ලංකාව තවමත් සිටින්නේ වෛරසය ව්‍යාප්තියේ තුන්වන අදියරේ – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ලංකාව තවමත් සිටින්නේ වෛරසය ව්‍යාප්තියේ තුන්වන අදියරේ – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම (විඩියෝ)

• අවුරුද්දකට පස්සේ සහරාන්ගේ කඳවුරක් මුතුර් වලින් හමුවෙයි

• තවත් කොරෝනා ආසාදිතයින් 4 ක් – සමස්ත ආසාදිතයින් ගණන 588 ක්

• රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා මහ බැංකුව උපරිම පොලී අනුපාත නියම කරයි

• දෛනික PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය (විඩියෝ)

• ගුවන් සෙබළෙකුටත් කොරෝනා (විඩියෝ)

• ආසාදිත නාවික හමුදා නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයන් නිරෝධායන මධ්‍යස්ථානවලට

• සෞඛ්‍ය උපදෙස් නොපිළිපදින්නන් අත්අඩංගුවට ගන්නා බව පොලීසිය කියයි (විඩියෝ)

• ලොව පුරා කොවිඩ් ආසාදිතයන් මිලියන තුනක් – මරණ දෙලක්ෂය ඉක්මවයි

• COVID-19 මෙහෙයුමට ‘මයික්‍රෝ කාර් ලිමිටඩ්’ සමාගමෙන් බස් රථයක්

• හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කරන්න විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් (විඩියෝ)

• පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය අනිද්දා (29) යළි විවෘත වෙයි (විඩියෝ)

• COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 866 ක් දක්වා ඉහළට

• උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබු සිසුන් ප්‍රතිශතය සියයට 73 ඉක්මවයි (විඩියෝ)

• කොරෝනා පාලනයට චීනයෙන් මිලියන 211 කට අධික වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

• කටාර් වල සිටින ලාංකිකයින් පිරිසකගෙන් ඉල්ලීමක්

• කොරෝනා වෛරස ආසාදිතයන් සුවපත් කිරීමට අවශ්‍යය ඖෂධ සහ ප්‍රතිපාදන ජනවාරි 28 වන විටත් සූදානම් කර තිබුනා – ආයුර්වේද කොමසාරිස් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ලංකාව තවමත් සිටින්නේ වෛරසය ව්‍යාප්තියේ තුන්වන අදියරේ – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

(27.04.2020 – 19:31 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 වසංගත තත්ත්වයේ බලපෑමත් සමඟ ඉදිරි මාස කිහිපයේ බොහෝ දුරට මෙරට ජනතාවට කටයුතු කිරීමට සිදුවන බැවින් ජනතාව වඩා වගකීම් සහගතව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි.

ඒ අනුව වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෑම විටම ඔබ, නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුයි.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ පැනවුණු ඇඳිරි නීතිය දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා හෙට (28) ලිහිල් කිරීමත් සමඟ එම දිස්ත්‍රික්ක වල ජනතාවට සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු වල නියැලීමට හැකිවෙයි.

නමුත් එදිනෙදා ක්‍රියාකාරකම්වලදී සෑම අවස්ථාවකදීම වෛරස ව්‍යාප්තිය වළක්වාගැනීමට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය ඉතා වැදගත්.

ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු 5 ක් විශේෂඥයින් හඳුන්වාදී ඇත.

එනම්,

  1. අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැරට නොගොස් නිවෙසේම රැඳී සිටීම
  2. නිවසින් බැහැරවන සෑම අවස්ථාවකම මුඛ ආවරණ පැළදීම.
  3. මුහුණ ඇල්ලීමෙන් වැළකීම
  4. වරෙකදී තත්පර 20 ක් හොඳින් දෑත් සේදීම.
  5. සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් එකිනෙකා අතර අවම වශයෙන් මීටරයක පරතරය පවත්වාගැනීම.

යන කරුණුය.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් පල කළේය.

ඒ ‘අද දෙරණ බිග් ෆෝකස්’ වැඩසටහනට එක්වෙමින්.

ඒ මහතා පවසන්නේ ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ කොරෝනා ව්‍යාප්තියේ තුන් වන අදියරේ බවයි.

එනම් පොකුරු වශයෙන් තැන් තැන් වලින් ආසාදිතයින් හඳුනාගන්නා අවස්ථාවේය.

එම සෑම රෝගියෙකුටම වෛරසය ආසාදනය වී තිබෙන්නේ කුමන ආකාරයෙන් ද යන්න තවමත් හඳුනාගත හැකි බවත් සමාජ සම්ප්‍රේෂණ තත්ත්වයට තවමත් මෙරට පැමිණ නැති බවත් ඒ මහතා පවසයි.

එම අදියරට එනම් සිව්වන අදියරට පැමිණිය හොත් රෝගීන් රැක බලා ගත හැකි ධාරිතාවය ඉක්මවිය හැකි බවත් එම තත්ත්වයට ඒම වැළැක්විය හැක්කේ හැකිතාක් සංචරණය අඩු කර ජනතාවගේ සහයෝගය ඇතුව බවත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කර සිටියි.

+++++++++++++++++++++

BIGFOCUS : කොරෝනා සමඟ ජිවිතය ඉදිරියට (27.04.2020)

+++++++++++++++++++++++++++++++++++

BIGFOCUS : කොරෝනා සමඟ ජීවිතය (26.04.2020)

+++++++++++++++++++++++++++++++++++

BIGFOCUS : ජනතාවගේ වගකීම සහ COVID-19 පාලනය (25.04.2020)

***************************************

අවුරුද්දකට පස්සේ සහරාන්ගේ කඳවුරක් මුතුර් වලින් හමුවෙයි

(27.04.2020 – mawbima.lk)

පාස්කු ප්‍රහාරයෙන් වසරකට පසුව ත්‍රිකුණාමලය මුතුර් පොලිස් බල ප්‍රදේශයේ තෝපුර්, සෙල්වනගර්, තාහිඩ් නගර් හි පිහිටි සහරාන්ගේ තවත් පුහුණු කදවුරක් ලෙස භාවිත කල ස්ථානයක් සොයා ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමත්ව තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබදව කල විමර්ශණ වලට අදා‍ලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුව ගත් ප්‍රධාන පෙලේ සැකකරුවකුගෙන් කල ප්‍රශ්ණ කිරිම් වල ප්‍රතිඵලයක් ලෙස මෙම ස්ථානය සොයා ගෙන තිබේ.

ගොවිපලක් සේ පවත්වාගෙන ගිය සෙල්වනගර් ප්‍රදේශයේ මුහුද අද්දරට වන්නට පිහිටි අක්කර 15 ක පමණ විසිරුණ භුමියක් වන මෙම ස්ථානය මාවනැල්ල ප්‍රදේශයේ පුජකයකුට අයත් එකක් බව කියැවේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් නිලධාරින් කණ්ඩායමක් මෙම ස්ථානයට පැමිණ ඒ අවට ප්‍රදේශවාසින්ගෙන් හා මෙම ඉඩම රැක බලාගත් බව කියන මුතුර් ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මෙම කදවුර තුලදි මාවනැල්ල ප්‍රදේශයේ තරුණයන් පස් දෙනෙකු අවි පුහුණුව ලබා ඇති බව වාර්ථාවන අතර ඔවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇත.

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

+++++++++++++++++++++

සහරාන්ගේ පුහුණු කඳවුරක් මූතුර්වල

(28.04.2020 – colombotoday.com)

සහරාන් විසින් ත්‍රිකුණාමලය මූතුර් තාහිද් නගර් ප්‍ර​දේශයේ පවත්වාගෙන ගිය බව කියන අවි පුහුණු කඳවුරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා සොයාගෙන තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි මාවනැල්ල පදිංචි ඉබ්‍රාහිම් සාදික් නමැත්තා විසින් තාහිද් නගර් පිහිටි ගොවිපොළෙහි තමන් ඇතුළු පස්දෙනෙකු පුහුණුව ලැබූ බව අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි කර ඇත. මෙම සාදික් නමැත්තා මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධ‍යෙන්ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සහෝදරයන් දෙදෙනාගෙන් එක් අයෙකි.

මෙම ඉඩමේ අයිතිකරු හාජා මො​හොදීන් නමැති තෝපූර් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. කලක් යුද හමුදා සේවයේද නිරතව සිටි මොහු පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් 2011 වසරේ සිට 2015 දක්වා මූතුර් ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ ෴

***************************************

තවත් කොරෝනා ආසාදිතයින් 4 ක් – සමස්ත ආසාදිතයින් ගණන 588 ක්

(27.04.2020 – 23:51 +0530 – sinhala.adaderana.lk)

තවත් කොරෝනා ආසාදියින් සිව් දෙනෙකු (04) වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 588 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 126 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 455 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද (27) රාත්‍රී 11:30 නිකුත් කළ වාර්තාවලට අනුව මේ වන විට කොරෝනා ආසාදිතයින් 65 ක් හඳුනාගෙන ඇති බවයි.

මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 07 දෙනෙක් මිය ගොස් තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා මහ බැංකුව උපරිම පොලී අනුපාත නියම කරයි

(27.04.2020 – 23:56 +0530 – sinhala.adaderana.lk)

රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් දැනට අය කරනු ලබන වාර්ෂීක පොලිය 12% – 17.5% දක්වා පරාසයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත.

කොවිඩ්-19 ව්‍යසනය නිසා ඇති වූ අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ, තම කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රන් භාණ්ඩ උකසට තබන අඩු ආදායම්ලාභීන්ට සහනයක් සැලසීිමේ අවශ්‍යතාව සලකමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී බැංකුවල රන් භාණ්ඩ උකස් අත්තිකාරම් පහසුකම් සඳහා උපරිම පොලී අනුපාත සීමා පැනවීමට තීරණය කරන ලදි.

ඒ අනුව, 2020 අප්‍රේල් 27 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී බැංකු මගින් පුද්ගලික ස්වර්ණාභරණ සුරැකුම් ලෙස තබා ගනිමින් මුදල් ණයට දීමේ දී අය කළ හැකි උපරිම පොලී අනුපාතය වසරකට 12% හෝ වසරකට අඩු කාලයක් සඳහා ලබා දෙන උකස් අත්තිකාරම් සඳහා මසකට 1% ක උපරිමයකට සීමා කරමින් මුදල් නීති පනත යටතේ නියෝගයක් නිකුත් කරන ලදී.

මෙම උපරිම පොලී අනුපාත, මෙම නියෝගය ක්‍රියාත්මක වන දින සිට අළුතින් ලබා දෙන උකස් අත්තිකාරම්වලට සහ දැනට පවතින උකස් අත්තිකාරම් එදින සිට නැවත අළුත් කිරීමේ දී අදාළ වේ.

තව ද, රන් භාණ්ඩ උකස් සේවා සපයන අනෙකුත් ආයතන ද සිය ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ හදිසි මූල්‍ය අවශ්‍යතා දැරිය හැකි පිරිවැයකින් සපුරා ගැනීමට සහ පසු කාලීන ව එම උකසට තබන ලද ස්වර්ණාභරණ බේරා ගැනීමට හැකි වන පරිදි අඩු පොලියකට උකස් ණය පහසුකම් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ ෴

+++++++++++++++++++++++++++++++++++

දෛනික PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය

(27.04.2020 – 22:56 +0530 – sinhala.adaderana.lk)

දෛනික PCR පරීක්ෂණ ප්‍රමාණය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ද එක්කරගනිමින් වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

ඒ පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ විශ්වවිද්‍යාලවල වෛද්‍ය අංශ ප්‍රධානීන් අතර අද (27) සාකච්ඡාවක් පැවැත්වුණි.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය සහ මඩකලපුව විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ හා විද්‍යා පීඨවල රසායනාගාර කේන්ද්‍ර කරගනිමින් පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කිරීමට නියමිතයි.

දැනට දිනකදී සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණයට අමතරව තවත් පරීක්ෂණ දහසක් දෛනිකව සිදු කිරීමට මෙමගින් හැකිවනු ඇති.

මේ අතර වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා අද (27) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට පරීක්ෂණ කට්ටල ලක්ෂ 2 ක් ද ඇණවුම් කිරීමට කටයුතු කරන බවයි.

+++++++++++++++++++++++++++++++++++

ගුවන් සෙබළෙකුටත් කොරෝනා

(27.04.2020 – 22:15 +0530 – sinhala.adaderana.lk)

කටුනායක ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායමේ කෝප්‍රල්වරයෙකුටත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (26) තහවුරු වී තිබේ.

ඒ කඳවුරේ පිහිටි ගුවන් හමුදා රෝහලේ නිරෝධායනය වෙමින් සිටි යදීයි.

මෙම නිලධාරියා නිරෝධායනය කිරීමට ගුවන් හමුදාව පියවර ගෙන තිබුණේ, පසුගිය දොලොස්වනදා (12) පැවැති සංගීත වැඩසටහනකට වැලිසර නාවික හමුදා කඳවුරේ තූර්ය වාදක කණ්ඩායම් සාමාජිකයින් දෙදෙනෙකු (02) සමඟ සහභාගීවීම හේතුවෙන්ය.

කෙසේ වෙතත් එම නාවික හමුදා සාමාජිකයින් දෙදෙනාට (02) වෛරසය ආසාදනය වී නොමැත.

මේ අතර ගුවන් සෙබළා සමඟ සමීපව ඇසුරු කළ ගුවන් හමුදා සාමාජිකයින් 62 ක් නිරෝධායනය කිරීමට ගුවන් හමුදාව කටයුතු කර තිබේ.

+++++++++++++++++++++

ආසාදිත නාවික හමුදා නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයන් නිරෝධායන මධ්‍යස්ථානවලට

(27.04.2020 – 18:28 +0530 – sinhala.adaderana.lk)

ආසාදිත බවට හඳුනාගත් නාවික හමුදා නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයන් මිහින්තලය සහ බූස්ස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.

මීට පෙර පවුලේ සාමාජිකයන් 58 දෙනෙකු එම නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි අතර අද (27) දිනයේ ද තවත් පිරිසක් ඊට යොමුකළ බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

ත්‍රිවිධ හමුදාව මඟින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ පුද්ගලයන් 3,181 දෙනෙකු තවදුරටත් රඳවා සිටින බව ඔහු පැවසුවේය.

මේ වන විට නිරෝධායනය අවසන් කර ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 4512 ක් වෙයි.

මේ අතර බංග්ලාදේශයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් 74 දෙනෙකු අද (27) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

ඔවුන් ද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

සෞඛ්‍ය උපදෙස් නොපිළිපදින්නන් අත්අඩංගුවට ගන්නා බව පොලීසිය කියයි

(27.04.2020 – 21:50 +0530 – sinhala.adaderana.lk)

හෙට (28) ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන දිස්ත්‍රික්කවල බස්නැවතුම්පල අද (27) විෂබීජ හරණයට ලක්කරන අයුරු දක්නට ලැබුණි.

මුළු දිවයිනටම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අදත් ඇඳිරිනීතිය කඩකරන්නන් සහ සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන්නන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණි.

මේ අතර යළි රාජකාරියට වාර්තා කරන ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ප්‍රධාන නගරවල සිට සිය කඳවුරු බලා යාමට ප්‍රවාහන පහසුකම් සපයා තිබුණි.

නිවාඩු ගොස් සිටි ත්‍රිවිධ හමුදා සෙබළුන්ට යළි සේවයට වාර්තා කරන ලෙස රජය ඊයේ (26) කළ දැනුම් දීමට අනුව ඔවුන් ඒ සඳහා පැමිණ සිටියේය.

මේ අතර මාර්තු විසිවැනිදා (20) සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩකිරීම හේතුවෙන් පුද්ගලයින් 40,095 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්භාරයට ගෙන ඇති රථ වාහන සංඛ්‍යාව 10,332 කි.

+++++++++++++++++++++++++++++++++++

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් මිලියන තුනක් – මරණ දෙලක්ෂය ඉක්මවයි

(27.04.2020 – 21:22 +0530 – sinhala.adaderana.lk)

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (27) මිලියන 3 ඉක්මවා ගියේය.

මියගිය ගණන දෙලක්ෂ හත්දහස් හත්සියකට (2,07,700) අධිකයි.

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව අද (27) මිලියන 3 ඉක්මවා ගියේය.

පසුගිය වසරේ දෙසැම්බර් මස චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වාර්තා වූ මෙම වෛරසය මාස පහක් (05) තුළ ඇන්ටාක්ටිකාව හැර ලොව සියලු මහද්වීප වෙත පැතිර ගොස් අවසන්ය.

ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් මරණ 1,157 ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 55,415 දක්වා ඉහළ ගියේය.

ඒ අතරින් වැඩිම මරණ වාර්තා වන්නේ, නිව්යෝර්ක් ප්‍රාන්තයෙන්ය.

ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 26,509 ක් හඳුනාගැනෙද්දී නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වාර්තා වුයේ ආසාදිතයන් 367 දෙනෙකු පමණයි.

එය මාර්තු 30 වැනිදායින් පසු නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වාර්තා වූ අඩුම ආසාදිතයන් සංඛ්‍යාවයි.

වෛරසයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඉතාලියෙන් ගත වූ පැය 24 තුළ අලුතින් මරණ 260 ක් වාර්තාවූයේ සමස්ත මරණ සංඛ්‍යාව 26,644 දක්වා ඉහළ නංවමින්ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සති හතක් තිස්සේ වසා දමා ඇති ඉතාලි ජනතාවගේ මානසික ව්‍යාකූලත්වය තීරණාත්මක ලෙස ඉහළ ගොස් ඇති බවයි.

ගත වූ පැය 24 තුළ පුද්ගල මරණ 288 ක් වාර්තා විමත් සමග ස්පාඤ්ඤයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 23,190 දක්වා ඉහළ ගියේය.

වෛරස හේතුවෙන් සම්පූර්ණයෙන් හුදෙකලා කෙරුණු ස්පාඤ්ඤයේ පළමු නගරය වන ඉගුවලාදා (Igualada) නගරයට නිදහසේ ආස්වාදය විඳ ගැනීමට මේ වනවිට හැකි වී තිබේ.

දැඩි සංචරණ සීමා ඉවත් කිරීමේ පියවරක් ලෙස එම නගරයේ වයස අවුරුදු 14 ට අඩු ළමුන්ටත් සිය නිවෙස්වලින් බැහැරව යාමට අවසර හිමිවුණා.

ගෙවුණු පැය 24 තුළ ප්‍රංශයෙන් පුද්ගල මරණ 242 ක් වාර්තා වූයේ සමස්ත මරණ සංඛ්‍යාව 22,856 දක්වා ඉහළ දමමින්ය.

එක්සත් රාජධානියේ සමස්ත මරණ ගණන මේ වන විට 20,732 දක්වා ඉහළ ගොස් ඇත්තේ ගත වූ පැය 24 තුළ අලුතින් මරණ 413 ක් වාර්තා වීමත් සමඟයි.

මේ අතර වෛරසය අසාදනය වී සුවය ලැබූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් අද (27) යළි සිය රාජකාරී ආරම්භ කළේය.

බ්‍රිතාන්‍යය අගමැති බොරිස් ජොන්සන් : “හැම කෙනෙකුටම වගේ මටත් රට වසා දැමීමේ දිගු කාලීන ප්‍රතිවිපාක තියෙනවා කියලා පැහැදිලිව පේනවා. ඒත් වෛරසය පාලනය නොකිරීමේ අවදානම නිසා දෙවන රැල්ලක අවදානමකුත් තියෙනවා කියලා අපි හඳුනාගෙන තියෙනවා.”

ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් මරණ 56 ක් වාර්තා වී තිබුණේ සමස්ත මරණ සංඛ්‍යාව 881 දක්වා ඉහළ දමමින්.

මේ අතර සංචරණ සීමා උල්ලංඝනය කළ තරුණයින් කිහිප දෙනෙකුට අපූරු පාඩමක් ඉගැන්වීමට තමිල්නාඩු පොලිසිය කටයුතු කළා. ඒ වෛරසය ආසාදිත රෝගියෙක් ලෙස වෙස් ගැන්වූ පුද්ගලයෙක් සිටින ගිලන් රථයකට නීති කඩකරන්නන් නැංවීමයි.

නව කෝටි හැත්තෑ ලක්ෂයක පමණ ජීවත් වන වියට්නාමය සංචරණ සීමා ලිහිල් කරමින් යළි පාසැල් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. සිය ජනයා බලමුළු ගන්වමින් “කොරෝනා වෛරසයට එරෙහිව යුද්ධයක්” ප්‍රකාශයට පත් කළ වියට්නාම කොවිඩ් ආසාදිතයින් 270 කට සීමා කිරීමට සමත් වූ අතර එරටින් එකදු මරණයක් හෝ වාර්තා වූයේ නැහැ.

මේ වනවිට රුසියාවත් කොවිඩ් වසංගතයට දැඩි බලපෑමට නතුව තිබෙනවා.

එරටින් ආසාදිතයන් 80,949 ක් හඳුනාගෙන ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 747 ක්.

වසංගත ව්‍යාප්තිය මධ්‍යයේ වුවද රුසියානු ප්‍රහාරක යානා නියමු පියාසර පුහුණු අභ්‍යාසයකට එක්ව සිටියේය.

මේ පියාසර පුහුණු අභ්‍යාසවලට සමගාමීව රුසියානු ගුවන් හමුදා භටපිරිස් ආක්ටික් ප්‍රදේශයේ පැරෂුට් පුහුණුවකට ද එක්ව සිටියේය.

කොවිඩ් වසංගතයේ මීළග කේන්ද්‍රස්ථානය වියහැකි බවට සැලකෙන අප්‍රිකානු මහද්විපයෙන් ආසාදිතයින් 32,657 ක් හදුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හමුව ඇත්තේ දකුණු අප්‍රිකාවෙන්ය.

ආසාදිතයන් 4,546 ක් එරටින් වාර්තා වන අතර මරණ ගණන 87 කි.

ගත වූ පැය 24 තුළ චීනයෙන් අලුතින් හඳුනාගෙන ඇත්තේ ආසාදිතයන් 11 දෙනෙකු පමණයි.

අද වන විට අමෙරිකාවෙන් ආසාදිතයන් 987,322 ක් , ස්පාඤ්ඤයෙන් 226,629 ක් , ඉතාලියෙන් 197,675 ක් , ප්‍රංශයෙන් 162,100 ක් , ජර්මනියෙන් 157,770 ක් සහ එක්සත් රාජධානියෙන් 152,840 ක් හඳුනාගෙන තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

COVID-19 මෙහෙයුමට ‘මයික්‍රෝ කාර් ලිමිටඩ්’ සමාගමෙන් බස් රථයක්

(27.04.2020 – 19:42 +0530 – sinhala.adaderana.lk)

COVID-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා ‘මයික්‍රෝ කාර් ලිමිඩට්’ සමාගම රුපියල් ලක්ෂ 90 ක් වටිනා බස් රථයක් පරිත්‍යාග කරයි.

බස් රථය අද (27) දහවල් ජනාධිපති කාර්යාලයේ දි ‘මයික්‍රෝ කාර් ලිමිටඩ්’ සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

+++++++++++++++++++++++++++++++++++

හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කරන්න විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්

(27.04.2020 – 19:14 +0530 – sinhala.adaderana.lk)

හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර ඇත.

ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණ.

ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මගපෙන්වීම ඇතිව හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට, එය ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණ කාර්යය නව ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායට පවරා ඇත.

“ජනතාව මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද වෛරසයෙන් බේරා ගැනීම එක සේ වැදගත්.

ආසාධිතයන් සමඟ සමීපව වැඩකිරීමට සිදුවන කණ්ඩායම් ගැන විශේෂ අවධානය තිබිය යුතුයි.

රෝගීන් රෝහලටත් ඔවුන් සමඟ සබඳතා ඇති අය නිරෝධායනයටත් යොමු කළ යුතුයි.

ප්‍රධාන ප්‍රමුඛතාව වෛරසය සමාජගත වීම වළක්වා ගැනීම”, ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාවට අයත් සියලු කඳවුරු නිරීක්ෂණය කොට කඩිනමින් වාර්තාවක් සකසන්නැයි ඒ මහතා විශේෂඥ කණ්ඩායමට පැවසීය.

නිරෝධායන කාර්යයන්හි නිරත හමුදා නිලධාරීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සැලසීමට ප්‍රමුඛත්වයදිය යුතු බවත් කඳවුරු ඇතුළත සෞඛ්‍ය පහසුකම් ප්‍රවර්ධනය සඳහා අවශ්‍යතාව මත විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් සහාය කර ගන්නා ලෙස ද ඒ මහතා උපදෙස් දුන්නේය.

රෝගය පාලනය කිරීමේ දී මෙතෙක් අත්කරගත් සාර්ථකත්වය සේම කිසියම් තැනක වරදක් සිදුවී ඇත්නම් එය ද හඳුනාගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් අවධාරණය කෙරිණ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, හිටපුගුවන් හමුදාපති – බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් – රොෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) ජයන්ත පෙරේරා, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර්අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්, මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, විශේෂඥ වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන, විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

+++++++++++++++++++++++++++++++++++

පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය අනිද්දා (29) යළි විවෘත වෙයි

(27.04.2020 – 18:58 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය නිසා වසා දැමුණු පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය එළඹෙන අප්‍රේල් 29 වැනිදා යළි විවෘත කෙරෙන බව මැනිං පොදු වෙළඳ සංගමය පවසයි.

වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය වසා දැමුණේ පසුගිය අප්‍රේල් 17 වැනිදායි.

ගොවීන්ගේ සහ වෙළෙන්දන්ගේ දැඩි ඉල්ලීම මත තොග වෙළෙඳාම් සඳහා පමණක් යළි වෙළෙඳ සංකීර්ණය විවෘත කෙරෙන බවයි මැනිං වෙළෙඳ සංගමය පවසන්නේ.

මේ අතර විෂබීජහරණය සඳහා පසුගියදා වසා දැමුණු නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය උදැසන 6 සිට තොග සහ සිල්ලර වෙළෙඳාම සඳහා අද යළි විවෘත කෙරුණි.

+++++++++++++++++++++++++++++++++++

COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 866 ක් දක්වා ඉහළට

(27.04.2020 – 18:14 +0530 – sinhala.adaderana.lk)

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 866 ඉක්මවා ඇත.

මිහින්තල රජමහා විහාරාධිපති පූජ්‍ය වලහාහැංගුණුවැව ධම්මරතන හිමි රුපියල් මිලියනයක් අරමුදලට ප්‍රදානය කර තිබේ.

කැළණි රජ මහා විහාරය රුපියල් මිලියනයක්, කතරගම කිරිවෙහෙර රජ මහා විහාරය රුපියල් මිලියනයක්, බම්බලපිටිය ශ්‍රී වජිරාරාම කාර්ය සාධක සමිතිය රුපියල් අනූ හයදහසක්, සණස සංවර්ධන බැංකුව රුපියල් මිලියන 05 ක්, සි/ස සණස රක්ෂණ සමාගම රුපියල් මිලියනයක්, ඕස්ටේලියාවේ නිව් සවුත් වේල්සයේ පදිංචි ආදි ආනන්දියන් රුපියල් ලක්ෂ 05 ක්, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය මිලියන 1.1 ක්, ඒ.ඩී.ආර්.සී. ලෙනාඩ් මහතා රුපියල් දෙලක්ෂ පනස්දහසක් , මග නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගම රුපියල් හය ලක්ෂ හැට එක් දහසක් අරමුදලට පරිත්‍යාග කර ඇත.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ.

දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මඟින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන ෴

+++++++++++++++++++++++++++++++++++

උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබු සිසුන් ප්‍රතිශතය සියයට 73 ඉක්මවයි

(27.04.2020 – 16:17 +0530 – sinhala.adaderana.lk)

2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ‍අද (27) සවස නිකුත් කෙරිණි.

ඒ අනුව විභාගයෙහි පෙනී සිටි අයඳුම්කරුවන්ගේ ප්‍රතිඵල අනුව සකස් කරන ලද සංඛ්‍යා ලේඛන තොරතුරු විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව විභාගයට අයඳුම් කළ මුළු අයඳුම්කරුවන් ගණන 717,246 ක් වෙයි.

විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 556,256 ක් වන අතර ඉන් උසස් පෙළ සඳහා සුදුසුකම් ලත් ප්‍රතිශතය සියයට 73.84 ක් බවද විභාග කොමසාරිස් සනත් පූජිත මහතා නිවේදනය කරයි.

ගණිතය සමත් ප්‍රතිශතය සියයට 66.82 ක් වන බවද විභාග කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

මේ අතර A සාමාර්ථ 9 ක් ලබා ගත් සිසුන් ගණන 10,346 ක් වෙයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පසුගිය දෙසැම්බර් 02 වන දින සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4989කදී පැවැත් විය.

විභාගයට පෙනී සිටි පාසල් අයඳුම්කරුවන් ගණන 433,189 ක් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් ගණන 284,057 කි.

විභාගයේ ප්‍රතිඵල ‍විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk/examresults යන වෙබ් අඩවියට පිවිස අයඳුම්කරු‍ගේ නිවැරදි විභාග අංකය ලබා දීමෙන් භාගත හැකියි.

ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දුරකථන අංක මඟින් විමසීම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිවේදනය කරයි.

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාලාව – 011 278 4208 / 011 278 4537 / 011 318 8350 / 011 314 0314

ක්ෂණික ඇමතුම් ඒකකය – 1911

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා පාලනයට චීනයෙන් මිලියන 211 කට අධික වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

(27.04.2020 – 15:32 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සඳහා චීන රජය විසින් අද දින (27) රුපියල් මිලියන 211 කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ තොගයක් මෙරටට පරිත්‍යාග කර ඇත.

කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය ගෙන වැඩ වැඩපිළිවෙල සහ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් චීන රජය විසින් අද දින (27) රුපියල් මිලියන 211 කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේදී ප්‍රදානය කර ඇත.

චීන රජය විසින් මෙරට කොරෝනා වෛරසයට එරෙහි සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සදහා ලබාදුන් වෛද්‍ය උපකරණ අතර Novel Coronavirus (2019-ncoV) Nucleic Acid Diagnosic Kit (PCR-Fluorescence PProbing) 20016 ක් ද , Medical Protective Face Mask 10000 ක්ද , Surgical mask 100000 ක්ද, Disposable Coverall 10000 ක්ද, Medical Goggle 1000 ක්ද, Single -use Rubber Sugial Gloves 5000 ක්ද වේ.

ඒමෙන්ම කොරෝනා මර්ධනය සදහා චීනය ගත් ක්‍රියාමාර්ග ඇතුලත් වාර්ථාවක් ද වැඩ බලන චීන තානාපති Hu Wei මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කරන ඇත.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරිය කියා සිටියේ චිනය යනු ලෝකයේ බලවත් රාජ්‍යයක් වන අතර අප රටට දීර්ඝ කාලීනව උදව් කරන සාම්ප්‍රදායික මිතුරෙක් බවය.

අප රට කරදරයට පත් සෑම අවස්ථාවකදීම චීනය අපට උදව් කල බවත් දෙවෙනි වරට අද (27) විශාල ලෙස ආධාර ලබා දුන් අතර තව සති දෙකකින් තවත් ආධාර තොගයක් අපට ලබා දීමට චීනය කටයුතු කරන බවය.

අප වෙනුවෙන් ලබා දෙන පරිත්‍යාග වලට චීන රජයට අප විශේෂ ස්තූතියක් කරන බවත් පැවසීය.

තවද BATA ආයතනය මඟින් ශල්‍යාගාර සදහා භාවිතා කරන සපත්තු කුට්ටම් 1000 ක් ද සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඒම ආයතයේ සමාගම් කලමනාකාර අධ්‍යක්ෂ ක්ලයිඩ් රොද්‍රිගෝ සහ මානව සම්පත් කලමනාකාර චමිලා දි සිල්වා යන අය විසින් ලබාදෙනු ලැබීය.

ඒහි වටිනාකම රුපියල් ලක්ෂ 13 ක් වේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් සබරගමු පලාත්සභාවේ සභාපති කංචන ජයරත්න මහතා ඇතුලු පිරිසක් එක්ව ඇත.

+++++++++++++++++++++++++++++++++++

කටාර් වල සිටින ලාංකිකයින් පිරිසකගෙන් ඉල්ලීමක්

(27.04.2020 – 13:46 +0530 – sinhala.adaderana.lk)

කටාර් රාජ්‍යයේ සේවය සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් තමන්ව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර සිටියි.

අද වන විට දිනකට කටාර් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයින් 1000 කට ආසන්න පිරිසක් වාර්තා වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එරට ප්‍රධාන ගමනාගමන ආයතනයක සේවය කරන මෙම සේවක පිරිස කියා සිටින්නේ 800 ක පමණ වන ලාංකිය පිරිසක් එහි සිටින බවයි.

එහි සිටින රෝගාතුර වන පිරිස් රෝහලගත කළද ඔවුන්ට සිදු වන්නේ කුමක්දැයි යන්න ඉන් පසු දැන ගැනීමට හැකියාවක් නැති බවත් මෙම තත්ත්වය පිළිබඳ එරට පිහිටි තානාපති කාර්යාලයට ලිඛිතව දැනුම් දුන්නද තවමත් කිසිදු විසඳුමක් ලබා දී නැති බවත් ඔවුන් පවසයි.

වෛර ව්‍යාප්තිය පැවතුණ ද එහි සිටින සේවකයින්ට සේවා ස්ථාන වලට යා යුතුව ඇති බවයි ඔවුන් කියා සිටින්නේ.

එබැවින් එම ස්ථානයේ සියලු සේවකයින් සිටින්නේ ජීවිත අවධානමක බවත් එනිසා තමන්ව හැකි ඉක්මනින් මව් රටට ගෙන්වා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම පිරිස පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරස ආසාදිතයන් සුවපත් කිරීමට අවශ්‍යය ඖෂධ සහ ප්‍රතිපාදන ජනවාරි 28 වන විටත් සූදානම් කර තිබුනා – ආයුර්වේද කොමසාරිස්

(27.04.2020 – 22:29 +0530 – lankaleadnews.com)

කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව හැටියට සුදානම් වූයේ චීනයේ වුහාන් පළාතේ සිට පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම ශ්‍රී ලංකාවට රැගෙන ආ වකවානුවෙමයි.

ජනවාරි 28 වනදා වන විට ආයුර්වේද දෙපාර්තමේන්තුව ‘කොරෝනා මැඩලීමට ආයුර්වේද පිළියම්’ ලෙස ආයුර්වේද වෛද්‍යයවරුන් සඳහා අත් පොත පවා සකස් කර අවසන් බව ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා පවසයි.

එතුමා පවසන පරිදි මේ වන විට රටේ සියලුම බළධාරීන් දැනුවත් කර හමාර බවත් වෛරස් වසංගතය මැඩලීමට ආයුර්වේද කොමසාරිස් දෙපාර්තමේන්තුව ජාතික කමිටුවක් පවා සූදානම් කර ඇති බවත් ඒ මහතා විසින් ‘සිව්හෙළ රූපවාහිනී චැනලය’ සමඟ පැවති සාකච්ඡාවකදී පැවසුවේය.

සම්පූර්ණ සාකච්ඡාව :

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=qU1T-RFaKMM
https://www.youtube.com/watch?v=NhNTnfZEXrg

+++++++++++++++++++++

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *