ආසාදිතයින් 11 ක් හමුවෙයි – සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 321 ක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ආසාදිතයින් 11 ක් හමුවෙයි – සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 321 ක්

• ඇඳිරි නීතිය පැනවු කාලය තුළ ලංගමට රුපියල් මිලියන 2128 ක පාඩුවක්

• මගීන් 25 කට වැඩිය ගිය බස්වල රියදුරන්ට පොලීසියෙන් අවවාද

• ඇඳිරි නීතිය ඉවත් කළ පසු ඔබ කාර්යාලයට යන විට අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු මොනවාද?

• ඇඳිරි නීතිය නැති තැන්වල තැපෑල අද (22) වැඩ

• පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලේ පුද්ගලයින් 500 ක් PCR පරීක්ෂණයට යොමු කරයි

• පාස්කු ප්‍රහාරය ගැන උදයගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (විඩියෝ)

• ෆාම් තෙල් ආනනයට ඉඩදී පොල් තෙල් ආනයනය තහනම් කල කැකිල්ලේ තීන්දු

• නැවත දැනුම් දෙන තුරු විදේශ තැපැල් ලිපි – පාර්සල් භාර නොගනී

• පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනාට කොරෝනා නෑ

• පිලියන්දල පොලිසියේ තිදෙනෙක් නිරෝධායනයට

• මෙරටින් තවත් කොරෝනා රෝගීන් 11 ක් හමුවෙයි

• වාර ප්‍රවේශපත්‍ර ලබාගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන් පමණක් ප්‍රවාහනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සැලසුමක්

• මැතිවරණ කොමිසම තවමත් මැතිවරණයට අවසන් දිනයක් නියම කර නෑ – නීතිඥ යූ.ආර්. ද සිල්වා

+++++++++++++++++++++++++++++++++++

ආසාදිතයින් 11 ක් හමුවෙයි – සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 321 ක්

(22.04.2020 – 13:47 +0530 – sinhala.adaderana.lk)

අද (22) දිනය තුළ කොරෝනා ආසාදනය වු පුද්ගලයින් 11 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 321 ක් දක්වා ඉහළ ගොස් තිබේ ෴

කොරෝනා ආසාදනයවී සුවය ලැබු තවත් දෙදෙනෙක් (02) නිවෙස් වෙත

(22.04.2020 – 12:42 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු (02) සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරටදී මේ දක්වා සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 104 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

වෛරසය වැළදුනු රෝගීන් 199 දෙනෙකු මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය පැනවු කාලය තුළ ලංගමට රුපියල් මිලියන 2128 ක පාඩුවක්

(22.04.2020 – 13:47 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇඳිරි නීතිය පැනවු දින 28 ක කාල සීමාව තුළ ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 2128 ක මුදලක් අහිමි වී ගොස් තිබේ.

දෛනිකව ලංකා ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 76 ක මුදලක් අහිමි වී ඇත.

මේ අතර ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දෛනිකව රුපියල් මිලියන 15 ආදායමක් අහිමි වීමත් සමඟ ගත වු දින 28 ක කාලය තුළ රුපියල් මිලියන 420 ක පාඩුවක් සිදුව තිබේ.

මේ අතර මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවට දෛනිකව සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 30 ක් වන අතර සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් මිලියන 840 කි.

ප්‍රවාහන සේවා හා කළමානාකරණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට ආදායම් අහිමි වීම පිළිබඳ තොරතුරු ලබා දෙන්නැයි අමාත්‍යා මහින්ද අමරවීර මහතා විසින් නිලධාරීන්ට දුන් උපදෙස් මත මෙම ගණනය කිරීම් සිදුව ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

මගීන් 25 කට වැඩිය ගිය බස්වල රියදුරන්ට පොලීසියෙන් අවවාද

(22.04.2020 – 13:30 +0530 – sinhala.adaderana.lk)

බස්රථවල ගමන් ගැනීමේදී උපරිම දුරස්ථභාවය පවත්වා ගනිමින් මගීන් 25 දෙනෙකු පමණක් ප්‍රවාහනය කරන්නැයි උපදෙස් ලබාදී තිබුණත් එය නොතකමින් මඟින් රැගෙන ගිය බස්රථ රියදුරන්ට හා සේවකයින්ට පොලිසිය අවවාද කරනු දක්නට ලැබුණි.

ඇඳිරි නීතිය පැනවූ කාලය තුළ නොච්චියාගම ප්‍රදේශයේ නිවාස 10 කට සහ වෙළෙඳසල් 12 කට සොරෙන් ඇතුළු වී මුදල් හා භාණ්ඩ සොරකම් කළ තරුණයෙකු නොච්චියාගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණි.

සැකකරු විසින් එක්කෝටි විසි ලක්ෂයක පමණ මුදලක් අදාළ ස්ථානවලින් සොරාගෙන තිබෙන අතර මෝටර් රථයක්, යතුරුපැදි 02 ක්ද ඒ අතරට අයත්.

සැකකරු අද තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම හා බේරුවල ප්‍රදේශවලට අලෙවි කිරීම සඳහා මෝටර් රථ 02 කින් මත්පැන් බෝතල් 60 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඇල්පිටිය ප්‍රදේශයේදී සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණි.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය ඉවත් කළ පසු ඔබ කාර්යාලයට යන විට අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු මොනවාද?

(22.04.2020 – 13:35 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ ඔබ කාර්යාලයට යනවිට අනුගමනය කළයුතු සෞඛ්‍ය පුරුදු පිළිබඳව රජය ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව උදෑසන අවදි වී පිරිසිදු වීමෙන් අනතුරුව කාර්යාලය සඳහා සුදුසු පහසු ඇඳුමක් ඇඳගත ගත යුතුයි.

නිවසින් බැහැර වීමට පෙර මුඛ ආවරණය පැළඳීම ඔබ අනිවාර්යෙන්ම කළ යුත්තක්.

විවිධ විලාසිතාවලින් යුතු ආභරණ හා ආයිත්තම් පැළඳිම ඔබ සීමා කළ යුතු අතර අවශ්‍යම දෑ පමණක් කාර්යාලයට රැගෙන යාමට වගබලා ගත යුතු වෙයි.

කාර්යාලය පරිශ්‍රයට ඇතුල්වන ඔබ, හොඳින් අත සෝදා විෂබීජහරණය සිදුකර ශරීර උෂ්ණත්වය මැන බැලිය යුතුයි.

විදුලි සෝපානය භාවිත කිරීමේදිත් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කර දුරස්ථභාවය රැකගනිමින් එහි ගමන් කිරීම ඉතාම වැදගත්.

කාර්යාලයට ඇතුල්වීමේදී විෂබීජනාශක දියර යොදා නැවත අත් පිරිසිදු කර ගත යුතු වෙයි.

වැළමිට යොදා ගනිමින් මෙලෙස කාර්යාල දොර විවෘත කිරීමට හැකියාව පවතියි.

රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පෙර විෂබීජනාශක දියර යොදා කාර්යාලීය උපකරණ හා ඔබ දෛනිකව භාවිත කරන දෑ පිරිසිදු කර ගත යුතුයි.

කාර්යාලයේදී, තමන්ගේ භාවිතයට පමණක් කෝප්පයක් භාවිත කිරීමට වගබලා ගන්න.

ආහාර ගැනීමේදීත් දුරස්ථභාවය රැක ගතයුතු වන අතර තනිවම ආහාර ගැනීම වෛරසය ආසාදනය වීමෙන් වැළකී සිටීමට හැකිවනු ඇති.

කාර්යාල රැස්වීම් පැවැත්වීමේදීත් දුරස්ථභාවය රැකගනිමින් එය සිදු කිරීමට අමතක නොකළ යුතුයි.

කාර්යාලයෙන් පසු නැවත නිවසට පැමිණීමට පෙර ඔබ අත සේදීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු වෙයි.

එමෙන්ම, නිවසට ඇතුල්වීමට පෙර පාවහන් පිටතින් ගළවා ඇඟ පිරිසිදු කරගැනීමෙන් පසු නිවස තුළට ඇතුල් වීමෙන් කොවිඩ් 19 වෛරසයෙන් ඔබත් ඔබේ පවුලේ සාමාජිකයන්ද ආරක්ෂා කර ගත හැකියි ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය නැති තැන්වල තැපෑල අද (22) වැඩ

(22.04.2020 – 13:25 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල තැපැල් ලිපි බෙදාහැරීමේ කටයුතුද අද(22) ආරම්භ කෙරුණි.

ඇඳිරි නීතිය හේතුවෙන් ගෙවීම් සිදු කිරීමට නොහැකි වූ රථවාහන දඩ පත්‍රිකා සඳහා එළැඹෙන මැයි 02 වනදා දක්වා සහන කාලයක් ලබාදීමට පොලිස්පතිවරයාගේ එකඟතාව මත තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21 හි ඇඳිරි නීතිය අදත් අලුයම 5 ට තාවකාලිකව ඉවත් කෙරුණි.

මේ අතර ඇඳිරි නීතිය හේතුවෙන් ගෙවීම් සිදු කිරීමට නොහැකි වූ රථවාහන දඩ පත්‍රිකා අතිරේක දඩ මුදලකින් තොරව ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට පොලිස්පතිවරයාගේ එකඟතාව මත තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව මාර්තු 01 වැනිදා හෝ ඊට පසුව නිකුත් කළ දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් රහිතව, ඕනෑම තැපැල් හෝ උපතැපැල් කාර්යාලයක් වෙත ගෙවීමට මැයි 02 වනදා දක්වා අවස්ථාව හිමිවෙයි.

එමෙන්ම ඉකුත් පෙබරවාරි 16 වනදා සිට පෙබරවාරි 29 වනදා දක්වා කාලය තුළ නිකුත් කළ රථවාහන දඩ පත්‍රිකා සම්මත අතිරේක දඩ ගාස්තු සහිතව ගෙවීමටද මැයි 02 වනදා දක්වා අවස්ථාව ලබා දී තිබේ.

ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම යන දිස්ත්‍රික්කවල රථවාහන දඩ පත්‍රිකා ගෙවීමේ සහන කාලය එම දිස්ත්‍රික්කවල තැපැල් හෝ උපතැපැල් කාර්යාල විවෘත කිරීමෙන් පසු ප්‍රකාශ කෙරෙනු ඇති ෴

+++++++++++++++++++++++++++++++++++

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලේ පුද්ගලයින් 500 ක් PCR පරීක්ෂණයට යොමු කරයි

(22.04.2020 – 12:09 +0530 – sinhala.adaderana.lk)

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළෙඳුන් සහ සේවකයින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීම අද (22) පෙරවරුවේ ආරම්භ කර තිබේ.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මැදිහත් වීමෙන් මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ දී එම පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරුණු බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසුවේය.

මෙහිදී මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙන්ඳන්, සේවකයින් සහ ජංගම මත්ස්‍ය වෙළඳුන් පරීක්ෂණ සඳහා යොමු කිරීම සිදුකර තිබේ.

ඒ අනුව පුද්ගලයින් 500 දෙනෙකු පමණ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව වාර්තා වෙයි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු ලබාගත් පිළියන්ඳල ප්‍රදේශයේ වෙළෙන්ඳෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පරීක්ෂා කිරීම් සිදුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ප්‍රහාරය ගැන උදයගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

(21.04.2020 – 18:08 +0530 – lankaleadnews.com)

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටුවීමටත්, සමස්ත ජාතියේ අනාගතය ආරක්ෂාව සුරක්ෂිත කිරීමටත්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම අනිවාර්ය කටයුත්තක් බව නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙන අද දින සමාජ මාධ්‍ය වෙත එක් කළ වීඩියෝවක් හරහා පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙලෙස අදහස් පළ කර තිබුණි.

“යම් යම් පසුගාමී මන්දගාමී භාවයන් තිබුනත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් වී මුස්ලිම් අන්තවාදීන්ගෙන් තෝර ආණ්ඩුවක් බිහිකිරීමෙන් පසු මෙහි දැවැන්ත ප්‍රගතියක් පසුගිය මාස කීපයේ අපට දකින්නට පුළුවන් වුණා. එහි එක් අවස්ථාවක් තමයි මෙතෙක් පැමිණිලිකරුවෙකු ලෙසින් පොලීසියට ගිය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා දැන් ප්‍රශ්න කිරීම් සඳහා පොලීසියට යනවා. ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට පත්වෙනවා. තවත් විශාල පිරිසක් මේ වන විට අත්අඩංගුවට පත්වී සිටිනවා.

මේ අත්අඩංගුවට පත්වූවන් නිදහස් කරගැනීමට හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ රඳවා තබා ගැනීම වලක්වා ගැනීමට යම් යම් දේශපාලකයන්, යම් යම් ආගමික සංවිධාන, යම් යම් වෘත්තීය සංවිධාන බලපෑම් එල්ල කරන බවට පොලීසිය හරහා නොනිළ තොරතුරු ලැබෙමින් පවතිනවා. මේ බලපෑම් වලට යට නොවී කටයුතු කිරීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාටත් ආරක්ෂක ලේකම් තුමාටත් වැඩබලන පොලිස්පතිතුමාටත් අපේ ප්‍රණාමය පුද කිරීම සඳහා අප මෙය අවස්ථාවක් කර ගන්නවා.

විධිමත් විය යුතු, ස්වාධීන විය යුතු, මේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ දෙස සමස්ත ජාතිය පමණක් නොව සමස්ත ලෝකයම දෑස් දල්වා බලා සිටින අවස්ථාවක පරීක්ෂණ සඳහා කිසිවෙකුත් කිසිම අයුරකින් බලපෑමක් නොකළ යුතුය කියන කාරණය අප ඉතා දැඩිව බලපෑම් කරන පාර්ශව වලට දැනුම් දෙනවා. එදා වගේම අදත් අද වගේම හෙටත් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සියලුම විමර්ශන පිළිබඳව අප විමසිල්ලෙන් කටයුතු කරනවා. ප්‍රහාරය පිටුපස සිටින සියලුම බලවේග නීතිය හමුවට පමුණුවා සමස්ථ ජාතියම සුරක්ෂිත කරන තුරු අප මේ අරගලය අත් නොහරින බවට වන ප්‍රතිඥාව අප සමස්ත ජාතියටම ලබාදෙනවා.”

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++++++++++++++++

ෆාම් තෙල් ආනනයට ඉඩදී පොල් තෙල් ආනයනය තහනම් කල කැකිල්ලේ තීන්දු

(22.04.2020 – colombotoday.com)

ඇඳිරි නිතිය පනවා තිබු අවස්ථාවක මහා පරිමාන එළවලු තෙල් (palm oil) ආනයන කරුවෙකු සැනසීම සඳහා අප්‍රේල් මුලදී ආනයනික පොල් තෙල් සහ ආනයනික එළවලු තෙල්(palm oil) මත අයකරන බද්ද රුපියල් 100 කින් වැඩි කිරීමට රජය තීන්දුවක් ගෙන තිබුණි. මෙම තීන්දුව ගන්නා මොහොත වනවිටත් මහා පරිමාන ව්‍යාපාරිකයා එළවලු තෙල් (palm oil) අතිවිශාල ප්‍රමාණයක් මෙරටට ආනයනය කර තිබුණි. එක් රැයකින් රුපියල් බිලියන ගණනක අතිරේක ආදායමක් අදාළ ව්‍යාපාරිකයාට රජය ගත් මෙම තීන්දුවත් සමග අත්විය.

එළවලු තෙල් ආහාර සඳහා භාවිතා කිරීම සෞඛ්‍යදායි නොවන නිසා පාරිභෝගිකයා වෙත පොල්තෙල් පරිභෝජනය කිරීමට අවස්ථාව ලබා දීම සදහා පොල් තෙල් මත පැනවූ නව බද්ද ඉවත්කරන ලෙස පොල් සංවර්ධනය මණ්ඩලයේ බලධාරීන් සිදුකල බලපෑමත් සමගම පොල් තෙල් සඳහා වැඩිකළ රුපියල් 100 ක බද්ද ඉවත් කර ගැනීමට බලධාරීන් කටයුතු කර ඇත.

දැනගන්නට ලැබෙන පරිදි මෙම තීන්දුවත් සමගම එළවලු තෙල් (palm oil) අති විශාල ප්‍රමානයක් මෙරටට ආනයනය කල ව්‍යාපාරිකයා කලබලයට පත්වී රජයේ තීන්දු ගන්නා ස්ථානවලට දැඩි බලපෑමක් එල්ල කර ඇත. එහි ප්‍රතිපලයක් ලෙස පොල් තෙල් ආනයනය මාස 3 කට නවතාලමින් ලහි ලහියේ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. ඒ අනුව ඉදිරියේදී වෙළඳපලේ පොල් තෙල් හිඟයක් ඇති වී පොල් මිල සහ පොල් තෙල් මිල ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහල යාම සිදුවන ඇත. ඒ සමගම යලි එළවලු තෙල්වලට ඇති ඉල්ලුම ද වැඩි වීමට නියමිතව ඇත.

වැඩිකරන ලද රුපියල් 100 ක බදු මුදල යටතේ වුවද ඉදිරියේදී මෙරටට ආනයනය කල හැක්කේ එළවලු තෙල් (palm oil) පමණි. බදු මුදල වැඩි කිරීමට පෙර එළවලු තෙල් (palm oil) අති විශාල ප්‍රමාණයක් ආනයනය කර ගබඩා කරගෙන සිටි ව්‍යාපාරිකයාට බිලියන ගණනක අතිරේක ආදායම ලබා ගැනීමට මෙම ගැසට් පත්‍රය මගින් යලි අවස්ථාව හිමි වේ. ව්‍යාපාරිකයන්ගේ පසුම්බියට යටවී සිටින බලධාරීන් පිළිබඳව ජනාධිපතිවරයා සොයා බලා වහා ක්‍රියාමාර්ග ගත යුතුව ඇත. නැතහොත් කොරෝනා වෛරසයෙන් බැට කා සිටින ජනතාව තවදුරටත් අසරණ තත්වයට පත් වීමට ඉඩ ඇත.

නව රජය යටතේ කටුපොල් වගාව තහනම් කරන බවට පොරොන්දු රැසක් ලබා දුන් රමේෂ් පතිරණ අමාත්‍යවරයාට මේ පිළිබඳව විශාල වගකීමක් ඇත. ආනයන එළවලු තෙල් (palm oil) මත අයකරන බදු මුදල වැඩිකිරීම හේතුවෙන් මෙරට කටුපොල් වගාව සිදුකරන වැවිලි කරුවන් දිරිමත් කිරීමක් සිදුවේ. දේශීය වශයෙන් එළවලු තෙල් (palm oil) නිෂ්පාදනය දිරිමත් කිරීමක් රජය වක්‍රව සිදුකිරීම ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට ඡන්දය භාවිතා කල සාතිශය බහුතරයක් වූ ජනතා පැතුමට පයින් ගැසීමකි.

ඉතා හොඳ ආනාගත දේශපාලන නායකත්වයකට යා හැකි තරුණ නායකයෙකු ලෙස රමේෂ් පතිරණ ඇමතිවරයා මේ සඳහා ව්‍යාපාරිකයන්ගේ පැත්තේ සිට නොව ජනතාවගේ පාර්ශවයෙ සිට කටයුතු කල යුතුව ඇත. නොඑසේනම් ජනාධිපතිවරයා හෝ මේ සඳහා මැදිහත් වී ජනතා පැතුම් ඉටු කිරීමට වහා පියවර ගත යුතුව ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

නැවත දැනුම් දෙන තුරු විදේශ තැපැල් ලිපි – පාර්සල් භාර නොගනී

(22.04.2020 – 14:02 +0530 – lankadeepa.lk)

ඇදිරි නීතිය ඉවත් කර ඇති පලාත්වල තැපැල් කාර්යාල විවෘතව පැවැතියත් නැවත දැනුම් දෙන තුරු විදේශ තැපැල් ලිපි හෝ පාර්සල් භාර නොගන්නා ලෙස තැපැල් දෙපාර්තමේන්තුව සියලු තැපැල් කාර්යාලවලට චක‍්‍රලේඛයක් යවමින් උපදෙස් දී තිබේ.

ජාත්‍යන්තර තැපෑල ක‍්‍රියාත්මක නොවන බැවින් විදේශ ගමනාන්ත සදහන් ලිපියනයන් සහිත තැපැල් භාර නොගන්නැයි තැපැල් කාර්යාලවලට උපදෙස් දී ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ලංකාදීපයට අද (22) පැවසීය.

ඇදිරි නීතිය ඉවත් කර ඇති ප‍්‍රදේශවල සාමාන්‍ය පරිදි තැපැල් කාර්යාල විවෘතව ඇති බවත් තැපැල් බෙදීම් කටයුතු ඇතුළු කටයුතු සිදුවන බවත් තැපැල්පතිවරයා ප‍්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඇදිරි නීතිය පවතින ප‍්‍රදේශවල කැපැල් කාර්යාල වසා ඇතත් තැපැල් කාර්යාල හරහා ඖෂධ බෙදා හැරීම් කටයුතු සිදුවන අතර සතොස සමග එක්ව ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම් ද සිදුකිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනාට කොරෝනා නෑ

(22.04.2020 – 14:00 +0530 – lankadeepa.lk)

පී.සී.ආර්.පරීක්ෂණයට භාජනය කළ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ නොමැති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රිසිනී මාරසිංහ මහත්මිය පැවසුවාය.

බොරලැස්ගමුව රත්තනපිටිය විශ්ව විද්‍යාල පාරෙන් හමුවූ 56 හැවිරිදි කොරෝනා ආසාදිත රෝගියා ඔහුට දීර්ඝ කාලයක සිට තිබෙන බව කියන වකුගඩු රෝගයකට කාන්දුකරණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉකුත් 19 වෙනි දින මෙම පෞද්ගලික රෝහල වෙත පැමිණ තිබූ බව වෛද්‍යවරිය පැවසුවාය.

එම පුද්ගලයාට 20 දින සවස් කාලයේ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරිණි.

එම රෝහලේ දී පී.සී.ආර්. පරීක්ෂණයකට භාජන කිරීමෙන් අනතුරුව එම පුද්ගලයාට කොවිඩ් 19 වෛරස් ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟ ඔහු අංගොඩ අයි.ඩී.එච්. රෝහල වෙත ඇතුළත් කෙරිණි.

එම පුද්ගලයාව රෝහලට රැගෙන ගිය ඔහුගේ පුත්‍රයා ද ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ ද ඔහුට කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ නොමැති බවට අනාවරණය විය.

ඒ සමගම රෝගියා සම්බන්ධයෙන් පසු විපරමක් කිරීමෙන් අනතුරුව ඔහුගෙන් හෙලි වූ තොරතුරු අනතුරුව පන්නිපිටිය පෞද්ගලික රෝහලේ ඔහුට ප්‍රතිකාර කල හෙදිය ඇතුළු 69 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කර එම රෝහල තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරිණි.

තවද එම පුද්ගලයාට ප්‍රතිකාර කල හෙදිය ඇතුළු 7 දෙනෙකු රෝහල් ගොඩනැගිල්ලේ ඉහල මහලේ නිරෝධනයට ලක් කල අතර රෝගියා රෝහලට පැමිණි අවස්ථාවේ එහි සිටි වෙනත් රෝගීන් තිදෙනකු ද ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධනයට ලක් කෙරිණි.

රෝගියා පදිංචි නිවස ආසන්නයේ පිහිටා ඇති විහාරස්ථානයකට ඉකුත් 19 වෙනිදා දානය ලබා දී ඇත්තේ රෝගියාගේ නිවසෙන් බැවින් එම විහාරස්ථානයේ වැඩ වෙසෙන විහාරධිපති ඇතුළු භික්ෂූන් වහන්සේලා 5 නමක් විහාරස්ථානය තුලම ස්වයං නිරෝධනයට ලක් කර එම ප්‍රදේශය විශබීජ හරනයට ද ලක් කෙරෙණි ෴

+++++++++++++++++++++++++++++++++++

පිලියන්දල පොලිසියේ තිදෙනෙක් නිරෝධායනයට

(22.04.2020 – 12:55 +0530 – lankadeepa.lk)

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් හමුවූ ප්‍රථම කොරෝනා ආසාදිතයා වන මාළු ව්‍යාපාරිකයා සමඟ සමීපව කටයුතු කළ පිලියන්දල පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් ස්වයං නිරෝධායනය ට ලක් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසී ය.

මාළු ව්‍යාපාරිකයාට ඇඳිරි නීති බලපත්‍ර ලබා දුන් පොලිස් කොස්තාපල්වරයෙක් හා කැස්බෑව මාර්ග බාධකයේ දී ඔහුව පරීක්ෂා කළ පොලිස් පරීක්ෂක වරයෙක් සහ පොලිස් කොස්තාපල් වරයෙක් මෙලෙස නිරෝධානය සඳහා යොමු කළ බව වෛද්‍ය වරයා කීය.

අතුරුගිරිය, පිළියන්දල හා බදුල්ල පදිංචි එම පොලිස් නිලධාරීන් ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධනයට ලක් කර ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

මෙරටින් තවත් කොරෝනා රෝගීන් 11 ක් හමුවෙයි

(22.04.2020 – 13:53 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසදිතයින්ගේ සංඛ්‍යාව 321 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අද දිනයේදී තවත් ආසාදිතයින් 11 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.

අද හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයන් 11 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක සිටි බේරුවල ප්‍රදේශයේ පිරිසක් බවට සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඔවුන් දැනට නිරෝධායන මධ්‍යස්ථානවල රදවා සිටින්නන් බවයි වාර්තා වන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

වාර ප්‍රවේශපත්‍ර ලබාගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන් පමණක් ප්‍රවාහනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සැලසුමක්

(22.04.2020 – 15:21 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මගින් ගමන් පහසුකම ලබාගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් පමණක් දුම්රියෙන් කොළඹට ප්‍රවාහනය කිරීමේ කටයුතු සූදානම් කිරීම සඳහා අදාළ පාර්ශවයන් නිශ්චිතව හඳුනාගැනීමේ වැඩපිළිවෙලක් දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දුම්රියෙන් කොළඹට ගෙන්වාගැනීමට අත්‍යාවශ්‍යම සේවකයන්ගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය, ජංගම දුරකථන අංකය, දුම්රිය වාර ප්‍රවේශපත්‍රයේ අංකය, සහ දුම්රියට පැමිණෙන සහ පිටවන කාලවේලාවන් දෙපාර්තමේන්තුවට දැනුම්දිය යුතුයි.

011 243 2128 , 011 243 1909 සහ 011 244 6490 යන ෆැක්ස් අංක හෝ railwaycomoffice@gmail.com ඊමේල් ලිපිනය ඒ සඳහා භාවිත කළ හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එසේම සෑම සතියකටම අදාළ නිශ්චිත තොරතුරු ඊට පෙර සතියේ බ්‍රහස්පතින්දා හෝ ඊට පෙර ලබාදිය යුතු බවත්, සේවයට ගෙන්වා ගත යුතු අත්‍යාවශ්‍යම හා අවම සංඛ්‍යාවක් දන්වා එවන ලෙසත් දුම්රිය දෙපාර්තමේන්තුව රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දෙනවා.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය බලපැවැත්වූ දින 28 ක කාලසීමාව තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 2128 ක ආදායමක් අහිමි වී ඇති බව ද ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමිවී ඇති ආදායම රුපියල් මිලියන 420 ක්.

මේ අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 840 ක ආදායමක් ද අහිමිවී තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

මැතිවරණ කොමිසම තවමත් මැතිවරණයට අවසන් දිනයක් නියම කර නෑ – නීතිඥ යූ.ආර්. ද සිල්වා

(22.04.2020 – 15:40 +0530 – sinhala.adaderana.lk)

පවතින වාතාවරණය තුළ මැතිවරණය පැවැත්වීමට හැකියාවක් ඇත්ද යන්න සහ එහිදී මතුවිය හැකි ව්‍යවස්ථානූකූල ගැටළු සම්බන්ධයෙන් අද (22) පෙරවරුවේ ‘BIG FOCUS’ සංවාදයේදී අවධානයට ලක්විය.

එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පවසා සිටියේ, පවතින ආණ්ඩුව සමඟ එකතු වී ඉදිරියට යා නොහැකි නිසාවෙන් ජනාධිපතිවරයා විසින් මෙම තීන්දුව ගත් බවයි.

ඒ නිසාවෙන් වසර 4 හමාර පිරෙන දිනය වන විටම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බවත් ඒ මහතා පැවසීය.

එම නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කරන වේලාවේ දී ඉදිරි මැතිවරණ දිනය හා පාර්ලිමේන්තුව රැස්වන දිනය ද සිය නිවේදනයේ දැක්විය යුතු බවද ඒ මහතා කියා සිටියේය.

එවැනි දෙයක් ජනාධිපතිවරයා විසින් සිදු කර නැත්නම් එය ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවද පැවසු සිල්වා මහතා, නමුත් ජනාධිපතිවරයා විසින් එය සිදු කර ඇති බවත් පැවසීය.

ඉතිරි වැඩ කොටස පැවරී ඇත්තේ මැතිවරණ කොමිසමට බවත් පැවසු ඒ මහතා, රටේ වතාවරණය තුළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මැතිවරණය පැවැත් විය නොහැකි බව පැවසු බවත් කියා සිටියේය.

ව්‍යවස්ථාවට අනුව එසේ සිදු කිරිමේ හැකියාවක් පවතින බවත් කියා සිටි ඒ මහතා, තවමත් මැතිවරණයට අවසන් දිනයක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් නියම කර නොමැති බවත්, එතෙක් කිසිවෙකුටත් ඒ ගැන තර්ක කළ නොහැකි බවත් පැවසීය.

මේ අතර පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ, නීති තර්ක ඉදිරිපත් කිරීම මේ වේලාවේ කළ යුතු දෙයක් නොවන බවයි.

සියලු දෙනාම මේ මොහොතේ විපතට පත්ව ඇති බවත් පැවසු ඒ මහතා, සියලු දෙනාම සහයෝගයෙන් වැඩ කිරීම මේ වෙලාවේ කළ යුතු දෙයක් බවත් පැවසීය.

සියලු දෙනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වැඩ කිරීමට බැඳී සිටින බවත් නමුත් මේ මොහොතේ රට මුහුණ දී ඇත්තේ සුවිශේෂී තත්ත්වයක් බවත් ඒ මහතා කියා සිටියේය.

විපක්ෂයේ අය මේ මොහොතේ කළ යුත්තේ ආණ්ඩුවට සහයෝගය ලබා දීම බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

+++++++++++++++++++++

පරණ පාර්ලිමේන්තුව යළි කැඳවනවා ද ? – විමල් වීරවංශ (18-04-2020)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *