කොරෝනා ආසාදිතයින් ගණන 334 ක් වෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොරෝනා ආසාදිතයින් ගණන 334 ක් වෙයි

• පොළොන්නරුවේ ආසාදිතයා ඇසුරු කළ අනුරාධපුර ඩිපෝවේ රියදුරෙකුත් නිරෝධායනයට (විඩියෝ)

• පොළොන්නරුවේ ආසාදිතයා අනුරාධපුර ඩිපෝවේ රියදුරෙක් ඇසුරු කළ බවට තොරතුරු

• බණ්ඩාරනායක මාවතේ තවත් පිරිසකගේ PCR පරීක්ෂණ වාර්තා අද (23)

• දේශීය සංචාරක නියෝජිතයින් අප්‍රේල් 1 වනදා සිට වැට් බද්දෙන් නිදහස් (විඩියෝ)

• ඉන්දියාවේ සිටි සිසුන් 101 දෙනා විශේෂිත ගුවන් යානයෙන් දිවයිනට

• දහයියා අතරේ සැඟවුණ බුරුත කොටන්

• ඇඳිරි නීතිය කඩන අය (විඩියෝ)

• කොරෝනා අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ මසක වැටුප පිරි නමන්න එකඟත්වය

• පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ වෙළෙඳුන් අදත් PCR පරීක්ෂණයට

• වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පිරිස 218 ක් දක්වා ඉහළ යයි (විඩියෝ)

• රස සහ සුවඳ නොදැනීම කොරෝනා ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට අනාවරණයක් (විඩියෝ)

• ආණ්ඩුව 5000 ගානේ දෙන්නේ මුදල් අච්චු ගහලද ? (විඩියෝ)

• කොළඹ සිට ලොරි රථවලින් යාපනයට පැමිණි හත් දෙනෙකු (07) ස්වයං නිරෝධායනයට

• දිනකට සිදුකරන PCR පරීක්ෂණ 1000 දක්වා වැඩි කිරීමට තීරණය කරයි – පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වලත් සහය

• දෙරණේ චතුරට එරෙහිව GMOA එකෙන් පැමිණිල්ලක්

• නිරෝදායනය වෙමින් සිටින කුවේට් තානාපති කාර්යාලයේ නිළධාරින් එළියට එන්නේ කවදාද? (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිතයින් ගණන 334 ක් වෙයි

(23.04.2020 – 13:55 +0530 – sinhala.adaderana.lk)

අද (23) දිනයට තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් (04) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 334 දක්වා ඉහළ ගොස් ඇත.

පුද්ගලයින් 218 දෙනකු මේ වන විට රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

පූර්ණ සුවය ලබා පිටව ගිය පිරිස අද (23) වන විට 105 ක්.

මේ අතර, නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 20 දෙනකු ඊයේ (22) හඳුනා ගනු ලැබීය.

හඳුනාගත් මෙම කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 20 දෙනා අතරින් 11 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබු බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

322 වන ආසාදිතයා ලෙස ඊයේ (22) දිනයේ හඳුනාගත් පුද්ගලයා පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයෙක් වන අතර ඔහු පොළොන්නරුව දිස්ත්‍රිකයෙන් වර්තා වු පළමු කොවිඩ් නයින්ටීන් ආසාදිතයායි.

ඒ සමඟ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 12 ක් හුදෙකලා කිරීමට පියවර ගැනුණි.

වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන ඔහු සමඟ ඍජු සබඳතා පැවැත්වූ අභයපුර පූමාඩිය ගම්මානයේ පවුල් 11 ක 43 දෙනෙකු නිරෝධායනය මධ්‍යස්ථාන 2 කට යොමු කර තිබේ.

මේ අතර 323 වන ආසාදිතය ලෙස ඊයේ (22) දිනයේ වාර්තා වූ පුද්ගලයා ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ජා ඇළ සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරුව ඊයේ (22) දිනට වර්තාවු ඉතිරි ආසාදිතයින් 07 දෙනා කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානයෙන් වාර්තා වුණු අතර ඔවුන් කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි සිට එම නිරෝධායන මධ්‍යස්තානයට යොමුකර ඇති පිරිසක්.

මේ අනූව අද (23) වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 330 දෙනකු හඳුනාගෙන තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

පොළොන්නරුවේ ආසාදිතයා ඇසුරු කළ අනුරාධපුර ඩිපෝවේ රියදුරෙකුත් නිරෝධායනයට

(23.04.2020 – 12:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළා ඇසුරු කළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරෙක් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

ඒ, ඔහු අදාළ සෙබළා සමඟ සාදයකට සහභාගිවීම හේතුවෙන්.

අද (23) පෙරවරුවේ මොහු සේවය කරන අනුරාධපුර ඩිපෝවේ අනෙකුත් සේවකයින් ද වෛද්‍ය පරීක්ෂණයටද යොමු කෙරුණු අතර, එම භූමිය විෂබීජහරණය කිරීමටද කටයුතු යොදා තිබෙනවා.

පොළොන්නරුව – පුලස්තිගම ප්‍රදේශයේ පදිංචි මෙම සෙබළා කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමඟ පොළොන්නරුව – ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන 12 ක් හුදකලා කිරීමට ඊයේ (22) පියවර ගැනුනා.

එම ගම්මානවල පවුල් හයදහසකට අයත් පුද්ගලයින් 22,000 ක් පමණ ජීවත්වන බවයි ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය බුද්ධික පරාක්‍රම ධර්මසේන මහතා කියා සිටියේ.

එමෙන්ම අදාළ ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් ඇතුලු ඍජු සබඳතා පැවැත්වූ 44 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුනා.

මේ වනවිට අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර, එම ගම්මානවලින් පිටවීමට හෝ ඇතුලුවීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු රසාංග නිරෝෂන මහතා සඳහන් කළේ.

ඊයේ (22) දිනයේ හඳුනාගත් කොරෝනා වෛරස් ආසාදිතයින් විසිදෙනා අතරින් පස්දෙනෙකු (05) දැනට නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින කොළඹ 12 – කෙසෙල්වත්ත – බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

එමෙන්ම ඊයේ (22) බේරුවල, චීනකොටුව සහ පන්නිල ඇතුලු ප්‍රදේශ කිහිපයක පදිංචි 11 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ඔවුන්ද නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින්නන් වන අතර, නිරෝධායන කාලය අවසන් වීමත් සමඟ සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණයකදියි ඔවුන්ට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණ වී ඇත්තේ.

නාවික හමුදා සෙබළාට අමතරව ජාඇළ – සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට සහ වරකාපොල – තුල්හිරිය මීට පෙර හඳුනාගැනුනු කටුනායක ගුවන් තොටුපලේ පවිත්‍රතා සේවිකාව ඇසුරු කළ පුද්ගලයෙකුටද කොරෝනා වැළඳී ඇති බව තහවුරු වුණා.

මේ අතර අදත් (23) පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ වෙළඳුන් පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුකර තිබෙනවා.

ඒ, පසුගියදා පිළියන්දල ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත මත්ස්‍ය වෙළෙන්දා එම වෙළඳපොලට පැමිණ තිබීම හේතුවෙන්.

දැනට මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 330 ක් වන අතර, පුද්ගලයින් 218 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.

‘හිරු ටී වී’ ඔස්සේ මේ වනවිට විකාශය වන ‘රට සහ හෙට’ වැඩසටහනට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ රට විවෘත කිරීමට පෙර දැනට සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ ක්‍රියාවලිය සාධනීය මට්ටමකට ගෙන ආ යුතු බවයි.

එම වැඩසටහනට එක්වූ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා කියා සිටියේ මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් දසදෙනෙකු (10) දැඩි සත්කාර ඒකකයේ පසුවන බවයි.

මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද (23) උදෑසන එරට බලා පිටත්ව ගියා.

උදෑසන 6.15 ට පමණ යූ.එල්. 1145 දරණ මෙම ගුවන් යානය ඉන්දියාවේ අම්රිට්සාර් බලා පිටත්ව ගියේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුලූ සමස්ත කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අටදෙනෙකු (08) සමඟයි.

මෙම යානය පස්වරු 2.55 ට යළි කටුනායක ගුවන් තොටුපලට පැමිණීමට නියමිත බවයි කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර අද අලුයම 4.45 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 226 දරණ යානයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු (02) කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා.

පසුව ඔවුන් රැගෙන ආ ගමන් මළු විෂබීජහරණය ලක් කර නිරෝධායන කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාරදී තිබෙනවා ෴

+++++++++++++++++++++

22-04-2020

+++++++++++++++++++++++++++++++++++

පොළොන්නරුවේ ආසාදිතයා අනුරාධපුර ඩිපෝවේ රියදුරෙක් ඇසුරු කළ බවට තොරතුරු

(23.04.2020 – 13:03 +0530 – sinhala.adaderana.lk)

පොළොන්නරුව ප්‍රදේශයෙන් ඊයේ (22) හමුවූ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අනුරාධපුර ඩිපෝවේ රියදුරෙකු සමීපව ඇසුරු කළ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ හේතුවෙන් අනුරාධපුර ඩිපෝවේ සේවකයින් පිරිසක් නිරෝධායනයට යොමුකිරීමට තීරණය කළ බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේය.

පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් හා ඔහු ගැවසුණු ස්ථාන පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ.

මේ වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 330 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර සුවය ලැබූ සංඛ්‍යාව 105 ක් වෙයි.

රෝගීන් 218 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

බණ්ඩාරනායක මාවතේ තවත් පිරිසකගේ PCR පරීක්ෂණ වාර්තා අද (23)

(23.04.2020 – 12:55 +0530 – sinhala.adaderana.lk)

කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකගේ පී.සි.ආර්. පරීක්ෂණ වාර්තා අද (23) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබේ.

කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ.චන්ද්‍රපාල මහතා සඳහන් කළේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා බණ්ඩාරනායක මාවත ආශ්‍රිත වතු 05 ක පුද්ගලයින් 70 කට අධික පිරිසකගෙන් අහඹු ලෙස සාම්පල ලබා ගැනීම සිදුකළ බවයි.

එම ප්‍රදේශයෙන් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 60 කට අධික පිරිසක් හඳුනා ගැනීම හේතුවෙන් අහඹු ලෙස පුද්ගලයින් තෝරා ගනිමින් පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබුණි ෴

+++++++++++++++++++++++++++++++++++

දේශීය සංචාරක නියෝජිතයින් අප්‍රේල් 1 වනදා සිට වැට් බද්දෙන් නිදහස්

(23.04.2020 – 12:26 +0530 – hirunews.lk/sinhala)

දේශීය සංචාරක නියෝජිතයින් අප්‍රේල් 1 වනදා සිට වැට් බද්දෙන් නිදහස් කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඊට කැබිනට් අනුමැතියද හිමිවූ බවයි.

මේ අතර රට තුළ පවතින තත්ත්වය අනුව මුදල්වල ද්‍රවශීලතාව වැඩිකරගැනීම සඳහා ඉන්දියාවේ සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ඉන්දියාවේ සිටි සිසුන් 101 දෙනා විශේෂිත ගුවන් යානයෙන් දිවයිනට

(23.04.2020 – 14:29 +0530 – sinhala.adaderana.lk)

ඉන්දියාවේ අමිර්තසාර් හි රැදී සිටි එරට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 1146 දරණ ගුවන් යානයෙන් මෙම සිසු පිරිස අද (23) දින පස්වරු 2.26 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

ඔවුන් විෂබීජහරණය කිරීමෙන් පසුව, නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට නියමිතයි ෴

+++++++++++++++++++++++++++++++++++

දහයියා අතරේ සැඟවුණ බුරුත කොටන්

(23.04.2020 – 14:12 +0530 – sinhala.adaderana.lk)

දහයියා රැගෙනයන මුවාවෙන් රුපියල් ලක්ෂ හයක් වටිනා බුරුත දැව කඳන් තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයකු කිලිනොච්චිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කිලිනොච්චිය පොලීසිය කියා සිටියේ, කිලිනොච්චිය දූෂණ මර්දන අංශය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී දහයියා සමඟ බුරුත දැව කඳන් තොගය මාන්කුලම සිට යාපනයට ප්‍රවාහනය කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවටගත් ලොරි රථයේ සඟවා තිබී විශාල ප්‍රමාණයේ බුරුත දැව කඳන් 31 ක් අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසීය.

ජාවාරම්කරුවන් මාන්කුලම රක්ෂිතයේ බුරත දැව කඳන් කපා ඇඳිරි නීතිය ලිහිල්කල පසු දැව කඳන් ප්‍රවාහනය සිදුකරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පොලීසිය සඳහන් කළේය.

පොලීසිය වැඩිදුරටත් පැවසූවේ අත්අඩංගුවට ගත් සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 පුද්ගලයකු වන බවයි.

සැකකරු කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කිලිනොච්ච්ය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ.ජීවශාන්ත , දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රභාත් සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් හා මෙහෙයවීම මත පොලිස් කොස්තාපල්වරුන් වන (87282) වීරසිංහ, (76337)රාජනායක, (8040) කුලදීපන්, (33961) කුමනන් ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන මෙහෙවයි.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය කඩන අය

(23.04.2020 – 13:25 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය පනවා මාසයකට වැඩි කාලයක් තුළ පුද්ගලයින් 36,008 දෙනෙකු ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එම කාලය තුළ පොලිස් භාරයට ගැනුණු වාහන ගණන 9000 කට අධිකයි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 04 හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අදත් අලුයම 5 ට තාවකාලිකව ඉවත් කෙරුණි.

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල තවදුරටත් ඇඳිරි නීති බලපත්‍රයක් හෝ නොමැතිව මාර්ගයේ සැරිසරන්නන් රැසක් අදත් (23) පොලිස් අත්අඩංගුවට පත්විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (23) උදෑසන 6 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය සම්බන්ධයෙන් පුද්ගලයින් 687 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන අතර වාහන 186 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර තඹුත්තේගම පොලිස් ස්ථානය විසින් ඇඳිරි නීතිය පවතින සමය තුළ යතුරු පැදි 150 ක් සහ ත්‍රි රෝද රථ 10 ක් සිය භාරයට ගෙන තිබුණි.

ඇඳිරි නීතිය පනවා තිබියදී බලපත්‍රයක් හෝ නොමැතිව මෝටර් රථ 02 කින් හා ත්‍රිරෝද රථයකින් මත්පැන් බෝතල් 73 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු ඇල්පිටිය ප්‍රදේශයේදී සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණි.

හික්කඩුව විශේෂ පොලිස් කාර්යාංශය සිදුකළ වැටලීමකදී දොඩන්දූව මොරකොළ ප්‍රදේශයේ නිවසක් තුළ මත්පැන් බෝතල් 34 ක් සමග කාන්තාවක් පොලිස් අත්අඩංගුවට පත්විය.

බුත්තල සිට මොණරාගල දක්වා කැබ් රථයකින් මත්පැන් බෝතල් 232 ක් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු බුත්තල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර එම මත්පැන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 කට ආසන්නයි.

බඳගිරියේ රක්ෂිතයට අයත් වීරවිල වෙහෙරගොඩ ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ කසිප්පු ජාවාරමක් සහ දඩ මස් ජාවාරමක් සිදු වන බවට වීරවිල පොලීසියට ලද පැමිණිල්ලකට අනුව පුද්ගලයෙකු ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට ගැනුණි.

මේ අතර දඹගල්ල ගල්ඔය ජාතික වනෝද්‍යානයේ වැටලීමක් අතරතුර දඩයම්කරුවන් පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඉගිනියාගල වනජීවි කාර්යාලයට අනුයුක්ත වනජීවි නිලධාරියෙකු ඊයේ (22) රාත්‍රියේ මියගොස් තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි තැබීම සඳහා යොදාගත් බෝර 12 වර්ගයේ ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දඹගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබියදී කොස්ගම නගරයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තරුණයින් දෙදෙනෙකු විසින් පැහැරගෙන තිබූ අතර ඔවුන් ත්‍රිරෝද රථය ධාවනය කරන ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබේ.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ මසක වැටුප පිරි නමන්න එකඟත්වය

(23.04.2020 – 11:59 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් 19 අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ එක් මසක වැටුප පරිත්‍යාග කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය එකඟත්වය පළ කර තිබේ.

අද (23) දිනයේ දී තමන් විසින් කළ මෙම යෝජනාවට අගමැතිවරයා විසින් සිය එකඟත්වය පළ කළ බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියි.

අද (23) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඛනිජ තෙල් බෙදා හැරීමේ පර්යන්තයේ සේවක මණ්ඩලවල එක් දිනක වැටුප වශයෙන් රුපියල් ලක්ෂ 142 කට ආසන්න මුදලක් කොවිඩ් 19 අරමුදල වෙත පරිත්‍යාග කර ඇත.

එම අවස්ථාවේ දී අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ වෙළෙඳුන් අදත් PCR පරීක්ෂණයට

(23.04.2020 – 11:27 +0530 – sinhala.adaderana.lk)

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළෙඳුන් සහ සේවකයින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීම අද (23) පෙරවරුවේ ආරම්භ කර තිබේ.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මැදිහත් වීමෙන් මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ දී එම පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරුණු බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසුවේය.

මෙහිදී මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙන්ඳන්, සේවකයින් සහ ජංගම මත්ස්‍ය වෙළඳුන් පරීක්ෂණ සඳහා යොමු කිරීම සිදුකර තිබේ.

ඒ අනුව පුද්ගලයින් 500 දෙනෙකු පමණ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව වාර්තා වෙයි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු ලබා ගත් පිළියන්දල ප්‍රදේශයේ වෙළෙන්දෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පරීක්ෂා කිරීම් සිදුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පිරිස 218 ක් දක්වා ඉහළ යයි

(23.04.2020 – 10:51 +0530 – sinhala.adaderana.lk)

අද (23) පෙරවරුව වනවිට මෙරට සිටින සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 330 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ (22) රාත්‍රිය වන විට තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 20 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

ඊයේ (22) දිනයේ හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 20 දෙනා අතරින් 11 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

ඊයේ (22) දිනයේ හඳුනා ගත් 12 වැනි ආසාදිතයා පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා විය.

ඒ සමඟ එහි ගම්මාන 12 ක් හුදෙකලා කිරීමට පියවර ගැනුණි.

අසාදිතයා වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන අයෙක් බව පොළොන්නරුව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවේය.

එමෙන්ම ඔහු සමඟ ඍජු සබඳතා පැවැත්වූ අභයපුර පූමාඩිය ගම්මානයේ පවුල් 11 ක 43 දෙනෙකු නිරෝධායනය මධ්‍යස්ථාන 2 කට යොමු කර තිබේ.

මේ අතර ඊයේ (22) දිනයේ වාර්තා වූ 13 වැනි ආසාදිතයා ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ජාඇළ සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඉතිරි ආසාදිතයින් 07 දෙනා වාර්තා වී තිබුණේ කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානයෙන්.

කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි ඔවුන් මීට පෙර නිරෝධායනය සඳහා රැගෙන ගොස් තිබුණි.

මේ අනූව ඊයේ (22) දවස තුළ වාර්තා වූ ආසාදිතයින් 20 දෙනා සමඟ මෙරට සිටින සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 330 දක්වා ඉහළ ගියේය.

මේ වන විට ආසාදිතයින් 218 දෙනෙකු පූර්ණ වෛද්‍යය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

වෛරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 105 ක් වන අතර මෙරටින් වාර්තා වන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 7ක්.

+++++++++++++++++++++++++++++++++++

රස සහ සුවඳ නොදැනීම කොරෝනා ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට අනාවරණයක්

(23.04.2020 – 09:30 +0530 – sinhala.adaderana.lk)

රස සහ සුවඳ නොදැනීම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට තවත් නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

ඉතාලියේ පර්යේෂකයින් පිරිසක් විසින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 200 ක පිරිසක් ආශ්‍රයෙන් සිදුකරන ලද පර්යේෂණයක දී මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව එම පර්යේෂණයට යොදාගත් ආසාදිතයින්ගෙන් සියයට 67 කටම රස හා සුවඳ නොදැනෙන බවට නිරීක්ෂණය වී තිබේ.

මීට පෙර ලන්ඩන්හි සිදුකළ පර්යේෂණයකින් ද මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර තිබුණි.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ආණ්ඩුව 5000 ගානේ දෙන්නේ මුදල් අච්චු ගහලද ?

(23.04.2020 – 10:26 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව මුදල් නෝට්ටු මුද්‍රණය කර සහන ලබාදෙන බවට ප්‍රචාරය කරන්නේ මූල්‍ය පනත පිළිබඳව නොදන්නා විපක්ෂයේ උදවිය බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියාසිටියේ ආණ්ඩුවේ සහන ලබාදීම සහ මූලිකත්වය පිළිබඳව පැහැදිළි කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++

කොළඹ සිට ලොරි රථවලින් යාපනයට පැමිණි හත් දෙනෙකු (07) ස්වයං නිරෝධායනයට

(23.04.2020 – 09:48 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සිට ලොරි රථවල නැගී යාපනය වෙත පැමිණි බවට හඳුනාගත් පුද්ගලයින් හත් දෙනා හදුනාගෙන අදාළ පිරිස ඊයේ (22) සවස සිට ස්වයං නිරෝධායනය වෙත යොමුකොට ඇති බව යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටි. සත්‍යමූර්ති මහතා පවසනවා.

කොළඹ සිට ලොරි රථවල නැගී අවසරයකින් තොරව පුද්ගලයින් හත් දෙනෙකු (07) යාපනය වෙත පැමිණීමේ සිදුවීම සම්බන්ධයෙන් සත්‍යමූර්ති මහතාගෙන් විමසීමේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඔහු පැවසූවේ ආරක්ෂක අංශ,යාපනය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය හරහා සිදුකළ පරීක්ෂණයන්ගෙන් අනතුරුව අදාළ කණ්ඩායම හදුනාගෙන නිවෙස් තුළ ස්වංය නිරෝධායනය වෙනුවෙන් යොමුකොට ඇති බවයි.

කොළඹ ප්‍රදේශයේ කුලී වැඩ වෙනුවෙන් යොමුවු පිරිසක් කිසියම් මාර්ගයකින් ලොරි රථවල නැගී යාපනය වෙත පැමිණ ඇති බව යාපනය ආරක්ෂක අංශ අනාවරණය කොටගෙන තිබුණා.

අදාළ කණ්ඩායම ආරක්ෂක අංශ හා සෞඛ්‍ය සේවාවන්ගේ දැඩි පරීක්ෂාව යටතේ ස්වංය නිරෝධායනය වෙනුවෙන් යොමු කොට ඇති අතර, හඳුනාගත් පිරිස සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවාවන් පසු විපරම් සිදුකරමින් සිටින බවයි යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටි.සත්‍යමූර්ති මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

දිනකට සිදුකරන PCR පරීක්ෂණ 1000 දක්වා වැඩි කිරීමට තීරණය කරයි – පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වලත් සහය

(23.04.2020 – 15:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වල සහය ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ආසාදිතයන් සංඛ්‍යාත්මකව වැඩි වීමත් සමග පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත්තේ.

රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයන්, නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් සහ පරීක්ෂණවලට ලක් කළ යුතු පුද්ගලයන් 800 කගේ පමණ සාම්පල රජයේ සෞඛ්‍ය අංශ විසින් එක් දිනකට පරීක්ෂාවට ලක් කරනු ලබනවා.

මෙම පරීක්ෂණ වැඩි කළ යුතු බවයි සෞඛ්‍ය නිලධාරීන්ගේ මතය වී ඇත්තේ.

එමගින් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හඳුනා ගත හැකි බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා.

මෙම පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වල සහය ලබාගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද පැවැත්වුනේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන්.

ඊට පෞද්ගලික රෝහල්වල නියෝජිතයන් ද එක්ව සිටියා.

ඔවුන් පෙන්වාදී ඇත්තේ දිනකට එක් රෝහලකින් සාම්පල 100 ක් පරීක්ෂා කර වාර්තාවක් ලබාදීමට හැකි බවයි.

ඒ අනුව දිනකට 1000 වැඩි පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කළ හැකි වන අතර එම රෝහල් සමග තවදුරටත් සාකච්ඡා කර කොරෝනා වෛරස් පරීක්ෂණ සඳහා සහය ලබාගැනීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත්තේ ෴

+++++++++++++++++++++++++++++++++++

දෙරණේ චතුරට එරෙහිව GMOA එකෙන් පැමිණිල්ලක්

(23.04.2020 – 15:04 +0530 – lankaleadnews.com)

දෙරණ රූපවාහිනී ආයතනයේ නිවේදකයකු වන චතුර අල්විස් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපකීර්තියට පත්වන ආකාරයෙන් මාධ්‍ය හසුරුවන බවට චෝදනා කරමින් එම සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බවට තමන් කළ ප්‍රකාශයක් පිළිබඳ අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඖෂධ මාෆියාවෙන් වාසි ලබන බව ගම්‍ය වන ප්‍රකාශයක් කළේ යැයි එමගින් චෝදනා කෙරෙයි.

දෙරණ ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයාට යොමු කළ ලිපිය පහත දැක්වෙයි :

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායනය වෙමින් සිටින කුවේට් තානාපති කාර්යාලයේ නිළධාරින් එළියට එන්නේ කවදාද?

(23.04.2020 – 08:38 +0530 – lankaleadnews.com)

කොරෝනා ලෝක වසංගත තත්වයක් පවතින මෙම කාල වකවානුව තුල කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලංකික බොහෝ පිරිසක් ඉතා අන්ත අසරණ භාවයට පත්ව ඇත. වැඩි පිරිසකගේ රැකියා අහිමි වී ඇති අතර වැටුප් පවා නොලබයි. එය දරාගැනීමට පවා අපහසු තත්වයකි. ඉදිකිරීම් අංශ වල සේවය කරන්නන්ගේ පවා රැකියා අහිමි වීම හා වැටුප් නොගෙවීම නිසා ගෙවල් කුලිය පවා ගෙවාගැනීමට නොහැකිව ඇත.

මා මෙතනදී කතා කරන්නෙ ඔවුන් ගැන නොවේ.

වීසා නොමැතිව මෙහි දාහකට අධික ප්‍රමාණයක් එලියේ රැකියා කරති. ඔවුන් පිලිබඳ මොන ගැටලු තිබුනද අවසානයේ ඔවුන්ද ශ්‍රී ලංකාවට පැමිණිය යුතු පුරවැසියන්ය. කිසිවෙකුත් එය එසේ නොවේ කීමට හැකියාවක් නැත. අන්ත අසරණ ඔවුන් වෙනුවෙන් ඇත්තටම ඉදිරිපකත් විය යුත්තේ කුවේට් එම්බසියයි. යම් රටක එම්බසියක් පවත්වාගෙන යන්නේ එම රටේ ජීවත් වන තම රටේ පුරවැසියන්ගේ ඕනෑ එපාකම් සොයා බලා ආරක්ෂාව කහවුරු කිරීමටයි. මෙම රට වලට එන මිනිසුන් විශාල විදේශවිනිමයක් තම රටට මාසයක් පතා පොම්ප කරයි.

වර්ථමානයේ කුවේටයේ ඇති වී තිබෙන ගැටලුකාරී තත්වය සම්බන්දව කීමට ඇත්තේ එය එසේ වීමට බලපෑ හේතුව එම්බසියේ නොමනා ක්‍රියාකලාපය බවයි. දුරකතන ඇමතුම් වලට පවා පිළිතුරු නොදෙන එම්බසියකින් ඇති ඵලය කුමක්ද?

ලංකා රජය විසින් ගෙනයන වැඩපිලිවෙල ගැන මිනිසුන්ව දැනුවත් කිරීම එම්බසියේ කාර්‍යයභාරයයි. තොරතුරු සන්නිවේදනය නොවීම නිසා අද දින බොහෝ පිරිසක් මහමග අතරමං වී සිටී. එම්බසිය ඉබි යතුරු ලාගෙන නිලධාරීන් පිරිවරා එම්බසි පරිශ්‍රයේ සැඟවී සිටින්නේ ඔවුන්ගේම දුර්වලතාවයක් නිසාය.

අකාමා නොමැතිව එලියේ රැඳී සිටින්නන්ට සහන රැසක්ද සමග මෙම රටින් පිට වීමට කුවේට් රජයෙන් අවස්ථාව ලබාදී ඇත. ඔවුන් නිවේදනයක් නිකුත් කර තිබුනේ 2020 අප්‍රියෙල් 21 සිට 2020 අප්‍රියෙල් 25 දක්වා එම පොදු සමා කාලය ලබාදෙන බවයි.

ලංකා රජයෙන් කල ඉල්ලීම් සම්බන්ධව වත් කුවේට් රජයෙන් එකඟ වූ ඉල්ලීම් සම්බන්ධව වත් මිනිසුන් දන්නේ නැත. ඔවුන්ට එම තොරතුරු සම්බන්දව කිසිවෙකුත් දැනුවත් කිරීමක්ද කර නැත. අවසානයේ කුවේට් රජයේ නිල නිවේදනයට අනුව පැමිණි මිනිසුන් මහමග අසරණ වී ඇත.

මෙම පිළිවෙලක් නොමැති ක්‍රියාකලාපයන් හේතුවෙන් ශ්‍රි ලංකා රජයද පත්වන්නේ දැඩි අපහසු තාවයකටය.

හරියට කෑමක් ඉන්න හිටින්න තැනක් නොමැතිව සිටින අන්ත අසරණ මිනිසුන්ට මෙවැනි මොහොතක් කිසිසේත් දරාගත නොහැක. මෙම රටවල ශ්‍රමිකයන් මුහුණ දෙන මොන ආකාරයේ ප්‍රශ්නයකටවත් කිසිම උදවුවක් නැති එම්බසි මිනිසුන්ගෙන් ඉන්ෂුවරන්ස් අය කරන්නේ මොන හේතුවක් නිසා ද ???

ලෝකෙ පුරාම එම්බසි වල යාන්ත්‍රනය වෙනස් කල යුතුයි. විදේශගත ශ්‍රමිකයින් සම්බන්ධව මානුෂීය නිලධාරීන් පත්කරන්න. හැකි ඉක්මනින් මේ මිනිසුන්ට පිහිටවන්න.

කාලයක් තිස්සේ වැටුප් ලබා ‘අයිස් ගහන’ යල් පැනගිය එම්බසි නිලධාරීන් සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට මේ හොදම කාලයයි.

Shakila Jayawardana
තානාපති නිළධාරින්ගේ දැනුම ගැන බලධාරින්ගේ අවදානය පිනිසයි !

https://www.youtube.com/watch?v=1vtG_nVTN9s
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *