ගෝඨාට හෙට (29.11.2017) වෙන දේ ?

(28.11.2017 – 14:24 +0530 – sinhala.adaderana.lk)

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සැකකෙරෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ කටයුතු කිරීමට පොලීසියට ඉඩ ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන නියෝගය හෙට (29) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය කර තිබේ.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ රජයේ මුදල් මිලියන 90 ක් අව භාවිතා කළ බව කියමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සූදානම් වන බවයි.

ඒ සඳහා පොදු දේපල පනත යටතේ සහතිකයක් මේ වන විටත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවටද ජනාධිපති නීතිඥවරයා මෙහිදී සඳහන් කළේය.

මෙය මුළුමනින්ම සිවිල් ගණුදෙණුවක් බවද රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

පොදු දේපල පනත යටතේ සහතිකයක් ඉදිරිපත් කර ඇත්තේ පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමේ චේතනාවෙන් බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

ගෝඨා අත්අඩංගුවට ගතහොත් සංඝ රත්නය එරෙහි වෙනවා
(28.11.2017 – 14:48 +0530 – lankadeepa.lk)

ගෝඨාභය රාජපක්ෂ මහතා යම් හෙයකින් අත්අඩංගුවට ගතහොත් සමස්ත මහා සංඝ රත්නය, සමස්ත දේශ හිතෛෂි පිරිස් එකතුව ඊට එරෙහිව ක‍්‍රියාත්මක වන බව ශ‍්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද (28) පැවසූහ.

ඩොලර් කාක්කන්ට සහ එන් ජී ඕ නඩවලට ගෝඨාභය රාජපක්ෂ මහතා හිසරදයක් වී ඇති බැවින් ඔහු යටපත් කිරීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බවද අභයතිස්ස හිමියෝ කීහ.

පුස්තකාල හා ප‍්‍රලේඛණ සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ හිමියෝ මේ බව පැවසූහ.

“වර්තමාන ජනාධිපතිතුමා, අගමැතිතුමා, මැති ඇමතිවරුන්ගේ සිට දුවා දරුවන් දක්වා මේ රටේ සියලූම මිනිස්සුනට අද නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. රට ලේ විලක් බවට පත්ව තිබූ ඒ බියකරු යුද්ධය අවසන් කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරපු නායකයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ. ඩයස් පෝරාවට, එල්ටීටීයට සහ ලෝකය පුරා විසිර ඉන්න ජාත්‍යන්තර ඊනියා සාම බුවල්ලන්ට ඔහුගේ එම පුරෝගාමී මෙහෙවර අතිශය මරු පහරක් බවට පත්වුණා.

ගෝඨාභය රාජපක්ෂ දවසකට හෝ අත්අඩංගුවට ගැනීම හෝ සිරගත කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවක් වී තිබෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගන්නවා කියන මේ කාරණාව සිවිල් කාරණාවක් හෝ මූල්‍යමය අපරාධයක් පදනම් කරගෙන කරන දෙයක් නෙමෙයි. මේක සැලසුම් සහගතව සිදුකරන කටයුත්තක්. “යැයි අභයතිස්ස හිමියෝ පැවසූහ ෴

*****************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *