කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කරයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කරයි (විඩියෝ)

• මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 295 දක්වා ඉහළ යයි (විඩියෝ)

• කොරෝනා වල අවසානය සහ තවත් වසංගතයක ආරම්භය. අභිඝ්‍යාගේ අනාවැකිය (විඩියෝ)

• අද (20) සවස හඳුනාගත් අවසන් කොවිඩ්-19 රෝගියා පිලියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක් – සමස්ත ආසාදිතයන් ගණන 304 යි (විඩියෝ)

• දිනක වැඩිම කොරෝනා ආසාදිතයින් අද (20) වාර්තා වෙයි – කොළඹ, බණ්ඩාරනායක මාවතෙන් ආසාදිතයින් 32 ක්

• බණ්ඩාරනායක මාවතෙන් නව කොරෝනා ආසාදිතයන් 24 ක් හමුවේ – සමස්ත රෝගීන් 295 දක්වා ඉහලට

• පාලනයක් ඇතිව රට විවෘත කළත් කොරෝනා තර්ජනය තවම අවසන් වී නැහැ – විශේෂ සාකච්ඡාවේදී ජනපති කියයි (විඩියෝ)

• කෘෂි සහ සෙසු කර්මාන්ත දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධනයට ජනපති අවධානය

• දිස්ත්‍රික්ක 4 කට හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට අද (20) රාත්‍රී 8 ට යළිත් ඇඳිරි නීතිය

• ආනයනය සිමා කළ භාණ්ඩ

• සෞඛ්‍ය රීති කැඩූ බස් රථවලට සහ මගීන්ට වැඩ වරදියි (විඩියෝ)

• ජීවනෝපාය අහිමි වු අනු පවුල් ඒකක සඳහාත් 5000 දීමනාව ගෙවීමට පියවර

• නවීන තාක්ෂණික වෛද්‍ය උපකරණයක්

• COVID 19 අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 769 ඉක්මවයි

+++++++++++++++++++++++++++++++++++

කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කරයි

(20.04.2020 – 11:02 +0530 – sinhala.adaderana.lk)

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 05:00 දක්වා දීර්ඝ කර තිබේ.

සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 08:00 සිට පසුදා අළුයම 05:00 දක්වා පමණි.

අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 08:00 ට මේ දිස්ත්‍රික්කවල යලි ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය අප්‍රේල් 27 දා සඳුදා උදේ 05:00 දක්වා බලාත්මකව පවතී.

ඒ අනුව සති අන්තයේ අප්‍රේල් 25 දා සෙනසුරාදා සහ 26 දා ඉරිදාත් මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක කෙරේ.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම සියලු දෙනාට සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදිය සම්බන්ධයෙන් කලින් ප්‍රකාශයට පත් කළ කොන්දේසි හා උපදෙස් නොවෙනස්ව පවතී.

+++++++++++++++++++++++++++++++++++

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 295 දක්වා ඉහළ යයි

(20.04.2020 – 09:48 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 295 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ නව ආසාදිතයින් 24 දෙනෙක් සොයා ගැනීමත් සමඟයි.

මෙම නව ආසාදිතයින් හමුව ඇත්තේ කොළඹ 12, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිරෝදායනයට ලක්කර ඇති පිරිස අතරින් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වල අවසානය සහ තවත් වසංගතයක ආරම්භය. අභිඝ්‍යාගේ අනාවැකිය | Prediction of Abhigya Anand (13 APR 2020)

+++++++++++++++++++++++++++++++++++

අද (20) සවස හඳුනාගත් අවසන් කොවිඩ්-19 රෝගියා පිලියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක් – සමස්ත ආසාදිතයන් ගණන 304 යි

(20.04.2020 – 21:27 +0530 – sinhala.adaderana.lk)

අද (20) සවස හඳුනාගත් අවසන් කොවිඩ්-19 රෝගියා පිලියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අද (20) දිනය තුළ හඳුනාගත් ආසාදිතයන් තිස් තුන්දෙනා (33) සමඟ මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 304 ක්.

කොවිඩ් නයින්ටීන් ආසාදිත පුද්ගලයින් 24 දෙනෙකු එකවර අද (20) හඳුනාගැනුණේ කොළඹ 12, කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන්.

ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක්.

අද (20) පස්වරුවේ හඳුනාගැනුණු 08 දෙනාද කෙසෙල්වත්තෙන් හඳුනාගත් අය වන අතර ඒ අනුව එම ප්‍රදේශයෙන් අද (20) වන විට වාර්තා වී ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන 47 ක්.

අනෙක් පුද්ගලයා ද අද (20) සවස වාර්තා විය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

දිනක වැඩිම කොරෝනා ආසාදිතයින් අද (20) වාර්තා වෙයි – කොළඹ, බණ්ඩාරනායක මාවතෙන් ආසාදිතයින් 32 ක්

(20.04.2020 – 19:16 +0530 – hirunews.lk/sinhala)

දිනක් තුළ මෙරටින් හමු වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අද (20) වාර්තා වුණා. එම සංඛ්‍යාව මේ වන විට 32 ක්.

වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම වාර්තාවට අනුව පෙරවරුවේ තහවුරු කර ගත් රෝගීන් 24 දෙනාට අමතරව අලුතින් ආසාදිතයින් 08 දෙනෙකු පස්වරුවේ සොයා ගෙන තිබෙනවා.

ඔවුන් ද කොළඹ – කෙසෙල්වත්ත – බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් වීම විශේෂත්වයක්.

මේ සමඟම එම ප්‍රදේශයෙන් මේ දක්වා සොයා ගැනුණු රෝගීන් සංඛ්‍යාව 57 දක්වා ඉහළ ගියා.

බණ්ඩාරනායක මාවතෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූයේ පසුගිය 15 වන දායි.

59 හැවිරිදි කාන්තාවක් වන ඇයට වෛරසය වැළදී ඇති බවට කොළඹ ජාතික රෝහලේදී තහවුරු වුණේ පවුලේ සමාජිකයින් සමග දඹදිව වන්දනාවේ ගොස් මෙරටට පැමිණ දින 33 කට පමණ පසුවයි.

එදින සිට එම ප්‍රදේශයෙන් අඛණ්ඩව ආසාදිතයින් වාර්තා වන අතර, මේ දක්වා වාර්තා වන රෝගීන්ට පූර්ව රෝග ලක්ෂණ නොපෙන්වීම ද විශේෂත්වයක්.

වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් ඊයේ (19) සහ පෙරේදා (18) මෙම ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් ජෛව සාම්පල ලබාගෙන පරීක්ෂණ සඳහා යොමු කෙරුණා.

ඒ අනුවයි අද (20) දිනයේ අලුතින් රෝගීන් තිස් දෙදෙනෙකු (32) සොයා ගැනුණේ.

ඊයේ (19) දිනයේ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයට සබඳතා ඇති දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වුණා.

ඉන් එක් අයෙකු, දඹදිව ගොස් පැමිණි කාන්තාවගේ ස්වාමි පුරුෂයා සේවය කරන ස්ථානයේ සේවකයෙකු වන අතර, ඔහු කොළඹ 12, ගෝමස් පටුමගේ පදිංචිකරුවෙක්. ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි අනෙක් පුද්ගලයා කාන්තාවගේ පුත්‍රයෙකුගේ මිත්‍රයෙක්.

මේ අතර, ගෝමස් පටුමග සහ බණ්ඩාරනායක මාවත යන ප්‍රදේශ වල වෛද්‍ය පරීක්ෂණ සඳහා සම්බන්ධ වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පුද්ගලයින් 50 දෙනෙකුගේ පමණ පී.සී.ආර්. පරීක්ෂණ ලබා ගැනීම අද (20) සිදුකෙරුණා.

වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සොයා ගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය වන්නේ ද බණ්ඩාරනායක මාවත පිහිටි මැදකොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයයි. මීට පෙර වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් වන අතර එම සංඛ්‍යාව 36 ක්.

කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී රුවන් විජේමුණි මහතා කියා සිටියේ බණ්ඩාරනායක මාවතේ අධික ජන ඝනත්වයක් පැවතීම ද වෛරසය ව්‍යාප්ත වීමට හේතුවන් වී ඇති බවයි.

මේ අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගැනීමත් සමඟ එම දෙපාර්තමේන්තුව නැවත දැනුම්දෙනතුරු වසා තැබීමට තීරණය කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ සේවය නිරත පෞද්ගලික ආරක්ෂක සේවයේ නිලධාරින් සියලුදෙනාට දෛනික ආහාර වේල් සපයා ඇත්තේ බණ්ඩාරනායක මාවතේ පදිංචිකාරිනියක් වන ඇය විසින්.

අවට පවතින තත්ත්වය සලකා අලුත්කඩේ අධිකරණය විවෘත නොකිරීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළා. එසේම, අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩු සියල්ල කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ ෴

+++++++++++++++++++++

බණ්ඩාරනායක මාවතෙන් නව කොරෝනා ආසාදිතයන් 24 ක් හමුවේ – සමස්ත රෝගීන් 295 දක්වා ඉහලට

(20.04.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත බවට තහවුරු කරගත් නව රෝගීන් විසි හතරදෙනෙකු (24) අද (20) වාර්තාවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තාවී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 295 ක්.

අද (20) දිනයේ මේ දක්වා වාර්තාවන සියලු රෝගීන් හමුවී ඇත්තේ කොළඹ – 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන්.

දිනක් තුළ වාර්තාවූ වැඩිම රෝගීන් සංඛ්‍යාව මෙය වන අතර, මීට පෙර වැඩිම රෝගීන් සංඛ්‍යාව 21 දෙනෙක් වාර්තා වුයේ පසුගිය මාර්තු 31 වනදායි.

ඊයේ (19) දිනයේදී හදුනාගනු ලැබු ආසාදිතයින් 15 දෙනා ද බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

කොරෝනා වෛරසය වැළදුණු කාන්තාවක් පසුගිය 15 වනදා මුල්වරට සොයාගැනුනු අතර, මේ අනුව බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් මේ දක්වා හමුවී ඇති රෝගීන් සංඛ්‍යාව 49 ක් වනවා. ඊට මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා, දෙවන පුත්‍රයා සහ බාල පුත්‍රයාද ඇතුළත්.

මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවකයින් හත්දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

ඒ, එහි ආරක්ෂක අංශයේ සේවය කළ පුද්ගලයෙකුගේ පෙම්වතියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන්.

ඇය කෙසෙල්වත්ත – බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඊයේ (19) රෝගය හඳුනාගත් පිරිසට මෙම 17 හැවිරිදි මෙම තරුණියද ඇතුළත්.

කෙසේ වෙතත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද කොළඹ නගරයේ සේවා ස්ථාන තුළ සේවය කිරීමේදී අනිවාර්යයෙන් මුහුණු ආවරණ පළඳින ලෙසයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කළේ.

මේ අතර, අද (20) දිනයේදි කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 40 ආසන්න පිරිසක් නිරෝධායනය අවසන් කොට නිවෙස් බලා යාමට නියමිතයි.

මේවනවිට නිරෝධායන මධ්‍යස්ථාන 9 ක පුද්ගලයින් 1563 දෙනෙක් සිටින අතර, දැනට පුද්ගලයින් 4143 දෙනෙකු නිරෝධායනය අවසන් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියා ෴

+++++++++++++++++++++++++++++++++++

පාලනයක් ඇතිව රට විවෘත කළත් කොරෝනා තර්ජනය තවම අවසන් වී නැහැ – විශේෂ සාකච්ඡාවේදී ජනපති කියයි

(20.04.2020 – 20:33 +0530 – hirunews.lk/sinhala)

යම් පාලනයක් ඇතිව රට විවෘත කළත් කොරෝනා වෛරසයේ තර්ජනය තවම අවසන් වී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සමග කළ විශේෂ සාකච්ඡාවකදියි. ‘හිරු ටී වී’ ඔස්සේ විකාශය වූ එම සාකච්ඡාවේදී ජනපති වැඩිදුරටත් පැවසුවේ තවත් රට වසා තැබීම කළ හැකිද යන්න බැරෑරුම් තීරණ ගැනීමට සිදුවූ බවයි.

ජනතාව අත විශාල වගකීමක් ඇති බවත්, ඔවුන්ගේ සහයෝගය අතිශය වැදගත් බවත් ජනපති සඳහන් කළා.

විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් ප්‍රමුඛතා අනුපිළිවෙළට මෙරටට ගෙන්වා ගන්නා බවද පැවසු ජනපති, මැතිවරණය ගැන සම්පූර්ණ බලය තිබෙන්නේ ස්වාධින මැතිවරණ කොමිසමට බවද කියා සිටියා.

සම්පුර්ණ සාකච්ඡාව ඇතුළත් වීඩියෝව පහතින් :

+++++++++++++++++++++++++++++++++++

කෘෂි සහ සෙසු කර්මාන්ත දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධනයට ජනපති අවධානය

(20.04.2020 – president.gov.lk)

• යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම දිසාපතිවරුන්ගේ මූලිකත්වයෙන් …
• කෘෂි සහ නව කර්මාන්ත සංවර්ධනයට රජයේ පූර්ණ සහය …
• එළවළු පළතුරු ඇතුළු කෘෂි භෝග අපනයන වෙළෙඳපොළ පිළිබඳ විමසුමක් …
• අස්වැන්න කල් තබා ගත හැකි මාර්ග විමර්ශනයට අවධානය …

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිළදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රනයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි.

මෙම ක්‍රියාවලිය සියලුම දිසාපතිවරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

දිස්ත්‍රික් ලේකම්වරු සමග අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

කොරෝනා වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන් දුන් සහයෝගය ඉතා ඉහළ බව සඳහන් කළ ජනාධිපතිතුමා ඊට සිය ප්‍රසාදය පළ කළේය. කොරෝනා වෛරසය මර්දනයට මෙතෙක් ගෙන ඇති පියවර සහ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා දිසාපතිවරුන් දැනුවත් කළේය.

දෛනිකව වෛරසය ආසාදිත බවට හඳුනා ගැනෙන රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව හෝ හුදකලා ප්‍රදේශවලින් හෝ වීම මර්දනයට ගත් ක්‍රියාමාර්ගවල සාර්ථක ප්‍රතිඵලයක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ඇඳිරි නීතිය ලිහිල් කර ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීමට රජය පියවර ගනිමින් සිටී. ආර්ථික වශයෙන් ශක්තිමත්වීම රජයේ අරමුණයි. ඒ සඳහා කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය දි දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම දිස්ත්‍රික් මට්ටමේ දේශීයත්වයට ආවේණික කර්මාන්ත මෙන්ම සෙසු නිෂ්පාදන කර්මාන්ත කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ඒ සඳහා ව්‍යවසායකයන් දිරිමත් කළ යුතු අතර ඔවුන්ට පුර්ණ සහාය රජයක් ලෙස ලබාදිය යුතු යැයි ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ධීවර සංස්ථාව මෙන් කෘෂි අස්වනු මිලදී ගැනීමට එළවළු සංස්ථාවක් වැනි ආයතනයක අවශ්‍යතාව කෙරෙහි ද අවධානය යොමු කෙරිණ. පසු අස්වනු තාක්ෂණ ආයතනය සිදු කරන පර්යේෂණවල නිර්දේශ ජනතාව සහ ගොවීන් අතර ප්‍රචලිත කොටක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් සැකසිය යුතු බවට එකඟත්වය පළ විය.

පවතින වාතාවරණයත් සමග බොහෝ පිරිස් ගොවීන්ගෙන් මිලදී ගන්නා කෘෂි භෝග ඝෘජුව පාරිභෝගිකයා වෙත අලෙවි කිරීමේ යෙදී සිටිති. එහි වාසි දායක බව පෙන්වා දුන් දිසාපතිවරු මෙමගින් ගොවියා මෙන්ම පාරිභෝගිකයාට ද සහන සැලසී ඇති බව කීහ. එය ශක්තිමත් කරමින් ඉදිරියට කරගෙන යාමට නීතිමය ක්‍රමවේදයක් සැකසීමේ වැදගත්කම ද ඔව්හු අවධාරණය කළහ.

දිස්ත්‍රික් මට්ටමින් ශිතාගාර සහ ගබඩා ස්ථාපනය සහ දේශීය බීජ නිෂ්පාදනය සිදු විය යුතු බව දිසාපතිවරු සඳහන් කළහ.

මුඩුබිම් වගා කිරීම, වගා නොකළ බිම් ආරක්ෂක අංශ සහ බන්ධනාගාර රැඳවියන්ගේ දායකත්වයෙන් අස්වැද්දීම, යටි භෝග වගාව කෙරෙහි මෙන්ම කුඹුරු නියර ආශ්‍රිත වගාවන්ට ගොවීන් දිරිමත් කිරීමට පියවර ගැනීමේ වැදගත්කම ද සාකච්ඡා කෙරිණ.

රබර් නිෂ්පාදන, කොසු, ඉදල් පේෂකර්ම ඇතුළු දේශීය කර්මාන්ත නගා සිටුවීම, දියර කිරි නිෂ්පාදන දිරිමත් කිරීම ඇතුළු කෘෂි සහ කර්මාන්ත ආශ්‍රිත ක්ෂේත්‍ර රැසක සංවර්ධනය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, කැබිනට් ලේකම් එස්. අමරසේකර, මුදල් ලේකම් එස්. ආටිගල, රාජ්‍ය පරිපාලන ලේකම් එස්. හෙට්ටිආරච්චි, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිසිපති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ ෴

+++++++++++++++++++++++++++++++++++

දිස්ත්‍රික්ක 4 කට හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට අද (20) රාත්‍රී 8 ට යළිත් ඇඳිරි නීතිය

(20.04.2020 – 18:56 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවලට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය අද (20) පස්වරු 8 ට යළිත් පැනවීමට නියමිතයි.

එලෙස පැනවෙන ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කෙසේ වෙතත්, මේ මස 25 වනදා සහ 26 වනදා සති අන්තයේදී මෙම දිස්ත්‍රික්කවල ද ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ඒ අනුව 24 වනදා රාත්‍රී 8 ට පනවනු ලබන ඇදිරි නීතිය ඉවත් කරනු ලබන්නේ 27 වන සදුදා අලුයම 5 ටයි.

මේ අතර, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට අනිද්දා ඉවත් කිරීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය මේ මස 27 වන සඳුදා අලුයම 5 දක්වා යළි දීර්ඝ කර තිබෙනවා.

මීට අමතරව එම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම සියළු දෙනාට සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදිය සම්බන්ධයෙන් කළින් ප්‍රකාශයට පත් කළ කොන්දේසි සහ උපදෙස් නොවෙනස්ව පවතින බවද ජනාධිපති මාධ්‍ය අංශය ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන්.

ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 34,183 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, අද (20) ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල ජනතාව මීට පෙර අවස්ථාවල මෙන් නොව අද (20) දිනයේ නගර වෙත පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

ඇතැම් ප්‍රදේශවල ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කර තිබුණ ද ප්‍රදේශ රැසකින් වාර්තා වූයේ ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකොට සිය දෛනික අවශ්‍යතා ඉටු කර ගත් බවයි.

ඇඳිරි නීතිය ඉවත් කරන ලද ප්‍රදේශවල බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (19) දිනයේදී ඒ සඳහා විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කළා.

එහිදී ප්‍රවාහන බලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දුන්නේ මීටරයක පරතරය පවත්වාගෙන යමින් ප්‍රවාහන කටයුතු සිදුකරන ලෙසටයි.

එහෙත් එම උපදෙස් නොතකමින් මගීන් බස් රථවල ගමන් ගන්නා බවට ප්‍රදේශ රැසකින් තොරතුරු වාර්තා වුණා.

එවැනි අවස්ථාවලදී සෞඛ්‍ය බලධාරීන්, පොලීසිය හා එක්ව මගීන්ට සහ එම බස් රථ රියදුරන්ට අවවාද කළා.

කෙසේ වෙතත්, ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල සෞඛ්‍ය උපදෙස් පිළිනොපදිමින් මගීන් ප්‍රවාහනය කරන සියලු බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එවැනි බස්රථ වල ධාවන බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම, එළඹෙන බදාදා විවෘත කිරීමට නියමිතව තිබූ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය එදින විවෘත නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුලුවගේ මහතා පවසනවා. බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ඉවත් කිරීමේ දිනය දීර්ඝ කිරීමත් සමඟ මෙම තීරණයට එළඹුණු බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත්, මීට පෙර දැනුම් දුන් පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව – හම්බන්තොට දක්වා කොටස සෑම දිනකම පෙරවරු 7 සිට රාත්‍රි 7 දක්වා විවෘතව පවතිනු ඇති.

කෙසේ නමුත් එය භාවිත කළ හැක්කේ ඇඳිරි නීති බලපත්‍ර දරන්නන් සහ අත්‍යාවශ්‍ය සේවාවල නිරත වන්නන්ට පමණක් බව ද ඔහු කියා සිටියා.

මේ අතර, සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර සහිත ස්ථාන, ඒ, ඒ ප්‍රදේශවල ඇඳිරි නීතිය ලිහිල් කරනු ලබන කාලසීමාවට යටත්ව නැවත විවෘත කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඊයේ (19) හිමි වුණා.

ඒ අනුව ඇතැම් ප්‍රදේශවල ජනතාව මත්පැන් මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැදී සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ. විශේෂයෙන් මසකට ආසන්න කාලයක් වසා තිබී යළි විවෘත කෙරුණු වතුකරයේ මත්පැන් අලෙවිසැල් ඉදිරිපිට අද දින දිගු පෝලිම් දක්නට ලැබුනු අතර, ඇතැම් මත්පැන් අලෙවිසැල්වල මත්පැන් දහවල් වනවිට විකිණී අවසන් වී ඇති බවට ද වාර්තා වනවා.

කෙසේ වෙතත්, මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ මොහොතේ සුරාසල් විවෘත කිරීමට රජය ගත් තීන්දුව කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

මේ අතර, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය ලබන 27 වනදා දක්වා අඛන්ඩව ක්‍රියාත්මක වීම හේතුවෙන් කොළඹ කොටස් වෙළදපොල යළි විවෘත කිරීම කල් දමා තිබෙනවා.

ඒ අනුව එය ලබන 22 වනදා ගනුදෙනු සදහා යළි ආරම්භ නොවන බවයි කොටස් වෙළදපොල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

ආනයනය සිමා කළ භාණ්ඩ

(20.04.2020 – 15:27 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව හඳුනාගත් භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම තාවකාලිකව සිමා කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ආනයන හා අපනයන පාලක ජනරාල් නිකුත් කළ නිවේදනය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

The Gazette Notification of Temporary Suspension of Import of Selected Items (Gazette No.-2171/05) (pdf file)

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

සෞඛ්‍ය රීති කැඩූ බස් රථවලට සහ මගීන්ට වැඩ වරදියි

(20.04.2020 – 11:24 +0530 – hirunews.lk/sinhala)

සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය කොළඹ, ගම්පහ, කළුතර, සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල අද (20) පෙරවරු 05:00 ට ලිහිල් කෙරුණා.

ඒ ජන ජීවිතය යථාවත් කිරීමේ අරමුණින්.

අද (20) උදෑසන ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ පොදු ප්‍රවහන සේවාවන් ද ක්‍රියාත්මක වූ අයුරු දක්නට ලැබුණා.

කෙසේ වෙතත් රජය නිවේදනය කර තිබූ නීතී රීතින් වලට පටහැනිව මගීන් ප්‍රවාහනය කළ බස් රථ සේවකයන්ට ගාල්ල නගරයේදී පොලිසිය විසින් අවවාදකර එම බස් රථවල සිටි අතිරික්ත මගීන් ඉන් බැස්සවීමට කටයුතු කළා.

අනතුරුව නියමිත නීතී රීතින්ට අනුව බස් රථවල මගීන් සීමාකරමින් බස් රථ ධාවනයට පොලිසිය කටයුතු කළේ මේ ආකාරයෙන්.

+++++++++++++++++++++++++++++++++++

ජීවනෝපාය අහිමි වු අනු පවුල් ඒකක සඳහාත් 5000 දීමනාව ගෙවීමට පියවර

(21.04.2020 – 07:13 +0530 – sinhala.adaderana.lk)

ජීවනෝපාය අහිමි වූ පවුල් ඒකක සඳහා ගෙවනු ලබන රුපියල් 5000 ක දීමනාව ගෘහ මූලික ලැයිස්තුවේ ඇති පවුල් ඒකකයක සිටින අනු පවුල් සඳහා ද ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව පවුල් ඒකකයක් තුළ සිටින විශේෂයෙන් වෙන්කර හදුනාගත හැකි පවුල්, විදේශ රැකියා සදහා විදේශ ගත වු පුද්ගලයන් සිටින, ආර්ථික දුෂ්කරතා ඇති පවුල්, පුද්ගලික අංශයේ ඇගලුම් කාර්මාන්ත ශාලා වැනි රැකියාවල නිරත අප්‍රේල් මස වැටුප නොලැබූ හෝ රුපියල් 5000 ට වඩා අඩුවෙන් වැටුප් ලැබූ පුද්ගලයන් සිටින පවුල් අදාළ දීමනාව සදහා සුදුසුකම් ලබයි.

ඊට අමතරව විවිධ විශ්‍රාම වැටුප් ක්‍රම මගින් මාසික විශ්‍රාම වැටුප රුපියල් 5000 ට වඩා අඩු විශ්‍රාම වැටුපක් අප්‍රේල් මස ලැබූ අයෙකු සිටින පවුල් සඳහා ද වැවිලි ක්ෂේත්‍රයේ අනියම්, ආදේශ, තාවකාලික වැටුප් ලැබූ අයෙකු සිටින පවුල් මෙන්ම සුදුසුකම් සපුරා ඇති එහෙත් මෙතෙක් රුපියල් 5000 දීමනාව නොලැබු පවුල් වෙත ද අදාළ දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා ඉදිරිපත්වන අභියාචනා ග්‍රාමිය කමිටුවට ඉදිරිපත් කළ හැකි වන අතර එම පවුල් සඳහා ද හෙට (22) දිනට පෙර මුදල් ගෙවා අවසන් කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

නවීන තාක්ෂණික වෛද්‍ය උපකරණයක්

(20.04.2020 – 23:32 +0530 – sinhala.adaderana.lk)

COVID-19 ගෝලීය වසංගත රෝගය අද වන විට ලෝකයේ රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 208 ක පැතිර ගොස් ඇත.

මෙය බෝවන රෝගයක් වීම හේතුවෙන් වෛරසයට ගොදුරු වන ජනතාවට ප්‍රතිකාර හා සත්කාර සේවාවන් සිදු කරන වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශාල අභියෝගයට මුහුණ දෙනු ලබයි.

මෙම අභියෝගය ජය ගැනීම සඳහා අප රට තුල මෙන්ම ලොව පුරා නවීන තාක්ෂණික වෛද්‍ය මෙවලම් නිර්මාණය කිරීමට බොහෝ දෙනා කටයුතු කිරීම ද මේ වන විට දක්නට ලැබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් සහ වෙනත් අයුරකින් අකර්මණ්‍ය වූ හදවතක් පැයක් වැනි කාලයක් තුල නැවත පණ ගැන්විය හැකි පරිදි තෙරපුම් බලය ලබාදිය හැකි නවීන තාක්ෂණික වෛද්‍ය උපකරණයක් (CPR Machine)කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙකු වන ඩිල්ෂාන් අබේවර්ධන මහතා විසින් නිපදවා ඇත.

එම වෛද්‍ය උපකරණය අද(20) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත හදුන්වාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

මෙම අවස්ථාවට අමාත්‍යතුමීයගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ඇතුලු නිලධාරින් පිරිසක් ඒකවිය.

+++++++++++++++++++++++++++++++++++

COVID 19 අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 769 ඉක්මවයි

(20.04.2020 – 22:28 +0530 – sinhala.adaderana.lk)

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 769 ඉක්මවයි.

සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක බෙල්ලන්විල ධම්මරතන හිමි රුපියල් මිලියන 05 ක්, උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම ධම්මසිරි හිමි රුපියල් මිලියන 05 ක්, ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන නා හිමි පුණ්‍යාධාර භාරය රුපියල් මිලියනයක් ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය තවලම ධම්මික හිමි සහ විහාරාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍ය හල්විටිගල සුජාත හිමි රුපියල් මිලියනයක්, ගල්කිස්ස බෞද්ධායතනාධිපති ආචාර්ය පූජ්‍ය දිවියගහ යසස්සි හිමි රුපියල් මිලියනයක්, ඉතාලියේ ෂිරෙන්සිහි සමාධි විහාරාධිපති පූජ්‍ය දොඹදෙනියේ නන්දසිරි හිමි රුපියල් ලක්ෂ 02 ක්, සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළහ.

සී.ජේ. වික්‍රමරත්න මහතා රුපියල් මිලියන 05 ක්, මැරයින් වන් පෞද්ගලික සමාගම රුපියල් මිලියනයක්, මරීනා ෆුඩ්ස් පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා හෘද සංගමය රුපියල් මිලියන 05 බැගින් ද, මාර්ග ප්‍රවාහන සේවා අධිකාරිය රුපියල් ලක්ෂ 05 ක්, ඒ. අමරසිංහ මහතා රුපියල් ලක්ෂයක් සහ පී.ඩී. ධර්මවර්ධන මහතා රුපියල් පනස්දහසක් ද අරමුදලට පිරිනැමූහ.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ.

දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති.

නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 235 4479 / 011 235 4354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *