සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන ජංගම වෙළඳුන්ගේ ඇඳිරි නීති බලපත්‍ර ඉවත් කිරීමට පියවර

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන ජංගම වෙළඳුන්ගේ ඇඳිරි නීති බලපත්‍ර ඉවත් කිරීමට පියවර (විඩියෝ)

• මැග්නිෆිකා නෞකාවෙන් ලංකාවට පැමිණි ලාංකික සූපවේදියා නිරෝධායනයෙන් පසු පිටව යයි

• කොළඹ – කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ තවත් වතු 4 ක් පරීක්ෂාවට

• කෙසෙල්වත්තේ කොරෝනා ව්‍යාප්ත වූයේ කරණවෑමියෙකුගෙන් දැයි සැකයක් (විඩියෝ)

• කසිප්පුවෙක්, කසිප්පු-සාදුවෙක් ඇතුළු පිරිසක් පොලිසියේදී නිලධාරියෙකුට පහරදෙයි (විඩියෝ)

• කහ කුඩු වැඩි මිලට අලෙවිකරන්නන් සොයා අද සිට මෙහෙයුම්

• ලොව පුරා කොරෝනා මරණ 1,77,000 ඉක්මවයි – ඇමරිකාවේ නව මරණ 2782 ක් ; ගී‍්‍රන් කාඩ් වරප්‍රසාදයද අත්හිටුවයි

• ලිපි බෙදා හැරීමේ කටයුතු ඇරඹේ

• බොරලැස්ගමුවේ කොවිඩ්-19 ආසාදිතයා ප්‍රතිකාර ගත් පන්නිපිටියේ පෞද්ගලික රෝහල තාවකාලිකව වැසෙයි

• පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ සියලු දෙනා අද (22) PCR පරීක්ෂණයකට

• වරකාපොල ප්‍රදේශයෙන් හඳුනාගත් කෙරෝනා ආසාදිතයා IDH රෝහලට (විඩියෝ)

• ඉන්දියාවේ රැදි සිටින සිසුන් 101 ක් හෙට දිවයිනට

• බදුල්ල මහ නගරසභාවේ මසුන් සිය ගණනක් වතුර නැතුව මිය යයි (විඩියෝ)

• බස් රථ ධාවනය අත්‍යාවශ්‍ය සේවාවලට පමණක් සීමා කිරිමට අවධානය

• ඇඳිරි නීතිය කඩා නිදහසට කරුණු කියයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන ජංගම වෙළඳුන්ගේ ඇඳිරි නීති බලපත්‍ර ඉවත් කිරීමට පියවර

(22.04.2020 – 06:50 +0530 – sinhala.adaderana.lk)

මාර්ග ගත හෙවත් ඔන්ලයින් ක්‍රමය යටතේ ජංගම වෙළඳාම් කටයුතුවල නිරත වීමේදී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන වෙළදුන්ගේ ඇදිරි නීති බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි.

ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළඳුන් සෞඛ්‍යාරක්ෂිත ආකාරයෙන් වෙළදාම් කටයුතු සිදු නොකිරීම මත කොවිඩ් නයින්ටීන් වෛරසය සාමාන්‍ය ජනතාව වෙත ව්‍යාප්ත විමේ අවදානමක් පවතින බවයි පොලීසිය පෙන්වාදෙයි.

මේ හේතුවෙන් ඔන්ලයින් ක්‍රමය යටතේ නිවසින් නිවසට ගොස් මාළු, එළවලු, පළතුරු හා බේකරි නිෂ්පාදන ඇතුළු වෙනත් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සදහා අවසර ලබාදී ඇති වෙළඳුන් සහ ආයතන ජංගම වෙළඳාම් කටයුතු සිදු කිරීමේදී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් පොලිසිය විසින් හදුන්වා දී තිබේ.

පිරිසිදු ඇදුමකින් සැරසී සිටීම, පා වැසෙන පරිදි සපත්තු හෝ සුදුසු පාවහන් පැළදීම, වෙළඳාම් කටයුතු සිදුකරන අවස්ථාවේදී මුඛ ආවරණ සහ අත් ආවරණ පැළදීම, විෂබීජානුහරණ දියර භාවිත කිරීම හා බේකරි නිෂ්පාදන, පිසූ ආහාර ආදිය අලෙවි කරන්නේ නම් ඒවා අතින් ඇල්ලීම සිදුනොකර පාරිභෝගිකයින් වෙත ලබාදීම සදහා අවශ්‍ය උපකරණ භාවිත කිරීම සිදුකළ යුතු බව සඳහන්ය.

එමෙන්ම ආහාර සහ භාණ්ඩ අලෙවි කිරීමේදී කඩදාසි හෝ වෙනත් ආවරණ තුළට දමා අලෙවි කිරීම, මුදල් ස්පර්ශ කිරීමෙන් පසු එම අතින්ම ආහාර ද්‍රව්‍ය, භාණ්ඩ හෝ ආවරණ ස්පර්ශ කිරීමෙන් වැලකීම, ආහාර මිලදි ගැනීම සදහා පැමිණෙන මහජනතාවට ආහාර ඇල්ලීමට ඉඩ ලබානොදීම, මහජනතාව ආහාර හා භාණ්ඩ අලෙවි කරන වාහන අසල රැදී සිටීමේදී මීටරයක පරතරය පවත්වා ගැනිම සිදුකළ යුතු බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

මැග්නිෆිකා නෞකාවෙන් ලංකාවට පැමිණි ලාංකික සූපවේදියා නිරෝධායනයෙන් පසු පිටව යයි

(22.04.2020 – 10:48 +0530 – sinhala.adaderana.lk)

එම්.එස්.සී. මැග්නිෆිකා නෞකාවේ රැඳී සිටිය දී නාවික හමුදාව විසින් සිය භාරයට ගත් ශ්‍රී ලාංකික සූපවේදී අනුර බණ්ඩාර හේරත් මහතා නිරෝධායනයෙන් පසු පිටත්ව ගොස් තිබේ.

ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන එම නෞකාවේ සේවය කළ එකම ශ්‍රී ලාංකිකයා වූ ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ ඉල්ලීමක් සැළකිල්ලට ගත් ජනාධිපතිවරයා ඔහු මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස අදාල බලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව පසුගිය 6 වනදා ඔහු ගොඩබිමට ගෙන්වා ගැනීමට නාවික හමුදාව පියවර ගත් අතර පසුව නිරෝධායන කටයුතු සඳහා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබුණි.

පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකය පිරිනමා ඔහු ඊයේ(21) දිනයේ සිය නිවස වෙත පිටත් කර හැරීමට පියවර ගත් බව නාවික හමුදාව පැවසුවේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොළඹ – කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ තවත් වතු 4 ක් පරීක්ෂාවට

(22.04.2020 – 09:31 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ කොරෝනා පැතිර යාමත් සමඟ අද දිනයේ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ තවත් වතු 4 ක පුද්ගලයින් 100 දෙනෙකු පී සී ආර් පරීක්ෂාවට ලක් කරන බව මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල මහතා ප්‍රකාශ කළා.

මීට පෙර වතු 3 ක පුද්ගලයින් පරීක්ෂාවට ලක් කළ අතර, ඒ අනුව හැට දෙදෙනෙකුට (62) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

පසුව එම වතු ආශ්‍රිත පුද්ගලයින් සියළු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේ.

අද (22) පරීක්ෂාවට ලක් කෙරෙන වතු 4 ආශ්‍රිත පුද්ගලයින් 860 දෙනෙකු වාසය කරන බවයි වාර්තා වන්නේ ෴

+++++++++++++++++++++

කෙසෙල්වත්තේ කොරෝනා ව්‍යාප්ත වූයේ කරණවෑමියෙකුගෙන් දැයි සැකයක්

(22.04.2020 – 08:23 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් අතර කොරෝනා පැතිර ගියේ එහි කොණ්ඩා කැපීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුගෙන් දැයි සැකයක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

හිරු ටී.වී. ඔස්සේ විකාශය වන පත්තරේ විස්තරේ වැඩසටහනට අද (22) උදෑසන එක්වෙමින් ඔහු කියා සිටියේ ඊයේ (21) පස්වරුව වනවිට මෙම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 62 කු හමුවී ඇති බවයි.

මෙම කරණවෑමියාගෙන් සේවා ලබාගැනීමට 25 දෙනෙකු පමණ පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

+++++++++++++++++++++++++++++++++++

කසිප්පුවෙක්, කසිප්පු-සාදුවෙක් ඇතුළු පිරිසක් පොලිසියේදී නිලධාරියෙකුට පහරදෙයි

(22.04.2020 – 06:21 +0530 – hirunews.lk/sinhala)

= මත්පැන් ජාවාරම්කරුවකු සහ හිමිනමක් ඇතුළු පිරිසක් පොලිසියේදී නිලධාරියෙකුට පහරදෙයි =

වාරියපොල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවකු, හිමිනමක් ඇතුළු කණ්ඩායමක් වාරියපොල පොලීසියේ සිටි නිලධාරීයෙකුට ඊයේ (21) පහර දීම හේතුවෙන් ඔහු නිකවැරටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් ජාවාරම් වැටලීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරියෙක්.

මත්පැන් ජාවාරමට ඇඟිලි නොගසන ලෙසට මීට පෙර අදාළ පිරිස මෙම නිලධාරියාට තර්ජනය කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

වාරියපොල පොලිසියේදී නිලධාරියෙකුට පහරදුන් අයෙකු රිමාන්ඩ්

(22.04.2020 – 07:47 +0530 – hirunews.lk/sinhala)

වාරියපොළ පොලිස් ස්ථානය තුළදී පොලිස් පරික්ෂකවරයෙකුට පහරදීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වාරියපොළ පොතුවැව ප්‍රදේශයේ පදිංචි මත්පැන් ජාවාරම්කරුවෙකු අදාළ පොලිස් පරික්ෂකවරයාට පෙරේදා දුරකතනයෙන් බැන තර්ජනය කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අදාළ මත්පැන් ජාවාරම්කරුවෙකු ඊයේ (21) පොලිස් ස්ථානයට කැඳවා අවවාද කර යළි පිටත් කර හැර තිබෙනවා.

පසුව ඔහු සමග පැමිණි තවත් පුද්ගලයෙකු පොලිස් ස්ථානය තුළදී අදාළ පොලිස් පරික්ෂකවරයාට යළි තර්ජනය කර පහරදීමට තැත් කළ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් අතර, ඔහු බීමතින් සිටි බව තහවුරු කිරිම සඳහා කුරුණැගල මහ රෝහල වෙත යොමු කෙරුණා.

පොලිස් පරික්ෂකවරයා නිකවැරටිය රෝහට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ මහේස්ත්‍රා අධිකරණයට කරුණු ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴

+++++++++++++++++++++++++++++++++++

කහ කුඩු වැඩි මිලට අලෙවිකරන්නන් සොයා අද සිට මෙහෙයුම්

(22.04.2020 – 07:32 +0530 – hirunews.lk/sinhala)

කහකුඩු වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා අද (22) සිට වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

කහකුඩු කිලෝග්‍රෑමයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 750 ක් ලෙස දක්වමින් පාරිභෝගික සේවා අධිකාරිය ඊයේ (21) අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා.

වෙළඳපොලේ මේ වනවිට කහකුඩුවල හිඟයක් මතුව ඇති අතර, ඒ හේතුවෙන් ඒවා විවිධ මිල ගණන් යටතේ වෙළඳපොලේ අලෙවිවීම සැලකිල්ලට ගෙනයි මෙලෙස පාලන මිලක් පැනවීමට කටයුතු කරනු ලැබුවේ ෴

+++++++++++++++++++++++++++++++++++

ලොව පුරා කොරෝනා මරණ 1,77,000 ඉක්මවයි – ඇමරිකාවේ නව මරණ 2782 ක් ; ගී‍්‍රන් කාඩ් වරප්‍රසාදයද අත්හිටුවයි

(22.04.2020 – 08:00 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකාව ලබාදෙන ග්‍රීන් කාඩ් වරප්‍රසාදය දින 60 ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළා.

නව කොරෝනා වෛරස් තත්ත්වයත් සමඟ මතුව ඇති අර්බුද හේතුවෙනුයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.

එමෙන්ම, ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණිකයන් පැමිණීම ද තාවකාලිකව අත්හිටුවමින් ඊයේ (21) පියවර ගැනුණේ.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකාවේ මියයන සහ ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන අතර ගත වූ පැය 24 තුල නව මරණ 2782 ක් එරටින් වාර්තා වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ අනුව ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 45,296 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින් 25,660 ක් සමඟ එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව 8,18,366 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රිතාන්‍යයෙන් නව මරණ 828 ක් සමඟින්, සමස්ත මරණ සංඛ්‍යාව 17,337 ක් දක්වා ඉහළ ගියා.

ආසාදිතයින් සංඛ්‍යාව 1,29,044 ක්.

ගත වූ පැය 24 ක කාලය තුළ ඉතාලියෙන් නව මරණ 534 ක් වාර්තා වන අතර එරට මුළු ආසාදිත සංඛ්‍යාව 1,83,957 ක්.

එමෙන්ම, කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා 1,77,419 ක් මියගිය අතර වෛරසය ආසාදන වූවන්ගේ සංඛ්‍යාව 25,54,982ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

සුවය ලැබූ සංඛ්‍යාව 6,90,039ක්.

මේ අතර, ලොව දරිද්‍රතාවයෙන් පෙළෙන ජනගහනය මෙම වසංගත තත්ත්වය හේතුවෙන් මිලියන 250 ඉක්මවා යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.

මේ වනවිට ලොව දරිද්‍රතාවයෙන් පෙළෙන සංඛ්‍යාව මිලියන 135 ක් ෴

+++++++++++++++++++++++++++++++++++

ලිපි බෙදා හැරීමේ කටයුතු ඇරඹේ

(22.04.2020 – 11:23 +0530 – hirunews.lk/sinhala)

තැපෑල හරහා සිදුකෙරෙන ලිපි බෙදා හැරීමේ කටයුතු අද (22) සිට ආරම්භ කර තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් ඇදිරි නීතිය පැනවීමත් සමග මාසයක පමණ කාලයක් සාමාන්‍ය තැපැල් කටයුතු අඩාල වී තිබුණා.

ඒ අනුව, දැනට ඇදිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල මෙලෙස තැපැල් බෙදා හැරීමේ කටයුතු සිදුකරන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++++++++++++++++

බොරලැස්ගමුවේ කොවිඩ්-19 ආසාදිතයා ප්‍රතිකාර ගත් පන්නිපිටියේ පෞද්ගලික රෝහල තාවකාලිකව වැසෙයි

(22.04.2020 – 07:26 +0530 – sinhala.adaderana.lk)

පන්නිපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක් තාවකාලිකව වසා දමා එහි කාර්යය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

බොරලැස්ගමුව ප්‍රදේශයෙන් හමුවු කොවිඩි-19 වෛරස ආසාදිත පුද්ගලයා මෙම පෞද්ගලික රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තිබිම හේතුවෙන් එය වසා දැමීමට කටයුතු කළ බව යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.

එම පෞද්ගලික ආරෝග්‍ය ශාලාවේ කාර්යය මණ්ඩලයේ 73 දෙනෙකු පි.සි.ආර් පරික්ෂනයකට ලක්කර ඇති අතර ඉන් 07 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව කොට්ටාව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කිර්තිලාල් තුඩුවගේ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පිළියන්දල ප්‍රදේශයේ කොවිඩ්-19 වෛරස ආසාදිත පුද්ගලයා ඇසුරු කළ පුද්ගලයින් හා අවට නිවාසවල පදිංචිකරුවන් නිරෝධායනය සඳහා යොමුකිරිමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.

මේ අතර කොළඹ, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ තවත් පදිංචිකරුවන් පිරිසකගේ පි.සි.ආර් පරික්ෂණ අද දිනයේ සිදුකිරීමට අපේක්ෂා කරන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩබ්ලිව් .කේ චන්ද්‍රපාල මහතා පවසයි.

+++++++++++++++++++++

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ සියලු දෙනා අද (22) PCR පරීක්ෂණයකට

(22.04.2020 – 09:11 +0530 – sinhala.adaderana.lk)

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළෙන්දන් සහ සේවකයින් අද (22) පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයි.

ඒ පිළියන්දල ප්‍රදේශයෙන් හඳුනා ගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට පැමිණ ඇති බවට අනාවරණය විම හේතුවෙන්.

පවතින අවදානම සැළකිල්ලට ගනිමින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළෙන්දන් සහ සේවකයින් අද (22) පෙරවරුවේ පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු තොග වෙළඳාමට පමණක් අද (22) සිට සීමා කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව සිල්ලර වෙළඳ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇති බව සඳහන්.

+++++++++++++++++++++

වරකාපොල ප්‍රදේශයෙන් හඳුනාගත් කෙරෝනා ආසාදිතයා IDH රෝහලට

(22.04.2020 – 08:20 +0530 – sinhala.adaderana.lk)

වරකාපොල ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ්-19 වෛරස ආසාදිතයා, මීට පෙර වෛරසය ආසාදනය වූ කටුනායක ගුවන් තොටුපලේ සේවිකාව නවාතැන් ගෙන සිටි නිවසේ පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.

එම ආසාදිතයා ඊයේ (21) රාත්‍රි අයි.ඩී.එච්. රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

කටුනායක ගුවන් තොටුපලේ සේවිකාවකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගැනීමත් සමඟ ඇය සිටි නිවසේ පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පසුගියදා පියවර ගත්තා.

එලෙස නිරෝධායනයට ලක් කළ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (21) තහවුරු වුණි.

අදාල නිවසේ සිටින තවත් පුද්ගලයින් දෙදෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇති අතර එහිදී ඔවුන්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නැහැ.

කෙසේවෙතත් ඔවුන් තවදුරටත් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ඉන්දියාවේ රැදි සිටින සිසුන් 101 ක් හෙට දිවයිනට

(22.04.2020 – 07:05 +0530 – sinhala.adaderana.lk)

විදේශ රටවල රැදි සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් හෙට (23) මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව තිබේ.

ඉන්දියාවේ රැදි සිටි සිසුන් 101 දෙනෙකු මෙලෙස රැගෙන ඒමට නියමිත බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 146 දරණ ගුවන් යානය මගින් ඉන්දියාවේ අමරිට්සර් සිට මෙම සිසුන් පිරිස දිවයිනට රැගෙන ඒමට නියමිත බව එම සමාගම පවසයි.

පාකිස්ථානයේ රැදි සිටි ශ්‍රී ලාංකික සිසුන් 113 දෙනෙකු ඊයේ (21) රාත්‍රි දිවයිනට රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.

පාකිස්ථානයේ ලාහෝර් නුවර රැදී සිටි සිසුන් 93 දෙනෙකු සහ කරච්චි නුවර රැදී සිටි 20 දෙනෙකු ඊයේ (21) දිනයේ දිවයිනට රැගෙන ආ පිරිස අතර වන බව සඳහන්ය.

එම පිරිස සෞඛ්‍ය අංශ උපදෙස් මත ශ්‍රි ලංකා යුධ හමුදාව විසින් පුනානි හා වෛකාල් නිරොධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරිමට පියවර ගෙන තිබුණි.

මීට අමතරව ඉන්දියාවේ කොයිම්බතූර් සිට ශ්‍රී ලාංකිකයින් 117 දෙනෙකු සහ නේපාලයේ කත්මණ්ඩු සිට තවත් පුද්ගලයින් 93 දෙනෙකු රැගත් ගුවන් යානයක් අප්‍රේල් මස 24 වන දින ද දිවයිනට පැමිණීමට නියමිතයි ෴

+++++++++++++++++++++++++++++++++++

බදුල්ල මහ නගරසභාවේ මසුන් සිය ගණනක් වතුර නැතුව මිය යයි

(22.04.2020 – 13:16 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල මහ නගරසභාවේ මසුන් සියගණනක් වතුර නැතුව මැරුණු හැටි

බදුල්ල මහනගර සභාවට අයත් බදුල්ල උද්භිද උද්‍යානයේ ඇති ජල තටාකයේ සිටි මසුන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබෙනවා.

ඒ තටාකය පිරිසිදු කිරීම ආරම්භ කර යලි ජලය තටාකයට එක්කිරීම ප්‍රමාද වීම හේතුවෙන්.

තටාකය පිරිසිදු කළ කම්කරුවන් චෝදනා කරන්නේ බලධාරීන්ගේ නොසැළකිල්ල හේතුවෙන් බවටයි.

+++++++++++++++++++++++++++++++++++

බස් රථ ධාවනය අත්‍යාවශ්‍ය සේවාවලට පමණක් සීමා කිරිමට අවධානය

(22.04.2020 – 13:03 +0530 – hirunews.lk/sinhala)

ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල බස් රථ ධාවනය අත්‍යාවශ්‍ය සේවාවන්ට පමණක් සීමා කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ එම ප්‍රදේශවල සෞඛ්‍ය නිර්දේශයන්ගෙන් බැහැරව මගී බස් රථවල ගමන් කිරීමට මගීන් පෙළඹීම හේතුවෙන්.

අවදානම් දිස්ත්‍රිකක් හැරුණු විට සෙසු ප්‍රදේශවල ඇදිරි නීතිය අලුයම 5 සිට රාත්‍රී 8 දක්වා ඉවත් කිරිමට රජය තීරණය කළා.

එම තීරණයෙන් පසුව ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදවනු ලැබුවේ අත්‍යාවශ්‍ය රාජකාරි සදහා යන පිරිස් ප්‍රවාහනය කිරීම සදහායි.

එමෙන්ම, එක් බස් රථයක ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව 25 කට සීමා කිරීමට ද නිර්දේශ කරනු ලැබුවා.

කෙසේ වෙතත්, පසුගිය දින කිහිපය නිරීක්ෂණය කිරීමේදී විනෝද ගමන්, නෑදෑ හිතවතුන් බැලීම වැනි කටයුතු සදහා ද මගී බස් රථවලට ගොඩවන බව අනාවරණ වෙමින් තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ අත්‍යාවශ්‍ය රාජකාරි සදහා පිටත්ව යන අයගේ හැදුනුම්පත් පරික්ෂා කොට බස් රථවලට නැංවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි රජය සාකච්ඡා කරමින් සිටින බවයි.

ඒ සදහා පොලිස් නිලධාරින්ගේ සහයෝගය ලබා ගැනීම පිලිබදව සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා සදහන් කළා.

මේ අතර, ඇදිරි නීතිය පැනවීමෙන් පසු ගත වූ කාලසීමාව තුළ ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 35,321 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, ඇදිරි නීතිය බලපැවැත්වෙන බේරුවල ප්‍රදේශයට මෝටර් රථ දෙකකින් මත්පැන් බෝතල් 60 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැනට ඇදිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල තැපෑල හරහා සිදුකෙරෙන ලිපි බෙදා හැරීමේ කටයුතු අද (22) සිට ආරම්භ කෙරුණා.

එමෙන්ම, ඉදිරියේදී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නියමිත කාලසීමාව තුලදී පැවැත්වීමේ තීරණයේ වෙනසක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළේ එළඹෙන මැයි 11 වනදා දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, මෙම දිනය ආසන්න වනවිට පවතින තත්ත්වය පිලිබදව සමාලෝචනයක් සිදුකිරීමට රජය කටයුතු කරන බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය කඩා නිදහසට කරුණු කියයි

(22.04.2020 – 12:20 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට රට පුරා ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු පිරිස 34,000 ඉක්මවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ රථවාහාන 8,948 ක්ද එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මේ අතර, මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක්, ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් වාහනවල පැමිණි කිහිප දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබුණා.

ඇතැම් පිරිස් මුව ආවරණ රහිතව පැමිණ සිටි අතර අත්අඩංගුවට ගත් බොහෝ පිරිසකට ඇඳිරි නීති බලපත්‍රය හෝ නොමැති බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, මෙසේ අත්අඩංගුවට පත් වූ පිරිස් පොලිසියට පවසා තිබුණේ, සිය දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය වැඩකටයුතු සඳහා නිවසින් බැහැරව පැමිණි බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *