මණ්ඩලය මෙන්ම වියදම පිළිබඳව ද සලකා බැලිය යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දෙන්නේ.

මේවන විට පරීක්ෂණ සිදු කරනු ලබන්නේ අවදානම පිළිබඳ සලකා බලා තෝරාගත් පිරිස සහ අවදානම පිළිබඳ සැක සහිත කණ්ඩායම්වලට බව ඔහු කියාසිටියා.

ඒ රෝහල්ගත වී රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් සහ රෝගය ඇතැයි සැක කරන අවදානම වැඩිම පුද්ගලයන් සඳහායි.

එමෙන්ම කොරෝනා වෛරසය වැළඳී නොමැති බවට සහතික ලබාදෙන ලෙසට යම් පුද්ගලයන් ඉල්ලා සිටින බව වාර්තාවන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙනවා.

පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ යුත්තේ කුමන පුද්ගලයන් සඳහාදැයි සෞඛ්‍ය අංශ සහ නිසි බලධාරීන් තීරණය කරනු ලබන බැවින් එම පරීක්ෂණ සිදුකරන ලෙසට මහජනතාව ඉල්ලීම් සිදු කිරීම අවශ්‍ය නොවන බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරනවා.

මේ වන විට දිවයින පුරා පර්යේෂණාගාර 13 ක පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙන අතර මඩකලපුව ශික්ෂණ රෝහලේ ද අදාළ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා ෴

***************************************

‘ඉසෙඩ් ඩී’ ඇලට වැටුනු වන අලියෙකු බේරා ගැනේ

(19.04.2020 – 11:51 +0530 – hirunews.lk/sinhala)

මාදුරුඔය ‘ඉසෙඩ් ඩී’ ඇලට වැටී සිටි වන අලියෙකු පැය 6 ක පමණ මෙහෙයුමකින් පසු බේරාගෙන තිබෙනවා.

ඇල්ලේවැව ප්‍රදේශයෙන් ඇලට වැටුනු අලියා කිලෝමීටර් 15 ක පමණ දුරික් සැඩ පහරට හසුවීමෙන් ගසාගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රදේශවාසීන් සහ වනජීවී නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකින් අද (19) පෙරවරුවේ වන අලියා බේරාගෙන අලුත් වැව රක්ෂිතයට පළවා හැර තිබෙනවා.

මෙම වන අලියාගේ වයස අවුරුදු 35 ක් පමණ වන බව සඳහන්.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *