පාකිස්ථානයේ සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පාකිස්ථානයේ සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට (විඩියෝ)

• දිස්ත්‍රික්ක 15 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි – වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන්

• අවසන්වරට වාර්තා වූ කොරෝනා ආසාදිතයා වරකාපොළ අයෙක් – ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

• ජපාන රජයෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2ක ප්‍රදානයක්

• ලොවපුරා ආසාදිතයන් ලක්ෂ 25 ඉක්මවයි

• අත්‍යාවශ්‍ය සේවා වෛරසය පාලනයට සහයවන අයුරින් සිදුවිය යුතුයි – ජනපති

• ත්‍රිපෝෂ නිවසටම බෙදා හැරීමට වැඩපිළිවෙලක්

• පවතින තත්ත්වය හමුවේ කිසිදු පුද්ගලයෙකුගේ රැකියා අහිමිවීමට ඉඩදෙන්නේ නෑ (විඩියෝ)

• කුමන හේතුවක් නිසා හෝ පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීමට කිසිදු අවශ්‍යතාවක් නෑ – ජනපති (විඩියෝ)

• කහකුඩු කිලෝවකට රුපියල් 750 ක උපරිම සිල්ලර මිලක්

+++++++++++++++++++++++++++++++++++

පාකිස්ථානයේ සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

(21.04.2020 – 18:26 +0530 – sinhala.adaderana.lk)

පාකිස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් 113 දෙනෙකු ගෙන්වා ගැනිම සඳහා පිටත්ව ගිය විශේෂ ගුවන් යානය ලංකාවට පැමිණ තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.1205 දරන ගුවන් යානය අද (21) උදෑසන පාකිස්ථානයේ කරච්චි නුවර බලා පිටත්ව ගිය අතර අද (21) සවස 6.05 ට පමණ එය කටුනායකට පැමිණි බව ‘අද දෙරණ’ ගුවන් තොටුපල වාර්තාකරු පවසයි.

එම ගුවන් යානයේ ගුවන් නියමුවන් ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලය 17 ක් වෙයි.

පාකිස්ථානය බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු කාර්යය මණ්ඩලයේ ජායාරූපයක් මෙහි දැක්වෙයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

දිස්ත්‍රික්ක 15 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි – වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන්

(21.04.2020 – 19:48 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 310 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (21) දිනයේදී නව ආසාදිතයින් 6 දෙනෙකු අලුතින් සොයා ගැනීමත් සමඟයි.

වෛරසය වැළදී ඇති බවට අද තහවුරු කර ගත් 5 දෙනෙකුම කොළඹ 12 – බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් වන අතර අනෙක් රෝගියා වරකාපොල – තුල්හිරිය – ගල්කොටුව ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගැණුනු කාන්තාව නවාතැන් ගෙන සිටි නිවසේ හිමිකරු බව වාර්තා වනවා.

කටුනායක ගුවන්තොටුපලේ පවිත්‍රතා සේවිකාවක වන මෙම කාන්තාවට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වූයේ පසුගිය සෙනසුරාදා දිනයේදීයි.

කොළඹ – කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් තවත් 5 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වීමත් සමඟ එම ප්‍රදේශයෙන් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 62 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මොවුන් එම මාවතේ 166, 137 සහ 107 යන වතුවල පදිංචිකරුවන්.

මෙම පිරිස සොයා ගැනීමත් සමඟ එම වතුවල පදිංචි පවුල් 202 කට අයත් පුද්ගලයින් 1,010 දෙනෙකු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන 3 ක් වෙත යොමු කිරීමට අද පියවර ගැණුනා.

එසේම, පසුගියදා බණ්ඩාරනායක මාවතට ගොස් පැමිණ සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවුලක් සිය නිවස තුළම නිරෝධායනයට ලක් කර තිබෙනවා. කොළඹින් හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් 31 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ කාත්තන්කුඩි මූලික රෝහලේයි.

එසේම, පිළියන්දල ප්‍රදේශයෙන් ඊයේ (20) හඳුනා ගත් කොරෝනා ආසාදිත මත්ස්‍ය ව්‍යාපාරිකයාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු ඔහු ඇසුරු කළ පුද්ගලයින් 11 දෙනෙකු අද පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකෙරුණා.

එම ප්‍රදේශයේ පවුල් 15 කට අයත් පුද්ගලයින් 82 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

මේ අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ වෙළඳ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි වෙළඳ කටයුතු තොග වෙලඳාමට පමණක් සීමා කෙරෙන අතර, සිල්ලර වෙළඳ කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ (20) දිනයේදී පිලියන්දල – නිවන්තිඩිය ප්‍රදේශයෙන් අදාළ කොරෝනා ආසාදිත මත්ස්‍ය ව්‍යාපාරිකයා හඳුනා ගැනීමත් සමඟයි.

එම ආසාදිතයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය සමඟ පැවති ඍජු සබඳතා හේතුවෙන් එහි වෙළඳසැල් 3 ක් මුද්‍රා තැබීමට ද අද දිනයේදී පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබුණා.

මෙම මත්ස්‍ය ව්‍යාපාරිකයාට අයත්, පොල්ගස්ඕවිට, වෑතර ප්‍රදේශයේ පිහිටි අලෙවිසැලෙන් මාළු මිලදී ගත් පිරිස් සිටී නම් ඒ පිළිබඳව වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙන්නැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළා.

මේ අතර, බොරලැස්ගමුව – රත්තනපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට සැක සහිත රෝග ලක්ෂණ මතුවීමත් සමඟ ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.

මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි රිසිනි මාරසිංහ මහත්මිය කියා සිටියේ ඔහු පසුගිය 19 වනදා සායනික කටයුත්තක් සඳහා පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට පැමිණ ඇති බැවින් එහි කාර්ය මණ්ඩලයේ 69 දෙනෙකු නිරෝධායනයට ලක් කර එම රෝහල තාවකාලිකව වසා දමන්නැයි නියෝග කළ බවයි.

එම ආසාදිතයාගේ බිරිඳ ද කොරෝනා පරික්ෂාවට ලක් කර තිබෙනවා.

මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 15 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම පිරිස වන 115 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් සටහන් වනවා.

එසේම, කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ තවත් 4 දෙනෙකු අද දිනයේ පිටව ගිය අතර, ඒ අනුව, මෙරටදී කොරෝනා ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 102 ක්.

තවත් 201 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මේ අතර, මෙම වෛරසය මෙරට ව්‍යාප්ත වීම ආරම්භවීමෙන් පසු විදේශ ගතව සිටි පළමු ශ්‍රී ලාංකිකයින් පිරිස රැගත් ගුවන් යානය අද (21) පස්වරු 6 ට පමණ කටුනායක ගුවන්තොටුපල වෙත ළගා වුණා.

113 ක් දෙනෙකුගෙන් යුත් මෙම පිරිසට පාකිස්ථානයේ ඉගෙනුම ලබන මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ එරට පුහුණුව ලබන යුද හමුදාවේ සාමාජිකයින් ද ඇතුළත්.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 1206 යානයෙන් රැගෙන ආ මෙම පිරිස ගුවන්තොටුපලේදී විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතයි.

ඉන්දියාව, පාකිස්ථානය සහ නේපාලය තුළ අතරමංව සිටින ශ්‍රී ලාංකික සිසුන් 443 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කරනවා.

පාකිස්ථානයට අමතරව, ඉන්දියාවේ – අම්රිට්සාර්, කොයිම්බතූර් මෙන්ම නේපාලයේ – කත්මන්ඩු දක්වා එම ගුවන් ගමන් ක්‍රියාත්මකයි ෴

+++++++++++++++++++++

අවසන්වරට වාර්තා වූ කොරෝනා ආසාදිතයා වරකාපොළ අයෙක් – ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(21.04.2020 – 19:17 +0530 – hirunews.lk/sinhala)

අවසන්වරට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයා වරකාපොළ ප්‍රදේශයේ අයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මීට පෙර එම රෝගියා රත්නපුර ප්‍රදේශයෙන් හමුවූ බවට වාර්තාකළ ද ඔහු හමුව ඇත්තේ වරකාපොළ ප්‍රදේශයෙන් බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

ජපාන රජයෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2ක ප්‍රදානයක්

(21.04.2020 – 22:55 +0530 – hirunews.lk/sinhala)

ජපාන රජය විසින් මෙරට කොරෝනා මර්දනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2 ක් ප්‍රදානයක් සිදුකර කර තිබෙනවා.

දියුණුවෙමින් පවතින රටවල සෞඛ්‍ය සහ වෛද්‍ය සේවාවේ ධාරිතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම මුදල් පරිත්‍යාග සිදුකරන බවයි ජපන් තානාපති කාර්යාලය නිකුත් කර ඇති නිවේදනයක් දැක්වෙන්නේ.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) හරහා ඇමෙරිකානු ඩොලර් 500,000 ක් , සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) හරහා ඇමෙරිකානු ඩොලර් 422,500 ක් ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩසඳ සංගම් සම්මේලනය (IFRC) හරහා 250,000 ක් මෙලෙස පරිත්‍යාග කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මෙමගින් ශ්‍රී ලංකා රජයේ බෝවන රෝග පාලනය ඇතුළු වූ විවිධාකාර ආර්ථික සමාජීය කාර්යන්ට තම සහයෝගය සඳහා ජපන් රජය කැපවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

ලොවපුරා ආසාදිතයන් ලක්ෂ 25 ඉක්මවයි

(21.04.2020 – 20:11 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව විසි පන්ලක්ෂය (25,00,000) ඉක්මවා ඇති අතර, වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 171,721 ක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 658,561 ක්.

මේ අතර, කොරෝනා වෛරස් ගෝලීය වසංගතයට එරෙහිව ඉදිරියේදී නිෂ්පාදනය කරනු ලබන එන්නතකට, සමාන ප්‍රවේශයක් සියලු රටවලට හිමිවිය යුතු බවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊයේ (20) යෝජනාවක් සම්මත කර ගනු ලැබුවා ෴

+++++++++++++++++++++++++++++++++++

අත්‍යාවශ්‍ය සේවා වෛරසය පාලනයට සහයවන අයුරින් සිදුවිය යුතුයි – ජනපති

(21.04.2020 – 16:59 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු වෛරසය පාලනයට සහය වන අයුරින් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් අත්‍යාවශ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබෙනවා.

ඒ අත්‍යාවශ්‍ය සේවා සපයන ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් සමග අද (21) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

එසේම රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ජන ජිවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සහායවන ආකාරයෙන් සැලසුම් කරන ලෙස ද ජනපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ජල නළ එළීම, මාර්ග ඉදිකිරීම වැනි පාලනයක් ඇතිව කළ හැකි සංවර්ධන වැඩ කඩිනමින් ආරම්භ කිරීමේ වැදගත්කම ද ජනපතිවරයා පෙන්වා දී තිබෙනවා.

මේ අතර සේවකයන් රාජකාරී සඳහා කැඳවීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දුන් ජනපතිවරයා මේ වනවිට පනවා ඇති නිර්දේශ අනුගමනය කරමින් සේවකයන් කැඳවීම ආයතන ප්‍රධානීන් විසින් තීරණය කළයුතු බව සඳහන් කර තිබෙනවා.

බස්නාහිර පළාත ඇතුළු ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක ප්‍රදේශවල සේවාවන් පවත්වාගෙන යාමට සැලසුම් සකස් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා.

ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් ගොවි අස්වනු ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරයට ගෙන ඒමට පියවර ගැනීමෙන් ගොවීන්ට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

මේ අතර තැපැල් කාර්යාල මගින් බිල්පත් එකතු කිරීම, බැංකු තැන්පතු භාර ගැනීම, ඇතුළු ලබාදිය හැකි සේවාවන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්කර තිබෙනවා.

කොරෝනා වෛරසය මර්දනයට රජය විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය කළ ද ජනතාව උපදෙස් නිසි පරිදි පිළි නොපැදීම, තත්ත්වය පාලනයට බාධාවක් වී ඇති බවද එහිදී සඳහන් වූවා.

ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් ඇඳිරි නීතිය ලිහිල් කර සේවාවන් පවත්වාගෙන යාමේ දී ද වෛරසය පාලනය වන අයුරින් ක්‍රියාකාරකම් සිදුවිය යුතු බව ජනාධිපතිතුමා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කළා ෴

+++++++++++++++++++++++++++++++++++

ත්‍රිපෝෂ නිවසටම බෙදා හැරීමට වැඩපිළිවෙලක්

(21.04.2020 – 16:19 +0530 – hirunews.lk/sinhala)

ගර්භනී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හරහා නිවෙස් වෙතටම ගොස් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

දරුවන්ගේ පසුගිය මාසයේ සටහන් වූ බර ප්‍රමාණයට අනුව ත්‍රිපෝෂ නිකුත් කිරිමටයි අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

එමෙන්ම, ගර්භනී මව්වරුන්ට ලබාදිය යුතු විටමින් වර්ග ද බෙදාදීමට කටයුතු කරන බව එම අමාත්‍යාංශය නිවේදනය කළා.

පවත්නා කොරෝනා වසංගතය හේතුවෙන් ප්‍රතිශක්තීකරණ සායනය අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිදුකිරීමට ද උපදෙස් ලබාදී තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

පවතින තත්ත්වය හමුවේ කිසිදු පුද්ගලයෙකුගේ රැකියා අහිමිවීමට ඉඩදෙන්නේ නෑ

(21.04.2020 – 15:54 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්ත්වය හමුවේ කිසිදු පුද්ගලයෙකුගේ රැකියා අහිමිවීමට ඉඩ නොදීම රජයේ ස්ථාවරය බව කම්කරු සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වැටුප් නොගෙවන කර්මාන්තශාලා සහ ආයතන සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය මේ වනවිට තොරතුරු රැස්කරමින් තිබෙන බවයි.

+++++++++++++++++++++++++++++++++++

කුමන හේතුවක් නිසා හෝ පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීමට කිසිදු අවශ්‍යතාවක් නෑ – ජනපති

(21.04.2020 – 21:12 +0530 – hirunews.lk/sinhala)

කුමන හේතුවක් නිසා හෝ පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීමට තමන්ට කිසිඳු අවශ්‍යතාවක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

ඔහු මේ අදහස් පළ කළේ, කොරෝනා මර්දනය සහ ආර්ථික පුනර්ජීවනය විෂය කොටගෙන ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සමඟ කළ සාකච්ඡාවේදීයි.

+++++++++++++++++++++++++++++++++++

කහකුඩු කිලෝවකට රුපියල් 750 ක උපරිම සිල්ලර මිලක්

(21.04.2020 – 18:47 +0530 – hirunews.lk/sinhala)

කහකුඩු කිලෝග්‍රෑමයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 750 ක් ලෙස දක්වමින් පාරිභෝගික සේවා අධිකාරිය අද (21) අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා.

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග වෙළඳපොලේ කහකුඩුවල හිඟයක් මතුව ඇති අතර ඒ හේතුවෙන් විවිධ මිල ගණන් යටතේ වෙළඳපොලේ මේවා අලෙවි වනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *