දිස්ත්‍රික්ක 4 ක ඇඳිරි නීතිය මැයි 4 දක්වා – ජාතික හැඳුනුම්පතේ අවසාන අංක අනුව අත්‍යවශ්‍ය හේතු මත නිවෙස්වලින් බැහැරව යන්න අවසර

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• දිස්ත්‍රික්ක 4 ක ඇඳිරි නීතිය මැයි 4 දක්වා – ජාතික හැඳුනුම්පතේ අවසාන අංක අනුව අත්‍යවශ්‍ය හේතු මත නිවෙස්වලින් බැහැරව යන්න අවසර (විඩියෝ)

• මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 452 දක්වා ඉහළට (විඩියෝ)

• ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත මරණ ලක්ෂ දෙක ඉක්මවයි

• ඇඳිරි නීතිය කැඩූ 37,355 ක් අත්අඩංගුවට (විඩියෝ)

• මෙරට කොරෝනා ආසාදිතයන් 440 ක් – 118 ක් සුවය ලබයි (විඩියෝ)

• මද්දකට හසුවූ කඳුකර කොටියෙකු බේරාගත් මෙහෙයුම (විඩියෝ)

• මහමැතිවරණය සහ පාර්ලිමේන්තුව කැඳවීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක් (විඩියෝ)

• පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල නිෂ්පාදයට ගුවන් හමුදාවේ දායකත්වය

• රට වෙනුවෙන් ගොඩබිමට ආ නාවික විරුවන්ට අත්වු ඉරණම (විඩියෝ)

• COVID-19 වෛරසය මර්ධනයට හෙළ වෙදකමට අවස්ථාව ලබා දිය යුතුයි – ගෝලීය ශ්‍රී ලාංකික සංසදය

• රාත්‍රියේ පන්සලට ආ මුස්ලිම් ජාතිකයෙක් විහාරාධිපති හිමියන්ව බදාගෙන මුණට කැහැලා. විහාරස්ථානය නිරෝදායනයට ලක් කරයි

• සිය කැමැත්තෙන් ගොස් පී.සී.ආර්. පරීක්ෂණය කර ආසාදිතයෙකු බවට හෙළිවූ අයෙක්

+++++++++++++++++++++++++++++++++++

දිස්ත්‍රික්ක 4 ක ඇඳිරි නීතිය මැයි 4 දක්වා – ජාතික හැඳුනුම්පතේ අවසාන අංක අනුව අත්‍යවශ්‍ය හේතු මත නිවෙස්වලින් බැහැරව යන්න අවසර

(25.04.2020 – 17:51 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ගම්පහ, කලුතර, සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 4 වන දා සඳුදා අලුයම 5 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

සෙසු දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය අප්‍රේල් 27 දා සඳුදා අලුයම 5 ට ඉවත් කර එදිනම රාත්‍රි 8 ට යළි පැනවීමට නියමිතයි. ඉන් අනතුරුව මැයි මස පළමුවන (1) දා සිකුරාදා දක්වා මෙම දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට පසුදින අළුයම 5 දක්වායි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන ඇඳිරි නීතිය තිබුණ ද මැයි 04 වනදා සිට විවෘත කොට පවත්වාගෙන යාමට හැකිවන පරිදි අදාළ නීති රීති ලිහිල් කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ආදී රාජ්‍ය ආයතන සේම පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා, ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර, සේවා ස්ථාන, එළවළු, මාලු සහ සිල්ලර වෙළෙඳසැල් පවත්වාගෙන යාමට අවසර පවතිනවා.

පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු වේලාව උදේ 10 ලෙස නියම කර ඇති අතර රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන ප්‍රධානීන් මැයි 4 සිට සිය කාර්යාල සහ සේවා ස්ථානවල ක්‍රියාකාරිත්වය කෙසේ විය යුතු ද යන්න ලබන සතිය තුළ සැලසුම් කළයුතුයි.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ මුළු සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක් (1/3) ක් පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

යම් ආයතනයකින් සැලසෙන සේවය කෙතරම් අත්‍යාවශ්‍ය එකක් වුව ද ඒ සඳහා අවශ්‍ය අවම සේවක සංඛ්‍යාව පමණක් කැඳවීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු බව ද අදාළ නිවේදනයේ සඳහන්.

අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුව ද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කර ගනිමින් සැකසුණු ක්‍රමවේදයකට අනුවයි.

සතියේ දිනවල (අප්‍රේල් 27 දා සඳුදා සිට මැයි 01 දා සිකුරාදා දක්වා) නිවසින් බැහැර යාමට ඉඩ ලැබෙන්නේ මේ ආකාරයෙන් : ???

දවසහැඳුනුම්පතේ අවසාන අංකය ලෙස මෙම අංක ඇති අය
සඳුදා1 හෝ 2
අඟහරුවාදා3 හෝ 4
බදාදා5 හෝ 6
බ්‍රහස්පතින්දා7 හෝ 8
සිකුරාදා9 හෝ 0

කාර්යාල විවෘත කොට පවත්වාගෙන යාමේදීත්, මගී ප්‍රවාහනයේදීත්, වෙළෙඳ සැල්වලත් කොරෝනා වෛරස් පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතුයි.

විෂබීජහරණය, මුඛ ආවරණ පැළඳීම සහ විටින් විට අත් සේදීම සහ සමාජ දුරස්ථතාව පවත්වා ගැනීම ඊට අයත්.

කිසිවෙකු හෝ ඉහත සඳහන් නියමයන් කඩ කරන්නේදැයි පොලීසිය සහ ආරක්ෂක හමුදා දැඩි සෝදිසියෙන් සිටිනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

දිස්ත්‍රික්ක අතර ගමනාගමනය, රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමාකර තිබෙනවා.

පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පංති, සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම්දෙන තුරු වසා තැබිය යුතුයි.

ඇඳිරි නීතිය ලිහිල් කර ඇති දිස්ත්‍රික්කයක යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනා ගතහොත් එකී ප්‍රදේශවලට සීමාවන පරිදි දවස පුරා ඇඳිරි නීතිය පැනවීමට ඉඩ කඩ පවතිනවා.

කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරකුට හෝ ඊට ඇතුළුවීම සහ ඉන් පිටවයාම සම්පූර්ණයෙන් තහනම් වනවා.

සියලු උත්සව, වන්දනා, විනෝද චාරිකා, සැණකෙළි, පෙරහර, රැස්වීම් ආදිය නැවත දැනුම්දෙන තුරු තහනම් කර තිබෙනවා.

ජනතාව ඒකරාශීවීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සව ද අත්හිටුවන ලෙස ඉල්ලා සිටිනවා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට ජන ජීවිතය පවත්වාගෙන යාම වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව සැපයීමට රජය හඳුන්වාදුන් ක්‍රියාමාර්ග වඩාත් ශක්තිමත්ව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමටයි විධිවිධාන සලසා ඇත්තේ.

කොරෝනා උවදුරෙන් ජනතාව මුදාගෙන ඔවුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහ අභිවෘද්ධිය සැලසීමට නම් වසංගතය මුළුමනින්ම පාලනය කළයුතු අතර අඩාල වූ ආර්ථික ජීවිතය ඊට සමගාමීව යළි පණ ගැන්වීම අවශ්‍යයෙන්ම කළයුතු බවයි නාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ.

මෙම අරමුණු සපුරාගත හැක්කේ වෛරසය පාලනයට ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නම් පමණක් බව ඔවුන් සඳහන් කළා.

කොරෝනා වසංගතයේ බියකරුබව තේරුම්ගෙන සෑමවිටම නිවෙස්වල රැඳී සිටීමත්, නිර්දේශිත සෞඛ්‍ය පිළිවෙත් 100% පිළිපැදීමත් ජනතාවට දිය හැකි සහයෝගය බවයි රජය ප්‍රකාශ කළේ.

තමාගේත්, දූ දරුවන්ගේත්, ජාතියේත් ආරක්ෂාව හා අභිවෘද්ධිය පතා සියලු අපහසුතා වගකීමෙන් ඉවසා සිටින්නැයි රජය ජනතාවට අවධාරණය කරනවා.

සමාජයේ යහපතට බාධාවන අයුරින් හැසිරෙන කවරකුට වුවද පවතින නීති යටතේ උපරිම දඩුවම් පමුණුවන බව ද රජය අවධාරණය කළා.

= සම්පූර්ණ විස්තරය දැනගැනීම සඳහා පහත ‘මාධ්‍ය නිවේදනය – අංක 73’ බලන්න =

+++++++++++++++++++++

මාධ්‍ය නිවේදනය – අංක 73 : ඇඳිරි නීතිය පවතින අතර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට විධිවිධාන

(25.04.2020 – pmdnews.lk)

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ. ඉන් පසු මැයි 01, සිකුරාදා දක්වා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන ඇඳිරි නීතිය තිබුණ ද මැයි 04වනදා සිට විවෘත කොට පවත්වාගෙන යාමට හැකිවන පරිදි අදාළ නීති රීති ලිහිල් කරනු ලැබේ.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ආදී රාජ්‍ය ආයතන සේම පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා, ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර, සේවා ස්ථාන, එළවළු, මාලු සහ සිල්ලර වෙළෙඳසැල් පවත්වාගෙන යාමට අවසර ඇත.

පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර තිබේ. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන ප්‍රධානීන් මැයි 04 සිට සිය කාර්යාල සහ සේවා ස්ථානවල ක්‍රියාකාරිත්වය කෙසේ විය යුතු ද යන්න ලබන සතිය තුළ සැලසුම් කළයුතුය.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ මුළු සේවක සංඛ්‍යාවෙන් 1/3 ක් පමණි. යම් ආයතනයකින් සැලසෙන සේවය කෙතරම් අත්‍යාවශ්‍ය එකක් වුව ද ඒ සඳහා අවශ්‍ය අවම සේවක සංඛ්‍යාව පමණක් කැඳවීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුය.

සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන නිලධාරීන්ට නිවසේ සිට වැඩකරන ලෙස නියම කෙරේ‍. එක් එක් ආයතනයේ සේවයට වාර්තා කළයුත්තේ කුමන සේවකයන් ද, නිවසේ සිට වැඩකළයුත්තේ කුමන සේවකයන් ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට පිළිවන. යම් දවසක, කාර්ය මණ්ඩලයෙන් සේවයට කැඳවන 1/3ක පිරිස වෙනුවට ඊළග දවසේ වෙනත් පිරිසක් තෝරා ගැනීමට ආයතන ප්‍රධානීන්ට නිදහස තිබේ.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනයා අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල රැස්වීම නතර කළයුතුව තිබේ.

ගමනා ගමන මණ්ඩල බස් රථවල හා දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සඳහා යන එන අයට පමණක් සීමා කෙරේ. අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළ යුතු අය හැර සෙසු ජනයා නිවෙස්වල රැඳී සිටිය යුතුය.

කවරකු හෝ නිවසෙන් බැහැර යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි. එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප්‍රදේශයේ පිහිටි පා ගමනින් ගොස් ළගා විය හැකි ආසන්නතම වෙළෙඳ සැල පමණක් තෝරාගත යුතුය.

අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමිනි.

ඒ අනුව සඳුදා දවස්වල බැහැරයාමට ඉඩ ලැබෙන්නේ අංක 1 හෝ 2 ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස ඇති අයට පමණි.

සතියේ ඉතිරි දවස්වල නිවසින් බැහැර යාමට ඉඩ ලැබෙන්නේ මෙසේය.
අඟහරුවාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
බදාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 5 හෝ 6 ඇති අය
බ්‍රහස්පතින්දා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ 8 ඇති අය
සිකුරාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අය

කාර්යාල විවෘත කොට පවත්වාගෙන යාමේදීත්, මගී ප්‍රවාහනයේදීත්, වෙළෙඳ සැල්වලත් කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතුය. විෂබීජ හරණය, මුඛ ආවරණ පැළඳීම සහ විටින් විට අත් සේදීම සහ සමාජ දුරස්ථතාව පවත්වා ගැනීම ඊට අයත්ය. කවරකු හෝ ඉහත සඳහන් නියමයන් කඩ කරන්නේදැයි පොලීසිය සහ ආරක්ෂක හමුදා දැඩි සෝදිසියෙන් සිටිනු ඇත.

දිස්ත්‍රික්ක අතර ගමනාගමනය, රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇත. පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පංති, සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම්දෙන තුරු වසා තැබිය යුතුය.

ඇඳිරි නීතිය ලිහිල් කර ඇති දිස්ත්‍රික්කයක යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනා ගතහොත් එකී ප්‍රදේශවලට සීමාවන පරිදි දවස පුරා ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇත. කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරකුට හෝ ඊට ඇතුළුවීම සහ ඉන් පිටවයාම සම්පූර්ණයෙන් තහනම් වේ.

සියලු ආකාර උත්සව, වන්දනා, විනෝද චාරිකා, සැණකෙළි, පෙරහර, රැස්වීම් ආදිය නැවත දැනුම්දෙන තුරු තහනම් කර ඇත. ජනයා ඒකරාශීවීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සව ද අත්හිටුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට ජන ජීවිතය පවත්වාගෙන යනු පිණිස අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව සැපයීමට රජය හඳුන්වාදුන් ක්‍රියාමාර්ග වඩාත් ශක්තිමත්ව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සලසා තිබේ.

කොරෝනා උවදුරෙන් ජනතාව මුදාගෙන ඔවුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහ අභිවෘද්ධිය සැලසීමට නම් වසංගතය මුළුමනින්ම පාලනය කළයුතුය. අඩාල වූ ආර්ථික ජීවිතය ඊට සමගාමීව යළි පණ ගැන්වීම අවශ්‍යයෙන්ම කළයුතුව තිබේ. මේ අරමුණු සපුරාගත හැක්කේ වෛරසය පාලනයට ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නම් පමණි.

වසංගතයේ බියකරුබව තේරුම්ගෙන සෑමවිටම නිවෙස්වල රැඳී සිටීමත්, නිර්දේශිත සෞඛ්‍ය පිළිවෙත් 100% පිළිපැදීමත් ජනතාවට දිය හැකි සහයෝගය බව රජය කියා සිටී.

තමාගේත්, දූ දරුවන්ගේත්, ජාතියේත් ආරක්ෂාව හා අභිවෘද්ධිය පතා සියලු අපහසුතා වගකීමෙන් ඉවසා සිටින්නැයි රජය ජනතාවට අවධාරණය කරයි. සමාජයේ යහපතට බාධාවන අයුරින් හැසිරෙන කවරකුට වුවද පවතින නීති යටතේ උපරිම දඩුවම් පමුණුවනු ලැබේ ෴

+++++++++++++++++++++

ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ ඇඳිරි නීතිය ලිහිල් කරන දිස්ත්‍රික්කවලටයි (වීඩියෝ)

(26.04.2020 – 07:32 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය හෙට(27) සිට ලිහිල් කරන දිස්ත්‍රික්කයන්හි ජනතාව අත්‍යවශ්‍ය කටයුත්තකට නිවසින් බැහැරට යන්නේ නම් රජය ඊයේ(26) ප්‍රකාශයට පත් කළ පරිදි ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමවේදය ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඇඳිරි නීතිය දැනට ක්‍රියාත්මක අවදානම් දිස්ත්‍රික්කයන්හි එසේ ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමවේදය අනුව අත්‍යවශ්‍ය කටයුත්තකට නිවසින් බැහැරට යා හැක්කේ, එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කළ පසුව බව ඔහු කියා සිටියා.

එහෙත් ඔහු අවධාරණය කළේ කිසියම් සෞඛ්‍ය හේතුවක් මත ඕනෑම ප්‍රදේශයක පුද්ගලයෙකු රෝහලක් කරා හෝ ඖෂධයක් ලබාගැනීමට අවශ්‍ය ස්ථානයකට යන්නේ නම් අදාළ ලේඛන ඉදිරිපත් කර, හේතු පවසා එම කටයුත්ත කර ගැනීමට ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමවේදය බාධාවක් නොවන බවයි.

ඒ අනුව සඳුදා දිනවල බැහැරයාමට ඉඩ ලැබෙන්නේ අංක 1 හෝ 2 ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස ඇති අයට පමණයි.

සතියේ ඉතිරි දිනවල නිවසින් බැහැර යාමට ඉඩ ලැබෙන්නේ මේ ආකාරයෙන්.

අඟහරුවාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
බදාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 5 හෝ 6 ඇති අය
බ්‍රහස්පතින්දා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ 8 ඇති අය
සිකුරාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අය ලෙසටයි.

කාර්යාල විවෘත කොට පවත්වාගෙන යාමේදීත්, මගී ප්‍රවාහනයේදීත්, වෙළෙඳ සැල්වලත් කොරෝනා වෛරස් පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතුයි.

විෂබීජහරණය, මුඛ ආවරණ පැළඳීම සහ විටින් විට අත් සේදීම සහ සමාජ දුරස්ථතාව පවත්වා ගැනීම ඊට අයත්.

කිසිවෙකු හෝ ඉහත සඳහන් නියමයන් කඩ කරන්නේදැයි පොලීසිය සහ ආරක්ෂක හමුදා දැඩි සෝදිසියෙන් සිටිනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

+++++++++++++++++++++

හැඳුනුම්පත් අංක නීතිය පැහැදිලි නැත ! – අමරසර

+++++++++++++++++++++++++++++++++++

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 452 දක්වා ඉහළට

(25.04.2020 – 22:01 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 452 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් අද (25) දිනයේ මේවන විට වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 32 ක්.

මෙරටින් හඳුනාගෙන ඇති වෛරස් ආසාදිතයන් 452 අතරින් 327 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

එසේම, අද (25) දිනයේ 09 දෙනෙකු ද ඇතුළුව ආසාදිතයින් 118 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ.

මෙරටින් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 07 ක්.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත මරණ ලක්ෂ දෙක ඉක්මවයි

(25.04.2020 – 21:29 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබෙනවා. මේවන විට වාර්තාවන මරණ සංඛ්‍යාව 200,400 ක්.

ලොව පුරා මේවන විට වාර්තාවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2,867,574 ක්.

මෙම පිරිස අතරින් ප්‍රතිකාරවලින් පසු සුවය ලබා රෝහල්වලින් පිටත්වී ගොස් ඇති සංඛ්‍යාව 819,310 ක් වනවා.

ගත වූ පැය 24 තුළ පමණක් ලොව පුරා රටවල් රැසකින් වාර්තා වූ නව කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 150,000 කට අධිකයි.

ඊයේ (24) දිනයේදී ඇමරිකාවෙන් ආසාදිතයින් 38,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා.

එරට සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 52,193 ක් දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ මරණ 1959 ක් වාර්තාවීමත් සමඟින් ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය කැඩූ 37,355 ක් අත්අඩංගුවට

(25.04.2020 – 19:39 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 37,355 ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 9,561 ක්.

මේ අතර, ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් ව්‍යාජ ලෙස වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රාගම සිට මාතර ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකු ද මාතර – මාලිම්බඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා.

පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අදාළ තරුණයා රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සුළු සේවකයෙකු ලෙස කටයුතු කර ඇති බවටයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

මෙරට කොරෝනා ආසාදිතයන් 440 ක් – 118 ක් සුවය ලබයි

(25.04.2020 – 19:32 +0530 – hirunews.lk/sinhala)

අද (25) වාර්තා වූ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු ද, සමග මේ වනවිට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 440 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ අද වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 07 දෙනෙකුම කොළඹ – කෙසෙල්වත්ත – බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් බවයි.

එම ආසාදිතයන් 07 දෙනා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ මගින් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගත්තා.

බණ්ඩාරනායක මාවතේම විසූ වයස අවුරුදු 12 ක පිරිමි දරුවෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වූ බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

එසේම, අද (25) දිනයේ 09 දෙනෙකු ද ඇතුළුව ආසාදිතයින් 118 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

කොරෝනා ආසාදිත බවට ඊයේ (24) තහවුරු වූ ගර්භනී කාන්තාවට ප්‍රතිකාර සිදුකළ කොළඹ – ද සොයිසා කාන්තා රෝහලේ වෛද්‍යවරුන් තුන්දෙනෙකු (03) සහ රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු (02) ස්වයං නිරෝධායනය සඳහා යොමුකළ බව රෝහල් අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය ප්‍රකාශ කළා.

මේ අතර, වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන නාවික සෙබලුන් 65 දෙනෙකුට කොරෝනා රෝගය වැළඳීමත් සමග එම කඳවුරට අනුයුක්තව සේවය කර මේ වනවිට නිවෙස් වෙත පැමිණ සිටින සෙබලුන් පිළිබඳව ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද (25) දිනයේ ප්‍රදේශ කිහිපයක එලෙස නිවාඩු ලබා පැමිණි නාවික සෙබලුන් කිහිපදෙනෙකු ස්වයං නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

මේ අතර, වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් පිරිසක් නිවෙස් කරා රැගෙන යමින් සිටි බස් රථයක් පසුගිය 22 වනදා තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොලට පැමිණ තිබෙනවා.

ඒ අතරතුර, බස් රථයේ සිටි සෙබලෙකු තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොලේ දුරකථන වෙළඳසැල් දෙකකට ගොස් තිබූ අතර ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (24) තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කළා.

ඒ අනුව එම වෙළඳසැල් දෙකේ සිව් දෙනෙකු (04) සහ තවත් පිරිසක් නිරෝධානයට යොමු කිරිමටයි පියවර ගෙන ඇත්තේ.

අනුරාධපුර – මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි වැලිසර කඳවුරට අනුයුක්තව සේවය කරන නාවික සෙබලෙකු රෝගය වැළදීමට පෙර මැදවච්චිය නගරයේ රාජ්‍ය බැංකුවකට පැමිණ තිබුණා.

ඔහු සමග ගනුදෙනු කටයුතුවලට සම්බන්ධ වූ එම බැංකුවේ සේවකයන් දෙදෙනෙකු (02) ස්වයං නිරෝධායන කටයුතුවලට ලක් කර ඇති අතර ඔවුන් සමග සබඳතා පැවැත්වු තවත් සේවකයන් 04 දෙනෙකු ද ස්වයං නිරෝධායන කටයුතුවලට යොමු කළ බව අනුරාධපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මාධව පෙරේරා මහතා සඳහන් කළා.

එමෙන්ම, වැලිසර කඳවුරේ කොරෝනා ආසාදිත සෙබලෙකු ගමන් ගත් බස් රථයේම නිවාඩු ලබා පැමිණි ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි තවත් නාවික සෙබෙලකු සහ ඔහුගේ පවුලේ ඥාතින් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට අඹගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත් බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

මීට අමතරව, වව්නියාව – මහකච්චකුඩිය ප්‍රදේශයේ පදිංචි වැලිසර කඳවුරට අනුයුක්තව සේවය කරන නාවික සෙබලෙකු පසුගිය 22 වනදා නිවාඩු ලබා සිය නිවසට පැමිණ ඇති අතර ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන් ද ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් බහුලව සිටින බැවින් දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත නොවීම සඳහා සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමුකරන ලෙස රුවන්වැලිසෑය චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රකාශ කළා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සේවයට පැමිණි අයෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පැමිණි සෙබලෙකුගේ ඥාතියෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව ඊයේ (24) තාවකාලිකව වසා දැමුණු එම කාර්යාලය ලබන සඳුදා සිට යළි විවෘත කිරිමට තීරණය කර තිබෙනවා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා කියා සිටියේ ආණ්ඩුකාර කාර්යාලය තාවකාලික වසා දැමීමට හේතු වූ නාවික හමුදා සෙබලාට කොරෝනා ආසාදනය වී නොමැති බවට මේ වනවිට තහවුරු වී ඇති බවයි.

කොරෝනා වෛරස් ව්‍යාප්තියේ බලපෑම හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටින විදේශගත ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීම සඳහා ද, රජය මේ වනවිට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

ඒ යටතේ ඉන්දියාවේ මුම්බායි නුවර සිට තවත් ශ්‍රී ලාංකිකයින් 166 දෙනෙකු අද (25) පස්වරුවේ දිවයිනට පැමිණියා.

එම පිරිසට උසස් අධ්‍යාපනය සඳහා විදෙස් ගත වූ සිසුන් සහ ව්‍යාපාරිකයින් පිරිසක් ද වන බව සඳහන්.

මෙම පිරිස ගුවන්තොටුපලේදී විෂබීජහරණ කටයුතුවලට ලක් කිරීමෙන් අනතුරුව, නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කෙරුණා.

මීට පෙර ද ඉන්දියාවේ මෙන්ම, පාකිස්ථානයේ සහ නේපාලයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් ද දිවයිනට ගෙන්වා ගනු ලැබුවා.

මේ අතර කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ජාඇළ – සුදුවැල්ල ප්‍රදේශයේ සුනඛයෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට පළවන වාර්තාවන කිසිදු සත්‍යතාවක් නොමැති බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් අධ්‍යක්‍ෂ වෛද්‍ය කේ. කේ. සරත් මහතා සඳහන් කළේ.

සතුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න පරීක්ෂණ කිරීම සඳහා මෙරට ඊට අවශ්‍ය උපකරණ නොමැති බව ද ඔහු කියා සිටියා.

ලොවපුරා පැතිර යන කොවිඩ් 19 වෛරසයේ ප්‍රභේද 03 ක් පවතින බවත්, ශ්‍රී ලංකාව අයත් වන්නේ එහි ඒ-කාණ්ඩය (A) යටතේ වන ප්‍රභේදයට බවත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබෙනවා.

ඔවුන් සොයා ගෙන ඇත්තේ ඇමරිකාව ද එම කාණ්ඩයටම අයත් වන අතර චීනය අයත් වන්නේ බී-කාණ්ඩය (B) යටතේ වන ප්‍රභේදයට බවයි.

කොරෝනා වෛරසය පැතිර යාමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් එය පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දු තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරි කාර්ය සාධන සමාලෝචන කමිටුව අද (25) දිනයේත් සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබෙනවා.

මෙහිදී කොරෝනා මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සෞඛ්‍ය හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ද ක්‍රියාකාරි ඒකකයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දී ඇත්තේ.

+++++++++++++++++++++

***************************************

මද්දකට හසුවූ කඳුකර කොටියෙකු බේරාගත් මෙහෙයුම

(25.04.2020 – 11:05 +0530 – hirunews.lk/sinhala)

හැටන් දික්ඔය දරවල වත්ත ප්‍රදේශයේ තේ වත්තක අටවා තිබු මද්දකට හසුවී සිටි කඳුකර කොටියෙකු නිර්වින්දය කර අල්ලා ගැනීමට නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරින් අද (25) සමත්වුණා.

පෙරේදා (23) රාත්‍රියේ මැද්දට හසුවී ඇති මෙම කොටියා බේරාගැනීමේ මෙහෙයුම් ඊයේ (24) සිට සිදුකෙරුනා.

අවුරුදු 6ක් පමණ වයසැති මෙම කොටියා හොදින් වැඩුණු සත්වයෙකු බවයි වනජීවී නිලදාරීන් සදහා කළේ.

මෙලස නිර්වින්දය කර අල්ලා ගත් කොටියාට වැඩිදුර ප්‍රතිකාර කිරීම සදහා රන්දෙනිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

***************************************

මහමැතිවරණය සහ පාර්ලිමේන්තුව කැඳවීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

(25.04.2020 – 20:02 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

කොරෝනා වෛරස් මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙල සහ වත්මන් තත්ත්වය පිළිබඳව ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැනුවත් කිරීම සඳහා ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිබාහිරව කිසිදු තීරණයකට එළඹිය යුතු නැති බව මෙහිදී ත්‍රෛනිකායික මහා සංඝරත්නය අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එහිදී කොරෝනා වෛරසය පාලනය, නිරෝධායන ක්‍රියාවලිය මෙන්ම ජනතාව ලබාදුන් සහන සහ ආර්ථිකය නගා සිටුවීමට ගන්නා තීරණ පිළිබඳව ජනාධිපතිවරයා විසින් ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැනුවත් කිරීමට පියවර ගත්තා.

එමෙන්ම, තමාට ලබාදුන් ජනවරමට අදාළ අපේක්ෂා ඉටු කරමින් ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය පැහැදිලි කළ ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ අභිනව පාර්ලිමේන්තුවක් කැඳවීම මිස, පැරණි පාර්ලිමේන්තුව කැඳවීමේ බලයක් ව්‍යවස්ථානුකූලව තමන්ට නොමැති බවයි.

+++++++++++++++++++++++++++++++++++

පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල නිෂ්පාදයට ගුවන් හමුදාවේ දායකත්වය

(25.04.2020 – 11:29 +0530 – sinhala.adaderana.lk)

ගුවන් හමුදා අංක 01 සැපයුම් හා නඩත්තු ඩිපෝව කාර්ය මණ්ඩලය විසින් නිෂ්පාදය කරන ලද පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල 230 ක ප්‍රමාණයක් වතුපිටිවල මූලික රෝහල වෙත බෙදා දීම අද (25) කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේදී සිදු විය.

ගම්පහ ගෝතමී කණිෂ්ඨ විද්‍යාලිය ආදි ශිෂය සංගමයේ 1979 කණ්ඩායම විසින් මෙම ආක්ෂිත ඇඳුම් කට්ටල නිෂ්පාදනය සඳහා මූල්‍යමය අනුග්‍රහය දක්වන ලදි.

මෙලෙස නිෂ්පාදන කරනු ලැබු ආරක්ෂිත ඇඳුම් කට්ටල ගුවන් ලේකම් එයාර් කොමඩෝර් රංජිත් සේනානායක මහතා සහ ගම්පහ ගෝතමී කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ 1979 කණ්ඩායමේ සභාපතිවරයා වන උපුල් නිශාන්ත හා භාණ්ඩාගාරික ලක්කන එදිරිසිංහ යන මහත්වරුන් විසින් වතුපිටිවල මුලික රෝහලේ නියෝජිතයින් වෙත ප්‍රධානය කළ අතර අංක 01 සැපයුම් හා නඩත්තු ඩිපෝව අණදෙන නිලධාරී සනත් කලුබෝවිල මහතාද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

කොවිඩ් 19 මර්ධනය කිරීමේ ප්‍රයාත්නයේ යෙදි සිටින වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍ය හා හෙද කාර්යමණ්ඩලයේ ආරක්ෂාවට මෙම ආක්ෂිත ඇඳුම් කට්ටල මහත් අස්වැසිල්ලක් වේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

රට වෙනුවෙන් ගොඩබිමට ආ නාවික විරුවන්ට අත්වු ඉරණම

(25.04.2020 – 21:44 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් 19 ව්‍යප්තියත් සමඟ සයුරේ වැඩි රාජකාරියක් කළ නාවිකයින් ගොඩබිමට පැමිණියේය.

තම ජීවිත අවදානම ද නොතකා රට වෙනුවෙන් ඉදිරියට ආ ඔවුන්ගෙන් කණ්ඩායමක් අද රෝගී වී තිබේ.

ඇතැමුන් එදෙස සැකමුසු බැල්මක් හෙළිම කණගාටුවට කරුණකි.

තිස් වසරක් කුරිරු ත්‍රස්තවාදින් සමග උරෙන් උර ගැටී මව්බිම නිදහස් කරගත් මෙරට ආරක්ෂක අංශ මාර්තු මස 11 වනදා මෙරටින් පළමු කොවිඩ් 19 අසාදිතයා හඳුනා ගැනීමත් සමඟ කොවිඩ් 19 මාරයගෙන් රට මුදා ගැනීමේ සටනටද එක්වුණි.

ආරක්ෂ අංශ වලට අනියුක්ත සියළු නිලධාරින් දිවා රෑ නොබලා කොවිඩ් 19 මැඩලීමට එක්වන විට 53,000 කට අධික නාවුක හමුදාවේ නිලධාරින් සහ සෙබළුන්ද සයුරට විරාමයක් තබා ගොඩබිමට පැමිණියේ මනුෂ්‍යත්වය වෙනුවෙන්ය.

එතැන් සිට දිවයින පුරා පිහිටි රෝහල්, මාධ්‍ය ආයතන, රාජ්‍ය ආයතන සහ පොදු ස්ථාන 400 කට අධික සංඛ්‍යාවක් මහජන ආරක්ෂාව සඳහා විෂබිජහරණය කිරීම සිදුකෙරුණේ මෙරට නාවික හමුදාව අතින්ය.

ළඟ එන උවදුරට මුහුණ දීම සඳහා පහසුකම් ප්‍රමාණවත් නොවු මෙරට සෞඛ්‍ය පද්ධතියට අවැසි කොවිඩ් 19 ප්‍රතිකාර ඒකක කොළඹ මහරෝහල, රාගම ශික්ෂණ රොහල සහ වව්නියාව මුලික රෝහල තුළ ලහි ලහියේ ඉදිකෙරුණේද නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්ය.

එපමණක් නොව ඔවුන් අතින් කොවිඩ් 19 අසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදි යොදාගත හැකි නව උපාංගද ඉදිවුණි.

කොවිඩ් 19 මෙහෙයුමට එක්වු නාවික හමුදාව විසින් බුස්ස, කල්පිටිය, සාම්පුර්, නාච්චිකුඩා සහ ඔළුවිල් යන නිරෝධායන මධ්‍යස්ථාන වලදි නිරෝධායනයට ලක්කළ පුද්ගලයින් සංඛ්‍යාව 200 කට අසන්නයි.

එසේම අත්‍යවශ්‍ය සේවා කටයුතු වු විශ්‍රාම වැටුප් බෙදාදීම, සතොස භාණ්ඩ බෙදාදීම වැනි කටයුතු සඳහාද පසුගිය සමය පුරාවට නාවික හමුදාව දැක්වු දායකත්වය අතිමහත්ය.

මෙවැනි වටපිටාවක් තුළ නාවික හමුදාවේ බටහිර නාවික විධානයේ බුද්ධි අංශ මෙහෙයුමක් පසුගිය අප්‍රේල් 10 වන දින ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙයි.

එහිදි එක් කොවිඩ් 19 අසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ අවස්ථා කිහිපයකදි පුද්ගලයින් 100 කට අධික සංඛ්‍යාවක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණි.

මෙම අවස්ථාවේදි රාජකාරියේ නිරත වු නාවික හමුදා සෙබළුන් එම පිරිසගෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති අතර පසුව එය සෙබළුන් 60 දෙනෙකු කරා ව්‍යාප්ත වුණි.

කෙසේ වෙතත් මෙපමණ කල් නාවික හමුදාව දෙස ගෞරවයෙන් සහ සෙනෙහසින් බැලු සමාජයේ ඇතැම් පිරිස් මෙම සිදුවීමත් සමඟ ඔවුන් දෙස සැකයෙන් බැලීමට පටන්ගෙන ඇති බව පෙනී යයි.

ඒ හේතුවෙන් නාවික හමුදා නිලධාරින් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් මේ වන විට දැඩි අපහසුතාවකට පත්ව සිටිම කණගාටුවට කරුණකි.

+++++++++++++++++++++++++++++++++++

COVID-19 වෛරසය මර්ධනයට හෙළ වෙදකමට අවස්ථාව ලබා දිය යුතුයි – ගෝලීය ශ්‍රී ලාංකික සංසදය

(25.04.2020 – 23:18 +0530 – lankaleadnews.com)

COVID-19 වෛරස් වසංගතය මර්ධන කටයුතු රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය පෙන්වා දෙන පරිදි සති තුනක් පිටුපසින් සිටින බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය අවධාරණය කරයි.

වෛරසය මර්ධනය කිරීමේ ආක්‍රමණික ප්‍රවේශයට අවතීර්ණ වීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් හා බෝවන රෝග අංශයේ බලධාරීන් දැඩි ලෙස විරෝධතාවය පෑ බවද රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය සංගමය පෙන්වා දී ඇති බව පවසන ගෝලීය ශ්‍රී ලාංකික සංසදය COVID-19 වෛරසය මර්ධනය කිරීමට සමත් ඖෂධයක් බටහිර ඖෂධ ක්‍රමය තුළ නිෂ්චිතව සොයා ගෙන නැති තත්වයක් තුළ ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍යය ක්‍රමය තුළ ඇති බව පවසන ආසාදනය සුවපත් කිරීමේ ක්‍රමවේදයට සෞඛ්‍යය අංශ බලධාරීන් වහාම ඉඩ සැලසිය යුතු බව පවසා සිටී.

චීනය COVID-19 මර්ධනය සාර්ථකව කරනු ලැබුවේ චීන දේශීය වෛද්‍යය ක්‍රමයද උපයෝගී කරගෙන බව පවසන ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පවසන්නේ ඉන්දියාවද ආයුර්වේද වෛද්‍යය ක්‍රමයට අනුව වෛරස් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට ඉඩ දීමටද කටයුතු කර ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ බොහෝ විද්වතුන් මෙන්ම විවිධ වෛද්‍ය සංගම්ද පෙන්වා දෙන පරිදි වහාම දේශීය වෛද්‍යය ක්‍රමයට COVID-19 ආසාදිතයින් සුවපත් කිරීමට ප්‍රතිපාදන සැලසිය යුතු බවයි.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ස්විට්සර්ලන්තය, පෝලන්තය, ඔස්ට්‍රේලියාව, අයර්ලන්තය, මහා බ්‍රිතාන්‍යය සහ රුසියාව යන රටවල සභාපතිවරුන්ගේ මෙන්ම එම සංගමයේ ශ්‍රී ලංකාවේ නිත්‍යය නියෝජිතයාගේ සහ විධායක සභාවේ ගරු ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ගරු ජනාධිපති තුමාගේ අවධානයට යොමු කර ඇති ලිපියක් මගින් මෙම තත්වය වෙනස් කිරීමට අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටී.

සම්පූර්ණ ලිපිය පහතින් :

+++++++++++++++++++++++++++++++++++

රාත්‍රියේ පන්සලට ආ මුස්ලිම් ජාතිකයෙක් විහාරාධිපති හිමියන්ව බදාගෙන මුණට කැහැලා. විහාරස්ථානය නිරෝදායනයට ලක් කරයි

(25.04.2020 – colombotoday.com)

ඊයේ (24) රාත්‍රී 11:45 ට පමණ නාදුනන පුද්ගලයෙකු කැකිරාව, ගනේවල්පොල, ශෛලකලාරාම විහාරස්ථානයට අයුතු ලෙස ඇතුළු වී විහාරාධිපති හිමියන්ට සෙලවීමට නොහැකි වන ලෙස බදා අල්ලාගෙන මුණට කෙල විසි වෙන ලෙස “කැස්ස” බව විහාරාධිපති හිමියන් විසින් අද 25 උදැසන කැකිරාව පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

එම අවස්ථාවේ පන්සලේ නතරවී සිටින උපාසක මහතෙකුගේ සහයෝගයෙන් මෙම නන්නාදුනන මුස්ලිම් ජාතිකයා සමග පොර බදා දොරෙන් එලියට තල්ලු කර පන්සලේ දොර අගුලු ලෑමට විහාරාධිපති හිමියන් සමත්වී තිබෙනවා.

විහාරාධිපති හිමියන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව එහි පැමිණි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ශෛලකලාරාම විහාරස්ථානය නිරෝධායනයට ලක්වන ස්ථානයක් ලෙස නම් කිරීමට පියවර ගෙන ඇති අතර බාහිර කිසිවෙකුටත් පන්සලට ඇතුළු වීම තහනම් කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

සිය කැමැත්තෙන් ගොස් පී.සී.ආර්. පරීක්ෂණය කර ආසාදිතයෙකු බවට හෙළිවූ අයෙක්

(26.04.2020 – 06:39 +0530 – truenews.lk)

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩු ලැබ බේරුවල ගනේඅරඹ බංගලාවත්ත ගමට පැමිණි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශය පදිංචි නාවික හමුදා සෙබලෙකු ද කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් පසු කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඊයේ (25 දා) රාත්‍රියේ ඇතුළත් කර ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එච්.එස්.ඩී. සුරංග මහතා සඳහන් කළා.

මෙම නාවික සෙබළා ඉකුත් 22 දා නිවාඩු ලැබ නිවසට පැමිණ ඇති අතර 24 දින සිය කැමැත්තෙන් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට සුවසැරිය ගිලන් රථයෙන් ගොස් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය වී ඇතැයි පොලීසිය පවසනවා.

මේ අතර මෙම නාවික සෙබලාගේ නිවසට පැමිණෙන සිය ඥාතීන් ඇතුළු හිතවතුන් වන පාර්ශව කිහිපයක පුද්ගලයන් 50 දෙනෙකු පමණ ඇසුරු කර ඇති අතර එම සෙබලාගෙ නිවැසියන් ඇතුළු සියලු දෙනා ස්වයං නිරෝධායන ලක්කර පී .සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *