ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 330 ක් දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 330 ක් දක්වා ඉහළට

• පොළොන්නරුවේ ගම්මාන 12 ක් හුදෙකලා කෙරේ (විඩියෝ)

• රට යළි සම්පූර්ණයෙන් විවෘත කිරීමට හැක්කේ සෞඛ්‍ය අංශ උපදෙස්වලට ජනතාව ලබාදෙන ප්‍රතිචාරය අනුවයි (විඩියෝ)

• ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කරන්න ජනාධිපති කාර්ය සාධක බලකායක් (විඩියෝ)

• වත්මන් රජය බඳවාගත් සියලු උපාධිධාරීන්ට රුපියල් 20,000 දීමනාව කඩිනමින් ගෙවා අවසන් කළ යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

• ත්‍රී රෝද රථයක ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කරයි

• කොළඹ වතු නිවාස ආශ්‍රිතව අහඹු ලෙස PCR පරීක්ෂණ (විඩියෝ)

• මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 322 ක් දක්වා ඉහළට (විඩියෝ)

• මැනිං වෙළඳපොළ වසා තැබීම නිසා වෙළෙඳුන්ගේ නිෂ්පාදන නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන අලෙවි කළ හැකියි

• COVID-19 මෙහෙයුමට ටොයොටා ලංකා සමාගමෙන් බස් රථ 02 ක්

• අඩු ආදායම්ලාභීන්ට රුපියල් පන්දහසේ (5000) දීමනාව ලබාදීමේ තුන්වන (3) අදියර ඇරඹේ (විඩියෝ)

• කොවිඩ් 19 අරමුදලේ තැන්පත් ශේෂය මිලියන 822 ඉක්මවයි

• දිවයින පුරා කර්මාන්ත ශාලා 217 ක වැඩ යළි අරඹයි

• වන අලින්ට බියෙන් පැල උඩ රැය පහන් කරන හිමි නමක්

• ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වෙළඳ නෞකාවක සේවය කරමින් සිටියදී හෘදයාබාධයකින් මිය ගිය සූපවේදියෙකු ගේ මෘත දේහයක් ආරක්‍ෂිතව ගොඩබෑම සඳහා නාවික හමුදා සහාය

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 330 ක් දක්වා ඉහළට

(22.04.2020 – 23.42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 330 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේ වාර්තාවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20 ක්.

මේවන විට පුද්ගලයන් 218 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ 105 දෙනෙක් රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

මෙරටින් වාර්තාවූ මරණ සංඛ්‍යාව 7 ක් ෴

+++++++++++++++++++++++++++++++++++

පොළොන්නරුවේ ගම්මාන 12 ක් හුදෙකලා කෙරේ

(22.04.2020 – 21:24 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමග පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12 ක් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

ආසාදිතයා වාර්තා වූ ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ ගම්මාන 12 ක් හුදකලා කර ආසාදිතයා සමග සෘජු සබඳතා පැවැත්වූ පවුල් 11 ක පුද්ගලයින් 43 දෙනෙක් පනිච්චන්කර්නි සහ මියන්කුලම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව පොළොන්නරුව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවා.

ශ්‍රී ලංකාවෙන් අද (22) හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 11 දෙනෙකුම බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අනෙක් ආසාදිතයා පොලොන්නරුව – පුලස්තිගම ප්‍රදේශයේ පදිංචි වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන සෙබලෙකු බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ.

මොහු පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා ලෙසයි සැලකෙන්නේ.

මේ සමඟම ඔහු සමඟ වැලිසර නාවික හමුදා කඳවුරේදී සමීපව කටයුතු කළ සෙබළුන් හඳුනා ගැනීමට නාවික හමුදාව මේ වනවිට කටයුතු කරමින් සිටිනවා.

මේ වනවිට දිස්ත්‍රික්ක 16 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වන අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 115 ක්.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ කෙසෙල්වත්ත – බණ්ඩාරනායක මාවතෙන් වන අතර, එම සංඛ්‍යාව 62 ක්.

+++++++++++++++++++++++++++++++++++

රට යළි සම්පූර්ණයෙන් විවෘත කිරීමට හැක්කේ සෞඛ්‍ය අංශ උපදෙස්වලට ජනතාව ලබාදෙන ප්‍රතිචාරය අනුවයි

(22.04.2020 – 19:19 +0530 – hirunews.lk/sinhala)

රට නැවත සම්පූර්ණයෙන්ම විවෘත කළ හැකි ආකාරය පිළිබඳ නිශ්චිතව ප්‍රකාශ කළ හැකිවන්නේ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස්වලට ජනතාව දක්වන ප්‍රතිචාරය අනුව බව සෞඛ්‍ය සේවා අධක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ, ‘හිරු ටී වී’ ඔස්සේ අද (22) විකාශය වූ ‘රට සහ හෙට’ වැඩසටහනට එක්වෙමින්.

එම වැඩසටහනට යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාද එක්ව සිටියා.

+++++++++++++++++++++++++++++++++++

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කරන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

(22.04.2020 – 18:51 +0530 – sinhala.adaderana.lk)

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව බලකාය ස්ථාපනය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කරයි.

ලොව පුරා ව්‍යාප්ත කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ උද්ගත ආර්ථික හා සමාජයීය අභියෝග සහ ඉඩ ප්‍රස්ථාකෙරෙහි සුවිශේෂ අවධානය යොමු කරමින් ආර්ථික පුනර්ජීවනය සැලසීමේ සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ වගකීම කාර්ය සාධක බලකායට පැවරෙයි.

“සෞග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත දර්ශනය පදනම් කර ගනිමින් නව ප්‍රවේශයක් ඔස්සේ මෙරටට අනන්‍ය වූ ආර්ථික රාමුවක් සකස් කිරීම මඟින් නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අදාළ ආයතනවලට අවශ්‍ය මඟ පෙන්වාදීම කාර්ය සාධක බලකායට පැවරී ඇති ප්‍රමුඛ වගකීමක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

දේශීය කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් දිරි ගන්වන ජනතා කේන්ද්‍රය ආර්ථිකයක් ස්ථාපනය කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම තවත් කාර්යයක් වෙයි.

ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමට සෞඛ්‍ය හා අධ්‍යාපන කාර්ය සාධක බලකායන්ගේ ක්‍රියාකාරිත්වය ද සැලකිල්ලට ගෙන සියලුම ආයතන සම්බන්ධීකරණය කරමින් නිෂ්පාදන බෙදාහැරීමට අවශ්‍ය පියවර ගැනීම ද ඊට පවරා තිබේ.

කිසියම් රාජ්‍ය සේවකයෙකු හෝ අමාත්‍යාංශයක්, රජයේ දෙපාර්තමේන්තුවක්, රාජ්‍ය සංස්ථාවක් හෝ වෙනත් එබඳු ආයතනයක් කාර්ය සාධක බලකාය විසින් පවරනු ලබන රාජකාරී හා වගකීම් ඉටුකිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින හෝ සියලු අවස්ථා ජනාධිපතිවරයා වෙත වාර්තා කරන ලෙස බලකායට විධාන කර ඇත.

2020 ජනවාරි 24 හා 2020 මාර්තු 24 දිනැති දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා වූ කාර්ය සාධක බලකාය සහ 2020 මාර්තු 23 දිනැති කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී වැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා ඇති දිස්ත්‍රික්කවල සමස්ත ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සේවාවන් විධිමත් ලෙස කළමනාකරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කිරීමට අදාළ විධිවිධානයන් මේ සමඟ අවලංගු කෙරේ.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය වෙත පැවරී ඇති කාර්යභාරය සහ වගකීම් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා කාර්ය සාධක බලකායේ සභාපතිත්වය හොබවයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා සහ ඩී.එස්. ජයවීර මහත්වරු සම ලේකම්වරු වෙති.

කාර්ය සාධක බලකායේ සාමාජිකයන්ගේ සම්පූර්ණ නාම ලේඛනය මෙසේය :

01 – බැසිල් රජපක්ෂ මහතා – ජනාධිපති විශේෂ නියෝජිත
02 – ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා – ජ්‍යෙෂ්ඨ නියෝජ්යප අධිපති ශ්‍රී ලංකා මහ බැංකුව
03 – ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී / යුද හමුදාපති
04 – සී. ඩී. වික්‍රමරත්න මහතා – වැඩබලන පොලිස්පති
05 – මේජර් ජනරාල් (විශ්‍රාමික) ශාන්ත දිසානායක මහතා – සභාපති, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය
06 – ජේ. ඒ. නුෂාඩ් එම්. පෙරේරා මහතා – සභාපති, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව
07 – සුසන්ත රත්නායක මහතා – සභාපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
08 – ජයන්ත දි සිල්වා මහතා – සභාපති, ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය
09 – කිමාලි ප්‍රනාන්දු මහත්මිය – සභාපති, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
10 – ජයම්පති මොල්ලිගොඩ මහතා – සභාපති, ශ්‍රී ලංකා තේ මණ්ඩලය
11 – ප්‍රභාත් සුබසිංහ මහතා – සභාපති, අපනයන සංවර්ධන මණ්ඩලය
12 – ඒ. විමලවීර මහතා – කම්කරු කොමසාරිස් ජනරාල්
13 – එස්. සිංගප්පුලි මහතා – සමූපකාර සංවර්ධන කොමසාරිස්
14 – රියාර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් මහතා – අධ්‍යක්ෂ ජනරාල්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
15 – මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී. විජිත රවිප්‍රිය මහතා – අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුව
16 – බන්දුල තිලකසිරි මහතා – අධ්‍යක්ෂ ජනරාල්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව
17 – සංජය මොහොට්ටාල මහතා – අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
18 – මේජර් ජනරාල්(විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා – අධක්ෂ ජනරාල්, ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය
19 – මහේෂ් ගම්මන්පිල මහතා – අධ්‍යක්ෂ, පොහොර ලේකම් කාර්යාලය
20 – බුද්ධික මඩිහහේවා මහතා – සාමාන්‍යාධිකාරී, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
21 – රොහාන් සෙනෙවිරත්න මහතා – අතිරේක සාමාන්‍යාධිකාරී, ලංකා විදුලිබල මණ්ඩලය
22 – මනෝ සේකරම් මහතා – අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනය
23 – මේජර් ජනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා මහතා
24 – සංජිව ගුණවර්ධන මහතා – විධායක නිලධාරී, ඊ. ඩබ්ලිව්. ක්‍රේසි සහ සමාගම
25 – සමන්ත කුමාරසිංහ මහතා – අධිපති, නේචර්ස් සික්‍රට් ආයතනය
26 – මහේෂ් අමලියන් මහතා – සභාපති, මාස් හෝල්ඩිංග්ස්
27 – ආචාර්ය රවී ලියනගේ මහතා – සභාපති, රයිගම් මාර්කටින් සර්විසස් (පුද්) සමාගම
28 – පද්මලාල් විතානගේ මහතා – කළමනාකාර අධ්‍යක්ෂ, සැන්මික් සමූහ ව්‍යාපාරය
29 – එස්.බී. දිවාරත්න මහතා – විශ්‍රාමික නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්
30 – අග්‍රාමාත්‍ය ලේකම් හා මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, මාර්ග සහ මහාමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා සහ පළාත් පාලන, වැවිල් කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ, විදුලිබල හා බලශක්ති, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්රා මීය සංවර්ධන, නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම්, ආරක්ෂක, අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතභාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශ ලේකම්වරු

+++++++++++++++++++++++++++++++++++

වත්මන් රජය බඳවාගත් සියලු උපාධිධාරීන්ට රුපියල් 20,000 දීමනාව කඩිනමින් ගෙවා අවසන් කළ යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

(22.04.2020 – 18:31 +0530 – hirunews.lk/sinhala)

වත්මන් රජය බඳවා ගනු ලබූ උපාධිදාරීන් සියලු දෙනාට රුපියල් 20,000 ක දීමනාව කඩිනමින් ගෙවා අවසන් කලයුතු බව කැබිනට් මණ්ඩලය අද (22) තීරණය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (22) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩලය රැස්වුණා.

එහිදීයි ජනාධිපතිවරයා විසින් මෙම තීරණය අමත්‍යය මණ්ඩලයට ඉදිරිපත්කර ඇත්තේ.

රජය බඳවාගනු ලැබු උපාධිදාරීන් අතරින් කොටසකට පමණක් මෙම රු. 20,000 ක දීමනාව හිමිවන බවට පසුගිය දිනවල් තොරතුරු වාර්තා වුනා.

පත්වීම් ලිපි ලැබී ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත වාර්ථා කර ඇති සියලු දෙනා වෙත රු. 20,000 දිමනාව නිසි පරිදි ගෙවියතු බවටයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

මිට අමතරව කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලු කලාකරුවන් වෙත ඉතා කඩිනමින් සහණ ණය මුදලක් ලබදීම කෙරෙහි ද කැබිනට් මණ්ඩලයේ අවදානය යොමුවී ඇති බවයි වාර්තා වන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

ත්‍රී රෝද රථයක ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කරයි

(22.04.2020 – 18:04 +0530 – hirunews.lk/sinhala)

ත්‍රී රෝද රථයක ගමන් කළ හැක්කේ මගීන් දෙදෙනෙකුට (02) පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළකළේ.

සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම පියවර ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියා ෴

+++++++++++++++++++++++++++++++++++

කොළඹ වතු නිවාස ආශ්‍රිතව අහඹු ලෙස PCR පරීක්ෂණ

(22.04.2020 – 17:58 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරය අවට පවතින වතු නිවාස ආශ්‍රිතව අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

ඊයේ (21) දිනයේ කොළඹ නගර සීමාවේ ඇතැම් ස්ථානවලින් රෝගීන් හමුවීමත් සමග කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සමග සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා.

එමෙන්ම බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ ආසාදිතයන් හමු නොවූ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් ද පරීක්ෂණ සඳහා සාම්පල ලබාගත් බවයි ඔහු කියාසිටියේ.

මේ අතර, පිළියන්දල ප්‍රදේශයෙන් පසුගියදා හඳුනා ගැනුණු ආසාදිතයා සබඳතා පවත්වා තිබීම හේතුවෙන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ කටයුතු සීමා කිරීමට ඊයේ (21) තීරණය කෙරුණු අතර, එහි ව්‍යාපාරිකයින් සහ වෙළඳුන් 500 කගේ පමණ පී.සී.ආර්. පරීක්ෂණ අද (22) මත්ස්‍ය වෙළඳපොල පරිශ්‍රයේම සිදුකෙරුණා.

විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් දිගු පෝලිම් නිර්මාණය වී තිබූ අතර, එහිදී වෙළඳුන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්ද හට ගත්තා.

මෙම මාළු ව්‍යාපාරිකයාට ඇඳිරි නීති බලපත්‍රය ලබාදුන් පොලිස් කොස්තාපල්වරයෙක් සහ කැස්බෑව මාර්ග බාධකයේදී ඔහුව පරීක්ෂා කළ පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගැනුණා.

කෙසේ වෙතත්, සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ අදාළ ව්‍යාපාරිකයාගේ පවුලේ සාමාජිකයින් ඇතුළු අසල්වාසීන් 11 දෙනාට වෛරසය වැළඳී නොමැති බවයි.

මේ අතර, බොරලැස්ගමුව – රත්තනපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයා පසුගිය 19 වැනිදා ප්‍රතිකාර ලබාගැනීම හේතුවෙන් වසා දැමුණු පන්නිපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ 69 දෙනාටද රෝගය වැළඳී නොමැති බවට තහවුරු වුණේ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා අද (22) ලැබීමෙන් අනතුරුවයි.

මේ අතර, ඉන්දියාවේ අම්රිට්සාර් සිට තවත් ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනෙකු හෙට (23) දිනයේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් අතුරෙන් තවත් රෝගීන් දෙදෙනෙකු අද පූර්ණ සුවය ලබා පිටත්ව ගිය අතර, මේ වනවිට සුවය ලැබූ සම්පූර්ණ සංඛ්‍යාව 104 ක්.

කෙසේ වෙතත්, වෛරසය ආසාදනය වූ රෝගීන් 211 දෙනෙකු තවදුරටත් රෝහල් 05 ක ප්‍රතිකාර ලබනවා.

+++++++++++++++++++++++++++++++++++

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 322 ක් දක්වා ඉහළට

(22.04.2020 – 17:37 +0530 – hirunews.lk/sinhala)

තවත් පුද්ගලයින් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මෙරටදී වෛරසයට ගොදුරුවූවන්ගේ සංඛ්‍යාව මේ වනවිට 322 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද (22) හමුවූ ආසාදිතයන්ගෙන් 11 දෙනෙකුම බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අනෙක් ආසාදිතයා පොලොන්නරුව – පුලස්තිගම ප්‍රදේශයේ පදිංචි වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන සෙබලෙකු බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ.

මොහු පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා ලෙසයි සැලකෙන්නේ.

මේ සමඟම ඔහු සමඟ වැලිසර නාවික හමුදා කඳවුරේදී සමීපව කටයුතු කළ සෙබළුන් හඳුනා ගැනීමට නාවික හමුදාව මේ වනවිට කටයුතු කරමින් සිටිනවා.

බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන්ට පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටියදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී ඔවුන්ට වෛරසය වැළඳී ඇති බවට තහවුරු වුණා.

මෙම පිරිස මීට පෙර ආසාදිතයින් වාර්තා වූ චීනකොටුව, පන්නිල, අකරගොඩ, මරක්කලාවත්ත සහ කරඳගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

අද (22) තහවුරු වූ ආසාදිතයින් 11 දෙනා සමඟ මේ වනවිට බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට දිස්ත්‍රික්ක 16 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වන අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 115ක්.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ කෙසෙල්වත්ත – බණ්ඩාරනායක මාවතෙන් වන අතර, එම සංඛ්‍යාව 62 ක්.

වෛරසය ආසාදනය වූ කාන්තාවක් පසුගිය 15 වැනිදා මුල්වරට එම ප්‍රදේශයෙන් සොයා ගැනුණු අතර, එහිදී ප්‍රකාශ වූයේ දඹදිව වන්දනාවේ ගොස් පැමිණ දින 33 කට පසුව ඇයට වෛරසය ආසාදනය වී ඇති බවයි.

මේ වනවිට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන ඇය හිරු ප්‍රවෘත්ති අංශය සමඟ දුරකතන සංවාදයකට එක්වෙමින් තමන්ට වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී ඇය කියා සිටියේ තමන් දඹදිව ගොස් යළි පැමිණි පසු නිවසේ නිරෝධායනයට ලක්වූ බවත්, තමාට රෝගය ආසාදනය වු ආකාරය තවමත් පැහැදිළි නොමැති බවයි.

+++++++++++++++++++++++++++++++++++

මැනිං වෙළඳපොළ වසා තැබීම නිසා වෙළෙඳුන්ගේ නිෂ්පාදන නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන අලෙවි කළ හැකියි

(22.04.2020 – 23:14 +0530 – sinhala.adaderana.lk)

පිටකොටුව මැනිං වෙළඳපොළ සතියක කාලයක් වසා තැබීමට ගත් තීරණය සමඟ එම වෙළඳපොළට නිෂ්පාදන රැගෙන ගොස් විකුණන ලද වෙළදුන්ට සිය නිෂ්පාදන නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් අලවි කිරීමේ පහසුකම මේ වනවිට සපයා තිබේ.

කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් පිටකොටුව මැනිං තොග වෙළඳපොළ පසුගියදා සතියක කාලයක් වසා තැබීමට තීරණය කළේය.

එළවළු හා පළතුරු වෙළදුන්ට කෙරෙන දැණුම්දීමයි :

  1. දැනට එළවළු හා පළතුරු නිෂ්පාදන මැනිං වෙළඳපොළ වෙත රැගෙන ගොස් අලෙවිකරන ලද සියලුම ගොවි මහතුන් හා වෙළඳ මහතුන් නැවත දැනුම්දෙනතුරු තම නිෂ්පාදන මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන, වැලිසර, පිළියන්දල හා වේයන්ගොඩ පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලෙසද,
  2. මැනිං තොග වෙළදපොළින් තොග සිල්ලර වෙළඳාම සඳහා එළවළු හා පළතුරු මිල දී ගත් වෙළඳ මහතුන් එම මිල දී ගැනීම් සඳහා ඉහතින් සඳහන් කරන ලද ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමුවන ලෙසද දන්වනු ලැබේ.
  3. තවද, පවතින තත්ත්වය හේතුකොට ගෙන තොග වෙළඳපොළවල් තාවකාලිකව වසා තැබීම හේතුවෙන් එළවළු හා පළතුරු තොග අපතේ යාමක් සිදුවිය හැකි බැවින් අස්වනු නෙළීම පමා කළ හැකි බෝගයන්ගේ අස්වනු නෙළීම ප්‍රමාද කිරීම මඟින් මෙම තත්ත්වය වළක්වා ගත හැකි බවද ගොවි ජනතාව වෙත දන්වනු ලැබේ.
  4. මීට අමතරව අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ගොවීන් විසින් නිෂ්පාදනය කරනු ලබන එළවළු සහ පළතුරු දිසාපතිවරුන් හා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මිල දී ගෙන මහජනතාවගේ එළවළු හා පළතුරු අවශ්‍යතාවන් සැපයීම නොකඩවාම කරගෙන යනු ලැබේ ෴

+++++++++++++++++++++++++++++++++++

COVID-19 මෙහෙයුමට ටොයොටා ලංකා සමාගමෙන් බස් රථ 02 ක්

(22.04.2020 – 22:36 +0530 – sinhala.adaderana.lk)

COVID-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා ටොයොටා ලංකා පෞද්ගලික සමාගම රුපියල් මිලියන 20 ක් වටිනා බස් රථ දෙකක් පරිත්‍යාග කරයි.

බස් රථ 02 අද (22) දහවල් ජනාධිපති කාර්යාලයේ දි ටොයොටා ලංකා පෞද්ගලික සමාගමේ කළමනාකාරිත්වය විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත්වරුන් වෙත භාර දෙනු ලැබීය.

සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සූගීශ්වර බණ්ඩාර යන මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටියහ.

පසුව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා වෙත COVID පර්යේෂණ සහ මර්දන කටයුතු සදහා බස් රථ දෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් භාර දෙනු ලැබිණ.

+++++++++++++++++++++

aruna.lk

+++++++++++++++++++++++++++++++++++

අඩු ආදායම්ලාභීන්ට රුපියල් පන්දහසේ (5000) දීමනාව ලබාදීමේ තුන්වන (3) අදියර ඇරඹේ

(22.04.2020 – 21:41 +0530 – sinhala.adaderana.lk)

අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් පන්දහසක සහනාධාර දීමනාව ලබාදීමේ රජයේ වැඩපිළිවෙලේ තුන්වන අධියර අද (22) ආරම්භ කර තිබේ.

ඒ අනුව ප්‍රදේශ රැසක අඩු ආදායම් ලාභීන් සඳහා මෙම දීමනාව ලබාදීම මෙලෙස සිදුකෙරුණි.

ඒ අතර ප්‍රදේශ රැසක රුපියල් 5000 දීමනාව ලබා ගැනීම සඳහා විශාල පිරිසක් සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රමවේදයන් කිසිවක් නොපිලිපදිමින් මෙලෙස රැස්ව සිටි ආකාරයද දක්නට ලැබුණි.

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ් 19 අරමුදලේ තැන්පත් ශේෂය මිලියන 822 ඉක්මවයි

(22.04.2020 – 20:17 +0530 – sinhala.adaderana.lk)

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ ‘COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ’ ශේෂය දැන් රුපියල් මිලියන 822 ඉක්මවයි.

සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි රුපියල් මිලියන 05 ක්, මහරගම ධර්මායතනයේ ශාසනසේවක සමිතිය සහ වොෂින්ටන් බෞද්ධ විහාරය පිරිනැමූ රුපියල් මිලියන 05 ක්, උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම ධම්මසිරි හිමියන් ද, ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන නාහිමි පුණ්‍ය භාරය පිරිනැමූ රුපියල් මිලියනයක් එහි ලේකම් මහින්ද මඩිහහේවා මහතා ද, ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය තවලම ධම්මික හිමි සහ විහාරාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍ය හල්විටිගල සුජාත හිමි රුපියල් මිලියනයක්, ගල්කිස්ස බෞද්ධායතනාධිපති ආචාර්ය පූජ්‍ය දිවියාගහ යසස්සි හිමි රුපියල් මිලියනයක්, ඉතාලියේ ෂිරෙන්සිහි සමාධි විහාරාධිපති පූජ්‍ය දොඹදෙනියේ නන්දසිරි හිමි රුපියල් ලක්ෂ 02 ක්, සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළහ.

සී.ජේ. වික්‍රමරත්න මහතා රුපියල් මිලියන 05 ක්, මැරයින් වන් පෞද්ගලික සමාගම රුපියල් මිලියනයක්, මරීනා ෆුඩ්ස් පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා හෘද සංගමය රුපියල් මිලියන 05 බැගින් ද, මාර්ග ප්‍රවාහන සේවා අධිකාරිය රුපියල් ලක්ෂ 05 ක්, ඒ. අමරසිංහ මහතා රුපියල් ලක්ෂයක් සහ පී.ඩී. ධර්මවර්ධන මහතා රුපියල් පනස්දහසක් ද අරමුදලට පිරිනැමූහ.

රාජ්‍ය දැව සංස්ථාව රුපියල් මිලියන 02 ක්, ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය රුපියල් ලක්ෂ 02 ක්, එක්සත් රාජධානියේ ආදී ආනන්දීය ශිෂ්‍ය සංගමය රුපියල් අට ලක්ෂ තිස් දහසක්, Xinda Lanka පෞද්ගලික ආයතනය රුපියල් මිලියන 1.2 ක්, ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතනය රුපියල් ලක්ෂ 05 බැඟින් ද, බස්නාහිර පළාතේ පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 05 ක්, ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය රුපියල් මිලියන 10 ක්, ශ්‍රී ලංකා රේගුව රුපියල් මිලියන 02 ක්, සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය රුපියල් මිලියනයක්, සීමාසහිත ඖෂධ වෙළඳ සමිතිය රුපියල් එක්ලක්ෂ පනස්දහසක්, මාර්ග සහ මහාමාර්ග අමාත්‍යංශය සහ ඒ යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 8.6 ක්, පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යංශය රුපියල් දෙලක්ෂ විසිතුන්දහසක්, මධ්‍යම පරිසර අධිකාරිය රුපියල් මිලියනයක්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය රුපියල් මිලියන 02 ක්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය රුපියල් දෙලක්ෂ පනස්දහසක්, වැවිලි මානව සංවර්ධන භාරය රුපියල් දෙලක්ෂ හැත්තෑ එක්දහසක්, සමාජ සවිබල ගැන්වීම් හා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය රුපියල් ලක්ෂ 06ක් සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළහ.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ.

දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති.

නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 235 4479 / 011 235 4354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක ෴

A/C Name :
COVID – 19 Healthcare and Social Security Fund
A/C No. : 85737373
Bank : Bank of Ceylon
Branch : Corporate Branch

+++++++++++++++++++++++++++++++++++

දිවයින පුරා කර්මාන්ත ශාලා 217 ක වැඩ යළි අරඹයි

(22.04.2020 – 18:18 +0530 – sinhala.adaderana.lk)

දිවයින පුරා නිදහස් වෙළඳ කලාපවල කර්මාන්ත ශාලා 217 ක කටයුතු මේ වන විට යළි ආරම්භ කර ඇති බව කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

රජය විසින් නිර්දේශ කර ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එම කර්මාන්ත ශාලාවල කටයුතු යළිආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව කර්මාන්තශාලා 217 ක සේවක සේවිකාවන් 30,269 දෙනෙකු මේ වන විට සේවයේ නිරත වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කටුනායක නිදහස් වෙළද කලාපයේ කර්මාන්ත ශාලා 48 ක කටයුතු ආරම්භ කර ඇති අතර බියගම නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා 35 ක කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

කොග්ගල, සීතාවකපුර, හොරණ, වගවත්ත, වතුපිටිවල, මාවතගම, පොල්ගහවෙල, මල්වතුහිරිපිටිය, මිරිස්සවල හා නුවර කර්මාන්තපුර හා කර්මාන්ත උද්‍යානවල කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සඳහන්.

මෙම සෑම කර්මාන්ත ශාලාවක්ම දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක්වන අතර ඒවා තුළ නිසි සෞඛ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳ නිරන්තර පරීක්ෂාවට ලක්වන බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි ෴

***************************************

වන අලින්ට බියෙන් පැල උඩ රැය පහන් කරන හිමි නමක්

(22.04.2020 – 16:26 +0530 – sinhala.adaderana.lk)

වන අලින්ට බියෙන් තම ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා පැලක් උඩට නැග රාත්‍රිය ගත කරන විහාරාධිපති හිමිනමක් පිළිබඳ පුවතක් හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් “ඉදි වැව” නම් දුෂ්කර ගම් පෙදෙසකින් වාර්තා වෙයි.

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිවැව ගම්මානය ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටා තිබේ.

හොරොව්පොතාන නගරයේ සිට කිලෝමීටර් විස්සක් පමණ ඈතට වන්නට පිහිටි රජයේ රක්ෂිතයකින් වටවූ මෙම ගම්මානයේ පවුල් 25 ක් පමණ ජීවත් වෙති.

ස්ථීර රැකියාවන් නොමැති මෙම ගම්මානයෙ ජනතාව ජීවත් වන්නේ එදිනෙදා ලැබෙන කුලීවැඩ කරමින් හෝ හැකි විදිහට ගොඩ බෝගයක් වගා කර ගනිමිනි.

නගරයෙන් බොහෝ දුරස්වු තනි වූ ගමක් ලෙස ඇති ඉදිවැව ජනතාවට ආර්ථික ගැටළු සේම වන අලි තර්ජනය ද නොඅඩුව පවතී.

සවස හතරෙන් පසු ඉදිවැව ගම්මානයටට කිසිවෙකුට ඇතුල් වීමට හෝ පිටවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත්තේ වන අලි ගම් වදින නිසා ය.

මේ හේතුවෙන් අද වන විට තිරිගම සුමනසිරි හිමියන් ගෙවන්නේද අතිශය දුෂ්කර වු දිවි පෙතක් ගත කිරීමට සිදුව තිබේ.

නියං කාලගුණ තත්ත්වය හමුවේ අලි ගම් වදින අතර බෝග සියල්ල විනාශ කර දමන බවත් පැවසු උන්වහන්සේ තමන් අලි නිසාවෙන් බොහෝ දුෂ්කර තත්ත්වයකට පත්ව ඇතැයි ද කියා සිටියේය.

බලධාරීන් විසින් මේ පිළිබඳ අවධානය යොමු කර අලි පලවා හැරීමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙසත් උන්වහනසේ ඉල්ලා සිටියි.

***************************************

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වෙළඳ නෞකාවක සේවය කරමින් සිටියදී හෘදයාබාධයකින් මිය ගිය සූපවේදියෙකු ගේ මෘත දේහයක් ආරක්‍ෂිතව ගොඩබෑම සඳහා නාවික හමුදා සහාය

(22.04.2020 – news.navy.lk)

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වෙළඳ නොකාවක් වන ‘MV GRACE’ නෞකාවේ ප්‍රධාන සූපවේදියා ලෙස සේවය කල පුද්ගලයෙකු හදිසියේ හෘදයාබාධයකින් මිය යාම හේතුවෙන් ඔහුගේ මෘත දේහය ‍අදාල නෞකාවෙන් ලබා ගැනීමෙන් අනතුරුව එම මෘත දේහය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා අදාල නෞකාවේ නියෝජිතායතනය වෙත භාර දීමට නාවික හමුදාව අද (2020 අප්‍රේල් 22) සහය ලබා දෙන ලදි.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා ඩී.ජේ.සී. කුමාරසිංහ නම් ශ්‍රී ලාංකිකයෙකු වන අතර ඔහු එම නෞකාවේ ප්‍රධාන සූපවේදියා වශයෙන් සේවය කල අයෙකි. හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මෙම පුද්ගලයා මිය යාම හේතුවෙන් අදාල නෞකාවේ නියෝජිතායතනය වන Marine International Agencies (Pvt) Ltd සමාගම විසින් මෘත දේහය නෞකාවෙන් ගොඩබෑම සිදුකර දෙන මෙන් ඉල්ලීමක් සිදු කර ඇත. ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත නාවික හමුදා බටහිර නාවික විධානයට අනුයුක්ත රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් නෞකාව කොළඹ වරාය වෙත පැමිණීමෙන් අනතුරුව වරාය පරිශ්‍රයේදී මෘත දේහය විෂබීජහරණකට ලක් කිරීමෙන් පසු නියමිත සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ආරක්‍ෂිතව නෞකාවේ නියෝජිතායතනය වන Marine International Agencies (Pvt) Ltd සමාගම වෙත භාර දීමට කටයුතු කරන ලදි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *