මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 420 දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 420 දක්වා ඉහළට

• වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 400 කට අද (25) පී සී ආර් පරීක්ෂණ (විඩියෝ)

• කොරෝනා ආසාදිතයෙකුගෙන් දිනකට තවත් දස දෙනෙකුට බෝවීමේ අවදානමක් (විඩියෝ)

• කොරෝනා මර්දන කාර්ය සාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේ දී විශේෂ තීරණ කිහිපයක්

• ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයෙන් චෝදනාවක්

• කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණවල, විනිවිදභාවයක් අවශ්‍ය බව, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි

• මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සේවා කිහිපයක් ඇරඹීමට සැරසේ

• ඉන්දියාවේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

• මෙරට පැතිරෙන කොරෝනා ප්‍රභේදය කුමක්ද ? ජ’පුර සරසවියෙන් නව සොයාගැනීමක් (විඩියෝ)

• කොවිඩ් 19 බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සහන ණය යෝජනා ක්‍රමයක්

• ශිෂ්‍යත්වයේ සහ අනෙක් විභාගවල විෂය සීමා දෙන්න – ලංකා ගුරු සංගමය ඉල්ලයි

• පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ යළි විවෘතයි (විඩියෝ)

• කළුතර මහ රෝහලේ සායන රෝගී පරීක්ෂාවට ක්ෂණික දුරකථන ඇමැතුම් සේවාවක්

• සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිපැදීමකින් තොරව වෙළඳාම් කළ 50 ක් අත්අඩංගුවට

• කුවේටයේ නීති විරෝධීව සිටින ලාංකිකයන්ට එරටින් පිටවීමට ලබාදී තිබූ කාලය දිගු කරන්නැයි ඉල්ලීමක්

• ආනයනය කළ වාහන 5,000 ක් තවමත් වරායේ. කඩිනමින් ඉවත් කරගන්නැයි හම්බන්තොට වරාය ආනයනකරුවගෙන් ඉල්ලයි

• SLAF Y-12 Aircraft Modified as an Air Ambulance

+++++++++++++++++++++++++++++++++++

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 420 දක්වා ඉහළට

(25.04.2020 – 07:13 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 420 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, දිවයිනේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූ මාර්තු 11 වන දා සිට මාසයක් ඇතුළත එනම් අප්‍රේල් 12 වන දා වන විට ආසාදිත සංඛ්‍යාව 200 ක් ලෙස වාර්තා වුණා.

ආසාදිතයන් සංඛ්‍යාව එතැන් සිට 400 ඉක්මවා තවත් 220 කින් ඉහළ ගොස් ඇත්තේ දින 12 ක් ඇතුළතයි. එමෙන්ම, මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 109 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් තිබෙනවා.

දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 304 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ඒ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ නිවාඩු ලබා ගිය සෙබලුන් පස් දෙනෙකු (05) ඇතුළු නාවික හමුදා සාමාජිකයන් 65 දෙනෙකු සිටින බවයි.

එමෙන්ම, රෝහල් ගත කළ මරදාන ප්‍රදේශයේ පදිංචි ගැබිණි කාන්තාවක ද ඊට අයත් වුණා.

මේ අතර, මහජන චීන සමූහාණ්ඩුව වෙතින් නාවික හමුදාව විසින් සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් හා උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ නාවික හමුදාව කොරෝනා වෛරසය මැඩලීමට ගෙන යන වැඩසටහනට සහය ලබාදෙමින් මෙම උපකරණ තොගය ලබාදී ඇති බවයි.

ඒ අනුව ආරක්ෂිත කබා, මුහුණු ආවරණ, අත්වැසුම්, ආරක්ෂක කණ්නාඩි, පුද්ගල උෂ්ණත්ව බැලීමේ උපකරණ ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් සහ උපකරණ තොගයක් මෙලෙස නාවික හමුදාව වෙත ලබා දී තිබෙනවා.

මේ අතර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය තාවකාලිකව වසා දැමීමට ඊයේ (24) තීරණය කෙරුණා.

ඒ එහි කාර්යාල කාර්ය සහායකයෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන සෙබලෙකුගේ නිවස අසල පදිංචිකරුවෙකු වීම හේතුවෙන්.

මේ අනුව, අදාළ පුද්ගලයාගේ වෛද්‍ය වාර්තා ලැබෙනතුරු මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 400 කට අද (25) පී සී ආර් පරීක්ෂණ

(25.04.2020 – 07:16 +0530 – hirunews.lk/sinhala)

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිට නිවාඩු ලබා නිවසට පැමිණ සිටින නාවික හමුදා භටයින් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරිමට නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම ඔවුන්ගේ පවුලේ ඥාතීන්ද ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මීට අමතරව කරාපිටිය රෝහලේදී පී සී ආර් පරීක්ෂණය සිදුකරනු ලැබූ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් අටදෙනාගෙන් කිසිවෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

ඔවුන් පසුගියදා නිවාඩු ලබා නිවෙස් වෙත පැමිණ ස්වයං නිරෝධානයට ලක්වී ඇති අතර, ඉන් අනතුරුවයි ඔවුන්ගේ පී සී ආර් පරීක්ෂණ සිදුකර ඇත්තේ.

‘හිරු ටී.වී, පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (25) උදෑසන එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ වැලිසර නාවික හමුදා කඳවුරේ පමණක් අද (25) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ 400 ක් සිදුකරන බවයි.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිතයෙකුගෙන් දිනකට තවත් දස දෙනෙකුට බෝවීමේ අවදානමක්

(25.04.2020 – 09:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත එක් රෝගියෙකුගෙන් දිනකට තවත් පුද්ගලයින් දස දෙනෙකුට (10) රෝගය බෝ කිරීමේ හැකියාව පවතින බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.

අද (25) උදෑසන විකාශය වූ ‘හිරු ටී.වී, පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා මර්දන කාර්ය සාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේ දී විශේෂ තීරණ කිහිපයක්

(25.04.2020 – 16:37 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් 19 මර්ධනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සෞඛ්‍ය හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ද ක්‍රියාකාරි ඒකකයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

කොරෝනා වෛරසය පැතිරයාමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් එය පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දිනයේත් (25) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්ව තිබේ.

මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිලධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරන අතර දින දෙකකට වරක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

මෙහිදී කොවිඩ් 19 මර්ධනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සෞඛ්‍ය හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ද ක්‍රියාකාරි ඒකකයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යතුමිය පෙන්වා දී ඇත.

ඒ අනුව ඇඳිරි නීතිය ඉවත් කර ඇති දිස්ත්‍රික්ක වල මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු හරහා රේඛීය අමාත්‍යාංශයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයට ලබාගැනීමට පියවර ගැනීම පිළිබඳවත්, මීට අදාල කටයුතු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආපදා කළමණාකරණය අමාත්‍යාංශය සමඟ එක්ව මෙහිදී සිදු කළ යුතු බව ද පෙන්වා දී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල් හා ආයතනවල PCR යන්ත්‍ර 55 ක් වන බවත්, විශ්ව විද්‍යාල සතුව PCR යන්ත්‍ර 47 ක් සහ පෞද්ගලික ක්ෂේත්‍රය සතුව PCR යන්ත්‍ර දැනට 15 ක් පමණ ඇති බවත් PCR පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය අනුව මෙම යන්ත්‍ර සියල්ලම පරීක්ෂණ කටයුතු සදහා යොදවා ගැනීම පිළිබදවත් මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

ඒමෙන්ම විවිධ රෝග සඳහා රෝහල් පද්ධතිය තුල නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් පිළිබදව හා බාහිර රෝගී සායන වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් පිළිබදව විශේෂ අවධානයක් යොමුකළ යුතු බවද සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයෙන් චෝදනාවක්

(25.04.2020 – 07:28 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇති කොරෝනා හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ හැකියාවන් පූර්ණ වශයෙන් භාවිත නොකර සිටීමට විවිධ උපක්‍රම භාවිත කරන බවට ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය ද චෝදනා කරනවා.

දෛනිකව රජයේ රසායනාගාර තුළ පරික්ෂණ 2000 ක් පමණ සිදුකළ හැකි වුව ද, පසුගිය කාලයේ දෛනිකව සිදුකර ඇති පරීක්සණ සංඛ්‍යාව 500 ත් 700 ත් අතර බවයි එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ.

කොරෝනා වෛරසය, ශ්‍රී ලංකාවෙන් වාර්තා වී මේ වනවිට මාස 4 කට ආසන්න වන අතර, මේ දක්වා කාලය තුළ අලුතින් ගෙන්වා ඇත්තේ එක් පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් පමණයි.

එමෙන්ම, දැනට පවතින පී.සී.ආර්. යන්ත්‍ර වලින් පවා උපරිම ප්‍රයෝජන නොගන්නා තත්ත්වයක් පවතිනවා.

මේ අතර, ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගියෙකු වාර්තා වූ පළමු අවස්ථාවේ සිට මේ දක්වා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය තුළ පී.සී.ආර්. පරීක්ෂණ 6000 ඉක්මවා සිදුකර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාව තුල සිදුකර ඇති මුළු පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 12,000 කට අධික බව සඳහන් ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණවල, විනිවිදභාවයක් අවශ්‍ය බව, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි

(25.04.2020 – 07:23 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා වන පරීක්ෂණ වැඩපිළිවෙල පිළිබඳ වහාම රට හමුවේ ඉදිරිපත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලීමක් කරනවා.

එහිදී දැනට පරීක්ෂණවලට ලක් කරන පිරිස් කවුරුන් ද, ඔවුන්ගේ ප්‍රමුඛතා අනුපිළිවෙල කුමක්ද, පරීක්ෂණ යළි යළිත් සිදුකරන්නේ නම් ඒ කුමන කාල පරාසයක් තුළ ද, සහ එම එක් එක් අවස්ථාවේදී භාවිත කරන පරීක්ෂණ ක්‍රමවේදය කුමක් ද යන්න පිළිබඳ විස්තරාත්මක පරීක්ෂණ ක්‍රමවේදයක් අවශ්‍ය වනවා.

එහෙත් එවැන්නක් එළිදැක්වීමට සෞඛ්‍ය බලධාරින් මේ දක්වා අපොහොසත් වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ.

පරීක්ෂණ ක්‍රියාවලිය පුළුල් කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දිගින් දිගටම පෙන්වා දුන් අවස්ථාවලදී විශේෂඥයන් ලෙස හඳුන්වා ගත් ඇතැම් පිරිස් තම සංගමය අවඥාවට ලක්වන ප්‍රකාශ නිකුත් කරමින් පරීක්ෂණ පුළුල් කිරීම අවශ්‍ය නොවන බවට හැගවෙන ප්‍රකාශ නිකුත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ඔවුන් එම අවස්ථාවලදී ප්‍රකාශ කර සිටියේ වඩාත් භයානය සමාජ ව්‍යාප්ති අවස්ථාවේදී භාවිත කිරීමට අදාළ පරීක්ෂණ පහසුකම් ඉතිරි කර ගත යුතු බවටයි.

කෙසේ වෙතත්, එය නිවැරදි නොවන බව තම සංගමය එම අවස්ථාවලදී පෙන්වා සිටි බව පවසන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ එම මතවාදය හේතුවෙන් රට ක්‍රමක්‍රමයෙන් විවෘත කිරීම සහ ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය සති 3 කින් පිටුපසට ගමන් කර ඇති බවයි.

ඊට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳ ජනාධිපතිවරයා වෙත ද දැනුම්දී ඇති අතර, ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුවනු ඇතැයි බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිකුත් කළ අදාළ නිවේදනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සේවා කිහිපයක් ඇරඹීමට සැරසේ

(25.04.2020 – 16:02 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ගම්පහ, කළුතර පුත්තලම, මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්වල හැර අනෙක් දිස්ත්‍රික්වල මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවාවන් නැවත ආරම්භ කිරීම වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් සැකසීමට තීරණය වී තිබෙනවා.

ඒ රජය විසින් නිර්දේශ කරන සුදුසු සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින්.

ඒ අනුව මීට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයෙන් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් නොකඩවා ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර අනෙක් දිස්ත්‍රික්වල මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබන සඳුදා (27) සිට ආරම්භ වනු ඇති.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මෙම සේවා සැපයීම් සිදු කරනු ලබන්නේ රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම පිළිපදිමින් අවම සේවක සංඛ්‍යාවක් සේවයට වාර්තා කිරීමෙන් වන අතර ඒ අනුව ලබාදිය හැක්කේ ද සීමිත සේවාවන් පමණක් බවයි.

සියලුම සේවාවන් ලබාගැනීම සඳහා පැමිණිය යුත්තේ ද කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමෙන් පමණක් බව ද ඔවුන් සඳහන් කළා.

මීට පෙර පැවති ආකාරයෙන් ජනතාවගේ අභිමතය පරිදි පැමිණ සේවා ලබාගැනීම මෙම වාතාවරණය තුළ කිසිසේත් සිදුකළ නොහැකි බවයි මෝටර් රථ දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ සඳහා වේලාවන් වෙන්කර ගැනීමට අදාළ දිස්ත්‍රික් කාර්යාලවලදුරකථන අංක ද ලබාදී තිබෙනවා.

සියළු දින සහ වේලාවන් වෙන් කිරීම් “පළමුව පැමිණි අයට පළමුවෙන් සේවාව ලබාදීම” යන පදනමෙන් පමණක් සිදු කෙරෙනු ඇති.

එමෙන්ම දිස්ත්‍රික් අතර ගමනාගමනය තවදුරටත් පාලනය කර ඇති බැවින් එක් එක් දිස්ත්‍රික් කාර්යාලයෙන් දැනට සේවා ලබාදෙන්නේ එම දිස්ත්‍රික්කයේ පදිංචි සේවාලාභීන්ට පමණක් බව ද දෙපාර්තමේන්තුව කියාසිටියා.

මෙම සේවාවන් ලබාගැනීමට පැමිණෙන සියලුදෙනා තම අනන්‍යතාව තහවුරු කළ හැකි ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය වැනි අනන්‍යතා ලේඛණයක් රැගෙන පැමිණිය යුතුයි.

සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබාදී ඇති පරිදි නිසි ශරීර සෞඛ්‍යයෙන් යුතුව සහ මුව ආවරණ පැළඳ පැමිණිය යුතු වනවා.

එලෙස නොපැමිණෙන ජනතාව කලින් දිනයක් සහ වේලාවක් වෙන්කරගෙන තිබුන ද නැවත හරවා යැවීමට සිදුවන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් සී.කේ අලහකෝන් මහතා කියාසිටියේ.

මෙලෙස නැවත සේවාවන් ආරම්භ කිරීමේ දී කොරෝනා වෛරසය තවදුරටත් පැතිරීමට කිසිදු අවදානමක් ඇති නොවන පරිදි කාර්යාල පරිශ්‍ර තුළ සෞඛ්‍යාරක්ෂිත බව උපරිමයෙන් රැක ගැනීම සියලුදෙනාගේ පොදු වගකීමක් බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

+++++++++++++++++++++++++++++++++++

ඉන්දියාවේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

(25.04.2020 – 14:46 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ – මුම්බායි නුවර සිට තවත් ශ්‍රී ලාංකිකයින් 163 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් අද (25) දිවයිනට පැමිණියා.

කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ යූ.එල්. 144 දරණ ගුවන් යානයෙන් අද පස්වරු 2.35 ට මෙම පිරිස දිවයිනට පැමිණි බවයි.

ඔවුන් අතර ඉන්දියාවට ගොස් කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි සිසුන් පිරිසක් මෙන්ම, ව්‍යාපාරිකයින් පිරිසක් ද වන බව සඳහන්.

මෙම පිරිස ද ගුවන්තොටුපලේදී විෂබීජහරණ කටයුතුවලට ලක් කිරීමෙන් අනතුරුව, නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

මීට පෙර ඉන්දියාවේ මෙන්ම, පාකිස්ථානයේ සහ නේපාලයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් ද දිවයිනට ගෙන්වා ගනු ලැබුවා.

+++++++++++++++++++++++++++++++++++

මෙරට පැතිරෙන කොරෝනා ප්‍රභේදය කුමක්ද ? ජ’පුර සරසවියෙන් නව සොයාගැනීමක්

(25.04.2020 – 14:18 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ පැතිර යන කොවිඩ් 19 මාදිලිය, ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ පැතිර යන මාදිලියට සමාන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ පරීක්ෂණ කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට ව්‍යාප්ත වී තිබෙන්නේ චීනයේ හෝ යුරෝපයේ ව්‍යාප්ත වී තිබෙන ප්‍රභේදය නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානි මහාචාර්ය හිරාන් අමරසේකර මහතා ප්‍රකාශ කළා.

මෙම පරීක්ෂණය සිදුකර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ඩෙංගු පර්යේෂණ අංශය විසින්.

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, ආචාර්ය චන්දිම ජිවන්දර මහතා ඇතුළු කණ්ඩායමක් එම සොයාගැනීම කර තිබෙනවා.

මෙම සරසවියේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාගාරය, RT, PCR පරීක්ෂණ සඳහා දකුණු ආසියාවේ ඇති ඉහළම විද්‍යාගාරයක් බවයි මහාචාර්ය හිරාන් අමරසේකර මහතා පැවසුවේ.

එහි කෙරෙන කොරෝනා පරීක්ෂණ හා ඊට එක්ව සිටින කණ්ඩායම ගැන ඔහු වැඩිදුරටත් පැහැදිලි කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ් 19 බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සහන ණය යෝජනා ක්‍රමයක්

(25.04.2020 – 14:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අහිතකර බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා මෙහෙයුම් ප්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක් ශ්‍රී ලංකා මහබැංකුව හඳුන්වා දී තිබෙනවා.

සෞභාග්‍යා කොවිඩ් 19 පුනරුද ණය පහසුකම් යටතේ මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක බවයි මහබැංකුවේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

කොවිඩ් 19 වසංගතයට පෙර දිවයිනේ ක්‍රියාත්මක ඕනෑම ව්‍යාපාරයකට මාස දෙකක කාලයක් සඳහා මෙහෙයුම් ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට මේ සඳහා අයදුම් කළ හැකිවනවා.

සියයට 4 ක වාර්ෂික සහන පොලියක් මත ලබාදෙන මෙම ණය ආපසු ගෙවීම සඳහා මාස 6 ක සහන කාලයක් ද හිමිවනු ඇති ෴

+++++++++++++++++++++++++++++++++++

ශිෂ්‍යත්වයේ සහ අනෙක් විභාගවල විෂය සීමා දෙන්න – ලංකා ගුරු සංගමය ඉල්ලයි

(25.04.2020 – 12:41 +0530 – hirunews.lk/sinhala)

ශිෂ්‍යත්ව විභාගය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අනෙකුත් විභාගවල ප්‍රශ්න පත්‍ර සැකසීමට යොදාගන්නා විෂයසීමා නම් කරන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විභාගවල විෂය සීමා සම්බන්ධයෙන් මේ දිනවල සිසුන් තුළ ගැටළු මතුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුලු බලධාරින් සමඟ සාකච්ඡා කර මීට අදාළ සියලු තීරණවලට එළඹෙන බවයි.

මේ අතර කොරෝනා වසංගත තත්ත්වය නිසා දුෂ්කරතාවට පත්ව ඇති උසස් පෙළ සහ පහ ශ්‍රේණිය දරුවන්ගේ ගැටළු පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එමඟින් ඉල්ලා ඇත්තේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව තීරණය කිරීමට ප්‍රවීන අධ්‍යාපනඥයන්, පාසල් සහ විශ්වවිද්‍යාල ගුරුවරුන් සහ සෞඛ්‍ය විශේෂඥයන් ඇතුලු ප්‍රවීනයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලෙසයි ෴

+++++++++++++++++++++++++++++++++++

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ යළි විවෘතයි

(25.04.2020 – 08:00 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අද (25) අළුයම 3 සිට උදෑසන 8 දක්වා විවෘතව තබන බව එම වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි ප්‍රකාශ කළා.

තොග වෙළදාම සඳහා වෙළදපොළ මෙලෙස විවෘතව තැබෙන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර ඇති වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින් වෙළදාම් කටයුතු සිදුකරන ලෙසයි ඔහු ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේ.

+++++++++++++++++++++++++++++++++++

කළුතර මහ රෝහලේ සායන රෝගී පරීක්ෂාවට ක්ෂණික දුරකථන ඇමැතුම් සේවාවක්

(25.04.2020 – 17:21 +0530 – sinhala.adaderana.lk)

දැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්, දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සඳහා කළුතර මහ රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුණ දීමට සිදුවී ඇත.

මෙම තත්ත්වය පිළිබදව අවධානය යොමු කල කළුතර මහ රෝහල සායන රෝගීන් සඳහා දුරකථනයෙන් රෝහල අමතා සායනය සඳහා දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමේ පහසුකම සළසා ඇති බව කළුතර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඒන්.කේ.සී ගුණරත්න මහතා දන්වා සිටියි.

ඒ අනුව පහත සදහන් ඒක් ඒක් සායනය සදහා ඇති දුරකථන අංක වලට ඇමතීමෙන් ඔබට පැමිණිමේ දිනයක් හා වේලාවක් ලබාගත හැකිය.

කායික සහ ශල්‍ය වෛද්‍ය සායනය – 076 253 1778

විකලාංග සායනය – 076 253 1776

ස්නායු සායනය – 076 253 7602

ළමා රෝග සායනය-බාහිර රෝගී අංශය – 076 253 2214

පිළිකා සායනය-වකුගඩු සායනය – 076 253 2214

රක්තවාත සායනය-මෞත්‍ර ලිංගික සායනය – 076 253 7346

අක්ෂි සායනය – 076 237 0209

දියවැඩියා සහ අන්තරාසර්ග සායනය – 076 236 3785

Clinic Triage – 076 253 1914

+++++++++++++++++++++++++++++++++++

සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිපැදීමකින් තොරව වෙළඳාම් කළ 50 ක් අත්අඩංගුවට

(25.04.2020 – 10:15 +0530 – sinhala.adaderana.lk)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිපැදීමකින් තොරව වෙළඳාම් කටයුතුවල නිරත වූ පුද්ගලයින් පනස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ දිනයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී අදාල ව්‍යාපාරිකයින් පිරිස අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

මෙහිදී මූඛ ආවරණ පැළදීමකින් තොරව ඉතා අනාරක්ෂිත ලෙස හැසිරුණු පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවස්ථාවට එක්වූ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළේ නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම භාවිත නොකර වෙළදාම් කටයුතු සිදු කරන සියලු වෙළඳසැල් වසා දැමිමට පියවර ගන්නා බවයි ෴

***************************************

කුවේටයේ නීති විරෝධීව සිටින ලාංකිකයන්ට එරටින් පිටවීමට ලබාදී තිබූ කාලය දිගු කරන්නැයි ඉල්ලීමක්

(25.04.2020 – 11:02 +0530 – sinhala.adaderana.lk)

කුවේටයේ නීති විරෝධීව රැදී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ට ලබාදී ඇති පොදු සමාකාලය තුළ එරටින් පිටවිම සඳහා තිබු කාලය මැයි මස 30 දක්වා දීර්ඝ කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

ඒ විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ශ‍්‍රී ලංකාවේ කුවේට් තානාපති කළාෆ් දහයිර් මහතාගෙනි.

පොදු සමාකාලය තුළ එරටින් පිටවිම සඳහා තිබු කාලය අද (25) අවසන් විය.

අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ කුවේට් තානාපතිවරයා සමඟ සිය අමාත්‍යාංශයේ පෙරේදා (22) පැවති සාකච්ඡවකදීය.

මේ සඳහා ඉතාම ඉක්මණින් සාධනීය පිළිතුරක් ලබා දෙන බව තානාපතිවරයා එහිදි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ප‍්‍රකාශ කර තිබේ.

මේ අතර කුවේටයේ නීති විරෝධීව රැදී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ට ආහාර හා නවාතැන් පහසුකම් ලබාදීමටද එරට රජය පියවර ගෙන තිබේ.

කුවේට් රජයේ උපදෙස් පරිදි එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නීති විරෝධීව රැදි සිටින ශ‍්‍රමිකයන් ලියාපදිංචි කිරිම ආරම්භකොට තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ශ‍්‍රමිකයන් සම්බන්ධව තොරතුරු සම්බන්ධිකරණය කුවේටයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධන අංශය හරහා සිදුකරමින් සිටී.

මෙම සාකච්ඡුව සඳහා විදේශ සබදතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත ආරියසිංහ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ යන මහත්වරුන් එක්වී සිටියහ ෴

***************************************

ආනයනය කළ වාහන 5,000 ක් තවමත් වරායේ. කඩිනමින් ඉවත් කරගන්නැයි හම්බන්තොට වරාය ආනයනකරුවගෙන් ඉල්ලයි

(25.04.2020 – biz.adaderana.lk)

අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වරාය පැහැදිලිව පැවතිය යුතු බවට රජයේ නියෝගය අනුව ඉදිරි දින කිහිපය තුළ වාහන පන්දහසක් (5000) පමණ වරායෙන් පිටතට ගෙන යාමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) තීරණය කර තිබේ.

“අනයනය කරන ලද වාහන 6,500 කින් මේ වන විට නිදහස් කර ගෙන ඇත්තේ දහසක (1000) පමණ ප්‍රමාණයක් විතරයි. නිෂ්කාශනය කඩිනම් කිරීම සඳහා අපට ආනයනකරුවන්ගේ පූර්ණ සහයෝගය අවශ්‍ය වෙනවා. වරායක් ලෙස අපි පැය 24 පුරා ක්‍රියාත්මක වන අතර මෙම මාසය අවසන් වන විට වාහන ඉවත් කිරීමට අපට හැකි වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා. නිෂ්කාශනය සඳහා පහසුකම් සැපයීම සඳහා අදාළ සියලුම රජයේ දෙපාර්තමේන්තු ක්‍රියාත්මක වන බවට බලධාරීන් සහතික වී තිබෙනවා”, යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ අතර 2020 මාර්තු 16 සිට 2020 අප්‍රේල් 30 දක්වා වූ කාලය සඳහා ප්‍රමාද ගාස්තු අයකිරීම ඉවත් කර ඇති බව ද සඳහන් වේ. කෙසේ වෙතත් නිෂ්කාශනය ක්‍රියාවලිය කඩිනම් කිරීමට සහාය නොදක්වන ආනයනකරුවන් සඳහා මෙම සහනය කිසිසේත් දීර්ඝ නොකරන බව තිස්ස වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටී.

ආනයන හා අපනයන, භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු සියලුම වරාය මෙහෙයුම් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ. එබැවින්, හම්බන්තොට වරාය ලේඛන මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන අතර එහි හවුල්කරුවන්ට සහ සේවාදායකයින්ට ඔවුන්ගේ ලේඛන කටයුතු ප්‍රමාදයකින් තොරව හැසිරවීමට විවෘතය. හම්බන්තොට වරාය විසින් මාර්ගගත ගෙවීම් හුවමාරු පද්ධතියක් ද සක්‍රීය කර ඇති අතර ගනුදෙනුකරුවන් සඳහා e-DO පහසුකම ක්‍රියාත්මක කිරීමේ අවසන් ක්‍රියාවලියේ යෙදී සිටී.

මේ අතර මෝටර් රථ හා වෙනත් භාණ්ඩ, හම්බන්තොට හා කොළඹ වරායන්ගෙන් නිදහස් කරගැනීම සඳහා සහාය ලබාදීමට නියෝජ්‍ය පොලිස්පති පුස්සැල්ල මහතාගේ මූලිකත්වයෙන් කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය සතියේ දී තීරණය කරනු ලැබීය ෴

+++++++++++++++++++++++++++++++++++

SLAF Y-12 Aircraft Modified as an Air Ambulance

(24.04.2020 – airforce.lk)

On the instructions of the Commander of the Air Force, Air Marshal Sumangala Dias and under the supervision of the Director Air Operations, the No 8 Squadron at SLAF Base Ratmalana has modified a Y-12 aircraft as an Air Ambulance.
.
The modified aircraft has been fitted with a specially designed Medical Evacuation Kit which is equipped with a ventilator, infusion pumps and vital sign monitors as well, which can be used for critically ill and ventilated patients. Due to the versatility of the aircraft the medial crew has more space to attend to the patient. A special detachable Medical Evacuation Bed was also designed by the Aeronautical Engineering Support Wing at SLAF Base Ratmalana.
.
The No 8 Squadron conducted an air test at SLAF Base Ratmalana yesterday (23 April 2020) where all systems of this new modification was checked in air. The air test was successful in all aspects and the mission was captained by the Commanding Officer of the No 8 Squadron, Group Captain Amal Perera. The Commanding Officer of the SLAF Hospital at SLAF Base Ratmalana, Group Captain Sujith Perera took part as the on board Aviation Medical Officer during the air test.
.
With this new development, the SLAF is capable of conducting medical evacuation operations for critically ill ventilated patients if required by Health Officials in their effort to control the COVID-19 outbreak.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *