කොරෝනා ආසාදිතයින් ගණන 271 ක් දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොරෝනා ආසාදිතයින් ගණන 271 ක් දක්වා ඉහළට (විඩියෝ)

• ඇඳිරි නීතිය ලිහිල් කළ පසු, රාජ්‍ය ආයතන විවෘත කිරීම ගැන උපදෙස්

• රුපියල ඉහළ නංවන්න ප්‍රතිපත්තිමය තීරණ රැසක් (විඩියෝ)

• දිස්ත්‍රික්ක කිහිපයකට හෙට (20) උදෑසන 5 ට ඇඳිරි නීතිය ඉවත් කෙරේ (විඩියෝ)

• කොළඹ, කෙසෙල්වත්ත – බණ්ඩාරනායක මාවතෙන් දින 4 ක් තුළ කොරෝනා ආසාදිතයින් 25 ක් (විඩියෝ)

• කෙසෙල්වත්තෙන් හමු වු කොරොනා රෝගීන් 15 දෙනා අතර ගැබිණි කාන්තාවක් (විඩියෝ)

• ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අප්‍රේල් 22 දක්වා බස් හා දුම්රිය ධාවනය නැහැ – අමාත්‍ය මහින්ද අමරවීර (විඩියෝ)

• සියලු උත්සව, වන්දනා සහ විනෝද චාරිකා දැනුම් දෙන තෙක් තහනම් (විඩියෝ)

• ආහාර රැසක්ම පිටරටින් ගෙන්වීමට වැට බඳී .. ලංකාවේ වවන්න කියයි – ආණ්ඩුවේ ඉදිරි සැළසුමක් හෙළිවේ

• නිධන් හාරන්න ගිය හිමිනම ඇතුළු පස් දෙනා රිමාන්ඩ්

• මෝටර් වාහන, සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය මාස තුනකට තහනම් කෙරේ

• මැතිවරණ කොමිසමේ සාමාජික හූලේගේ ස්වාධීනත්වය කට දෙපැත්තෙන් බේරෙයි

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිතයින් ගණන 271 ක් දක්වා ඉහළට

(19.04.2020 – 22:10 +0530 – sinhala.adaderana.lk)

අද (19) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් (02) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 271 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද (19) දිනයේ කොරෝනා වෛරසය ආසාදිත තහවුරු කළ රෝගීන් 15 දෙනෙකු වාර්තා වූ අතර ඔවුන් කොරෝනා ආසාදිත රෝගීන් ළඟින් ඇසුරු කිරීම හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කරමින් සිටින පිරිසක් බව ප්‍රවෘත්ති දේපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර අද (19) දිනය සුවය ලබා ගිය රෝගීන් සමඟ සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව ද 96 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයින් 07 දෙනෙකු මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර පුද්ගලයින් 168 වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය ලිහිල් කළ පසු, රාජ්‍ය ආයතන විවෘත කිරීම ගැන උපදෙස්

(19.04.2020 – 20:27 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල්, 22 බදාදා ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය ගැන, රජය ආයතන ප්‍රධානීන්ට මගපෙන්වීමක් කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු සහ සෙසු ආයතන ප්‍රධානීන් 22 බදාදා සිට රැස් වී තම ආයතනවල ඉදිරි ක්‍රියාකාරිත්වය සැලසුම් කළ යුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින් :

+++++++++++++++++++++++++++++++++++

රුපියල ඉහළ නංවන්න ප්‍රතිපත්තිමය තීරණ රැසක්

(19.04.2020 – 19:55 +0530 – hirunews.lk/sinhala)

රුපියල කඩා වැටීම වැළැක්වීමට රජය ප්‍රතිපත්තිමය තීරණ රැසක් ගෙන ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++

දිස්ත්‍රික්ක කිහිපයකට හෙට (20) උදෑසන 5 ට ඇඳිරි නීතිය ඉවත් කෙරේ

(19.04.2020 – 19:12 +0530 – hirunews.lk/sinhala)

දැනට දිවයිනටම පනවා ඇති ඇදිරි නීතිය දිස්ත්‍රික්ක කිහිපයකට හෙට (20) සිට නැවත දැනුම් දෙන තුරු උදෑසන 5 ට ඉවත් කර යළි රාත්‍රී 8 ට පැනවීමට නියමිතයි.

කෙසේ වෙතත්, පොලිස් බල ප්‍රදේශ 21 ක් හැර කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන්නේ එළඹෙන බදාදා උදෑසන 5 සිටයි.

එය යළිත් රාත්‍රී 8 ට ක්‍රියාත්මක කෙරෙනවා.

මෙලෙස ඇතැම් ප්‍රදේශවලට ඇඳිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කළද මුළු දිවයිනේම පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පන්ති සහ සෙසු අධ්‍යාපන ආයතන මෙන්ම සිනමාහල් ද නැවත දැනුම්දෙනතුරු වසා තැබෙනවා.

ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු දෙපාර්තමේන්තු, සංස්ථා, බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකව පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ කියා සිටියේ.

එසේම, සියලු ආකාරයේ උත්සව, වන්දනා සහ විනෝද චාරිකා, සැණකෙලි, පෙරහර, රැස්වීම් ආදිය නැවත දැනුම්දෙනතුරු තහනම් කර ඇති අතර, ජනයා ඒකරාශිවීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සවද අත්හිටුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

ඇඳිරි නීතිය ලිහිල් කිරීමට කටයුතු කළද කොවිඩ්-19 වෛරසය පාලනය කිරීම සඳහා ගෙන ඇති පියවර ඊට සමගාමීව තවදුරටත් ක්‍රියාත්මක වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

කොරෝනා උවදුර මර්දනය කිරීම හා සමගාමීව රටේ ආර්ථිකය, රාජ්‍ය යාන්ත්‍රණය සහ පුද්ගල ආර්ථිකය නොකඩවා පවත්වාගෙන යාම යන කරුණු සළකා දැනට සති 4 ක කාලයක සිට දිවයින පුරා බල පැවැත්වුණු ඇඳිරි නීතිය වඩා ලිහිල් අයුරින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බවයි ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අවස්ථාවේදී ඉතා වගකීමෙන් කටයුතු කිරීම සමස්ත රටවැසියන්ගේ යුතුකමක් බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. සෞඛ්‍ය බලධාරීන් විසින් සපයා ඇති උපදෙස් සහ රජය විසින් පනවා ඇති සීමාවන් නිසි ලෙස පිළිපදිමින් කොවිඩ්-19 අභියෝගය ජයග්‍රහණය කිරීමට සහය වන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.

එමෙන්ම, ඇඳිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කළද එම නිදහස අවභාවිත නොකරන ලෙස යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මේ අතර, රටේ ජන ජීවිතය ක්‍රමවත්ව යළි යථා තත්ත්වයට පත් කිරීමට හැකි ක්‍රමවේද සහිත යෝජනාවලියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා.

සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර සහිත ස්ථාන, ඒ, ඒ ප්‍රදේශවල ඇඳිරි නීතිය ලිහිල් කරනු ලබන කාලසීමාවට යටත්ව නැවත විවෘත කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

මුදල් ආර්ථීක හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම අවසරය ලබාදී ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ. එම කොන්දේසියට අනුව කටයුතු කිරීමට අපොහොසත් වන සුරාබදු බලපත්‍ර සහිත ස්ථාන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටද කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොළඹ, කෙසෙල්වත්ත – බණ්ඩාරනායක මාවතෙන් දින 4 ක් තුළ කොරෝනා ආසාදිතයින් 25 ක්

(19.04.2020 – 18:36 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව, කෙසෙල් වත්ත, බණ්ඩාරනායක මාවත, 146 වත්ත ප්‍රදේශයෙන් දින 4 ක් තුළ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ 25 දෙනෙකු සොයාගෙන ඇති බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල මහතා පවසනවා.

ඔහු කියා සිටියේ අද (19) දින වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ දෙදෙනා (02) ද මෙම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

ඒ අනුව එක් ස්ථානයකින් මෙලෙස වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වනවා.

අද (19) දිනයේ තවත් 90 දෙනෙකුගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමු කළ බවයි කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේ.

+++++++++++++++++++++

කෙසෙල්වත්තෙන් හමු වු කොරොනා රෝගීන් 15 දෙනා අතර ගැබිණි කාන්තාවක්

(19.04.2020 – 19:08 +0530 – sinhala.adaderana.lk)

අද (19) පස්වරුවේ කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 15 දෙනකු හමුවී තිබේ.

ඒ අතරට ගැබිණි කාන්තාවක්ද අයත්.

සෞඛ්‍ය අමාත්‍යාශය පවසන්නේ, සමස්ත රෝගීන් ගණන 269 දක්වා ඉහළ ගෙස් ඇති බවයි.

කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් වාර්තා වූ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ කාන්තාව හා සෘජු සබඳතා පැවැත් වූ පුද්ගලයින් 56 දෙනෙකුගේ ජෛව සාම්පල පී.සී.ආර් පරීක්ෂණයට ඊයේ (18) දිනයේදී යොමු කළේය.

ඒ අනුව ඔවුන්ගේ එම වාර්තාව අද (19) පස්වරුවේ නිකුත් විය.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ, ඉන් දොලොස් දෙනෙකු (12) ට වෛරසය ආසානය වී ඇති බවයි.

එමෙන්ම ඊයේ (18) දහවල් රෝහල්ගත කළ එම ප්‍රදේශයේම පදිංචි අයෙකුටද වෛරසය ආසාදනය වී තිබේ.

මේ අතර එම ප්‍රදේශයේම පදිංචි ගැබිණි කාන්තාවකට ඊයේ (18) රාත්‍රියේ රුධිර වහනයවීම නිසා ඇයව රෝහල්ගත කර තිබේ.

එහිදී සිදුකළ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ ඇයට ද වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඒ අනුව කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් අද (19) වන විට වාර්තා වූ කොවිඩ් නයින්ටීන් රෝගීන් ගණන 15 ක්.

මේ අතර කෙසෙල්වත්ත කොවිඩ් නයින්ටීන් ආසාදිත කාන්තාවගේ සැමියාට ද වෛරසය ආසාදනය වීමත් සමඟ ඔහු සේවය කළ පෞද්ගලික සනීපාරක්ෂක කටයුතු සිදුකරන ආයතනයේ සේවකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල අද (19) ලබාගත්තේය.

ඒ කොළඹ මහනගර සභා භූමියේදීයි.

මේ අතර ගත වූ පැය විසි හතර තුළ මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් දස දෙනෙකු (10) වාර්තා විය.

ඉන් හය දෙනෙකු (06) වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් තිදෙනෙකු (03) ද, එක් කාන්තාවක් (01) වරකාපොලින් ද, වාර්තා වී තිබේ.

යුද හමුදාපතිවරයා පැවසුවේ, ඔවුන් සියලුදෙනාම නිරෝධයනය වෙමින් සිටි පිරිසක් බවයි.

මෙම පිරිස අතරින් වරකාපොලින් වාර්තා වූ 44 හැවිරිදි කාන්තාව ස්වයං නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක්.

ඇය වරකාපොල තුල්හිරිය ප්‍රදේශයේ සිය සහෝදරයෙකුගෙන් නිවසේ පදිංචියට රඹුක්කන සිට පැමිණ ඇත්තේ මීට මාස තුනකට පමණ පෙරයි.

ඇය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි පෞද්ගලික සමාගමක සේවය කළ සනීපාරක්ෂක කටයුතු සිදුකරන කාන්තාවක්.

ස්වයං නිරෝධායන කාලසීමාවේදී ඇය තුල්හිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් උණ හා සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර ගෙන තිබේ.

පසුව ඇය පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුකර තිබුණත් එහිදී වෛරසය ආසාදනය වී නැත.

කෙසේ වෙතත්, දින දහයකට (10) පසු සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

මේ වන විට ඇය ප්‍රතිකාර ලබන්නේ, කොළඹ අයි.ඩී.එච්. රෝහලේයි.

මේ අතර ඊයේ (18) රාත්‍රියේ වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වූ ආසාදිතයින් හය (06) දෙනා ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ ආසාදිතයා සමග සමබඳතා පැවැත් වූ පුද්ලයින් බව තහවුරු වී තිබේ.

ඔවුන් කොළඹ 10, 12 සහ 13 ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත බවට සැකකර හලාවත මහ රෝහලට ඇතුළත් කර සිටි පුද්ගලයෙකු ඊයේ (18) පස්වරුවේ ඉන් පැනයාමට උත්සහා දරා තිබේ.

මෙම පුද්ගලයා මත් කුඩු පානය සඳහා ඇබ්බැහි වූවකු වන අතර ඔහු පසුගියදා නාගලගම්වීදිය ප්‍රදේශයේ නිරෝධායනයට යොමු කළ පිරිස සමඟ සබඳතා පැවැත් වූ අයෙක්.

අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහා පොලිසිය එක්ව ඔහු අල්ලාගෙන යළි රෝහල්ගත කළේය.

මේ අතර අද දින වාර්තා වූ රෝගීන් දෙදෙනාත් සමග මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 269 ක් දක්වා ඉහළ ගියා.

සම්පූර්ණයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ගණන 96 ක්.

එමෙන්ම ආසාදිතයින් 158 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

වෛරසය ආසාදිත යැයි සැකපිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 122 ක්.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අප්‍රේල් 22 දක්වා බස් හා දුම්රිය ධාවනය නැහැ – අමාත්‍ය මහින්ද අමරවීර

(19.04.2020 – 18:05 +0530 – hirunews.lk/sinhala)

මේ මස 22 වන දා දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙන දිස්ත්‍රික්කවල දුම්රිය හෝ බස් රථ ධාවනයක් සිදුනොවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් උපදෙස් අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල හෙට (20) සිට පොදු ප්‍රවාහන සේවාවන් ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා පියවර රැසක් ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, පෞද්ගලික බස් රථ හෙට (20) සිට ධාවනය කිරීමක් සිදුනොවන බවත්, ඒ සඳහා ප්‍රතිපාදන ලබාදීමක් සිදුකර නොමැති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළා.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා කියා සිටියේ හෙට (20) සිට දුම්රියේ ගමන් කළ හැක්කේ මෙතෙක් වාර ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන ඇති සහ ඇඳිරි නීති බලපත්‍ර පවතින මගීන්ට පමණක් බවයි.

+++++++++++++++++++++++++++++++++++

සියලු උත්සව, වන්දනා සහ විනෝද චාරිකා දැනුම් දෙන තෙක් තහනම්

(19.04.2020 – 20:56 +0530 – sinhala.adaderana.lk)

සියලු ආකාරයේ උත්සව, වන්දනා සහ විනෝද චාරිකා , සැණකෙළි , පෙරහැර , රැස්විම ආදිය තවදුරටත් නැවත දැනුම් දෙන තෙක් තහනම් වෙයි.

එමෙන්ම ජනතාව එක් රැස්වන ආගමික කටයුතු ද ක්‍රියාත්මක කිරිම ද තවදුරටත් අත්හිටුවා තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ රට යථා තත්ත්වයට පත් කිරිම සඳහා තම සංගමය විසින් හඳුන්වා දුන් යෝජනා අනුව ක්‍රියාත්මක වන්නේ නම් කොවිඩ්-19 වෛරසය පාලනයකින් යුක්තව එදිනෙදා කටයුතු සිදු කළ හැකි බවයි.

+++++++++++++++++++++

ආහාර රැසක්ම පිටරටින් ගෙන්වීමට වැට බඳී .. ලංකාවේ වවන්න කියයි – ආණ්ඩුවේ ඉදිරි සැළසුමක් හෙළිවේ

(19.04.2020 – 17:36 +0530 – truenews.lk)

මෑතකදී ආනයනය කිරීම තහනම් කර ඇති ආහාර වර්ග 17 ක් ඉදිරියටත් ආනයනය නොකිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (19) දින මැදමුලන පල්ලෙමුලන දී පැවසුවා.

‘පුදබිමට ගෙවත්තක්’ රුක් රෝපණ ජාතික වැඩසටහන පල්ලෙමුලන ධර්මගිරිගිරුවා සදවිහාරයේදි ආරම්භ කිරීමෙන් අනතුරුව ඇමති චමල් රාජපක්ෂ මහතා එසේ සඳහන් කළා.

එහිදි වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමති චමල් රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළා.

“මේ වන විට කොරෝනා වෛරසය අපිට ආශිර්වාදයක් වි තිබෙනවා.මේ රට පසුගාමී රටක් කරන්නට බලපෑ හේතු අපි නැති කරන්න කටයුතු කරමින් තිබෙනවා.

මේ වන විට මේ රටේ වවන්න පුළුවන් මුං කවුපි වැනි ධාන්‍ය වර්ග මේ රට ට අවශ්‍ය පරිදි වගා කරන්නත් එම ආහාර ද්‍රව්‍ය පිට රටින් ආනයනය කිරීම නැවැත්වීමටත් ආණ්ඩුව කටයුතු කරනවා.

එම ප්‍රතිපත්තිය තුළින් මේ රටේ ජාතික ධනය ඉතිරි කර ගැනීමටත් හැකි වෙනවා. මෙම ජාතික වැඩ පිළිවෙලට මේ රටේ ජනතාව විශාල දායකත්වයක් දක්වනවා.”

***************************************

නිධන් හාරන්න ගිය හිමිනම ඇතුළු පස් දෙනා රිමාන්ඩ්

(19.04.2020 – 20:21 +0530 – lankadeepa.lk)

අහංගම, නාකන්දේ නිධානයක් ලබාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට අහංගම පොලීසිය විසින් අත් අඩංගුවට ගත් හිමිනමක් ඇතුළු සැකකරුවන් පස්දෙනා අද (19) ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කල අවස්ථාවේ පොලිසිය තොරතුරු වාර්තාව මගින් (බී වාර්තාව) මගින් ඉදිරිපත් කල කරුණු සැලකිල්ලට ගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් මේ මස 28 වනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කලේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරණු ලැබුවේ ‘ශ්‍රී ගඟුල යෝගාශ්‍රමය, කොතලාවල, කඩුවෙල’ වාසි මීතිරිගල සෝරත හිමි, ‘නොන්ඩියා වත්ත, නාකන්ද, අහංගම’ පදිංචි මාරඹ කොඩිකාර මුනසිංහ හේවගේ බන්දුල, ‘දූනගහ වත්ත, වැලිසර, රාගම’ පදිංචි අලගියාදුර සඳුන් ලක්ෂාන් ප්‍රනාන්දු, ‘දුම්රිය පොල පාර, ගංගොඩවිල, නුගේගොඩ’ පදිංචි පින්නිපතිනි ආරච්චිගේ අජිත් පීරිස්, සහ ‘ගොන්නගහ හේන, අහංගම’ පදිංචි බානගල ගමගේ ෂෙල්ටන් උදය කුමාර නැමැති විත්තිකරුවන් වෙති.

අහංගම පොලීසිය විසින් මොවුන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පුරාවිද්‍යා පනත යටතේ සිදුකල වැරදි සම්බන්ධයෙන් වේ.

***************************************

මෝටර් වාහන, සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය මාස තුනකට තහනම් කෙරේ

(19.04.2020 – 19:18 +0530 – lankaleadnews.com)

මෝටර් වාහන, සුඛෝපභෝගී භාණ්ඩ හා දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි ආහාර වර්ග ආනයනය මාස තුනකට තහනම් කරමින් රජය විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර ඇතැයි කැබිනට් ප‍්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව මෝටර් වාහන, ශීතකරණ, අධි ශීතකරණ, සුඛෝපභෝගී භාණ්ඩ සහ දේශීයව නිෂ්පාදනය කළ හැකි එළවළු, පළතුරු, ගම්මිරිස් ආදිය, මෙන්ම අනවශ්‍ය පිරිවැයක් බව සිතෙන සියලු භාණ්ඩ ආනයනය මාස තුනකට තහනම් කර ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය.

ආනයනයන් සීමා කිරීම මගින් රටින් පිටට ගලායන මුදල් ප‍්‍රමාණය අඩු කර හා රට තුළට ගලාඑන මුදල් ප‍්‍රමාණය වැඩිකිරීම මගින් රුපියලේ අගය ශක්තිමත්ව පවත්වා ගැනීම සදහා මෙම පියවර ගෙන ඇතැයිද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය පිටු 78 කින් සමන්විත බව ද ඇමතිවරයා කීවේය.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මීට අමතරව සමහර භාණ්ඩ ආනයනය අධෛර්යමත් කිරීම සදහා පනවා තිබූ බදු ප‍්‍රතිශතයන් ඉහළ නැංවීමට කටයුතු යොදා තිබෙන බවද ඇමතිවරයා කීවේය.

එසේ වුවත් රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය, යන්ත‍්‍ර සූත‍්‍ර, අමතර කොටස් ආදිය තවදුරටත් ආනයනය කළ හැකි බව කී ඇමතිවරයා මෙම ගැසට් පත‍්‍රය හේතුවෙන් අපනයනකරුවන්ට හෝ කිසියම් පාර්ශවයකට ගැටලුවක් මතුවන්නේ නම් ඒ ගැන අභියාචනයක් මගින් තමාට දැනුම්දෙන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම්දීමක් කර ඇතැයි ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

මැතිවරණ කොමිසමේ සාමාජික හූලේගේ ස්වාධීනත්වය කට දෙපැත්තෙන් බේරෙයි

(20.04.2020 – 01:01 +0530 – lankaleadnews.com)

ස්වාධීන සමාජිකයින්ගෙන් සමන්විත යැයි කියන මැතිවරණ කොමිසමේ එක් සමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූලේ විසින් නැවත වතාවක් ප්‍රසිද්ධියේ පාර්ශවීය සහ අගතිගාමී ප්‍රකාශ නිකුත් කොට ඇත. ‘කොලොම්බු මේලිග්‍රාෆ්’ වෙබ් අඩවියට ලිපියක් සපයමින් රාජ්‍ය නිලධාරීන් වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, පොලිස්පති සහ හමුදාපති යන නිලධාරීන් පිළිබඳ පාර්ශවීය සහ අගතිගාමී ප්‍රකාශ සිදු කොට ඇත.

කාර්යාලයක සාමාන්‍ය ලිපිකරුවෙකු අනුගමනය කරන අචාර ධර්මවත් නොදන්නා මෙම මහාචාර්ය වරයා පිළිබඳ ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ලෙස කථානායක වරයා යම් පියවරක් ගතයුතු බව ඒ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ නීතිඥ කපිල ගමගේ මහතා පවසයි.

මේ ඒ මහතා විසින් ඒ පිළිබඳව මාධ්‍ය වෙත යොමු කළ ලිපිය :

= හූල් යළි හූ කියයි. ‘ෂවේන්ද්‍ර ඉදිරියේ කතා කරන්නත් බයේ බෑ’ ලු =

මැතිවරණ කොමිසමේ ‘මහාචාර්ය තුනෙන් පංගුව’ ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති මහාචාර්ය රත්නජීවන් හූල් යළිත් Colombo Telegraph වෙබ් අඩවියට ලිපියක් පළ කරමින් තම අදහස් දක්වා තිබේ. ඒ ලිපිය මගින් ඔහු අවධාරණය කරනුයේ කොමිසමේ අත කරකවා මැයි 28 මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කරන බවත් තමාද ඇතුළුව ගණපූරණය සකස් වියයුතු කොමිසම විසින් එවැනි තීරණයක් ගැනීම සදහා රැස්වීමක් පවත්වා නොමැති බවත් ය.

ඒ සම්බන්ධයෙන් වන රැස්වීමක් අප්‍රේල් 20 දින පැවැත්වීමට නියමිත බවට 16 වනදා තමන්ව විද්‍යුත් ලිපියක් මගින් දැනුවත් කළ බවත්, තමා කොවිඩ් 19 න් ආරක්ෂිත බවට වෛද්‍ය පරීක්ෂණයන්ට ලක්වී සහතිකයක් ලබාගැනීමට ඒ කාලය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත්, තවද තමාට ඇදිරිනීති බලපත්‍රයක් ලබාගැනීමට ද මේ කාලය ප්‍රමාණවත් නොවන බවත් මහාචාර්ය හූල් අවධාරණය කරයි.

ඒ ආකාරයෙන් නොකෙරෙන රැස්වීමට කොදුරු තෙල් හත් පට්ටය සොයන මහාචාර්ය හූල් අමතරයේ ‘තවත් ටිකක්’ සොයනුයේ ඒ රැස්වීමට පැමිණිමට නියමිත පහත සදහන් පුද්ගලයින්ගේ කැරැට්ටුව හාරා බලමිනි.

මහාචාර්ය හූල්ට අනුව;

“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යනු ඉන්ෆ්ලුවන්සාවත් කොවිඩ් 19 ත් පටලවමින් බොරු ප්‍රවෘත්තියක් ගෙතූ පුද්ගලයෙකි. ඔහු ජනතාවට මුඛ ආවරණ පැළදීමට ඉඩ නොදුන් පුද්ගලයෙකි.

වැඩබලන පොලිස්පති වික්‍රමරත්න යනු සිංහලයින් විසින් ගුරුකන්ද නමින් ජනාවාස කරන ලද චෙම්මලෙයි ප්‍රදේශයේ පන්සලක හිමිනමකගේ දේහය ආදාහනය කිරීම වළක්වන්නට අසමත් වූවෙකි. ඊට අදාල අධිකරණ නියෝගය ක්‍රියාවේ යොදවන්නට අසමත් වූවෙකි.

ඊ ළගට මේ ලුතිනන් ජනරාල් සිල්වා? ඔහු ප්‍රශ්න කරනුයේ එසේය. ඔහුට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් තවමත් අසා නිම නොකළ චෝදනා රාශියක් ඇත. ඔහුට එරෙහිව තවත් මානව හිමිකම් සංවිධාන වෙතින්ද චෝදනා රාශියකි. යුද සමයේ දසදහස් ගණනින් දෙමළුන් සමූලඝාතනයට අණදීමේ වගකීම ඇත්තෙකි. දෙමළෙකු ලෙස 20 දින ඔහු හමුවූ විට ඔහු සමග තර්ක කිරීමටත් මම බියවෙමි.

මේ තිදෙනාම කියන කරුණු ඉතා ප්‍රවේශමින් කිරා මැන බැලිය යුතුය.”

අහෝ! ස්වාධීන මැතිවරණ කොමසාරිස්වරයෙකුගේ තරම. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කල යුතුයයි හඩනගන කිසිවෙකු හෝ කොමිෂන් සභාවලට පත්කරන මෙවැනි බුද්දිමතුන්ගේ සාමාන්‍ය බුද්ධියත්, ජාතිවාදීත්ව දර්ශකයත් පරීක්ෂා කරන්නැයි යොජනා නොකිරීම දැඩි අඩුවක් බව දැන්වත් වටහා ගත යුතු නොවේද?

ඔහුගේ තවත් අඳෝනා බොහොමයකි. රටේ අවාසනාවට මෙවැනි කොමසාරිස්වරුන් මහජන මුදලින් නඩත්තු කිරීමට සිදුව ඇත්තේ ඔවුන් ඉවත් කිරීමට හෝ ඔවුන් සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගැනීමට මහජනතාවට කිසිදු අවස්ථාවක් සලසා නොමැති බැවිනි. මේ මීට මාස හයකට කලින්ද මැතිවරණ පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ මැතිවරණ කොමිසම් සාමාජිකයාමය. ඒ තමන්ගේ දේශපාලන කදවුර වෙනුවෙනි. මෙවරද ඔහු මේ දිගට හරහට ලිපි ලියනුයේ තම දේශපාලන කදවුර වෙනුවෙනි. ස්වාධීන වෙනුවට ස්ව-දීන කොමසාරිස්වරුන් හිමිවීමේ කරුමය අප විසින් ගෙවිය යුත්තේ ඔවුන් අපගේ මුදලින් නඩත්තුද කරමිනි.

මහාචාර්ය හූල් මේ සැරසෙන්නේ කෙසේ හෝ මැතිවරණය කල්දමා තම දෙශපාලන කදවුරේ අවශ්‍යතාවය වන පැරණි පාර්ලිමේන්තුව යළි කැදවාගැනීමටය. ඔහු තම අවසන් ගුග්ලිය දමනුයේ සාකච්ඡාවට තවත් විශේෂඥයින් අවශ්‍ය බවට හෙට්ටු කරමිනි. එනම්, ප්‍රජාවෛද්‍යවේදීන්, වසංගතරෝගවේදීන්, වෛරසවේදීන් සහ ක්ෂුද්‍රජීවවේදීන් ආදී වශයෙනි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සියළු අංශ නියෝජනය කළද මහාචාර්ය හූල් කෝඳුරු තෙල්ම සොයන නිසාත්, හත්පට්ටය සහ තවත් ටිකක් ම ඉල්ලන නිසාත් 20 වනදා රැස්වීමේදී පාදයක් පෙරට තබා දැවැන්ත පහරක් එල්ලකිරීමට අවශ්‍ය පුහුණුව සහිතව එයට සහභාගී විය යුතු බව අවධාරණය කරමි.

– නීතීඥ කපිල ගමගේ

+++++++++++++++++++++

මැයි 28 මහ මැතිවරණය පැවැත්වීමට තමා එකඟ නොවන බව දක්වමින් රත්නජීවන් හූල්ගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

(20.04.2020 – 09:33 +0530 – newsfirst.lk)

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා අලුත් දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාවේ සාමාජීක රත්නජීවන් හූල් මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ඉකුත් 16 වැනි දා නිකුත් කෙරුනු ලිපිය අද (20) මාධ්‍ය වෙත යොමු කර තිබේ.

එම ලිපියේ සඳහන් වන්නේ, අප්‍රේල් මස 14 වැනි දා කොමිසමේ සභාපතිවරයා තමා වෙත දුරකතන ඇමතුමක් දී අද (20) පැවැත්වෙන කොමිෂන් සභාවේ රැස්වීමට සහභාගී වන්නේදැයි විමසා මැයි මස 28 වැනි දා මැතිවරණය පැවැත්වීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට යෝජනා කළ බවය.

තමා එය ප්‍රතික්ෂේප කරමින් මෙම ලිපිය කොමිෂන් සභාව වෙත යොමු කරන බව රත්නජීවන් හුල් මහතා සඳහන් කර තිබේ.

මැයි මස 28 වැනි දා මැතිවරණය පැවැත්වීම සඳහා තමා එකඟනොවන බව සාධාරණීකරණය කිරීමට රත්නජීවන් හුල් මහතා කරුණු 7 ක් යටතේ සිය මතය ඉදිරිපත් කර තිබේ.

මේ අතර මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයට සිය ෆේස්බුක් ගිණුමේ මහ මැතිවරණය පැවැත්වීමේ දිනය මුල් කර ගනිමින් ඇතිවී තිබෙන කතා බහ පිළිබඳව සිය ස්ථාවරය සඳහන් කර තිබේ.

ඔහු එහි සඳහන් කර ඇත්තේ, මැතිවරණ කොමිසම තුළ කතා කළ යුතු දේ විශේෂයෙන්ම විවාදයට තුඩුදෙන හෝ සමාජය සංවේදී කරුණු කොමිසම තුළ සාකච්ඡා කිරීමට පෙර ඒ පිළිබඳ ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම තමා හෝ මැතිවරණ කොමිසම අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් නොවන බවයි.

එහි තමාගේ මතය දැනට ප්‍රකාශයට පත්කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සිය මුහුණු පොතේ සටහන් කර තිබේ.

කල් තබා ඇති මැතිවරණය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිසම සතු බව එහි සඳහන් ය.

ඒ පිළිබඳ විවිද අදහස් ජනමාධ්‍ය තුළ පළ වූ නමුත් එම දිනවකවානු තීරණය කිරීමේ බලය එනම් කල්තබන ලෙස හෝ කඩිනමින් පවත්වන ලෙස හෝ නොයෙකුත් අදහස් ප්‍රකාශ වුවද ඒ කිසිවකින් මැතිවරණය කල්තැබීමට හෝ පැවැත්වීමට හෝ මැතිවරණ කොමිසන් සභාවට නියම කිරීමේ බලපෑම කළ නොහැකිය.

එසේ වුවද කොමිසම වෙත සන්නිවේදනය කරන ලද සෑම කරුණක් හා රටේ තත්ත්වය විශේෂයෙන්ම වසංගතය නිසා සහ එය පාලනය කිරීම සඳහා පනවා ඇති නියමන් පිළිබඳව මෙන්ම නිදහස් හා සාදාරණ විනිවිද බවින් යුතු හා විශ්වාසනීය ඡන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය යහපත් වාතාවරණය ඇතිකර ගැනීම සම්බන්ධයෙන්ම තරගය සමභුමියේ සටනක් ලෙස පැවැත්විය යුතු බව කොමිසම විසින් සලකා බලනු ලබන බව කොමිසමේ සභාපතිවරයා සිය මුහුණු පොතේ සටහන් කර තිබේ.

සභාපතිවරයට අවධාරණය කරන්නේ, තමාගේ පක්ෂපාතීත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රජාතන්තවාදයට හා ජනතාවට බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *