පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වැනිදා

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වැනිදා (විඩියෝ)

• කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ පවුල් 242 ක පුද්ගලයින් 1010 ක් නිරෝධායනයට

• පිළියන්දල කොරෝනා ආසාදිතයාගේ සමීපතමයන් 11 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට

• පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල දින 3 ක් වැසේ (විඩියෝ)

• වෑතර ප්‍රදේශයෙන් මාළු ගත්ත අය වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න

• ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 34,733 දෙනෙකු අත්අඩංගුවට

• සියලුම මත්පැන් අලෙවි සැල් නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට රජයෙන් නියෝගයක් (විඩියෝ)

• කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට

• ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින මෙරට සිසුන් වෙනුවෙන් විශේෂ ගුවන් ගමන් කිහිපයක්

• මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 309 ක් දක්වා ඉහළට

• කොරෝනා ආසාදිතයෙක් ඇසුරු කල ජාඇල පුද්ගලයෙක් නිරෝධායනයට (විඩියෝ)

• නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 150 ක් අද නිවෙස් බලා පිටව යයි

• රථ වාහන දඩ ගෙවීමට සහන කාලයක්

• පාස්කු ප්‍රහාරයට වසරක් ගතවුවත්, වගකිවයුත්තන් නිදැල්ලේ – කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රකාශයක්

• ප්‍රහාරය ගැන අනතුරු අඟවන විට එය අතපසු කළ සේනාධිනායකයාගේ සිට අන්තිමයා දක්වා නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි – කාදිනල් හිමි

• අන්තවාදී ප්‍රචණ්ඩත්වයට කිසි විටකත් ඉඩක් නෑ – ජනපති

• ‘ඉසෙඩ් ඩී’ ඇලේ සිරව සිටි දැවැන්තයා ගොඩ ආ හැටි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වැනිදා

(20.04.2020 – 21:02 +0530 – sinhala.adaderana.lk)

ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020 මහ මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කර ඇති බව එම කොමිසමේ මාධ්‍ය ඒකකය පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය 2020 ජුනි මස 20 වනදා සෙනසුරාදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

මීට සුළු මොහොතකට පෙර මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

***************************************

කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ පවුල් 242 ක පුද්ගලයින් 1010 ක් නිරෝධායනයට

(21.04.2020 – 11:16 +0530 – sinhala.adaderana.lk)

කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ ජීවිත්වන පවුල් 242 කට අයත් පුද්ගලයින් 1010 ක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි ෴

+++++++++++++++++++++++++++++++++++

පිළියන්දල කොරෝනා ආසාදිතයාගේ සමීපතමයන් 11 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට

(21.04.2020 – 10:53 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (20) තහවුරු වීමත් සමඟ ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකු ඇතුලු ඔහු ඇසුරු කළ පුද්ගලයින් 11 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා සඳහන් කළේ මීට අමතරව පිළියන්දල ප්‍රදේශයේ පවුල් 15 කට අයත් පුද්ගලයින් 71 දෙනෙකුද ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි.

කෙසේ වෙතත් මොහුට වෛරසය වැළඳුණු ආකාරය මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැති බව ද ඔහු කියා සිටියා ෴

+++++++++++++++++++++

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල දින 3 ක් වැසේ

(21.04.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (20) හඳුනාගත් පිළියන්දල ප්‍රදේශයේ මත්ස්‍ය ව්‍යාපාරිකයා, මාළු මිලදී ගැනීම සඳහා පැමිණ තිබීම හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට සිට දින 3 ක කාලයක් වසා දැමීමට එහි වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ පිහිටා ඇති මාළු අලෙවිසැල් සංඛ්‍යාව 154 ක්. හෙට (22) දිනයේදී එහි වෙළඳුන් පී.සී.ආර්. පරීක්ෂණයකට ද භාජනය කරන බවයි එම වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි කියා සිටියේ ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

වෑතර ප්‍රදේශයෙන් මාළු ගත්ත අය වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න

(21.04.2020 – 14:03 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් හඳුනා ගැනුණු කොළඹ-12 බණ්ඩාරණායක මාවත දේශයේ තවත් දහසකට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔවුන් සියලු දෙනා යුද හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මේ අතර ඊයේ (20) දිනයේ දී කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් පිළියන්දල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයා සමඟ සමීප සබඳතා පැවැත්වූ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

අදාල ව්‍යාපාරිකයාගේ වෑතර ප්‍රදේශයේ පිහිටි මාළු අලෙවිසැලෙන් මාළු මිලදී ගත් පිරිස් සිටී නම් ඒ සම්බන්ධයෙන් වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙන ලෙස කහතුඩුව ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක මදනායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙම පුද්ගලයා මාළු මිලට ගැනීම හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වසා දැමීමට තීරණය කර තිබේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු සමඟ සමීප සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයෙකු නිරෝධායනයට යොමු කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

ඔහු ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශයෙන් හඳුනා ගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ඇසුරු කර ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

ඒ අනුව ජා-ඇල ප්‍රදේශයේ පදිංචිව සිටි අදාල පුද්ගලයා ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් සොයා නාවික හමුදා බුද්ධි මෙහෙයුම් දියත් කර තිබුණි.

එම මෙහෙයුම් මගින් විශාල පිරිසක් මේ වන විට නිරෝධායනය සදහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පසුගිය දින කිහිපයේ දී කටයුතු කළ බව නාවික හමුදාව පැවසුවේය ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 34,733 දෙනෙකු අත්අඩංගුවට

(21.04.2020 – 10:19 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් හයසිය දෙදෙනෙකු (600) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ රථවාහන 169 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

පසුගිය මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩකිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් 34,733 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම රථවාහනද 8,883 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

සියලුම මත්පැන් අලෙවි සැල් නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට රජයෙන් නියෝගයක්

(21.04.2020 – 08:23 +0530 – sinhala.adaderana.lk)

දිවයින පුරා සියලු මත්පැන් අලෙවිසැල් නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට රජය නියෝග කර තිබේ.

රට පුරා පැනවු ඇදිරි නීතිය දහවල් කාලයේ දී ඉවත් කිරීමට තීරණය කිරීමත් සමඟ මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට ද ඊයේ (20) අවසර හිමිව තිබුණි.

එහෙත් මත්පැන් අලෙවිසැල් අසල විශාල පිරිසක් දිගු පෝලිම්වල රැදී සිටි බව වාර්තා විය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැවත දැනුම්දෙන තුරු සියලු මත්පැන් අලෙවිසැල් යළි වසා තැබීමට රජය තීරණය කර ඇත.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට

(21.04.2020 – 07:48 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම අද (21) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.

ඉන්දියානු හා පාකිස්ථාන විශ්වවිද්‍යාල වල සිරවී සිටි සිසුන් 100 කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස අද දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ.

ඔවුන් දිවයිනට පැමිණීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන සදහා යොමුකිරීමට නියමිතයි ෴

+++++++++++++++++++++

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින මෙරට සිසුන් වෙනුවෙන් විශේෂ ගුවන් ගමන් කිහිපයක්

(21.04.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාවේ අමරිට්සර්, කොයිම්බතූර් සහ පාකිස්තානයේ කරච්චි, ලාහෝර් මෙන්ම නේපාලයේ කත්මණ්ඩු යන ගමනාන්ත වෙත විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

COVID 19 වසංගතය ව්‍යාප්ත වීමත් සමග පනවන ලද සංචාරක සීමාවන් හේතුවෙන් විදේශයන්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් 443 දෙනෙකු මෙලෙස දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

විදේශ රටවල අතරමංව සිටින ශ්‍රී ලාංකික සිසුන් නැවත ගෙන්වා ගැනීමේ ශ්‍රී ලංකා රජයේ වැඩ සටහනේ කොටසක් ලෙස මෙම විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර ඒවා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයෙන් සිදුකරනු ලබනවා.

වසංගතයේ මුල් දිනවල වුහාන් හි සිරවී සිටි සිසුන් පිරිසක් ද ඇතුළුව රටවල් කිහිපයක අතරමංව සිටින බැතිමතුන් සහ සිසුන් දිවයිනට ගෙන ඒම සඳහා ගුවන් සමාගම මීට පෙර ද එවැනි ගුවන් ගමන් කිහිපයක් ක්‍රියාත්මක කර තිබුණා. ඒ අනුව :

• අප්‍රේල් මස 21 වන දින ලාහෝර් නුවර සිට ශ්‍රී ලාංකිකයින් 93 දෙනෙකු සහ කරච්චි නුවර සිට 20 දෙනෙකු යූඑල් 1206 ගුවන් යානයෙන් ආපසු පැමිණීමට නියමිතයි.

• අප්‍රේල් මස 23 වන දින තවත් මගීන් 101 ක් යූඑල් 146 ගුවන් යානයෙන් අමරිට්සර් සිට ආපසු මෙරටට පැමිණීමට නියමිතව සිටියි.

• අප්‍රේල් මස 24 වන දින, යූඑල් 194 ගුවන් යානයෙන් කොයිම්බතූර් සිට ශ්‍රී ලාංකිකයින් 117 ක් සහ

• අප්‍රේල් මස 24 වන දින, යූඑල් 1425 දරන ගුවන් යානයෙන් කත්මන්ඩු සිට තවත් මගීන් 93 ක් ආපසු රැගෙන ඒමට සැලසුම් කර තිබෙනවා.

මෙම ප්‍රාන්තවල ඇති ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල විසින් මෙම විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට අදාළ සිවිල් ගුවන් සේවා බලධාරීන්ගෙන් අවසර ලබාගෙන ඇති බවයි ශ්‍රීලංකන් ගුවන් සමාගම නිවේදනය කළේ.

මෙලෙස ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකාවට නැවත පැමිණි පසු අවශ්‍ය ක්‍රියා පටිපාටි සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ වෙනත් අදාළ ආයතනවල භාර දෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 309 ක් දක්වා ඉහළට

(21.04.2020 – 11:41 +0530 – hirunews.lk/sinhala)

කොළඹ 12, බණ්ඩාරනායක මාවතෙන් තවත් කොවිඩ් 19 රෝගීන් 5 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් 309 දක්වා ඉහළ යනවා ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිතයෙක් ඇසුරු කල ජාඇල පුද්ගලයෙක් නිරෝධායනයට

(21.04.2020 – 10:39 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කල ජාඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු නාවික හමුදාව විසින් නිරෝධායනට යොමු කර තිබේ.

කොරෝනා වෛරසය ආසාධිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් සොයා නාවික හමුදා බුද්ධි මෙහෙයුම් දියත් කර ඇති අතර, එම මෙහෙයුම් මඟින් විශාල පිරිසක් මේ වන විට නිරෝධායන කටයුතු සිදු කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

ඒ අනුව ඊයේ (20) දින වෛරසය ආසාදිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු ජාඇල ප්‍රදේශයෙන් හඳුනා ගැනීමට හැකිවී ඇත.

ප්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත එම පුද්ගලයා නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීම සඳහා පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමෙන් අනතුරුව එදිනම ඔලුවිල් වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 150 ක් අද නිවෙස් බලා පිටව යයි

(21.04.2020 – 14:11 +0530 – sinhala.adaderana.lk)

තවත් පුද්ගලයින් 150 කට ආසන්න පිරිසක් අද (21) දිනයේ දී පී.සී.ආර්. පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අවසන් වීම හේතුවෙන් නිවෙස් බලා පිටව යන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ වන විට තවත් පුද්ගලයින් 1729 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් හඳුනා ගැනුණු කොළඹ-12 බණ්ඩාරණායක මාවත දේශයේ තවත් දහසකට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔවුන් සියලු දෙනා යුද හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මේ අතර ඊයේ (20) දිනයේ දී කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් පිළියන්දල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයා සමඟ සමීප සබඳතා පැවැත්වූ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

රථ වාහන දඩ ගෙවීමට සහන කාලයක්

(21.04.2020 – 13:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය විසින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ කාලය ඉකුත් වූ රථවාහන දඩ පත්‍රිකාවලට ගෙවීම් සඳහා ලබාදී තිබූ සහන කාලය මැයි මස 02 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඊට කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක අයත් නොවන බවයි තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එම දිස්ත්‍රික්කවල කාලය ඉකුත් වූ දඩ පත්‍රිකාවල ගෙවීම් සඳහා ලබාදී තිබූ සහන කාලය ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු තැපැල් කාර්යාල විවෘත කිරීමෙන් අනතුරුව දැනුම්දෙන බවයි තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴

***************************************

පාස්කු ප්‍රහාරයට වසරක් ගතවුවත්, වගකිවයුත්තන් නිදැල්ලේ – කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රකාශයක්

(21.04.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

රටම කම්පාවට පත් කරමින් පසුගිය වසරේ අප්‍රේල් මස 21 වනදා එනම් පාස්කු ඉරිදා මෙරට කතෝලික දේවස්ථාන සහ හෝටල් කිහිපයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වසරක් සපිරීම නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථාන, දේවස්ථාන ඇතුලු ආගමික ස්ථානවල අද (21) වැඩසටහන් රැසක් පැවැත්වුණා.

අද (21) පෙරවරු 8.45 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වාගනිමින් දිවි අහිමිවූ සහ විපතට පත්වූ අය සිහිකරනු ලැබූ අතර, යළිත් මෙවන් ව්‍යසනයක් රට තුළ ඇති නොවේවා යැයි ප්‍රාර්ථනා කරමින් පෙරවරු 8.47 ට පහන් දැල්වීමට කටයුතු කෙරුණා.

මීට අමතරව උදෑසන 8.40 ට සියලු කිතුණු දේවස්ථානවල සීනු නාද කළ අතර, බෞද්ධ විහාරස්ථාන ඇතුළු සෙසු ආගමික ස්ථානවලද ඒ වෙනුවෙන් ආගමික වතාවත් සිදුකරනු ලැබුවා.

මේ අතර පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවූ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේද විශේෂ දිව්‍ය පූජාවක් අද (21) පැවැත්වුණා.

රටේ පවතින වාතාවරණය හේතුවෙන් එය, පියතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පමණක් එම පූජාව පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ.

මීගමුව – කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ද පාස්කු ඉරිදා ප්‍රහාර අනුස්මරණය කරමින් දිව්‍ය පූජාවක් පැවැත්වීමට පියවර ගෙන තිබුණා.

මඩකලපුව සියොන් දේවස්ථානයේද විශේෂ පූජාවක් සංවිධාන කර තිබුණේ ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත්වූවන් සිහි කරමින්.

එමෙන්ම කොළඹ – හුණුපිටිය – ගංඟාරාම විහාරස්ථානයේද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස් සිහිකර විශේෂ පිංකමක් සංවිධාන කරනු ලැබුවා.

මේ අතර කොල්ලූපිටිය ජුම්මා මස්ජීඩ් පල්ලියේද මවුලවි තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සිහිකිරීමේ විශේෂ වැඩසටහනක් පැවැත්වුණා.

කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මීගමුව – කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානය මෙන්ම ෂැංග්‍රිලා, සිනමන්ග්‍රෑන්ඩ් සහ කිංග්ස්බරි හෝටල් ඉලක්ක කරගෙන පසුගිය වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 259 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙරටට එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරයේ පළමුවන අනුස්මරණය වෙනුවෙන් කොළඹ පිහිටි ඕස්ට්‍රේලියාව, කැනඩාව ආදී රටවල තානාපති කාර්යාලවල ජාතික ධජ අඩකුඹු කර තිබෙනු දක්නට ලැබුණා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේදී රටවල් 14 කට අයත් විදේශිකයන්ද ජීවිතක්ෂයට පත්වීම මෙහිදී සිහිපත් කළ යුතු කරුණක්.

මේ අතර ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවට අත්විඳින්නට වූ වේදනාව ඇමරිකානුවන්ද බෙදාහදාගන්නා බවයි. එමෙන්ම වින්දිතයින්, දිවි බේරාගත් අය සහ සියලූදෙනා වෙනුවෙන් ත්‍රස්තවාදය සදාකාලිකව තුරන් කිරීමට අඛණ්ඩව එක්ව කටයුතු කරන බවයි එම සටහනේ වැඩිදුරටත් දැක්වුණේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසරක් සම්පූර්ණ වුවද එය මෙහෙයවූ පුද්ගලයින් රටට හෙළි කිරීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදුකරන පරීක්ෂණ ශක්තිමත්ව ගෙන යන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි ෴

+++++++++++++++++++++

ප්‍රහාරය ගැන අනතුරු අඟවන විට එය අතපසු කළ සේනාධිනායකයාගේ සිට අන්තිමයා දක්වා නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි – කාදිනල් හිමි

(21.04.2020 – 14:54 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව විදෙස් රටවල බුද්ධි අංශ අනතුරු අඟවා තිබියදීත් ඒවා නොසලකා හැරි එවකට සේනාධිනායකයාගේ සිට ඊට වගකිව යුතු සියලු පාර්ශව, නීතිය ඉදිරියට රැගෙන ආ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ පවසා සිටියේ, අද (21) දවසේ දී වසරකට පෙර සිදුවු මහා විනාශය මතකයට නැගෙන බවයි.

මේ සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්ද යන්න සොයා බැලිය යුතු බවත්, වසරක් ගෙවී ඇතත් මෙම ප්‍රහාරයේ සුල මුල තවමත් හොයා ගැනීමට නොහැකි වී ඇතැයි ද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.

වචනයකින් හෝ මෙම අපරාධය සිදු කිරීමට සහය දුන් බොහෝ පිරිසක් ඇති බවත් ඔවුන් කවුරුන්ද යන්න සොයා ගැනීම යුතුකමක් වන බවත් ඔවුන්ගේ තරාතිරම හෝ වෙනත් කිසිදු කරුණක් ගැන තැකීමක් කළ යුතු නැතැයි ද කාදිනල් හිමියන් මෙහිදී පැවසීය.

ප්‍රහාරය පිළිබඳව හෝඩුවාවක් ලැබී තිබිය දී පවා එය අතපසු කළ සේනාධිනායකයාගේ සිට අන්තිමයා දක්වා වු වගකිව යුතු සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ඒම වගකීමක් වන බවද උන්වහන්සේ කියා සිටියේය.

මෙවැනි කරුණු සමඟ සෙල්ලම් කිරීමට කිසිදු නායකයෙකුට හෝ කිසිදු ජන කොටසකට ඉඩක් තැබිය නොහැකි බවද පැවසු උන්වහන්සේ, වත්මන් ජනපති මඟින් සිදු කරන විමර්ශනය ඉතා ශක්තිමත්ව කළ යුතු බව පවසන බවද පැවසීය.

මානව හිමිකම යනු පළමුවෙන් ජීවිතය පිළිබඳ හිමිකම බවත්, ඇතැමුන් 300 ක ගේ පමණ ජීවිත අහිමිව තිබියදී මානව හිමිකම් ගැන කථා කිරීම සුදුසු නොවන බවත් පැවසු උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා තම දුක බෙදා ගැනීමට එක්වීම ගැන විශේෂයෙන් ස්තූති වන්න වන බවද කියා සිටියේය.

බෞද්ධ ජාතිකයින්ගෙන් ලද සහෝදරත්වය අගය කරන බවද පැවසු උන්වහන්සේ සහෝදරත්වයෙන් ලංකාව ගොඩ නඟා ගත යුතු බවත් පැවසීය ෴

+++++++++++++++++++++

අන්තවාදී ප්‍රචණ්ඩත්වයට කිසි විටකත් ඉඩක් නෑ – ජනපති

(21.04.2020 – 12:07 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ගේ සහ බරපතළ තුවාල ලැබූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට, ඉන් බලවත් කම්පනයට පත්වූ කතෝලික ජනතාවට සහ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට තමාගේ සංවේගය පුද කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

= උපුටා ගැනීම =

කුරිරු මතවාදයකින් වියරු වැටුණු පිරිසක් 2019 අප්‍රේල් 21 ඉරිදා ප්‍රධාන පෙළේ කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක මහා මනුෂ්‍ය ඝාතනයක් කොට අදට වසරකි.

මේ සාහසික අපරාධයෙන් ජීවිත අහිමි වූවන්ගේ සහ බරපතළ තුවාල ලැබූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට, ඉන් බලවත් කම්පනයට පත්වූ කතෝලික ජනතාවට සහ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට මම මගේ සංවේගය පුද කර සිටිමි.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 270 ක් පමණ දෙනා මරණයට පත්වූහ. 500 කට ආසන්න පිරිසකට තුවාල සිදු විය. තුවාල ලැබූවන්ගෙන් ඇතැමෙක් පසුව මියගියහ. තවත් අය සදාකාලික ආබාධිත බවට පත්වූහ.

ප්‍රහාරයෙන් මියගිය ඉතා වැඩි පිරිස කතෝලික බැතිමතුන් වුවද එය ඔවුන් පමණක් නෙව සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවම ඉලක්ක කරගත් ත්‍රස්තවාදී ක්‍රියාවකි.

කුමන මතවාදයක නාමයෙන් මෙබඳු මිනිස් ඝාතන කළ ද එය මනුෂ්‍ය වර්ගයාටම නිගාවකි.

පාස්කු ඉරිදා මිනිස් ඝාතනය පහසු කළ පසුබිම නිර්මාණය වූයේ ජාතික ආරක්ෂාව අමතක කොට ආරක්ෂක සැලසුම් සහ විධිවිධාන අත්හැර තිබූ බැවිනි.

එවැනි අරාජික පරිසරයක අන්තවාදය සහ ත්‍රස්තවාදය හිස එසවීම අරුමයක් නොවේ.

“සෞභාග්‍යයේ දැක්ම” මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ප්‍රතිඥා දුන් පරිදි මගේ පාලන සමය තුළ සියලු ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කරන බවටත්, කුමන ආකාරයක හෝ අන්තවාදයට, අන්තවාදී ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබන බවටත්, පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් නිශ්චිතව හඳුනාගෙන නීතිය හමුවට පමණුවන බවටත් මම මගේ ජනතාවට සහතික වෙමි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට සහ කම්පනයට පත් කතෝලික ජනයා ඇතුළු ශ්‍රී ලංකාවාසීන් වෙත මම නැවත වරක් සංවේගය පළ කර සිටිමි.

= උපුටා ගැනීම අවසන් =

***************************************

‘ඉසෙඩ් ඩී’ ඇලේ සිරව සිටි දැවැන්තයා ගොඩ ආ හැටි

(21.04.2020 – 12:27 +0530 – hirunews.lk/sinhala)

මාදුරුඔය ‘ඉසෙඩ් ඩී’ ඇළට අද (21) අළුයම වැටී සිටි අලියෙකු ගොඩට පැමිණි පසු, අලුත්වැව රක්ෂිතයට පලවාහැරීමට කටයුතු කළ බව වෙහෙරගල වනජීවි නිලධාරින් සඳහන් කළා.

මෙම අලියා, සතියක් ඇතුළත, ඉසෙඩ් ඩී ඇළට වැටුණු තුන්වන අලියා බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අළුයම ඇළට වැටුණු මෙම අලියා කිලෝමීටර් හයක් (6) පමණ දුරට සැඩ පහරට ගසාගෙන ගොස් අනතුරුව වෙහෙරගල වනජීවි නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් යොදා ගොඩගෙන තිබෙනවා.

මේ දිනවල පවතින දැඩි නියඟයත් සමඟ රක්ෂිතයේ සිටින වන අලි ආහාර සහ ජලය සොයා ගම් බිම්වලට පැමිණෙන බව වනජීවි නිලධාරියෙකු සඳහන් කළා.

ඉසෙඩ් ඩී ඇලෙන් ජලය බිමට උත්සහ දැරිමත් සමඟ, පැති කොන්ක්‍රිට් බැමිමෙන් අලින් ලිස්සා ඇළට වැටීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව ඇති බවයි ඔහු පැවසුවේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *