ඇඳිරි නීතිය සංශෝධනය වෙයි : අප්‍රේල් 30 දා රාත්‍රී 8 සිට මැයි 04 දා උදේ 5 දක්වා මුළු රටටම

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ඇඳිරි නීතිය සංශෝධනය වෙයි : අප්‍රේල් 30 දා රාත්‍රී 8 සිට මැයි 04 දා උදේ 5 දක්වා මුළු රටටම (විඩියෝ)

• ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 649 ක් දක්වා ඉහළට (විඩියෝ)

• මුව ආවරණයක් නොමැතිව ගිය ළමයෙකුට මුව ආවරණයක් ගන්න පොලිස් නිලධාරියෙකුගෙන් මුදල් (විඩියෝ)

• නවසීලන්තයේ කොරෝනා පාලනය කළ හැකි වූයේ රටවැසියන්ගේ විනයගරුක බව නිසයි – එරට අගමැතිනිය කියයි

• පශ්චාත් කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයට සහය ලබාදෙන්න චීනය සූදානමින්

• හිරු සී.අයි.ඒ. : ඇඳිරි නීතිය පවතිද්දී නැගෙනහිර පළාතේ මුහුදු මහා විහාරස්ථානයට අයත් භූමි ප්‍රදේශයේ සිදුවන ඉඩම් කොල්ලය (විඩියෝ)

• එක දිගට නිවසේ රැඳී සිටීම නිසා ඇතැම් දරුවන්ට ඇතිවිය හැකි මානසික ගැටලු හා සංකූලතා ගැන දැනුම්දීමක් (විඩියෝ)

• මෙරට කොවිඩ්-19 තවමත් පාලනය කළ හැකි මට්ටමක (විඩියෝ)

• අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කිරීමේදී ප්‍රවේශම් වන්න, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් අනතුරු ඇඟවීමක් (විඩියෝ)

• සෞඛ්‍ය ආරක්ෂණ කට්ටල තොගයක් ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට

• ආයතන වෙත ලබාදුන් හෙටින් (30) අවලංගු වන ඇඳිරි නීති බලපත්‍ර වලංගු කාලය දිගු වෙයි (විඩියෝ)

• IDH රෝහලේ රෝගී ධාරිතාව ඉක්මවයි (විඩියෝ)

• මරණ සහතිකයක් නැතුව අවසන් කටයුතු කරන්න ගිය මළ සිරුර යළි රෝහලට

• මාඳුරුඔය Z-ඩී ප්‍රධාන ඇළට වැටුන අලියා තම උත්සහයෙන් ගොඩ එයි (විඩියෝ)

• අන්තවාදීන් අවි පුහුණුව ලැබූ මධ්‍යස්ථාන 2 ක් (විඩියෝ)

• COVID 19 සමඟ රටේ ආර්ථිකයට ඇති බලපෑම (විඩියෝ)

• පාර්ලිමේන්තුව යළි කැඳවීම ලක්ෂ 69 ක ජනතාවකගේ ඡන්දය පාවාදීමක් – යුතුකම සංවිධානය

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය සංශෝධනය වෙයි : අප්‍රේල් 30 දා රාත්‍රී 8 සිට මැයි 04 දා උදේ 5 දක්වා මුළු රටටම

(29.04.2020 – 21:33 +0530 – sinhala.adaderana.lk)

කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවන ඇඳිරි නීතිය සංශෝධනය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

ඒ අනුව අවදානම් කලාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක හතර හැරුණු විට සෙසු දිස්ත්‍රික්ක සඳහා අප්‍රේල් 30 දා බ්‍රස්පතින්දා රාත්‍රී 8.00 ට යළි පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 04 දා, සඳුදා උදේ 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 649 ක් දක්වා ඉහළට

(29.04.2020 – 23:43 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 649 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (29) පස්වරුවේ තවත් ආසාදිතයන් 19 ක් හඳුනා ගැනීමත් සමගයි.

අද දිනයේ (29) මෙතෙක් හඳුනා ගැනුනු ආසාදිතයන් සංඛ්‍යාව 30 ක්.

මේවන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 506 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

ප්‍රතිකාරවලින් පසු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 136 ක්.

මෙරටින් කොරෝනා වෛරස් ආසාදිත මරණ 7 ක් ද වාර්තා වුනා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

මුව ආවරණයක් නොමැතිව ගිය ළමයෙකුට මුව ආවරණයක් ගන්න පොලිස් නිලධාරියෙකුගෙන් මුදල්

(29.04.2020 – 22:30 +0530 – hirunews.lk/sinhala)

ජනතාව සෞඛ්‍යරක්ෂිත උපදෙස් අනුගමනය කරන ආකාරය පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් කටයුතු කළා.

වැල්ලවාය ප්‍රදේශයේදී මුව ආවරණයක් නොමැතිව පාපැදියකින් ගමන් කළ පිරිමි ළමයෙකුට පොලිස් නිලධාරියෙකු මුදල් ලබාදී මුව ආවරණයක් ලබාගෙන පළඳින ලෙසට උපදෙස් ලබාදෙන ආකාරය අප වාර්තාකරුගේ කැමරාවේ සටහන්වී තිබුනා.

+++++++++++++++++++++++++++++++++++

නවසීලන්තයේ කොරෝනා පාලනය කළ හැකි වූයේ රටවැසියන්ගේ විනයගරුක බව නිසයි – එරට අගමැතිනිය කියයි

(29.04.2020 – 21:46 +0530 – hirunews.lk/sinhala)

නවසීලන්තයේ කොරෝනා වෛරස් වසංගතය පාලනය කළ හැකි වූයේ රටවැසියන්ගේ විනයගරුකභාවය හේතුවෙන් බව එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

ඇය සඳහන් කර ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙන්ම නවසීලන්ත වැසියන් සම්බන්ධයෙන් ද තමන් බෙහෙවින් ආඩම්බර වන බවයි.

මේ වනවිට පොකුරු වශයෙන් සමාජයෙන් ආසාදිතයින් වාර්තා නොවීම, නවසීලන්තය වෛරසය පාලනය කළ බවට සාක්ෂියක් බව විදෙස් වාර්තා සඳහන් කළා.

මේ හේතුවෙන් රට වසා දැමීමට අගමැතිනිය කලින් ගත් තීරණය වෙනස් කර එරට වැසියන්ට පැනවූ තහංචි කෙමෙන් ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අනුව අතවශ්‍ය සේවා යළි ආරම්භ කෙරුනා.

එරට පාසල්ද ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි අගමැතිනිය පවසා ඇත්තේ.

කෙසේවෙතත් වෛරස් ආසාදිතයින් අඩුවූ පමණින් වෛරසය නවසීලන්තයෙන් තුරන් වී නොමැති බව නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබෙනවා.

නිවසින් පිටතට යෑමේදී මුඛ ආවරණ පැළඳීම පමණක් නොව අඛණ්ඩව යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට නවසීලන්ත වැසියන්ට උපදෙස් ලබාදී ඇතැයි සඳහන්.

නවසීලන්තයෙන් හමුවී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1474 කට වඩා අඩුවන අතර මරණ වාර්තා වී ඇත්තේ 19 ක්.

සුවය ලැබූ ගණන 1,229 ක් ෴

+++++++++++++++++++++++++++++++++++

පශ්චාත් කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයට සහය ලබාදෙන්න චීනය සූදානමින්

(29.04.2020 – 21:32 +0530 – hirunews.lk/sinhala)

පශ්චාත් කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයට සහය ලබාදීමට චීනය සූදානම් බව ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) මහතා පවසනවා.

අද (29) සවස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවු අවස්ථාවේදීයි ඔහු මෙම අදහස් පළකර ඇත්තේ.

ශ්‍රී ලංකාව යනු චීනයේ සුවිශේෂ මිතුරෙකු වන අතර දෙරට අතර ඇත්තේ දිගු කාලීන අඛණ්ඩ සුහදතාවක් බවයි වැඩබලන තානාපතිවරයා පෙන්වා දුන්නේ.

චීනය කොරෝනා ආපදාවට මුහුණ දුන් අවස්ථාවේ ශ්‍රී ලංකාව චීනය සමග සිටි බව ද ඔහු සිහිපත් කළා.

ඊට තම රජය මෙන්ම ජනතාව ද කෘතඥ වන බවයි හු වෙයි මහතා කියාසිටියේ.

එබැවින් ශ්‍රී ලංකාවේ අනාගත අභියෝග ජය ගැනීම සඳහා උපකාර කිරීම චීනයේ අපේක්ෂාව බව ද ඔහු අවධාරණය කළා.

පශ්චාත් කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැගීමට චීන මධ්‍යම රජයේ සහයෝගය මෙන්ම එරට ප්‍රධාන පෙළේ සමාගම් සහ බැංකුවල ද සහභාගීත්වය ලැබෙනු ඇති බවයි ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපතිවරයා කියාසිටියේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී පෙන්වා දුන්නේ කොරෝනා වසංගතය ගෝලීය ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද බෙහෙවින් හානිකර ප්‍රථිපල උදාකර දී ඇති බවයි.

විදේශ විනිමය ආදායම් විශාල ලෙස පහත වැටීම ප්‍රධාන ගැටළුවක් බව ද පෙන්වා දුන්නා.

ලෝක ආර්ථිකය අඩාල වීම හමුවේ ඇඟළුම් කර්මාන්තයෙන් සහ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුනු ආදායම අහිමිවී ඇති අතර ආර්ථිය පසුබැසීම යථා තත්වයට පත්වීමට තවත් කාලයක් ගතවිය හැකි බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

ශ්‍රී ලංකාව නිශ්පාදන ආර්ථිකයක් මත පදනම් වූ නව සංවර්ධන මාදිලියක් අනුගමනය කිරීමට සැලසුම් කර ඇති අතර එය සාර්ථක කර ගැනීමට මිතුරු රටවල උදව් අපේක්ෂා කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියාසිටියේ.

+++++++++++++++++++++++++++++++++++

හිරු සී.අයි.ඒ. : ඇඳිරි නීතිය පවතිද්දී නැගෙනහිර පළාතේ මුහුදු මහා විහාරස්ථානයට අයත් භූමි ප්‍රදේශයේ සිදුවන ඉඩම් කොල්ලය

(29.04.2020 – 20:58 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරිනීතිය පනවා තිබු කාලසීමාව ප්‍රයෝජනයට ගනිමින් සංවිධානාත්මක පිරිසක් නැගෙනහිර පළාතේ මුහුදු මහා විහාරස්ථානයට අයත් භූමි ප්‍රදේශ යළිත් නීති විරෝධීව අත්පත් කර ගැනීමට මාන බලමින් සිටිනවා.

අද ‘හිරු සී.අයි.ඒ. අනාවරණය’ ඒ පිළිබදවයි.

නැගෙනහිර පළාතේ පොතුවිල්හි පිහිටා ඇති මුහුදු මහා විහාරයට අයත් භූමි ප්‍රදේශ සීග්‍ර ලෙස ආක්‍රමණය කරමින් ඉඩම් අල්ලා ගන්නා බව ‘හිරු සී.අයි.ඒ.’ හරහා අප අවස්ථා ගණනාවකදී හෙළි කළා.

මෙම ඉඩම් අක්‍රමණයල ගොඩබිමෙන් මෙලෙස සිදුවද්දීල මුහුදු මහා විහාරයට යාබද වෙරළ තීරය සොහොන් බිම් සදහා වෙන් කර තිබුනේ පොතුවිල් ප්‍රාදේශීය සභාවේ ද අනුග්‍රහය මත බව අප දර්ශන සාක්ෂි සහිතව පෙන්වා දුන්නා.

‘හිරු සී.අයි.ඒ.’ හරහා සිදුකළ මෙම අනාවරණයන් සමග මුහුදු මහා විහාරය අවට සිදුවන අනවසර ඉඩම් අල්ලාගැනීම් පිළිබද විශාල ආන්දෝලනයක් සමාජය තුල මතු වුණා.

මුහුදු මහා විහාරයේ ඉඩම් ආක්‍රමණයට එරෙහිව සටන්වදින මුහුදු මහා විහාරවාසී පුජ්‍ය උඩලමත්තේ රතනප්‍රිය ස්වාමීන් වහන්සේට අන්‍ය ජාතික තරුණයෙකු පහරදීමට තැත් කරන අයුරු දැක්වෙන දර්ශන පෙළක් ද සමාජ මාධ්‍ය ඔස්සේ කරළියට පැමිණියේ ඒ අතරතුරයි.

තත්ත්වය එසේ වෙද්දී කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති පසුබිමක නැගෙනහිර පළාතේ සංවිධානාත්මක පිරිසක් නිතී විරෝධීව මුහුදු මහා විහාරය සතු ඉඩම් යළි ආක්‍රමණය කරන්නට සැරසෙන බව ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය කර ගත්තා.

ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වු අප ඒ පිළිබද සොයා බැලීම අදාල ප්‍රදේශයට ලඟා වුනේ මුහුදු මහා විහාරවාසී හිමියන් ද සමගින්.

එහිදී, මුහුදු මහා විහාරයට යාබද වෙරළ ආශ්‍රිත ඉඩම් නීතිවිරෝධීව හෙළිපෙහෙළි කරමින් සිටි පිරිස් උදළු, අලවංගු ආදී උපකරණ ද රැගෙන පළා ගියා.

නීති විරෝධීව ඉඩම් අල්ලා ගනු ලබන සංවිධානාත්මක පිරිස් කම්බි කණු යොදමින් ඉඩම් වෙන් කිරීමට කටයුතු කර තිබුණා.

මෙම ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ දර්ශන ලබා ගනිමින් සිටියදී පළා ගිය පිරිස යළි පැමිණ අපව ජංගම දුරකථන හරහා රූගත කරමින් ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායමට බාධා කළා.

මාධ්‍යට ද මෙලෙස බලපෑම් කරමින් බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීමට මොවුන්ට අවසර ලබා දුන්නේ කවුරුන්ද ?

මුහුදු මහා විහාරය අවට සීග්‍රයෙන් සිදුවන මෙම ඉඩම් ආක්‍රමණයට වගකිව යුතු බලධාරීන් මැදිහත්වන්නේ කවදාද?

හිරු සී.අයි.ඒ. ඉදිරියේදීත් අවධානයෙන්.

+++++++++++++++++++++++++++++++++++

එක දිගට නිවසේ රැඳී සිටීම නිසා ඇතැම් දරුවන්ට ඇතිවිය හැකි මානසික ගැටලු හා සංකූලතා ගැන දැනුම්දීමක්

(29.04.2020 – 20:43 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග එක දිගට නිවසේ රැඳී සිටීම හේතුවෙන් ඇතැම් දරුවන්ට මානසික ගැටලු හා සංකූලතා ඇති විය හැකි බව ශ්‍රී ලංකා ළමා හා යෞවන මානසික වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එවැනි ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමට 1926 ඔස්සේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය අමතන ලෙසයි.

දරුවාට පීඩනය හෝ ආතතිය ඇති විට පෙන්වන ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකියි.

ඒවා නම්, නිතර තරහ යෑම, වයසට වඩා කුඩා ළමයෙක් ලෙස හැසිරීම, නිතර කණස්සල්ලෙන් සිටීම, නින්ද හා ආහාර රටා වෙනස් වීම, අවධානය අඩුවීම හා කලබල ගතිය, කලින් කැමැත්තෙන් කළ දේ ප්‍රතික්ෂේප කිරීම, හේතුවක් නැති හිසරදය සහ කැක්කුම්, වැඩිහිටියන්ගේ කීමට ප්‍රතිවිරුද්ධ දේ කිරීම වැනි කාරණායි.

දරුවන්ට මානසික ගැටලු සහ සංකූලතා ඇතිවීම වැලැක්වීම සඳහා කාලසටහනක් මගින් දින චරියාව නැවත ස්ථාපිත කිරීමට පියවර ගත හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙනවා.

+++++++++++++++++++++++++++++++++++

මෙරට කොවිඩ්-19 තවමත් පාලනය කළ හැකි මට්ටමක

(29.04.2020 – 20:36 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනතාව කොවිඩ් 19 රෝගයට ගොදුරු වීමේ අවස්ථාව මෙතෙක් බැහැර වී නොමැති වුවත් තවමත් එය පාලනය කළ හැකි මට්ටමක පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වන ‘රට සහ හෙට’ වැඩසටහනට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++

අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කිරීමේදී ප්‍රවේශම් වන්න, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් අනතුරු ඇඟවීමක්

(29.04.2020 – 20:09 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කිරීමේදී සිදුවන වංචාවන් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට දනුම් දෙනවා.

එම සංසදය පවසන්නේ අන්තර්ජාලය හරහා නිවසට භාණ්ඩ ගෙනවිත් දෙන බව පවසමින් බැංකු කාඩ්පත්වල දත්ත සොරාගැනීමේ ජාවාරමක තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් පවතින බවයි.

එවැනි අන්‍යතාව තහවුරු කළ නොහැකි වෙබ් අඩවිවලින් භාණ්ඩ මිලදී ගැනීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා සඳහන් කළා.

+++++++++++++++++++++++++++++++++++

සෞඛ්‍ය ආරක්ෂණ කට්ටල තොගයක් ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට

(29.04.2020 – 19:58 +0530 – hirunews.lk/sinhala)

ඕස්ට්‍රේලියානු රජය විසින් පිරිනමන ලද සෞඛ්‍යාරක්ෂක උපකරණ තොගයක් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත අද (29) භාරදී තිබෙනවා.

කොළඹ පිහිටි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ ඕස්ට්‍රේලියානු සමාගමක් විසින් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කරන ලද සම්පූර්ණ ශරීර ආවරණ කට්ටල දස දහසක් සහ අත්වැසුම් ලක්ෂ දෙකක් මෙහිදී පරිත්‍යාග කෙරුණු බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

ආයතන වෙත ලබාදුන් හෙටින් (30) අවලංගු වන ඇඳිරි නීති බලපත්‍ර වලංගු කාලය දිගු වෙයි

(29.04.2020 – 18:40 +0530 – hirunews.lk/sinhala)

හෙටින් අවසන්වීමට නියමිතව තිබූ රාජ්‍ය සහ පෞද්ගලික සේවා ආයතන වෙත නිකුත් කළ ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය මැයි 31 දක්වා දීර්ඝ කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 41,649 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොලිස් භාරයට ගෙන ඇති මුළු වාහන සංඛ්‍යාව 10,741 ක්.

+++++++++++++++++++++++++++++++++++

IDH රෝහලේ රෝගී ධාරිතාව ඉක්මවයි

(29.04.2020 – 21:40 +0530 – sinhala.adaderana.lk)

අද (29) දිනයේදී හදුනා ගත් නව ආසාදිතයින ඇතුළුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 630 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදනය වී මේ වන විට පුර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 136 ක්.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ තවත් පුද්ගලයන් 487 දෙනෙකු මෙවන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන හයක පසුවන බවයි.

ඒ අනුව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය තුළ ‍කොවිඩ් නයින්ටීන් අසාදිතයින් 139 ක් ද, කොවිඩ් නයින්ටීන් රෝගය පැතිරයාමත් සමග අලුතින් පිහිටවු වැලිකන්ද මුලික රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්තාන තුළ 63 ක් ද, මුල්ලේරියාව නැගෙනහිර කොළඔ මුලික රෝහලේ පිහිටුවු මධ්‍යස්තානයේ 69 ක්ද, ඉරණවිල පිහිටුවු කොවිඩ් නයින්ටීන් ප්‍රතිකාර මධ්‍යස්තානය තුළ 22 ක් ද, කාත්තන්කුඩිය මුලික රෝහලේ පිහිටුවු ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ තවත් 55 ක් හා නාවික රෝහල තුළ 127 දෙනකුද මෙවන විට ප්‍රතිකාර ලබමින් සිටියි.

කෙසේවෙතත් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කලේ එම රෝහල තුළ මෙවන විට රෝගි ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි.

***************************************

මරණ සහතිකයක් නැතුව අවසන් කටයුතු කරන්න ගිය මළ සිරුර යළි රෝහලට

(29.04.2020 – 23:15 +0530 – sinhala.adaderana.lk)

හදිසි මරණ පරීක්ෂකවරයාගේ අනුමැතියක් හෝ මරණ සහතිකයක් නොමැතිව අවසන් කටයුතු සිදු කිරීමට ගිය හැටන් ප්‍රදේශයේ අයෙකුගේ මළ සිරුරක් යළි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහල වෙත ගෙන ගොස් තිබේ.

දේහය තැන්පත්කර තිබූ මල් ශාලා හිමිකරු පවසා ඇත්තේ වසම භාර ග්‍රාම නිලධාරිනියගේ උපදෙස් මත අවසන් කටයුතු සූදානම් කළ බවයි.

මල් ශාලාවේ හිමිකරු : “මම ජී.එස්. නෝනාට කතා කළා. එයා කිව්වා ‘එයා දන්නවා; එහෙනම් මුදලාලි ඕක කරන්න. මම හෙට උදේ ඇවිල්ලා දෙන්නම්’ කියලා. ඩොක්ටර් කිව්වා ‘සහතිකේ දුන්නා’ කියලා.”

හැටන් බල ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂක එම්.ජේ. මොහොමඩ් ෆසීර් : “ඩොක්ටර්ගෙ සහතිකේ කියලා ඔබතුමා කියන්නේ මෙතන පෞද්ගලික වෛද්‍යවරයානේ. එයාට සහතිකයක් එහෙම දෙන්න බෑ; එයා සාමාන්‍ය ක්ලිනික් එකක් කරන එක් කෙනෙක්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙයාව ඝාතනයට ලක්වුණා කිව්වා නම් මොකක්ද වෙන්නේ ?”

***************************************

මාඳුරුඔය Z-ඩී ප්‍රධාන ඇළට වැටුන අලියා තම උත්සහයෙන් ගොඩ එයි

(29.04.2020 – 22:37 +0530 – sinhala.adaderana.lk)

මාඳුරුඔය Z-ඩී ප්‍රධාන ඇළට අද (29) අලුයම අරලගංවිල ඇල්ලේවැව ප්‍රදේශයෙන් වැටුන වන අලියෙකු උදැසන 08 පමණ අරලගංවිල වීරාන ප්‍රදේශයෙන් තනියම ගොඩට පැමිණ තිබේ.

පසුව අලියා වීරාන රක්ෂිතයට පලා ගොස් ඇති බව වෙහෙරගල වනජිවි නිලධාරින් පැවසුහ.

Z-ඩී ඇළට මිට පෙර වන අලින් වැටුන අවස්ථාවල දී කඹ, ටයර් සහ කොට ආධාරක යොදා එම අලින් ගොඩ ගැනිමට පැය ගණනාවක් තමන්ට වෙහෙස විමට සිදු වු බවත් අද (29) දින වැටුනු මෙම වන අලියා තනියම ගොඩ ඒම විරල අවස්ථාවක් බව වෙහෙරගල වනජිවි නිලධාරින් පෙන්වා දෙති.

වසර තුනක කාලයක් තුළ වන අලි 18 දෙනෙකු මෙම Z-ඩී ඇළට වැඩි ඇති බවත් ගත වු සති දෙකක කාලය තුළ මෙම අලියාද සමඟ වන අලින් හතර දෙනෙකු (4) වැටී ගොඩ ගත් බවත් මෙම ඇළට මේ වන විට වැටී ඇති වන අලි 58 දෙනාගෙන් තනියම ගොඩ ආ දෙවන අලියා මෙය බවද වෙහෙරගල අඩවි ආරක්ෂක යු.ඩී.ජේ.පි.එම්. ආරියසිංහ මහතා සඳහන් කරයි.

අද දින වැටුන වන අලියාගේ වයස අවුරුදු 25 ක පමණ වන බවත් මෙලෙස ඇළට වැටීමට ප්‍රධාන හේතුව වන්නේ මේ දිනවල පවතින දැඩි නියන් තත්ත්වය හේතුවෙන් මාඳුරුඔය ජාතික වනෝද්‍යානයේ වන අලි ආහාර සහ ජලය සොයා ගම් වැදිම බවද ආරියසිංහ මහතා සඳහන් කළේය.

***************************************

අන්තවාදීන් අවි පුහුණුව ලැබූ මධ්‍යස්ථාන 2 ක්

(29.04.2020 – 22:02 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අන්තවාදීන් අවි පුහුණුව සඳහා යොදාගත් මධ්‍යස්ථාන දෙකක් ත්‍රිකුණාමලය සාම්පූර් සහ තෝපූර් යන ප්‍රදේශවලින් සොයාගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

අද (29) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මෑතකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ද පුත්තලම කේන්ද්‍ර කරගනිමින් අන්තවාදී දේශන පැවැත්වූ සංවිධානයකට සම්බන්ධව කටයුතු කර ඇති බවයි.

පසුගිය වසරේ අප්‍රේල් 21 වනදින එල්ල වූ පාස්කු ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ විමර්ශනවලට අදාළව මේ මාසය තුළදී සැකකරුවන් 08 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඒ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මෙන්ම නීතීඥවරයෙක් වන හිජාස් හිස්බුල්ලාද විය.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව අන්තවාදී කණ්ඩායමක් විසින් සාම්පූර් ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමලයේ තෝපූර් යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය අවි පුහුණු මධ්‍යස්ථාන දෙකක් සොයාගැනීමට විමර්ශකයින් සමත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ත්‍රිකුණාමලය තෝපූර් අවි පුහුණු මධ්‍යස්ථානයේ තිබී පුහුණුව සඳහා යොදාගත් අවි ආයුද කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

+++++++++++++++++++++

සහරාන්ගේ ආයුධ සාම්පූර් ගොවිපළෙන් මතුවෙයි

(30.04.2020 – mawbima.lk)

සහරාන් හසීම් නමැති ත්‍රස්තවාදියා විසින් දේශන පැවැත්වූ පුත්තලමේ විශේෂිත ස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගත් බවත් ඒ අනුව තවත් සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න මහතා පවසයි.

පාස්කු බෝම්බකරුවන් නිලතල දරන ලද ස්වේච්ඡා සංවිධානයක් මෙහිදී අනාවරණය කරගෙන ඇති අතර එම සංවිධානය විසින් පුද්ගලයන්ගේ මනෝභාවයන් වෙනස් කිරීම අරමුණු කර පලස්තීන සහ ඊශ්‍රායලයේ යුදමය අවස්ථා සහ ලංකාවේ එල්ටීටීඊ ක්‍රියාකාරකම් ඇතුළත් වීඩියෝ දර්ශන පෙන්වමින් දේශන පවත්වා ඇති බවද සැකකරුවන්ගේ පාපෝච්චාරණයෙන් හෙළි වූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

තවද සාම්පූර් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අවි පුහුණුවක් පිළිබඳ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවාගත් සැකකරුවන්ගෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනෙක් පරීක්ෂණ හරහා අනාවරණය වූ අතර දැනට අවි ආයුධ කිහිපයක් සොයාගෙන ඇති බවද සේනාරත්න මහතා පැවැසීය.

ඔහු පැවැසුවේ අන්තවාදී සංවිධානයේ අදාළ දේශනවලදී ‘ආගම – වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම්ද ?’ යන්න පුද්ගලයන්ගෙන් විමසා ඇති බවය.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ විමර්ශන නව මාවතක් ඔස්සේ දැනට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසුවේ ඊයේ (29 දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදීය.

මේ අතර වනාතවිල්ලුව කාරතිව් අරාබි පාසලට බඳවාගත් සිසුන්ගේ මවුපියන්ද දැනුවත් කර සිසුන්ට සහරාන් කණ්ඩායමේ අන්තවාදීන් විසින් දේශන පවත්වා ඇතැයිද මේ වන විට පරීක්ෂණ කණ්ඩායම්වලට හෙළි වී තිබේ.

මේ රට තුළ තම ජාතියට විශාල අසාධාරණයක් සිදුවෙමින් පවතින බවට ඔවුන්ට ඒත්තු ගන්වා ඊට එරෙහිව සටන් කිරීමට සූදානම් අය අත් ඔසවන ලෙස දන්වා ඔවුන්ගේ මනස තුළට සහරාන්ගේ අන්තවාදය කා වැද්දීමට කටයුතු කර තිබූ බවද වාර්තා වෙයි.

ඉන් පසුව එම දරුවන්ට මූලික අවි පුහුණුව ලෙස විවිධ වර්ගයේ තුවක්කු ගලවා සවිකරන ආකාරය හා උණ්ඩ ඇතුළු කර පරිහරණය කරන ආකාරය පිළිබඳව උගන්වා ඇතැයිද ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පුහුණු වකවානුවේ සහරාන් සහ තවත් දෙදෙනෙක් එහි ගොස් තිබෙන බවද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි. මෙම කාරතිව් අරාබි පාසල 2008 වසරේ අරඹා 2018 අවසානය තෙක් පවත්වාගෙන ගොස් ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි ෴

+++++++++++++++++++++

බුදු පිළිම කැඩූ සැකකරුවන්ගේ පවුල්වලට ලක්ෂ 20 ක් බෙදලා

(30.04.2020 – dinamina.lk)

• සහරාන්ගේ තවත් කුමන්ත්‍රණයක් සීඅයිඩීය සොයා ගනී

• මාවනැල්ලෙන් කෝටිපති මිතුරෙක් ද අල්ලයි

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන්ට ලබාදීම සදහා සහරාන් විසින් දී ඇති රුපියල් ලක්ෂ 20 ක මුදලක් එම සැකකරුවන්ගේ පවුලේ සාමාජිකයින්ට බෙදා දුන් සහරාන්ගේ සමීපතයෙක් වන කෝටිපති ව්‍යාපාරිකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් පෙරේදා (28) රාත්‍රියේ දී මාවනැල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් සියාම් (49) නැමැති මාවනැල්ලේ හිගුල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙක් වන සැකකරු සහරාන්ගේ සමීපතමයෙක් බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ. ඔහුට අයත් නිවාස හතරක් ගැන ද තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන ඇත.

මේ පුද්ගලයා ඉතා කුඩාවට ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්‍රාත් ව්‍යාපාරයේ නිරත ව සිට ඇතත් හිටි හැටියේ ම ඔහු කෝටිපතියෙක් වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් තිබේ.

බුදු පිළිමවලට හානි කිරීම් සම්බන්ධයෙන් පැවැත්වෙන නීතිමය කටයුතුවලදී මාවනැල්ල අධිකරණය හමුවේ පෙනී සිටින්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ සැකකරුවෙක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටින ප්‍රසිද්ධ නීතීඥවරයාගේ දෙවැනියා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. බුදු පිළිමවලට හානි කිරීම් සම්බන්ධයෙන් වූ නඩුවට පෙනී සිටින්නේ එම සැකකාර නීතීඥයාගේ නීති සමාගම මඟින් බවට තොරතුරක් ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙම පුද්ගලයා දෙකේ පංතියට පමණක් අධ්‍යාපනය ලබා ඇති අයෙක් බව ද විමර්ශන වලින් පෙනී ගොස් ඇත. ඔහු සහරාන්ගේ දේශනවලටද සම්බන්ධ වී ඇති අයෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. අත්අඩංගුවට ගත් නීතීඥයා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලින් සැකකරු ගැන තොරතුරු අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි ෴

***************************************

COVID 19 සමඟ රටේ ආර්ථිකයට ඇති බලපෑම

(29.04.2020 – 22:00 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තියත් සමඟ රටේ ආර්ථිකයට එල්ල වී ඇත්තේ විශාල බලපෑමකි.

පළතුරු හා එළවළු ආනයනය කිරීමට වාර්ශිකව විශාල මුදලක් වැයවන අතර එය අවම කරගතහොත් රට තුළ ඩොලර් සංචිතය ඉතිරි කර ගැනීමට හැකිවනු ඇති.

මෙරට තුළ වගාකිරීමෙන් එළවළු හා පළතුරු ආනයනය සීමා කර ගැනීමේ හැකියාව පිළිබඳව ‘අද දෙරණ’ සොයා බැලීමක් සිදුකළේය.

දේශීය කෘෂිකර්මාන්තයේ පරමාර්ථය වන්නේ දේශීය ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කිරීමයි.

පරිභෝජන අවශ්‍යතාවය සපුරාලීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ පළතුරු සහ එළවළු වගාකිරීම සිදු කළ ද ඇතැම් පළතුරු හා භෝග වර්ග ආනයනය කිරීමට සිදුව තිබේ.

ඒ අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නේ ඇපල්, දොඩම් සහ මිදි.

මේවා ආනයනය කිරීම සඳහා 2019 වසරේ වැයවී ඇති මුදල රුපියල් මිලියන 9069 කට අධිකයි.

ඇපල් ආනයනය කිරීමට රුපියල් මිලියන 4,044 ක මුදලක් ද දොඩම් සඳහා රුපියල් මිලියන 949 ක් ද මිදි සඳහා රුපියල් මිලියන 3,288 ද වාර්ෂිකව වැය වේ.

මෙරට තුළ නිෂ්පාදනය කළ හැකි අර්තාපල්, රතු ලූනු, මුං ඇට, කවුපි හා වියලි මිරිස් ද ආනයනය කිරීම හේතුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් පිටරටට ගලා යයි.

ඒ අනුව අර්තාපල් සඳහා රුපියල් මිලියන 6071 ක් ද රතු ළූනු සඳහා රුපියල් මිලියන 763 ක් ද වියළි මිරිස් සඳහා රුපියල් මිලියන 14,849 ක් 2019 වර්ෂයේදී වැයවී තිබේ.

එමෙන්ම කවුපි සඳහා රුපියල් මිලියන 1,083 ක් මුංඇට සඳහා රුපියල් මිලියන 2,183 මයිසූර් පරිප්පු ආනයනය සඳහා රුපියල් මිලියන 14,140 ක් 2019 වසරේදී වැයව තිබේ.

මෙම පළතුරු හා භෝග මෙරටට ආනයනය සීමා කිරීම සඳහා අප කළ යුත්තේ කුමක්ද?

මේ වන විට ගෙවතු වගාව වෙනුවෙන් බොහෝ පිරිසක් උනන්දු වී ඇති අතර එතුළින් දෛනික ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට යම් දායකත්වයක් සපයනු ඇති.

එසේ වුවද එය වාණිජමය වශයෙන් පවතින අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් වන්නේ නැත.

ආනයනික භෝග සීමා කිරීමට ගත් පියවරත් සමග යල කන්නයේ ප්‍රධාන භෝග රැසක් වගා කිරීම තවදුරටත් දිරිමත් කිරීමට රජය මේ වන පියවර ගෙන ඇත.

***************************************

පාර්ලිමේන්තුව යළි කැඳවීම ලක්ෂ 69 ක ජනතාවකගේ ඡන්දය පාවාදීමක් – යුතුකම සංවිධානය

(30.04.2020 – 04:32 +0530 – lankaleadnews.com)

බෙදුම්වාදයට සහ අන්තවාදයට යටව තිබූ පාර්ලිමේන්තු යළි කැඳවීම යනු ලක්ෂ 69 ක ජනතාවකගේ ඡන්දය පාවාදීමක් යැයි යුතුකම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනය මෙසේය :

විපක්ෂයේ රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස, ආර්. සම්බන්ධන්, පාඨලී චම්පික, රවුෆ් හකීම්, රිෂාඞ් බදුර්දීන් සහ මනෝ ගණේෂන් යන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් ඒකාබද්ධ ප‍්‍රකාශනයක් මඟින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ගෙන් ඉල්ලා සිටින්නේ එතුමා විසින් සිදු කරන ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බල රහිත කරන ලෙස ය. එසේ නො කරන්නේ නම් අඩුම තරමින් විසුරුවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ය.

ජනාධිපතිතුමා ගෙන් මේ ඉල්ලීම කරන්නෝ ඔවුන් බලයේ සිටිය දී එතුමා බොරු චෝදනා මත කෙසේ හෝ සිරගත කිරීමට, අපරාධකාරයෙකු ලෙස හංවඩු ගැසීමට බොහෝ දුෂ්ඨ ප‍්‍රයත්නයන් දැරූවෝ ය. එතුමාගේ පුරවැසිභාවය පිළිබඳ පදනම් විරහිත චෝදනා නඟමින් එතුමා ගේ ජනාධිපති අපේක්ෂකත්වය ම සුණුවිසුණු කරදැමීමට අශිෂ්ඨ ප‍්‍රයත්නයක නිරත වූවෝ වෙති. 15 ලක්ෂයකට වැඩි ඡුන්දයකින් ජනාධිපති තනතුරට පත් වූ පසුව ද මුදල් ප‍්‍රතිපාදන වෙන් කරගැනීමට ඉඩ නොදුන්නෝ වෙති.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ම පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට ජන වරමක් ද පතමිනි. ඒ හා සමඟම බෙදුම්වාදීන්, ෆෙඩරල්වාදීන්, ආගමික අන්තවාදීන් ගේ සහයෙන්, කිසිවිටෙකත් රජයක් නො පිහිටුවන බවට ප‍්‍රතිඥා දෙමිනි. මේ අනුව විපක්ෂය ජනාධිපතිතුමා ගෙන් ඉල්ලා සිටින්නේ 69 ලක්ෂයක් ජනතාව එතුමාට දුන් ජනවරම ම පාවාදෙන ලෙස ය.

එ පමණක් ද නො වේ. බෙදුම්වාදීන් ගේ හා ආගමික අන්තවාදීන් ගේ බලයට නතුව ඇති, පැවති පාර්ලිමේන්තුව කැඳවූ සැනින් ජනාධිපතිතුමාට සුදුසු පරිදි මුදල් වියදම් කිරීම වළක්වාලනු ඇත. කොරෝනා මර්දනයට ගෙන ඇති සාර්ථක පියවර අවුල් වන යෝජනා සම්මත කරනු ඇත. එම්. සුමන්දිරන් මහතා කර ඇති ප‍්‍රකාශවලින් පැහැදිලි වනුයේ ජනාධිපතිතුමාට දෝෂාභියෝගයක් ගෙන ඒමට දැනට ම කුමන්ත‍්‍රණයක් පවතින බව යි.

කුමන්ත‍්‍රණකරුවන් ගේ ම කතානායකවරයෙකු ද වන බැවින් එවන් යෝජනාවක් පිළිගැනීමට අවශ්‍ය වනුයේ සාමාන්‍ය බහුතරය පමණි. එ විට ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ද අහිමි වේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි, මවුබිමට එරෙහි වූ, සමස්ත රට වැසියාට ම එරෙහි වූ මේ දුෂ්ට කුමන්ත‍්‍රණය සහමුලින් ම පරාජය කිරීමට නායකත්වය දීම ඔබතුමා ගේ ප‍්‍රමුඛ යුතුකම යි. එහි දී සාතිශය බහුතරයක් ජනතාව ඔබතුමා සමඟ සිටගන්නා බවට සැකයක් නැත. එ ලෙස ම මාරාන්තික කොරෝනා වෛරසය පරාජය කිරීමට අප සමත්වනු ඇත්තේ ද මේ බෙදුම්වාදී ආගම්වාදී අන්තවාදීන් ගේ කුමන්ත‍්‍රණය පරාජය කළහොත් පමණක් බව අප ගේ සදාදරණීය ජනතාව ද තේරුම්ගත යුතු ව ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *