කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ත්‍යාගරාජා සංඝරත්නයට අපහාස කරයි. මහා සංඝරත්න ‘සංඝ පාතාලය’ ලෙස හඳුන්වයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ත්‍යාගරාජා සංඝරත්නයට අපහාස කරයි. මහා සංඝරත්න ‘සංඝ පාතාලය’ ලෙස හඳුන්වයි

• දකුණු කොරියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයෝ ආපසු යන්න අවසර ඉල්ලති

• ශ්‍රී ලාංකිකයෝ 27,000 ක් ආපසු එන්න කැමැත්තෙන්

• Body Bag දහසක් ඉල්ලා ආණ්ඩුව යවපු ලිපිය එළියට දුන්නේ කවුද – පොලිසියට පැමිණිලි (විඩියෝ)

• පාර්ලිමේන්තුව යුධ හමුදා ආරක්ෂාව යටතට – පොලිසිය STF ඉවතට

• කොරෝනා තර්ජනයට ලක් වන ‘කොළඹ ජනතාවට’ ආණ්ඩුවෙන් ගෙවල් 1600 ක් !

• ඊයේ (26) හඳුනාගත් ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 53 ක්

• ඊයේ (26) දිනය තුළ දී පමණක් කොරෝනා ආසාදිතයින් 63 ක් හඳුනාගනියි (විඩියෝ)

• වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළ නිරෝධායන ක්‍රියාවලීන් තවදුරටත්

• නිවාඩු ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට අද (27) දිනය තුළ කඳවුරුවලට කැඳවීමක් (විඩියෝ)

• කොරෝනා පරීක්ෂණ සඳහා විශ්වවිද්‍යාල 3 ක රසායනාගාර ආරම්භ කිරීමේ සුදානමක්

• සමෘද්ධි ව්‍යාපාරයේ වටිනාකම මෙවන් අවස්ථාවක රටේ සියලු දෙනාට තේරුම් ගොස් ඇත – එස්.බී. දිසානායක (විඩියෝ)

• කිසිදු පාසලක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නේ නෑ – යුද හමුදාපති කියයි (විඩියෝ)

• රාජකීය, තර්ස්ටන්, මහානාම, ඩී.එස්‌ ඇතුළු පාසල් රැසක් ත්‍රිවිධ හමුදාවට – නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකයි

• තොරතුරු සැඟවීම කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනයට ගැටලුවක්

+++++++++++++++++++++++++++++++++++

කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ත්‍යාගරාජා සංඝරත්නයට අපහාස කරයි. මහා සංඝරත්න ‘සංඝ පාතාලය’ ලෙස හඳුන්වයි

(26.04.2020 – colombotoday.com)

කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වරයෙකු ලෙස කටයුතු කරන වරා ත්‍යාගරාජා නැමති පුද්ගලයා මහා සංඝරත්නයට අපහාස වන ආකාරයට මහා සංඝරත්නයට “සංඝ පාතාලය” ලෙස අමතමින් Facebook තුලට සටහනක් එක්කර තිබෙනවා.

මෙම පුද්ගලයා කොළඹ විශ්වවිද්‍යාලය තුලත් ඉන් පිටතත් අන්තර්ජාලය තුලත් දිගින් දිගටම බුද්ධ ශ්‍රවකයන්වහන්සේලාට අපහාස වන ආකාරයේ ආගමික නොසන්සුන්තාවයන් ඇතිවීමට බලපෑ හැකි ප්‍රකාශ නිකුත් කරමින් සිටියි.

සමලිංගික සේවනය නීතිගත කරන ලෙස ඉල්ලමින්
‘3% JVP මිසදිටුවෙක්’ සමග

+++++++++++++++++++++++++++++++++++

දකුණු කොරියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයෝ ආපසු යන්න අවසර ඉල්ලති

(26.04.2020 – 21:07 +0530 – lankadeepa.lk)

දකුණු කොරියාවේ සේවය කරන ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයන්ගේ ‘කොරියා ලංකා සහෝදර එකමුතුව’ නම් සංවිධානයේ නියෝජිත පිරිසක් විසින් රත්නපුර ප‍්‍රදේශයෙහි පැවත්වූ මාධ්‍ය හමුවකදී පවසා සිටියේ තම රැකියාවන්හි සුරක්‍ෂිත බව සහ ස්ථාවරත්වය ආරක්‍ෂාකර ගැනීමට නැවත දකුණු කොරියාවට යාමට අවස්ථාව සලසා දෙන මෙන් ජනපති ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින බවයි.

රැකියා සඳහා ලබාගත් වීසා මත දකුණු කොරියාවේ සේවය කරන ලාංකීය ශ‍්‍රමිකයන් වන මෙම පිරිස මේ වසරේ ඔවුන් ලද නිවාඩුවදී ශ‍්‍රී ලංකාවට පැමිණි බවත්, පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ නැවතත් ඔවුන්ගේ රැකියාව සඳහා දකුණු කොරියාවට යාමට නොහැකිවීමෙන් මතුව තිබෙන අර්බුදකාරී තත්වය පිලිබඳව මෙසේ අදහස් දැක්වූහ.

කොරියා ලංකා සහෝදර එකමුතුව සංවිධානයේ කැඳවුම්කරු රොෂාන් වික‍්‍රමනායක මහතා :

“අපි දකුණු කොරියාවේ සේවය කරන ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයන්. අපි ලංකාවට ආවේ, අපට ලැබුන නිවාඩුවට. දැන් තිබෙන තත්වය මත රටවල් අතර, ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා නවතා දමා තිබෙන්නේ. ඒනිසා අපට ආපසු දකුණු කොරියාවට යාමට නොහැකිව තිබෙනවා. මේ නිසා අපගේ රැකියාවන් අහිමිවී යාමේ අවදානමට අප මුහුණදී තිබෙනවා.

ලංකාව පුරා විවිධ ප‍්‍රදේශවලින් දකුණු කොරියාවේ රැකියාවල නිරත අප සංවිධානයේ දෙසිය පනහක් (250) පමණ පිරිස මෙසේ නිවාඩුව ලබා ලංකාවට පැමිණි අය අතර සිටිනවා. සාමාන්‍යයෙන් නිවාඩුව දවස් 30 ක් පමණ. දැන් ඒ කාලය ඉකුත්වූ අයත් ඉන්නවා.

වඩාත්ම අර්බුදකාරී තත්වය නම් වසර තුනක (3) වීසා නිකුත් කිරීම් මත දකුණු කොරියා රැකියාවන්හි නිරතවන අප වැනි ලංකාවේ ශ‍්‍රමිකයන්ගේ රැකියාවේදී එම තෙවසර නික්මයාමත් සමඟ නැවත සිවුවන වසර සඳහා වීසා ලබාගැන්ම අප සේවය කරන ආයතන ප‍්‍රධානියාගේ අනුමැතිය සහ අභිමතය මත සිදුවන්නක්වීම. මේ නිසා අප එරට රැකියා සඳහා ගොස් වසර තුන (3) සම්පූර්ණවීමට ආසන්නව තිබියදී එහි අපගේ සේවා ස්ථානවල සේවයට වාර්තා කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතු අත්‍යාවශ්‍ය කටයුත්තක්. එසේ නොකළහොත් එරට පවතින නීති අනුව නැවතත් දකුණු කොරියාවේ රැකියා සඳහා වීසා ලබාගැනීමට හැකියාවක් නෑ.”

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලාංකිකයෝ 27,000 ක් ආපසු එන්න කැමැත්තෙන්

(26.04.2020 – 15:33 +0530 – lankadeepa.lk)

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් 27,000 කට අධික සංඛ්‍යාවක් ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමේ කැමැත්තෙන් පසුවන බව විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා අද (26) පැවසීය.

මෙම පිරිසට ලාංකික ශ්‍රමිකයන් හා යැපෙන්නන් 17,000 කට අධික සංඛ්‍යාවක් ද, සිසු සිසුවියන් 6,000 ක් සහ කෙටිකාලීන වීසා බලපත්‍ර දරන්නන් හා සංචාරකයින් 3,000 ක් පමණ ද ඇතුළත් වන බවද විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

විදේශ සබඳතා අමාත්‍යාංශය යටතේ පිහිටවු “කන්ටෑක්ට් ශ්‍රී ලංකා” “Contact Sri Lanka” නැමැති සජීවි අන්තර්ජාල ප්‍රවේශය සහ වෙනත් මාධ්‍යයන් හරහා මෙම පිරිස් යළි දිවයිනට පැමණීමට කැමැත්තෙන් සිටින බවට දන්වා ඇතැයිද විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දෙයි.

මෙම පිරිස් නැවත දිවයිනට ගෙන්වීමේදී රජයේ අවධානය මේ වන විට යොමු වී ඇත්තේ ශිෂ්‍යයන් සහ රජයේ පුහුණු වැඩසටහන් සඳහා දකුණු ආසියා රටවලට ගොස් සිටින අය කෙරෙහි බව ලේකම් ආර්යසිංහ මහතා පැවසීය.

ඉන්පසුව වෙනත් රටවල වර්ධනය වෙමින් පවතින මෙවැනිම තත්වයන් පිළිබඳව විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් සමීපව අධීක්‍ෂණය කරනු ලබන අතර, නැවත සියරට පැමිණවීම සඳහා තීරණ ගැනීම සහ පහසුකම් සැපයීමට ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සලකා බැලීම සඳහා සුදුසු නිර්දේශ ලබා දෙන බවද ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

පීඩාවට පත්ව සිටින එතෙර ලාංකිකයින් ගෙන්වීමේ ක්‍රියාවලිය විදේශ සබඳතා අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ ඒ ඒ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හා කොවිඩ්-19 කාර්ය සාධක බලකාය සහ තවත් ජාතික ආයතන රාශියක් සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කෙරෙන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

බොහෝ අවස්ථාවල දී, එතෙර සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් මුහුණ දෙන අවදානම අවම කිරීමට ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට හැකි වූ බවත්, සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IOM), කැරිටාස් සහ රතු කුරුස වැනි ජාත්‍යන්තර සංවිධාන විසින් සපයනු ලබන ආධාර එම දූත මණ්ඩලවල කාර්යයන් වැඩිදියුණු කිරීමට ඉවහල් වූ බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී ෴

+++++++++++++++++++++++++++++++++++

Body Bag දහසක් ඉල්ලා ආණ්ඩුව යවපු ලිපිය එළියට දුන්නේ කවුද – පොලිසියට පැමිණිලි

(27.04.2020 – 06:16 +0530 – truenews.lk)

මළ සිරුරු බැහැර කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන් ශරීර බෑග් 1000 ක් ඉල්ලා රහසිගතව යවන ලද ලිපිය සමාජ මාධ්‍ය වෙත ලබාදුන්නේ කවුද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

තමන් විසින් ICRC වෙත ලියන ලද මෙම ලිපිය සමාජ මාධ්‍යවල ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා පුවත්පතකට පවසා තිබුණා.

මේ වනවිට සිදුවන සියලු මරණ බහාලන්නේ Body Bag තුල බැවින් ජාත්‍යන්තර පිළිගැනීම්වලට අනුකූලව කටයුතු කිරීම සඳහා පවතින අඩුව පිරවීමට මෘතදේහ 1000 ක් සඳහා Body Bag ලබා ගන්නා ලෙස ඉල්ලා ICRC සංවිධානයට මෙම ලිපිය යවා තිබෙනවා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

පාර්ලිමේන්තුව යුධ හමුදා ආරක්ෂාව යටතට – පොලිසිය STF ඉවතට

(27.04.2020 – 06:52 +0530 – truenews.lk)

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදා සිටි පොලිසියේ අසූ දෙනකු (80) සහ විශේෂ කාර්ය බළකායේ අසූ දෙනකු (80) ඉවත් කර තිබෙනවා.

ඒ වෙනුවට යුද හමුදාව අනුයුක්ත කර ඇතැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළා ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා තර්ජනයට ලක් වන ‘කොළඹ ජනතාවට’ ආණ්ඩුවෙන් ගෙවල් 1600 ක් !

(27.04.2020 – 06:37 +0530 – truenews.lk)

නාගරික සංවර්ධන අධිකාරිය මගින් කොළඔ නගරයේ ඉදි කරමින් පවතින මහල් නිවාස සංකීර්ණවල පවුල් 1600 ක් කඩිනමින් පදිංචි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොවිඩ් තර්ජනයට ලක් වන කොළඹ වතු ආශ්‍රිත ජනතාව මෙම මහල් නිවාස සංකීර්ණවල පදිංචි කරවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ මහල් නිවාස සංකීර්ණවල නිවාස 1600 ක් පමණ මේ වන විට ඉදි කිරීම් අවසන් කර තිබෙනවා.

කොළඹ නගරයේ වතු ආශ්‍රිතව වෛසරය පැතිරීම පාලනය කිරීමට වතුවල පදිංචිකරුවන් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමට ද තීරණය කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ඊයේ (26) හඳුනාගත් ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 53 ක්

(27.04.2020 – 09:43 +0530 – sinhala.adaderana.lk)

ඊයේ (26) දිනයේ හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 53 දෙනෙකු වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 16 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් හඳුනාගෙන ඇති අතර සෙසු පිරිස වෙනත් ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි යුධ හමුදාපතිවරයා පවසයි.

ඊයේ (26) දිනයේ මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 63 දෙනෙකු හඳුනාගත් අතර එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව යි.

නාවික හමුදා සාමාජිකයින්ට අමතරව සෙසු දස (10) දෙනා අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ ආසාදිතයින් ද වන බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ ෴

+++++++++++++++++++++

ඊයේ (26) දිනය තුළ දී පමණක් කොරෝනා ආසාදිතයින් 63 ක් හඳුනාගනියි

(27.04.2020 – 07:51 +0530 – sinhala.adaderana.lk)

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 500 ඉක්මවා තිබේ.

ඊයේ (26) මධ්‍යම රාත්‍රී වන විට සමස්ත ආසාදිතයන් 523 ක් වාර්තා වුණා.

ඊයේ (26) දිනය තුළ දී පමණක් ආසාදිතයින් 63 ක් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

එය මෙතෙක් එක්දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි.

පසුගිය සදුදා (20) සිට ගත වූ දින 06 ක කාලය තුළ ආසාදිතයන් දෙසිය පනස් දෙදෙනෙකු (250) හදුනාගැණුනි.

ඉන් වැඩිම පිරිසක් වාර්තා වුයේ වැලිසර නාවික හමුදා කඳවුරෙන්ය.

මෙරට පළමු වරට රෝගීයෙකු ජනවාරි 27 වාර්තා වු අතර එම ආසාදිතයා චීන ජාතික කාන්තාවකි.

එතැන් සිට පළමු රෝගීන් සිය දෙනා (100) වාර්තාවීම සදහා දින 57 ක් ගත වුණි.

දෙවැනි රෝගීන් සිය දෙනා (100) වාර්තාවීමට ගත වුයේ දින 20 කි.

තෙවැනි රෝගීන් සිය දෙනා (100) වාර්තාවීමට දින 08 ක් ගත වුණි.

සිව්වැනි රෝගීන් සිය දෙනා (100) දින 04 ක් තුළ දී වාර්තා වූ අතර අවසන් සිය දෙනා (100) වාර්තාවීමට ගත වුයේ දින 02 ක් පමණයි.

මේ වන විට පුද්ගලයන් 396 ක් රෝහල්ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබයි.

මෙරට හදුනාගත් ආසාදිතයන්ගෙන් 120 දෙනෙකු පූර්ණය සුවය ලබා පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර කුලියාපිටිය හම්මලව ප්‍රදේශයේ දී ආසාදිතයෙකු හමුවීමෙන් පසු ඔහු සමඟ සබදතා පැවැත්වු පුද්ගලයන් නිරෝධයනයට යොමුකිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන තිබේ.

එහිදි සෞඛ්‍ය නිලධාරීන් නිවෙස් හිමියන්ට ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබද උපදෙස් ලබාදුන් බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසුවේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළ නිරෝධායන ක්‍රියාවලීන් තවදුරටත්

(27.04.2020 – 07:30 +0530 – sinhala.adaderana.lk)

හුදකලා කරන ලද වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළ නිරෝධායන ක්‍රියාවලීන් සහ ආසාදිත පුද්ගලයින් ප්‍රතිකාර සඳහා යොමුකිරීම තවදුරටත් ක්‍රියාත්මක බව නාවික හමුදාව පවසයි.

මේ වන විට වැලිසර නාවික හමුදා කදවුර සම්පූර්ණයෙන්ම හුදකලා කර තිබේ.

කඳවුරු පරිශ්‍රය ආවරණය වන පරිදි විෂබීජහරණය කිරීමට ද පියවර ගෙන ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

කඳවුරු පරිශ්‍රය තුළ දී වෛරස ආසාදිතයින් පසුගියදා හදුනාගැනීමත් සමග ඔවුන් සමඟ සබදතා පැවැත්වු පුද්ගලයින් ප්‍රමුඛතා ලැයිස්තුවක් මත පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමුකිරීමට පියවර ගෙන තිබේ.

පරීක්ෂණ මගින් හදුනා ගන්නා ආසාදිතයින් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීමට සුදුසු රෝහලක් වශයෙන් වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේ පිහිටා ඇති නාවික මහ රෝහල යොදා ගැනීමට මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

නිවාඩු ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට අද (27) දිනය තුළ කඳවුරුවලට කැඳවීමක්

(27.04.2020 – 06:47 +0530 – sinhala.adaderana.lk)

අද (27) දිනය තුළ ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයින්ට තම කඳවුරු වෙත වාර්තා කරන ලෙස ආරක්ෂක අංශ නියම කර තිබේ.

ඔවුන්ට අදාළ කඳවුරු වෙත පැමිණීම සදහා ප්‍රවාහන පහසුකම් සපයා ඇති අතර එසේ ප්‍රවාහන පහසුකම් සලසා ගත නොහැකි සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ආසන්නතම කඳවුරු වෙත වාර්තා කරන ලෙසයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර නිවාඩු ගිය සියලුම නාවික හමුදා සාමාජිකයින් වහාම තම ආසන්නතම කදවුරු වෙත වාර්තා කරන ලෙස නාවික හමුදාව ද ඊයේ (26) නිවේදනය කර තිබුණි.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් සහ සෙසු නිලයන්ගේ නිවාඩු, කෙටි නිවාඩු අවලංගු කර තිබේ.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ඊට අදාළව ත්‍රිවිධ හමුදාපතිවරුන්ට නිකුත් කළ නියෝගයේ සදහන්ව ඇත්තේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා ලබා දී ඇති සියලු නිවාඩු අවලංගු කිරීමේ තීරණය ඊයේ (26) ගනු ලැබූ බවයි.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා පරීක්ෂණ සඳහා විශ්වවිද්‍යාල 3 ක රසායනාගාර ආරම්භ කිරීමේ සුදානමක්

(27.04.2020 – 10:42 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූවන් හඳුනාගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණ පැවැත්වීමට විශ්ව විද්‍යාල 03 ක් රසායනාගාර ආරම්භ කිරීමට සුදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ පේරාදෙණිය, කැලණිය සහ කොළඹ විශ්ව විද්‍යාල මඟින් එම රසායනාගාර පවත්වාගෙන යාමට ඉල්ලුම් කර ඇති බවයි.

කොළඹ පුද්ගලික රෝහල් කිහිපයක් මගින් ද සෞඛ්‍ය අංශ ඉදිරිපත් කරන සාම්පලවල පී.සි.ආර්.පරීක්ෂණ සිදුකරගැනීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මීට අමතරව ආසියානු සංවර්ධන බැංකුව මඟින් මෙරට පරීක්ෂණාගාරයක් ඉදිකිරීමට පියවර ගෙන ඇති අතර එහිදී දිනකට පී.සී.ආර්. පරීක්ෂණ දහසක් පමණ සිදුකිරීමට සැලසුම් කර ඇත.

ඊයේ (26) පස්වරු 05:00 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ දිවයින පුරා පී.සි.ආර්. පරීක්ෂණ 1075 ක් සිදුකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

පී.සි.ආර්. පරීක්ෂණ කිරීමේ දැනට පවතින උපරිම ධාරිතාව 1200 ක් වන අතර අවශ්‍යතාව මත එය ක්‍රමයෙන් ඉහළ නංවන බවයි ඔහු සදහන් කළේ.

සැකසහිත රෝග ලක්ෂණ පවතින බවට වෛද්‍යවරුන් නිර්දේශ කරන පුද්ගලයන්, බාහිර රෝගී අංශවලට පැමිණෙන රෝගීන්ගෙන් තෝරාගත් තැනැත්තන්, අහඹු ලෙස තෝරාගත් කණ්ඩායම්, නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරන සහ ඉන් පිටත්වන කණ්ඩායම් සහ වෙනත් හේතු මත පී.සි.ආර්. පරීක්ෂණ සඳහා පුද්ගලයන් යොමුකිරීම සිදුකෙරෙයි ෴

+++++++++++++++++++++++++++++++++++

සමෘද්ධි ව්‍යාපාරයේ වටිනාකම මෙවන් අවස්ථාවක රටේ සියලු දෙනාට තේරුම් ගොස් ඇත – එස්.බී. දිසානායක (26.04.2020)

+++++++++++++++++++++++++++++++++++

කිසිදු පාසලක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නේ නෑ – යුද හමුදාපති කියයි

(27.04.2020 – 08:36 +0530 – sinhala.adaderana.lk)

කිසිඳු පාසලක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිත නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඒ ‘දෙරණ අරුණ’ වැඩසටහනට එක්වෙමින්.

නමුත් සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබෙන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පැමිණි පසු නියමිත ශාරිරික දුරස්ථභාවය පවත්වා ගැනීමට කඳවුරු තුළ ඉඩ පහසුකම් මදි වුවහොත් ඒ සඳහා එම කඳවුරු අසළ ඇති පාසල් භාවිත කිරීමට ඉඩ ලබා දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් සියලු හමුදා සාමාජිකයින් කඳවුරු තුළම රඳවා ගැනීමට ගත හැකි පියවර ගන්නා බවත් එසේ නොහැකි වන අවස්ථාවල පමණක් ඉහත විකල්පයට යාමට සිදු වන බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඒ හැරුණුවිට ආසාදිත බවට සැකසහිත හෝ නිරෝධායනයට යොමුකළ ආරක්ෂක අංශ සාමාජිකයන් කිසිවිටකත් පාසල් වෙත යොමු නොකරන බව යුධ හමුදාපතිවරයා අවධාරණය කළේය.

+++++++++++++++++++++

රාජකීය, තර්ස්ටන්, මහානාම, ඩී.එස්‌ ඇතුළු පාසල් රැසක් ත්‍රිවිධ හමුදාවට – නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකයි

(27.04.2020 – 10:24 +0530 – truenews.lk)

ආරක්ෂක අංශ සෙබලුන්ගේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද පවත්වා ගෙන යෑම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් යොදවාගෙන තිබෙනවා.

ඒ අනුව කොටහේන මධ්‍ය විද්‍යාලය , බත්තරමුල්ල සුභුති විද්‍යාලය ආදී විද්‍යාල මේ සඳහා දැනටමත් යොදාගෙන ඇති අතර රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, හින්දු විද්‍යාලය, මහානාම විද්‍යාලය, ඩි.එස්. සේනානායක විද්‍යාලය ඇතුලු කොළඹ නගරයේ තවත් පාසල් මේ සඳහා යොදවාගැනීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

තර්ස්ටන් විද්‍යාලය නාවික හමුදා සාමාජිකයන් වෙනුවෙන් ද මහානාම විද්‍යාලය යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන්ද දැනටමත් භාවිතා කිරිමට කටයුතු ආරම්භ කර තිබෙනවා.

කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශය, ඩී.එස්. සේනානායක විද්‍යාලය හා කොළඹ හින්දු විද්‍යාලයේ හෙට (28) සිට මෙම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

එලෙස කොපමණ කාලයකට පාසල් ලබාගත්තේදැයි විදුහල් පතිවරැන්ගෙන්ව විමසු අවස්ථාවේ ඔවුන් පැවසුයේ නැවත දැනුම්දෙනතුරු එම පාසල් ආරක්ෂක අංශ සඳහා ලබාගෙන ඇති බවය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේදී හෙතෙම පැවසුයේ ආරක්ෂක අංශ වලට පහසුකම් සැපයීම සඳහා පාසල් ලබාගැනීමට විමසු බවත් ඒ අනුව එම පාසල් ලබාදුන් බවත්ය.

මීට අමතරව ආරක්ෂක අංශ වෙත පහසුකම් සැපයීමට අවශ්‍යනම් පාසල් ලබාදෙන ලෙස අනිකුත් පාසල් වල විදුහල්පතිවරැන්ට ද දැනුම්දී ඇති බවද හෙතෙම සඳහන් කර සිටියා.

මේ අතර කිසිදු අවස්ථාවක පාසැල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පරිවර්ථනය කිරීමේ අදහසක් නොමැති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටිනවා.

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ නිවාඩු අවලංගු කොට ඔවුන් යලි කඳවුරු වෙත කැඳවිමට පියවර ගෙන ඇති හේතුවෙන් කුඩා ප්‍රමාණයේ කඳවුරු තුල නිලධාරීන් අතර සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද පවත්වා ගෙන යෑමට පමණක් එම කඳවුරු ආසන්නයේ පිහිටි පාසැල් කිහිපයක් ලබා දෙන ලෙස අධ්‍යාපන ඇමතිවරයා ගෙන් ඉල්ලා සිටි බවයි මෙහිදී යුධ හමුදාපතිවරයා කියා සිටියේ.

ඒ අනුව ලබාදිය හැකි පාසැල් කුමක්ද යන්න සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිවරයා දැනුම් දී ඇති බවත් එම පාසැල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වා ගෙන යාමට කිසිසේත් කටයුතු නොකරන බව යුධ හමුදාපතිවරයා අවධාරණය කර සිටියා ෴

+++++++++++++++++++++++++++++++++++

තොරතුරු සැඟවීම කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනයට ගැටලුවක්

(27.04.2020 – 08:09 +0530 – sinhala.adaderana.lk)

තොරතුරු සැඟවීම කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනයට මෙන්ම ආසාදිතයින්ට නිසි ප්‍රතිකාර ලබාදීම ගැටලුවක් විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ කොවිඩ් නයින්ටීන් රෝග ලක්ෂණ පවතින බවට යම් සැකයක් ඇත්නම් හෝ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, හුස්ම ගැනිමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් රෝහල් ගතවීමට පෙර සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලබාගත යුතු බවයි.

1999 හෝ 1390 දුරකථන අංකවලින් එම උපදෙස් ලබාගත හැකියි.

මෙම දැනුම්දීම නොතකා ඇතැම් පුද්ගලයින් රෝහල්ගතවීමෙන් ගැටලු රැසක් උද්ගත විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

එමෙන්ම අදාළ තැනැත්තන් තමන් පදංචි නිශ්චිත ප්‍රදේශය වැරදි ලෙස සඳහන් කිරීම වැනි කරුණු හේතුවෙන් ද ගැටලු මතුවිය හැකි බව ඔහු සඳහන් කර ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • About body bag letter. I am not surprised if this letter was leaked by a tamil terrorist sympathizer working within ICRC, as they have been supporters of VPs efforts to divide the country. Our intelligence services should keep their eyes and ears open for the revival of these terrorists while we are fighting this other war against the corona virus. BTW why are we asking for body bags from ICRC; are they the contractors?

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *