මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 417 දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 417 දක්වා ඉහළට

• වැලිසරින් තවත් ආසාදිතයින් 30 ක් – කඳවුරෙන් හමුවූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 60 දක්වා ඉහළට (විඩියෝ)

• වැලිසර නාවික කඳවුරේ 30 කට කොරෝනා ආසාදනය වූ තැන (විඩියෝ)

• නේපාලයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු රැගත් ගුවන් යානය දිවයිනට (විඩියෝ)

• සෞදි ලාංකිකයන්ගේ කොරෝනා මැද ජීවිතය (විඩියෝ)

• කොවිඩ් 19 ආර්ථිකය ගොඩනැඟීමට හැරවුම් ලක්ෂයක් කරගත යුතුයි (විඩියෝ)

• ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ජනපතිගේ අවධානයට (විඩියෝ)

• කොරෝනා මර්දන වැඩපිළිවල ගැන ජනපති මහා සංඝරත්නය දැනුවත් කරයි (විඩියෝ)

• කොරෝනා ආසාදනය වූ ගැබිණි කාන්තාවකගේ බිළිඳා මරුට – ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 415 ක් දක්වා ඉහළට

• කොරෝනා තොරතුරු හෙළි කළ සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිනියක් අත්අඩංගුවට (විඩියෝ)

• අද (24) රාත්‍රී 8 න් පසු යළිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය (විඩියෝ)

• කොරෝනා වැළඳිලාද ? පරීක්ෂාවට එක් අයෙකුට රුපියල් 6000 ක පිරිවැයක් (විඩියෝ)

• පෑළියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට සිට විවෘතයි (විඩියෝ)

• චීනයෙන් නාවික හමුදාවට සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් සහ උපකරණ තොගයක්

• සායනික අපද්‍රව්‍ය බැහැර කරන පරිසර හිතකාමී කසල බදුන් 40 ක පරිත්‍යාගයක්

• ඇඟළුම් අංශයේ ලක්ෂයකගේ රැකියා අවිනිශ්චිතයි

• ගල්කිස්ස වෙරළ තීරය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන ජායාරූප වල ඇත්ත කතාව (23.04.2020) (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 417 දක්වා ඉහළට

(24.04.2020 – 23:06 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 417 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අද (24) පස්වරුවේ තවත් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමගයි.

අද (24) දිනයේ පමණක් මෙරටින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 49 ක්.

එක් දිනක් තුල ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ද මෙයයි.

මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතයන් 417 දෙනාගෙන් 301 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

මේ වන විට වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබා සුව වීමෙන් පසු රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 109 ක්.

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිත මරණ 07 ක් වාර්තාවී තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

වැලිසරින් තවත් ආසාදිතයින් 30 ක් – කඳවුරෙන් හමුවූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 60 දක්වා ඉහළට

(24.04.2020 – 17:36 +0530 – hirunews.lk/sinhala)

වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කරන නාවික භටයින් 60 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඊයේ (23) දිනය වනවිට එම කඳවුරේ භටයින් 30 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර, තවදුරටත් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවේදී කඳවුරේ තවත් 30 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි ඔහු කියා සිටියේ.

පොලොන්නරුව – පුලස්තිගම ප්‍රදේශයේ පදිංචි වැලිසර නාවික හමුදා කඳවුරේ සිටි සෙබලෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට මුල්වරට අනාවරණ වූ අතර ඒ අනුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන 12 ක් හුදෙකලා කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා.

එමෙන්ම, අදාළ සෙබලා දඹුල්ලේ සිට මින්නේරිය දක්වා ගමන් කළ පෞද්ගලික සහල් නිෂ්පාදන සමාගමකට අයත් ලොරි රථයේ රියදුරා පී.සී.ආර්. පරීක්ෂාව සඳහා අද (24) පොලොන්නරුව මහ රෝහලට රැගෙන ගියා.

ඔහුගේ නිවසේ සිටි පුද්ගලයින් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමටයි පොලොන්නරුව දිස්ත්‍රික් පරිපාලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජයන්ත චන්ද්‍රසිරි මහතා කටයුතු කළේ.

එමෙන්ම, වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමුවූ කොරෝනා ආසාදිත සෙබලෙකු සහ එම කදවුරේ තවත් සෙබලෙකු සමඟ සබඳතා පැවැත්වූ කුරුණෑගල – මීගලෑව ප්‍රදේශයේ පවුල් 16 කට අයත් පුද්ගලයින් 34 දෙනෙකු ද ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එසේම, එම කඳවුරේ සේවය කරන ඇඹිලිපිටිය – මොරකැටිය ප්‍රදේශයේ පදිංචි නාවික සෙබළුන් 05 දෙනෙකු අද (24) ස්වයං නිරෝධායනය සඳහා යොමුකළ බව ඇඹිලිපිටිය ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලාල් බණ්ඩාර මහතා සඳහන් කළා.

වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන මාතලේ දිස්ත්‍රික්කයේ පදිංචි නාවික සෙබළුන් සිව් දෙනෙකු ද ස්වයං නිරෝධානයට ලක් කිරීමට පියවර ගත් බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේපාලි වික්‍රමතිලක මහත්මිය ප්‍රකාශ කළා.

ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමට නියමිත බවයි ඇය කියා සිටියේ.

එමෙන්ම, වැලිසර කඳවුරේ නාවික භටයෙකු සමඟ සබඳතා පැවැත්වූ සෙබළුන් දෙදෙනෙකු ආහාර පාන ලබාගැනීම සඳහා ගිය වැලිමඩ – කැප්පෙටිපොල ප්‍රදේශයේ පිහිටි අවන්හලක් වසා දැමීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය බලධාරීන් අද (24) පියවර ගත්තා.

මේ අතර, අම්පාර දිස්ත්‍රික්කයේ පදිංචි නාවික සෙබළුන් කිහිප දෙනෙකු පසුගිය දින කිහිපයේ නිවාඩු ලබා නිවෙස් වෙත පැමිණ ඇති අතර, ඔවුන් වැලිසර කඳවුරේ සෙබළුන් සමඟ සබඳතා පවත්වා ඇත්දැයි පරීක්ෂණ කටයුතු සිදුකරන බව අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රසංග සේරසිංහ මහතා සඳහන් කළා.

එලෙස වැලිසර නාවික කඳවුරේ සිට පැමිණි එක් සෙබලෙකුගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඔහු පී.සී.ආර්. පරීක්ෂණය සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට යොමුකර තිබෙනවා.

ඔහු ආශ්‍රය කළ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා උහන සහ දමන ප්‍රදේශවලට අද (24) පෙරවරුවේ සිට සංචරන සීමාවන් පැනවූ අතර, එය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව එම ප්‍රදේශයට පිටස්තර පුද්ගලයින්ට ඇතුළුවීම සහ එම ප්‍රදේශයෙන් පිටවීම සීමා කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ.

නිවාඩු ලැබූ වැලිසර කඳවුරේ සෙබලුන්ගෙන් හඳුනා ගත් පිරිසක් යළි කඳවුර තුළට ගෙන්වා ගැනීමට ද කටයුතු කර ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

මේ වනවිටත් වැලිසර නාවික කඳවුරු පරිශ්‍රය හුදෙකලා කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.

එහි සිටින 4000 කට ආසන්න නාවිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද ඒ අනුව කඳවුර තුළ හුදෙකලා කර ප්‍රමුඛත්වය මත වෛරසය ආසාධිත බවට සිදුකෙරෙන පරීක්ෂණවලට යොමු කිරීමට කටයුතු කර ඇති බවයි නාවික හමුදාව නිවේදනය කළේ.

නිවාඩු මත හෝ රාජකාරීමය හේතූන් මත කඳවුරුවලින් බැහැරව සිටින නාවිකයින්ගේ තොරතුරු විමසීම සඳහා දුරකතන අංක කිහිපයක් ද නාවික හමුදාව හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 011 244 5368 හෝ 011 719 2251 යන දුරකතන අංකවලට ඇමතීමෙන් අදාළ තොරතුරු ලබාගත හැකියි.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 11 දෙනෙකු කෙසෙල්වත්ත – බණ්ඩාරනායක මාවතෙන් අද (24) තහවුරු කර ගැනීමත් සමඟ එම ප්‍රදේශයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 87 දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

දිවයිනේ එක් ප්‍රදේශයකින් කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේද මෙම ප්‍රදේශයෙන්.

මේ අතර පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරොධායන කටයුතුවලින් පසු 10 දෙනෙකු අද (24) දිනයේ නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

මේ අනුව පසුගිය කාලය තුල නිරෝධායනය වී නිවෙස් වෙත පිටත්ව ගිය සංඛ්‍යාව 4376 ක්.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ අද (24) දිනය වන විට 2869 දෙනෙකු තවදුරටත් මධ්‍යස්ථාන 29 ක නිරෝධායනය වෙමින් සිටින බවයි.

+++++++++++++++++++++

(24.04.2020 – 20:33 +0530 – hirunews.lk/sinhala)

වැලිසර නාවික හමුදා කඳවුරෙන් මෙතෙක් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් ගණන ද 65 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ, අද (24) දිනයේ තවත් ආසාදිත සෙබළුන් 35 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

අද (24) දිනය තුළ පමණක් කොවිඩ් 19 ආසාදිතයින් 48 ක් වාර්තා වූ අතර, මෙය සැලකෙන්නේ දිනක් තුළ මෙරටින් වාර්තාවන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 416 දක්වා ඉහළ ගියා.

මේ අතර, අද (24) වාර්තාවූ ආසාදිතයින් අතර, කොළඹ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුද සිටිනවා.

ඊයේ (23) දිනයේ ආසාදිතයින් 29 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තාවූ අතර, මීට පෙර පොළොන්නරුවෙන් වාර්තාවූ නාවික හමුදා සෙබළා සමග වැලිසර නාවික හමුදා කඳවුරෙන් මේවන විට ආසාදිතයින් 65 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් 30 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුර තුලදී හඳුනාගැනුණු අතර 5 දෙනකු නිවාඩු ලබා නිවෙත් වෙත ගොස් සිටි පිරිසක්.

ඔවුන් රත්නපුර – හිඳිල්ලකන්ද, පොල්ගහවෙල – උඩපොල, කුරුණෑගල – කීනියාපොල, ගිරාඳුරුකෝට්ටේ – පහළ රත්කිඳ සහ දඹුල්ල – ඇතාබැඳිවැව ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන්ට වෛරසය ආසාදනයවී ඇත්තේ පසුගියදා ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ නිරෝධායන කටයුතු මගහරමින් සිට ආසාදිතයින් බවට තහවුරුවූ පිරිස සමග එම අවස්ථාවේදී කටයුතු කිරීම හේතුවෙන් බව යුද හමුදාපතිවරයා තහවුරු කළා.

කෙසේ වෙතත්, ආසාදිත නාවික හමුදා සෙබළුන් තිදෙනෙකුට පමණක් රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර, අනෙක් ආසාදිතයින් රෝග ලක්ෂණ පෙන්නුම් නොකර පී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වූවන්.

නාවික සෙබළුන් වාර්තාවීමත් සමග වැලිසර නාවික හමුදා කඳවුර හුදෙකලා කිරීමටද පියවර ගැණුනු අතර එහි 4000 කට ආසන්න නාවිකයින් පිරිසක් සහ විවාහක නිවාස 194 ක පවුල්වල සාමාජිකයින් සිටින බව නාවික හමුදා මූලස්ථානය සඳහන් කළා.

එම පිරිස ප්‍රමුඛතාවය මත පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර, කොවිඩ් 19 ආසාදිත නාවික හමුදා සෙබළුන් ඇසුරු කළ පුද්ගලයින් සොයා මේවන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

+++++++++++++++++++++

(24.04.2020 – 15:46 +0530 – hirunews.lk/sinhala)

නිවාඩු මත හෝ රාජකාරීමය හේතුන් මත කඳවුරුවලින් බැහැරව සිටින නාවික පුද්ගලයන්ගේ තොරතුරු හමුදා මූලස්ථානය සතුව පවතිනවා.

නිවාඩු මත හෝ කඳවුරින් බැහැරව සිටින ඕනෑම සෙබළෙකුගේ තොරතුරු දැනගැනීමට අවශ්‍ය වන්නේ නම් දුරකථන අංක 011 244 5368 හෝ 011 719 2251 අංකවලට ඇමතීමෙන් ලබාගත හැකියි.

එමෙන්ම 011 244 1454 යන ෆැක්ස් අංකයෙන් සහ 077 220 1365 යන WhatsApp අංකයෙන් ද එම තොරතුරු ලබාගැනීමට හැකියාව පවතිනවා.

මීට අමතරව nhqdno@yahoo.com යන ඊමේල් ලිපිනයෙන් ද අදාළ තොරතුරු ලබාගත හැකි බවයි නාවික හමුදාව කියාසිටියේ ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

වැලිසර නාවික කඳවුරේ 30 කට කොරෝනා ආසාදනය වූ තැන

(24.04.2020 – 09:47 +0530 – hirunews.lk/sinhala)

මෙරටදී දිනක් තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ (23) දිනයේදී වාර්තා වුණා.

ඒ අනුව ඊයේ (23) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 38 දෙනා සමඟ මේ වනවිට දිවයිනෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 368 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ පොලොන්නරුව ප්‍රදේශයෙන් පෙරේදා වාර්තා වූ කොරෝනා ආසාදිත සෙබලා ඇතුළුව සෙබළුන් 30 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ ආසාදිත සෙබලා සමඟ සබඳතා පැවැත් වූ සියලුදෙනා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා.

ජාඇල – සුදුවැල්ල ප්‍රදේශයේ මත්ලෝලීන් නිරෝධායනයට යොමු කිරීමේ මෙහෙයුමේදී මෙලෙස ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 254 ක් වන අතර, සම්පූර්ණයෙන්ම සුවය ලබා පිටත්ව ගොස් සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව 107 ක්.

+++++++++++++++++++++++++++++++++++

නේපාලයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු රැගත් ගුවන් යානය දිවයිනට

(24.04.2020 – 15:33 +0530 – hirunews.lk/sinhala)

උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ගොස් කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් නේපාලයේ අතරමංව සිටි මෙරට සිසුන් 93 දෙනෙකු රැගත් යූ.එල් 1425 දරණ විශේෂ ගුවන් යානය දිවයිනට ළඟා වී තිබෙනවා.

පස්වරු 03:27 ටයි එම යානය කටුනායකට ගොඩබස්වනු ලැබුවේ.

මෙම යානය අද (24) පෙරවරු 08:00 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගියා.

කාර්ය මණ්ඩලය 8 කින් සමන්විත මෙම ගුවන් යානය ශ්‍රී ලාංකික සිසුන් රැගෙන පස්වරු 01:50 ට කත්මණ්ඩු නුවරින් ශ්‍රී ලංකාව බලා පිටත්ව තිබුණා.

හෙට (25) දිනයේදී ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා තවත් විශේෂ ගුවන් යානයක් මුම්බායි බලා පිටත්ව යනු ඇති.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

සෞදි ලාංකිකයන්ගේ කොරෝනා මැද ජීවිතය

(24.04.2020 – 22:36 +0530 – hirunews.lk/sinhala)

සෞදි අරාබියේ ජෙඩාර් නුවර බහාලුම් සේවා සපයන ආයතනයක සේවය කරන ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට එම ආයතනයේ සේවය කරන තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා.

එම ආයතනයේ කොවිඩි 19 ආසාදනය වූ බවට සැකපිට රෝහල් ගතව සිටින ශ්‍රී ලාංකිකයෙක් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දැක්වූවා.

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ් 19 ආර්ථිකය ගොඩනැඟීමට හැරවුම් ලක්ෂයක් කරගත යුතුයි

(24.04.2020 – 22:28 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වෛරසය හැරවුම් ලක්ෂයක් ලෙස සලකා මෙරට ආර්ථිකය ගොඩනැඟීමට කටයුතු කළ යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වූ ‘රට සහ හෙට’ සජීවි වැඩසටහනට එක්වෙමින්.

මෙම වැඩසටහන සදහා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුන්ද එක්ව සිටියා.

+++++++++++++++++++++

හිරු ටීවී රට සහ හෙට – කොවිඩ් 19 හමුවේ සමාජ ආර්ථික අභියෝග – 2020-04-24

+++++++++++++++++++++++++++++++++++

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ජනපතිගේ අවධානයට

(24.04.2020 – 21:06 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය කළ ත්‍රිකුණාමලයේ රක්ෂිත වනාන්තර විනාශ කර ඉඩම් අල්ලා ගැනීමේ සංවිධානාත්මක ජාවාරම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව අදාල වන විනාශය පිළිබඳ සොයා බැලීම සදහා විෂය භාර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ත්‍රිකුණාමලය – හින්න රක්ෂිත භූමියට පැමිණියා.

හිරු සී.අයි.ඒ. හරහා අප පසුගිය 17 වනදා අනාවරණය කලේ කොවිඩි 19 වෛරසය මැඩපැවැත්වීම සදහා මුළු මහත් සමාජයේම අවධානය යොමුව ඇති පසුබිමක ත්‍රීකුණාමලය ආශ්‍රිතව සංවිධානාත්මක පිරිසක් රක්ෂිත වනාන්තර විනාශ කිරීමේ සුක්ෂම ජාවාරමක් ආරම්භ කර ඇති බවයි.

ඉඩම් ඇල්ලීමේ අරමුණ ඇතිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ත්‍රීකුණාමලය – ගෝමරන්කඩවල හින්න රක්ෂිත භූමිය වන සංහාරකයින් වනසා දමා තිබුනා.

වන සංහාරකයින් හින්න රක්ෂිතයේ අක්කර ගණනාවක වටිනා දැව මෙලෙස බිම හෙළා තිබුනේ රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ පසුබිමකයි.

අප මෙම වන විනාශය හිරු සී.අයි.ඒ. හරහා අනාවරණය කිරීමෙන් පසු පරිසර හා වන ජීවී සම්පත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා හින්න රක්ෂිතය වෙත පැමිණියා.

හිරු සී.අයි.ඒ. අනාවරණය හමුවේ විෂය භාර අමාත්‍යවරයා මේ වන සංහාරය නිරීක්ෂණයට පැමිණීම අගය කළ යුතු කටයුත්තක්.

එහෙත් ඒ සමග අපට යළි වාර්තා කිරීමට ඇත්තේ නොනවතින වන සංහාරකයින්ගේ තවත් ගොදුරක් පිළිබදවයි.

ඒ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පන්කුලම රක්ෂිතයට සිදුකර ඇති සාහසික අපරාධයයි.

පන්කුලම රක්ෂිතයේ මේ වනවිට අක්කර 20 ක් පමණ වන සංහාරකයින් වනසා දමා ඇත්තේ තවත් ඉඩම් ඇල්ලීමේ අරමුණින්.

විශාල ගස්වල මුලට ගිනි තබා ඒවා විනාශ කිරීමට වන සංහාරකයින් ක්‍රියා කර තිබෙනවා.

මෙම වන සංහාරකයින් ද වහා වහා අත්අඩංගුවට ගන්නා තෙක් හිරු සී.අයි.ඒ. අවධානයෙන්.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා මර්දන වැඩපිළිවල ගැන ජනපති මහා සංඝරත්නය දැනුවත් කරයි

(24.04.2020 – 20:16 +0530 – hirunews.lk/sinhala)

රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන්, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් ඇතුළු මහා සංඝරත්නය අද (24) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා.

කොරෝනා වෛරසය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සහ වත්මන් තත්ත්වය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැනුවත් කරනු ලැබුවා.

කොරෝනා වෛරසය පාලනය, නිරෝධායන ක්‍රියාවලිය, ජනතාවට දුන් සහන සහ ඉදිරියේ දී දේශීය ආර්ථිකය ගොඩනැගීමට ගෙන ඇති තීරණ ජනාධිපතිවරයා පැහැදිළි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපතිවරණයේදී ජනතාව තැබූ අපේක්ෂා ඉටු කිරීමේ දී ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාව පැහැදිළි කරමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අභිනව පාර්ලිමේන්තුවක් කැඳවීම මිස පැරණි පාර්ලිමේන්තුව කැඳවීමේ බලයක් ව්‍යවස්ථානුකූලව නොමැති බවයි.

සෑම මසකම තුන්වැනි සතියේ සිකුරාදා මහා සංඝරත්නය හමුවීමට තමා අපේක්ෂා කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා රට උභතෝකෝටික තත්ත්වයකට පත් නොකළ යුතු අතර, පැරණි පාර්ලිමේන්තුව නොකැඳවීම මහා සංඝරත්නයේ ඒකමතික තීරණය බවයි මහා සංඝරත්නය මෙහිදී අවධාරණය කළේ.

පැවති පාර්ලිමේන්තුව රටේ වත්මන් මූල්‍ය අර්බුදයට වගකිව යුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් මෙහිදී සඳහන් කර තිබෙනවා.

මෙහිදී මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් මාතෘ භූමිය ආරක්ෂා කරගැනීමට ඉවහල් වන කරුණු 12 ක් ඇතුළත් යෝජනාවලියක් ඉදිරිපත් කරනු ලැබුවා.

මෙවර වෙසක් උත්සවය විද්‍යුත් මාධ්‍ය උපයෝගී කර ගනිමින් නිවසේ සිට සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ වැදගත්කම ආචාර්ය පූජ්‍ය දිවියගහ යසස්සි හිමියන් සහ මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද හිමියන් පෙන්වා දී ඇති අතර ඒ සඳහා කමිටුවක් පත් කිරීමට ද තීරණය කෙරුණා.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදනය වූ ගැබිණි කාන්තාවකගේ බිළිඳා මරුට – ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 415 ක් දක්වා ඉහළට

(24.04.2020 – 19:27 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි ගර්භණී කාන්තාවකගේ කුස තුළ සිටි බිළිඳා මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මෙම කාන්තාව ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදනය වූ 415 වැන්නායි.

ඇය මරදාන ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

මේ අනුව අද (24) දිනයේදී පමණක් වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 47 ක්.

අද (24) දිනයේ හමුවූ ආසාදිතයන්ගෙන් 11 දෙනෙකු හමුවී ඇත්තේ නිරෝධායනයට ලක්කර ඇති කොළඹ 12 බණ්ඩාරනායක මාවතෙන්.

බණ්ඩාරනායක මාවතෙන් අද (24) වාර්තා වූ නව ආසාදිතයින් 11 දෙනාගෙන් හය (06) දෙනෙකු වෛරස් ආසාදිතයින් බව හඳුනාගැනුනේ ඔවුන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර සිටියදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලිනි.

හමුවූ අනෙක් ආසාදිතයින් පස්දෙනා (05) වෛරස් ආසාදිතයින් බව හඳුනාගැනුනේ ඔවුන් ස්වයං නිරෝධායනයට ලක්ව සිටියදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් බව මැද කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල මහතා කියා සිටියා.

ඒ අතර මාස හයක බිළිඳෙකු ද වනවා.

එමෙන්ම, අද (24) දිනයේදීත් බණ්ඩාරනායක මාවතේ වතු ආශ්‍රිතව ජීවත්වන පුද්ගලයින් 130 කගේ පමණ ජෛව සාම්පල පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ලබාගත් බවද මැද කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කියා සිටියා.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඇඳිරි නීතිය බලාත්මකව පවතිද්දී බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන්ගේ නොසැලකිල්ල හේතුවෙන් කොරෝනා වෛරසය බොහෝ පිරිසකට ආසාදනය වී ඇති බවයි.

මේ අතර, වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ රෝගීන් හඳුනා ගැනීම සඳහා සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ දැමීමට කටයුතු කර ඇති බවයි.

30 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳුවරේ සෙබළුන් වනවා.

තවත් 5 දෙනෙකු නිවාඩු ලබාගෙන පිටත්ව ගොස් සිටින නාවික හමුදා සෙබළුන් වන අතර ඔවුන් රත්නපුර – හිදිල්ලකන්ද, පොල්ගහවෙල – උඩපොළ, කුරුණෑගල – කීනියාපොළ, ගිරාඳූරුකෝට්ටේ – පහළ රත්කිඳ සහ මහනුවර – ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙරටින් හමුවූ ආසාදිතයන්ගෙන් 298 දෙනෙකු මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

රෝගය සුව වී රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 109 ක් ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා තොරතුරු හෙළි කළ සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිනියක් අත්අඩංගුවට

(24.04.2020 – 19:14 +0530 – hirunews.lk/sinhala)

අද (24) දිනයේ ගත වූ කාල සීමාව තුල ලොව පුරා කොරෝනා ආසාදියන් 13,129 දෙනෙකු අලුතින් වාර්තා වීමත් සමග ලොව පුරා මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,736,173 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ද 191,422 දක්වා ඉහළ ගොස් ඇත්තේ මරණ 503 ක් අලුතින් වාර්තා වීමත් සමගයි.

තවදුරටත් ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වන 886,709 දෙනෙකු වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන්.

එහි මරණ සංඛ්‍යාව 50,243 ක්.

අසල්වැසි ඉන්දියාවෙන් ද ආසාදිතයන් 463 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමග මුළු ආසාදිත සංඛ්‍යාව 23,502 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරට මුළු මරණ සංඛ්‍යාව 722 ක්.

මේ අතර, කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව සහ තොරතුරු හෙළිදරව් කිරීමේ චෝදනාව මත සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිනියක් අත්අඩංගුවට ගැනීමේ පුවතක් අද (24) විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

35 හැවිරිදි අදාළ කාන්තාව රාජ්‍ය රහස් පනත හා පරිගණක අවභාවිත පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති අතර, කොරෝනා පිළිබඳ තොරතුරු නිල වශයෙන් ප්‍රසිද්ධ කිරිමට පෙර ඇය ඒවා වී චැට් සමූහයක සාමාජිකයන් සමග හුවමාරු කර ගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

+++++++++++++++++++++++++++++++++++

අද (24) රාත්‍රී 8 න් පසු යළිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

(24.04.2020 – 18:43 +0530 – hirunews.lk/sinhala)

අද (24) රාත්‍රී 8 සිට ලබන 27 වන සඳුදා පෙරවරු 5 දක්වා කාලය තුළ සමස්ත දිවයිනට යළි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

ජනාධිපති මාධ්‍ය අංශය පසුගිය 20 වනදා නිකුත් කළ නිවේදනයට අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන අවදානම් දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කෙරුණු ඇඳිරි නීතිය ද සඳුදා (27) පෙරවරු 5 දක්වා දීර්ඝ කෙරුණා.

කෙසේ වෙතත්, එය ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් රජය නිවේදනයක් නිකුත් කර නැහැ.

එසේම, එම දිස්ත්‍රික්ක හතර හැර සෙසු දිස්ත්‍රික්කවල අද (24) රාත්‍රී 8 ට පැනවෙන ඇඳිරි නීතිය සඳුදා (27) පෙරවරු 5 දක්වා බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

මේ වනවිට ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 36,787 ක්.

මේ අතර, වත්තල – ගල්උඩපිට ග්‍රාම නිලධාරි වසමේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබාදෙන රුපියල් 5000 දීමනාව නිසි පරිදි ලබා නොදීමත් සමග අද (24) උණුසුම් තත්ත්වයක් හට ගත් බව අප වාර්තාකරු සඳහන් කළා.

එසේම, හැටන් – නෝර්වුඩ් ග්‍රාම නිලධාරි කාර්යාලයට රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියත්, ග්‍රාම නිලධාරිවරයා නොපැමිණීම හේතුවෙන් ජනතාව හැටන් – බගවන්තලාව මාර්ගය අවහිර කරමින් නොසන්සුන් ලෙස හැසිරුණු බවයි අප වාර්තාකරු කියා සිටියේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වැළඳිලාද ? පරීක්ෂාවට එක් අයෙකුට රුපියල් 6000 ක පිරිවැයක්

(24.04.2020 – 13:55 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස තහවුරු කෙරෙන PCR පරීක්ෂණය සඳහා එක් පුද්ගලයෙකු වෙනුවෙන් රජයට වැයවන පිරිවැය රුපියල් 6000 කට අධික වන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ නියාමනය යටතේ පෞද්ගලික අංශයේ රෝහල් කිහිපයකද ඉදිරියේදී PCR පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බවයි අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එසේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මීට පෙර සඳහන් කළේ PCR පරීක්ෂාව සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කරගැනීමේ අරමුණ වන්නේ දිනක පරීක්ෂණ සංඛ්‍යාව 1000 දක්වා වැඩිකරගැනීම බවයි.

+++++++++++++++++++++++++++++++++++

පෑළියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට සිට විවෘතයි

(24.04.2020 – 13:20 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට (25) අළුයම 3 සිට උදෑසන 8 දක්වා විවෘතව තබන බව පෑලියගොඩ මධ්‍යම වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කළා.

තොග වෙළදාම සඳහා වෙළඳපොළ මෙලෙස විවෘතව තැබෙන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර ඇති වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින් වෙළදාම් කටයුතු සිදුකරන ලෙසයි ඔහු ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේ.

+++++++++++++++++++++++++++++++++++

චීනයෙන් නාවික හමුදාවට සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් සහ උපකරණ තොගයක්

(24.04.2020 – 22:42 +0530 – sinhala.adaderana.lk)

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය සෞඛාරක්‍ෂිත ඇදුම් සහ උපකරණ තොගයක් මහජන චීන සමූහාණ්ඩුව වෙතින් නාවික හමුදාව වෙත ලබා දීම අද (24) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටි.

කොරෝනා වෛරසය පිටු දැකීම සඳහා නාවික හමුදාව සිදු කරනු ලබන මෙම වැඩසටහන් සඳහා මහජන චීන සමූහාණ්ඩුව වෙතින් ආරක්‍ෂිත කබා, මුහුණු ආවරණ, අත් වැසුම්, ආරක්‍ෂිත කණ්නාඩි හා පුද්ගල උෂ්ණත්වය මැන බැලීමේ උපකරණ ඇතුලත් සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් සහ උපකරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම අද (24) සිදු කරන ලදි.

මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් එම විෂයන් නාවික හමුදාව වෙත භාර ගන්නා ලද අතර, මෙම අවස්ථාවට මහජන චීන සමූහාණ්ඩුව නියෝජනය කරමින් සහභාගීවී සිටි මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වෑන් ඩොන්ග් මහතා විසින් මෙම සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් සහ උපකරණ නාවික හමුදාව වෙත ලබා දෙන ලදි.

තවද, නාවික හමුදාව වෙත මෙම පරිත්‍යාගය සිදු කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාව වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් මහජන චීන සමූහාණ්ඩුව නියෝජනය කරමින් පැමිණි විශේෂිත පිරිස වෙත කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍

+++++++++++++++++++++++++++++++++++

සායනික අපද්‍රව්‍ය බැහැර කරන පරිසර හිතකාමී කසල බදුන් 40 ක පරිත්‍යාගයක්

(24.04.2020 – 21:45 +0530 – sinhala.adaderana.lk)

මධ්‍යම පරිසර අධිකාරියේ ද අනුමැතිය ලත් සායනික අපද්‍රව්‍ය බැහැර කරන පරිසර හිතකාමී කසල බදුන් 40 ක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීම අද (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

එංගලන්ත මව් සමාගමක ශ්‍රී ලංකාවේ ආයතනයක් විසින් මෙම පරිත්‍යාගය සිදු කර ලද අතර, එහි ප්‍රධාන අලෙවි කළමණාකරු ධම්මික බණ්ඩාර මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත මෙම පරිත්‍යාගය ලබාදෙන ලදි.

සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් එම ප්‍රදානය අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ COVID-19 ප්‍රතිකාර සේවාවන් වලදී සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සදහා භාවිතා කිරීමට විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම මහතා වෙත ලබාදෙන ලදි.

මෙම සායනික අපද්‍රව්‍ය බැහැර කරන පරිසර හිතකාමී කසල බදුන්වල ඇති විශේෂත්වය නම් මෙය කාඩ්බෝඩ් වලින් නිමවා ඇති බැවින් පරිසර හිතකාමී වේ.

ශක්තිමත්භාවයෙන් යුක්ත වන අතර ජෛව මැට් එකකින්(BIO MATT) ද යුක්ත වේ.

සායනික අපද්‍රව්‍ය මෙම කසල බදුන තුලට දැමූ පසු බදුනේ පාදයේ ඇති BIO MATT ඒක නිසා අපද්‍රව්‍ය ඡෙල් බවට පත්වන අතර, ජල ආරක්ෂිත ආලේපනය නිසා කිසිදු අයුරකින් කාන්දුවක් සිදු නොවන බැවින් විෂබීජ පිටතල ගලා නොයයි.

මෙය සෞඛ්‍ය ආරක්ෂිතව කසල බැහැර කළ හැකි කසල බදුනක් වේ.

මෙම කසල බදුන්වල ධාරිතාවය ලීටර 01, ලීටර 02, ලීටර 05 සහ 30 ප්‍රමාණයන්ගෙන් යුක්ත වේ.

මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධීකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා ද එක්ව සිටියහ.

+++++++++++++++++++++++++++++++++++

ඇඟළුම් අංශයේ ලක්ෂයකගේ රැකියා අවිනිශ්චිතයි

(24.04.2020 – biz.adaderana.lk)

මේ වන විට මෙරට ඇඟළුම් කර්මාන්තයේ ඇස්තමේන්තුගත දත්ත අනුව ලක්ෂයක පමණ සේවක සංඛ්‍යාවකගේ රැකියා පිළිබඳ අවිනිශ්චිතතාවයක් පැන නැගී ඇති බව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ මහලේකම් ටියුලි කුරේ මහතා පවසයි. අද දෙරණ Big Focus වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, මේ සම්බන්ධයෙන් මේ වන විට රජය සමඟ සාකච්ඡා කරමින් පවතින බවයි.

“මාර්තු මාසයේ තත්ත්වය දිහා බැලුවොත් මේ වෙනකොට මිලියන 202 ක පාඩුවක් එක මාසෙකට අපිට වෙලා තියෙනවා. 2019 මාර්තු මාසය සමඟ සසඳා බැලුවොත් 50% කට වැඩි පාඩුවක්. මාර්තු මාසයේ භාගයයි වැඩ කළේ. ඉදිරි මාසවල දී කොතරම් අවපාතයක් එනවාද කියා තාම හිතාගන්න බැරුව ඉන්නේ.”

මෙහිදී ඇඟළුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියාවන් හි අවදානමක් තිබේදැයි ඇසූ පැනයට පිළිතුරු දෙමින්, ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ මහලේකම් ටියුලි කුරේ මහතා පැවසුවේ, පැහැදිලිවම එවැනි අවදානමක් ඇති බවයි.

“අපි කවුරුත් දන්නා පරිදි මුළු මහත් ලෝකයම මේ තර්ජනයට මුහුණ දීම නිසා, සාමාන්‍ය මිනිස්සු ‘ෂොපිං මෝල්’ එකකට ගිහිං ඇඳුම් ගන්නේ නැහැ. රටවල් ‘ලොක්ඩවුන්’ කරලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් ‘ෆැෂන් හවුසස්’, ‘රිටේල් ෂොප්ස්’ අරින්නේ නැහැ. මේ අවස්ථාවේ දී ගැණුම්කරුවන්ට භාණ්ඩ විකුණා ගැනීමට බැරි නිසා මුළු ලෝකෙටම මේ අවපාතය බලපානවා. එම නිසා අනිවාර්යයෙන් නිෂ්පාදන ධාරිතාවය නිසි සේ පවත්වා ගැනීමට බැරි නිසා රැකියා ප්‍රශ්නය දරුණු ලෙස බලපාන්න පුළුවන්.”

“අපි ඇස්තමේන්තු කරලා තියෙනවා, විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ අංශය දිහා බැලුවොත් අපේ රට තුළ ලක්ෂයක පමණ සේවක සංඛ්‍යාවකගේ රැකියා පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති වෙලා තියෙනවා. අපි දැනට රජයත් සමඟ සාකච්ඡා කරගෙන යනවා, කොහොමද මේක අපි විසඳා ගන්නේ කියලා.”

***************************************

ගල්කිස්ස වෙරළ තීරය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන ජායාරූප වල ඇත්ත කතාව (23.04.2020) (විඩියෝ)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *